ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

16. තිංස නිපාතය

516. මහාකපි ජාතකය

“බරණැස් නුවර කශීදනව් වැස්සන්ගේ රට වර්ධනය කරන්නාවූ රජෙක් වූයේය. මිත්‍රයන්ගෙන්ද, ඇමැතියන්ගෙන්ද පිරිවරණලද ඒ රජතෙම මිගාජිර නම් උයනට ගියේය.

“එහිසේවත කුෂ්ටයෙන් සුදුවූ කබර රෝගයෙන් කැළල්වූ කුෂ්ටරෝග ඇත්තාවූ පිපීගිය කොබෝලීල ගසක් මෙන් විශෙෂයෙන් නැසුනාවූ කෘෂවූ ඉල්පී ගිය නහර ඇත්තාවූ බමුණෙකු දුටුවේය.

“ඉතා කරුණා කළයුතුබවට පැමිණියාවූ, දුකට පැමිණියාවූ ඒ මිනිසා දැක විෂ්ම පත්වූ රජතෙම සතුන් අතුරෙන් තෝ කවරෙක්දැයි ඇසීය.

“තොපගේ අත් පා සුදු වෙත් හිස, එයට වඩා සුදුය. තොපගේ ශරීරය තිත් සහිතය. තෝ කුෂ්ටය බහුලකොට ඇත්තේද වෙහි.

“තොපගේ පිට ඇටවැළක් මෙන් උස් පහත්විය. තොපගේ ශරීරාවයවයෝ කළුවැල් පුරුක් මෙන්වූහ. මෙබඳුවූ අන් පුරුෂයෙකු නොදිටිමි.

“රජසින් ගැවසීගත් පා ඇති හටගත් උද්වෙග ඇති කෘෂවූ ඉල්පුනු නහර ඇති සයින් පිඩීතවූ තෝ වියලීගිය ශරීර ඇත්තෙක් වෙහිය. කොයි සිට ආයෙහිද, කොතැන්හි යෙහිද,

“දැකිය නොහැකිවූ ශරීරාකාර රහිතවූ දුර්වරණවූ භයානක දැකුම් ඇත්තෙක් වෙහිය. තොපගේ වැදූ මවවූ යම් තැනැත්තියක්වේද, ඒ මවද තා දකින්ට නොකැමැති වන්නේය.

“පෙර කිනම් කර්මයක් කෙළේද, කවර වධ නොකොට යුත්තෙකු නැසුයේද, යම් ඒ දරුණු කර්මයක්කොට මේ දුකට පැමිණියේදැයි රජතෙම ඇසීය.

“මේ ලෝකයෙහි වනාහි සත්‍ය වචන ඇත්තහුට පණ්ඩිතයෝ ප්‍රශංසාකෙරෙත්. එබැවින් මම දක්ෂ පුරුෂයෙක් යම්සේද, එසේ ඔබට කියන්නෙමි.

“මම තනිව ගවයන් සොයා ඇවිදිමින් මුළාවූයේ අරාජකවූ හිස්වූ විවේකයෙන් නොයෙක් හස්තීන් විසින් සේවනය කරණ ලද්දාවූ හිමාලයෙහි මනුෂ්‍යපථය ඉක්මවා හැසුරුණෙමි.

“චණ්ඩ මෘගයන් විසින් හැසිරෙනලද වනයෙහි මම මුළාවූයෙමි. එහි සත් දිනක් සා පිපාසා දෙකින් පෙළුනේ හැසුරුනෙමි.

“එහි අනුභව කරණු කැමැත්තේ විෂම තැනෙක්හි පිහිටියාවූ ප්‍රපාතයට අභිමුඛව එල්බෙන්නාවූ මිහිරි ඵල දරන්නාවූ තිඹිරි ගසක් දුටුයෙමි.

“සුළඟින් වැටුනාවූ ගෙඩි අනුභව කෙළෙමි. ඒ ගෙඩි මට බොහෝ සෙයින් රුචිවූහ. එයින් තෘප්තියට නොපැමිණියේ ගසට නැග එහි හිඳගෙණ උන්නෙමි.

“එක ගෙඩියක් මා විසින් අනුභව කරණ ලද්දේවිය. දෙවන ගෙඩියක් කැමතිවන ලදී. එහෙයින් ඒ අත්ත පොරොවෙන් කැපුවාක් මෙන් බිඳුනේය.

