ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

10. දශක නිපාතය

450. බිළාරකොසිය ජාතකය

“නොපිසන්නාවූද සත්පුරුෂයෝ භෝජනය ලැබ දෙනු කැමතිවෙත්. තෝ වනාහි කිමෙක්ද, පිසන්නේ යම් හෙයකින් නොදෙන්නේ නම් එය සුදුසු නොවේ.

“මසුරුකමින්ද ප්‍රමාදයෙන්ද මෙසේ දානය නොදෙනු ලැබේ. පින කැමතිවන්නාවූ නුවණැත්තහු විසින් දිය යුතුවේ.

“යමකට බියපත්වූ මසුරු පුද්ගලයා නොදේද, නොදෙන්නාහුට ඒ භයම වන්නේය. මසුරු තැනැත්තේ සාදුකද පිපාසාවද යන යමකට බියවේද, එයම අඥානයා මෙලෙව්හිද පරලෙව්හිද ස්පර්ශ කෙරේ.

“එහෙයින් මසුරු මළ මැඩපවත්වන්නේ මසුරු බව දුරුකොට දානය දෙන්නේය. කරණලද පින් පරලෙව්හි ප්‍රාණීන්ට පිහිට වෙත්.

“දීමට දුෂ්කරවූ දානය දෙන්නවුන්ගේ දුෂ්කරවූ කර්මය කරන්නවුන්ගේ ප්‍රතිපත්තියට අසත් පුරුෂයෝ අනුව කටයුතු කරන්නෝ නොවෙති. එසේමැයි සත්පුරුෂයන්ගේ ධර්මය තෙම අනුව පවත්නට නොපිළිවනි.

“එහෙයින් සත්පුරුෂයන්ගේද, පරලොව ගතිය මෙයින් වෙනස්වේ. එසේමැයි. අසත්පුරුෂයෝ නරකයට යෙති. සත්පුරුෂයෝ දෙව්ලොවට යන්නාහ.

“සමහරු මද වස්තුවක් ඇතිකල්හිද දන්දෙත්. සමහර කෙනෙක් ඇත්තාවූ බොහෝ වස්තුවෙන්ද නොදෙන්නාහ. මදකිනුදු දෙන ලද දක්ෂිණාතොමෝ දහසක් පමණ දීම හා ප්‍රමාණ කරණලද්දී සමවේ.

“යමෙක් වනාහි අඹුදරුවන්ද රකිමින් ස්වල්පවූ දෙය්‍ය ධර්මය දෙමින් සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේවී නම් පිඬු සිඟා යාමද හැසිරෙන්නේ නම් දහසක් යාග ඇත්තාවූ ලක්ෂයක් ඇති නමුත් ඒ යාගයෝ එබඳු දැහැමින් සොයා දන් දෙන්නාවූ දුගියාගේ දානයෙහි සොළොස්වැනි කොටසද නොඅගිත්.

“මහත්වූ මහත් වටිනාකම ඇත්තාවූ මේ දාන සංඛ්‍යාත යාගයතෙම දැහැමින් සෙමෙන් දුන් දානයට වඩා කවරහෙයින් අගනා බවට නොයේද, දහසක් යාග ඇත්තාවූ ඒ ලක්ෂයක් දෙන එබඳු වූවහුගේ කොටසකට කෙසේ නොඅගනාහුද,

“විෂමවූ කාය කර්මාදියෙහි පිහිටියාවූ සමහර කෙනෙක් අනුන්ට පීඩාකොට අනුන් නසා තවද අනුන් ශොක කරවා දෙන්නාහුද, කඳුළු මුහුණු ඇති දඬුවම් සහිතවූ ඒ දක්ෂිණාතොමෝ දැහැමින් සෙමෙන් දුන් පුද්ගලයාගේ සමබවට නොපැමිණේ. මෙසේ දහස් ගණන් යාග ඇත්තාවූ ලක්ෂයක් ඒ පුරුෂයෝ එබඳුවූ තැනැත්තාගේ සොළොස් වෙනි කලාවටද නො අගිත්.”

බිලාරකොසියජාතකං ද්වාදසමං.