ඛුද්දකනිකාය

ජාතක

(දුතියො භාගො)

18. පණ්ණාස නිපාතය

526. නලිනී ජාතකය

“නලිනී කුමරිය මෙහි එව, ජනපදය නියඟෙන් දා ගියාක්මෙන් වේ. රටද විනාශ වේ. යව, ඒ මාගේ රටට වැසි වළක්වන්නාවූ බ්‍රාහ්මණයා හෙවත් ඉසිසිංග තාපසයා වසඟකරගෙණෙවයි රජතෙම කීයේය.

“මහරජ, මම දුක් නොඉවසිය හැක්කෙමි. මම මාර්ගය දැනීමෙහිද දක්ෂ නොවෙමි. වනැතුන් විසින් සේවනය කරණ ලද මහ වනයෙහි මම කෙසේ යන්නෙම්දැයි නලිනී කුමරිය ඇසුවාය.

“එම්බා නලිනී කුමරිය, හස්ති යානාවෙන්ද රථයානාවෙන්ද සමෘද්ධවූ ජනපදයට ගොස් සුදුසුතැන්හි දැවමය යානාවෙන්දැයි මෙසේ යව.

“හස්ති සේනාවද, අශ්ව සේනාවද, රථ සේනාවද, පාබල සේනාවද ක්ෂත්‍රියයන්ද හැරගෙන යව, තීගේම වර්ණයෙන් හා රූපයෙන් ඒ තාපසයා වසඟයට පමුණුවාගෙණ එන්නෙහියයි රජතෙම කීයේය.

“කදලී නම් ධ්වජ සලකුණු ඇත්තාවූ ආභූජිපත්‍ර වනයෙන් පිරිවරණලද්දාවූ සිත්කළුවූ ඉසිසිංග තාපසයාගේ මේ ආශ්‍රමයතෙම දක්නාලැබේ.

“මේතෙම ඒ තාපසයා විසින් පුදනලද ගින්නවේ. එහි මේ දුම දක්නාලැබේ. මහත් ඍද්ධි ඇත්තාවූ ඉසිසිංග තාපසතෙම ගිනිපුදායයි සිතමියි කීයේය.

“ඉසිසිංග තාපසතෙම අමුනනලද මිණිකොඬොල් ඇති එන්නාවූ ඇයද දැක බියවූයේ කොළ සෙවිලි කළාවූ අසපුවට පිවිසියේය.

“මේ තාපසයාගේ අසපුව දොරටුවෙහිද ඕතොමෝ අවයව දක්වමින් රහස් අවයවද ප්‍රකට කෙරෙමින් පන්දුවකින් ක්‍රීඩාකරයි. පන්සලට වැදුනාවූ තපස්වීතෙම ක්‍රිඩාකරන්නාවූ ඇයද දැක අසපුවෙන් නික්ම මේ වචනය කීයේය.

“පින්වත, යම්බඳුවූ ඔබගේ මෙසේ ගියාවූ පන්දුව දුරටද දමනලද්දේ පෙරලා එයද, ඔබහැර නොයයිද, එබඳු ඵල ඇති ගස කිනම්වේදැයි (පන්දුව සඳහා ඇසීය)

“එම්බා තාපසය, ගන්ධමාදන පර්වතයෙහිවූ මාගේ අසපුව සමීපයෙහි යම් ගසක මෙසේ ගියාවූ ඵලය දුරටද දමා ගසනලද්දේ පෙරලා ඒද, මා හැරදමා නොයයිද, එබඳු වෘක්ෂයෝ එහි ඇත්තාහයි මෙසේ බොරු කීවාය.

“පින්වත්තෙමේ මේ අසපුවට ඒවා, පලවැල අනුභව කෙරේවා. පා දෝනා පැන්ද, කෑයුතු පලවැලද, පිළිගණුව. තොපට දෙමි. මේ ආසනයවේ. පින්වත් තෙමේ මෙහි හිඳගනීවා. පින්වත් තෙමේ මෙයින් අල මුල් හා පලවැල අනුභව කෙරේවායි කියේය.

