ඛුද්දකනිකාය

ජාතක

(දුතියො භාගො)

22. මහානිපාතය

538. මූගපක්ඛ ජාතකය

“පුත තේමිය කුමාරය, පණ්ඩිත බව ප්‍රකාශ නොකරව, සියලු සතුන්ට බාලයයි සම්මතවූවෙක් වෙව, සියලු ජනතෙමේ තා කාලකණ්ණියයි බැහැර කෙරේවා. මෙසේ ඇති කල්හි තොපට වැඩෙක්වන්නේ යයි” ඡත්‍රයෙහි අධිගෘහිත දෙවතාතොමෝ කීය.

“එම්බා දෙවතාවෙනි, මට යමක් කියන්නෙහිද, මම ඔබගේ ඒ වචනය කරමි. මෑණියෙනි, ඔබ මට වැඩ කැමැත්තෙහිය. දෙවතාවෙනි ඔබ මට හිත කැමති තැනැත්තියක් වෙහියයි” කුමාරතෙම කීයේය.

“එම්බා සාරථිය, කුමක් සඳහා යුහුසුළුවම වළක් සාරන්නෙහිද, යහළුව, විචාරණලද්දේ මට කියව, මෙවලින් කුමක් කරන්නෙහිදැයි” තේමිය කුමරු ඇසීය.

“අප රජහුගේ ගොළුවූද පිළුවූද සිතිවිලි නැත්තාවූ පුත්‍රයෙක් උපන්නේවේ. ඒ මම රජහු විසින් මාගේ පුත්‍රයා වනයෙහි වළලවයි අණලද්දේ වෙමියි” රියැදුරා කීයේය.

“එම්බා සාරථිය, මම බිහිරිනොවෙමි. ගොළුවෙක්ද නොවෙමි. කොරෙක්ද නොවෙමි. පිලෙක්ද නොවෙමි. ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්මයක් කරන්නෙහිය.

“මාගේ කලවාදෙකද අත්දෙකද බළව, මාගේ කථාවද අසව, එම්බා සාරථිය, ඉදින් තෝ මාවනයෙහි වළලන්නෙහිනම් අධර්මයක් කරන්නෙහියයි” තේමිය කුමරු කීයේය.

“ඔබවහන්සේ දෙවතාවෙක්වෙහිද, ගන්ධර්වයෙක් වෙහිද, නොහොත් පුරින්දද නම් ශක්‍රයා වෙහිද, ඔබ කවරෙක් හෝ වෙහිද, කවරෙකුගේ පුත්‍රයෙක් හෝ වෙහිද, අපි ඔබ කෙසේ දනිමුදැයි” සාරථිතෙම ඇසීය.

“මම දෙවියෙක් නොවෙමි. ගන්ධර්වයෙක්ද නොවෙමි. පුරින්දද නම් ශක්‍රයාද නොවෙමි. යමෙකු වලෙහි වළලන්නෙහි නම් කශීරජහුගේ පුත්‍රවූ ඒ මම වෙමි.

“එම්බා සාරථිය, තෝ යමෙකු නිසා ජීවත් වෙහිද, මම ඒ රජහුගේ පුත්‍රවෙමි. ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්මයක් කරන්නෙහිය.

“යම් වෘක්ෂයක්හුගේ සෙවෙනෙහි යමෙක් හිඳින්නේ හෝ වේද, සයනය කරන්නේ හෝ වේද, ඒ වෘක්ෂයෝ අත්ත නොබිඳිය යුත්තේය. කුමක් හෙයින්ද යත්, මිත්‍රද්‍රෝහිකම ලාමකවේ.

“සාරථිය, වෘක්ෂය, යම්සේද, රජතෙම එසේය, අත්ත යම්සේද මම එසේයි සෙවනට පැමිණි පුරුෂතෙම යම් සේද තෝ එසේ වෙහිය, එම්බා සාරථිය, ඉදින් තෝ මා වනයෙහි වළලන්නෙහි නම් අධර්මයක් කරන්නෙහියයි” තේමිය කුමරු කීයේය.

“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද හෙතෙම සිය ගෙදරින් පිටත්ව ගියේ බොහෝ අනුභව කිරීම ඇත්තෙක්වේ. බොහෝදෙනා ඔහු අනුව ජීවත් වන්නාහුදවෙත්.

“යමෙක් මිත්‍රයන්ට දූෂ්‍ය නොකෙරේද, හෙතෙම යම් යම් ජනපදයකටයේද, නියම්ගම්වලටයේද, රාජධානිවලටයේද, සියලු තන්හි පුදන ලද්දෙක්වේ.

“යමෙක් මිත්‍රයන්ට දූෂ්‍ය නොකෙරේද, මොහුට සොරු බලහාත්කාරකම් නොකෙරෙත්. ක්ෂත්‍රියතෙම ඔහු ඉක්මවා නොහඟියි. හෙතෙම සියලු සතුරන් ඉක්මවයි.

