ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

16. තිංස නිපාතය

514. ඡද්දන්ත ජාතකය

“රන්වන් ශරීර ඇත්තිය, කුමකට ශොක කෙළෙහිද, උතුම් ශරීර වර්ණ ඇත්තිය කුමක් හෙයින් පඬුවන්වූයෙහිද, මහත්වූ ඇස් ඇත්තිය අත් වලින් මඩනා ලද පියුම් මාලාවක් මෙන් කුමක් නිසා මළානිකවූයෙහි දැයි (රජතෙම ඇසීය.)

“මහරජ, සිහිනයෙන් මට දොළක් පැමිණියේය. මාගේ ඒ දොළ යම්බඳුද, හෙතෙම පහසුවෙන් ලැබෙන ස්වභාව ඇත්තෙක් නොවේම” යයි (බිසව කීවාය.)

“එම්බා නන්දනිය, මේ ලෝකයෙහි මිනිසුන් අයත්වූ යම්කිසි කාම සම්පත් කෙනෙක් ඇද්ද, ඒ සියල්ල මට බොහෝ සුලභ වෙත්. මම තිට දොළදෙමියි (රජතෙම කීයේය)

“දේවයන්වහන්ස, ඔබගේ රාජ්‍යයෙහි යම්කිසි වැදි කෙනෙක් වෙත් නම් ඔව්හු කැඳවත්වා. මාගේ දොළ යම්බඳු වේද, මම එය මේ වැද්දන්ට කියන්නෙමියි බිසව කීවාය.”

“එම්බා දේවිය, මේ ඒ වැද්දෝ දක්ෂවූවාහු භය නැත්තාහු වෙත්. වනාන්තර දන්නාහුද මෘගයන් හඳුනන්නා හුදවෙත්. මේ සියල්ලෝම මා සඳහා හරණලද දිවි ඇත්තෝද, වෙත්යයි රජතෙම කියේය.”

“මෙහි යම්තාක් වැදිපුත්‍රයෝ රැස්වූවාහුද, ඒ සියල්ලෝ අසව්. මම ස්වප්නයෙහි ෂට්වර්ණ දළ ඇති ශ්වෙත වර්ණවූ ඇතෙකු දුටුවෙමි. ඔහුගේ දළ වලින් මට ප්‍රයෝජන ඇත්තේය. එය නොලැබූ කල්හි මාගේ ජීවිතය නැතැයි බිසව කීවාය.

“එම්බා දේවිනි, අපගේ පියවරුන් විසින්ද මුත්තනුවරු විසින්ද එබඳු ෂට්වර්ණ දළ ඇති ඇතෙක් දක්නාලදැයි නොඅසනලදී. රාජපුත්‍රීතොමෝ ස්වප්නයෙහි යම් ඇතෙකු දිටීද, ඒ ඇත් රජතෙම යම්බඳු නම් එය අපට කියව.

“ස්වප්නයෙහි යම් ෂට්වර්ණ දළ ඇති ඇතෙකු දිටීද, ඒ ඇත්රජතෙම සතර දිසාවය. සතර අනුදිසාවය, උඩය, යටය යන මේ දස දිසාවන් ගෙන් කවර දිසාවක සිටීදැයි වැද්දා ඇසීය.

“මෙතැනින් ඍජුව උතුරු දිශාවෙහි මහත්වූ පර්වත සතක් වෙත්. ඉන් සයක් ඉක්මවා මනාව පිපුනාවූ ගස් ඇති කිඳුරන්ගෙන් ගැවසීගත්තාවූ සුවර්ණ පාර්ශව නම් මහත් පර්වතයක් වෙයි.

“කිඳුරන්ගේ වාසභවනයවූ ඒ පර්වතයට නැගී පර්වත පාමුල බලව, එකල්හි මේඝයකට සමාන වර්ණ ඇති අටදහසක් උඩින් පහළට ඇදෙන මුල් ඇති මහත් නුගරුකක් දක්නෙහිය.

“එහි ඒ නුග ගස යට ෂට්වර්ණ දළ ඇති සතුරන් විසින් මැඩලිය නොහැකි සියල්ල සුදුවූ ඇත් රජතෙම සිටියි. රථ හිස සමාන දළ ඇති වාතයටබඳු වේගයෙන් ගොස් සතුරන්ට පහරදෙන්නාවූ අටදහසක් හස්තීහු ඔහු රකිත්.

