ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

16. තිංස නිපාතය

511. කිංඡන්ද ජාතකය

“බ්‍රාහ්මණය, කවර අදහසක් ඇත්තේ කුමක් සිතමින් කුමක් පතමින් කුමක් සොයමින් කවර කරුණකින් ග්‍රීෂ්ම ඇත්තාවූ මේ ගංඉවුරෙහි තනිව හුන්නෙහිදැයි දෙව්දුව ඇසීය

“විශාලවූ මහත්වූ කලයක් යම්සේද, එබඳුවූ වර්ණයෙන්ද සුවඳින්ද රසයෙන්ද උතුම්වූ අඹගෙඩියක් විය. නිර්මලවූ මධ්‍යප්‍රදෙශ ඇති දෙවතා දුව ගඟ දියෙන් ගසා ගෙණ යන්නාවූ එය දැක මම අත්වලින් ගෙණ එය ගිනිහල් ගෙයට ගෙණ ගියෙමි.

“ඉන්පසු කෙසෙල් කොළවල එය තබා මම පිහියෙන් එය කපා මාගේ සාපිපාස දුරුකර ගතිමි.

“ඒ මම පහව ගියාවූ කායචිත්ත පීඩා ඇත්තෙමි. එය අඹ ඵලය අවසන් වූයේ දුක ඉවසන්නේ අන් කිසීම ඵලයෙක්හි ආස්වාදයක් නොලබමි.

“යම් අඹ ඵලයක් මධුරවූ රසයෙන් අග්‍රවූ සිත් කළුවූවක්වීද මහා ජලයෙහි බැසයන්නාවූ යමක් මම දියෙන් ගොඩ ගතිම්ද, එය මා වියලවා ඒකාන්තයෙන් මට මරණය එළවන්නේය.

“යම්හෙයකින් මම උපවාසය කෙරෙම්ද, මත්ස්‍යයන්ගෙන් යුක්තවූ දිගු පුළුල ඇති සිත් කළුවූ ගඟබලා හුන්නෙම්ද, මාවිසින් ඒ සියල්ල ඔබට කියන ලදී.

“අපලායිනිය, හෙවත් පැන නොයන්නිය, ඔබද මට තමා කියව, කළ්‍යාණිය, ඔබ කවරක් හෝ වෙහිද, මනා මධ්‍යප්‍රදෙශ ඇත්තිය, කුමකට හෝ ඔබ මෙහි ආයෙහිද

“මනාව ඔපමට්ටන් කරණලද රත්‍රංපටක් බඳුවූද පර්වත හිස්හී උපන් තරුණ ව්‍යාඝ්‍රධෙනුවක් බඳුද වූවාය. දෙවියන් අතර දෙවියන්ගේ යම් පරිචාරිකා ස්ත්‍රිහු වෙද්ද, මනුෂ්‍යලෝකයෙහි රූපයෙන් යුක්තවූ යම් ස්ත්‍රීහු වෙද්ද, දෙවියන් අතරෙහිද ගන්ධර්වලෝකයෙහි හා මනුෂ්‍යලෝකයෙහිද තිගේ රූපයට සමානවූ රූ ඇත්තියක් නැත්තේය.

“මනොඥවූ උතුම් ලක්ෂණයෙන් යුත් තැනැත්තිය මාවිසින් විචාරණ ලද්දී වෙහි එය කියව නාමයද නෑයන්ද මට කියවයි, තවුස්තෙම කීයේය.

“බ්‍රාහ්මණය, ඔබ යම් කෝසිතී නම් සිත් කළු ගංගාවක් බලා හුන්නෙහිද, උතුම් ජලය බැසයන්නාවූ සැඩ පහරින් යුක්තවූ ඒ ගංගාවෙහි පිහිටි විමානයෙහි අධිගෘහිතවූ දෙවතා දූ නම් මම වෙමි.

“නොයෙක් වෘක්ෂ සමූහයාගෙන් ගැවැසී ගත්තාවූ බොහෝවූ කඳුරැළි මාම ප්‍රමුඛකොට ඇත්තාහුවෙත්. බොහෝවූ වර්ෂා ජලය මේ ගඟටම ඇතුල් වෙත්.

“තවද, බොහෝවූ ඒ ඒ වනයෙන් වැහෙන්නාවූ ජලයෝද ප්‍රවිෂ්ට වෙත්. නීලවර්ණ ජලයෙන් යුත් දිය පහරවල් දරන්නාවූ නාගයන් සතුටු කරණ වන සංඛ්‍යාත ජලයෙන් හෝ යුක්තවූවාහු බොහෝවූ ගංඟාවෝ මේ ගඟට පිවිසෙත්.

“ඒ නදීහු අඹ, දඹ, හා දෙල්ද, බක්මීද, තල්ද, දිඹුල්ද, යන බොහෝ ගෙඩි ජාතීන් නිරන්තරයෙන් මේ ගඟදිය පහරට පමුණුවත්.

“ඒ ගඟ උභය තීරයෙහි යම්කිසි ඵලයක් දියෙහි වැටේද, එය මේ ගංගා ජලපහර අනුව ගියාවූ ඵලයයි. සැක නැතිවේ.

“මහත්වූ ප්‍රඥා ඇත්ත නුවණැත්තේ මෙය දැන මාගේ වචනය අසව, මහරජ, තෘෂ්ණාවශයෙන් ඇලීම රුචි නොවෙව, එය දුරුකරව,

“රට වර්ධනය කරන්නාවූ මහරජ, මස් ලේ වලින් වැඩෙමින් තරුණව සිටි ඔබ යම් හෙයකින් නිරාහාරව මරණය කැමැති වෙහිද, එහෙයින් මම මෙය නුඹගේ නුවණින් වෘද්ධ බවකැයි නොහඟිමි.

