ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

15. වීසති නිපාතය

504. භල්ලාටිය ජාතකය

“පෙර බරණැස භල්ලාටිය නම් රජෙක් වූයේය. ඒ රජතෙම රාජ්‍යය හැර මුවදඩයමට ගියේය. මනාව පිපියාවූ කිඳුරන්ගෙන් ගැවසීගත්තාවූ ගන්ධමාදන නම් උතුම් පර්වතයට ගියේය.

“හෙතෙම සුනඛ සමූහයාද වළක්වා දුනු හියවුරුද බහා තබා වචනයක් කියනු කැමැත්තේ කිඳුරෝ යම්තැනෙක සිටියාහුද, එතනට එළඹියේය.

“පින්වතුනි, හෙමන්ත අවසානයෙහි මේ හේමවත නම් ගංඉවුරෙහි සිටියාහු නිබඳ කුමක් කථාකරන්නහුද, මිනිසුන්ගේ ශරීර බඳු ශරීර ඇත්තවුනි. තොපගෙන් විචාරමි. තොපි මනුෂ්‍ය ලෝකයෙහි කෙසේ නම් දනිද්දැයි රජතෙම ඇසීය.

“සබඳ වැද්දාණෙනි, අපි මේ මල්‍ය පර්වතයද, පණ්ඩරක නම් පර්වතයද, ත්‍රිකූට නම් පර්වතයද, සිහිල් දිය ඇති ගංගාවන්ද අනුව හැසිරෙමු මිනිසුන් හා සමානවූ මෘගයෝවූ අපි කිං පුරුෂයෝයයි දනිත්යයි කිඳුරී කීවාය.

“මිනිසුන් හා සමාන සිරුරු ඇත්තනි, ඉතා දුකට පැමිණියාක් මෙන් වැළපෙන්නහුය. ප්‍රියාව විසින් ප්‍රියතෙම වැළඳගන්නා ලද්දේද විය. මේ වනයෙහි නොසතුටුවූවාහු කුමකට හඬව්දැයි තොප විචාරමි.

“මිනිසුන්ට සමාන ශරීරවර්ණ ඇත්තෙනි, ඉතා දුක් ස්වභාවයෙන් වැළපෙන්නාහුය. ප්‍රියාව විසින් ප්‍රියතෙම වැළඳගන්නා ලද්දේදවිය. මේ වනයෙහි නොසතුටුවූවාහු කවර කරුණකින් වැළපෙන්නහුදැයි තොප විචාරමි.

“මිනිසුන්ට බඳු ශරීරවර්ණ ඇත්තෙනි, ඉතාදුක් ස්වභාවයෙන් හඬන්නහුය. ප්‍රියාව විසින් ප්‍රියතෙම වැළඳ ගන්නා ලද්දේවිය. කුමක් හෙයින් මේ වනයෙහි නොසතුටු වූවාහු ශොකවම්දැයි තොප විචාරමියි රජතෙම කීයේය.

“සබඳ වැද්දාණෙනි, අපි නොකැමැත්තාහු ඔවුනොවුන් සිහිකරන්නාහු එක් රැයක් වෙන්ව වාසය කෙළෙමු. ඒ එක රාත්‍රිය අනුව තැවෙන්නාවූ අපි එබඳු රාත්‍රියක් නැවත නොපැමිණේවායි ශොක කරමු.

“මිනිසුන්ට බඳු ශරීරවර්ණ ඇත්තෙනි, තෙපි යම් මේ එක රැයක් නැසුනාවූ ධනය හෝ පරලොව ගියාවූ පියා හෝ අනුව තැවුනහුද, කෙසේ නම් වෙන්ව වාසය කළහුදැයි තොප විචාරමි.”

“වහා බස්නා දිය පහර ඇති නොයෙක් ගස්වලින් වැසුනාවූ පර්වත දෙකක් අතරින් බස්නාවූ යම් මේ ගඟක් දක්නෙහිද, මාගේ ප්‍රියතෙම මාද පසුපස්සේ එන්නීයයි හඟිමින් වර්ෂාකාලයෙහි ඒ ගඟ එතෙර කෙළේය.

“මම වනාහි පිපුනාවූ අඟුන මල්ද යොහොඹු මල්ද සත් පෙති දෑසමන්ද සීනිද්දද නෙලීමි. මාගේ ප්‍රිය තෙමේද මල් මාලාබර ඇත්තෙක් වන්නේය. මමද මල්මාලා ඇතුව ඔහු වෙත එළඹෙන්නෙමියි.

“තවද මම රත්කරව්ද ඇසළද පළොල්ද නිකමල්ද කඩාරැස් කෙළෙමි. මාගේ ප්‍රිය තෙමේද මල්බර ඇත්තෙක් වන්නේය. මමද මල් මාලා ඇත්තී ඔහුවෙත එළඹෙන්නෙමි කියායි.

“තවද මම මනාව පිපියාවූ සල්ගසක මල් නෙලා මාලාවක් කෙළෙමි. මාගේ ප්‍රිය තෙමේද මල්බර ඇත්තෙක් වන්නේය මමද මාලා ඇත්තී ඔහුවෙත එළඹෙන්නෙමියි කීවාය.