“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද, හෙතෙම නොකිපියේ ස්වකීය ගෙදරට පැමිණෙයි. සභාවෙහි සතුටු වූයේ වෙයි. නෑයන්ට උත්තමයෙක් වෙයි.

“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද, හෙතෙම අනුන්ට සත්කාරකොට තෙමේ සත්කාර ලද්දෙක්වේ. අනුන් කෙරෙහි ගෞරව සහිතවූයේ තෙමේද ගරු කටයුත්තෙක්වේ. ගුණ වර්ණනාවද කීර්තියද උසස් කොට හැසිරෙන්නෙක් වේ.

“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද, හෙතෙම මිත්‍රයන්ට පුදන්නේ තෙමේද පූජා ලබයි. වැඳිය යුත්තන්ට වඳින්නේ තෙමේද නැවත වැඳුම් ලබයි. යශපරිවාර සම්පත්තියටද ගුණකීර්තියටද පැමිණේ.

“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද, හෙතෙම ගින්නක් මෙන් දිළිසෙයි. දේවතාවෙකු මෙන් බබළයි. ශ්‍රී දේවිය විසින් නොහරින ලද්දේ වෙයි.

“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද, ඔහුට ගවයෝ හටගනිත්, කුඹුරෙහි වපුරණ ලද්ද මනාව වැඬේ. වපුරණ ලද්දවුන්ගේ ඵලය අනුභව කරයි.

“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද, කඳු රැලියෙන් හෝ පර්වතයෙන් හෝ ගසකින් හෝ වැටුනාවූ ඒ මිනිස්තෙම මෙලොවින් චුතවූයේ පිහිට ලබයි

“යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහ නොකෙරේද, හටගත් මුල් පරම්පරාව ඇති නුගගසකට මෙන් ඔහුට සතුරෝ බළාත්කාරකම් නොකරත්යයි” තේමිය කුමරු කීයේය

“එම්බා රාජ පුත්‍රය, එනු මැනව, ස්වකීය ගෘහයට ඔබ නැවත ගෙණ යන්නෙමි ඔබට යහපතක් වේවා රාජ්‍යය කරණු මැනව, මේ වනයෙහි තනිව කුමක් කරන්නෙහිදැයි සුනන්ද නම් සාරථිතෙම කීයේය.

“එම්බා සාරථිය, අධර්මචර්‍ය්‍යාවෙන් යම් රාජ්‍යයක් මට ලැබෙන්නේද, ඒ රාජ්‍යයෙන්ද, නෑයන්ගෙන්ද ධනයෙන්ද මට කම් නැතැයි” තේමිය කුමරු කීයේය

“එම්බා රාජ පුත්‍රය, මෙයින් ගියේ මට සතුටු පඬුරු ලබාදුන මැනව, රාජ පුත්‍රය, ඔබ ගිය කල්හි පියාද මව්ද යන දෙදෙනා මට බොහෝ තුටු පඬුරු දෙන්නාහුය.

“අන්තඃපුර වාසීවූද කුමරුවෝද වෛෂ්‍යයෝද බ්‍රාහ්මණයෝද බොහෝ වෙත්. රාජ පුත්‍රය, ඔබ ගිය කල්හි සතුටු සිත් ඇති ඔව්හුද මට බොහෝ පඬුරු දෙන්නාහුය.

“ඇතරුවෝද සේවාවන්හි වූවෝද රථිකයෝද පාබල සෙනගෙහිවූවෝද බොහෝවෙත්. රාජපුත්‍රය, ඔබ ගිය කල්හි සතුටුවූ ඔව්හුද මට බොහෝ පඬුරු දෙන්නාහුය.

“රාජපුත්‍රය, ඔබ ගිය කල්හි බොහෝවූ දනව් වැස්සෝද සෙසු නියම්ගම් වැස්සෝද රැස්වූවාහු මට සතුටු පඬුරුදෙන්නාහුයයි” සුනන්දතෙම කීයේය.

“එම්බා සාරථිය, මම පියා විසින්ද මව විසින්ද රටවැසියා විසින්ද නියම් ගම් වැසියා විසින්ද හැර දමන ලද්දේ වෙමි. තවද සියලු කුමාරයන් විසින්ද හැරදමන ලද්දෙමි. එබැවින් මට ස්වකීය ගෘහයක් නැත්තේය.

“මම මව විසින් අනුදන්නාලද්දෙමි. පියා විසින් හැරදමන ලද්දේවෙමි. හුදකලාව අරණ්‍යයෙහි පැවිදි වූයෙම් කාමසම්පත් නොපතන්නෙමියි” තේමිය කුමරු කීයේය.

