ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

11. එකදස නිපාතය

455. මාතුපොසක ජාතකය

“ඒ මාගේ පුත්‍රවූ හස්ති රාජයාගේ වෙන්වීමෙන් ඉඳුසල්ගස්ද හෙවත් ඇඹැල්ල ගස්ද කෙළිඳ ගස්ද කුරුඳුගස්ද ඉළුක් ආදී මහ තෘණද නෙළුම්ද බොඩහමුද යන සියල්ල වැඩුනාහුය. පර්වත පාදයෙහි කිණිහිරි ගස්ද පිපුනාහුය.

“කිසියම් තැනෙක ස්වර්ණාභරණයෙන් යුක්තවූවෝ හස්තිරාජයා ආහාරයෙන් පොෂණය කෙරෙත්. යම් ඇතෙකු පිට රජද රජ කුමරෙක්ද හිඳ භය නැතිව සතුරන්ගේ යුද්ධ සැට්ටය බිඳින්නේද, (ඒ හස්තිරාජයායි.)

“හස්තිරාජය, ආහාරය ගනුව. හෙවත් අනුභව කරව. හස්ති රාජය, කාශවූවෙක් නොවෙව. හස්තිරාජය රාජකෘත්‍යයෝ බොහෝ වෙත්. ඒ රාජකෘත්‍යයන් කරව.

“ඒකාන්තයෙන් බැගෑපත්වූ අන්ධවූ පිළිසරණක් නැත්තාවූ ඒ මේ මාගේ මව් ඇතින්න චණ්ඩොරණ පර්වතය දිශාවට පාදයෙන් යමින් කණුව ගවයි.

“මහා හස්තිය. අන්ධවූ පමුණුවන්නෙකු නැත්තාවූ යම් ඇතින්නක් චණ්ඩොරණ පර්වතයට යමින් පාදයෙන් කණු ගටයිද, ඕතොමෝ තාගේ කවරක් වන්නීද,

“මහරජ, අන්ධවූ පිරිනමන්නෙක් නැත්තාවූ මාගේ මවු වූ ඕතොමෝ චණ්ඩෝරණ පර්වතයට අභිමුඛව කම්පා වෙමින් පයින් කණු ගටන්නීය.

“යම් මේ හස්තියෙක්තෙම මව පොෂ්‍ය කෙරේද, මේ හස්තිරාජයා මුදාහරිව්. හස්තිතෙම සියලු නෑයන් සමග මව හා එක්වේවා.

“හස්තිතෙම බන්ධනයෙන් මිදුනේද කුඤ්ජරතෙම දාමයෙන් මිදුනේ මොහොතක් කල් අස්වැසීමකොට චණ්ඩෝරණ පර්වතය යම් තැනෙක්හිද එහි ගියේය.

“ඉක්බිත්තෙන් ඒ හස්තිතෙම සිහිල්වූ දිය ඇති ඇතුන් විසින් සේවනය කරණ ලද විලට ගොස් සොඬින් දිය ගෙණ මවට ඉස්සේය.

“මේ කිනම් නුසුදුසු වර්ෂාවෙක් නොකල්හි වස්නේද, යමෙක් මට උපස්ථායකවූයේද, ස්වකීය පුත්වූ මාගේ ඒ පුත්‍රතෙම ගියේය.

“මෑණියෙනි, නැගී සිටුව. කුමට හෝනෙහිද නුඹගේ පුත්‍රවූ මම ආයේ වෙමි. වේදේහවූ යස පිරිවර ඇත්තාවූ කශී රජහු විසින් මම මුදන ලද්දේ වෙමි.

“යමෙක්තෙම හැමකල්හි වැඩිහිටියන් පුදන්නාවූ මාගේ පුත්‍රයා මුදාහැරියේද, කශීරට වැස්සන්ගේ රට දියුණු කරන්නාවූ ඒ රජතෙම බොහෝ කලක් ජීවත්වේවා.”

මාතුපොසකජාතකං පඨමං.