ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

12. ද්වාදස නිපාතය

465. භද්දසාල ජාතකය

“අහසෙහි සිටියාවූ පිරිසිදු වස්ත්‍ර වලින් සැදුනාවූ තොප කවරෙක්ද, කුමකින් තොපගේ කඳුළු වැගිරෙද්ද, තොපට කොයින් බියක් පැමිණියේද,

“දේවයන් වහන්ස, ඔබවහන්සේගේම රාජ්‍යයෙහි වාසය කරන්නාවූ නුඹවහන්සේ විසින් පුදන ලද්දාවූ මට සැට දහසක් හව්රුදු ඉක්ම ගියහ. මා භද්දසාල යයි දන්නාහුය.

“ඒ පෞරාණික රජහු නගරයන්ද ගෘහයන්ද නොයෙක් ප්‍රාසාදයන්ද කරවන්නාහු මා නොඉක්මවූහ. ඔහු තුමූ යම්සේම මා පිදුවාහුද, එසේම නුඹ වහන්සේද පුදව,

“කඳින් මහත්වූ ඒ ප්‍රාසාදයට සුදුසු අනික් රුකක්ද මම නොදකිමි. තොපගේ වෘක්ෂය උසින් මහතින් යුක්තය. හට ගැණීමෙන්ද විශිෂ්ට රූ ඇත්තේ විය.

“සිත් කළුවූ එක්ටැම් ඇති පහයක් කරවන්නෙමි. තොප එහි පමුණුවන්නෙමි. එම්බා යක්ෂය, බොහෝකලක් තොපගේ ජීවත්වීම වන්නේය.

“මාගේ ශරීරයවූ භද්‍රශාල වෘක්ෂයෙන් වෙන්වීමවූ මරණයට හේතුවූ මේ කාරණය වනාහි ඔබ සිත පහළවීනම් මා බොහෝසෙයින් සිඳ කඩ කඩ කොට කපන්නහුය.

“අගද මැදද පළමුකොට සිඳ පසුව මුල සිඳින්නහුය. මෙසේ වනාහි සිඳිනු ලබන මට දුක්වූ මරණය නොවන්නේය.

“යම්සේ ජීවත්වන්නහුගේ අත් පාද කන් නාසාද සිඳින්නේද ඉන්පසු හිස සිඳින්නේද එය දුක්වූ මරණය නම් වන්නේය.

“වනස්පතීවූ භද්‍රශාල වෘක්ෂය, කඩ කඩ වශයෙන් සිඳීම සැපයක්ද, කුමක් හේතු කොටගෙණ කුමක් සඳහා කඩ කඩකොට සිඳීම කැමැත්තෙහිද,

“මහරජ ධර්ම යුක්තවූ කාරණය යුක්තමය. යම් හේතුවක් සඳහා කඩ කඩකොට සිඳීම කැමැතිවෙම්ද, මාගේ ඒ හේතුව ඇසුව මැනව, මාගේ වෘක්ෂ පාර්ශ්වයෙහි වාතාවරණයෙහි හටගත් සුවසේ වැඩුනාවූ මාගේ ඤාතීහු වෙත්. මම ඔවුන්ද පෙළන්නෙම් නම් අන්‍යවූ නෑයන්ගේ කඳුළු වගුරුවන ලද්දේ වෙමි.

“වනස්පතිවූ භද්‍රශාලය, සිතිය යුත්තක් සිතූයෙහි නෑයන්ට වැඩ කැමතිවෙහිය. යහළු දිව්‍යපුත්‍රය, තොපට අභය දෙමියි කීයේය.”

භද්දසාලජාතකං දුතියං.