ඛුද්දකනිකාය

ජාතක

(දුතියො භාගො)

22. මහානිපාතය

539. මහාජනක ජාතකය

“මේ මුහුද මැද ඉවුරක් නොදක්නේ කවරෙක් නම් පීනමින් උත්සාහ කරන්නේද, ඔබ කිනම් ප්‍රයෝජනයක් සලසා මෙසේ මහත් ලෙස ව්‍යායාම කරන්නෙහිදැයි” මණිමෙඛලා නම් දෙව්දුව ඇසීය.

“එම්බා දෙව්දුව, මම ලෝක චාරිත්‍රයද අසා ඇත්තෙමි. ව්‍යායාමයාගේ ආනිශංසයද දැන සිටිමි. එහෙයින් මේ මුහුද මැද ඉව්රක් නොදැක උත්සාහ කරන්නෙමියි” මහා ජනක කුමාරතෙම කීයේය.

“අපමණ ගැඹුරුවූ මේ සාගරයෙහි ඉව්ර යමෙකුට නොපෙනේද ඉවුරට නොපැමිණම මරණයට පැමිණෙන්නෙහිද, එම්බා පුරුෂය, එබඳුවූ ඔබගේ ඒ ව්‍යායාමයතෙම හිස්වේයයි” දෙව්දුව කීය.

“එම්බා දෙව්දුව යමෙක් පුරුෂ වීර්‍ය්‍ය කරන්නේ නම් හෙතෙම නෑයන්ටද දෙවියන්ටද බ්‍රහ්මයාටද ණය නැත්තෙක් හෙවත් නොගැරහිය යුත්තෙක් වේ. පසුතැවිලිද, නොවේයයි’ කුමාරතෙම කීයේය.

“එම්බා පුරුෂය, යම් කර්මයක් උත්සාහයෙන් නොලැබිය හැකිද, නිෂ්ඵලද වෙහෙස වඩන්නේද, යම් උත්සාහයක් කරන්නෙකුට මරණය පැමිණේද එබඳු කටයුත්තෙහි උත්සාහ කිරීමෙන් කවර ප්‍රයෝජනයෙක්දැයි” දෙව්දුව ඇසීය.

“එම්බා දෙව්දුව, යමෙක් ඒකාන්තයෙන් උත්සාහ කොටද නොලැබිය හැකියයි දැන ඉදින් එබඳු තැන්වල උත්සාහය අඩුකෙරේ නම් හෙතෙම තමන්ගේ ආත්මය නොරකීයයි දතයුතුයි.

“එම්බා දෙව්දුව මේ ලෝකයෙහි සමහරු ප්‍රයෝජනය සලකා කර්මාන්ත යොදවත්. ඒ කර්මාන්තයෝ සමෘද්ධවන්නාහුද වෙත්.

“එම්බා දෙව්දුව, සෙස්සෝ මුහුදෙහි ගිළුනාහ. මම වනාහි මේතාක් තරණය කරමි. සමීපයෙහි සිටි ඔබද දකිමි. මේ ආත්මයෙහිවූ කර්ම විපාකය නොවේදැයි බලව.

“ඒ මම සත්‍යවූ පරිදි බලය ඇති පරිදි සමුද්‍රයාගේ පරතෙරට යමින් පුරුෂ වීර්‍ය්‍යය කරමින් උත්සාහ ගන්නෙමියි” කුමාරතෙම කීයේය.

“එම්බා පුරුෂය, මෙබඳු ගැඹුරු පුළුල්වූ සැඩපහර ඇත්තාවූ ප්‍රමාණයක් කළ නොහැකි මහා සාගරයෙහි දැහැමි උත්සාහයෙන් යුක්තවූ යම්බඳුවූ ඔබ ස්වකීය පුරුෂ වීර්‍ය්‍යයෙන් නොගිලෙන්නෙහිය. යම්තැනෙක්හි ඔබගේ සිත ඇළුනේද, එ ඔබ එතැන්හිම යවයි” දෙව්දුව කීය.

[“සූර්‍ය්‍යයා උදාවන තන්හි නිධානයෙක, බස්නා තන්හි නිධානයෙක, ඇතුළත නිධානයෙක, පිටත නිධානයෙක ඇතුළත්හි නොවූ පිටත්හි නොවූ තැන නිධානයෙක.

“නගින තැන මහත් නිධානයෙක, තවද බහින තැන නිධානයෙක, මහසල් ගස් සතර තිබෙන තැන්වලද නිධාන වෙත්. හාත්පස යොදුනක් තැනද නිධානයෙක.

“දළ කෙළවර තැන්හි මහා නිධානයෙක. මාලිගා කෙළවරවල්හිද නිධානවෙත්. දිය ඇති තන්හි නිධානයෙක. ගසමුදුන මහා නිධානයෙක මේ මහ නිධන් සොළොසට ලකුණුවෙත්. සහස්සත්ථාම දුන්න නැගීමද හතරැස් ආසනය හිස කෙළවර දැනීමද සීවලී කුමරිය සතුටු කිරීමද (හැකි කෙනෙකුට රාජ්‍යය දියයුතුයයි පෝලජනක රජ විසින් මරණ මඤ්චකයෙහිදී කියන ලදී.)”]

“නුවණැති පුරුෂතෙම ප්‍රාර්ථනා කරන්නේමය. වීර්‍ය්‍යය කරමින් නොකලකිරෙන්නේය. ඒ මම තමන් දකිමි. මම යමක් කැමතිවීම්ද එය එසේවිය.