“තවද මම මනාව පිපියාවූ සල්ගසක මල් කඩා බරක් කෙළෙමි. යම්තැනක අද මේ රැය වාසය කරන්නෙමුද, මේ මල් රැසද එහි අපට ඇතිරීම පිණිස වන්නේය.

“තවද මම ප්‍රමාද ස්වභාව ඇත්තී අගිල්ද සඳුන්ද ගලෙහිලා ඇඹරීමි. මාගේ ප්‍රිය තෙමේද සුවඳ ගල්වනලද ශරීර ඇත්තෙක් වන්නේය. මමද සුවඳ ගල්වනලද්දී ඔහු වෙත එළඹෙන්නෙමි කියායි.

“ඉක්බිති, වහා බස්නාවූ ගඟදිය රැස්කරණලද සල් මල්ද සලිල මල්ද, කිණිහිරිමල්ද ගසාගෙණ යමින් පැමිණියේය. ඒ මොහොතකින් ගඟ පිරීගියේය. මේ ගඟ මා විසින් එතෙර කළ නොහැකිවීය.

“එකල්හි ඉවුරු දෙකෙහි සිටියාවූ අපි දෙදෙන ඔවුනොවුන් දක්නාහු වරකුත් හැඬීමු. වරක් සිනාසුනෙමු. මෙසේ දුකින් අපට ඒ රාත්‍රී තොමෝ ගතවීය.

“එම්බා වැදිපුත්‍රය, උදෑසන වනාහි හිරු උදාවූ කල්හි දියහිස්වූ ගඟ එතෙර කොට අපි දෙදෙන ඔවු නොවුන් වැළඳගෙණ වරකුත් හැඬීමු, වරක් සිනාසුනෙමු.

“එම්බා වැදිපුත්‍රය, යම්කාලයක මෙහි අපි වෙන්ව විසුයෙමුද. ඒ කාලය මෙයින් පෙර තුනකින් අඩු අව්රුදු සත්සියයක් වෙත්. රජ්ජුරුවෙනි, වාසය කිරීම මේ එක්සියයක් හවුරුදු පමණවූ ජීවිත කාලයවේ. මෙසේ මේ සුළු ජීවිත කාලයෙහි කවරෙක් නම් ප්‍රිය භාර්‍ය්‍යාවගෙන් වෙන්ව (වාසයකරන්නේදැයි ඇසීය.)

“යහළු කිඳුරෙනි, තොපගේ ආයුෂද කොතෙක් වේදැයි ඉදින් දන්නහු නම් ආයුෂ පමණ කියව්, කිසිවෙකුගෙන් ඇසීමෙන් හෝ වැඩිමහල්ලන්ගෙන් අසා දැනීමෙන් හෝ මෙය කම්පා නොව මට කියව්යයි රජතෙම කීයේය.

“එම්බා වැදි රජ අපගේ ආයුෂය වනාහි අවුරුදු දහසක්වේ. අතර පවිටු රෝගයක්ද නැත්තේය. දුක ස්වල්පද වේ. වැඩි වශයෙන් සැපයම වේ. ඔවුනොවුන් කෙරෙහි පහ නොවූ ප්‍රේම ඇත්තෝව, ජීවිතය හරිමුයි කිඳුරී කීවාය.

“ඉක්බිති භල්ලාටිය නම් රජතෙම අමනුෂ්‍යවූ කිඳුරන්ගේ මේ කථාවද අසා ජීවිත කාලය ස්වල්පයයි දැන නැවතුනේය. මුවන් මැරීමෙහි නොහැසුරුනේය. දන් දුන්නේය සම්පත් අනුභව කෙළේයයි” වදාළේය.

“අමනුෂ්‍යවූ කිඳුරන්ගේ මේ පුවතද අසා සතුටුවව්, කලහ නොකරව්, යම්සේ ඒ කිඳුරන් එක් රැයක් තැවීද එපරිද්දෙන් තමාගේ කර්මදෝෂය තෙම තොප නොතවාවා.

“අමනුෂ්‍යවූත් කිඳුරන්ගේ මේ පුවතද අසා සතුටුවව්, විවාද නොකරව්, යම්සේ ඒ කිඳුරන් එක් රැයක් තැවීද, එසේ තමන්ගේ කර්මදොෂය තෙම තොප නොතවාවායි වදාළේය.

“ස්වාමීනි නොයෙක් අයුරින් දෙශනා කරණලද ධර්මය පහන් සිත් ඇත්තී මම ඇසුවෙමි. නුඹවහන්සේගේ අර්ථයෙන් යුක්තවූ වචන පථය කණට සුව එලවන්නාවූ මිහිරිවචන මුදමින් මාගේ ශොකය දුරුකෙළේමය දෙව් මිනිස් සැප එලවන්නාවූ මාගේ බුදුරජාණන්වහන්ස, බොහෝ කලක් ජීවත්වනු මැනවයි. මල්ලිකාදේවි කීවාය.”

භල්ලාතියජාතකං අට්ඨමං.