“එම්බා සාරථිය, යුහුසුළු නොවන්නවුන්ගේද ආසාවෙහි ඵලය හෙවත් අදහස් කරණ ලද අර්ථය සමෘද්ධ වේමැයි විශෙෂයෙන්ම මුහුකුරාගිය බඹසර ඇත්තේ වෙමි. හෙවත් නිෂ්ඨාවට පැමිණි මනදොළ ඇති තේමිය මෙසේ දනුව.

“යුහුසුළු නොවන්නවුන්ගේද යහපත් අර්ථයතෙම සම්පාදනයවේ. නිෂ්ටාවට පැමිණි මනදොල ඇත්තේ වෙමි. කාමයන්ගෙන් නික්මුනේ කොයිනුත් බියක් නැත්තේ වෙමියි” ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළේය.

“එම්බා රාජ පුත්‍රය, මෙබඳු මිහිරි කථා ඇත්තේ මනොඥ වචන ඇත්තේද වෙහිය. කුමක් හෙයින් එකල්හි මවගේද පියාගේද සමීපයෙහි කථා නොකෙළේදැයි” සුනන්ද තෙම ඇසීය.

“එම්බා සාරථිය, මම කලවා නැති බැවින් කොර නොවෙමි. කන් නැති බැවින් බිහිරි නොවෙමි. මම දිව නැති බැවින් ගොළු නොවෙමි. මා ගොළුවෙකැයි නොසලකව.

“යම් ජාතියෙක්හි මම රාජ්‍ය කරවීම්ද, ඒ පළමු ජාතිය සිහි කරමි. එහි රාජ්‍ය කරවා දරුණුවූ නරකයට පැමිණියෙමි. එහි මම විසි අව්රුද්දක් රාජ්‍යය කරවීමි. ඉන්පසු අසූ දාහක් අවුරුදු නරකයෙහි පැසුනෙමි.

“ඒ රාජ්‍යයට භයවූ මම මා රාජ්‍යයෙහි අභිෂෙක නොකෙරෙත්වායි, එහෙයින් පියාගේද මවගේද සමීපයෙහි එකල්හි කථා නොකෙළෙමි.

“මා ඔඩොක්කුවෙහි හිඳුවා පියරජතෙමේ අර්ථයෙන් අනුශාසනා කරයි. එකෙකු නසව්යයිද එකෙකු බඳිව්යයිද එකෙකුට ඛාරා පතච්ඡිකනම් (ශරීරය පලා කාරම් ගෑමේ) කම්කටුල්ල කරව්යයිද එකෙකු හුල හිඳුවව්යයිද මෙසේ ඔහුගේ අනුශාසනාවවේ.

“මෙසේ කියන ලද්දාවූ ඔහුගේ ඵරුෂවූ වචනයන් අසා මම ගොළුනුවූයේ ගොළුවෙකුගේ වෙසයෙන්ද කොර නොවුයේ කොරෙකැයි සම්මතවූයෙම්ද මම ස්වකීය මල මුත්‍රයෙහි ගැලී හුන්නෙමි.

“යහළු සාරථිය, දුක්වූද ස්වල්පවූද ඒ මනුෂ්‍ය ජීවිතය දුකින් යුක්තවූයේ වෙයි. කවරෙක් නම් එබඳු ජීවිතයට පැමිණ කිසි කරුණකිනුත් ප්‍රාණඝාත ආදී වෛරය කරන්නේද,

“විදර්ශනා ප්‍රඥාව නොලැබීමෙන්ද සෝවාන් මාර්ගය නොදැකීමෙන්ද කවරෙක් නම් ඒ ජීවිතයට පැමිණ කිසි කරුණකිනුත් ප්‍රාණඝාත ආදී වෛරය කරන්නේද,

“සාරථිය, යුහුසුළු නොවන්නවුන්ගේද අදහසෙහි ප්‍රතිඵලය සමෘද්ධ වේමැයි මම නිෂ්ටාවට පැමිණි මනදොල ඇත්තේ වෙමියි” මෙසේ දනුව.

“යුහුසුළු නොවන්නවුන්ගේද යහපත් අදහස සම්පාදනයවේ. මම නිෂ්ටාවට පැමිණි මනදොල ඇත්තේ වෙමියි ගිහිගෙන් නික්මුනෙම්, කොයිනුත් බියක් නැත්තේ වෙමියි, තේමිය කුමරු කීයේය.

“එම්බා රාජ පුත්‍රය, මමද ඔබ සමීපයෙහි පැවිදි වන්නෙමි. ඔබට යහපතක් වේවා. මා කැඳවනු මැනව, ප්‍රව්‍රජ්‍යාතොමෝ මට රුචීවේයයි” සුනන්දතෙම කීයේය.

“එම්බා සාරථිය, රථය පාවාදී ණයෙන් නිදහස්ව එව, ප්‍රව්‍රජ්‍යාව වනාහි ණය නැත්තහුට වේ. මේ කාරණය බුද්ධාදී ඍෂීන් විසින් වර්ණනා කරණ ලදීයයි” තේමිය කුමරු කීයේය.

