ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

14. පකිණ්ණක නිපාතය

488. භිස ජාතකය

“ආචාර්‍ය්‍යවූ තාපස බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ ආහාර කොටස වූ නෙළුඹල සොරා ගත්තේද, හෙතෙම මෙලොව අශ්වය ගවය රිදීය රත්රන්ය යන ධනයද මනවඩන්නාවූ භාර්‍ය්‍යාවක්ද ලබාවා. පුත්‍රයන් සමගද භාර්‍ය්‍යාවන් සමගද එක්වේවායි (දෙවෙනි තාපසතෙම දිවුරුවේය.)

“ආචාර්‍ය්‍ය බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුඹල හැර ගත්තේද, හෙතෙම මල්මාලාද කශී සඳුන්ද දරාවා. ඔහුට දරුවෝද බොහෝවෙත්වා හෙතෙම කාමයන්හි තියුණු අපේක්ෂාවද කෙරේවායි (තුන්වැන්නා දිව්රුවේය.)

“පින්වත් බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුඹල කොටස් සොරාගත්තේද හෙතෙම බොහෝ ධාන්‍ය ඇති සී සාන්නාවූ යස පරිවාර ඇති පුත්‍රයන්ද සියලු කැමති සම්පත්ද ඇති ධනවත්වූ ගෘහස්තයෙක්ව වයස නොදක්නේ ගිහිගෙයි වාසය කෙරේවායි (සතරවැන්නා දිව්රුවේය.)

“පින්වත් බ්‍රාහ්මණය, යමෙක් ඔබසතු නෙළුඹල හැර ගත්තේද, හෙතෙම රජුන්ට අධිරාජවූ බලවත් සහපිරිවර ඇති බලාත්කාරකම් කරන්නාවූ ක්ෂත්‍රියයෙක් වේවා සතරදිග මුහුද හිමිකොට පෘථිවියට අධිපතිව වාසය කෙරේවායි (පස්වැන්නා දිව්රුවේය)

“එම්බා බමුණ, යමෙක් ඔබගේ නෙළුඹල සොරා ගත්තේද, හෙතෙම මුහුර්තයන්හි හා නක්ෂත්‍රමාර්ගයන්හි යෙදුනාවූ පහව නොගිය ආශාව ඇති බමුණෙක් වේවා. යශපිරිවර ඇති රජතෙමේ ඔහු පුදාවායී (සවැන්නා දිව්රුවේය.)

“ආචාර්‍ය්‍යවූ බ්‍රාහ්මණය, යමෙක් ඔබ සතු නෙළුඹල සොරාගත්තේද, ඔහු මන්ත්‍ර හදාරන්නාවූ සියලු සම්පූර්ණ කළ වේදය ඇති තපස්වීයෙකුයයි සියලු ලෝවැසි තෙම හඟීවා දනව්වැස්සෝ එකතුව ඔහු පුදත්වායි (සත්වැන්නා දිව්රුවේය.)

“පින්වත් බ්‍රාහ්මණය, යමෙක් ඔබසතු නෙළුඹල ගත්තේද, හෙතෙම කරුණු සතරකින් උත්සන්නවූ සමෘද්ධවූ ශක්‍රයා විසින් දෙනලද්දක්මෙන් ලැබූ ගම්වරක් අනුභව කෙරේවා පහනොවූ ආශාඇත්තේ මරණයට පැමිණේවායි, (යහළු තාපසතෙම දිවුරුවේය.)

“පින්වත් තාපසයන් වහන්ස, යමෙක් නුඹ වහන්සේගේ නෙළුඹල කොටස සොරාගත්තේද, හෙතෙම යහළුවන්මැද නෘත්‍යවලින්ද ගීතවලින්ද සතුටු වන්නාවූ ගම්දෙටුවෙක්වේවා රජ කෙරෙන් කිසි ව්‍යසනයක් නොලබාවායි (ඒදාස තවුස්තෙම දිව්රුවේය.)