“නුවණැති පුරුෂතෙම ප්‍රාර්ථනා කරන්නේමය. උත්සාහයෙහි නොකලකිරෙන්නේය. ඒ මම දියෙන් ගොඩ ආ තමා දකිමි.

“නුවණැති පුරුෂතෙම උත්සාහකරන්නේමය අතර නොකලකිරෙන්නේය. ඒ මම තමන් දකිමි. මම යම්සේ කැමතිවීම්ද එසේ වූයේය.

“නුවණැති පුරුෂතෙම උත්සාහ කරන්නේමය. උත්සාහ කරමින් නොකලකිරෙන්නේය. ඒ මම සාගරයෙන් ගොඩ ආවාවූ තමා දකිමි.

“දුකින් පෙළුනාවූද නුවණැති මනුෂ්‍යතෙම සැප ලැබීමෙහි ආසාව නොසිඳින්නේය. දුක්වූද සැපවූද ස්පර්ශයෝ බොහෝ වෙත්. ඒ නොසිතන්නාහු මරණයට පැමිණෙත්.

“නොසිතන ලද්දේවේ. සිතනලද්දද වැනසේ. ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ සිතූ පරිදිම වන්නාවූ සම්පත්තීහු නොමවෙත්යයි” මහාජනක රජතෙම ප්‍රීතිය ප්‍රකාශ කෙළේය.

“පින්වත්නි, සියලු පොළොව රක්නාවූ දිසාවන්ට අධිපතිවූ රජතෙම ඒකාන්තයෙන් පෙර මෙන් නොවේ. අද නැටුම් නොබලයි. ගී කීමෙහි සිත් නොකෙරෙයි.

“මෘග යුද්ධද නොබලයි. උද්‍යාන ක්‍රීඩාද නොකරයි. හංසයන්ද නොබලයි. ගොළුවෙකු මෙන් නිශ්ශබ්දව හුන්නේ අර්ථයෙන් අනුශාසනා නොකෙරේයයි” මහජනතෙම කීයේය.

“නිවන් සුව කැමැත්තාවූ වැසුන ශීලාදී ගුණ ඇත්තාවූ වධබන්ධනයෙන් වැළකුණාවූ තරුණවූද මහළුවූද පසේ බුදුවරයෝ කවරකෙනෙකුන්ගේ ආරාමයෙහි අද වාසය කෙරෙද්ද?

“පහවූ තෘෂ්ණා ඇති ප්‍රාඥවූ යම් කෙනෙක් රාගාදීන් උත්සන්න බවට පැමිණි ලෝකයෙහි උත්සාහවත් නොවූවාහු වාසය කෙරෙද්ද, මහර්ෂීවූ උන්වහන්සේලාට නමස්කාරවේවා.

“උන්වහන්සේලා අතිශයින් මායාකාරීවූ මරුවාගේ දෘඪවූ ඒ දැල සිඳගෙණ සුන්කරණ ලද ආලය ඇති බැවින් යත්, කවරෙක් මා උන්වහන්සේලාගේ නිවාසස්ථානයට පමුණුවන්නේදැයි” මහාජනක රජතෙම ප්‍රීතිය ප්‍රකාශකෙළේය.

“කවර කලෙක්හි මම සමෘද්ධවූ සියලු දෙසින් ප්‍රභා සම්පන්නවූ මියුලුනම් නුවර හැරදමා පැවිදිවන්නෙම්ද, ඒ සියල්ල හැරදමා පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,

“විභාග කරණ ලද කොටස් වශයෙන් ප්‍රමාණ කරණ ලද සමෘද්ධවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,

“මහත්වූ ප්‍රකාරයෙන් හා දොරටු තොරන් වලින් යුක්තවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,

“දෘඪවූ අටළු වලින් හා දොරකොටු වලින් යුක්තවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,

මනාකොට කොටස් කරණ ලද මහත් වූ වීථි ඇති මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,

“මනාකොට විභාග කරණ ලද සල්පිල් ඇති මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,

“ගවයන් හා අශ්වයන් යෙදූ රථවලින් ගැවසී ගත්තාවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,

පුෂ්පාරාම ඵලාරාම වන පංක්තීන් යුක්තවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,

“උද්‍යාන වන පංක්තීන් යුක්තවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,

“ප්‍රාසාද වන පංක්තීන් යුක්තවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,

“රජහුගේ නෑයන්ගෙන්ම යුත් පුරත්‍රයකින් යුක්තවූ පිරිවර ඇත්තාවූ සොමනස්ස නම් වෙදෙහ රජු විසින් මවන ලද්දාවූ සමෘද්ධවූ මියුළු නුවර හැර කවර කලෙක්හි මම පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳු නුවර හැර පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,

“දැහැමින් රක්නාලද රැස්කරණ ලද ධන ධාන්‍යයන් ඇති සමෘද්ධවූ විදෙහ වැසියන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“දැහැමින් රක්නා ලද සතුරන් විසින් නොදිනිය හැක්කාවූ සමෘද්ධවූ විදේහ වැසියන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“විභාග කරණ ලද කොටස් වශයෙන් ප්‍රමාණ කරණ ලද සිත්කළුවූ අන්තඃපුරය හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“සුනු පිරියමින් හා මැටි ගෑමෙන් යුක්තවූ සිත් කළුවූ අන්තඃපුරය හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“පිවිතුරු ගඳින් යුක්තවූ සිත් අලවන්නාවූ රම්‍යවූ අන්තඃපුරය හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“විභාග කරණ ලද කොටස් වශයෙන් ප්‍රමාණ කරණ ලද කූටාගාරයන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“සුනු පිරීයමින් හා මැටි ආලෙපයෙන් යුක්තවූ කූටාගාරයන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

