ඛුද්දකනිකාය

ජාතක

(දුතියො භාගො)

18. පණ්ණාස නිපාතය

527. උම්මදන්ති ජාතකය

“එම්බා සුනන්ද නම් සාරථිය, පඬුවන්වූ හෙවත් රතු ගඩොලින් නිමවූ ප්‍රාකාරයෙන් වට කරණලද මේ ගෘහය කවරෙකුගේද, අහසෙහි පර්වත මුදුනෙක්හිවූ බබළන්නාවූ ගිනි කඳක් මෙන් දුර කවුළුව සමීපයෙහි සිටියාවූ කවර තැනැත්තියක් ගිනි සිලක් මෙන් දක්නා ලැබේද,

“සුනන්දය, මෝතොමෝ කවරෙකුගේ දියණියක් වේද, මෝතොමෝ කවරෙකුගේ යෙහෙළියක්ද නොහොත් කවරෙකුගේ බිරිඳක්ද මෝතොමෝ අපගතවූ ආවරණ ඇත්තියක්ද නොහොත් මෑට ස්වාමියෙක් ඇත්තේදැයි විචාරණ ලද්දේ මෙහිදීම මට වහා කියවයි, (සිවීරජතෙම උමතුවෙන් ඇසීය)

“ජනාධිපතිවූ මහරජ, මව් පසින්ද පිය පසින්ද මෑ වනාහි මම දනිමි. තවද මෑගේ ස්වාමියාද දනිමි. දේවයන් වහන්ස, රෑ දාවල් දෙක්හි ඔබගේ වැඩෙහි අප්‍රමාදවූ හෙතෙම ඔබගේම පුරුෂයෙකි.

“ජනාධිපතිවූ මහරජ, සමෘද්ධවූද වස්ත්‍රාලංකාරයන් ගෙන් පිරුණාවූද මනාව ආඪ්‍යවූද හෙතෙම ඔබගේ එක්තරා ඇමතියෙක්ම වේ. මහරජ, දුටුදුටු පුරුෂයන් උමතු කරවන හෙයින් නමින් උම්මාදන්තී නම්වූ මෝතොමෝ ඒ අභිපාරක නම් ඇමතියාගේ භාර්‍ය්‍යාව වේයයි සාරථිතෙම කීයේය.

“පින්වත, පින්වත, මෑගේ මේ නම මව විසින්ද පියා විසින්ද ඉතා යහපත් කොට කරණලදී. ඒ එසේමැයි මා දෙස බලන්නීවූ උම්මාදන්තී තොමෝ මා උමතුවූවෙකු කෙළේ යයි (රජතෙම කීයේය.)

“පූර්ණ චන්ද්‍රයාගෙන් යුත් රාත්‍රියෙහි මුවදෙනක මෙන් මද බැළුම් ඇත්තාවූ රත්පියුම් බඳු ශරීර ඇති යම් ස්ත්‍රියක් තොමෝ කවුළුව සමීපයෙහි හුන්නීද, පරෙවි පා වැනි රතු වස්ත්‍ර හැන්දාවූ ඇය දැක එදවස්හි චන්ද්‍රයෝ දෙදෙනෙක් වූහයි සිතුවෙමි.

“යම් කලෙක්හි ඕතොමෝ මනොඥවූ යහපත්වූ මහත්වූ ඇස් හෙලීම්වලින් මා පොළඹවමින් බැලීද, එකල්හි කම්පාවන්නාවූ ඕතොමෝ වනයෙහිවූ පර්වතයෙක්හි උපන්නාවූ කිඳුරු ධෙනුවක්මෙන් මාගේ සිත හැර ගැනීමය.

“එකල්හි වනාහි මහත්වූ ස්වර්ණමෙන් ශ්‍යාමවර්ණවූ අමුනනලද මිණි කොඬොල් ඇත්තාවූ එක් වස්ත්‍රයක් හැන්දාවූ ඒ ස්ත්‍රීතොමෝ භ්‍රාන්තවූ මුවදෙනක් මෙන් මා දෙස බැලීය.

“තඹවන් නිය ඇත්තාවූ යහපත් ලොම් ඇත්තාවූ මෘදුවූ බාහු ඇත්තාවූ සඳුන් කල්ක ගල්වන ලද්දාවූ වට ඇඟිලි ඇත්තාවූ යහපත්වූ ඒ ස්ත්‍රීතොමෝ කවර කලෙක්හි දක්ෂව කටයුතු කිරීමෙන් මා සතුටු කරන්නේදැයි (කියමින් රජතෙම වැළපුනේය.)

