ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

10. දශක නිපාතය

454. ඝත ජාතකය

“කණ්හය, නැගී සිටුව, කුමට වැද හොවීද, නුඹ නිදීමෙන් කවර වැඩෙක්ද, කේශවය, නුඹගේ හෘදය වැනිවූ දකුණු ඇස වැනිවූ ඝත නම්වූ යම් ස්වකීය සහෝදරයෙක් ඇද්ද, ඔහුගේ හෘදය අපස්මාර වාතයෝ බලකෙරෙත්. හෙතෙම නැවත නැවත කියයි. හෙවත් සාවා මට දෙවයි කියා නන් දොඩයි.

ඒ රෝහණෙය්‍ය නැමැත්තහුගේ ඒ වචනය අසා යුහුසුළු ස්වභාව ඇති කෙශවතෙම භාතෘ ශොකයෙන් පෙළුනේ නැඟී සිටියේය.

“කිමෙක්ද, උමතුවූවෙකු මෙන් මේ සියලු ද්වාරවතී නුවර ඇවිදිනෙහි සාවාය සාවායයි දොඩවන්නෙහිය. කවරෙක් වනාහි තොපගේ සාවා හැර ගත්තේද?

“ස්වර්ණමයවූද මැණික්මුවාවූද ලෝහමයවූද තවද රජතමයවූද සංඛමයවූද සිලාමයවූද ප්‍රවාළමයවූද, සාවෙකු තට කරවන්නෙමි. නොහොත් වනයෙහි වසන්නාවූ මෙයින් අන්‍යවූද සාවෝ ඇත්තාහ. තට ඒ සාවුන්ද ගෙණ දෙන්නෙමි. තෝ වනාහි කෙබඳුවූ සාවෙකු කැමැත්තෙහිද කෙශවය, යම් සා කෙනෙක් පොළොව ඇසුරු කළාහුද ඔවුන් මම නොකැමැත්තෙමි. චන්ද්‍රයා කෙරෙන් සාවා කැමැත්තෙමි. ඒ සාවා මට හැරගෙණ දෙව.

“ප්‍රිය ඤාතිය, යමෙක් නොපැතිය යුත්තක් පතන්නෙහිද, චන්ද්‍රයා කෙරෙන් සාවා කැමැත්තෙහිද, ඒ තෝ ඒකාන්තයෙන් මධුරවූ ජීවිතය හරින්නෙහිය.

“කණ්හය, ඉදින් මෙසේ දන්නෙහි වීනම් යම් අනිකෙකුට අනුශාසනා කරන්නෙහි නම් කවර හෙයකින් පෙර මළාවූ පුත්‍රයාට අදත් ශොක කෙරෙහිද?

“මාගේ උපන්නාවූ පුත්‍රතෙම නැවත නොමියේවායි මිනිසෙකු විසින් හෝ නොමිනිසෙකු විසින් යම් හෙයකින් නොලැබිය හැක්කේද එහෙයින් ලැබිය නොහැකි දෙයක් කොයින් ලැබෙන්නේද,

“කණ්හය, පරලොව ගියාවූ යමෙකු අනුව ශොක කෙරෙහිද, ඒ පුත්‍රයා මන්ත්‍රයකින් හෝ මුල් බෙහෙතකින් හෝ අන් ඖෂධවලින් හෝ වස්තුවෙන් හෝ ගෙණෙන්නට නොපිළිවනි.

“ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් ඇවිලගත්තාවූ මා ඒකාන්තයෙන් දිය ඉසිනලද්දාක් මෙන් සියලු පීඩාව නිවූයේය.

“යමෙක් තෙම ශොකයෙන් පෙළුනාවූ මාගේ පුත්‍ර ශොකය දුරුකෙළේද, හෙතෙම මාගේ හෘදය ඇසුරුකළාවූ යමක්වීද, මාගේ ඒ ශොක නමැති හුල ඒකාන්තයෙන් ඇද දැමීය.

“මානවකය, ඔබගේ වචනය අසා ඒ මම උදුරා දැමූ ශොක නමැති හුල් ඇත්තේ පහව ගියාවූ ශොක ඇත්තේ නොකැළඹුනු සිත් ඇත්තේ වෙමි. ශොක නොකරමි. නොහඬමි.

“යම්කෙනෙක් අනුකම්පා ඇත්තාහු වෙද්ද, වැඩිමහළු සොහොයුරා ඝතයා මෙන් ශොකයෙන් වළක්වත්ද, එබඳුවූ ප්‍රඥා සම්පන්නවූ ඔව්හු මෙසේ කෙරෙත්.”

ඝටපණ්ඩිතජාතකං සොළසමං.

දසකනිපාතං නිට්ඨිතං.