ඛුද්දකනිකාය

ජාතක

(දුතියො භාගො)

22. මහානිපාතය

541. නිමි ජාතකය

“මාගේ මේ කෙශයෝ වයස් පැහැරගන්නෝ වූහ. දෙවදූතයෝ පහළවූහ. එබැවින් දැන් මට පැවිදිවීමට සුදුසු කාලය වේයයි” නිමි රජතෙම කීයේය.

යම් කලෙක්හි පණ්ඩිතවූ කුසල් කැමතිවූ නිමි රජ තෙම වීද, එකල්හි මෙබඳු දක්ෂවූ පණ්ඩිතයෝ ලොව පහළ වෙත්යයි දෙවි මිනිසුන්ට ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයක් විය.

සතුරන් දමනය කරන්නාවූ සියලු විදෙශවාසීන්ගේ රජවූ හෙතෙම දානය දුන්නේය. ඒ දානය දෙන්නාවූ ඒ රජහට මෙබඳු කල්පනාවක් පහළවිය. ‘දන්දීම හෝ සිල් රැකීම හෝ යන මොවුන්ගෙන් කවරක් නම් මහත්ඵල වේද?’ කියායි.

දෙවියන්ට නායකවූ දහසක් නුවණැස් ඇත්තාවූ ශක්‍රතෙම ඒ රජුගේ කල්පනාව දැන ශරීරාලෝකයෙන් අඳුරු දුරුකෙරෙමින් පහළවිය.

ලොමු ඩැහැගත්තාවූ ඒ නිමි රජතෙම ශක්‍රයාට මෙසේ කීයේය. “ඔබ දෙවතාවෙක් වෙහිද, ගන්ධර්වයෙක් වෙහිද, නොහොත් පූරින්දද නම් ශක්‍රයා වෙහිද, ඔබඳුවූ වර්ණයක් මා විසින් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ නොමවේයයි” කීයේය.

ඒ සක්දෙව් රජතෙම ආලෝකය දැක භයින් ලොමු ඩැහැගත්තාවූ නිමි රජහු දැන මෙසේ කීයේය. “මම ශක්‍ර දෙවෙන්ද්‍ර වෙමි. ඔබගේ සමීපයට ආයෙමි. මහරජ, යම් ප්‍රශ්නයක් අසනු කැමැත්තෙහි නම් නිර්භයව අසව.”

ඒ නිමි රජතෙමේද ඒ සක්දෙව් රජු විසින් කරණලද අවකාශ ඇත්තේ සක්දෙව් රජුට මෙසේ කීය. “මහත් බාහු ඇත්තාවූ සියලු භූතයන්ට අධිපතිවූ ශක්‍රදෙවේන්ද්‍රය, ඔබ විචාරමි. දන්දීම හෝ සිල් රැකීම හෝ යන මෙයින් කවරක් නම් මහත්ඵල වේද?”

නර ශ්‍රෙෂ්ඨයා විසින් අසන ලද ඒ සක්දෙව් රජ තෙම නිමිරජුට මෙසේ කීය. බ්‍රහ්මචර්‍ය්‍යාවගේ හෙවත් ශීලයාගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට කීයේය.

ලාමකවූ බ්‍රහ්මචරිය ශීලයෙන් රජ කුලයෙහි උපදී. මධ්‍යමවූ බ්‍රහ්මචරිය ශීලයෙන්ද දෙව් බවට පැමිණේ. උතුම්වූ බ්‍රහ්මචරිය ශීලයෙන් පිරිසිදුවේ.

“ගිහිගෙයින් නික්මුනාවූ තපස් රකින්නාවූ යම් කෙනෙක් බ්‍රහ්ම කයෙහි උපදිද්ද, යාචකයන්ට සුදුසුවූ හෙවත් දන් දෙන්නාවූ කිසිවෙකු විසිනුත් මේ බ්‍රහ්ම කායයෝ නොලැබ හැක්කාහු වෙත්යයි” කීයේය.