“කවර කලෙක්හි ස්වර්ණමය උරවැස්මෙන් අලංකාරවූ කෘශවූ මධ්‍ය ප්‍රදේශ ඇති තිරිටි නම් සිටුහුගේ ධීතෘතොමෝ මහත්වූ වනයෙහි හටගත් වෘක්ෂයක් මාළුවා වැලමෙන් මෘදුවූ අත්වලින් මා වැළඳගන්නේද,

“කවර කලෙක්හි ලාක්ෂාරශ පොවන ලද්දක් මෙන් මනා සිවි ඇත්තාවූ දියබුබුල් මෙන් වටවූ පයෝධර ඇත්තාවූ රත්පියුම් බඳු ශරීර ඇති ඕතොමෝ සුරාසොඬ වූවෙකුට සුරා සොඬ වූවෙක් මෙන් සුරාපානය පිණිස තලු තැටිය මෙන් මුඛයෙන් මුඛයට ලංවන්නේද,

“යම් කලෙක්හි සිත් කළුවූ සියලු ශරීර අවයව ඇති සිටින්නාවූ ඇය දිටීම්ද, එතැන්සිට මාගේ සිතට මම අධිපති නොවෙමි. කිසිවකුත් මම නොදනිමි.

“අමුනන ලද මිණි කොඬොල් ඇති උම්මාදන්තීය දැක මම දහසක් පැරදුනෙකුමෙන් රෑ දාවල් නිදි නොලබමි.

“එක රැයක් හෝ දෙරැයක් හෝ අහිපාරක වන්නෙම්වා. උම්මාදන්තීය සමග අභිරමනය කොට ඉන්පසු සිවි රජ වන්නෙම්වායි ශක්‍රතෙමේ මට වරයක් දෙන්නේනම් මම ඒ වරය ලබන්නෙමියි රජතෙම උමතුව වැළපුනේය.

“මහරජ, බලිකර්ම වශයෙන් භූතයන් නමස්කාර කරන්නාවූ මට යක්ෂතෙම පැමිණ රජහුගේ සිත උමමාදන්තිය කෙරෙහි ඇතුළත්වීය යන මේ කාරණයම කීයේය. ඔබට ඒ උම්මාදන්තිය දෙමි. පරිචාරිකා කරවයි. (ඇමති තෙම කීයේය.)

“යහළු අහීපාරකය, එසේ ඇතිකල්හි මම පිනෙන් පිරිහෙන්නෙම් අමරනීයද නොවෙමි. මහජනතෙමේද මාගේ මේ ලාමක කමයයි දැනගන්නේය. ප්‍රියවූ උම්මාදන්තිය දී පසුව නොදැක්මෙන් ඔබගේ සිතටද මහත්වූ දුක්වන්නේයයි (රජතෙම කීයේය.)

“ජනාධිපතිය, ඔබද මාද හැර අන් සියල්ලෝම මා විසින් ඔබට උම්මාදන්තිය දෙන ලද්දීය යන යමක්වේද, කළාවූ ඒ කර්මය නොදනිත්. එහෙයින් රජතෙමේ ඒ ආශාව දියුණු කරණු මැනව. ඉන්පසු මා වෙත හැර දමනු මැනව

“ලාමකවූ කර්මයන් කරන්නාවූ යම් මනුෂ්‍යයෙක් වේද, හෙතෙම අන්‍යයෝ මේ කර්මය නොදනිත්වායි සිතයි. ලෝකයෙහි යම් ඍද්ධිමත් මනුෂ්‍යයෝ වෙද්ද, ඔව්හුද භූතයෝද මේ පාප කර්ම කරන්නහු දකිත්.

“අහිපාරකය, ලෝකයෙහි අන්කිසි මිනිසෙක් උම්මාදන්තිය මට ප්‍රිය නැතැයි තොපගේ මේ අදහස අදහන්නේද, ප්‍රියවූ උම්මාදන්තිය දී පසුව නොදැකීමෙන් තොපගේ සිතටද මහත් දුකක් වන්නේය.

“ජනාධිපතිවූ මහ රජ්ජුරුවෙනි, ඒකාන්තයෙන් මෝ තොමෝ මට ප්‍රිය වන්නීය. ඕතොමෝ මට අප්‍රිය නොවන්නීය. ස්වාමීනි, ගල් ගුහාවකට පැමිණෙන්නාවූ සිංහයෙකු මෙන් ඔබවහන්සේ උම්මාදන්තිය වෙතට යනු මැනවැයි ඇමතිතෙම කීයේය.