“ඒ ඇත්තු බිහිසුනු ලෙස ප්‍රශ්වාස කරමින් සිටිත්. කම්පාවූ වාතයටද කිපෙත්. එහි මනුෂ්‍යවූවෙකු වනාහි දැක හළුකරන්නාහුය. ඔහුගේ ධූලිවත් ඉතිරි නොවන්නේයයි දේවි තොමෝ කීවාය.

“එම්බා දේවීනි, මේ රාජ කුලයෙහි රත්තරණින් කරණලද්දාවූ මුතු, මැණික් වලින් කරණලද්දාවූද වෙරළු මිණියෙන් කරණලද්දාවූද, බොහෝවූ ආභරණයෝ ඇත්තාහ. දළකඩ පළඳනායෙන් කුමක් කරන්නෙහිද, ඔබ ෂට්වර්ණ දළ ඇති ඇත් රජ මරවනු කැමැත්තීවෙහිද, නොහොත් වැදි පුත්‍රයන් මරවනු කැමැත්තෙහිදැයි වැද්දා ඇසීය.

“එම්බා වැදිපුත්‍රය, ඒ මම හටගත් ඊෂ්‍යා ඇත්තී දුකින් පෙළුනීද විමි. එය සිහිකරන්නී මම මත්තෙහිද වියලෙන්නෙමි. වැදිපුත්‍රය, මාගේ මේ කටයුත්ත කරව, තොපට ගම්වර පසක් දෙන්නෙමියි දේවී තොමෝ කීවාය.

“දේවීනි, ඒ හස්ති රාජතෙම කොතනක වෙසේද, කොතැන්හි සිටීමට පැමිණේද, ස්නානයට ගියාවූ මොහුගේ ගමන් වීථිය කවරක්වේද, කෙසේනම් හෙතෙම ස්නානය කෙරේද ඒ ඇතුගේ ගතිය කෙසේ දනිමුදැයි වැද්දා ඇසීය.

“ඒ වාසස්ථානයෙහිම නුදුරුතන්හි සිත්කළුවූද මනාකොට ඇත්තාවූද මහත්වූ ජලය ඇත්තාවූද බමර සමූහයාගෙන් ගැවසීගත්තාවූද ඒ පුෂ්කරණියක් හෙවත් ඡද්දන්ත නම් විල ඇත්තේය. මේ විලෙහි වනාහි ඒ ඇත්රජ තෙම ස්නානය කරයි.

“හිස සහිතව ස්නානය කළාවූ උපුල් මල් දරන්නාවූ සියල්ල සුදුවූ හෙළ පියුම් බඳු සමින් යුත් ශරීර ඇති ඇත්රජ තෙම සතුටු වෙමින් සර්ව සුභද්‍රා නම් මෙහෙසිය පෙරටුකොට

ගෙණ ස්වකීය නිවාස ස්ථානයට පැමිණේයයි දේවීතොමෝ කීවාය.

‘වැදිතෙම එහිදීම දේවියගේ වචනය උගෙණ හියවුරුද මහදුන්නද ගෙණ හෙතෙම මහත්වූ පර්වත හත ඉක්මවා ස්වර්ණපාර්ශව නම් මහා පර්වතය දැනගත්තේය.

“කිඳුරන්ගේ වාසභවනයවූ පර්වතයට නැග පර්වත පාමුල බැලීය. එහි මේඝය බඳු වර්ණ ඇති අටදහසක් පාරෝහ ඇති මහත්වූ නුගරුක දුටුයේය.

“එහි (නුගරුකයට) ෂට්වර්ණ දළ ඇති සියල්ල සුදුවූ සතුරන් විසින් මැඩලිය නොහැකිවූ ඇත්රජු දුටුයේය. රථහිස් සමාන දළ ඇති වාතය බඳු වේගයෙන් ගොස් සතුරන්ට පහර දෙන්නාවූ අටදහසක් හස්තීහු ඔහු රකිත්.