“පින්වත් බ්‍රාහ්මණය, යම් තැනැත්තියක් ඔබගේ නෙළුඹල සොරාගත්තීද ඇය අසහාය රජෙක්තෙම පෘථිවිය ජයගෙණ යම් ස්ත්‍රියක් අගමෙහෙසිය කෙරේද, ස්ත්‍රීන් දහසකට අග්‍රවූ ඒ තනතුරෙහි තබාවා ඕතොමෝ ස්ත්‍රීන්ගෙන් උතුම් තැනැත්තියක්ද වේවායි (නැගනි තවුසී දිවුලාය)

“පින්වත් තාපසයන් වහන්ස, යම්තැනැත්තියක් නුඹවහන්සේගේ නෙළුඹල කොටස සොරාගෙණ කෑවානම් ඕතොමෝ රැස්වූ සියලු තාපසවරුන් මැද හිඳ මධුර රසය පැකිලීමත් නැතිව අනුභව කෙරේවා. තවද ලාභ සඳහා කුහකකම් කරන්නියක්ද වේවායි ඒ දාසී තවුසිය දිව්රුවාය.

“පින්වත් බ්‍රාහ්මණය, යමෙක් ඔබගේ නෙළුඹල සොරාගත්තේනම් හෙතෙම කජංගලා නම් නුවර මහත්වූ විහාරයෙක්හි ආවාස පිළිදැගුම් කරන්නාවූ මහතෙර කෙනෙක් වේවා නව කර්මාන්තයෙහි යෙදුනෙක්ද වේවා. දවසකින් එක් කවුළුවක් කෙරේවායි රුක්දෙවිතෙම දිව්රුවේය.

පින්වත් බ්‍රාහ්මණය, යමෙක් නුඹවහන්සේගේ නෙළුඹල සොරා ගත්තේද, හෙතෙම සතැනකින් සිය ගණන් බැමිවලින් බඳිනු ලැබේවා. සිත්කළුවූ වනයෙන් නුවරට ගෙණයේවා. හෙතෙම කටුදෙකක් ඇති දිග කෙවිටිවලින් හෝ අකුසුවලින් අනිනු ලැබේවායි, (හස්තිතෙම දිව්රුවේය.)

පින්වත් තාපසයන් වහන්ස, යමෙක් නුඹවහන්සේගේ නෙළුඹල කොටස සොරාගත්තේද, හෙතෙම ගෙල බැඳි වරාමල් මාලාවක් ඇත්තේ ඊයමින් කළ කන් පළඳනා ඇත්තේ යෂ්ටියෙන් ගසන ලද්දේ සර්පයන් ඉදිරියට පමුණුවාවා සකස්කොට බඳනා ලද්දේ වීථියෙහි හසුරුවායි. (දිව්රුවේය.)

පින්වත්නි, යමෙක් නැතිනොවූ ආහාර කොටස නැතිවීයයි කීද, යමෙක් හෝ තොප අතුරෙන් කිසිවෙකු සැක කෙළේද, හෙතෙම පඤ්චකාමයන්ද ලබාවා. එය අනුභවද කෙරේවා. ගිහිගෙය මැද මරණයට පැමිණෙත්වායි මහාකාඤ්චන තාපස තෙමේද දිව්රුවේය.)

ලෝකයෙහි සත්වයෝ යම් කාම සම්පත්තියක් සොයමින් හැසිරෙද්ද, මේ සත්ව ලෝකයෙහි මේ කාම සම්පත්තිය ඉෂ්ටද කාන්තද ප්‍රියද මනාපද වේ. කුමක් හෙයින් ඍෂිවරු කාම සම්පත් නොපසසත්දැයි (ශක්‍රතෙම ඇසීය.)

