ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

11. එකදස නිපාතය

460. යුධඤ්ජය ජාතකය

“මම මිත්‍රාමාත්‍යයන් විසින් පිරිවරණ ලද පියවූ රාජොත්තමයන් වඳිමි. මහරජ මම පැවිදි වන්නෙමි. දෙවයන් වහන්සේ එය අනුදනීවා.

“යුධඤ්ජය කුමාරය, ඉදින් තොපට කාමයන්ගෙන් අඩුවක් ඇද්ද, මම තොපට එය සම්පූර්ණ කරමි. යමෙක් තොපට හිංසා කෙරේද, ඔහු වළක්වමි. පැවිදි නොවෙව.

“කාම සම්පත්වලින් අඩුවක් නොම ඇත. මට හිංසා කරන්නෙක්ද නැත්තේය. යම් හෙයකින් ජරාතොමෝ විනාශය නොකෙරේද, එහෙයින් පිහිටක් කරන්ට කැමැත්තෙමි.

“පුත්‍ර තෙමේද පියහු යාඥා කරන්නේය. පිය තෙමේද ඖරශ පුත්‍රයා යාඥා කරන්නේය. පුත්‍රය, නියම් ගම් වැසි ජනතෙම යාඥා කෙරෙයි. යුධඤ්ජය නම් පුත්‍රය, පැවිදි නොවෙව,

“රාජොත්තමවූ දෙවයන් වහන්ස, පැවිදිවන්නාවූ මා නොවැළැක්කුව මැනව, මම කාමයන්ගෙන් මත්වූයෙමි ජරාවගේ වසඟයට යන්නෙක් නොවෙම්වා.

“පියාණෙනි, මම ඔබට යාඥා කරමි. පුත්‍ර තෙම කීය. පුත්‍රය, මම වළක්වමි. ඔබ කලක් දක්නට කැමැත්තෙමි. යුධඤ්ජය නම් පුත්‍රය, පැවිදි නොවෙවයි රජ තෙම කීය.

“මෑණියෙනි, සූර්යයාගේ උදාවීමෙහි තණ අග පිනි බිඳු යම්සේද, මිනිසුන්ගේ ආයුෂය මෙසේමය. මා නොවැළැක්කුව මැනව,

“රාජොත්තමය, මේ මව තරණය කරණ පුරුෂයෝ යානාවට ආරෝපනය කෙරේවා. මාගේ මව් තොමෝ සසර තරණය කරන්නාවූ මට අන්තරාය කරන්නියක් නොවේවා.

“සබ්බ මිත්‍ර නම් රජු විසින් යුධඤ්ජය කුමාර තෙම පැවිදිවීමට අනුදන්නා ලද්දේය. එහෙයින් තෙපි වහා දිවයව්. ඔබට යහපතක්වේවායි කියව්. රම්ම නම් නගරය මාගේ පුත්‍රයා නික්ම යාමෙන් හිස් වන්නේය.

“පුත් කුමරුන් දහසට ශ්‍රෙෂ්ඨවූ තරුණවූ ස්වර්ණයට බඳු පැහැ ඇති යමෙක්වීද, ඒ මේ කුමාර තෙම පැවිදිවූයේ කශාවත් පෙරවීම බලකොට ඇත්තේය.

“යුධඤ්ජය කුමාර තෙමේද යුධිෂ්ඨිල කුමාර තෙමේද යන කුමාරයෝ දෙදෙන මව්පියන් හැර මරුවාගේ රාගාදී සංගය සිඳ පැවිදිවූවාහුය.”

යුධඤ්චයජාතකං ඡට්ඨං.