ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

10. දශක නිපාතය

449. මට්ටකුණ්ඩලී ජාතකය

“සැරසුනාවූ මට කොඩොල් ඇති මල් දරන්නාවූ රන්වන් සඳුන් ගැල්වූ තෝ මේ වනමැද කුමකට දුක්වූයේ හිස අත්බැඳගෙණ හඬන්නෙහිද?

“ස්වර්ණමයවූ බබළන්නාවූ රියකූඩුවක් මට ලැබුනේය. එයට රෝද දෙකක් නොලබමි. ඒ දුකින් ජීවිතය හරිමි.

“ස්වර්ණමයවූ, මාණික්‍යමයවූ, ලෝභමයවූ නැවත රජතමයවූ රථයක් තට කරන්නෙමි. කියව, ඒ චක්‍ර යුග්මය තට ලබාදෙමි.

“ඒ මානවකතෙම ඔහුට මෙසේ කීය. මාගේ රථය තෙම ස්වර්ණමය විය. මෙහිලා බබළන්නාවූ සඳහිරු දෙදෙන වෙත්. ඒ චක්‍ර යුග්මයෙන් මාගේ රථය සොභමානවේ.

“මානවකය, තෝ වනාහි අඥානයෙහිය යම්බඳු තෝ නොපැතිය යුත්තක් පතන්නෙහිද, එහෙයිනි තෝ මිය යන්නෙහියයි සිතමි. තෝ සඳහිරු දෙදෙන නොලබන්නෙහිය.

“ගමනාගමනයද වර්ණධාතුවද මේ අහසෙහි උභය වීථිහුද දක්නා ලැබේ. පරලොව ගිය තැනැත්තේ වනාහි නොම දක්නා ලැබේ. හඬන්නාවූ අප දෙදෙනා අතුරෙන් කවරෙක් වනාහි අතිශයින් අඥානවේද?

“මානවකය, සැබවක්ම කීයෙහිය. හඬන්නාවූ අප දෙදෙනාගෙන් මමම ඉතා අඥානවෙමි. චන්ද්‍රයා ඉල්වා අඬන්නාවූ ළදරුවෙකු මෙන් කළුරිය කළ පරලොව ගියහු ප්‍රාර්ථනා කරමි. එහෙයින් සැබවක්ම කීයෙහිය.

“ගිතෙල් ඉසින ලද්දාවූ ගින්නක් මෙන් ශොකාග්නියෙන් ඇවිල ගත්තාවූ මා ඒකාන්තයෙන් ජලයෙන් ඉසින ලද්දක් මෙන් සියලු පීඩා නිවූයේය.

“ශොකයෙන් පෙළුනාවූ මාගේ පුත්‍ර ශොකය යමෙක් දුරු කෙළේද, හෙතෙම මාගේ හෘදයෙහි පැවැත්තාවු යම් ශොක නොමැති හුලක් වීද, ඒ හුල ඒකාන්තයෙන් උදුරා දැමීය.

මට්ඨකුණ්ඩලීජාතකං එකාදසමං.