ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

12. ද්වාදස නිපාතය

467. කාම ජාතකය

“ඉදින් වස්තු කාමය කැමැති වන්නාවූ ඒ පුද්ගලයාට එය සමෘද්ධවේනම් මනුෂ්‍යතෙම යමක් කැමැතිවේ නම් එය ලදින් ඒකාන්තයෙන් සතුටු සිත් ඇත්තේවේ.

“වස්තුකාම ක්ලෙශ කාමය කැමැතිවන්නාවූ ඔහුගේ ඒ කැමැති වස්තුව ඉදින් සමෘද්ධ වේනම්, ඉක්බිති ඔහු අනික් කාම වස්තූන් ග්‍රිෂ්මයෙහි තැවුනහුගේ පැන් පිපාසය මෙන් සොයයි

“වැඩෙන්නාවූ අං ඇති ගවයන්ගේ අඟ යම් සේ වැඬේද, එපරිද්දෙන් මද නුවණ ඇති අඥානවූ කිසිවක් නොදන්නාවූ වැඩෙන්නාවූ පුරුෂයාගේ තෘෂ්ණා පිපාසාවද බොහෝසෙයින් වැඬේ.

පොළොවෙහි සාලික්ෂෙත්‍ර යවක්ෂෙත්‍රද ගවඅශ්වදාස පුරුෂාදීහුද එක් පුද්ගලයෙකුට දුන් නමුත් ඔහුට එය ප්‍රමාණ නොවේයයි දැන පණ්ඩිතතෙම සමව හැසිරෙන්නේය.

“රජතෙම බලාත්කාරයෙන් පෘථිවිය දිනා සයුර හිම්කොට ඇති පොළොවට අධිපතිව වසන්නේ මුහුදින් මෙතෙර තෘප්ති රහිතවූයේ මුහුදින් එතෙරද ප්‍රාර්ථනා කරන්නේය.

“යමෙක්තෙම වස්තුකාම ක්ලෙශ කාමයන් සිහි කරන්නේ සිතින් තෘප්තියට නොපැමිණියේද, ඒ කාමාශාවෙන් නැවතී ප්‍රතිකර්මය දැක යමෙක් තුමූ නුවණින් තෘප්තියට පැමිණියාහුද, ඔහු තුමූ ඒකාන්තයෙන් මොනවට තෘප්තියට පැමිණියාහු වෙත්.

“තෘප්තීන්ගෙන් ප්‍රඥාවෙන් වන්නාවූ තෘප්තිය ශ්‍රෙෂ්ඨවේ. හෙතෙම කාමයන්ගෙන් නොතැවේ. ප්‍රඥාවෙන් තෘප්තියට පැමිණි පුරුෂයා තෘෂ්ණාතොමෝ වසඟ නොකෙරේ.

“අල්පෙච්ඡවූවහුගේ කාමයන් ලොල් නොවූයේ නසන්නේමය. මහත්වූ ප්‍රඥාවෙන් යුක්ත බැවින් සමුද්‍රය පමණවූ ඒ පුරුෂතෙම කාමයන්ගෙන් නොතැවේ

“සම කපා හරිමින් වහනක් කරන්නාවූ සම්කරුවෙකු මෙන් කාමයන්ගේ යම් යම් කොටසක් හරනේද, ඒ ඒ කොටස් සැපයට පමුණුවන්නේය ඉදින් සියලු සැපය කැමැත්තේ නම් සියලු කාමයන් හරනේය

“නුඹ වහන්සේ විසින් ගාථා අටක් කියන ලදහ. සියලු ගාථාවෝ දහස බැගින් අගනාහු වෙත්. පූජ්‍යවූ බ්‍රාහ්මණය, එබැවින් මේ අටදහස පිළිගණු මැනවි. ඔබගේ මේ භාෂිතය යහපතැයි කීයේය.

“මට දහසකින්ද සියයකින්ද දසදහසකින්ද ප්‍රයෝජනයෙක් නැත. පශ්චිමවූ ගාථාව කියන්නාවූ මාගේ සිත වස්තුකාමයෙහි නොඇලුනේය.

“ඒකාන්තයෙන් සියලු ලෝකය දත්තාවූ මුනිවූ පණ්ඩිතවූ යමෙක්තෙම සියලු දුක් උපදවන්නාවූ මේ තෘෂ්ණව පිරිසිඳ දනීද, ඒ මේ මානවකතෙම යහපත් වන්නේය.”

කාමජාතකං චතුත්ථං.