ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

15. වීසති නිපාතය

507. මහාපලෝභන ජාතකය

“සියලු කාම සම්පත්තීන් සමෘද්ධවූ කශී දනව්වෙහි රජහට මහත් ඍද්ධි ඇත්තාවූ දිව්‍යපුත්‍රයෙක් බ්‍රහ්ම ලෝකයෙන් චුතව පුත්‍රයෙක්ව උපන්නේය.

“වස්තු කාම ක්ලෙශකාමයන්හි ආශාව හෝ කාම සංඥාව හෝ බ්‍රහ්මලෝකයෙහි විද්‍යමාන නොවේ. යම් කුමාරයෙක් ඒ බ්‍රහ්ම ලෝකයෙහි නිපදවනලද ධ්‍යාන සංඥාවෙන්ම යුක්ත වූයේද, හෙතෙම කාමසම්පත් පිළිකුල් කෙළේය.

“ඔහුගේද අන්තඃපුරයෙහි පියා විසින් මනාකොට සාදවනලද ධ්‍යානාගාරයක් හෙවත් විවේකව වසන ගෙයක් වූයේය. හෙතෙම එහි විවේකයෙන් යුක්තව හුදකලාව රහසිගතව ධ්‍යාන කෙළේය.

“ඒ රජතෙම මාගේ මේ එකම පුත්‍රයා කම්සැප අනුභව නොකෙරේයයි පුත්‍ර ශොකයෙන් පෙළුනේ වැළපුනේය.

“යම්සේ මාගේ පුත්‍රයා කම්සැප කැමතිවන්නේද, මෙහි එබඳු කවර උපායක් හෝ වේද, කවරෙක් හෝ පළිබොධ කාරණයක් දනීද, කවරෙක් මාගේ පුත්‍රයා පොළඹවන්නේදැයි කීයේය.

“ඒ අන්තඃපුරයෙහිම රූපයෙන් හා වර්ණයෙන් යුක්තවූ නැටීමට හා ගී කීමට දක්ෂවූ වීණාවාදනයෙහිද සමර්ථවූ කුමරියක් වූය. ඕතොමෝ එහි රජු වෙත පැමිණ මෙය කීය.

“ඉදින් මාගේ ස්වාමි පුරුෂයා වන්නේ නම් මම ඔහු පොළොඹවන්නෙමි කියායි. එසේ කියන්නාවූ ඒ කුමාරියට රජතෙම තීම ඔහු පොළොඹවා ගනුව, තීගේ ස්වාමි පුරුෂයා වන්නේයයි මෙය කීයේය.

“ඕතොමෝද, අන්තඃපුරයට ගොස් බොහෝවූ කාමයන්ගෙන් යුක්ත කොටසින් කාවදින්නාවූ ප්‍රේම උපදවන්නාවූ විසිතුරු ගාථාවන් කීහු.

“ගායනා කරණු ලබන්නාවූ ඒ ස්ත්‍රියගේද ශබ්දය අසා මේ අනිර්ථිගන්ධ කුමාරයාට කාමරාගය උපන්නේය. හෙතෙම පිරිවර ජනයා විචාළේය.

“මේ කවරෙකුගේ ශබ්දයෙක්ද ඒ කවරෙක් හෝ උස් පහත්කොට අනෙකප්‍රකාරවූ සිත් කාවදින්නාවූ ප්‍රේම උපදවන්නාවූ තවද මාගේ කනට සුව එළවන පරිදි කියා දැයි ඇසීය.

“දෙවයන් වහන්ස, මෝතොමෝ ස්ත්‍රියක. මෝ තොමෝ මහත්වූ ක්‍රීඩාවක ඉදින් ඔබ කම්සැප අනුභව කරන්නේනම් එය වැඩි වැඩියක් කැමති වන්නාහුය.

‘එසේනම් මොබට ඒවා නුදුරු තන්හි ගායනා කෙරේවා, සයනාගාරයට සමීපව මාගේ සමීපයෙහි ගායනා කෙරේවා.

‘බිත්තියෙන් පිටත්හි ගායනාකොට ධ්‍යානාගාරයට ඇතුල්වූයේය. පිළිවෙළින් ඔහු වනයෙහිවූ ඇතෙකුමෙන් බැඳගත්තේය.

“ඒ කුමාරයාට කාම රසය දැන ඊර්‍ෂ්‍යා ස්වභාවයක් හටගත්තේ මමම කාම සම්පත් අනුභව කරන්නෙමි කම් සැප විදින අන්පුරුෂයෙක් නොවේවායි.