“පින්වත ඔබගේ ඌරුයුග්මය අතර මනාස්පර්ශ ඇති කළුවූවක් මෙන් මේ කුමක්නම් පෙනේද, විචාරණ ලද්දේ මේ කාරණය මට කියව, ඔබගේ උතුම් අවයවය හෙවත් ලිඟු සටහන ශරීර සංඛ්‍යාත කෝශයෙහි ඇතුල්වීදැයි ඇසීය.

“පින්වත් තාපසය මම වනයෙහි අල මුල් හා පලතුරු සොයමින් හැසිරෙන්නේ ඉතා දරුණු ස්වභාව ඇති වලසෙකුට ලංවිමි. ඒ වලසා මා වෙතට පැනගෙණ වහා පැමිණියේ මා පෙරලා මාගේ උතුම් අවයවය කටින් ඩැහැ උදුරා ගත්තේය.

“ඒ මේ වනයතෙම සෑරෙයි. කැසීමද කෙරෙයි එහෙයින් සියලුකල්හිම මම සුවයක් නොලබමි. පින්වත් තෙමේ මේ කැසීම දුරුකරන්ට සමර්ථවේ. මා විසින් යාඥා කරණලද පින්වත්තෙමේ බ්‍රාහ්මණයාගේ මේ කටයුත්ත කෙරේවායි (තාපස කන්‍යාව කීවාය.)

“පින්වත ඔබගේ මේ වනයතෙම ගැඹුරු ස්වභාව ඇත්තේය. රතු පැහැ සහිතය. කුණුමස් නැත්තේය. මඳ මද ගඳ ඇත්තේය. මහත්වූයේද වේ. පින්වතා යම්සේ අතිශයින් සුවපත්වූවෙක් වන්නේද, එසේ ඔබට කිසියම් කෂාය යෝගය කරමියි ඉසිසිංග තාපසයා කීයේය.

“පින්වත් බ්‍රහ්මචාරීය, මන්ත්‍ර යෙදීම්ද, කෂාය යෙදීම්ද, ඖෂධයෝද යන මොහු මෙය පහසු බවට නො පමුණුවත්. යම්සේ මම ඉතා සුව ඇත්තෙක් වන්නෙම්ද එපරිද්දෙන් ඔබගේ මෘදුවූ යම් අවයවයක්වේද, එයින් මේ කැසීම දුරුකරවයි නලිනීතොමෝ කීවාය.

“මෙතනින් කවර දිශාවෙක්හි පින්වතාගේ අසපුව වේද, කිම පින්වතා වනයෙහි සිත්අලවන්නෙහිද, කිම ඔබට අල මුල් හා පලතුරු බොහෝ වේද, කිමෙක පින්වතාට වන මෘගයෝ හිංසා නොකෙරෙද්දැයි ඉසිසිංග තාපසයා ඇසූයේය.

“පින්වත, මෙතැනින් ඍජුව උතුරුදිශාවෙහි ඛෙමා නම් ගංගාව හිමවත් පර්වතයෙන් ගලාබසියි. ඒ ගඟ ඉවුරෙහි මාගේ සිත්කළු අසපුව වේ. පින්වතා මාගේ අසපුව දක්නේ නම් යහපති.

“එහි අඹ ගස්ද, සල් ගස්ද, එරහැන්ද ගස්ද, දඹ ගස්ද, ඇසල ගස්ද, පළොල් ගස්ද, පිපියාහුවෙත්. හාත්පස කිඳුරන් විසින් ගායනාකරණ ලද්දේද වේ. පින්වත්තෙමේ මාගේ අසපුව දක්නේනම් යහපති.

