ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

10. දශක නිපාතය

444. කණ්හදීපායන ජාතකය

“පහන්වූ සිත් ඇති පින් කැමතිවූ මම සත් දවසක් බ්‍රහ්ම චර්යාවෙහි හැසුරුනෙම්ද, නැවත අන්‍යවූ මාගේ යම් මේ හැසිරීමක් ඇද්ද, මම යම් අධිකවූ පනස් අවුරුද්දක් ප්‍රව්‍රජ්‍යාව නොකැමැත්තේම යම් තපසක් කෙරෙම්ද, මේ සත්‍යයෙන් සුවයෙක් වේවා. විෂ නසන ලද්දේ වේවා. යඤ්ඤදත්ත කුමාරතෙම ජීවත්වේවා.

“කිසිකලෙක්හි මම යම්හෙයකින් දානයට සතුටු නොවීමද, ලැගුමට ආකල්හි ආගන්තුකයාද දැක සතුටු නොවීමද, බහුශ්‍රැතවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝද මාගේ අප්‍රිය බව දැන නොගත්තාහුද, මම වනාහි නොකැමැත්තේම දෙන්නෙම්ද, මේ සත්‍යයෙන් සුවයෙක් වේවා. විෂයතෙම නසන ලද්දේ වේවා, යඤ්ඤදත්ත තෙම ජීවත් වේවා.

“පුත්‍රය, මහත්වූ තේජස් ඇති යම් සත්වයෙක් තෙම තුඹසින් උඩට නැගී තා දෂ්ට කෙළේද, ඒ සර්පයා කෙරෙහිද තාගේ පියා කෙරෙහිද අද අප්‍රිය බැවින් මට කිසි විශේෂයෙක් නැත. මේ සත්‍යයෙන් සුවයෙක් වේවා, විෂයතෙම නසන ලද්දේ වේවා, යඤ්ඤ දත්ත තෙමේ ජීවත්වේවා.

“කෘෂ්ණයා හැර සෙසු ශාන්තවූද, තත්වූම ප්‍රව්‍රජ්‍යා නොකැමැති නොවන්නාහු පැවිදිවන්නාහුයි දීපායනයෙනි, කුමකට පිළිකුල් කරමින් නොකැමැත්තේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙහිද,

“කෙළතොලුවූ ඒකාන්තයෙන් අඥානවූ ඒ මෙතෙම ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම නැවත ඒ පිණිසම නැවතුණේය. යන කීමට පිළිකුල් කරන්නෙමි.

“නොකැමැත්තේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙමි. එතකුදු වුවත් ප්‍රව්‍රජ්‍යාවෙහි පින නුවණැත්තන් විසින් පසස්නා ලදී. සත්පුරුෂයන්ගේ ස්ථානයකැයි මෙසේද මම කුසල් කරන්නෙක් වෙමි.

“තෝ ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද මගින්ද භික්ෂුවද ආහාර පානයෙන් සන්තර්පණය කරව. කන බොන දෙයින් යුක්තවූ තොපගේ මේ ගෘහය සතරමං සන්ධියෙහි පැන් පොකුණක් වැනි වූවක්ද වන්නේය. නැවත කවර කීමකට පිළිකුල් කරමින් නොකැමැත්තේ මේ දානය දෙන්නෙහිද,

“මාගේ මවුපියෝද මුතුන්මිත්තෝද ශ්‍රද්ධා ඇත්තෝ වූහ, දානපතීවූහ. පිළිගන්නවුන්ගේ වචන දත්තෝවූහ. ඒ කුලපරම්පරාවෙන් ආ චාරිත්‍රය අනුව පවත්නාවූ මම මාගේ කුලයෙහි හීනවූ අන්තිමවූ කුලයෙහි බොල්වූවෙක් නොවෙම්වායි මේ කීමට පිළිකුල් කරමින් නොකැමැත්තේ මේ දානය දෙමි.

“මනා ශරීර ඇත්තිය, තරුණවූ කුමාරිවූ සමර්ථ නොවන්නාවූ ප්‍රඥා ඇති යම්බඳුවූ තීගේ නෑ සමූහයාගෙන් ගෙණායෙම්ද, ඒ තී වනාහි කාමයෙන් ජීවත්ව සෙසු උපස්ථානයෙන් මට අත්පා මෙහෙවර කරන්නීද අප්‍රිය බවක් මට නොදැන්වීය. පින්වතිය, එසේ ඇතිකල්හි කවර කරුණකින් මා සමග තිගේ සංවාසභාවය මෙබඳුවූයේ වීද,

“මේ අපගේ කුලයෙහි ඉතා දුර සිටම පුරුෂ පරම්පරාවක් නම් කිසිකලෙකත් නොම ඇත. ඒ කුලයෙහි වෘත්තිය අනුව පවත්නාවූ මම අන්තිම වූයෙම්ද, කුල බොල් වූයෙම්ද, නොවෙම්වායි මේ කීමට පිළිකුල් කරමින් නොකැමැත්තී තොපට පාදපරිචාරිකා වීමි.

“මණ්ඩව්‍යය, නොබිණිය යුතුවූ යමක් තොපට බිණීම්ද, මාගේ ඒ වචනය අද මේ පුත්‍රයා පිණිස ක්ෂමා කෙරේවා. මේ ලෝකයෙහි පුත්‍ර ප්‍රේමයට වැඩිවූ කිසිවක් නැත්තේය. අපගේ පුත්‍රවූ ඒ මේ යඤ්ඤදත්ත කුමාරතෙම ජීවත් වේවා.”

කණ්හදීපායනජාතකං ඡට්ඨං.