ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

10. දශක නිපාතය

445. නිග්‍රොධ ජාතකය

“නිග්‍රොධ රජ මම මොහු නොහඳුනමි. මේ කවරෙක්ද, කාගේ එකෙක්දැයි ශාඛයා යම්සේ කීයේද, එපරිද්දෙන් කිමෙක්ද, තොපිත් සිතව්ද,

“ශාඛයාගේ වචනය කරන්නාවූ පුරුෂයෝ මුඛප්‍රහාරයන් දී ඉන්පසු ගෙල අල්වා ගැන්මෙන් මාස පිටත දැමූහ.

“ජනාධිපතිය, තොපගේ යහළුවූ නුවණ නැත්තාවූ කළගුණ නොදන්නාවූ මිත්‍ර ද්‍රෝහීවූ ශාඛයා විසින් මෙබඳුවූ අකටයුත්තක් කරණ ලදී.

“යහළුව, තෝ මට යමක් කීයෙහිද, එය මම නොදනිමි. ශාඛයා විසින් කරණ ලද පීඩාව මට වනාහි කිසිවෙක් නොකීයේය.

“ඒ තෝ මටද ශාඛයාද යන මේ යහළුවන් දෙදෙනාට සමානව ජීවත්වීම සිදුකෙළෙහිය. අපට තෝ ඓශ්චර්ය දෙන්නෙහි මිනිසුන් අතරෙහි මහත් බවද සමෘද්ධියද තා කෙරෙන් ලබනලද්දෝ වීමු. මෙහිලා සැකයෙක් නැත.

“ගින්නෙහි බහාලු බීජයද යම්සේ දවාද, නොහටගණීද එපරිද්දෙන් අසත්පුරුෂයා කෙරෙහි කළ උපකාරය නස්නේය. නොකැඩෙන්නේය.

“සිල්වත්වූ ආර්යයන්ට බඳු පැවතුම් ඇති කෘතඥවූ ඒ පුරුෂයා කෙරෙහි කළ උපකාරය මනා කෙතෙහි බහාලු බිජුවට මෙන් නොනස්නේයි.

“අසත්පුරුෂ සිතිවිලි ඇති ලාමකවූ වඤ්චනිකවූ මේ ශාඛයා අඩයටි වලින් නසත්වා. මොහුගේ ජීවිතය නොකැමැත්තෙමි.

“මහරජ, අසත්පුරුෂවූ මොහුට ක්ෂමා කෙරේවා. මළහුගේ ප්‍රාණයෝ නැවත ගෙන්විය නොහැකි වෙත්. දෙවයෙනි, ක්ෂමා කරව. මොහුගේ වධය මම නොකැමැත්තෙමි.

“න්‍යග්‍රොධයාම සෙවනය කරන්නේය. ශාඛයා වෙත නොමියන්නේය. ඉදින් ශාඛයා කෙරෙහි යම් ජීවත්වීමක් වේද, එයට වඩා නිග්‍රෝධයා කෙරෙහි මියයාම උතුම්වේ.”

නිග්‍රොධජාතකං සත්තමං.