“මෙහි වර්ණයෙන් හා සුවඳින් යුක්තවූ තල්ගස්ද, තල් අලද, තල් ගෙඩිද, ඇත්තාහ. ඒ ආශ්‍රමය මෙබඳු භූමි ප්‍රදෙශයන්ගෙන් යුක්තවේ. පින්වත් තෙමේ මාගේ අසපුව දක්නේ නම් යහපති.

“මෙහි වර්ණයෙන්ද, ගන්ධයෙන්ද, රශයෙන්ද යුක්තවූ පලතුරුද, අල මුල්ද, බොහෝ වෙත්. ඒ ප්‍රදේශයට වැද්දෝද එන්නාහ. එයින් මාගේ අල මුල් හා පලතුරු ඒ වැද්දෝ හැරනොගනිත්වායි නලිනී තොමෝ කීවාය.

“යහළු තාපසය, මාගේ පියා අල මල් හා පලතුරු සෙවීමට ගියේ දැන්. සවස්වූකල්හි එයි. පියතෙමේ යම්තාක් කල් අල, මුල් හා පලතුරු සෙවීමෙන් පැමිණේද, ඒතාක් සිටුව ආකල්හි කියා අපි දෙදෙනම ඒ අසපුවට යන්නෙමුයි ඉසිසිංගතෙම කීයේය

“යහළු තාපසය, අන්‍යවූද බොහෝ යහපත් ස්වභාව ඇති බ්‍රාහ්මණ ඍෂීහුද රාජඍෂීහුද මාගේ අසපුවට යන මග දෙපස වාසය කරත්. මාගේ ඒ අසපුව ඔවුන් අතින් විචාරව ඔව්හු ඔබ මාගේ සමීපයට පමුණුවන්නාහුයයි කියා ගියාය.

“පුත්‍රය, නුඹ විසින් දර නොකඩනලදහ. නුඹවිසින් දිය නොගෙණෙනලදී නුඹ විසින් ගින්නද නොදල්වන ලද්දේය. කුමක් හෙයින් බාලයෙකු මෙන් සිතන්නෙහිද,

“බ්‍රහ්මචාරීවූ ඉසිසිංග තාපසය, පෙර දවස් නුඹ විසින් දර බිඳිනලදහ. ගිනිද පුදන ලද්දේමවේ. ගිනිතපින උපකරණද තා විසින්ම සපයනලදහ. මට හිඳගැනීමට පුටුවද තබනලද්දේවේ. පා දෝනා දියද එළවනලද්දේවේ. නුඹ ශ්‍රෙෂ්ඨයෙක්ව මේ අසපුවෙහි සිත් ඇලවූයෙහිය.

“මාගේ පුත්‍රය, අද නුඹ නොබිඳිනලද දර ඇත්තේ වෙහිය. නොගෙණෙනලද දිය ඇත්තේවෙහිය. නොදල්වන ලද ගිනි ඇත්තේ වෙහිය. පිළියෙළ නොකරණ ලද භෝජන ඇත්තේවෙහිය. මා හා නුඹ කථා නොකරන්නෙහිය නුඹගේ කුමක්නම් නැතිවූයේද සිතෙහි හටගත්තාවූ කෙබඳු දුකක් හෝ වීදැයි පිය තවුස්තෙම ඇසීය.

“පියාණෙනි, ජටාධරවූ තාපසයෙක් මෙහි ආයේය. ඉතා දැකුම්කටයුතුවූ මනා ශරීරයක් ඇත්තාවූ හෙතෙම මේ අසපුව බබුලුවයි. ඉතා දික් නොවූයේද, ඉතා කොට නොවූයේදවේ. ඒ පින්වත් තාපසයාගේ ඉතා කළු පැහැ ඇත්තාවූ හිසකෙස්වලින් වැසුනු හිසවේ

“රැවුල හටනොගන්නේය පැරැණි ස්වභාව ඇත්තෙක් නොවේ. ඔහුගේ බොටුවෙහි වනාහි පාත්‍රාධාරබඳු වූවක්දවේ (මුතුහර සඳහා කීය.) ඔහුගේ ලයෙහි උභය පාර්ශවයෙහි මනාව හටගත්තාවූ රන් පන්දු වැනිවූ පැහැ විහිදෙන්නාවූ ගණ්ඩයෝ දෙදෙනෙක්ද වෙත්. (පියවුරු සඳහා කීය.)

