ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

14. පකිණ්ණක නිපාතය

494. සාධීන ජාතකය

“යම් හෙයකින් යශස් ඇත්තාවූ අපගේ වේදේහ රජහට දිව්‍ය රථයක් පහළවූයේද එහෙයින් ලෝකයෙහි ඒකාන්තයෙන් ලොමු ඩැහැගන්නාවූ ආශ්චර්‍ය්‍යයෙක් පහළ විය.

දිව්‍ය රථාචාරීවූ මහත් ඍද්ධි ඇත්තාවූ මාතලී නම් දිව්‍ය පුත්‍ර තෙම විදෙහරට මියුළු නුවර අධිපතිවූ සාධීන නම් රජුට ආරාධනා කෙළේය.

දිශාවන්ට අධිපතීවූ රාජොත්තමය, එනු මැනව, මේ දිව්‍ය රථයට නගිනු මැනව, ශක්‍රයා සහිතවූ ඒ තව්තිසා වැසි දෙවියෝ ඔබ දකිනු කැමැත්තාහුය. ඒ දෙවියෝ සිහි කරන්නාහුම සුධර්මානම් දිව්‍ය සභාවෙහි හිඳිත්.

ඉක්බිති සාධින රජතෙමේද ප්‍රමුඛව රථයට නැංගේය. දහසක් අසුන් යෙදූ රථයට නැග දෙවියන් වෙත ගියේය. දෙවියෝ ආවාවූ ඒ රජහු දැක පිළිගෙණ සතුටුවූහ.

“මහරජ, ඔබගේ මෙහි යහපත් පැමිණීමකි. තවද ඔබගේ අප සමීපයට පැමිණීමකි. රාජොත්තමය, දැන් සක්දෙව් රජහුගේ සමීපයෙහි හිඳිනු මැනව, ශක්‍රතෙමේද මියුළු නුවර අධිපතිවූ වේදේහ රජු පිළිගනිමින් සතුටු විය. ශක්‍රතෙම කම්සැපවලින්ද ආසනයෙන්ද පැවරීම් කෙළේය.

රාජොත්තමය, කාමයන් වසඟයෙහි පවත්වන්නාවූ දෙවියන්ගේ වාසස්ථානයට පැමිණීම යහපත්වූයේය. සියලු කාම සම්පත්තියෙන් සමෘද්ධවූ දෙවියන් අතර වාසය කරව. තව්තිසා වැසි දෙවියන් කෙරෙහිවූ මිනිසුන් අයත් නොවූ කාමයන් අනුභව කරවයි කීයේය.

ශක්‍රදෙවෙන්ද්‍රය, පෙර මම දෙව්ලොවට පැමිණියේ නෘත්‍යවලින්ද ගීතවලින්ද වාද්‍යවලින්ද සිත් ඇලවිමි. ඒ මම දැන් දෙව්ලොව සිත් නොඅලවමි. ආයුෂය ගෙවී ගියේද, මරණය ළඟාවූයේද, නොහොත් මුළාවූයෙම්දැයි ඇසීය.

නරවීර ශ්‍රෙෂ්ඨය, නුඹගේ ආයුෂ ක්ෂය වූයේද නොවෙයි. මරණයද දුරවේ. මුළාවූයේද නොවෙයි. යම් පුණ්‍යයන්ගේ විපාකය මෙහි වින්දහුද, නුඹගේ ඒ පින් මදවූහ.

දිශාවන්ට අධිපතිවූ රාජොත්තමය, දෙවියන්ගේ ආනුභාවයෙන් හෙවත් පිනෙන් මෙහි වාසය කරව. තව්තිසා වැසි දෙවියන් කෙරෙහි මිනිසුන් අයත් නොවූ කාමයන් අනුභව කරවයිද, (ශක්‍රතෙම කීයේය.)

අනුන්ගෙන් ඉල්වාගත් යානාවක් යම්සේ අනුන්ගෙන් ඉල්වාගත් වස්තුවක් යම්සේද අනුන් දුන් පිනෙන් යමක් ලබානම් මේ කාරණයද මෙසේ දතයුතුයි.

අනුන් විසින් දීමෙන් යමක් ලබාද, මෙය මම නොකැමැත්තෙමි. තෙමේ කරණ ලද්දාවූ පින් ඇද්ද, එය මට ආවේනික ධනයවේ.

ඒ මම ගොස් මිනිසුන් අතර යමක්කොට සුවපත් වේද, පසු තැවිලි නොවේද, දන්දීමෙන්ද සමවූ හැසිරීමෙන්ද, සීල සංයමයෙන්ද ඉන්ද්‍රිය දමනයෙන්ද එබඳුවූ බොහෝ කුශල් කරන්නෙමියි (රජතෙම කීයේය.)

පුත නාරදය, මේ ඒ භූමි භාගයෝ වෙත්. මේ මනා කුණ්ඩල ඇති දිය සොරොව්ද වේ. මේ ඒ නිල්වන්වූ ජල බහුල භූමීහුද වෙත්. මේ ගලාබස්නාවූ නදී හුද වෙත්.

සිත්කළුවූ සක්වාලිහිණින් විසින් පවත්වන ලද නාද ඇති මන්දාලකයන්ගෙන්ද පියුම් උපුල්වලින්ද ගැවසී ගත්තාවූ ඒ මේ පොකුණු වෙත්. මා සමග හැසුරුනාවූ යම් කෙනෙක් මේ ස්ථානයන්ට ප්‍රිය කළාහුද ඔව්හු දැන් කවර දිශාවකට ගියාහුද.

පුත නාරදය, මේ උයනෙහි ඒ ක්ෂෙත්‍රයෝද වෙත්. ඒ භූමිප්‍රදෙශයද වේ. ඒ උයන් වතුද වෙත්. ඒ මේ වනයෙහි හැසිරෙන තැන්ද වෙත්. මාගේ ඒ පිරිවර ජන සමූහයා නොදක්නාවූ මට මේ සියලු දිශාවන් සිස්වූවක් මෙන් වැටහේයයි කීයේය.

පුත නාරදය, සක්දෙව් රජහුගේ හමුවෙහිද, සෙසු දෙවියන්ගේ හමුවෙහිද, සිව්දිග බබළන්නාවූ දිව්‍ය විමාන මා විසින් දක්නා ලදහ.

සියලු කාම සම්පත්තියෙන් සමෘද්ධවූ තව්තිසා වැසි දෙවියන් අතර මා විසින් දිව්‍යභවනයෙහි වසනලදී. මිනිසුන් අයත් නොවූ කම්සැප අනුභව කරණ ලදී.

ඒ මම මෙබඳුවූ දිව්‍යසැප දැක පිං සඳහා මෙහි ආයේ වෙමි. මම කුශල ධර්මයෙහිම හැසිරෙන්නෙමි. රාජ්‍ය සම්පත්තියෙන් ප්‍රයෝජන ඇත්තෙක් නොවෙමි.

සර්වඥවරයෝ ධර්ම මාර්ගයකින් ගමන් කෙරෙද්ද, සර්වඥවරයන් විසින් දෙශනා කරණ ලද බහා තබනලද දඬු ඇත්තවුන් විසින් යායුතු මාර්ගයවූ ඒ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි පිළිපදින්නෙමියි කීයේය.”

සාධිනජාතකං

එකාදසමං.