ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

11. එකදස නිපාතය

456. ජුණ්හ ජාතකය

“ජනප්‍රධානවූ මහරජ, මාගේ වචනය ඇසුව මැනව. ජුණ්හවූ ඔබවහන්සේ කෙරෙහි එක් අර්ථයක් සඳහා මෙහි පැමිණියේ වෙමි. දෙපා ඇත්තවුන් අතුරෙහි ශ්‍රෙෂ්ඨවූ මහරජ්ජුරුවන් වහන්ස, බ්‍රාහ්මණයන්ද මගීන්ද පැමිණ සිටින කල්හි ඔවුන් නොබලා නොයායුතුයයි කියත්.

“බ්‍රාහ්මණය, තොපගේ වචනය අසමි. සිටිමි කියව. යම් අර්ථයකින් මෙහි පැමිණියෙහිද, බ්‍රාහ්මණය, මා කෙරෙහි කුමක් හෝ පතන්නේ කුමක් සඳහා මෙහි ආයෙහිද, එසේ නම් එය කියව.

“මට ගම්වර පසක්ද දාසීන් සියයක්ද ගවයන් සත් සියයක්ද දහසකින් වැඩිවූ ස්වර්ණ නිෂ්කයන්ද (නිෂ්කය නම් පස්විසි කළඳයි) දුනමැනව. මට සදෘශභාවය ඇත්තාවූ භාර්යාවන් දෙදෙනෙක්ද දුනමැනව.

“බ්‍රාහ්මණය, තාගේ බලවත් ස්වරූපවූ තපසක් ඇත්තේද නොහොත් බමුණ තාගේ විසිතුරුවූ මන්ත්‍රයෝ ඇද්ද නොහොත් තාගේ කීකරුවූ යම් යක්ෂ කෙනෙක් ඇද්ද, නොහොත් මට තා විසින් කරණ ලද යම් අර්ථයක් හෝ දන්නෙහිදැයි ඇසීය.

“මාගේ තපසෙක් නැත්තේය. මන්ත්‍රයෝද නොමැත. මාගේ කීම කරන්නාවූ කිසියම් යක්ෂ කෙනෙක්ද නැත. ඔබට මා විසින් කරණ ලද අර්ථයකුදු නොදනිමි. පූර්වයෙහි වනාහි සමාගමය පමණක් විය.

“දන්නාවූ මාගේ මේ පළමු දැක්මවේ. මෙයින් පෙර තා නොහඳුනමි. කවර කලෙක්හි කොතැනක හෝ අපගේ සංගමයවීද, මේ කාරණය විචාරණ ලද්දේ මට කියව.

“දෙවයන්වහන්ස, ගන්ධාර රජහුගේ රම්‍යවූ තක්සලා පුරයෙහි විසූයෙමු. එහිදී ඝනාන්ධකාරවූ රාත්‍රියෙහි අන්ධකාරයෙහි අංසයෙන් අංසය ගැටීම කෙළෙමු.

“ජනෙන්ද්‍රය, ඒ අපි දෙදෙන එහි සිට එතැනදීම සිහිකළයුතු කථාවක් කොට නිමවූයෙමු. අපගේ ඒ සමාගමය පමණක්විය. ඉන්පසුවද සමාගමයෙක් නොවීය. ඉන් පෙරද නොවූයේය.

“බ්‍රාහ්මණය, යම්කිසි කලෙක්හි මිනිසුන් අතුරෙහි සත්පුරුෂයකු හා සමාගමය වේද, පණ්ඩිතයෝ ඒ මොහොතක් කළ සමාගමය හෝ බොහෝ කල් කළ සන්ථවයන් හෝ පෙර කළ ගුණයක් හෝ නොනසත්.

“අඥානයෝද වනාහි මොහොතක් කල් කළ සංගමය හෝ බොහෝකල් කළ මිත්‍ර සන්ථවයන් හෝ පෙර කළ ගුණය හෝ නසත්. ප්‍රාඥයා කෙරෙහි මනාකෙට කරණලද ස්වල්පවූද ගුණධර්මය නොනැසේ. ඒ එසේමය. ප්‍රාඥයෝ මනා කළගුණ දන්නා ස්වභාව ඇත්තෝ වෙත්.

“තට ගම්වර පසක්ද දාසීන් සියයක්ද ගවයන් සත් සියයක්ද දහසකින් වැඩිවූ ස්වර්ණ නිෂ්කයන්ද දෙමි. තට කුල රූපාදියෙන් සමානවූ භාර්යාවන් දෙදෙනෙක්ද දෙමි.

“මහරජ, සත්පුරුෂයන්ගේ සංගමයට පැමිණ මෙසේ වෙයි. කශී රටට අධිපතිවූ රජතෙමේ තාරකාවන්ගේ මැද චන්ද්‍රයා මෙන් සම්පූර්ණ වන්නේය. නුඹවහන්සේ හා සමග අද සංගමය ලද්දාවූ මමද එසේමයයි” කීයේය.

ජුණ්හජාතකං දුතියං.