“ඔහුගේ මුහුණද බොහෝසෙයින් දැකුම්කටයුතුවේ. කන්වල අගින් නැමුනාහුද එල්බෙත් (කුණ්ඩල සඳහා කීය) එහා මෙහා යන්නාවූ මානවකයාගේ ඒ කුණ්ඩලයෝ ජටාවන් එකතුකළාවූ යම්හුයක් ඇද්ද, එයද බබුළුවත්.

“ඔහුගේ අන්‍යවූද, නිල්වූද, රන්වන්වූද රතුපැහැවූද සුදුපැහැවූද පළඳනා සතරක් වෙත්. එහා මෙහා යන්නාවූ මානවකයාගේ ඒ පළඳනාවෝ වර්ෂා කාලයෙහි රෑහි සමූහයා මෙන් නාද කෙරෙත්. (මෙවුල්දම සඳහාකීය.)

“හෙතෙම මුදුතණවලින් කළ මෙවුල්දම් නොදරයි. කෙඳිවලින් වියනලද මෙවුල්දම්ද නොදරයි. බබුස්තණවලින් කළ මෙවුල්දමද නොදරයි. උකුළු අතරෙහි විශෙෂයෙන් ඇළුනාවූ ඔහුගේ වැහැරි අහසෙහි සිය රැලි විදුළියක් මෙන් බබළත්.

“පියාණෙනි, ඔහුගේ නාභියෙන් යට කටියෙහි බඳනාලද්දාවූ සවිනොකරණ ලද්දාවූ නටු නැත්තාවූ ඵල කෙනෙක් වෙත්. නොගටන ලද්දාවූ ඒ ඵලයෝ නිතර කිලින් යන අනුකරණ කෙරෙත්. පින්වත් පියාණෙනි, ඒ කිනම් ගස්වල ගෙඩිද,

“පියාණෙනි, ඔහුගේ ජටාවද බොහෝ සෙයින් දැකුම් කටයුතු සියයකටත් වැඩි වක්වූ අග ඇති සුවඳ ඇත්තීදවේ. දෙපරිදිකොට හිස මනාව බෙදනලද ස්වභාව ඇත්තේය. මගේ ජටාවද එසේ වන්නේ නම් යහපති.

“යම් කලෙක්හි හෙතෙම වර්ණයෙන්ද, ගන්ධයෙන්ද යුක්තවූ ඒ ජටාවන් විසුරුවාද, එකල්හි වාතයෙන් කම්පා කරණලද නිළුපුල් වනය පැතිරෙන්නාක්මෙන් මේ වන අසපුව සුවඳ හමයි.

“ඔහුගේ ඉතා දැකුම්කටයුතුවූ කය මඩ ඇත්තාවූ මාගේ කය මෙන් නොවේ. හෙතෙම සුළඟින් කම්පාකරණ ලද්දේ වසත්කල්හි මනාව පිපි වනයක් මෙන් සුවඳ හමයි.

“හෙතෙම ඉතා විසිතුරුවූ මනොඥවූ දැකුම්කටයුතු වූ ගසක ඵලයක් පොළොවෙහි නැවත නැවත ගසයි. දුරට ගසනලද්දේද ඔහුගේ අතට නැවත පැමිණෙයි. පින්වත් පියාණෙනි, ඒ කවර ගසක පලයක්ද,

“ඔහුගේ පිරිසිදු සමවූ සක් ඇට මෙන් පිහිටියාවූ දන්තයෝද අතිශයින් දැකුම්කටයුතු වෙත්. විවෘතකරන්නාවූ ඒ දත් මාගේ සිත පහදවත්. හෙතෙම ඒ දත්වලින් පලා කොළ අනුභව නොකෙළේයයි සිතමි.