“ඔහුගේ තෘෂ්ණා වසඟවීම බ්‍රහ්මයෝද දෙවියන් සහිතවූ ගන්ධර්වයෝද සංයමවූ සිත් ඇති යශස් ඇත්තාවූ ලෝකයෙහි යම් ඍෂීහු ඇද්ද, නුවණින් වැඩුනාවූ යශස් ඇත්තාවූ ඔව්හු නිසැකයෙන් දැන ගනිත්යයි දෙව්දුව කීය.

“නුවණැත්තේ සියලු සුචරිත ධර්මය මෙසේ දැන ජීවිතයාගේ නැසීමද චුතවීමද දැන සිටීද ඉදින් ඒ අනිකාගේ වධය පිණිස නොසිතාද, ඒ මනුෂ්‍යයාට පව්රැස් නොවේ.

“මෙසේ ලොවට හිත ඇත්තාහුයයි ඍෂි සමූහයා විසින් දක්නාලද කල්හි මාකෙරෙහි අයහපත්වූ නින්දා කිරීම කැමැත්තෙන් යුක්තවූ තැනැත්තිය තී පාප කර්මයක් හැරගනු කැමැත්තෙහිය.

“පුළුල්වූ මනා කටිප්‍රදෙශ ඇත්තිය, ඉදින් මම තිගේ ගංඉවුරෙහි මැරෙන්නෙම්ද, මා පරලොව ගිය කල්හි තිට සැක නැතිව අපකීර්තියෙක් පැමිණෙන්නේය.

“මනා මධ්‍ය ප්‍රදෙශ ඇත්තිය. එහෙයින් පාප කර්මයෙන් ආරක්ෂාවෙව, මා මළකල්හි තිට සියලු ජනතෙම පසුව නින්දා නොකෙරේවායි.

“නොඉවසිය හැක්ක ඉවසන සුළු මහරජ, මේ කරුණ මාවිසින් දන්නාලදී. යමෙක්තෙම හැරදැමිය නොහැකි කාමගුණයන්හැර සංයම් සීලයෙහිද සුචරිත ධර්මයෙහිද පිහිටියේවීද, ඒ ඔබට තමාද ඒ අඹද දෙමි.

“යමෙක්තෙම පළමු බන්ධය හැර පසුව තෘෂ්ණා බන්ධනයෙක් හි පිහිටියේ වේද, හෙතෙම අධර්මයෙහිද හැසිරේ මොහුගේ පාපයද වැඬේ.

‘එව, ඒ අඹ උයනට පමුණු වන්නෙමි. ඒකාන්තයෙන් අඹ ඵල කෙරෙහි මන්දොත්සාහ වෙව, සිහිල්වූ අඹ උයනෙහි නොකලකිරී වාසය කරව.

“මහරජ, මල් රසයෙන් මත්වූ වක්වූ ග්‍රීවා ඇති ලිහිණින් විසින් නාද කරණ ලද ඒ අඹඋයන බලව, කොස්වා ලිහිණිහුද මොණරුද දිව්‍යවූ කෝයට්ඨි නම් පක්ෂිහුද ස්වර්ණශාලීය නම් පක්ෂිහුද එහි වෙසෙත්.

“හංස සමූහයා විසින් නාද කරණලද්දාවූ මේ අඹ උයනෙහි කොවුලෝ නාද කරන්නාහු තමන් ප්‍රබොධ කෙරෙත්. මෙහි අඹ වෘක්ෂයෝ පලබරින් නැමුනු අතු අග ඇත්තාහ. සමහර බිම්පෙදෙස් මල් රැසින් හැල් පිදුරු ඇති කලවිටි සමානයහ. වනුක්ද හොරගස්ද බක්මීද ඇත්තාහ. පැසුනු පලබරින් යුත් තල්ගස්ද ඇත්තාහයි කීවාය.

“දිවමල් දරන්නාවූ මිනි ඔටුනු දරන්නාවූ දිව අබරණ පැළඳ අංගදාභරණයෙන් යුක්තවූ රත්සඳුන් ගැල්වූ තොපි රාත්‍රියෙහි දිව්‍ය සම්පත් අනුභව කරන්නෙහිය. දාවල් වනාහි දුක්වේදනාව විඳින්නෙහිය.

“යම් මේ සොළොස් දහසක් දිව්‍ය ස්ත්‍රීහුවෙද්ද, ඔව්හු ඔබට පරිචරණය කරන්නාහ. මෙසේ අද්භූතවූ දුටුවන් ලොමු ඩැහැගන්වන්නාවූ මහත් ආනුභාව ඇත්තේ වෙහිය.

“මනුෂ්‍ය ලෝකයෙහි යම් කර්මයක්කොට දැන් තමාගේ පිටමස් කන්නෙහිද, පෙර තමහට දුක්එලවන්නාවූ කවර නම් පාපකර්මයක් කෙළේදැයි ඇසුවේය.

“පෙර ජාතියෙහි මම වේදයන් හදාරාකාමයන්හි ඇළුනෙක්වීමි. මම බොහෝ කලක් අනුන්ට අවැඩ පිණිස හැසුරුනෙමි. යම් පුද්ගලයෙක් අනුන්ගේ පිට මස් කන්නාවූ කේලාම් කියන්නෙක්වේද, යම්සේ මම අද තමන්ගේ පිට මස් කන්නෙම්ද, මෙසේ හෙතෙම තමාගේ පිටමස් කඩ කඩා කන්නේයයි විමාන ප්‍රේතයා කීයේයයි” වදාළේය.

කිංඡන්දජාතකං පඨමං.