“ප්‍රාඥයෝ තමහටවූ දුකින් පෙළුනාහු සැප විපාක ඇති කර්මය හැර නොදමත්. සැපයෙන් මත්ව මුළාවූවහු හෝ පාප කර්මයද නොකරත්යයි රජතෙම කීයේය.

“සිවි මහරජුනි, ඔබ වනාහි මාගේ මවද පියාද ස්වාමියාද පෝෂණ කරන්නාද දේවතාද වේ. පුත්‍ර දරාවන් සහිතවූ මම ඔබගේ දාසයා වෙමි. සැපවූ පරිදි ඔබ කැමැත්තක් කරවයි, ඇමතිතෙම කීයේය.

“යමෙක් අධිපති වෙමියි පාප කර්මයක් කෙරේද, හෙතෙම පාප කර්මය කොටද අනුන්ගේ අපවාදයට බිය නොවේද, කර්මයෙන් හෙතෙම දීර්ඝ කාලයක් ජීවත් නොවේ දෙවියෝද ඔහු ලාමක වශයෙන් සලකත්යයි රජතෙම කීයේය.

“මහරජ, අන් සතු හිමියන් විසින් දෙනලද්දාවූ දානයක් ධර්මයෙහි පිහිටියාවූ යම් කෙනෙක් පිළිගනිද්ද, එහි පිළිගන්නෝද දෙන්නාහුද සැප විපාක ඇත්තාවූම කර්මයක් කරත්යයි ඇමතිතෙම කීයේය.

“අහිපාරකය, මේ ලෝකයෙහි යම්කිසි මිනිසෙක් ඕතොමෝ මට ප්‍රිය නොවන්නීයයි තොපගේ මේ කීම අදහන්නේද, ප්‍රියවූ උම්මාදන්තිය දී පසුව නොදැක්මෙන් තොපගේ සිතටද මහත් දුකක් වන්නේයයි රජතෙම කීයේය.

“ජනාධිපතිය, ඒකාන්තයෙන් මට මෝතොමෝ ප්‍රිය වන්නීය මහරජ, ඕතොමෝ මට අප්‍රිය වන්නී නොවෙයි. යම්හෙයකින් මා විසින් ඔබට උම්මාදන්තිතොමෝ දෙන ලද්දීද, එහෙයින් රජතෙමේ කාම තෘෂ්ණාව වර්ධනය කරව, නැවත මා වෙත හැර දමවයි ඇමතිතෙම කීයේය.

“යමෙක් තමහට වූ දුකින් අනුන් හට දුකක් හෝ සැපයෙන් තමහට සැපයක් හෝ පිහිටුවාද, මට මෙය යම්සේ වේද, අනුන්ටද එසේමයයි යමෙක් කෙසේ දනීද, හෙතෙම ධර්මය දන්නේවේයයි රජතෙම කීයේය.

“අහිපාරකය, මේ ලෝකයෙහි අන්‍යවූ කිසි මිනිසෙක් මට මෝතොමෝ ප්‍රිය නොවන්නීයයි තොපගේ කීම් අදහන්නේද, ප්‍රියවූ උම්මාදන්තිය දී පසුව නොදැක්මෙන් තොපගේ සිතටද මහත් දුකක් වන්නේය.

“ජනාධිපතිය, මෝතොමෝ මට ප්‍රිය වන්නීයයි දන්නෙහි. දේවයන් වහන්ස, මට ඈ අප්‍රිය නොවන්නීය. ජනාධිපතිය, මට ප්‍රියවූවකින් ඔබට ප්‍රියවූවක් දෙමි. දේවයන් වහන්ස, ප්‍රියවූවක් දෙන්නාහු පසුව ප්‍රියවූවක් ලබත්.

“ඒ මම ඒකාන්තයෙන් කාම හේතුවෙන් තමන්ට හිංසා නොකරන්නෙම්. මම වනාහි අධර්මයකින් ධර්මයක් නසන්ට උත්සාහ නොකරන්නෙමි.

“ජනාධිපතිවූ නරවීර ශ්‍රෙෂ්ඨය, ඉදින් ඔබ මාගේ ඒ බිරිඳ නොකැමැත්තෙහි නම් සිවි රජතුමනි මම ඇය සියලු දෙනාට හැර දමමි. මා විසින් මුදන ලද්දාවූ ඇය ඉන්පසු කැඳවා ගණුමැනවැයි අහිපාරකතෙම කීයේය.