“ඒ මම අතු සමග උඩුකුරුවූ පා ඇත්තේ යටිකුරුවූ හිස ඇත්තේ පිහිටක් නැති එල්බීමක් නැති පර්වත දුර්ගයෙහි වැටුනෙමි.

“යම්හෙයකින් ජලයෙන් ගැඹුරුවීද, එහෙයින් අත් පා බිඳීමට නොපැමිණියෙමි. එහි දුක්වූයේ පිහිටක් නැත්තේ දශ රැයක් සයනය කෙළෙමි.

“ඉක්බිති පර්වතයෙහි හැසිරෙන්නාවූ ගෝණාංගුල නම් වඳුරෙක් අත්තෙන් අත්තට පනිමින් ගස්වල ගෙඩිකමින් මෙහි ආයේය.

“හෙතෙම කාෂවූ පඬුවන්වූ මා දැක මා කෙරෙහි කරුණා ඇති බවක් කෙළේය. පින්වත, මෙහි මෙසේ දුකින් පෙළුනාවූ හෙතෙම කවරෙක් නම් වේද, මනුෂ්‍යයෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ වෙහිදැයි තමා මට කියව.

“ඔහුට ඇඳිළිකොට මේ වචනය කීමි. මම ව්‍යසනයට පැමිණියාවූ මිනිහෙක්මි. මට මෙයින් ඒ ගොඩට ගමනක් නැත. එය ඔබට කියමි ඔබට යහපතක් වේවා. ඔබද මට පිහිට වෙවයි කීයේය.

“වඳුරු රජතෙම බරවූ ගලක් ගෙණ ගල හා යෙදීමක්කොට පර්වතයෙහි හැසිරෙමින් මෙය කීයේය.

“එව, මාගේ පිටට නැග අත් දෙකින් ග්‍රීවය අල්වා ගනුව, මම තා වේගයෙන් ගිරි දුර්ගයෙන් ගොඩට ලන්නෙමි.

“ශ්‍රීමත්වූ ඒ වඳුරු රජහුගේ ඒ වචනය අසා ධෛර්‍ය්‍ය සම්පන්නවූ ඔහුගේ පිටට නැග අත් දෙකින් බෙල්ල අල්වා ගත්තෙමි.

“තේජස් ඇත්තාවූ බලවත්වූ ඒ වඳුරුතෙම වෙහෙසෙමින් දුකසේ වේගයෙන් මා ඒ නරකාවාටයෙන් ගොඩ සිටවීය.

“මා ගොඩගෙණ වෙහෙසවූ ශ්‍රෙෂ්ඨවූ වඳුරුතෙම යහළුව, මම මොහොතක් කල් නිදන්නෙමි. එබැවින් මා ආරක්ෂා කරවයි මේ වචනය කීයේය.

“සිංහයෝද, ව්‍යාඝ්‍රයෝද, දිවියෝද යනාදීවූ මේ වනයෙහි යම් චණ්ඩ මෘගයෝ වෙද්ද, ඔව්හු ප්‍රමාදවූ මට හිංසා කරන්නාහුය. ඔබ ඔවුන් දැක වළක්වව,

“මෙසේ මට ආරක්ෂා කරන්ට කියා ඒ වඳුරුතෙම මොහොතක් නිදාගත්තේය. එකල්හි මම නුණුවණින් මෙනෙහිකර ලාමකවූ දෘෂ්ටියක් ලදිමි.

“සෙසු වන මෘගයන් මෙන්ම මේතෙමේද මිනිසුන්ගේ ආහාරය වේ. එබැවින් සාදුකින් පෙළුනේ මේ වඳුරා මරා කන්නෙම් නම් යෙහෙක.

“අනුභව කරණ ලද්දේද, මාර්ගොපකරණ වශයෙන් මස් හැරගෙණද යන්නෙමි. එහෙයින් වනකතර එතර කරන්නෙමි. මට මාර්ගොපකරණද වන්නේයයි.

“ඉක්බිති ගලක්ගෙණ හිසට ගැසුයෙමි. ආහාරයෙන් ක්ලාන්තවූ මාගේ පහර දුර්වලවිය.

“වහා නැගිට්ටාවූ ලෙයින් වැකුණාවූ ඒ වඳුරු තෙමේද කඳුළු පිරුණු ඇස්වලින් යුක්තව හඬමින් මා දෙස බැලීය.