“එම්බා රාජ පුත්‍රය, ඔබට යහපතක් වේවා, මම ඔබගේ යම් වචනයක් කෙරෙම්ද, ඒ මා විසින් ඉල්වන ලද්දේ ඔබද මාගේ වචන කරන්ට සුදුස්සෙහිය.

“යම්තාක් මම රජහු මෙහි ගෙණ එම්ද, ඒතාක් මෙහිම හිඳිනු මැනව, ඔබගේ පියතෙම දැක සතුටු සිත් ඇත්තෙක් වන්නේ නම් යෙහෙකැයි” සුනන්දතෙම කීයේය.

“එම්බා සාරථිය, නුඹ මට යමක් කියන්නෙහි නම් නුඹගේ වචනය කරමි. මෙහි පැමිණියාවූ මාගේ පියරජුහු මමද දකින්ට කැමැත්තෙමි යහළුව, එහි ගොස් එව, ඉන්පසු මෙහි නවතුව. නිරෝගබැව් නෑයන්ට කියව, මාවිසින් කියන ලද්දේ මව්ටද පියාටද මාගේ වැඳීම කියවයි” තේමිය කුමරු කීයේය.

සුනන්ද නම් සාරථිතෙම ඒ කුමරුගේ පා අල්වා ගෙණ වැඳ ඔහු ප්‍රදක්ෂිණාද කොට රථයට නැගී රජ ගෙදරට ගියේය.

තේමිය කුමරුගේ මව චන්ද්‍රා දේවී තොමෝ ආවාවූ හිස් රථය දැක කඳුළු පිරුණු ඇස්වලින් යුක්තව හඬමින් එකලාවූ ඒ රියැදුරු බලයි.

“ඒ මේ රියැදුරුතෙම මාගේ පුත්‍රයා නසා එයි. පොළොවෙහි භූමි වර්ධනය කරන්නාවූ මාගේ පුත්‍රතෙම නසන ලද්දේයයි සිතමි.

“මාගේ පුත්‍රයා නසා ආවාවූ රියැදුරු දැක සතුරෝ ඒකාන්තයෙන් සතුටුවෙත්. වෛර ඇත්තෝ ඒකාන්තයෙන් ප්‍රීතිවෙත්.”

මව්දේවිතොමෝ හිස්වූ රථය දැක කඳුළු පිරුණු ඇස්වලින් යුක්තව හඬමින් තනිව ආවාවූ රියැදුරු විචාරයි.

“කිමෙක්ද ඒ මාගේ පුත්‍රතෙම ගොළුවීද, කිම කොරවූයේද, කිම එකල්හි භූමියෙහි වළලනු ලබන්නේ වැළපුනේද එම්බා සාරථිය එය මට කියව.

“ගොළුවූ කොරවූ හෙතෙම කෙසේනම් භූමියෙහි වළලනු ලබන්නේ අත්වලින් පාවලින් දුරු කෙළේද, විචාරණලද්දේ එය මට කියවයි” මව් බිසව කීයේය.

“එම්බා ආර්‍ය්‍යාවෙනි, මට අභය දෙන්නෙහි නම් රාජ පුත්‍රයාගේ සමීපයෙහි මා විසින් යමක් අසන ලදද, දක්නා ලදද මම එය ඔබට කියන්නෙමියි” සාරථිතෙම කීයේය.

“යහළු සාරථිය තට අභය දෙමි. රාජපුත්‍රයාගේ සමීපයෙහි තා විසින් යමක් අසන ලද්දේ හෝ දකින ලද්දේ නම් භය නැතිව එය කියවයි.” දේවිතොමෝ කීය.

“එම්බා ආර්‍ය්‍යාවෙනි, හෙතෙම ගොළුවෙක් නොවේ. හෙතෙම කොරෙක් නොවේ. හෙතෙම මනොඥ වචන ඇත්තේ වේ. හෙතෙම වනාහි රාජ්‍යයට භයවූයේ ගෘහයෙහි බොහෝ දෑ කෙළේය.

“හෙතෙම යම් නගරයෙක්හි රාජ්‍යය කරවීද, ඒ පළමු ජාතිය සිහි කරයි. එහි රාජ්‍යය කරවා දරුණුවූ නරකයට පැමිණියේය.

“හෙතෙම එහි විසි අවුරුද්දක් පමණ කල් රාජ්‍යය කරවීය. ඉන්පසු අසූ දහසක් අව්රුදු නරකයෙහි පැසුනේය.

“ඒ රාජ්‍යයට භයවූ හෙතෙම මා රාජ්‍යයෙහි අභිෂේක නොකෙරෙත්වායි, එහෙයින් එකල්හි පියාගේද මවගේද සමීපයෙහි කථා නොකෙළේය.