“හිතකාරීවූ අහිපාරකය, ඔබ ඉදින් දූෂ්‍ය නොකට යුතු ඇය හැර දමන්නෙහි නම් එය තොපට අහිත පිණිස වන්නේය. තොපට මහත්වූ උපවාදයෙක්ද වන්නේය. නගරයෙහිද තොපට ජනයා පක්ෂ නොවන්නේයයි රජතෙම කීයේය.

“සිවි මහරජාණෙනි, මේ දෝෂයද නින්දාවද ප්‍රශංසාවද ගැරහීමද යන සියල්ල මම ඉවසන්නෙමි මට මෙය පැමිණේවා. සැපවූ පරිදි ඔබ කැමැත්තක් කරවයි, අහිපාරක තෙම කීයේය.

“යමෙක් නින්දාව නොමගනීද, නැවත ප්‍රශංසාව නොගනීද, ගැරහීම නොගනීද, පූජාව නොගණීද ගොඩබිමින් මනාව වර්ෂා කළාවූ ජලයක් මෙන් ඒ පුරුෂයා කෙරෙන් එෛශ්චර්‍ය්‍ය නම්වූ ශ්‍රී තොමෝද ප්‍රඥා නම්වූ ලක්ෂ්මී තොමෝද පහව යේයයි රජතෙම කීයේය.

“මෙපමණකින් යම්කිසි දුකක්ද සැපක්ද ධර්මය ඉක්ම යාමක්ද සිතට දුකක්ද වේනම් ඒ සියල්ල රහතුන්ගේද පෘථග්ජනයන්ගේද සියල්ල පිළිගන්නාවූ පෘථිවිය මෙන් මම හෘදයෙන් පිළිගන්නෙමියි ඇමතිතෙම කීයේය.

“අන්‍යයන්ගේ ධර්මය ඉක්ම යාමද සිතට වන්නාවූ දුකද කායික දුකද මම නොකැමැත්තෙමි. එකළාවූද මම ධර්මයෙහි පිහිටියේ කිසිවකුත් නොපිරිහෙළමින් මේ දුඃඛ භාරය එතෙර කරන්නෙමියි රජතෙම කීයේය.

“ජනාධිපතිය, ඔබ මට අන්තරායක් නොකෙළේද එය ස්වර්ගයට පැමිණෙන්නාවූ පුණ්‍යකර්මයකි. බමුණන්ට රජෙක් යාග පිණිස දෙන්නාවූ ධනයක් මෙන් ප්‍රසන්නවූ මම උම්මදන්තිය ඔබට දෙමියි ඇමති තෙම කීයේය.

“හිතකාරීවූ සේනාපතිය, ඒකාන්තයෙන් ඔබ මට වැඩ කැමැත්තෙහිය. උම්මදන්තී තොමෝද ඔබද මාගේ යහළුවෝය. දෙවියෝද බ්‍රහ්මයෝද සියලු රටවැස්සෝද මෙය දැන නින්දා කරන්න හුය. පරලොව විපාක දෙන්නාවූ පාපයක්ද දක්නෙමියි රජතෙම කීයේය.

“සිවිරජතුමනි, නියම්ගම් වැස්සන් සහිතවූ දනව් වැසි සියල්ලෝද මා විසින් ඔබට උම්මදන්තී තොමෝ දෙන ලද්දීය යන යමක් වේනම් මෙය අධර්මයකැයි නොකියන්නා හුය, එබැවින් රජතෙමේ ඒ කාම තෘෂ්ණාව දියුණු කෙරේවා නැවත ඇය මා වෙතට හැර දමාවායි ඇමතිතෙම කීයේය.

“හිතකාරීවූ සේනාපතිය, ඒකාන්තයෙන් ඔබ මට වැඩ කැමැත්තෙහිය. උම්මදන්තී තොමෝද ඔබද මාගේ යහළුවෝය. මනාකොට ප්‍රකාශ කරණලද්දාවූ සත්පුරුෂ ධර්මයෝ මුහුදු වෙරල මෙන් නොඉක්මවිය හැක්කාහුයයි රජතෙම කීයේය.