“ඒ ඇත්රජතෙම යම් විලෙක්හි ස්නානය කෙරේද, එහිම නුදුරුතැනෙක්හි සිත්කළුවූද, මනාකොට ඇත්තාවූද මහත් ජලය ඇත්තාවූද, සුපිපි මල් ඇත්තාවූද, බමර සමූහයාගෙන් ගැවැසීගත්තාවූද, ඒ විල දුටුයේය.

“ඇත්රජහුගේ ගමන්කරණ තැන්ද, නැවතී සිටින තැනද, ස්නානයට ගියාවූ මොහුගේ යම් ගමන් වීථියක් වේ නම් එයද දැක චිත්ත වසඟයට ගියාවූ දේවිය විසින් මෙහෙයන ලද යහපත් ස්වභාව ඇති වැදිතෙම වලක් සෑරුවේය.

“ඒ වැද්දා වලක් සාරා තමාද, දුන්නද එහි ඇතුලත් කොට පුවරුවලින් වැසීය. නපුරුකම්කරණසුළුවූ ඒ වැදි තෙම තමන් පාර්ශවයෙහි ආවාවූ ඒ ඇත්රජුට මහත්වූ ඊයකින් විද්දේය.

“විදිනලද්දාවූද, ඇත්රජතෙම මහත්ලෙස කුඤ්ච නාද කෙළේය. සියලුම ඇත්තු දරුණු ස්වභාවයෙන් කුඤ්ච නාදකළාහුය. ඒ ඇත්තු තෘණරඬපලාද කාෂ්ටද සුණු කරමින් හාත්පස අටදිසාවට දිව්වාහුය.

“මොහු නසන්නෙමියි අල්වාගන්නේ ඍෂීන්ගේ ධ්වජයවූ කාෂාය වස්ත්‍රය හෙවත් සිව්ර දුටුයේය. දුකින් පෙළුනාවූ ඇත් රජුට රහතුන්ගේ ධ්වජය මේසිව්ර සත්පුරුෂයන් විසින් නොනැසිය යුතුයයි මේ සංඥාව පහළවූයේය,

යහළු වැදි පුත්‍රය, යම් පුරුෂයෙක් රාගාදී කෙළෙස් කසට වලින් යුක්තවූයේ ඉන්ද්‍රිය දමනයෙන් හා වාක් සත්‍යයෙන් තොරවූයේ කාෂාය වස්ත්‍ර වැළඳ ගන්නේද, හෙතෙම කාෂාය වස්ත්‍රය වැළඳ ගැණීමට සුදුස්සෙක් නොවේ.

“යමෙක් වනාහි වමාරණලද කෙළෙස් කසට ඇත්තෙක් සීලයන්හි මනාව පිහිටියෙක් වන්නේද ඉන්ද්‍රිය දමනයෙන් හා වාක් සත්‍යයෙන් යුක්තවූ හෙතෙම ඒකාන්තයෙන් කාෂාය වස්ත්‍රය වැළඳගැණීමට සුදුසු වේයයි කීයේය.

“මහත්වූ ඊතලයකින් විදින ලද ඇත් රජතෙම දූෂ්‍ය නොවූ සිත් ඇත්තේ වැද්දාට මෙසේ කීයේය. යහළු වැදි පුත්‍රය, කුමක් පතමින් කුමක් හේතුකොටගෙණ හෝ මට හිංසා කෙළේද, මේ කවරෙකුගේ ප්‍රයෝගයක් හෝ වේදැයි ඇත් රජතෙම ඇසීය.

“ස්වාමීනි, කසී රජහුගේ මෙහෙසි තොමෝ සුභද්‍රා නම් වීය. ඕතොමෝ රජ කුලයෙහි පුදන ලද්දීවේ ඕතොමෝ ඔබ දුටුවාය. ඒ සුභද්‍රා දේවීතොමෝ මටද කීයේය. දළවලින් ප්‍රයෝජන ඇත්තේයයිද මට කීයේයයි වැද්දා කීයේය.

