ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

13. තෙරස නිපාතය

481. තක්කාරිය ජාතකය

“එම්බා තක්කාරිය නම් මානවකය, වනයෙහි තමන් කන නයින් කැඳවමින් අඬන්නා වූ මැඩියෙකු මෙන් මමම අඥානවූයේ නපුරුකොට කියන ලද්දක් කීමි. එහෙයින් දැන් මේ වළෙහි වැටෙමි. සීමාව ඉක්මවා කථාකරණ තැනැත්තේ වනාහි සුදුසු නොවේමයයි කීයේය.

“ආචාර්‍ය්‍යයන් වහන්ස, සීමාව ඉක්මවා කථාකරණ පුද්ගල තෙමේ අන්දු (සිර) බන්ධනාදියටද අත් පා සිඳීම් ආදියටද ශෝක කිරීමටද, වැළපීමටද පැමිණේ. යම් ඒ කාරණයකින් ඔබ මේවළෙහි හෙළත්ද, මේ කාරණයෙන් ඔබ තමන්ටම නින්දා කරගන්නෙහිය.

“මම කාලී නම් ගණිකාව වෙතින් කුමක් හෙයින් සිය සොහොයුරුවූ තුණ්ඩිලයාට මෙසේ (හැඳීමට වස්ත්‍රයක් නොදීම) කරන්නේදැයි ඇසුවෙමි. එහෙයින් මම වස්ත්‍ර යුග්මයද නැතිවූයේ නග්නවද ගියෙමියි (සිටුපුත්‍රයා කීය) ආචාර්‍ය්‍යයෙනි, මේ කාරණයද බොහෝ කරුණුවලින් එබඳුම වේයයි කීයේය

“පොර ඇන ගන්නාවුන්ගේ පොර ඇනීම වළකමින් යම් කෑරල පක්ෂියෙක් එළුවන් දෙදෙනා අතරට පැමිණේද, හෙතෙම එහි එළුවන් දෙදෙනාගේ හිස්වලින් ඇඹරී ගියේය. ආචාර්‍ය්‍යය, මේ කාරණයද බොහෝ සෙයින් එබඳුමයයි. කීයේය.

නයාට බියෙන් තල්ගසින් පනින්නාවූ, එක් මිනිසෙකු රක්නාවූ සතරදෙනෙක් ඝන වැහැරි කඩක් කොන් සතර අල්වාගෙණ සිටියාහුය. ඔහු සතර දෙනාම බිඳිගිය හිස් ඇත්තාහු ශයනය කළාහුය. ආචාර්‍ය්‍යය, මේ කාරණයද බොහෝ සෙයින් මෙබඳුමයයි කීයේය.

“යම්සේ (ආයුධයක් නැතිහෙයින් මරණින් මුදා) හුණපඳුරෙහි බඳනාලද එළුදෙන ක්‍රීඩාවශයෙන් පසු පාවලින් ගසන්නේ එහි සඟවා තුබූ ආයුධය හෙළීද, ඒ ආයුධයෙන්ම ඒ එළුදෙනගේ ගෙළසිඳින ලදී. ආචාර්‍ය්‍යය, මේ කාරණයද බොහෝසෙයින් එබඳුමයයි කීයේය.

“මේ කිඳුරෝ දෙවියෝ නොවෙති. ගන්ධර්ව පුත්‍රයෝද නොවෙති. මොව්හු මෘගයෝ වෙත්. වැද්දා විසින් වස්තු ලොභයෙන් මොව්හු මා වෙත ගෙණෙන ලද්දාහ. උන්ගෙන් එකෙකුදු සවස බතට පිසත්වා. අනිකාද නැවත උදය බතට පිසත්වායි, රජතෙම නියම කෙළේය.

“අයහපත් කොට කියන ලද වචන ලක්ෂයකුත් යහපත්ව, කියනලද එක වචනයක්හුගේ කලාවකටත් නො අඟිත්. අයහපත් වචනයෙහි සැක කරමින් වෙහෙසුනාවූ කිම්පුරුෂතෙම එහෙයින් නිශ්ශබ්ද විය. අඥාන භාවයකින් නොවේයයි (කිඳුරී කීයේය.)

“යම් මේ කිඳුරියක්තොමෝ මා හා කථා කෙළේද, මා මුදා හරිව්, ඇය හිමවත් පර්වතයටද පමුණුවත්වා, මේ කිඳුරුද වනාහි මුළුතැන්ගෙට දෙත්වා ඔහු උදෑසනම උදය බතට පිසත්වායි, (රජතෙම කීයේය)

“මහරජ්ජුරුවන් වහන්ස, සිව්පාවෝ මේඝය පිහිට කොට ඇත්තාහ. මේ මනුෂ්‍ය ප්‍රජාව සිව්පාවුන් පිහිටකොට ඇත්තීය. මම ඔබවහන්සේ පිහිටකොට ඇත්තෙමි. භාර්‍ය්‍යාව මා පිහිටකොට ඇත්තීය. අප දෙදෙනා අතුරෙන් මළ එකෙකු දැන ඉන්පසු මරණින් මිදුනේ පර්වතයට යන්නේය.

“මහරජ්ජුරුවෙනි, නින්දාව නම් ඒකාන්තයෙන් පහසුවෙන් දුරු නොකළ හැක්කේය. නොයෙක් අදහස් ඇති ජනයෝ සේවනය කටයුතු වෙත්, යම් කාරණයකින්ම එකෙක් ප්‍රශංසා ලබාද, ඒකාරණයෙන්ම අනිකා නින්දා ලබන්නේය.

මහරජ, සියලු ලෝවැසිතෙම අනුන්ගේ සිත් හා වෙනස්වූ සිත් ඇත්තේය. සියලු ලෝවැසිතෙම ස්වකීය සිතෙහි සිත් ඇත්තේවේ. මේ ලෝකයෙහි වෙන් වෙන්වූ සියලු සත්වයෝ වෙන වෙනම සිත් ඇත්තාහ. කවරෙකුගේ චිත්ත වසඟයෙහි පවතීදැයි (කිඳුරුතෙම රජුට දම් දෙසීය.)

“භාර්‍ය්‍යාව සහිතවූ යම් කිම්පුරුෂයෙක්තෙම නිශ්ශබ්දවීද, හෙතෙම දැන් මරණභයින් බියපත්වූයේ දැහැමි කථාවක් කෙළේය. එහෙයින් දැන් හෙතෙම මරණින් මිදී සුවපත්ව නිරෝගවිය. මේ ලෝකයෙහි සත්වයන්ට වචනයම හිත සැප එළවන්නීයයි (රජතෙම ප්‍රශංසා කෙළේය.)”

තක්කාරියජාතකං අට්ඨමං.