පිවිතුරු ගඳ ඇත්තාවූ සිත් අලවන්නාවූ කූටාගාරයන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

ආලෙප කරණ ලද රත් සඳුන් වලින් සුගන්ධවත්වූ කූටාගාරයන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“සතරඟුල් පමණ එළු ලොමින් කළ විසිතුරු ඇතිරිලි අතුරණ ලද ස්වර්ණමය පර්‍ය්‍යංකයන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“කපුපිළි හා කොශෙය්‍ය වස්ත්‍රද කොමුපිළි හා කොටුම්බර දෙශයෙහි උපන් වස්ත්‍රද හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“සක්වාලිහිණින් විසින් පවත්වන ලද නාද ඇති මන්දාලකයන්ගෙන්ද පියුම් හා උපුල් වලින්ද ගැවසීගත්තාවූ පුෂ්කරණීන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“සියලු හස්ත්‍යලංකාරයෙන් සරසන ලද්දාවූ හස්ති සමූහයන්ද රන් පොරොදු ඇත්තාවූ රණින් කළ ශීර්ෂාභරණයෙන් හා රන් දැලින්ද යුක්තවූ හස්තිරාජයන්ද හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

තෝමර හා අකුසු ගත් අත් ඇති ඇතරුවන් විසින් නගින ලද (හස්තිරාජයන්) හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“සර්වාලංකාරයෙන් සරසන ලද්දාවූ උත්පත්තියෙන්ම ආජානියවූ ශීඝ්‍රවාහණවූ සෛන්ධවනම් අශ්වසමූහයන්ද කරවාල දුනු දරන්නාවූ අශ්වාරොහකයන් විසින් නගින ලද අශ්වයන්ද හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“කවර කලෙක්හි මම මනාව සැරසූ ඔසවන ලද ධජ ඇති දිවිසම් ඇත්තාවූද තවද ව්‍යාඝ්‍ර සම් අතුරණ ලද්දාවූ සියලු අලංකාරයෙන් අලංකාරවූ දුනුගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගන ලද රථ පංක්තීන් හැර කවර කලෙක්හි මම පැවිදි වන්නෙම්ද, පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“කවර කලෙක්හි මම සරසන ලද ඔසවන ලද ධ්වජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්‍යාඝ්‍ර සම් ඇති සියලු අලංකාරයෙන් සැරසූ ස්වර්ණමය රථයන් සැට්ට ලන ලද දුණුගත් අත් ඇති රියැදුරන් විසින් නගින ලද රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?

රිදියෙන් කළ රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?

අශ්වයන් යොදන ලද රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?

ඔටුවන් යොදනලද රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?

ගවයන් යොදනලද රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?

එළුවන් යොදනලද රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?

තිරෙළුවන් යොදනලද රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?

මුවන් යොදනලද රථයන් හැර පැවිදි වන්නෙම්ද ඒ මෙබඳු සම්පත් හැර පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?

“කවර කලෙකින් මම සියලු අලංකාරයෙන් සැරසුනාවූ නිල්වන් සැට්ට දරන්නාවූ ශූරවූ තෝමර හා අංකුශ ගත් අත් ඇති ඇතරුවන් හැර පැවිදි වන්නෙම්ද ඒ මාගේ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“කවර කලෙක්හි මම සියලු අලංකාරයෙන් සැරසුනාවූ නිල්වන් සැට්ට දරන්නාවූ කරවාලය හා දුන්න දරන්නාවූ ශූරවූ අශ්වාරෝහකයන් හැර පැවිදි වන්නෙම්ද, ඒ මෙබඳුවූ පැවිද්ද කවර කලෙක්හි වන්නේද?

“කවර කලෙක්හි මම සියලු අලංකාරයෙන් සැරසුනාවූ නිල්වන් සැට්ට දරන්නාවූ හියවුරු හා දුනුගත් අත් ඇති ශූරවූ ධනුර්ධරයන් හැර පැවිදි වන්නෙම්ද, ඒ මෙබඳුවූ පැවිද්ද කවර කලෙක්හි වන්නේද?

“කවර කලෙක්හි මම සියලු අලංකාරයෙන් සැරසුනාවූ විසිතුරු සැට්ට දරන්නාවූ ස්වර්ණමය හිස් වෙළුම් දරන්නාවූ ශූරවූ රාජකුමාරයන් හැර පැවිදි වන්නෙම්ද, ඒ මෙබඳුවූ පැවිද්ද කවර කලෙක්හි වන්නේද?

“කවර කලෙක්හි මම වස්ත්‍ර ඇති සැරසුනාවූ රන්වන් සඳුන් ගල්වන ලද ශරීරාවයව ඇති උතුම් කශී සළු දරන්නාවූ බ්‍රාහ්මණ සමූහයා හැර පැවිදි වන්නෙම්ද, ඒ මෙබඳුවූ පැවිදිවීම කවරකලෙක්හි වන්නේද?