“දේවයන් වහන්ස, ඔබ මාගේ පිදිය යුත්තාද වෙහිය. හිතානුකම්පා ඇත්තාද වෙහිය. දරන්නාද වෙහිය. විධාන කරන්නාද වෙහිය. කැමති දෑ පාලනය කරන්නාද වෙහිය. එහෙයින් ඔබ කෙරෙහි පුදනලද්දී මහත්ඵල වන්නීය මාගේ කැමැත්තෙන් උම්මාදන්තිය පිළිගණු මැනවැයි, ඇමතිතෙම කීයේය.

“කතා නමැත්තහුගේ පුත්‍රවූ අහිපාරකය ඔබ ඒකාන්තයෙන්ම මට හිතවූ සියලු ධර්මයෙහි හැසුරුණේය. මේ මනුෂ්‍ය ලෝකයෙහි දෙපා ඇත්තාවූ අන් කවරනම් මිනිසෙක් මේ අරුණෙහි ඔබට සුවයක් කරන්නේ දැයි” රජ තෙම ඇසීය.

“මහරජ, ඔබ ශ්‍රෙෂ්ඨද වෙහිය. ඔබ උතුම්වූවෙක්ද වෙහිය ඔබ ධර්මය රක්නා ලද්දෙක්ද ධර්මය දක්නෙක්ද මනානුවණ ඇත්තේද වෙහිය. ධර්මය රක්නාලද්දාවූ ඒ ඔබ බොහෝ කලක්ද ජීවත්වුව මැනව. ධර්මය රක්නාවූ දේවයන් වහන්ස, මටද ධර්මය දෙශනා කරණු මැනවැයි” ඇමැති තෙම කීයේය.

“අහිපාරකය, එසේ නම් මාගේ වචනය අසව, සත් පුරුෂයන් විසින් සේවනය කරණලද්දාවූ ඒ ධර්මය මම තොපට දෙශනා කරන්නෙමි.

“දහම් කැමැති වන්නාවූ රජතෙම යහපත්වේ. නුවණැති මනුෂ්‍යතෙම යහපත්වේ. මිත්‍රයන් දූෂණය නොකරන්නා යහපත්වේ. පව්නොකිරීම සැපයට කරුණුවේ.

“නොකිපෙන සුළුවූ ධර්මයෙහි පිහිටියාවූ රජහුගේ රාජ්‍යයෙහි මිනිස්සු ස්වකීය ගෘහයෙහි සිහිල් සෙවනින් යුක්තව සුවසේ වාසය කරන්නාහුය.

“අපරීක්ෂාවෙන් කරණලද මේ කර්මයද මම කැමති නොවෙමි. යම් කෙනෙක් හෝ සොයා දැන තුමූ කටයුතු කෙරෙත් නම් එය කැමැත්තෙමි. මෙහි මාගේ මේ උපමාවන් නුඹ අසව,

“ඉදින් ගමන් කරන්නාවූ ගවයන්ගෙන් ප්‍රධාන ගව තෙම වක්ව යේනම් පෙරටුව යන්නා වක්ව යන කල්හි ඒ සියලු ගවයෝ වක්ව යෙද්ද,

“මෙපරිද්දෙන්ම ශ්‍රෙෂ්ඨයයි සම්මතවූ යමෙක් වේද, ඉදින් හෙතෙම අධර්මයෙහි හැසිරේ නම් සෙසු සත්වයෝ කියනුම කවරේද? රජතෙමේ ඉදින් අධාර්මික වේ නම් සියලු රටවැසියා දුකසේ වාසය කරයි.

“ගමන් කරන්නාවූ ගවයන්ගෙන් ඉදින් ප්‍රධාන ගවතෙම ඍජුවයේද, ඉදිරියෙහි යන්නාවූ ගවයා ඍජුව ගිය කල්හි ඒ සියලු ගවයෝ ඍජුව යෙද්ද,

“මෙපරිද්දෙන්ම මිනිසුන් අතරෙහි ශ්‍රෙෂ්ඨයයි සම්මතවූ යමෙක්වේද, ඉදින් හෙතෙමේද ධර්මයෙහි හැසිරේ නම් අවශෙෂ ප්‍රජාව කියනුම කවරේද? ඉදින් රජතෙමේ ධාර්මිකවේ නම් සියලු රට වැසියා සුවසේ වාසය කරයි.

“අහිපාරකය, මමද අධර්මයෙන් දෙවත්වය නො පතන්නෙමි. මේ සියලු පෘථිවිය හෝ දිනන්ට නො කැමැත්තෙමි.

