ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

13. තෙරස නිපාතය

475. ඵන්දන ජාතකය

“පොරාවක් ගත් අත් ඇති පුරුෂයෙක්වූ තෝ කුමට වනයට වැද සිටිනෙහිද, යහළුව මා විසින් විචාරණ ලද්දේ කියව. කිනම් දැවයක් කපන්ට කැමැත්තෙහිද,

“වලසෙක්වූ තෝ සමවූද විෂමවූද වනයන්හි හැසිරෙන්නෙහිය. යහළුව, මා විසින් විචාරණ ලද්දේ කවරනම් දැවයක් නිම්වළල්ලට සවිශක්ති ඇත්තේදැයි කියව.

“සල්ගසද නිම්වළල්ලට සුදුසු නොවේ. කිහිරි වෘක්ෂයද සුදුසු නොවේ. අශ්වකර්ණ වෘක්ෂයද සුදුසු නොවේ. දැව ගස කොයින් සුදුසු වේද, කෝන්නම්වූ වෘක්ෂය තෙමේම ඒ දැවමය නිම්වළල්ලට දෘඪවන්නේය.

“මේ කෝන්ගසේ පත්‍ර කෙබඳු වෙද්ද, කඳ හෝ කෙබඳුවේද, යහළුව, මා විසින් අසන ලද්දේ යම්සේ කෝන්ගස දැනගන්නෙමුද, එසේ කියව.

“යම් ගසක්හුගේ අතු එල්ලෙත්ද නැමෙන්නාහු වෙද්ද, නොබිඳෙත්ද, යම් ගසක්හුගේ මුල මම සිටියෙම්ද, ඒ ගසතෙම එන්දන හෙවත් කෝන් නම්වේ.

“තොපගේ රථයෙහි දැවිවලටද රෝදයට හා බොස් ගෙඩියටද රථ හිසටද නිම්වළල්ලටද රියමැදුරටද යන සියල්ලට මේ කෝන්ගස සුදුසු වන්නේය.

“මෙසේ (කීකල්හි) කෝන්ගසද හෙවත් එහි අධිගෘහිත දේවතාවාද එකෙනෙහි මෙසේ කීයේය. භාරද්වාජය, මාගේද වචනයක් ඇත. මාගේ ඒ වචනයද අසව.

“වලසාගේ කඳ සමීපයෙන් සතරඟුලක් කපාගෙණ එයින් හෙවත් ඒ වලස් සමින් නිම්වළල්ල සවිකර ගණුව. මෙසේ කළ කල්හි අතිශයින් ශක්තිමත් වන්නේය.

“මෙසේ කෝන්ගසද එකෙණෙහි වෛරය මුදුන් පැමිණවීය. උපන්නාවූද නූපන්නාවූද වලසුන්ට දුක් එලවූයේය.

“මෙපරිද්දෙන් කෝන්ගස වලසාටද වලස්තෙමේ කෝන්ගසටද යන ඔවුනොවුන්ට විරුද්ධව වාදකිරීමෙන් ඔවුනොවුන් නැසූහ.

“එපරිද්දෙන්ම මිනිසුන්ගේ විවාදයෙක් යම් තැනෙක උපදීද, එහි මොනරුන්ගේ නැටීමෙන් නටන්නාහු වෙත්. කෙසේද, ඒ වලසා හා කොළොම් ගසය යන දෙදෙන යම්සේද එමෙනි.,

“එහෙයින් තොපට කියමි. තොපට යහපතක් වේවා යම්තාක් මෙහි රැස්වූවාහුද, ඒ සියල්ලෝ වලසා හා කෝන්ගස මෙන් නොවව්. සතුටුවව්, වාද නොකරව්.

“සමගි බැව්හිම හික්මෙව්. මෙය බුදුවරයන් විසින් පසස්නා ලදී. සමගි බැව්හි ඇළුනාවූ සුචරිත ධර්මයෙහි පිහිටි තැනැත්තේ නිර්වාණ සැපයෙන් නොපිරිහෙන්නේයයි” වදාළසේක.

ඵන්දනජාතකං දුතියං.