“මහරජ, පෙර බරණැස් නුවර දුදීප නම් රජය. සාගර නම් රජය, සේලය මුචලින්දය, භගීරශය, උසීනරය, අට්ඨකය, අස්සකය, පෘථජ්ජනය, යන,

මේ රජවරුද අන්‍යවූ ක්ෂත්‍රිය රජවරුද බොහෝවූ බ්‍රාහ්මණයෝද නොයෙක් ආකාරයෙන් දන්දීම කොට ඔව්හු කාමාවචර භූමියයි කියන ලද මේ ප්‍රේත ලෝකය නොයික්මවූවාහුයයි” කීයේය.

“යම් කෙනෙක් ඒකාන්තයෙන් දෙවැන්නක් නැත්තාහු එකලාවූවාහු සිත් නොඅලවත්ද, යම්කෙනෙක් විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිය නොලබද්ද, කිසිසේත් ඔව්හු ඉන්ද්‍රයාට හා සමාන සම්පත් ඇත්තාහු වෙද්ද, අනුන් අයත් සැප ඇත්තාවූ ඔව්හු ඒකාන්තයෙන් බැගෑපත්වූවාහු යයි” කියනු ලැබෙත්.

“යාමහනුය, සෝම යාගය, මනොජවය, සමුද්දය මාඝය, භරතය, ඉසිකාලිකරක්ඛිය යන මේ ඍෂීහු සත්දෙනද අංගීරශය, කාශ්‍යපය කිසවච්ඡය අකිත්තිය යන ගිහිගෙන් නික්මුනාවූ තපස් ඇත්තාවූ මේ ඍෂීහු ඒකාන්තයෙන් කාම ලෝකය ඉක්මවූවායයි” කීයේය.

“හිමවත් උතුරු දිශාවෙහි ගැඹුරුවූ ඉක්මවිය නොහැක්කාවූ සීදා නම් ගංගාවක් විය. එහි උභය පාර්ශවයෙහි රුවන් පර්වතයෝ හැමකල්හි ඇවිලෙන ගිනිමෙන් බබළත්

“ඒ ගංගාකච්ඡයෝ අතිශයින් වැඩුනාවූ තුවරලාවලින් යුක්තවූහ. පර්වතයෝ වැඩුනාවූ මල් පල දරන්නාවූ ගස් වලින් යුක්තවූහ. ඒ සිත්කළු ප්‍රදෙශයෙහි පෙර එක් කලෙක දශ දහසක් පමණ පුරාණ ඍෂීහු වාසය කළහ.

“එකල්හි මම දානයෙන් ශ්‍රෙෂ්ඨවූයෙමි. ශීලයෙන්ද ඉන්ද්‍රිය දමනයෙන්ද නිරුත්තරවූ ව්‍රත සමාදානයෙහි හැසිර එකීභාවයට ගියාවූ එකඟවූ සිත් ඇති ඍෂීන්ට උපස්ථාන කෙළෙමි.

“ජාති සම්පන්නවූද ජාතිසම්පන්න නොවූද එක මිනිසෙකුදු නොසලකා මම ඍජුභාවයට ගියාවූ ඒ තපස්වී සමූහයා නිරන්තරයෙන්ම නමස්කාර කරන්නෙමි. කුමක් හෙයින්ද? මනුෂ්‍යයෝ වනාහි කර්මය නෑයන්කොට ඇත්තාහ.

“සියලු වර්ණයෝ අධර්මයෙහි සිටියාහු යටදිසාවෙහිවූ නරකයෙහි වැටෙත්. සියලු වර්ණයෝ උතුම්වූ ධර්මයෙහි හැසිර නිරුද්ධ වෙත්යයි” කීයේය.

සුජම්පති නම් ශක්‍රදෙවෙන්ද්‍රතෙම මෙය කියා වෙදෙහ රජුට අනුශාසනා කොට දෙව්ලොවට ගියේය.