“සියලු ශරීරාවයන්ගෙන් යුක්තවූ උස මහත ඇත්තාවූ මනොඥ වචන ඇත්තාවූ ප්‍රඥාව ඇත්තාවූ හෙතෙම දෙව්ලොවට යන මාර්ගයෙහි සිටියි.

“එම්බා රාජපුත්‍රිය, ඉදින් ඔබ ඔබගේ පුත්‍රයා දකින්ට කැමැත්තෙහි නම් එනු මැනව. යම් තැනෙක්හි ඒ තේමිය කුමාරතෙම මෙසේද, එතනට පමුණුවන්නෙමියි” සාරථිතෙම කීයේය.

“රථවල අශ්වයන් යොදත්වා. ඇතුන්ට පොරොදු හෙවත් අබරණ පළඳවව්. සක් පනාබෙර නාද කෙරෙත්වා. එකැස් බෙර වාදනය කෙරෙත්වා.

“මනාව සරහන ලද බෙර ගසත්වා. මිහිරි ස්වර ඇති බෙරය වාදනය කෙර්වා. පුත්‍රයාට දන්වා අභිෂේක කොට ගෙණ ඊමට මම යමි. නියම්ගම් වැස්සෝද මා අනුව එත්වා.

“අන්තඃපුර වාසීහුද කුමාරයෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද වහා යානාවන් යොදත්වා. මම පුතුට අවවාද කොට ආපසු ගෙණ එන්ට යමි.

“ඇතරුවෝද සේනාවන්හි වූවෝද රථ නැගෙන්නෝද පාබල සෙනඟෙහි වූවෝද වහා යානාවන් යොදත්වා. මම පුත්‍රයාට දන්වා අභිෂේකකොට ගෙණ එන්ට යමි.

“මෙහි රැස්වූ දනව් වැස්සෝද රැස්වූ නියම්ගම් වැස්සෝද වහා යානාවන් යොදත්වා. මම පුත්‍රයාට දන්වා ආපසු ගෙණ එන්ට යමියි” කශී රජතෙම කීයේය.

“රියැදුරෝද ශීඝ්‍ර ගමන් ඇත්තාවූ සෛන්ධව අශ්වයන් යොදනලද රථයන් ගෙණ රජ ගෙදරට පැමිණියාහුය. දේවයන් වහන්ස, මේ අශ්වයෝ රථවල යොදන ලද්දාහුයයි” රජහට දැන්වූහ.

“දේවයන් වහන්ස, තරවූ අශ්වයෝ වේගයෙන් පිරිහෙත්. කෙට්ටුවූ අශ්වයෝ ශක්තියෙන් අඩුවෙතියි කෙට්ටු වූවන්ද තර වූවන්ද හැර වේගයෙන්ද ශක්තියෙන්ද සමානවූම අශ්වයෝ යොදන ලද්දාහුයයි” දැන්වූහ.

“ඉක්බිති රජතෙමේද යුහුසුළුව සුදුසු යානාවකට නැග සියල්ලෝම මා අනුව ගමන් කරවයයි අන්තඃපුරයට කීයේය.

“වල් විදුනාවද නළල්පටද කඩුවද ශ්වෙතච්ඡත්‍රයද රන් මිරිවැඩි සඟලද ගෙණ ස්වර්ණයෙන් අලංකෘතවූයේ රථයට නැග,

“ඉක්බිති රජතෙමේද, රියැදුරා පෙරටුකොට පිටත් වූයේය. යම් තැනෙක්හි තේමිය කුමාරතෙම වාසය කෙරේද, වහාම එතන්හි පැමිණියේය.

“තෙජසින් දිලිසෙන්නාක් මෙන් එන්නාවූ ක්ෂත්‍රිය සමූහයා විසින් පිරිවැරුවාවූ ඒ රජහුද දැක තේමිය කුමාර තෙම මෙය කීයේය.

“කිමෙක්ද පියාණෙනි, නීරෝගද කිමෙක්ද පියාණෙනි, රෝග පීඩාවක් නැද්ද, කිමෙක්ද මාගේ මෑණිවරුවූ රාජ කන්‍යාවෝ නීරෝග වෙද්දැයි” ඇසීය.

“පුත්‍රය, මට නිරෝගද වේමය. තවද පුත්‍රය රෝග පීඩාවක් නැත්තේ ඔබගේ මෑනිවරුවූ සියලු රාජ කන්‍යාවෝද නීරෝග වෙත්යයි” පියරජ කීයේය.