“ඔහුගේ වචනය කර්කශ නොවෙයි නොගිලිහුනේ වෙයි. නැවත කියන්නේද මෘදුවෙයි. ඍජුවෙයි. උඩඟු නොවෙයි. චපල නොවෙයි. කුරවි කෙවිල්ලන්ගේ මනා ස්වරය වැනිවූ මනොඥවූ සිත් කාවදින්නාවූ හඬ මාගේ සිත අලවාමය.

“ඉතා විහිදී නොගියාවූ වචන ඇති අප්‍රකටවූ ස්වරය ඇති හෙතෙම හැදෑරීමෙහි අධිකව යෙදුනේයයි නොසිතමි. ඔහු නැවත දැකීමට කැමැත්තෙමි. ඒ මානවකතෙම පළමු මාගේ මිත්‍රයාවිය.

“මනා ගැළපීම් ඇති සියලු තන්හි විශෙෂයෙන් වටවූ මහත්ව හටගත්තාවූ නෙළුම් කැකුලකට බඳුවූ ඔහුගේ මේ වණයක් වීය. ඒ මානවකතෙම මා මත්තෙහි කොට ඌරු යුග්මය විවෘතකොට ඒ වනයෙන්ම තදකොට කටියෙන් පෙළීය.

“ඒ මානවකයාගේ සිරුරෙන් නික්මෙන්නාවූ රශ්මීහු අහස සියරැලි විදුලි මෙන් දිළිසෙත්, ආලෝකකරත්. බැබලීමද කරත්. අඳුන්වන් ලොම් වැනි ලොම් ඇත්තාවූ විසිතුරුවූ වටවූ ඇඟිලි ඇත්තාවූ මෘදුවූ ඔහුගේ බාහුද බබළත්.

“ඒ මානවකතෙම කර්කශ නොවූ ශරීර අවයව ඇත්තේ දික්වූ ලොම් නැත්තේද වෙයි. ඔහුගේ නිය දික්වූවාහුද රත් පැහැවූ අත් ඇත්තාහ. යහපත් ස්වභාව ඇත්තාවූ හෙතෙම මෘදුවූ අත්වලින් වැළඳ ගෙණ අභිරමණය කරමින් මට උපස්ථාන කෙළේය.

“ගසක පුලුන් වැනිවූ පැහැ විහිදෙන්නාවූ ස්වර්ණමය බඳු මනා සිවිය ඇති ඔහුගේ හස්තයෝ මෘදුවෙත්. ඒ අත්වලින් මා වැළඳගෙණ මෙයින් ගියේය. පියාණෙනි, ඒ ස්පර්ශයෝ මා දවත්.

“පියාණෙනි, ඒ මානවකතෙම ඒකාන්තයෙන් තවුස් පිරිකර කද ගෙණ නොගියේය. තෙමේ කෘෂ්ටයන් නොබින්දේ යයි සිතමි. හෙතෙම පොරොවෙන් ගස් නොකැපීයයි සිතමි. ඔහුගේ අත්වල කරගැටද නැත.

“වළසෙක් වනාහි ඔහුගේ වනයක් කෙළේය. හෙතෙම මට මා සුවපත් කරවයි කීයේය. මම එය කෙළෙමි. එයින් මටද සැපයක් විය. තාපසයෙනි මම සුවපත්වීමියි හෙතෙම මට කීයේය.

‘පියාණෙනි, මේ ඔබගේ මාළුවා කොළ ඇතිරියද මා විසින්ද ඔහු විසින්ද විසුරුවන ලද ස්වභාව ඇත්තීමය. ක්ලාන්ත ස්වභාව ඇත්තාවූ ජලයෙහි රමනය කොට නැවත නැවත පන්සලට වැදුනෙමි.