“මේ ලෝකයෙහි මිනිසුන් අතර ගවයන්ද දාසයන්ද අමුරන්ද වස්ත්‍ර ජාතිද රන්වන් සඳුන්ද යන යම්කිසි රත්න ජාතියක් විද්‍යමානවේද,

“අශ්වයෝද ස්ත්‍රීහුද සප්තවිධ රත්නද මා හැඟි භාණ්ඩද යන යමකුත් මේ චන්ද්‍ර සූර්‍ය්‍යයෝ එලිය කරමින් රකිත්ද, ඒ සක්විති රජය හේතුකොට ගෙණද විෂමව නොහැසිරෙන්නේය. යම් හෙයකින් මම සිව්රජුන් අතර ශ්‍රෙෂ්ඨයෙක්ව උපන්නෙම්ද එහෙයිනි.

“මම නායක වූවෙක්ද පියවූවෙක්ද ප්‍රසිද්ධ වූවෙක්ද රට පාලනය කරන්නෙක්ද සිවිරජුන්ගේ ප්‍රවේනි ධර්මය පුදන්නෙක්ද වෙමි. ඒ මම ධර්මය ඒ අනුවම සිතන්නෙමි. එහෙයින් තමන්ගේ චිත්ත වසඟයෙහි නොපවත්නෙමියි” (රජතෙම කීයේය.)

“මහරජ, ඒකාන්තයෙන් ඔබ සතතයෙන් ව්‍යසන රහිතව නිර්භයව බොහෝ කලක් රාජ්‍යය කරන්නෙහි කුමක් හෙයින්ද ඔබගේ ප්‍රඥාව එබඳු මැයි.

“ධර්මයෙහි ප්‍රමාද නොවෙහිය යන යමක්වේද ඔබගේ මෙයට මම සතුටුවෙමි. අධිපතිවූ ක්ෂත්‍රියතෙම ධර්මයෙහි ප්‍රමාදව ස්ථානයෙන් චුතවේ.

“ක්ෂත්‍රියවූ මහරජ, මව්පියන් කෙරෙහි දැහැමින් හැසිරෙව, මහරජ, මෙලොව ධර්මයෙන් හැසිර පරලොව ස්වර්ගයට පැමිණෙන්නෙහිය.

“ක්ෂත්‍රියවූ මහරජ, අඹුදරුවන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව දැහැමින් හැසිර පරලොව ස්වර්ගයට පැමිණෙන්නෙහි.

“ක්ෂත්‍රියවූ මහරජ, මිත්‍රාමාත්‍යයන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව දැහැමින් හැසිර පරලොව ස්වර්ගයට පැමිණෙන්නෙහි.

“මහරජ වාහණයන් කෙරෙහිද බල සේනාවන් කෙරෙහිද දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව දැහැමින් හැසිර පරලොව ස්වර්ගයට පැමිණෙන්නෙහි

“මහරජ, ගම්වැස්සන් කෙරෙහිද, නියම් ගම්වැස්සන් කෙරෙහිද දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව දැහැමින් හැසිර පරලොව ස්වර්ගයට පැමිණෙන්නෙහි.

“මහරජ, රට වැස්සන් කෙරෙහිද දනව්වැස්සන් කෙරෙහිද දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව දැහැමින් හැසිර පරලොව ස්වර්ගයට පැමිණෙන්නෙහි

“මහරජ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහිද දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව දැහැමින් හැසිර පරලොව ස්වර්ගයට පැමිණෙන්නෙහි.

“ක්ෂත්‍රියවූ මහරජ, මෘග පක්ෂීන් කෙරෙහි දැහැමින් හැසිරෙව. මහරජ, මෙලොව දැහැමින් හැසිර පරලොවට ස්වර්ගයට පැමිණෙන්නෙහි.

“මහරජ, දැහැමින් හැසිරෙව, පුරුදු කළ ධර්මයතෙම සුව එළවන්නේ වෙයි. මහරජ, මෙලොව දැහැමින් හැසිර පරලොව ස්වර්ගයට පැමිණෙන්නෙහි.

“මහරජ, දැහැමින් හැසිරෙව, ශක්‍රයා සහිතවූ බ්‍රහ්මයා සහිතවූ දෙවියෝ මනාව කරණලද සුචරිතයෙන් දෙව්ලොවට පැමිණියාහුය. මහරජ එහෙයින් සුචරිත ධර්මයෙහි ප්‍රමාද නොවෙවයි” (අහිපාරක නම් සෙනෙවිතෙම රජ හට ධර්මය දේශනා කෙළේය” යි) වදාළේය.

උම්මාදන්තීජාතකං දුතියං.