“පියාණෙනි කිම මද්‍යපානය නොකරන්නෙහිද, කිම ඔබට සුරාපානය ප්‍රිය නොවේද, කිම සත්‍ය වචනයෙහිද දශරාජ ධර්මයෙහි දන්දීමෙහිද ඔබගේ සිත ඇලේදැයි” ඇසීය

“පුත තේමිය කුමාරය, මම මද්‍යපානය කරන්නෙක් නොවෙමි. තවද මට සුරාපානය ප්‍රිය නොවේ. තවද සත්‍ය වචනයෙහිද දශරාජ ධර්මයෙහිද දීමෙහිද මාගේ සිත ඇලෙයි

“ප්‍රිය රජතුමනි, කිම ඔබගේ අශ්වයන් ගොනුන් ආදී වාහන නිරෝගද කිම හස්ති ආදී සියලු වාහණ ඔබ උසුලයිද, කිම ඔබට ශරීරය තවන්නාවූ ව්‍යාධීහු නැද්ද?

“පුත්‍රය, තවද මාගේ වාහන සියල්ල නීරෝගය, තවද වාහනය මා උසුලයි. තවද සිරුරු තවන්නාවූ රෝග පීඩාවෝ මට නැත්තාහ.

“පියාණෙනි, ඔබගේ පසල් දනව්වැස්සෝ සමෘද්ධ වූවාහුද, ඔබගේ රට මැද ඝනවූ වාස ඇත්තාහුද, කිම ඔබගේ කොටුගුළුද, භාණ්ඩාගාරයද පිරීතිබේද,

“පුත්‍රය, තවද මාගේ පසල් දනව් වැස්සෝද සමෘද්ධ වූහ. මාගේ රට මැදද ඝනවූ වාස ඇත්තාහ. මාගේ කොටුගුළුද භාණ්ඩාගාරයද සියල්ල සම්පූර්ණව සුරක්ෂිතව තිබේ.

“මහරජ, ඔබගේ යහපත් ඊමකි. තවද ඔබගේ අයහපත් ඊමක් නොවේ. යම් තැනෙක්හි රජෙක්තෙම හිඳීද එබඳු අස්නක් පනවත්වායි” තේමිය කුමාරතෙම කීයේය.

“මනාව පනවනලද මේ කොළ ඇතිරියෙහි උන්නාවූ ඔබගේ පාදයන් මෙයින් දිය හැරගෙණ සෝදත්වායිද” කීයේය.

“පිය රජුනි, ලුනු නැත්තාවූ දූෂිතවූ මේ කොළද මාගේ ආහාරයවේ. මහරජ, මෙහි ආවාවූ ඔබ මාගේ සත්කාරයට සුදුස්සෙක් වෙහිය. එබැවින් මෙය අනුභව කරවයි” තේමිය කුමාරතෙම කීයේය.

“පුත්‍රය, මම කොළ අනුභව නොකරමි. මේ මාගේ භෝජනය නොවේමැයි. මම පවිත්‍රවූ රශමසවුලෙන් යුක්තවූ ඇල්සාලේ බත අනුභව කරන්නෙමියි” රජතෙම කීයේය.

“පුත්‍රය, එකලාවූද, රහසිගතවූද මේ ආහාරයෙන් යැපෙන්නාවූ ඔබ දැක මට ආශ්චර්‍ය්‍යයක් වැටහේ. මෙබඳු ආහාරය වළඳන්නවුන්ගේ කවර කාරණයකින් ශරීරවර්ණය පහදීද කියායි.”

“මහරජ, මනාව අතුරණලද්දාවූ කොල ඇතිරියෙහි තනිව වැදහෙමි. මහරජ, ඒ මාගේ තනිව සයනය කිරීමෙන් ශරීරවර්ණය පහදියි.

“ඒකාන්තයෙන් කඩු බැඳගත්තාවූ රජුන් රකින්නෝ මට පැමිණ සිටියාහු නොවෙත්. මහරජ, ඒ මාගේ සැපවූ සයනයෙන් ශරීරවර්ණය පහදියි.

“මහරජ, ඉකුත්වූ දෙයට ශෝක නොකරමි. නො ලැබුනු දෙයක් නොපතමි. මේ කාලයෙහි ලැබුනු දෙයින් යැපෙමි, ඒ කාරණයෙන් මාගේ ශරීරවර්ණය පහදියි.

“නොපැමිණියාවූ දෙය පැතීමෙන්ද ඉකුත්වූ දෙයට ශොක කිරීමෙන්ද යන මේ කාරණයෙන් අඥාණයෝ වියලෙත්. කුමත් මෙන්දයත් කපා අව්වෙහි දමනලද නිල්වන්වූ බටගසක් මෙනැයි” කීයේය.

“පුත්‍රය, හස්ති සේනාවද, රථසේනාවද සැරසුනාවූ අශ්ව සේනාවද, පාබලසේනාවද, සිත්කළුවූ ගෘහයන්ද යන සියල්ල මම ඔබට දෙමි.

