ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

9. නවක නිපාතය

437. පූතිමාංශ ජාතකය

“යෙහෙළිය, පූතිමාංශ නම් තී හිමියාගේ බැලීම මට රුචිනොවේ. මෙබඳුවූ යහළුවා කෙරෙන් දුරින් දුරු වන්නේය.

“උතුම්වූ මේ වේණීතොමෝ ස්වාමියාහට යෙහෙළිය වර්ණනා කරයි. ආවාවූ මේලමාතා නම් එළුදෙන නැවත යන්නියට අනුව ශොක කරයි.

“යහළුව, යම්බඳුවූ තෝ මළවුන්ගේ ආකාරය කොට ලඟට එන්ට ප්‍රථම බැලුයෙහිද ඒ නුඹ වනාහි පරීක්ෂා බුද්ධි නැත්තේ උමතුවූවෙක් වෙහිය.

“නුවණැත්තේ නුසුදුසු කල්හි නොබලන්නේය. සුදුසු කාලයෙහි බලන්නේය. කුමක් හෙයින්දයත්, යමෙක් බලන්නට නුසුදුසු කල්හි බලාද, හෙතෙම පූතිමාංශ නම් හිවලා මෙන් සිතුවිලි සිතයි.

“යෙහෙළිය; මට ප්‍රිය වේවා, මට සතුටු පඬුරුදෙව, මාගේ ස්වාමිතෙම මනාව ජීවත්වූයේය. ප්‍රියයන් විචාරන්නීය, මා හා සමග එව.

“යෙහෙළිය, තිට ප්‍රිය වේවා, තිට සතුටු පඬුරු දෙමි. මහත්වූද පිරිවර හා සමග එන්නෙමි. ඒ අපට ආහාරය පිළියෙළ කරව.

“යම් කෙනෙකුන්ට ආහාරය පිළියෙල කරම්ද, ඒ තොපගේ පිරිවර කෙබඳුද, ඒ සියල්ලෝ කිනම් ඇත්තාහුද, එය මට විචාරණ ලද්දී කියව.

“මාලියයාද, චතුරක්ඛයාද, පිංගියයාද නැවත ජම්බුකයාද මාගේ පිරිවර මෙබඳුය. හෙවත් පන්සියය බැගින් පිරිවර ඇති මේ බල්ලෝ සතර දෙන මාගේ පිරිවරය. ඔවුන්ට සෑහෙන ආහාරය පිළියෙල කරව.

“ගෙදරින් නික්මුණාවූ තොපගේ බඩුද විනාශ වන්නේය. තොපගේ යහළුවාට නිරෝග බව මමම කියන්නෙම්. මෙහිම වාසය කරව, නොයවයි” කීයේය.

පූතිමංසජාතකං එකාදසමං.