ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

11. එකදස නිපාතය

457. ධම්ම දෙවපුත්ත ජාතකය

මම දෙවි මිනිසුන්ට යශස් ඇතිකරන්නෙක්වෙමි. පින් කරන්නෙක් වෙමි. මහණ බමුණන් අතර හැමකල්හි ස්තුතිලද්දෙක් වෙමි. මාර්ගය ලැබීමට සුදුස්සෙක් වෙමි. දෙවි මිනිසුන් විසින් පුදනලද්දෙක් වෙමි. අධර්ම නම් දිව්‍යපුත්‍රය, මම ධර්ම නම් දිව්‍ය පුත්‍රයා වෙමි. එහෙයින් මට මාර්ගය දෙව.

“ධර්ම නම් දිව්‍යපුත්‍රය, ඒ මම අධර්ම නම් දිව්‍ය පුත්‍ර වෙමි. මම දැඩිවූ අධර්ම නම් යානාවට නැගී තැතිගැන්මක් නැත්තෙම් බලවත්වූයෙම් කුමක් හේතුකොටගෙණ යහළුව අද මම කිසිවෙකුට නුදුන්විරූ මාර්ගය තට දෙම්ද,

පළමුකොට ඒකාන්තයෙන් ලෝකයෙහි දශ කුශල කර්මපථ ධර්මයතෙම පහළවූයේය. ඉන්පසුව අධර්මය තෙම පහළවිය. එහෙයින් ජ්‍යෙෂ්ඨවූයේද ශ්‍රෙෂ්ඨවූයේද පුරාතන වූයේද ධර්මය වෙයි. කණිෂ්ඨවූ අධර්ම දිව්‍ය පුත්‍රය, වැඩිමහළුවූ ධර්ම දිව්‍ය පුත්‍රවූ මාගේ මාර්ගයෙන් ඉවත්ව යව.

“මම තොපට ඉල්වීම නිසා මාර්ගය දෙන්නෙම් නම් නුසුදුසු වේ. සුදුසු වචන කීමෙන් හෝ මාර්ග ලැබීමට සුදුසු බැවින් හෝ දෙන්ට යොග්‍ය නොවේ. අද අප දෙදෙනාගේ යුද්ධයද වේ. යුද්ධයෙහි යමෙක් දිනන්නේද, ඔහුට මාර්ගය වේ.

“මම සියලු දිශාවන් අනුව පැතුරුනේ වෙමි. මහත් බල ඇත්තාවූ අප්‍රමාණ යශස් ඇත්තාවූ සමානයෙක් නැත්තාවූ සියලු ගුණයන්ගෙන් යුක්තවූ ධර්ම නම් දිව්‍යපුත්‍රයා වෙමි. අධර්ම නම් දිව්‍යපුත්‍රය, තෝ කෙසේ ජය ගන්නෙහිද,

“ඒකාන්තයෙන් අයොමය මිටියෙන් ස්වර්ණය නසයි. ස්වර්ණයෙන් ලෝහය හෙවත් යකඩය නොනසත්. මාගේ ඒ අධර්මයතෙම අද තොපගේ ධර්මය බිඳියි. කුමක් මෙන්දයත්, දර්ශනීයවූ ස්වර්ණය බිඳින්නාවූ අයෝමය මිටිය මෙනි.

“අධර්ම නම් දිව්‍ය පුත්‍රය, ඉදින් තෝ යුද්ධය බලකොට ඇත්තෙහි නම් තට වැඩිහිටියෝද ගරුකටයුත්තෝද නැත. එසේවූ තට මාර්ගයද දෙන්නාවූ ප්‍රිය අප්‍රිය දෙදෙනෙකු කෙරෙන් ප්‍රියයෙකු විසින් මෙන් දෙමි. තාගේ නපුරුකොට කියනලද වචනයන්ද ඉවසමි.

“අධර්ම දිව්‍යපුත්‍රතෙම මේ වචනයද අසා ඉදින් යුද කැමැත්තේ නමුත් යුද්ධය නොලබමියි වැළපෙමින් හිස යටිකුරු වූයේ පා උඩුකුරු වූයේ වැටුනේය. මෙපමණකින් අධර්ම දිව්‍යපුත්‍රතෙම නටුයේ වෙයි. (පෘථිවි විවරයෙන් අවිචි මහනරකයට බටුයේය.)

“යුද්ධ බලය ජයගෙණ අධර්ම, දිව්‍යපුත්‍රයා නසා පොළොවෙහි හෙළා මහත්වූ බල ඇති සත්‍යයම පරාක්‍රමකොට ඇති ක්ෂාන්ති බලයෙන් යුක්තවූ දිව්‍යපුත්‍රතෙම හටගත් සතුටු සිත් ඇත්තේ දිව්‍ය රථයට නැගී මාර්ගයෙන්ම ගියේය.

“මව්පියෝද, මහණ බමුණෝද, යමක්හු ස්වකීය ගෘහයෙහි සත්කාර නොකරණලද්දාහුද, මේ ලෝකයෙහිම ශරීර සංඛ්‍යාතවූ දෙහය බහා ඔහු තුමූ අධර්ම දිව්‍යපුත්‍රතෙම හිස යටිකුරුව යම්සේ නරකයෙහි වැටුනේද, එපරිද්දෙන් ශරීරයාගේ භෙදයෙන් නරකයට පැමිණෙත්.

“මව්පියෝද, මහණ බමුණෝද යමක්හුගේ ස්වකීය ගෘහයෙහි මනාකොට සත්කාර කරණ ලද්දාහුද, මෙහිම ශරීර සංඛ්‍යාත දේහය බහා ඔහුතුමූ ධර්ම නම් දිව්‍යපුත්‍රතෙම දිව්‍ය රථයට නැගී යම්සේ ගියේද, එපරිද්දෙන් ශරීරයාගේ භෙදයෙන් සුගතියට පැමිණෙත්.”

ධම්මදෙවපුත්තජාතකං තතියං.