“සියලු අලංකාරයෙන් සැරසුනාවූ අන්තඃපුරයද ඔබට දෙමි. පුත්‍රය, ඔවුන් පිළිපදුව. ඔබ අපගේ රජවෙව.

“පුත්‍රය, නෘත්‍ය ගීතයට දක්ෂවූ සෙසු කටයුතුවලද හික්මුනාවූ දක්ෂ ස්ත්‍රීහු කාමයෙහි ඔබ අලවන්නාහුය. මේ හිස් වනයෙහි කුමක් කරන්නෙහිද?

“පුත්‍රය, අන් රජුන්ගෙන් ඔබට සරසනලද රාජ කන්‍යාවන් ගෙණ දෙන්නෙමි. ඔවුන් කෙරෙහි වැස පුත්‍රයන් උපදවා නැවත පසුව පැවිදිවන්නෙහිවා.

“පුත්‍රය, ඔබ යෞවන වයසට පැමිණියේද, තරුණ වූයේද උත්පත්තියෙන් ප්‍රථම වයස් ඇත්තේද ඉතා තරුණදවෙහිය ඔබට යහපතක් වේවා. රාජ්‍යය කරව. මේ හිස් වනයෙහි කුමක් කරන්නෙහිදැයි” පියරජතෙම කීයේය.

“තරුණවූයේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේය. බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ තරුණයෙක් වන්නේය. තරුණ වූවහුටම ප්‍රව්‍රජ්‍යාව සුදුසුවේ. මේ කාරණය බුද්ධාදී ඍෂීන් විසින් වර්ණනා කරණලදී.

“තරුණවූයේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නේය. බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ තරුණයෙක් වන්නේය. එබැවින් මමද බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හැසිරෙන්නෙමි. මට රාජ්‍යයෙත් ප්‍රයෝජන ඇත්තෙක් නොවෙමි.

“තරුණවූ මෑනියෙනි, පියාණෙනි, කියන්නාවූ දුකසේ ලද්දාවූ ප්‍රිය පුත්‍රවූ ජරාවට නොපැමිණව මළාවූ මිනිසෙකු මම දකිම්මය.

“තරුණවූ මනොඥ දර්ශන ඇත්තාවූ ජීවිත විනාශයෙහි බට, හුණ කිළිලක් මෙන් මරහු විසින් සිඳගන්නාලද කුමරියකු මම දකිම්මය.

“මිනිස්සුද තවද ස්ත්‍රීහුද තරුණවූවාහුද මියයනු ලබත් කවර නම් පුරුෂයෙක් එබඳු ජීවිතයෙහි තරුණ වෙමියි විශ්වාස කරන්නේද?

“මහරජ, යමෙක්හුගේ රාත්‍රි ඇවෑමෙහි ආයුශය ඉතා ස්වල්ප වන්නේද, මත්ස්‍යයන්ගේ මද දියෙහි මෙන් එහි කවර නම් කුමාර භාවයක් වේද?

“ලෝවැසිතෙම නිරන්තරයෙන් පහරණ ලද්දේ වේ. නිරන්තරයෙන් පිරිවරණ ලද්දේද වේ. රෑ දාවල් නොසිස්ව ඉක්ම යනකල්හි කුමකට මා රාජ්‍යයෙන් අභිෂෙක කරන්නෙහිද?

“ලෝ වැසිතෙම කවරෙකු විසින් පහරණලද්දේ වේද, කවරෙකු විසින් පිරිවරණ ලද්දේවේද, කවරක්හු නොසිස්ව ඉක්ම යද්ද, පුත්‍රය, මා විසින් විචාරණලද්දේ එය මට කියව.

“මේ ලෝවැසිතෙම මරුවා විසින් පහරණ ලද්දේ වෙයි. ජරාවෙන් පිරිවරණලද්දේ වෙයි. රාත්‍රීහු නොහිස්ව ඉක්මයත්. මහරජ මෙසේ දනුව

“යම්සේ නූල් පැතිරවූ කල්හි යම් යම්ම කොටසක් වියනුලැබේද, වියයුතු කොටස ස්වල්පවේද, සත්වයන්ගේ ජීවිතයද මෙසේය.

“යම්සේ පිරුණාවූ දිය පහර බැසයන්නේ ආපසු නොනවතීද? මෙසේ මිනිසුන්ගේ ආයුෂය ගෙවීයන්නේ පෙරලා නොනවතියි.

“යම්සේ පිරීයන්නාවූ සැඩපහරතෙම ඉව්ර සමීපයෙහි හටගත් ගස් උදුරාගෙණ යන්නේද? මෙසේම ජරාවෙන්ද, මරණයෙන්ද, සත්වයෝ ඒකාන්තයෙන් ගසා ගෙණයන්නේ යයි” තේමිය කුමාරතෙම ධර්මය දේශනා කෙළේය.