“පින්වත්නි, මෙහි රැස්වූ සියල්ලෝම මේ මා කියන්නාවූ යහපත් ස්වභාව ඇති මිනිසුන්ගේ උස්පහත්වූ බොහෝවූ ගුණ වර්ණනාව අසව්.

“කුසල් කැමැත්තාවූ මේ නිමි රජතෙම ඉතාම පණ්ඩිතවේ. සතුරන් දමනය කරන්නාවූ සියලු විදෙහ වාසීන්ගේ රජවූ හෙතෙම දානය දුන්නේය.

“ඒ දානය දෙන්නාවූ ඒ නිමි රජහට මෙබඳු කල්පනාවක් පහළවිය. දන්දීමද බ්‍රහ්මචර්‍ය්‍යාව හෙවත් සිල් රැකීමද යන මෙයින් කවරක් නම් මහත්ඵල වේද යනුයි ශක්‍රතෙම කීයේය.”

“ලෝකයෙහි ඒකාන්තයෙන් ලොමුඩැහැගන්නාවූ පෙරනුවූවක් පහළවිය. එනම් යශපරිවාර ඇත්තාවූ අපගේ වේදේහ රජහට දිව්‍යරථයක් පහළවූයේයයි” මහජන තෙමේ කීයේය.

“දිව්‍ය රථාචාර්‍ය්‍යවූ මහත් ඍද්ධි ඇත්තාවූ මාතලී නම් දිව්‍යපුත්‍රතෙම මියුළු නුවර වාස භවන කොට ඇති වෙදෙහ රජුට මෙසේ පැවරීය.

“දිශාවන්ට අධිපතිවූ රාජොත්තමය, මේ රථයට නැග එනු මැනව. ශක්‍රයා සහිතවූ ඒ තව්තිසා වැසි දෙවියෝ ඔබ දකිනු කැමැත්තාහු වෙත්. ඔබ සිහිකරන්නාහුම ඒ දෙවියෝ සුධර්මා නම් සභාවෙහි රැස්ව හිඳිත්යයි” මාතලී දිව්‍යපුත්‍ර තෙම කීයේය.

ඉක්බිති මියුළු නුවර වාසභවනකොට ඇති වේදේහ රජ තෙමේද ඉක්මන්ව හුනස්නෙන් නැගිට අභිමුඛව දිව්‍ය රථයට නැංගේය.

දිව්‍යරථයට නැංගාවූ නිමි රජුට මාතලී දිව්‍යපුත්‍ර තෙම මේ කීයේය ‘දිශාවන්ට අධිපතිවූ මහරජ යම් මගකින් හෝ ගොස් පාපකර්ම කළවුන් දැක්කහැකිවෙද්ද, යම් මගකින් හෝ පිංකම් කළාවූ යම් මනුෂ්‍ය කෙනෙක් වෙත්නම් ඔවුන් දැක්කහැකිවෙද්ද, මෙයින් කවර මගකින් ඔබ ගෙණයම්දැයි” මාතලී දිව්‍යපුත්‍ර තෙම ඇසීය.

“එම්බා මාතලී නම් දිව්‍ය රථාචාර්‍ය්‍යය, යම් මගකින් හෝ ගොස් පාපකර්ම කළවුන් දැක්කහැකිවෙද්ද, යම් මගකින් හෝ ගොස් පිංකම් කළාවූ යම් මනුෂ්‍ය කෙනෙක් වෙත් නම් ඔවුන් දැක්කහැකිවෙද්ද, ඒ මාර්ග දෙකින්ම මා ගෙණයවයි” නිමි රජතෙම කීයේය.

“දිශාවන්ට අධිපතිවූ මහරජ, යම් මගකින් හෝ ගොස් පාපකර්ම කළවුන් දැක්කහැකිවෙද්ද, යම් මගකින් හෝ පිංකම් කළාවූ යම් මනුෂ්‍ය කෙනෙක් වෙත්නම් ඔවුන් දැක්ක හැකිවෙද්ද, මෙයින් කවර මගකින් ඔබ පළමුකොට ගෙණ යම්දැයි” මාතලීතෙම ඇසීය.

