ඛුද්දකනිකාය

ජාතක

(දුතියො භාගො)

17. චත්තාළීස නිපාතය

524. සංඛපාල ජාතකය

“සුන්දරවූ ශරීරෝභාස ඇත්තේ ප්‍රසන්නවූ ඇස් ඇත්තේ වෙහිය. පින්වත් තෙමේ ශ්‍රෙෂ්ඨ කුලයෙන් පැවිදිවීයයි හඟිම්. සප්‍රාඥය කෙසේනම් වස්තූන්ද සම්පත්ද හැර ගිහිගෙන් නික්ම පැවිදිවීදැයි (බරණැස් රජ ඇසීය.)

“නරදේවවූ මහරජ, මහත් ආනුභාව ඇත්තාවූ නාග රාජයාගේ විමානය තෙමේ දැක පුණ්‍යයන්ගෙන් මහත්වූ විපාකයද දැක මම ශ්‍රද්ධාවෙන් පැවිදිවූයෙමියි (තාපසයා කීයේය.)

“කැමති දෑ කැමැත්තෙන්ද භයින්ද ද්වෙෂයෙන්ද ප්‍රව්‍රජිතයෝ බොරු බස් නොකියත්. විචාරණ ලද්දේ මට මේ කාරණය කියව, එය අසා මාගේ ප්‍රශාදය හටගන්නේය.

“මහරජ, වෙළඳාම පිණිස යන්නාවූ මම මහා මාර්ගයෙහි අතිශයින් වැඩුනාවූ ශරීරය ඇති මහත්වූ නාගයෙකු තඩලාගෙණ සතුටු වෙමින් යන්නාවූ වැදි පුත්‍රයන් දුටුවෙමි.

“මහරජ, ඒ මම ඔවුන් හා එක්වීමි. අතිශයින් ඩැහැගත් ලොම් ඇත්තේ භයවූයේ ඔවුන්ට මෙසේ කීයෙමි. බිහිසුනු ශරීරයක් ඇති මේ නාගතෙම කොහි ගෙනියනු ලැබේද, වැදිපුත්‍රයිනි, නාගයාගෙන් කුමක් කරන්නහුදැයි ඇසීමි.

“අතිශයින් වැඩුනාවූ ශරීර ඇති උරග නම්වූ මහත්වූ මේ නාගතෙම භෝජනය පිණිස ගෙණයනු ලැබේ. මොහුගේ මාංශය මිහිරිද මහත්ද මෘදුද වේ. වේදේහි පුත්‍රය, ඔබ මෙහි රස නොදන්නෙහිය.

“මෙයින් අපි සිය ගෙදරට ගොස් ශස්ත්‍රයන් ගෙණ කඩ කඩ කොට කපා සතුටුවෙමින් මස් අනුභව කරන්නෙමු. අපි වනාහි ඒකාන්තයෙන් නයින්ගේ සතුරෝ වෙමුයි කීහු.

“අතිශයින් වැඩුනාවූ සිරුරු ඇති මහත්වූ මේ සර්ප තෙම ඉදින් භෝජනය සඳහා ගෙණයනු ලැබේ නම්, මම තොපට ගවයන් සොළොස් දෙනෙක් දෙමි. මේ නාගයා බැම්මෙන් මුදා හරිව්යයි කීයෙමි.

“ඒකාන්තයෙන්ම මෙතෙම අපගේ මන වඩන්නාවූ ආහාරයවේ. බොහෝවූද නාගයෝ අප විසින් අනුභව කළ විරූහ. විදේහි පුත්‍රවූ ආළාරය, ඔබගේ ඒ වචනය කරමු. ඔබ අපගේ මිත්‍රයාද වෙවයි කීහ.

“මහරජ, එකල්හි නාසයෙන් විද කරණලද යම් බැමි වූවාහුද, ඔව්හු ඒ නාගයා බන්ධනයෙන් මිදුවාහුය. බන්ධනයෙන් මිදුනාවූ ඒ නාරජතෙමේද පෙරදිගට අභිමුඛව මොහොතක්කල් ගියේය.

“පෙරදිගට අභිමුඛව මොහොතක්කල් ගොස් කඳුළු පිරුණු නෙත්වලින් මා දෙස බැලීය. එකල්හි මම දසැඟිලි ඇඳිලි බැඳ පිටුපසින් ඔහුට අනුව ගියෙමි.

“ඔබ ඉක්මන් කොටම යව සතුරෝ තා නැවත අල්වා නොගනිත්වා වැද්දන් හා එක්වීම නැවත දුක්වන්නේ මැයි. භෝජ පුත්‍රනම්වූ වැද්දන්ගේ නොපෙනීමට යවයි කීමි.

“ඒ නාරජතෙම විශේෂයෙන් ප්‍රසන්නවූ නිල් පැහැ ඇත්තාවූ සිත්කළුවූ මනාකොට ඇති දඹගස් වලින් හා හොමු වඟුවලින් ගැවසී ගත්තාවූ විලට ගියේය. සතුටු සිත් ඇති එතෙර කළ භය ඇති ඒ නාරජතෙම එහි ඇතුල්වූයේය.

“මහරජ, ඒ නාරජතෙම ඒ විලට ඇතුල්ව නොබෝ කලකින්ම දිව්‍ය ශරීරයෙන් යුක්තව මා ඉදිරියෙහි පහළවූහ. පුත්‍රයෙක් පියෙකුට මෙන් හෘදයංගමවූ කනට සැපවූ වචන කියමින් මට උපස්ථාන කෙළේය.

“පින්වත් ආළාරය, ඔබ මාගේ මවද වෙහිය. පියාද වෙහිය. අභ්‍යන්තරවූ ප්‍රාණය දුන්නාවූ යහළුවාද වේ. ස්වකීය ඍද්ධියද නැවත ලබාදෙන ලද්දේවෙමි. ආළාරය, බොහෝ කෑ යුතු දෑ ඇති බොහෝවූ ආහාරපාන ඇති ශක්‍රයාගේ දිව්‍යපුරය වැනිවූ මාගේ නිවාසස්ථානයන් බලවයි නාරජතෙම කීයේය.

“මහරජ, ඒ නාග භවනය යම්තැනෙක පැමිණියවුන්ගේ ශෝකය දුරුකෙරෙද්ද, එහි කැට කැබිලිති සහිතවූද මෘදුවූද යහපත්වූද නීච තෘෂ්ණාවලින් යුක්තවූද රජස් රහිතවූද භූමි තොමෝ ප්‍රශාද එලවන්නීය. එබඳු භූමි භාගවලින් යුක්තවේ.

“එහි සමව පිහිටියාවූ භූමියවේ. වෛදූර්‍ය්‍ය බඳු නිල් පැහැ ඇති පොකුණක් වේ. එහි සතරදිශාවෙහි ඉතා රම්‍යවූ අඹ වනයවේ. එහි පැසුනාවූද තරුණවූද ඵල හටගත් අඹගස් වෙත්. ඔව්හු හැම ඍතුවලම ඵල දරත්ය යි කීයේය.

“නරදේවවූ රජ්ජුරුවෙනි, ඒ වන මැද ප්‍රභාශ්වර හෙයින් දැකුම් කටයුතු රිදීමය කවුළු දොරවල් ඇති ස්වර්ණමයවූ මහත්වූ ප්‍රාසාදය අහස විදුලියක් මෙන් බබළයි.

“මහරජ, එහි මාණික්‍යමයවූද ස්වර්ණමයවූද මහත්වූ නොයෙක් විසිතුරුකම් ඇත්තාවූ නිරන්තරයෙන් මොනවට නිර්මිත කරණලද්දාවූ කූටාගාර හා ගබඩා ගෙවල් ඇත්තාහ. ඔව්හු ස්වර්ණමය අඟු පළඳනා දරන්නාවූ අලංකාරයෙන් සැරසුනාවූ නාග කන්‍යාවන්ගෙන් සම්පූර්ණවූහ

“අලාමකවූ ශරීර වර්ණ ඇති ඒ සංඛපාල නාරජ තෙම් ඉක්මන් ස්වභාව ඇත්තේ (මා අතින් අල්වාගෙණ) දහසක් ටැම් ඇත්තාවූ අතුල්‍ය ආනුභාව ඇත්තාවූ ප්‍රාසාදයට නැග ඔහුගේ අග මෙහෙසිවූ භාර්‍ය්‍යාතොම යම්තැනෙක්හි වීද, එතනට පැමිණවී.

“එකල්හි එක් ස්ත්‍රියක්තොමෝ ඉක්මන් ස්වභාව ඇත්තී ජාතිමත් මැණික් වලින් යුක්තවූ මාහැඟිවූ වෛඩූර්‍ය්‍යමයවූ යහපත් මැණික් ආසනයක් නොමෙහෙයන ලද්දී එලවීය.

“ඉක්බිති නාරජතෙම මා අතින් අල්වාගෙණ උතුම් වූ ආසනයේ හිඳුවීය. මෙය උතුම් ආසනය වේ ඉක්මන් ස්වභාව ඇති ජලය හැරගෙණ පැමිණ පින්වත්තෙමේ මෙහි හිඳීවා. පින්වතා වනාහි මාගේ මව්පියන්ගෙන් එක්තරා කෙනෙකියි කීයේය.

“ජනාධිපතිවූ රජ්ජුරුවෙනි, අන් ස්ත්‍රියක්ද ප්‍රියවූ ස්වාමිපුත්‍රයක්හුගේ භාර්‍ය්‍යාවක් මෙන් මාගේ පා සේදීය.

“තවද අන්‍ය ස්ත්‍රියක්තොමෝ ඉක්මන් ස්වභාව ඇත්තී ස්වර්ණමයවූ තලියකින් නොයෙක් සැප හා නානාප්‍රකාර ව්‍යඤ්ජන ඇති මනොඥ ස්වභාව ඇතියෙකු හැර ගෙණවුත් මා වෙතට එළවීය.

“භාරත දෙශාධිපතිවූ රජ අනුභව කළාවූ ආහාර ඇති මට ඒ දිව්‍යකන්‍යාවෝ ස්වාමි පුරුෂයාගේ සිත් දැන නොයෙක් තූර්‍ය්‍ය වාදනවලින් උපස්ථාන කළාහුය. ඉන්පසු ඒ නා රජ තෙම මහත්වූ දිව්‍යමය කාම සම්පත් වලින් යුක්තව මාවෙතට පැමිණියේය.

“පින්වත්වූ ආළාර නම් මානවකයා මාගේ මේ තුන් සියයක් භාර්‍ය්‍යාවෝ සියල්ලෝ මනා මධ්‍ය ප්‍රදෙශ ඇත්තාහ. පියුම් බඳුවූ මතු ශරීර ස්වභා ඇත්තාහ. මොවුන් කෙරෙහි ඔබට කැමති පරිද්දක් කරව, ඔවුන් ඔබට දෙමියි පරිචාරිකාවන් කරගණුවයි කීයේය.

“මහරජ, මම හවුරුද්දක් දිව්‍යපඤ්චකාමයන් අනුභවකොට එකල්හි ඒ නා රජුට පසුව මෙසේ කීමි. සංඛපාල නම් නා රජහුගේ මේ සම්පත්තිය කිනම් කර්මයක් කොට කෙසේ ලබන ලද්දේද, මේ ශ්‍රෙෂ්ඨවූ විමානය කෙසේ ලැබුයේද,

“නාගරාජය, නුඹ විසින් මේ උතුම් විමානය හේතුවක් නැතුව ලබන ලද්දේද, පිරිනැමීමෙන් ලබන ලද්දක්ද, තමා විසින් කරණ ලද්දක්ද, නොහොත් දෙවියන් විසින් දෙන ලද්දක්ද මේ උතුම් විමානය කෙසේ ලැබුයේදැයි මේ කාරණය ඔබ විචාරමියි කීයේය.

“ආළාරය, මා විසින් මේ විමානය අහේතුවෙන් ලබන ලද්දක් නොවේ. පිරිනැමීමෙන් ලබන ලද්දක් නොවේ. තමා විසින් කරණ ලද්දක්ද නොවේ. දෙවියන් විසින් දෙනලද්දක්ද නොවේ. අළාමකවූ ස්වකීයවූ පුණ්‍ය කර්මවලින් මා විසින් මේ විමානය ලබන ලදැයි නා රජතෙම කීයේය.

“ඔබගේ වෘත්ත සමාදානය කුමක්ද, කිනම් ශ්‍රෙෂ්ඨ චර්‍ය්‍යාවක්ද කරණ ලද කවර කර්මයක්හුගේ මේ විපාකයවේද, නාග රාජය මේ කාරණය මට කියව. ඔබ විසින් මේ විමානය කෙසේ ලබන ලද්දේ දැයි ඇසීමි.

