ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

9. නවක නිපාතය

435. හලිද්දීරාග ජාතකය

“වනයෙහි ඉතා දුර සෙනසුන්හි ශීතාදිය ඉවසන්නට පිළිවන. යම් කෙනෙක් ගමෙහි ඉවසත්ද ඔව්හු එයට වඩා අතිශයින් උදාරවෙත්.

“පියාණෙනි, මම වනයෙන් ගමට පැමිණ කෙබඳු ශීලයක් කෙබඳු ව්‍රතයක් කෙබඳුවූ පුරුෂයකු සේවනය කරන්නෙම්ද, මට එය විචාරණ ලද්දෙහි කියව.

“පුත්‍රය, යමෙක් තා හා විශ්වාස කරන්නේද, තාගේ විශ්වාසයද බොහෝ කලක් පවත් වන්නේද, යමෙක් තාගේ වචනය අසනු කැමැත්තේද, යමෙක් තාගේ වචනය ඉවසන්නේද ඔහු මේ වනයෙන් ගියේ සෙවණය කරව.

“යමෙකුගේ කයින්ද වචනයෙන්ද, සිතින්ද වැරදි කිරීමක් නැද්ද, ඔහු ලෙහි සිටි පුත්‍රයෙකු සේ පිහිටුවා මේ වනයෙන් ගියේ සේවනය කරව.

“යමෙක් වනාහි සුචරිත ධර්මයෙන් හැසිරේද, එසේ හැසිරෙන්නේද මානය නොකරේද, විසුද්ධ නම් දශකුශලයන් කරන්නාවූ සප්‍රාඥ වූ ඔහු මෙයින් ගමට ගියෙහි භජනය කරව.

“පුත්‍රය, ඉදින් සියලු දඹදිව් තලය මිනිසුන් රහිතවූ නමුදු ස්ථිරවූ පැවැත්මක් නැති හෙයින් කහපාට සායම් පෙවීමක් වැනිවූ වඳුරෙකුට බඳු සිත් ඇති ඇලීම් නොඇලීම් දෙකින් යුක්තවූ එබඳු පුරුෂයා සේවනය නොකරව.

“කිපුනාවූ සර්පයෙකු වැනිවූ අශූචි තැවරුණු මහා මාර්ගයක් වැනිවූ අඥානයා විෂමවූ මාර්ගය යානාවකින් යන්නෙකු මෙන් දුරින් දුරු කරව.

“පුත්‍රය, අඥානයා අධික වශයෙන් සේවනය කරන්නහුට අනර්ථයෝ වැඩෙත්. සියලු කල්හි පස මිතුරුවූම අඥානයා හා සමාගමයට නොයව.

“පුත්‍රය, එහෙයින් මම තාගෙන් ඉල්වමි. මාගේ වචනය කරව, අඥානයා හා සමාගමට නොයව, කුමක් හෙයින්දයත්, අඥානයන් හා සංගමයතෙම දුක්වන්නේය.” (එහෙයිනි.)

හලිද්දිරාගජාතකං නවමං.