ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

10. දශක නිපාතය

439. චතුද්වාර ජාතකය

“මේ නුවර සතර දොරටුවක් ඇත්තේය. අයොමයවූ දැඩිවූ තොරණ ඇත්තේය. ඇතුල් කොට හාත්පස පව්රෙන් වටකරණ ලද්දේ වෙමි. මා විසින් කිනම් පාපයක් කරණ ලදද,

“යක්ෂය, සියලු දොරටු වසනලදහ. පක්ෂියෙකු මෙන් ගමන් වලකන ලද්දේ වෙමි. කවර කරුණකින් මම චක්‍රයෙන් ගසන ලද්දෙම්ද,

“යහළුව, තෝ දහසක් ලැබ වෙළඳාමෙන් ලක්ෂයක් හා අධිකවූ විසිදහසක් ලැබ අනුකම්පා ඇත්තාවූ නෑයන්ගේ කීම නොකෙළේය. නැව ඉක්ම යාමට සමර්ථවූ අල්පවූ සිද්ධිය ඇති සාගර නම්වූ මුහුදට පැන ගියෙහිය.

“සතර දෙනෙකුගෙන් නොසතුටුව අටදෙනෙකු ලඟට ගියේය. අට දෙනෙකුගෙන් නොසතුටුව සොළොස් දෙනෙකු ළඟට ගියේය. සොළොස් දෙනෙකුගෙන් නො සතුටුව දෙතිස් දෙනෙකු ළඟට ගියේය. වැඩි වැඩියක් කැමැත්තේ ක්ෂුරචක්‍රයට ළංවීය. තෘෂ්ණාවෙන් නසනලද පුරුෂයාගේ මතුයෙහි ක්ෂුර චක්‍රය කැරකේ.

“මතුයෙහි විශාලවන්නාවූ, නොපිරවිය හැක්කාවූ පඤ්චකාමයන්හි ආශාවෙන් පැතිර යන්නාවූ ඒ තෘෂ්ණාව අනුව යම් කෙනෙක් ගිජුවෙද්ද, ඔව්හු ක්ෂුරචක්‍රය දරන්නාහු වෙත්.

“බොහෝවූ වස්තුව හැරදමා මාර්ගය නොබලා යම් කෙනෙකුන්ගේ සිත පරීක්ෂාකාරී නොවේද, ඔව්හු ක්ෂුරචක්‍රය දරන්නාහුවෙත්.

“යමෙක් තෙම තමා විසින් කළයුත්තද සලකා බලා මහත්වූ සම්පත්තියද බලා අනර්ථයෙන් යුක්තවූ ආශාව සේවනය නොකරන්නේද, අනුකම්පා ඇත්තවුන්ගේ කීම කරන්නේද, එබඳුවූ පුරුෂයා මේ ක්ෂුර චක්‍රය මැඩනොපවත්නේය.

“යක්ෂය, මේ ක්ෂුර චක්‍රය මාගේ හිසෙහි කෙතෙක් කල් කෙතෙක් අවුරුදු දහස්ගණන් සිටින්නේද, එය මට විචාරණ ලද්දෙහි කියව,

“මිත්ත වින්දකය, මාගේ වචනය අසව, තෝ වනාහි ඉතා දොස් ඇත්තෙහි බලවත්වූ දොස් ඇත්තෙහි තාගේ හිසෙහි ඇවිණෙනලද ඒ චක්‍රය ජීවත්වන්නේ නො මුදන්නෙහිය.”

චතුද්වාරජාතකං පඨමං.