ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

10. දශක නිපාතය

452. භූරිපඤ්ඤ ජාතකය

“බොහෝ ප්‍රඥා ඇත්ත, නුඹ මාළු නැත්තාවූ යව සාලේ බත අනුභව කෙරෙහිද, එසේ වූ විපතට පැමිණියාවූ නුඹ එබඳු ශ්‍රී තොමෝද ධෛර්යයද ස්මෘතියද රක්ෂා නොකෙරේ. එහෙයින් එය සැබෑවිල.

“මම දුකින් පුරාතන සැපය වඩන්නෙම් කාලය හා අකාලය සොයන්නෙම් මාගේ කැමැත්තෙන් සැඟවුනේ අභිවෘද්ධියට ද්වාරයන් විවෘත කරන්නේ වෙම්ද, ඒ කාරණයෙන් යවසාලේ බතින් සතුටුවෙමි.

“උත්සාහ කිරීමට කාලය දැන නුවණින් අර්ථය වඩා සිංහ විජාම්භනයෙන් විජාම්භනය කෙරෙමි. නැවතද ඒ සමෘද්ධියෙන් යුක්තවූ මා දක්නෙහිය.

“සුවපත්වූ සමහරු වනාහී පව් නොකෙරෙත්. නැවත අපකීර්තිය හා එක්වන භයින් පව් නොකෙරෙත්. නුඹවනාහි ප්‍රබලවූයේම බොහෝවූ කරුණු සිතන්නේ මට කවර කරුණකින් දුකක් නොකෙරෙහිද,

“පණ්ඩිතයෝ තමහට සුව සඳහා පව්කම් නොකෙරෙත්. කායික චෛතසික දුකින් පෙළුනාවූ විපතට පැමිණියාහුද, ඡන්දයෙන් ද ද්වෙෂයෙන්ද ධර්මය අත්නොහරිත්.”

“මොළොක්වූද, දරුණුවූද, යම්කිසි කාරණයකින් බැගෑවූ තමා නගාසිටුවන්නේය. එසේ සිට පසුව සුචරිත ධර්මයෙහි හැසිරෙන්නේය.

“යම් ගසක්හුගේ සෙවෙනෙහි හුන්නේ වීනම් හෝ ශයනය කෙළේනම් හෝ ඒ වෘක්ෂයාගේ ශාඛාවක් නොබිඳින්නේය. කුමක් හෙයින්දයත්, බිඳුනේවී නම් ඒ පවිටුතෙම මිත්‍රද්‍රෝහියාමවේ.

“මනුෂ්‍යතෙම යමෙකුගේ වනාහි ධර්මය දන්නේද, යම් සත්පුරුෂ කෙනෙක් මොහුගේ සැකය දුරුකෙරෙද්ද, එයම මොහුට පිහිටදවේ. පිළිසරණදවේ. එහෙයින් ඒ ගුරුවරයා සමග මිත්‍ර බව නුවණැත්තේ නොදිරවන්නේය.

“ගෘහස්ථතෙම කම් සැප අනුභවකරන්නේ අලසවීනම් යහපත් නොවේ. පැවිදිතෙම සංයම නැත්තේනම් යහපත් නොවේ. රජතෙම පරීක්ෂාකාරි නොවේ නම් යහපත් නොවේ. යම් පණ්ඩිතයෙක් කිපෙනසුළු වී නම් හෙතෙම යහපත් නොවේ.

“ක්ෂත්‍රියතෙම කරුණු විමසා කරන්නේය. රජ තෙම නොවිමසා නොකරන්නේය. කුමක්හෙයින්දයත්, රාජය, විමසා කටයුතු කරන්නහුගේ යශසද, කීර්තියද වැඬේ.

භූරිපඤ්ඤජාතකං චුද්දසමං.