“රෞද්‍ර කර්ම ඇත්තවුන්ගේ යම් ස්ථාන වෙද්ද, දුශ්ශීල වූවන්ගේද යම් නිෂ්පත්තියක් වේද, පාපකර්ම ඇත්තවුන්ට වාසස්ථානවූ එබඳු නරකයන් පළමු කොට දකිමියි” නිමි රජතෙම කීයේය.

“මාතලී දිව්‍යපුත්‍රතෙම නිමිරජහට කැකෑරෙන්නාවූ ලෝදිය ඇත්තාවූ, රත්වූ ගිනිසිළු බඳු යානොහැකි වේතරණි නම් නදිය දැක්වූයේය.

නිමි රජතෙම ඒකාන්තයෙන් ඉතා දුර්ගමවූ නරකයෙහි වැටෙන්නාවූ ජනයා දැක මාතලී දිව්‍යපුත්‍රයාට මෙසේ කීයේය. “රථාචාර්‍ය්‍යය මෙය දැක මට වනාහි භය උපදී. මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍යය, ඔබ විචාරමි යම් මේ ජනයෝ වේතරණියට වැටෙද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහු දැයි” ඇසීය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මනුෂ්‍යලෝකයෙහි ඉතා ලාමක ස්වභාව ඇත්තාවූ බලවත්වූ යම් කෙනෙක් දුර්වලවූවන්ට පීඩා කෙරෙද්ද, නොයෙක් ආකාරයෙන් ආක්‍රොෂ කෙරෙද්ද, රෞද්‍රවූ කර්ම ඇති ඔව්හු පව් රැස්කොට නිරන්තරයෙන් ඒකාන්තයෙන් ඒ ජනයෝ වේතරණීනම් නරකයෙහි වැටෙන්නේයයි” මාතලී තෙම කීයේය.

රක්තවර්ණවූ ශුනකයෝද, කබරවර්ණවූ ශුනකයෝද, ගිජුලිහිණියෝද, බිහිසුනුවූ වනකව්ඩෝද දුටුදුටුවන් කත්. “රථාචාර්‍ය්‍යය, මේ දැක මට වනාහි භය උපදියි. එම්බා මාතලී දේව සාරථිය, ඔබ විචාරමියි යම් මේ ජනයා වනකව්ඩෝ කද්ද, මේ සත්වයෝ කුමන පාපයක් කළාහුදැයි” ඈසීය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මසුරු බැවින් අනුන්ට නොදෙන්නාවූ අනුන්ට දෙනලද්ද වළක්වන හෙයින් තද මසුරුවූ ඉතා ලාමක ස්වභා ඇත්තාවූ මේ යම්කිසි කෙනෙක් මහණ බමුණන්ට නින්දා කරන්නාහු හිංසා කෙරෙද්ද, ආක්‍රොෂ කෙරෙද්ද, රෞද්‍ර කර්මාන්ත ඇත්තාවූ ඔව්හු පව් රැස්කොට නිරයට යෙත්. වන කව්ඩෝ ඒ මේ ජනයා අනුභව කරත්යයි” මාතලීතෙම කීයේය.

ගිනිදැල් සහිතවූවාහු පෘථිවිය ආක්‍රමණය කරත්. රත්වූ යමුගුරුවලින්ද තලනුලබත් “සාරථිය මට වනාහි මෙය දැක භය උපදියි. එම්බා මාතලී නම් දේවසාරථිය ඔබ විචාරමි. යම් මේ ජනයෝ යමුගුරුවලින් පෙළන ලද්දාහු සයනය කෙරෙද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මනුෂ්‍ය ලෝකයෙහි ඉතා ලාමක ස්වභාව ඇත්තාවූ යමක්හු නිරපරාධවූ පුරුෂයෙකුටද ස්ත්‍රියකටද තුමූ ලාමක ස්වභාවයