ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

11. එකදස නිපාතය

458. උදයභද්ද ජාතකය

“පිරිසුදුවූ වස්ත්‍ර හැඳි මනා දෙවටොර ඇති, නින්දා නොකටයුතු ශරීර අවයව ඇති කිඳුරන්ගේ නෙත් වැනි ඇස් ඇත්තිය තී ප්‍රාසාදයට නැග හුදකලාව හිඳිනෙහි මේ එකරැය, මේ සැරසූ යහන මැද අපි දෙදෙන වාසය කරමුයි තිට යාඥා කරමි.

“ප්‍රවිෂ්ටවන්ට නොහැකිවූ මේ පුරය අතරතුර දිය අගලින් ගැවසීගත්තේය. දැඩිවූ අටළු දොරකොටුවලින් යුක්තය. කඩුගත් අත් ඇත්තවුන් විසින් රක්නාලදී.

“ළදරුවෙකුටද යුද්ධ භටයෙකුටද මෙහි පැමිණීමෙක්ද නැත්තේය. එකල්හි කවර කරුණකින් නුඹවහන්සේ මා හා එක්වීම කැමැත්තෙහිද,

“සුන්දරිය, මම එක් දිව්‍යපුත්‍රයෙක් වෙමි. තීගේ සමීපයට දිව්‍යානුභාවයෙන් ආයේ වෙමි. තිට යහපතක් වේවා තී මා අද සතුටුකරව, තිට රන් මසු පිරූ තලිය දෙමි.

“මහත් ආනුභව ඇති යක්ෂය, උදය රජු ඉක්මවා අන්‍යවූදෙවියෙකු හෝ මනුෂ්‍යයෙකු හෝ යක්ෂයෙකු හෝ මම ප්‍රාර්ථනා නොකරමි. නුඹ යව, ගොස් නැවතද නොඑවයි කීය.

“සොඳුර, කාමභෝගී සත්වයන්ගේ යම් ඇල්මක් ඇද්ද, එය උතුම් වන්නීය. යමක් හේතුකොටගෙණ සත්වයෝ විෂමව හැසිරෙද්ද, මනා හසිතයෙන් යුක්තවූ සොඳුර, ඒ කාමරතිය තී නොනසව, තිට රත්‍රං පිරූ රිදී තළියක් දෙමි.

“පුරුෂතෙමේ ස්ත්‍රිය ධනයෙන් සිත්ගන්නේ යමක කෙරෙහි ආලය කෙරේද, ඈ උසස් කෙරෙයි. දෙවය, ඔබගේ ස්වභාව ධර්මය ඊට විරුද්ධවේ. ප්‍රත්‍යක්ෂයෙන් ඉතා ස්වල්ප ධනයකින් යුක්තව ආයෙහිද, එහෙයිනි.

“සොභන ගාත්‍රයෙන් යුත් රාජ කුමාරිකාවෙනි, මනුෂ්‍යලෝකයෙහි මිනිසුන්ගේ ආයුෂයද ශරීර වර්ණයද පිරිහේ. ඒ හේතුවෙන්ම තිට දෙනලද ධනයද, පිරිහෙයි. අද තී ඉතා දිරාගියෙහිය.

“යශස් ඇත්තාවූ රජකුමරිය, මෙසේ මා විසින් බලා සිටියදීම රෑ දාවල් දෙදෙනාගේ ඉක්මයාමෙහි ඒකාන්තයෙන් තීගේ රූපවර්ණය තෙම පිරිහේ.

“යහපත් ප්‍රඥා ඇති රාජ පුත්‍රිය, තී මේ වයසින්ම බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙව, වැඩියක් ශරීර වර්ණය ඇත්තී වන්නීය.

“මිනිසුන් මෙන් දෙවියෝ නොදිරන්නාහුද, ඒ දෙවියන්ගේ ශරීරයන්හි රැළි නොවැටෙන්නාහුද, ඒ කාරණය මහත් ආනුභාව ඇති යක්ෂය ඔබගෙන් විචාරමි. ඒ දෙවියන්ගේ ශරීර දේහයතෙම කෙසේනම් නොදිරන්නේද,

“මිනිස්සු යම්සේ දිරත්ද, දෙවියෝ එසේ නොදිරත්. ඔවුන්ගේ ශරීරයන්හි රැළි නොවැටෙත්. දවස දවස ඒ දෙවියන්ගේ ඉතා අධිකවූ දිව්‍යමයවූ වර්ණයද මහත්වූ භොගයෝද වැඩෙන්නාහ.