“ආළාරය, මම මහත් ආනුභාව ඇත්තාවූ මගධෙශ්වරවූ දුය්‍යොධන නම් රජෙක් වීමි. ඒ මම මේ මනුෂ්‍ය ජීවිතය ස්වල්පය බොහෝ කල් නොපවත්නේය. පෙරලෙන ස්වභාවයයි දැන,

“ප්‍රසන්නවූ සිත් ඇත්තේ ආහාරද පානවර්ගද සකස් කොට මහත්වූ දානය දුනිමි. එකල්හි මාගේ ගෘහය පැන් පොකුණක් මෙන් වීය. ශ්‍රමණ බ්‍රාහ්මණයෝද මා විසින් සන්තර්පනය කරණ ලද්දාහ.

“මල් ද සුවඳ ද විලවුන් ද පහන් උපකරණ ද යානෝප කරණද ආවාසද වස්ත්‍රද ශයනාසනද නැවත ආහාර පානද එහි සකස්කොට දානයන් දුනිමු.

“ඒ මාගේ ව්‍රත සමාදානයවේ. ඒ වනාහි ශ්‍රෙෂ්ඨ චර්‍ය්‍යාවවේ. කරණලද ඒ කර්මයාගේ මේ විපාකයවේ. ඒ කුශල කර්මයෙන්ම බොහෝවූ කෑයුතු දෙය ඇති බොහෝ ආහාරපාන ඇති නෘත්‍ය ගීත වලින්ද යුක්තවූ බොහෝ කල් පවත්නාවූ මේ විමානය මා විසින් ලබන ලදී. මේ තෙමේද සදාකාලික නොවේයයි නා රජතෙම කීයේය.

“දළම ආයුධකොට ඇත්තාවූ නාගරාජය, තද ආනුභාව නැත්තාවූ තේජස් නැත්තාවූ ඒ වැදිපුත්‍රයෝ මහත් ආනුභාව ඇති තේජසින් යුක්තවූ ඔබට කුමක් හෙයින් හිංසා කළාහුද, කුමක් නිසා වැද්දන්ගේ අතට අසුවූයේද?

“දළ ආයුධකොට ඇත්තාවූ නාගරාජය, කිම ඔබගේ තේජස් ඔවුන්දැක මහත්වූ භය අනුව ගියේද, ඔබගේ විෂ දත්මුල් අනුව නොගියේද, කුමක් නිසා වණිබ්බකයන් අත වෙහෙසට පත්වූයේදැයි ඇසීය.

“තාගේ තේජස් මහත්වූ භය අනුව ගියේනොවේ. මාගේ තේජස් නසන්ට ඔව්හු නොහැකි වෙත්. මනාකොට ප්‍රකාශ කරණ ලද්දාවූ සත්පුරුෂ ධර්මයෝද මුහුදුවෙරළ මෙන් නොඉක්ම විය හැක්කාහුවෙත්.

“ආළාරය, මම තුදුස්වක්දිනද පසළොස්වක් දිනද නිතර පෙහෙවස් සමාදන්ව වසමි. එකල වැදිපුත්‍රයෝ සොළොස් දෙනෙක් රැහැන්ද දැඩිවූ මලපුඩුද ගෙණ ආවාහුය.

“මාගේ නාසය විද රැහැණක් ඇද හෙවත් රැහැනකින් බැඳ වැදි පුත්‍රයෝ මා තඩලාගෙණ ගියාහුය. මා සමාදන්වූ පෙහෙවස නොනසා රක්නා කල්හි මම මෙබඳුවූ දුකක් ඉවසීමි.

“නාගරාජය, බලයෙන්ද ශරීරවර්ණයෙන්ද යුක්තවූ තපස් රකින්නාවූ ඔබ ඒක පදික මාර්ගයෙහි වැද්දෝ දුටුවාහුය. නාගරාජය, සම්පත්තියෙන්ද ප්‍රඥාවෙන්ද වැඩුනේ වෙහිය. කුමක් සඳහා තපස් කෙරෙහිදැයි ඇසීය.

“ආළාරය, පුත්‍රයන් හේතුකොටගෙණ නොවේ. ධනය හේතුකොට ගෙණද නොවේ. ආයුෂය හේතුකොට ගෙණද නොවේ. මනුෂ්‍ය යෝනිය ප්‍රාර්ථනා කරන්නෙම් වෙමි. එහෙයින් උත්සාහකොට තපස් රකිමියි කීයේය.

“නාගරාජය, ඔබ ලේවන් ඇස් ඇත්තේ නසනලද අන්තරා ඇත්තේ අලංකාරයෙන් සැරසුනේ කපන ලද හිසකේ රැවුල් ඇත්තේ රත්සඳුන්වලින් විලවුන් ගල්වන ලද්දේ ගාන්ධර්ව රාජයාමෙන් දිශාවන් බබුළුවන්නෙහිය.

“සියලු කාම සම්පත්තියෙන් යුක්තවූයේ මහත් ආනුභාව ඇත්තේ දිව්‍යමය ඍධියට පැමිණියේ වෙහිය. නාගරාජය, මේ කාරණය ඔබ විචාරමි. කවර කරුණකින් මනුෂ්‍ය ලෝකය සේම මීට වඩා උතුම් වේදැයි ඇසීය.

“ආළාරය, මනුෂ්‍යලෝකයෙන් අන්තැනක පිරිසිදු වීම හෝ ශීලසංයමය හෝ විද්‍යමාන නොවේ. මමද මනුෂ්‍යාත්මය ලැබ ජාතිමරණයන්ගේ කෙළවර කරන්නෙමියි නාරජතෙම කීයේය.

“නාගරාජය, මාවිසින් ඔබගේ සමීපයෙහි අව්රුද්දක් කල් වසන ලදී. ආහාරයෙන්ද පානයෙන්ද උපස්ථාන ලද්දෙමි. දැන් ඔබට කියායමි. නාගරාජය, මම බොහෝ කලක් වාසය කෙළෙමියි කීයේය.

“ආළාරය, මාගේ පුත්‍රයෝද අඹුවෝද අනුව ජීවත් වන්නෝද නිතර අනුශාසනා කරණ ලද්දාහු ඔබට උපස්ථාන කිරීමට පැමිණ සිටින්නාහ. කිමෙක්ද ඔවුන්ගෙන් කිසිවෙක් ඔබට අසතුටක් කෙළේද, ඔබගේ දැක්ම මට ප්‍රිය වේමැයි නාරජතෙම කීයේය.

“යම්සේ මවගේද පියාගේද ගෘහයෙහි උතුම්වූ ප්‍රිය පුත්‍රයෙක් තෙම පෝෂ්‍ය කරණ ලද්දේම වේද, නාග රාජය, යම්හෙයකින් ඔබගේ සිත මා කෙරෙහි ප්‍රසන්න වීද, එහෙයින් මට මෙයම උතුම්වේයයි ආළාරතෙම කීයේය.

“ආළාරය, ධනය ලබාගන්නාවූ ලොභිතංක නම් මාගේ මාණික්‍යයක් ඇත්තේය. ඒ මහත්වූ මාණික්‍යරත්නය ස්වකීය ගෙදරට හැරගෙණයව, එයින් ධනය ලබාගෙණ නැවත එය මා වෙතටම පමුණවවයි. නා රජතෙම කීයේය.

“මහරජ, මාවිසින් මිනිසුන් අයත්වූද දිව්‍යවූද කම්සැප දක්නා ලදහ. ඒ කාමයෝ බොහෝකල් නොපවත්නාහ. පෙරලෙන ස්වභාවය ඇත්තාහ, මෙසේ කාමගුණයන්හි දෝෂ දැක මම ශ්‍රද්ධාවෙන් පැවිදිවූයේ වෙමි.

“මහරජ ගස්වල පැසුනාවූද නොපැසුනාවූද ගෙඩි මෙන් තරුණවූද මහළුවූද සත්වයෝ ශරීර භෙදයෙන් වැටෙන්නාහ. මෙයද දැක නොවරදින්නාවූ මහණකමම උතුම් වේයයි පැවිදිවූයේ වෙමියි තාපසතෙම කීයේය.

“ආළාරනම් තාපසය, යම් කෙනෙක් බොහෝ කරුණු සිතන්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු වෙද්ද ඒ සප්‍රාඥයෝ ඒකාන්තයෙන් සේවනය කටයුත්තාහ. අළාරය, ඒ නාගරාජයාද ඔබගේ පැවැත්මද අසා මම බොහෝවූ පින් කරන්නෙමියි රජතෙම කීයේය.

“මහරජ, බොහෝ කරුණු සිතන්නාවූ බොහෝ ඇසු පිරූ තැන් ඇත්තාවූ යම් කෙනෙක් වෙද්ද, එබඳුවූ සප්‍රාඥයෝ ඒකාන්තයෙන්ම සේවනය කටයුත්තාහ. සංඛපාල නම් නාගරාජයා ගැනද මා පිළිබඳවද තොරතුරු අසා බොහෝවූ පිංකම් කරවයි තාපසතෙම අවවාද කෙළේය” යි වදාළේය.

සඞ්ඛපාලජාතකං චතුත්ථං.