“ඉන්පසු කඩුවක්ගෙණ මිනිසුන් නසන්ට පටන් ගත්තේය. මමම තනිව කම්සැප විඳින්නෙමි. කම්සැප විඳින අන් පුරුෂයෙක් නොවේවායි.

“ඉක්බිති දනව් වැස්සෝ සියල්ලෝ රැස්වූවාහු මොරගා කීහ. මහරජ, ඔබගේ මේ පුත්‍රතෙම නිරපරාධ ජනයා පෙළායයි.

“රජතෙමේ ඔහුද මාගේ රට යම්තාක් වේද, ඒතාක් තැන තොප නොවිසිය යුතුයයි ස්වකීය රටින් පිට කෙළේය.

“ඉන්පසු හෙතෙම භාර්‍ය්‍යාව හැරගෙණ මුහුදු වෙරළට පැමිණියේය. එහි පන්සලක්කොට වාසය කරන්නේ පල වැල පිණිස වනයටද පිවිසියේය.

‘එකල්හි එහි සමුද්‍රය මතුමත්තෙහි තපස්වියෙක් ආයේය. හෙතෙම ආහාර වේලාව පැමිණි කල්හි ඒ කුමරුන්ගේ ගෙට ඇතුළුවිය.

“ඒ තව්සාද කුමරුගේ භාර්‍ය්‍යාතොමෝ පොළඹවා ගත්තේය. ඇයගේ ඉතා දරුණු කීමක් බලව. ඒ තාපසතෙම බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් ගිලිහුනේ ඍද්ධියෙන්ද පිරිහුනේය.

“රාජපුත්‍රතෙමේද, පලවැල සෙවීමෙන් වනයෙහි අලමුල් හා බොහෝවූ පලවැල කදකින් හැරගෙණ සවස් වේලෙහි අසපුවට පැමිණීයේය.

“තාපසතෙමේද රජ කුමරු දැක මුහුදට ලංවිය. අහසින් යන්නෙමියි හෙතෙම මහමුහුදෙහි ගැලෙයි.

“රාජපුත්‍රතෙමේද, මුහුදෙහි ගැලෙන්නාවූ තව්සා දැක ඔහුටම අනුකම්පාවෙන් මේ ගාථාවන් කීයේය.

“නොබිඳෙනු ලබන්නාවූ ජලය මතුපිට තෙමේ සෘද්ධියෙන් අවුත් ස්ත්‍රීය හා එක්වීමට පැමිණ මහාසාගරයෙහි ගැලෙහිය.

“මේ ස්ත්‍රීහු නම් කාමාවර්තයෙන් ආවර්තනය කරණ හෙයින් ආවර්තනීහ. මහත්වූ මායා ඇත්තාහ. බ්‍රහ්මචර්‍ය්‍යාව විනාශ කිරීමෙන් පුරුෂයන් අපාය ගල්වති. මෙය දැන නුවණැති පුරුෂතෙමේ ස්ත්‍රීන් දුරින්ම දුරුකරන්නේය.

“කොතෙක් පුරුෂයෝත් මොවුන්ට පමණ නොවන හෙයින් අනලා නම්වූ මොලොක්වූ කථා ඇත්තාවූ නොපිර විය හැක්කාවූ ගංගාවන් හා සමානවූ ඒ ස්ත්‍රීහු තමන් වෙත, පැමිණියවුන් අපායයෙහි ගල්වතියි දැන එකී ස්ත්‍රින් නුවණැත්තේ දුරින්ම දුරුකරන්නේය.

“මේ ස්ත්‍රීහු සිය කැමැත්තෙන් හෝ වස්තුව හේතු කොටගෙණ හෝ යම් පුරුෂයෙකු සේවණය කෙරෙද්ද, ස්වකීය ස්ථානය දවන්නාවූ ගින්න මෙන් වහා ඒ සේවනය කළහු දවත්.

“රජ කුමරුගේ වචනය අසා තපස්වීහට කාමයන්හි කලකිරීම වූයේය. හෙතෙම පළමු තිබූ ධ්‍යාන මාර්ගය ලැබ අහසින් යයි.

“රාජ පුත්‍රතෙමේද අහසින් යන්නාවූ ඍෂීහු දැක කලකිරීම ලැබුයේය. ප්‍රාඥාවූ හෙතෙම ප්‍රව්‍රජ්‍යාව කැමති වූයේය.

“ඉක්බිති හෙතෙම පැවිදිව කාම රාගය දුරු කෙළේය. කාම රාගය දුරුකොට බඹලොව උපන්නේයයි වදාළේය.”

මහාපලොභනජාතකං එකාදසමං.