“මේ ලෝකයෙහි නොයෙක් ජනයෝ කුමකට බිය වූවාහු වෙත්ද, නොයෙක් තීර්ථායතනයෝ පණ්ඩිතයන් විසින් කියන ලද දෙව්ලොවට යන මග වේ. මහත් ආනුභාව ඇති දිව්‍ය රාජය පරලොවට එන තැනැත්තේ කවර මාර්ගයෙක්හි සිටියේ බිය නොවන්නේද.

“සොඳුර, වචනයද සිතද මනාකොට පිහිටුවා කයින් පව් නොකරන්නේ බොහෝ ආහාරපාන ඇති ගෘහයෙහි වාසය කරන්නේ සැදැහැ ඇත්තේද මොළොක් සිත් ඇත්තේද දාන සංවිභාග ඇත්තේද ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නේද සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරන්නේද, ප්‍රිය වචන ඇත්තේද සිළුටු වචන ඇත්තේද යන මේ ගුණයන්හි සිටි තැනැත්තේ පරලොවට බිය නොවන්නේය.

“උදාර වර්ණ ඇත්තාවූ දිව්‍ය රාජය, මට මවක මෙන් පියෙකු මෙන් අනුශාසනා කෙරෙහිය. ඉතා මහත්වූ නුඹ වහන්සේ කවරෙක් වෙහිද,

“සුන්දරිය, මම උදය නම් රජවෙමි. පෙර ගිවිස ගත් අවුල් කාරණයක් නිසා මෙහි ආයෙමි. තිට ආමන්ත්‍රණය කොට යම් තීගේ ඒ අවුලෙන් මිදුනේ වෙමි.

“ඉදින් වනාහි නුඹවහන්සේ උදය රජවෙහි නම් සංකරය මුදන පිණිස මෙහි ආයෙහි නම් රාජපුත්‍රය, යම්සේ නැවත එක්වීම වන්නේද, එපරිද්දෙන් මට අනුශාසනා කළ මැනව.

“උදය භද්‍රාවෙනි, වයස ඉතා ඉක්මයෙහි ක්ෂණයද එසේම ඉක්ම යන්නේය. ඔවුන්ගේ සිටීමක් නැත්තේය. ඒකාන්තයෙන් සත්වයෝ චුත වෙත්. අස්ථිරවූ මේ ශරීරය දිරන්නේමය. ප්‍රමාදයෙහි නොහැසිරෙව, දශ කුශල ධර්මයෙහි හැසිරෙව,

“උදය භද්‍රාවෙනි ධනයෙන් පිරුණාවූ සියලු පොළොව එකම රජෙක්හට වන්නීද, අනිකෙකුට අයිති නොවන්නීද පහ නොවූ රාග ඇති ඒ පුද්ගලතෙම ඒ යසස ද අත් හැර පරලොව යන්නේය. ප්‍රමාද නොවෙව, ධර්මයෙහි හැසිරෙව,

“උදය භද්‍රාවෙනි, මව්පියෝද නැගනීහුද සහෝදරයෝද භාර්යාවෝද ධනයෙන් තෘප්ති රහිතවූවාහු වෙත්. ඔහු තුමූද ඔවුනොවුන් හැරදමත්. එහෙයින් ප්‍රමාද නොවෙව, ධර්මයෙහි හැසිරෙව.

“උදය භද්‍රාවෙනි, මේ ශරීරය අන් සතුන්ගේ භෝජනයයි දැන සංසාරයෙහි සුගතියද දුගතියද ස්වල්ප කාලයක් වාසය කිරීම ඇත්තෙක්යයි දැන ප්‍රමාද නොවෙව, දශ කුශල ධර්මයෙහි හැසිරෙව.

“සත්වයන්ගේ ජීවිතය ස්වල්පයයි මේ දෙවතෙම යහපතක් කියන්නේය. කුමක් හෙයින්දයත්, මේ ශරීරය දුක් ඇත්තේද ස්වල්ප කලක් පවත්නේද එය දුකින් යෙදුනක්ද වන්නේය. ඒ මම සුරුන්ධන පුරයද කශීරටද හැර දමා තනිවම පැවිදි වන්නෙමියි” කීය.

උදයජාතකං චතුත්ථං.