ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

14. පකිණ්ණක නිපාතය

484. සාලිකේදාර ජාතකය

“කොශිය ගොත්‍ර ඇති බ්‍රාහ්මණයාණෙනි, හැල්කෙත පැසී සම්පූර්ණය. එය ගිරව් කති. එය වළක්වන්ට නොහැක්කෙමි. ඒබව ඔබට දන්වන්ට ආවෙමි.

“එහි ඒ ගිරවුන්ගෙන් සියල්ලන්ට යහපත්වූ එක් ගිරවෙක්ද වේ. හෙතෙම කැමතිපරිදි හැල් අනුභවකොට තුඩින්ද හැල් කරල් අරගෙණ යන්නේයයි කෙත රකින පුරුෂයා කීයේය.

“ඒ ගිරා පක්ෂිතෙම යම්සේ බැඳෙන්නේද, එසේ මළපුඩු අටවත්වා, ජීවත්වන්නාවූම ඔහු අල්වාගෙණ මා සමීපයට ගෙනෙව්යයි (බමුණා කීයේය.)

“මේ පක්ෂීහු හැල් අනුභවකොට පැන්ද පාණය කොට බැහැරයෙත්. එකළාවූ මම පුඩුවෙන් බැඳුනේ වෙමි. මාවිසින් කවර පාපයක් කරණලදදැයි ගිරාතෙම ශොක කෙළේය.

“සුවපෝතකය, සෙස්සන්ගේ බඩ බඩ පමණය. නුඹගේ බඩ වනාහි ඉතා මහතැයි හඟිම් කුමක් හෙයින්ද, කැමති පරිද්දෙන් හැල් අනුභවකොට යනකල්හි තුඩින්ද හැරගෙණ යන්නෙහිය.

“සුවපෝතකය, කිම, ඒ හිඹුල් රුකෙහි කොටුගුලක් පුරවන්නෙහිද, නැතහොත් මා හා තොපගේ වෛරයක්ද යහළුව, මා විසින් විචාරණ ලද්දේ කියව, කොතැනෙක හැල් වී තැන්පත් කරන්නෙහිදැයි බමුණා ඇසීය.

“එම්බා කොශිය බ්‍රාහ්මණය, නුඹ හා මාගේ වෛරයක් නැත. මාගේ කොටුගුලකුත් නැත්තේය. හැල් කරල් ගෙණ හිඹුල් රුකට පැමිණි මම නයක් මුදමි. තවද නය දෙමි. එහි නිධානයක්ද තැන්පත් කරමි. මෙසේ දනුවයි ගිරවා කීයේය.

“එම්බා ගිරාපොතකය, නුඹගේ නයදීම කෙබඳුද, නයින් මිදීම නම් කෙසේද, නිදානය තැන්පත් කිරීම කෙබඳු දැයි කියව, එකල්හි නුඹගේ බැම්මෙන් මිදෙන්නෙහියයි කීයේය.

“එම්බා කෝශිය බ්‍රාහ්මණය, පියාපත් හට නොගන්නාවූ ලදරුවූ මාගේ දරුවෝ ඇත්තාහ. මා විසින් පෝෂණය කරණලද ඔව්හු නැවත මා පොෂණය කරන්නාහුය. එහෙයින් මම ඔවුන්ට නය දෙන්නෙමි.

“වසඟයට ගියාවූ ජරාවෙන් යුක්තවූ මාගේ මව්පිය දෙදෙනාද ඉක්මගිය යොවුන් වයස් ඇත්තාහුය. තුඩින් හැල් කරල් ගෙණ ගොස් ඔවුන්ට දී පෙර මා ගත් ණය මුදමි.

“ඒ හිඹුල් වෙනෙහි සිඳීගිය පියාපත් ඇති ඉතා දුර්වලවූ අන්‍යවූද ගිරා පක්ෂීහු වෙත්. ඔවුන්ටද පිං සලකාදෙමි. නුවණැත්තෝ එය අනුගාමික නිධානයයි කීහු.

“පින්වත් කෝශිය බ්‍රාහ්මණය, මාගේ ණයදීම මෙබඳුය. මාගේ නයින් නිදහස්වීමද මේ ආකාරවේ. කියන ලද නිදන් තැන්පත්කිරීමද මෙසේ දැනගනුවයි කීයේය.

“ඒකාන්තයෙන් උතුම් ධර්මයෙහි පිහිටියාවූ මේ ගිරා පක්ෂිතෙමේ යහපත්වේ. සමහර මිනිසුන් අතරෙහිද මෙබඳු ගුණ ධර්මයෙක් විද්‍යමාන වේයයි බමුණුතෙම සතුටුවිය.

“පින්වත් සුවරාජය, සියලු නෑයන් සමග නුඹ කැමති පරිදි හැල් අනුභව කරව, නැවතද සිය කැමැත්තෙන් මෙහි පැමිණියාවූ නුඹ දක්නෙමු. ඔබගේ දැකීම මට ප්‍රියවේ යයිද කීයේය.

“කෝශිය බ්‍රාහ්මණය, ඔබගේ ගෘහයෙහි කෑමද, පීමද ලැබූයෙමි. එහෙයින් ඔබ සමීපයෙහි ඇල්මද විය. බහා තබන ලද දඬු ඇත්තවුන් කෙරෙහි දන් දෙව, ජරාවට පැමිණියාවූ මව් පියන්ද පොෂණය කරවයි, අවවාද කෙළේය.

“යම් මම පක්ෂීන්ගෙන් උතුම්වූ මේ සුවරාජයා දුටුයෙම්ද, ඒ මට අද ඒකාන්තයෙන් ශ්‍රී කාන්තාව පහළ වූවාය. මම සුවරාජයාගේ යහපත් වචන අසා බොහෝවූ පිං කරන්නෙමියි කීයේය.

“ඔදවැඩීගිය සතුටුසිත් ඇත්තාවූ ඒ කෝශිය බ්‍රාහ්මණතෙම ආහාරයද, පානවර්ගද, සකස්කොට පහන් සිත් ඇත්තේ ආහාරයෙන් හා පානයෙන් ශ්‍රමණයන්ද, බ්‍රාහ්මණයන්ද සතුටුකරවූයේයි” වදාළේය.

සාලිකෙදාරජාතකං

පඨමං.