“කවර කලෙක්හි මම සියලු අලංකාරයෙන් සැරසුනාවූ සත් සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිදි වන්නෙම්ද, ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?

“කවර කලෙක්හි මම මනාව සංයම ඇත්තාවූ කෘශවූ මධ්‍ය ප්‍රදෙශ ඇත්තාවූ සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිදි වන්නෙම්ද?

“කවර කලෙක්හි මම සුවචවූ ප්‍රියතෙපුල් ඇත්තාවූ සත්සියයක් භාර්‍ය්‍යාවන් හැර පැවිදිවන්නෙම්ද, ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?

“කවර කලෙක්හි මම සියක් පලමකින් කරණලද සියගණන් රේඛා ඇති ස්වර්ණමය තලිය හැර පැවිදි වන්නෙම්ද, ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?

“කවර කලෙක්හි සියලු අලංකාරයෙන් සරසන ලද්දාවූ රන් පොරොදු ඇත්තාවූ ස්වර්ණමය ශීර්ෂාභරණ හා සරසනලද වස්ත්‍ර ඇත්තාවූ තෝමර හා අංකුශ ගත් අත් ඇති ඇතරුවන් නඟින ලද හස්තී රාජයන්ගෙන් යුක්තවූ හස්ති සමූහයෝ එකලාව වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“සර්වාලංකාරයෙන් සරසන ලද උත්පත්තියෙන්ම ආජානීයවූ ශීඝ්‍ර ගමන් ඇත්තාවූ සෛන්ධවයන්ගෙන් යුක්තවූ කරවාලායුධ හා දුනු දරන්නාවූ අශ්වාරෝහකයන් විසින් නගින ලද අශ්ව සමූහයෝ කවර කලෙක්හි වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද, කවර කලෙක්හි එහි මෙබඳුවූ පැවිදිවීම වන්නේද?

“කවර කලෙක්හි සරසනලද ඔසවනලද ධවජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාලංකාරයෙන් සැරසු දුනු ගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගිනා ලද්දාවූ රථ පංක්තිහු වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,

“කවර කලෙක්හි ස්වර්ණමය රථයෝ වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,

“කවර කලෙක්හි සරසනලද ඔසවනලද ධවජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාලංකාරයෙන් සැරසු දුනු ගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගිනා ලද්දාවූ රිදීයෙන් කළ රථයෝ වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,

“කවර කලෙක්හි සරසනලද ඔසවනලද ධවජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාලංකාරයෙන් සැරසු දුනු ගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගිනා ලද්දාවූ අසුන් යොදන ලද රථයෝ වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,

“කවර කලෙක්හි සරසනලද ඔසවනලද ධවජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාලංකාරයෙන් සැරසු දුනු ගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගිනා ලද්දාවූ ඔටුවන් යොදන ලද රථයෝ වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,

“කවර කලෙක්හි සරසනලද ඔසවනලද ධවජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාලංකාරයෙන් සැරසු දුනු ගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගිනා ලද්දාවූ ගවයන් යොදන ලද රථයෝ වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,

“කවර කලෙක්හි සරසනලද ඔසවනලද ධවජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාලංකාරයෙන් සැරසු දුනු ගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගිනා ලද්දාවූ එළුවන් යොදන ලද රථයෝ වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,

“කවර කලෙක්හි සරසනලද ඔසවනලද ධවජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්‍යාඝ්‍ර සම් ඇති සර්වාලංකාරයෙන් සැරසු දුනු ගත් අත් ඇති සැට්ට ලනලද රියැදුරන් විසින් නගිනා ලද්දාවූ තිරෙළුවන් යොදන ලද රථයෝ වනයට යන්නාවූ අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,

“කවර කලෙක්හි සැරසූ නගන ලද ධජ ඇති අතුරණ ලද දිවිසම් ඇති තවද ව්‍යාඝ්‍ර සම් ඇති සියලු අලංකාරයෙන් හෙබියාවූ දුනුගත් අත්ඇති සැට්ට ලන ලද රියැදුරන් නැගුණු මුවන් යෙදූ රථයෝ වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?

“සර්වාලංකාරයෙන් සැරසුනාවූ නිල්වන් සැට්ට දරන්නාවූ තෝමරය හා අකුසු ගත් අත් ඇත්තාවූ ශූරවූ ඇතරුවෝ කවර කලෙක්හි වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද, ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“කවර කලෙක්හි සියලු අලංකාරයෙන් සැරසුනාවූ නිල් සැට්ට දරන්නාවූ කරවාලායුධ දුනු දරන්නාවූ ශූරවූ අසරුවෝ වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“දුනු හියවුරුගත් අත් ඇති ශූරවූ ධනුර්ධයෝ වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“සර්වාලංකාරයෙන් සැරසුනාවූ විසිතුරු සැට්ට දරන්නාවූ සවර්ණමය හිස් වෙළුම් ඇත්තාවූ ශූරවූ රාජ පුත්‍රයෝ වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“අලංකාරවූ වස්ත්‍රවලින් සැරසුනාවූ රත්සඳුන් ගල්වන ලද ශරීරාවයව ඇත්තාවූ උතුම් කශීසලු දරන්නාවූ බ්‍රාහ්මණ සමූහයෝ කවර කලෙක්හි වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද,

“කවර කලෙක්හි සර්වාලංකාරයෙන් සැරසුනාවූ සත් සියයක් ස්ත්‍රීහු වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද, ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“කවර කලෙක්හි මනා සංයම ඇත්තාවූ කාශවූ මධ්‍ය ප්‍රදෙශ ඇති සත් සියයක් භාර්‍ය්‍යාවෝ වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද, ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“කවර කලෙක්හි සුවචවූ ප්‍රිය තෙපුල් ඇති සත් සියයක් භාර්‍ය්‍යාවෝ වනයට යන්නාවූ මා අනුව නොයන්නාහුද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නෙද?

