ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

10. දශක නිපාතය

443. චුල්ලබොධි ජාතකය

“බමුණ, යමෙක්තෙම තොපගේ මහත්වූ ඇස් ඇති මඳ සිනාවෙන් යුක්තව බණන්නාවූ ප්‍රියාව බලාත්කාරයෙන් හැරගෙන යන්නේනම් කුමක් කරන්නෙහිද,

“මෑ ගෙණයන්නවුන් කෙරෙහි කෝපයෙන් උපන්නේ නම් හෙතෙම නොමුදන්නේය. ජීවත්වන්නාවූ මාගේ ඒ කෝපය නොමිදෙන්නේය. එහෙයින් ධූලිය මහත් වර්ෂාවක් මෙන් වහාම එය වළක්වන්නෙමි.

“හේ නුඹ පෙර යමක් කල්පනා කෙළෙහිද, අද බලය ප්‍රකාශ කළාහු මෙන් නිශ්ශබ්දවූයේ දැන් සඟල සිවුර මසමින් හිඳිනෙහි (මේ කිමෙක්ද?)

“මාගේ ක්‍රොධය උපන් නමුත් අනුන්ට හැඟෙන පරිද්දෙන් පහළ නුවූයේය. ජීවත්වන්නාවූ මාගේ කෝපය නොමිදෙන්නේය. එහෙයින් ධූලිය මහත්වූ වර්ෂාවක් මෙන් වහාම වැළැක්වූයේ වෙමි.

“තාගේ සිත්හි කුමක් උපන්නේද, තාගේ කුමක් නොමිදුනේද හෙවත් ප්‍රකාශ නොවීද, ජීවත්වන්නාවූ තොපගේ කුමක් නොමිදිනීද, ධූලිය මහත්වූ වර්ෂාවක් මෙන් කවරක්හු නුඹ වැළැක්වීද,

“උපන්නාවූ යමක් කරණකොටගෙණ දුක සොයන්නාවූ සතුරෝ සතුටු වෙද්ද, එබඳුවූ අඥානයන්ට ගොචරවූ ක්‍රොධයතෙම මාගේ සිත්හි උපනි. නොමිදුනේය.

“යමක්හු වනාහි උපදනා කල්හි ස්වාර්ථය නොදනීද, අඥානයන්ට ගොචරවූ ඒ ක්‍රොධය තෙම මාගේ සිත්හි උපනි. නොමිදුනේය.

“මහරජ, යම් ක්‍රොධයකින් මඩනාලද්දේ දශ කුශලයන් දුරුකෙරේද, මහත්වූද අර්ථය බැහැර කෙරේද, භයානකවූ ක්ලෙශ සංඛ්‍යාත සේනා ඇති බලවත්වූ ඒ ක්‍රොධය තෙම උදාර සත්වයන් පවා මඩින්නේය. හෙතෙම මා කෙරෙන් නොමිදුණීමය.

“දරදණ්ඩ ගටන කල්හි ගින්න වනාහි උපදනේය. ඒ ගින්න යමකින් උපදීද, ඒ දර දණ්ඩම හළු කෙරේ.

“එපරිද්දෙන් මදවූ නුවණ ඇති බාල භාවයෙන් යුක්තවූ කිසිවක් නොදන්නාවූ පුරුෂයාගේ උත්තර ප්‍රත්‍යුත්තර නම් එකට එක කීමෙන් ක්‍රොධය තෙම හටගනියි. හෙතෙමේද ඒ ක්‍රොධයෙන්ම දවනු ලැබේ.

“තණ කොළෙහිද දරෙහිද ගින්න මෙන් ක්‍රොධය තෙම යමෙකුට වැඬේද, ඔහුගේ යසස කරුවල පක්ෂයෙහි චන්ද්‍රයාමෙන් පිරිහෙන්නේය.

“යමෙකුගේ ක්‍රොධය තෙම දර නැත්තාවූ ගින්න මෙන් සංසිඳේද, ඔහුගේ යසස පුර පක්ෂයෙහි සඳ මෙන් පිරෙන්නේය.”

චූළබොධිජාතකං පඤ්චමං.