ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

9. නවක නිපාතය

434. චක්කවාක ජාතකය

“කාශාය වස්ත්‍ර පෙරෙවියන් බඳුවූ රන්වන් පැහැ ඇති දෙදෙන දෙදෙනව සතුටු සිත් ඇතිව හැසිරෙන පක්ෂීවූ තොපට කියමි. හෙවත් තොපගෙන් විචාරමි. එම්බා පක්ෂීනි, මිනිසුන් අතුරෙහි කිනම් පක්ෂියා කියා තොපගේ ජාතිය ප්‍රශංසා කෙරෙද්ද, එබැවින් එය කියව් නොහොත් පක්ෂීන් හා මිනිසුන් අතුරෙහි කිනම් පක්ෂියයි කියා තොපගේ ජාතිය පසසත්ද,

මනුෂ්‍ය හිංසකය, ඔවුනොවුන්ට අනුගතවූ ප්‍රිය සංවාස ඇතිව අප චක්‍රවාකයයි මිනිසුන් අතුරෙහි කියත්. පක්ෂීන් අතුරෙහි කල්‍යාණ භාවයෝ යයි සම්මත වෙමු. නිර්භය ස්වභාව ඇත්තෝ වෙමු. පියුම් විලෙහි හැසිරෙමු. (ආහාරය පිණිස පාපයක් නොකරමු.)

“අලාමකවූ චක්‍රවාකයෙනි, තොපගේ ශක්තියද වර්ණයද අලාමකවූ ස්වරූප ඇත්තේය. එහෙයින් කිමෙක්ද, මේ විලෙහි කවර ඵලයන් අනුභව කෙරෙද්ද, කවරෙකුගේ ශරීරයෙන් මස් කන්නාහුද, කිනම් ආහාරයක් අනුභව කරව්ද,

“කව්ඩුව, මේ විලෙහි ඵලයෝ නැත්තාහ. චක්‍රවාකයාට මස් කන්ට කොයින්ද? එහෙයින් අපි සෙවෙල් අනුභව කරන්නෝ වෙමු. ගස්පොතු නැති ජලය භෝජන ඇත්තෝ වෙමු. ආහාර පිණිස පාපයක් නොකරමු.

“චක්‍රවාකය, මේ තොපගේ ආහාරය මට රුචිනොවේ. එසේහෙයින් මේ ජාතියෙහි ආහාරයට සමාන ආහාර ඇත්තේ නොවෙයි” කියා මට පෙර වූයේය. ඉන්පසු මට අන් පරිද්දෙකින් වීයයි මෙසේ මේ තොපගේ ශරීර වර්ණයෙහි මට විමතියක් හටගත්තීය.

“මම වනාහි මස්ද ගෙඩිද ලුණු සහිතවූද තෙල් සහිත වූද, ආහාරයන් අනුභව කරන්නෙමි. සංග්‍රාම භූමියෙහි ශූරයෙකු මෙන් හැරගෙන මිනිසුන් කෙරෙහිවූ රසය අනුභව කරන්ට ලබමි. එසේවුවත් චක්‍රවාකය, තාගේ වර්ණය යම්සේද, එබඳුවූ වර්ණයෙක් මට නොම ඇත්තේය.

“කව්ඩුව, තෝ අපිරිසිදු දේ අනුභව කිරීම ඇත්තෙහිය. ප්‍රමාදවූ කෙණෙහි වැටෙන සුළුය. තට කන බොන දෙය දුකින් ලැබේ. වෘක්ෂ ඵලයෙන්ද සොහොන් මැද යම් මසක් ඇත්නම් එයින්ද නොසතුටු වන්නෙහිය.

“ක්ෂණයෙහි වැටෙන සුලුවූ කාකය, යමෙක් තෙම සැහැසිකමින් ලබාගෙන අනුභව කෙරේද, එහෙයින් ඔහුට ස්වභාව ධර්මයතෙම ගර්හා කරන්නේය. එසේ උපක්‍රොශ කරණ ලද්දේ වර්ණයද බලයද දුරුකෙරේ.

“ඉදින් සැහැසිකමක් නොකිරීමෙන්ද, අනුන් නොනැසීමෙන්ද නිමියාවූ හෙවත් දැහැමින් ලද්දාවූ මඳවූද ගොදුරු කා නම්, එකල්හී ඔහුගේ ශරීරය ශක්තියද වර්ණයද වන්නේය එසේහෙයින් සියලු වර්ණය ආහාරයෙන්ම හටගන්නේ නොවේ.”

චක්කවාකජාතකං අට්ඨමං.