“කවර කලෙක්හි හිස මුඩු කළාවූ සඟල සිව්රක් පොරවන ලද මම පාත්‍රයක් ගෙණ පිඬු පිණිස හැසිරෙන්නෙම්ද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි නම්වන්නේද?

“කවර කලෙක්හි මම මහා මාර්ගයෙහි හැර දමන ලද පාංශුකූල වස්තු වලින් සඟල සිව්රක් දරන්නෙම්ද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“කවර කලෙක්හි මම සත් දවසක් බැඳගෙණ වස්නා කල්හි වර්ෂා ජලයෙන් තෙමුනේ තෙත්වූ සිව්රු ඇත්තේ පිඩු පිණිස හැසිරෙම්ද, ඒ මෙබඳුවූ පැවිදිවීම කවර කලෙක්හි නම් වන්නේද?

“කවර කලෙක්හි මම සිටිමින් ගසක් හැර ගසක් වනයක් හැර වනයක් අපේක්ෂා නොකර වාසය කරන්නෙම්ද, ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි නම්වන්නේද?

“කවර කලෙක්හි මම පර්වත දුර්ගම ස්ථානවල පහව ගියාවූ භය ඇත්තේ තනිව හැසිරෙන්නෙම්ද, ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද?

“කවර කලෙක්හිම වීණා වාදකයෙක් සත් තැනක් ඇත්තාවූ සිත්කළුවූ වීණාව මෙන් සිත ඍජු කරන්නෙම්ද ඒ මෙබඳු පැවිදිවීම කවර කලෙක්හි වන්නේද,

“කවර කලෙක්හි මම සමකරුවෙක් කපා හරිනලද සම් ඇති පාවහනක් මෙන් දිව්‍යවූද මානුසිකවූද කාමසඤ්ඤො ජනයන් සිඳින්නෙම්දැයි” මහාජනක රජතෙම කීයේය.

“සියලු අලංකාරයෙන් සැරසුනාවූ ඒ සත් සියයක් ස්ත්‍රීහුද කුමක් හෙයින් අප හැර යන්නෙහි දැයි හිස අත් බැඳගෙණ හැඬුවාහුය.

“මනා සංයම ඇත්තාවූ කෘශවූ මධ්‍ය ප්‍රදේශ ඇති ඒ

“සුවචවූ ප්‍රිය තෙපුල් ඇති ඒ සත් සියයක් ස්ත්‍රීහු කුමක්හෙයින් අප හැර යන්නෙහිදැයි හිස අත් බැඳ ගෙණ හැඬූහ.

“සියලු අලංකාරයෙන් සැරසුනාවූ ඒ සත් සියයක් භාර්‍ය්‍යාවන්ද හැර ප්‍රව්‍රජ්‍යාව විසින් පෙරටු කරණලද රජතෙම පිටත්ව ගියේය.

“මනා සංයම ඇත්තාවූ ඒ සත් සියයක් ස්ත්‍රීන්ද හැර,

“සුවචවූ ප්‍රිය තෙපුල් ඇති ඒ සත් සියයක් ස්ත්‍රීන්ද හැර ප්‍රව්‍රජ්‍යාව විසින් පෙරටු කරණලද රජතෙම පිටත්ව ගියේයි.

“ඒ රජතෙම සියක් පලමකින් කළාවූ සියගණන් රේඛා ඇති රන් තලිය හැර දෙවෙනි අභිෂේකයක් මෙන් ඒ මැටි පාත්‍රය ගත්තේය.

“මහරජ, ගෙවල් ගිනි ගොඩවල් මෙන් ඇවිල ගත්තාහ. කොටස් වශයෙන් බඩු ගබඩාවල් දැවෙත්. එහි රිදීද රත්රන්ද මුතු ද වෛදූර්‍ය්‍ය මැණික්ද බොහෝ වෙත්.

“මැණික්ද සක් මුතුද වස්ත්‍ර ජාතිද රන්වන් සඳුන්ද අඳුන් දිවිසම්ද දලකඩ බඩුද ලෝහ භාණ්ඩද කාල ලෝහයෙන් කළ බඩුද බොහෝ වෙත්. මහරජ, එනු මැනව. නවතිනු මැනව ඔබගේ ඒ ධනය විනාශනොකරණු මැනවැයි” සීවලී බිසව කීයේය.

“යම්බඳු අපට කිසිවකුත් නැත්තේද, ඒ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත්වෙමු. මියුළු නුවර දනු ලබන කල්හි මාගේ කිසිවකුත් නොදැවෙන්නේයයි” රජතෙම කීයේය.

“මහරජ, වනගත සොරු පැමිණියාහු ඔබගේ ඒ රට වනසත්. මහරජ, එනු මැනව. නවතිනු මැනව. මේ රට විනාශ නොකරණු මැනවැයි සීවලි බිසව කීයේය.

“යම්බඳුවූ අපට කිසිවක් නැත්තේද, ඒ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වෙමු. රට පැහැර ගනු ලබන කල්හි මාගේ කිසිවකුත් නොනැසේ.

“යම්බඳුවූ අපට කිසිවක් නැත්තේද, ඒ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත්වෙමු. ආභස්සර නම් බඹ ලොව වැසි දෙවියන් මෙන් ප්‍රීතිය ආහාර කොට ඇත්තෝ වන්නෙමුයි” රජතෙම කීයේය

“කවර කරුණක් නිසා මහජනයාගේ මේ ඝෝෂාව වේද, ගමෙහි මෙන් කවර නම් කිලිකිලි ශබ්දයක්ද ශ්‍රමණවූ ඔබම විචාරමු. කුමක් නිසා මේ මහජනතෙම රැස්වේදැයි” නාරද කාශ්‍යප නම් තාපසතෙම ඇසීය.

“ඔවුන් හැර යන්නාවූ මා නිසා මෙහි මේ ජනයා රැස්වූයේය. සීමාව ඉක්මවා අනගාරිය මුනි සංඛ්‍යාත තපසට යන්නාවූ පැවිදිවීමියි සතුටින් යුක්තවූ මා දැනගෙණ කුමට විචාරන්නෙහිදැයි” රජතෙම ඇසීය.

“මේ පැවිදිවීම කෙළෙසුන් තරණය කෙළේයයි නොසිතව, මෙයින් ක්ලේශයන් තරණය කළහැකි නොවේ. උපද්‍රවයෝ බොහෝ වෙත්යයි” තාපසතෙම කීයේය.

“යමෙක් මේ ආත්මයෙහිද පරලෙව්හිද කාම සම්පත් නොපතන්නේද, එසේ වාසය කරන්නාවූ මට කවර නම් උවදුරෙක් වන්නේදැයි මහසත්තෙම කීයේය.

“නිදා ගැණීමය. අලස කමය ඈනුම් ඇරීමය නොඇල්මය. බත් මතය යන බොහෝවූ උපද්‍රවයෝ ඔබගේ සිරුරෙහි පිහිටියාහු වාසය කෙරෙත්යයි” නාරද තාපසතෙම කීයේය.

“පින්වත් බ්‍රාහ්මණය, ඒකාන්තයෙන් නුඹ මට යහපත්කොට අනුශාසනා කෙරෙහිය. නිදුකාණෙනි, ඔබ කවරෙක් වෙහිදැයි බ්‍රාහ්මණවූ ඔබම විචාරමියි” මහසත්තෙම කීයේය.

“පින්වත, නාරදයයි මාගේ නාමය වේ. කාශ්‍යප යයි ගෝත්‍ර වශයෙන් මා දනිත්. සත්පුරුෂයන් හා සමාගමය යහපත් වේයයි. පින්වත්හුගේ සමීපයෙහි ආයෙමි.”

“ඒ ඔබට ප්‍රව්‍රජ්‍යාව පිළිබඳ සියලු සතුට වේවා. සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්තව පවතීවා. යමක් අඩු නම් එය ඉවසීමෙන්ද සංසිඳීමෙන්ද සම්පූර්ණ කරව.

“අවමානයද දුරු කරව, අතිමානයද දුරු කරව, දශ කුශල කර්මයද පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති ඥානයද මහණ දම්ද සකස්කොට පවතුවයි” (නාරද තාපසතෙම අවවාද කොට ගියේය)

“පින්වත් මහාජනක රජ, බොහෝවූ ඇත්තුද අශ්වයන්ද නගරයන්ද ජනපදයන්ද හැර පැවිදිවූ ඔබ කබලෙක්හි හෙවත් මැටි පාත්‍රයෙහි ඇලීමට පැමිණියෙහිය.

“එම්බා මහාජනක රජ, කිමෙක්ද ඒ දනව් වැස්සෝද මිත්‍රාමාත්‍යයෝද නෑයෝද ඔබට කිසි අපරාධයක් කළාහුද කුමක්හෙයින් මේ මැටි පාත්‍රය කැමතිවූයේදැයි” මිගාජින නම් තාපසතෙම ඇසීය.

“එම්බා මිගාජින නම් තාපසය, ඒකාන්තයෙන්ම මම කිසිකලෙකත් කිසි නෑයෙකු අධර්මයෙන් නොදිනු වෙමි. නෑයෝද මා නොදනූහයි” මහසත්තෙම කීයේය.

“පින්වත් මිගාජින නම් තාපසය, යම් ක්ලෙශ වස්තුවෙක්හි ඇළුනාවූ පෘථග්ජනතෙම නසනු ලැබේද, බඳිනු ලැබේද මෙහි කෙලෙසුන් විසින් කනු ලබන්නාහු කෙලෙසුන් විසින්ම මඩ කරණ ලද්දාවූ, ලෝකයාගේ පැවැත්ම දැක මම මේ කාරණයම උපමාකොට පිඩු සිඟන්නෙක් වීමියි” මහසත් තෙම කීයේය.

“එම්බා මහරජ, ඔබගේ පින්වත් අනුශාසක තෙම කවරේද” මේ ඔබ විසින් කියනලද පිරිසිදු වචනය කවරෙකුගේ වචනයක්ද? ශ්‍රමණයෙකුගේ ආකාරය හෝ ශ්‍රමණයෙකුගේ විද්‍යාව හෝ හැර යම්සේ දුක ඉක්මවාද, එසේ පවත්නාවූ ශ්‍රමණයෙකු නොම කියද්ද එහෙයිනියි” මිගාජිනතෙම ඇසීය.