“මාගේ පියවරුන්ගේද මුත්තනුවරුන්ගේද යම් දාඨායුග්ම වෙද්ද, ඒ මේ මහත්වූ දාඨායුග්මයෝ බොහෝ ඇතැයි ඕතොමෝ දනියි. ක්‍රොධ ඇත්තාවූ අඥානවූ මට වධ කරණු කැමතිවූ ඒ රාජ පුත්‍රීතොමෝ වෛරයක් කෙළේය

“වැදිපුත්‍රය, තෝ කියත ගෙණ නැගී සිටුව, මා මැරෙන්ට පෙර මේ දත්දෙක කපව, ඒ ක්‍රොධ ඇත්තාවූ රාජ පුත්‍රියට හස්තිරාජතෙම නසන ලදී. එබැවින් මේ ඔහුගේ දළදෙක ගණුවයි කියවයි ඇත් රජතෙම කීයේය.

ඒ වැදිතෙම නැගිට කියත ගෙණ උතුම් ඇත් රජහුගේ දළ කපා පොළොවෙහි අසමානවූ සෝභාවත්වූ ඉතා යහපත්වූ ඒ දළදෙක ගෙණ එතනින් වහා නික්ම ගියේය.

“ඇත්රජුට විදීමෙන් මරණ භයින් තැතිගත්තාවූ දුක්වූ යම් ඒ හස්තීහු අට දිශාවන්ට දිව්වාහුද ඔව්හු ඇතුන්ට පසමිතුරුවූ පුරුෂයා නොදැක ඒ ඇත් රජතෙම යම් තැනෙක්හිද එතනට පෙරලා ආවාහුයයි වදාළේය.

“ඒ හස්තීහු එතැන්හි හඬා වැළප සොහොනෙහි පස් ස්වකීය හිසෙහි විසුරුවා ඒ සියල්ලෝ සර්ව සුභද්‍රා නම් මෙහෙසිය පෙරටුකොට ස්වකීය නිවාස ස්ථානයට ගියාහුයයි වදාළේය.

“ඒ වැදිතෙම ඇත්රජුගේ මනොඥවූ සුන්දරවූ පෘථිවියෙහි අසමානවූ රන්වන් රැසින් හාත්පස බබුළුවන්නාවූ දළදෙක හැරගෙණ කශී රටට පැමිණියේය. හෙතෙම ඇත් රජ නසනලදී. එබැවින් ඔහුගේ මේ දළදෙකයයි. රාජ කන්‍යාවට දළදෙක දුන්නේය.

“පළමු ජාතියෙහි ප්‍රිය ස්වාමීවූ ඇත්රජහුගේ දළ දෙක දැක ශොකයට පත්වූ ඇගේ එහිදීම හෘදය පැලුනේය ඒ හේතුවෙන්ම ඒ අඥාන තැනැත්ති කළුරිය කෙළේයයි වදාළේය.

“සම්‍යක්සම්බෝධියට පැමිණියාවූද මහත් ආනුභාව ඇති ශාස්තෲන් වහන්සේ පිරිස් මැද සිනා පහළකළ සේක. කෙළෙසුන් කෙරෙන් මිදුනාවූ සිත්ඇති රහත් භික්ෂුහු බුදුවරයෝ නිකරුනේ සිනහ පහළ නොකරන්නේයයි කරුණ විචාළාහුය.

“මහණෙනි, කසටවත් හැන්දාවූ ශාසනයෙහි පැවිදිව වාසය කරන්නාවූ යම් තරුණ කුමරියක් දක්නහුද ඕතොමෝ වනාහි එකල්හි රාජ කන්‍යාව වූවාය. එකල්හි මම ඇත් රජ වීමි.

“යම් වැද්දෙක් ඇත් රජහුගේ මනොඥවූ යහපත්වූ පෘථිවියෙහි අසමානවූ දළදෙක කපාගෙණ කශීරටට පැමිණියේද, එකල්හි හෙතෙම වනාහි දැන් දෙවදත්ත වූයේය.

“පහවූ කෙළෙස් දරථ ඇති පහවූ ශොක ඇති පහවූ කෙළෙස් හුල්ඇති බුදුරජතෙම බොහෝ කලකට පෙර සැරි සරණ ලද උස් පහත්වූ මේ පුරාණ චරිතය ප්‍රකාශකොට වදාළේය.

“මහණෙනි, මම වනාහි එකල්හි ඒ ඡද්දන්ත විලෙහි වුයෙමි. එකල්හි ඇත්රජද වීමි. මෙසේ මේ ජාතකය දරව්ය”යි වදාළේය.

ඡද්දන්තජාතකං චතුත්ථං.