ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

13. තෙරස නිපාතය

476. ජවනහංස ජාතකය

“හංසරාජය මේ රන් පුටුවෙහිම හිඳුව. මට තොපගේ දැක්ම ප්‍රියවේ. අධිපතිවූ නුඹ මෙහි පැමිණියෙහිය. මෙහි ඔබ කැමති යමක් ඇත්තේද එය කියව.

“ගුණ ඇසීමෙන් එකෙකුට සමහරු ප්‍රියවෙත්. සමහරෙක් දැක සමහරෙකුගේ ප්‍රේමය දුරුවේ. දැකද අසාද සමහරු ප්‍රිය වෙත්. එහෙයින් විචාරමි. කිම මාගේ දර්ශනයෙන් ප්‍රිය වෙහිද?

“මට ඇසීමෙන් නුඹ ප්‍රියවූයෙහිය, දර්ශනයට පැමිණ වඩාත් ප්‍රියවූයෙහිය. මෙසේ ප්‍රිය දර්ශන ඇතිවූයේම හංසරාජය, මාගේ සමීපයෙහි වාසය කරව.

“නිතර සත්කාර කරණලද්දාහු පුදන ලද්දාහු නුඹ වහන්සේගේ රජගෙදර වසන්නෙමු නම් එක් දවසෙක සුරාවෙන් මත්වූයේම මට මස් පිණිස හංසරාජයා පිසත්වයි කියන්නේය.

“යමක් මට නුඹවහන්සේට වඩා ඉතා ප්‍රියද, ඒ ආහාර පානයට නින්දාවේවා. යම්තාක් කල් මාගේ ගෘහයෙහි නුඹවහන්සේ හිඳිනෙහිද, ඒතාක්කල් මද්‍යපානයක් පානය නොකරන්නෙමියි කීයේය.

“සිවලුන්ගේද පක්ෂීන්ගේද වචනය මනාකොට දත හැකිවේ. මහරජ්ජුරුවෙනි, මිනිසුන්ගේ වචනය ඊට වඩා දැනගන්ට ඉතා දුස්කර වන්නේය.

“ඉදින් යම් පුරුෂයෙක් තෙම ඤාතිමිත්‍රයෙක, යහළුවෙකැයි සිතයිද, හෙතෙම පෙර සතුටු සිත් ඇතිව පසුව සතුරෙක් වන්නේය.

“යමෙකු කෙරෙහි සිත ඇතුළත්ව පවතීද, හෙතෙම නුදුරෙහි වේ. සමග වාසය කරන්නේදවේ. යමෙකු කෙරෙන් සිත පහවයේද, හෙතෙම සමීපයෙහි වාසය කරන්නේ නමුත් දුරෙහි වේ.

“ප්‍රසන්නවූ සිත් ඇත්තේ මුහුද එතෙර වසන්නේද, ප්‍රසන්න සිත් ඇති හෙතෙම ඇතුළත වාසය කරන්නෙක් වන්නේය. ප්‍රදූෂ්‍යවූ සිත් ඇත්තේ ඇතුළත වාසය කරන්නේ වේද, ප්‍රදූෂ්‍යවූ සිත් ඇති හෙතෙම මුහුද එතෙර වාසය කරන්නෙක් වන්නේය.

“මහරජ, යමෙක් තුමූ සතුරු වෙද්ද, ඔහු තුමූ එක්ව වාසය කරන්නාහුද වෙන්ව වාසය කරන්නාහු නම් වෙත්. රට්ඨවඞ්ඪන නම්වූ මහරජ, මෛත්‍රී සිතින් යුක්තව දුර වසන්නාවූද මිත්‍රයෝ සමගිව වාසය කෙරෙත්.

“ඉතා බොහෝ කලක් එකතැන වාසයකිරීමෙන් ප්‍රිය තැනැත්තේ අප්‍රියවේ. එහෙයින් නුඹවහන්සේට අප්‍රියවෙමුද ඉන් පෙර ඔබට කියා සමුගෙණ යන්නෙමු.

“ඉදින් මෙසේ ඇඳිළි බැඳගෙණ යාඥා කරන්නාවූ අපගේ යාඥාව නොපිළිගන්නේ නම් ආශ්‍රය කරන්නාවූ ජනයන්ගේ වචනය නොකරන්නෙහි නම් මෙසේ ඔබට නැවත යාඥා කරමු. නැවත මේ පරියාය හෙවත් යාම ඊම කරවයි කීයේය.

“රට වර්ධනය කරන්නාවූ මහරජ, ඉදින් මෙසේ වාසය කරන්නාවූ තොපගේද මාගේද ජීවිතන්තරායෙක් යම්තාක් නොවන්නේ නම් ඒතාක් රාත්‍රි දිනයන්ගේ ඇවෑමෙහි ඔවුනොවුන් දක්නෙමු නම් ඉතා මැනවයි කීයේය”

ජවනහංසජාතකං තතියං.