“පින්වත් මිගාජින තාපසය, ඒකාන්තයෙන් මම කිසිකලෙකත් කිසියම් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ සත්කාර කොට ඇසීමට නොපැමිණියෙමියි” මහසත් තෙම කීයේය.

“පින්වත් මිගාජින තාපසය මනහර ගීතයන් ගායනා කරණුලබන කල්හි මිහිරි නාද ඇති වාද්‍යයන් වාදනය කරණුලබන කල්හි, තූර්‍ය්‍ය වාදනයෙන් කරණලද ඝෝෂා ඇති කුලු තාලම් වලින් යුක්ත ශබ්ද ඇති කල්හි මහත්වූ රාජානුභාවයෙන්ද ශෝභාවෙන්ද දිළිසෙමින් යන්නාවූ, “ඒ මම ඵල කැමැත්තාවූ මිනිසුන් විසින් විනාශ කරණු ලබන්නාවූ ප්‍රාකාරය ඇතුළත උයනෙහි පිහිටියාවූ ඵල දරණ අඹ රුකක් දුටුවෙමි.

“මිගාජින තාපසය, ඒ මම වනාහි උද්‍යානශ්‍රිය බලා ඇතු පිටින් බැස ඵල දැරුවාවූ ඵල නසනලද අඹගස මුලට පැමුණුනෙමි.

“විනාශ කරණලද කොළ අතු පවා සිඳිනලද නසනලද, ඵල ඇති අඹගස දැක ඉක්බිති සිත්කළුවූ නීලවර්ණයෙන් බබළන්නාවූ මේ අනික් ඵල නැති අඹරුක දුටුයෙමි.

“යම්සේ ඵල ඇත්තාවූ අඹරුක නසන ලද්දේද, මෙපරිද්දෙන්ම බොහෝ කරදර ඇත්තාවූ ඉසුරුමත්වූ අපටද පසමිතුරෝ හිංසා කරන්නාහු නොවෙද්ද?

“අඳුන් දිවිසම නිසා දිවියා නසනු ලැබේ. දළ නිසා හස්තිතෙම නසනු ලැබේ. ධනය හේතුකොට ගෙණ ධන ඇත්තවුන් නසයි. නිවාසස්ථානයක් නැත්තාවූ සන්ථවයක් නැත්තාවූ පැවිද්දහු කවරෙක් නසාද? ඵල ඇත්තාවූ අඹ ගසද ඵල නැත්තාවූ අඹ ගසද යන ඒ දෙදෙන මාගේ ශාස්තෘවරයෝවූහයි” මහසත්තෙම කීයේය.

“මහරජ, රජතෙම පැවිදිවූයේයයි ඇතරුවෝද සේනාවන්හිවූවෝද රථ සේනාවෝද පාබල සේනාවෝද යන සියලු ජනතෙම අතිශයින් පෙළුනේය.

“ජන සමූහයා අස්වසා නුවර ආරක්ෂා තබා පුත්‍රවූ දීඝාවූ කුමාරයා රාජ්‍යයෙහි පිහිටුවා ඉන්පසු පැවිදිවන්නෙහි වායී” සීවලී දේවිය කීයේය.

“එම්බා දේවිය, මා විසින් දනව් වැස්සෝ හරණා ලද්දාහ. මිත්‍රාමාත්‍යයෝද නෑයෝද හැර දමන ලදහ. විදේශ වාසීන්ගේ රට වර්ධනය කරන්නාවූ දීඝාවූ නම් පුත්‍රයෝ ඇත්තාහ. ඔව්හු මියුළු නුවර රාජ්‍යය කරවන්නාහු යයි” රජ තෙම කීයේය.

“එම්බා දේවිය, මාගේ යම් වචනයකට කැමති වේද, එව. එයින් තිට අනුශාසනා කරමි. තී රාජ්‍යය කරවන්නී කය වචනය සිත යන යමකින් දුගතියට යන්නෙහිද, එබඳුවූ දුශ්චරිත පව් බොහෝ කරන්නෙහිය.

“අනුන් විසින් දෙනලද්දාවූ, අනුන් විසින් නිමවන ලද්දාවූ, ආහාරයකින් යැපෙව, මේ පිඩු සිඟා යැපීම නම් ප්‍රාඥයන්ගේ ස්වභාවයකැයි” බිසවට අවවාද කෙළේය.

“යමෙකුත් ඉදින් සතරවැනිවූ බත් අනුභව කරණ කාලයෙහි අනුභව නොකරන්නේද, නොනසාවූ මරණ ඇත්තේම ක්ෂුධාවෙන් මිය යන්නේද, නමුත් වැලි තැවරුණාවූ අයහපත්වූ ආහාරය වළඳන්නේද, කුලපුත්‍ර ස්වභාව ඇත්තාවූ සත්පුරුෂතෙම මෙබඳු ආහාරය නොවළඳන්නේය.

“මහරජ, ඔබ යම් බල්ලා විසින් ඉඳුල් කළ ආහාරයක් වළඳන්නෙහිද, ඒ මේ වැළඳීම යහපත් නොවේ. ඒ මේ වැළඳීම ශෝභන නොවේයයි” බිසව කීයේය.