ශක්‍ර දෙවෙන්ද්‍රය, ඉදින් කාම සම්පත් හේතුවෙන් සත්වයෝ නසනු ලබත්ද, බඳිනු ලබත්ද කාමයන් හේතු කොටගෙණ දුක් හා භය හටගණීද, කාමයන්හි ප්‍රමාදවූවෝ මුළාවෙන් පව්කම් කෙරෙද්ද.

ඒ පවිටු ස්වභාව ඇත්තේ පව් රැස්කොට ශරීරයාගේ බිඳීමෙන් පසු නරකයට පැමිණෙත්. මෙසේ කම්සැපවල දෝෂය දැක ඒ හේතුවෙන් ඍෂීහු කාමයන් නොපසසත්යයි තාපසතෙම කීයේය.

බ්‍රහ්මචාරීවූ තාපසයන් වහන්ස, ඍෂීන්වහන්සේලා විමසන්නාවූ මම ඉව්රෙහි තිබුණු ඔබවහන්සේ සතු නෙළුඹල ගොඩ බිමෙක්හි සඟවා තැබීමි. ඍෂින්වහන්සේලා පිරිසිදු වූවාහු පව් නැත්තෝව වාසය කෙරෙත්. මේ නුඹවහන්සේගේ නෙළුඹලයයි ශක්‍රතෙම කීයේය.

දහසක් ඇස් ඇති දිව්‍යරාජය, අපි ඔබගේ නළුවෝ නොවෙමු. ක්‍රීඩාකළ යුත්තෝද නොවෙමු. නෑයෝද නොවෙමු. ඔබගේ යහළුවෝද නොවෙමු. කුමක් නිසා ඔබ තාපසයන් සමග ක්‍රීඩා කරන්නෙහි දැයි ඇසීය.

මහත් ප්‍රඥා ඇති තාපසයන් වහන්ස, නුඹවහන්සේ මාගේ ආචාර්‍ය්‍යවෙහිය, මාගේ පියාද වෙහිය. මේ නුඹ වහන්සේගේ පා සෙවෙන අද මා කළ වරදට පිහිට වේවා. මාගේ මේ එක වරද ක්ෂමා කළ මැනව, නුවණැත්තෝ ක්‍රොධය බලකොට ඇත්තෝ නොවෙතියි ශක්‍රතෙම කීයේය.

යම්හෙයකින් භූතයන්ට අධිපතිවූ ශක්‍රයා දුටුවෙමුද, එහෙයින් තාපසවරුන්ගේ මේ වනයෙහි එක් රැයකුදු විසීම යහපත් විසීමකි. යම්හෙයකින් තොපගේ ආචාර්‍ය්‍යවූ බ්‍රාහ්මණතෙමේ නෙළුඹල පසුව ලැබීද, එහෙයින් පින්වත්නි, සියල්ලෝම සතුටු සිත් ඇත්තෝ වෙත්වායි (මහාකඤ්චන තාපසතෙම කීයේය.)

මමද ශාරිපුත්‍රතෙමේද, මෞද්ගල්‍යායනතෙමේද, කාශ්‍යප තෙමේද අනුරුද්ධතෙමේද පුණ්ණතෙමේද ආනන්ද තෙමේද යන මොහු එකල්හි සහෝදරයෝ සත් දෙනවූහ.

එකල්හි නැගණිතොමෝ උත්පල වර්ණවූවාය. දාශී තොමෝ ඛුජ්ජුත්තරාවවූවාය. එකල්හි දාසතෙමේ චිත්ත නම් ගෘහපති විය. යක්ෂතෙම ශාතාගිරනම් විය.

එකල්හි හස්තිතෙමේ පාරිලෙය්‍යනම් හස්තිවූයේය. ශ්‍රෙෂ්ඨවූ වානරතෙමේ මී දුන් වඳුරා වූයේය. එකල්හි ශක්‍ර තෙම කාළුදායි නම් විය. ජාතකය මෙසේ දරා ගණිව්යයි” වදාළේය.

භිසජාතකං පඤ්චමං.