“එම්බා පුත්‍රය, හස්තිසේනාවද, රථසේනාවද, සන්නාහසන්නද්ධවූ අශ්වයන්ද, පාබලසෙනගද, සිත්කළුවූ මාලිගාවල්ද මම ඔබට දෙමි.

“සියලු අලංකාරයෙන් සැරසුනාවූ අන්තඃපුරයද ඔබට දෙමි. පුත්‍රය, ඔවුන් පිළිබඳව ඔබ අපට රජවන්නෙහිවා.

“නැටීමට හා ගී කීමට දක්ෂවූ සෙසු කටයුතුවලද හික්මුනාවූ ඒ දක්ෂ ස්ත්‍රීහු කාම සම්පත්හි ඔබ අලවන්නාහ. මේ හිස්වූ අරණ්‍යයෙහි කුමක් කරන්නෙහිද?

“අන්‍යවූ රජවරුන්ගෙන් අලංකාරයෙන් සැරසුනා වූ රාජ කන්‍යාවන් ඔබට ගෙණ දෙන්නෙමි. ඔවුන් කෙරෙහි වාසය කොට පුත්‍රයන් උපදවා ඉක්බිති පසුව පැවිදි වන්නෙහිවා.

“පුත්‍රය, ඔබ යෞවනවූයේද, තරුණවූයේද, උත්පත්තියෙන් පළමු වයස් ඇත්තේද ඉතා බාලවූයේද වෙහිය. ඔබට යහපතක්වේවා. රාජ්‍යය කරව, මේ හිස්වූ අරණ්‍යයෙහි කුමක් කරන්නෙහිද?

“කොටුගුල්ද, භාණ්ඩාගාරයද, වාහණයන්ද බල සෙනගද, සිත්කළුවූ වාසල්ද යන සියල්ල පුත්‍රය, මම ඔබට දෙමි

“පුත්‍රය, ඔබට යහපතක් වේවා. මිහිරිකථා ඇති රාජකන්‍යා සමූහයා විසින් වටකරණලද්දේ දාසී සමූහයා විසින් පිරිවරණලද්දේ ඔබ රාජ්‍යය කරව. මේ හිස්වූ අරණ්‍යයෙහි කුමක් කරන්නෙහිදැයි” පියරජතෙම කීයේය.

“මහරජ, යම් ධනයක් විනාශයට යන්නේද, එබඳු ධනයෙන් මට කවරප්‍රයෝජනද යම් භාර්‍ය්‍යාවක් මැරෙන්නේද එබඳු භාර්‍ය්‍යාවගෙන් කවර ප්‍රයෝජනද යම් තරුණ බවකට ජරාව පහර දෙන්නේද, පුරුදුකළාවූ එබඳු යෞවනයෙන් කවර ප්‍රයෝජනද?

“එබඳු ලෝකයෙහි කවර නම් සතුටක්ද, කවරනම් ක්‍රීඩාවක්ද, කවරනම් ඇල්මක්ද, කවර නම් ධන සෙවීමක්ද, පුත්‍රයන්ගෙන් හා අඹුවන්ගෙන් මට කවර ප්‍රයෝජනයක්ද, මහරජ, මම තෘෂ්ණා බන්ධනයෙන් මිදුනේ වෙමි.

“මට මාරයා ප්‍රමාද නොවේ. ඒ මම මෙසේ දනිමි. මරුවා විසින් යටපත් කරණ ලද්දහුගේ කවර නම් පඤ්ච කාමයන්හි ඇල්මක්ද, කවරනම් වස්තු සෙවීමක්ද?

“පැසුනාවූ ගෙඩිවල වැටීම හේතුකොටගෙණ නිතර භය යම්සේද මෙසේම උපන්නාවූ සත්වයන්ට මරණ හේතුවෙන් නිතර භය වේ.

“උදය දක්නා ලද්දාවූ බොහෝ දෙනාගෙන් සමහරු සවස නොදක්නා ලැබෙත්. සවස දක්නා ලද බොහෝ දෙනාගෙන් සමහරු උදය නොදක්නා ලැබෙත්.

“අදම වීර්‍ය්‍යය කටයුතුයි. සෙට මරණය වේයයි කවරෙක් දන්නේද, පස්විසි භය ආදී මහත් සේනාවන් ඇති මරු සමග අපගේ විශ්වාසයක් නැත්තේ මැයි.

“සොරු වස්තුව ප්‍රාර්ථනා කරත්. මහරජ මම ඒ වස්තුව පැතීම නම්වූ තෘෂ්ණා බන්ධනයෙන් මිදුනේ වෙමි. මහරජ මෙහි එනු මැනව, මාගේ වචනයෙහි පවතිනු මැනව. මම වනාහි රාජ්‍යයෙන් ප්‍රයෝජන ඇත්තෙක් නොවෙමියි” බෝසත්තෙම දහම් දෙසීය.

මූගපක්ඛජාතකං පඨමං.