‘පියාණෙනි, අද මට මන්ත්‍ර නොවැටහෙත්. ගිනි පිදීමද නොවැටහෙයි යාග කිරීමද නොවැටහෙයි. යම්තාක් ඒ තාපසයා නොදක්නෙම්ද, ඒතාක් ඔබගේ අලමුල් හා පලතුරුද අනුභව නොකරන්නෙමි.

‘පියාණෙනි, ඒකාන්තයෙන් යම් දිශාවෙක්හි ඒ තාපසයා වෙසේයයි ඔබ දන්නෙහිද පියාණෙනි, ඒ දිශාවට මා වහා පමුණුවනු මැනව, ඔබගේ අසපුවෙහි මම නොමැරෙම්වා

“විසිතුරු මල් ඇත්තාවූ පක්ෂීන් විසින් ඝෝෂා කරණ ලද්දාවූ පක්ෂි සමූහයා විසින් සේවනය කරන ලද්දාවූ වනයකැයි මා විසින් අසනලදී. පියාණෙනි, මා ඒ වනයට ඔබගේ අසපුවෙහි දිවි හැරීමට පළමු වහා පමුණුවනු මැනවැයි වැළපෙමින් කීයේය.

“හෝමාග්නියෙන් බබළන්නාවූ ගාන්ධර්වයන්ගේ හා දෙවියන්ගේ අප්සරා සමූහයා විසින් සේවනය කරණ ලද්දාවූ පැරණිවූ ඍෂීන්ගේ වාසස්ථානවූ මේ වනයෙහි කිසිවෙක් මෙබඳුවූ නොඇල්මකට නොපැමිණියේය.

“ලොව සමහරුන්ට මිත්‍රයෝද වෙත්. තවද සමහරෙකුට මිත්‍රයෝද නොවෙත්. ඔවුන්ගෙන් සමහරු නෑයන් කෙරෙහිද මිත්‍රයන් කෙරෙහිද ප්‍රෙමය කරත්. යමෙක්තෙම කොයින් ආයෙම්දැයි නොම දන්නීද, ඒ මේ ලාමකවූ ඉසිසිංග තෙම කුමක් හෙයින් මේ මාගම කෙරෙහි මිත්‍රයාය යන සංඥාවෙන් ඇතුළත් වූයේදැයි සිතීය.

“පුත්‍රය, එක්ව වාසය කිරීමෙන් වනාහි මිත්‍රයෝ නැවත නැවත එක්වෙත්. ඒ මිත්‍රතෙමේම එකතු නොවන්නහුගේ එක්ව වාසය නොකිරීමෙන් වැනසේ.

“පුත්‍රය, එහෙයින් ඉදින් නුඹ ඒ තපස්වීහු දන්නෙහි නම් ඉදින් නුඹ ඒ තාපසයා සමග කථා කරන්නෙහි නම් සමෘද්ධවූ සශ්‍යය මහත් ජලයකින් හැර ගන්නාක්මෙන් මේ තමන්ගේ තපො ගුණය වහා පැහැර ගන්නේය.

“පුත්‍රය, ඉදින් නැවතද ඒ තපස්වියා දක්නෙහිද, ඉදින් නැවතද තපස්වියා හා කථා කරන්නෙහිද, සමෘද්ධවූ සශ්‍යයක් මහ ජලයකින් හැරගෙණ යන්නාක්මෙන් මේ ශ්‍රමණ තේජස වහා හැරගන්නේය.

“පුත්‍රය, මනුෂ්‍යලෝකයෙහි මේ යක්ෂණී සංඛ්‍යාතවූ භූතයෝ විවිධ රූපවලින් යුක්තව හැසිරෙත්. සප්‍රඥවූ මනුෂ්‍යයෙක්තෙම ඔවුන් සේවනය නොකරන්නේය. බ්‍රහ්මචාරීවූ තාපසතෙම ඇයට ලංව නස්නේයයි තාපසතෙම පුත්‍රයාට අවවාද කෙළේයයි” වදාළේය.

නිළිනිකාජාතකං පඨමං.