“පින්වත් තෙමේ මට යහපතක් නොකෙළේය. මට මෙබඳු දෙයක් කෙළෙහිය. උඹට දීර්ඝායුෂ වෙහිවා. සෙස්සන් වළකන්ට සුදුසු වෙහිය. (එසේවූවක් මට කෙළෙහිය.)

“එබඳු නපුරු දෙයක් කළාවූ බොල පුරුෂය, මා විසින් මෙබඳු දුර්ගමවූ ප්‍රපාතයෙන් ගොඩනගනලද තෝ මෙබඳු අයුත්තක් කෙළෙහි ඉතා පුදුමය.

“පරලොවින් ගෙණෙනලද්දෙකු මෙන් නරාවලෙන් ගොඩගත්තාවූ තෝ මට ද්‍රෝහ කරන්නෙමියි සිතුයෙහිය. ලාමක ස්වභාව ඇත්තාවූ පවිටුවූ තා විසින් ඒ පවිටු සිත සිතනලදී.

“අධර්මයෙහි පිහිටි තැනැත්ත තෝ මෙබඳු කටුක වේදනාවක් නොවිඳුව, තා විසින් කළ ඒ පාපකර්මයේ ඵලය තෙම හුණ ගස මෙන් තා නොනසාවා.

“ලාමක ස්වභාව ඇති සංයම නැති පුරුෂය, තා කෙරෙහි මාගේ විශ්වාසයෙක් නැත. මාගේ පිටුපසින් එව සමීපයෙහි මා දකිමින්ම යව,

“වල් මෘගයන් අතින් මා මුදනලද්දේය. මිනිසුන් වාසය කරණ ප්‍රදෙශයට පමුණුවන ලද්දේ අධර්මිෂ්ටය, මේ මාර්ගය වේ. ඒ මගින් සුවසේ යවයි කීයේය.

“පර්වතවාසීවූ වඳුරුතෙම මෙය කියා හිසෙහිවූ රුධිරය සෝදා කඳුළු පිසදමා එතනින් පර්වතයට නැංගේය.

“ඒ මම ඒ වඳුරු රජ විසින් සාපකරණලද්දේ දැවීමෙන් පෙළුනේ වෙමි. දැවෙනු ලබන්නාවූ ශරීරයෙන් යුක්තව ජලය පානය කරන්ට එක් විලකට ආයෙමි.

“මේ සියලු විල ගින්නෙන් හුණුකරණ ලද්දාක් මෙන්ද ලේ වැකුනාක් මෙන් පූයාලේ සමානව මට වැටහුනේය.

“යම්තාක් දිය බින්දු මාගේ ශරීරයෙහි වැටුනාහුද, ඒතාක් අඹ, බෙලි හා සමානවූ ගණ්ඩයෝ හටගත්තාහුය.

“මේ ගණ්ඩයෝ කුණුවූවාහු බිඳී පූයා ලේ වැගුරුණාහුය. යම් යම් මගකින්ම ගම්වලද නියම්ගම්වලද මම යෙම්ද,

“එහි ස්ත්‍රීහුද පුරුෂයෝද දඩුගත් අත් ඇත්තාහු කුණු ගඳින් ගැවසීගත් හෙයින් මේ දිශාවට නොඑවයි. මා වළකත්.

“මාගේ මෙබඳුවූ මේ දුකට දැනට සත් අවුරුද්දක් වෙත්. පූර්වයෙහි තමන් කරණලද මිත්‍රද්‍රෝහි කර්මයවූ ස්වකීය කර්මය විපාක විඳිමි.

“එහෙයින් තොපට මම කියමි. තොපට යහපතක් වේවා. යම්තාක් දෙනා මෙහි රැස්වූවාහුද, ඒ සියල්ලෝ යම් හෙයකින් මිත්‍රද්‍රෝහි කර්මය ලාමකවේද, එහෙයින් මිත්‍රයන්ට ද්‍රෝහකරන්නෝ නොවෙත්වා.

“මේ ලෝකයෙහි යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ කෙළේද, හෙතෙම කුෂ්ට රෝගියෙක් කිලාස ඇත්තෙක්වේ. ඒ මිත්‍ර ද්‍රෝහතෙම මරණින් මතු නරකයෙහි උපදීයයි” වදාළේය.

මහාකපිජාතකං ඡට්ඨං.