ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

10. දශක නිපාතය

453. මහාමංගල ජාතකය

“මනුෂ්‍යතෙම මංගල ප්‍රාර්ථනා කාලයෙහි කුමක් නම් ජපකරන්නේ කවර නම් වේදයක් හෝ ශ්‍රැතයන් අතුරෙන් කවරක් හෝ හදාරා ඒ මංගලාර්ථ පුරුෂතෙම මේ ලෙව්හිද, පරලෙව්හිද, කෙසේ කරන්නේ මංගලයෙන් රක්නාලද්දෙක් වන්නේද,

“සියලු දෙවියෝද, බ්‍රහ්මයෝද, සියලු දීර්ඝ ජාතීහුද, සියලු සත්වයෝද, යන මොහු යමක්හුගේ මෛත්‍රී සිතින් පුදන ලද්දාහු වෙද්ද, එය සියලු භූතයන් කෙරෙහි මිනිසුන්ට මංගල නම් වෙයි කියත්.

“යමෙක් සියලු ලෝකයහට යටත් පැවතුම් ඇත්තේ බාලයන් සහිතවූ ස්ත්‍රී පුරුෂයන්ගේ නපුරුකොට කියනලද වචනයන් ඉවසන්නේද, නොපිළිකුල් වචන ඇත්තේද? ඒ ඉවසීම පුරුෂයා හට නිරපරාධවූ මංගලයයි කියත්.

“යමෙක් තෙම යහළු මිත්‍රයන් කෙරෙහිද ශිල්පයෙන් හෝ කුලවත් බැවින් හෝ වස්තුවෙන් හෝ ජාතියෙන් හෝ අවමන් නොකෙරේද? යහපත් ප්‍රඥා ඇත්තේ වැඩට සුදුසු කාලයෙහි ස්මෘති ඇත්තේ වේද, යහළුවන් කෙරෙහි ඒ නින්දා නොකිරීම ඕහට මංගලයයි කියත්.

“නොරැවටීම් ඇති යමෙක්හට සත්පුරුෂයෝ ඒකාන්තයෙන් මිත්‍ර වෙද්ද, ඉතාම විශ්වාස වෙද්ද, එසේම මිත්‍ර ද්‍රෝහී නොවේද, වස්තුවෙන් බෙදීම ඇති ඔහුට මිත්‍රයන් අතුරෙහි ලැබිය යුතුවූ ඒ විශ්වාසය මංගලයයි කියත්.

“යමෙක්හුගේ භාර්යාව සමවූ වයස් ඇත්තීද, සමගි වූවාද, අනුව පවත්නීද, සුචරිත ධර්මයන් කැමැත්තීද, දරුවන් ඇත්තීද, කුලවත්වීද, පතීව්‍රතා ඇත්තීද, එබඳු අඹුවන් කෙරෙහි ඒ සුවපත් භාවයයි කියත්.

“ජනාධිපතිවූ යශස් ඇත්තාවු රජතෙම යමක්හුගේ පවිත්‍ර බවද වික්‍රමයද දනීද, මට සුහෘදයයි නොවෙනස් බැවින් දනීද, රජුන් කෙරෙහිලා ඒකාන්තයෙන් එය මංගලයයි කියත්.

“සැදැහැ ඇත්තේ ප්‍රසන්න සිත් ඇත්තේ සතුටු වෙමින් ආහාරයද පානයද සුවඳද මල්ද දෙන්නේ නම් එය ස්වර්ගයන්හි ඒකාන්තයෙන් ස්වස්ථානයයි කියත්.

“ඥාන වෘද්ධවූ යහපත් ප්‍රතිපත්තියෙන් ආරාධනා කරණ ලද්දාවූ සත්පුරුෂවූ බහුශ්‍රැතවූ සිල්වත්වූ ඍෂිහු යමක්හු උතුම් ධර්මයෙන් පවිත්‍ර කෙරෙත්නම් එය රහතුන් මැදවිය යුතුවූ ස්වස්ථානයයි කියත්.

“මෙකී මංගලයෝම ලෝකයෙහි නුවණැත්තන් විසින් පසස්නා ලදහ. සුවවැඩීමට කාරණයහ. එහෙයින් ප්‍රඥා සහිතවූ මනුෂ්‍යතෙම මෙහිලා ඒ මංගලයන්ම සෙවනය කරන්නේය. මෙයින් පිටත් දෘෂ්ට මංගලයන්ගෙන් සත්‍යවූ කිසිවක් නොම ඇත්තේය.

මහාමඞ්ගලජාතකං පන්නරසමං.