“එම්බා සීවලී දේවිය, ගිහිවූවහු විසින්ද ශුනකයෙකු විසින්ද හැර දමනලද යමක් වේනම්, ඒ පිණ්ඩපාතය තෙම මා විසින් නොකෑයුතු නොවේ. මේ ලෝකයෙහි දැහැමින් ලද්දාවූ යම්කිසි භෝග කෙනෙක් වෙත්නම්, ඒ සියල්ල අනුභව කටයුතුය. නිරවද්‍යයයි කියන ලද්දේයයි” රජතෙම කීයේය.

“නිතර මම ලඟ සයනය කරන්නාවූ සැරසෙන ස්වභාව ඇත්තාවූ එම්බල දැරිය කුමක්හෙයින් තීගේ එක් අතක් ශබ්ද කෙරේද එක් අතක් ශබ්ද නොකෙරේදැයි රජතෙම ලදැරියකගෙන් ඇසීය.

“ශ්‍රමණයන් වහන්ස, මාගේ මේ අතෙහි වළලු දෙකක් දමන ලද්දාහ. එකට හැපීමෙන් ශබ්දය හටගනියි. දෙවැන්නක් ඇත්තහුගේම මේ ස්වභා ගතිය වේ.

“ශ්‍රමණයන් වහන්ස, මාගේ මේ අතෙහි එක් වළල්ලක් දමනලදී. දෙවැන්නක් නැති හෙතෙම ශබ්ද නොකරයි. පහවූ කෙළෙස් ඇති මුනිවරයෙකු මෙන් සිටියි.

“දෙවැන්නක් ඇත්තේ විරුද්ධවාදයට පැමිණියෙක්වේ. තනිවූයේ කවරෙකු හා විරුද්ධ වාද කරන්නේද? එහෙයින් ස්වර්ග සැපය කැමැත්තාවූ ඒ ඔබවහන්සේට එකලා බව කැමතිවේවැයි” ලදැරිය කීයේය.

“එම්බා සීවලී දේවිය, ලදැරිය විසින් කියනලද ගාථාවන් ඇසුවෙහිය. වැඩකාරියක්වූ ඕතොමෝ දෙවැන්නක් ඇත්තහුගේම මේ ස්වභාවය වේයයි මට නින්දා කෙළේය

“සොඳුර, මගීන් විසින් ගමන් කළාවූ මේ දෙමං සන්ධියෙක් වේ. ඔවුන්ගෙන් තී එක් මාර්ගයක් ගනුව නැවත අනික් මාර්ගය මම ගනිමි”

“සීවලී දේවිය, තී මාගේ ස්වාමියායයි නොකියව. මමද නැවත මාගේ භාර්‍ය්‍යාවයයි නොකියමියි” රජතෙම කීයේය.

මේ කථාවම කියන්නාහු ථූන නම් නුවරට පැමුණුනාහුය.

“එහි ඒ රජතෙම තමන්ගේ අනුභව කරණ වේලාව පැමිණි කල්හි හී වඩුවාගේ කොටුව වෙත පැමිණ සිටියේය. එහිද ඒ හී වඩුතෙම එක ඇසක් වසා එක ඇසකින් ඇදය බලන්නේය

“යහළු හී වඩුව, මෙසේ නුඹ හොඳට බලන්නෙහි දැයි, මාගේ වචනය අසව, එක ඇසක් පියා එක ඇසකින් ඇදය බළන්නෙහිය යන යමක් ඇද්ද එයයි.”

“පින්වත් ශ්‍රමණයන් වහන්ස, දෙ ඇසින් බලන කල්හි විශාලවූවක් මෙන් වැටහෙයි. අන්‍යවූ වක්වූ තැනට නොපැමිණ ඇද නැති බැව් කිරීමට සුදුසු නොවේ.

“එක ඇසක් පියාගෙණ එක ඇසකින් ඇදය බලන්නහුට අන්‍යවූ වංක ස්ථානය බලා ඇද නැති කිරීමට සුදුසුවේ.

“දෙවැන්නෙක් ඇත්තේ විවාදයට පැමිණියෙක් වන්නේය. එකලාවූයේ කවරෙකු හා විවාද කරන්නේද, ස්වර්ගයට යනු කැමැත්තාවූ ඒ ඔබවහන්සේට හුදකලාවීම රුචි වේවායි” හී වඩුතෙම අවවාද කෙළේය.

“එම්බා සීවලී දේවිය, හී වඩුවා විසින් කියනලද ගාථාවන් ඇසූවෙහිද, දෙවැන්නක් ඇත්තහුගේ මේ ස්වභාව යයි හීවඩුවා මට නින්දා කෙළේය.

“සොඳුර මගීන් විසින් ගමන්කළාවූ මේ දෙමන් සන්ධිය වේ. ඔවුන්ගෙන් තී එක් මාර්ගයක් ගණුව. නැවත මම මේ අනික් වග ගනිමි. තී මාගේ ස්වාමියා යයි මට නොකියව. මමද නැවත මාගේ භාර්‍ය්‍යාවයයි නොකියමියි” රජ තෙම කීයේය.

“සීවලී දේවීනි, වෙන්කොට ගන්නාලද මේ මුදු තණ ගොබය මෙන් නැවත තී හා එක්නොව. මම තනිව වාසය කරන්නෙමි තීද තනිවම වාසය කරවයි සීවලී දේවියට අවවාද කෙළේයයි” වදාළේය.

මහාජනකජාතකං දුතියං.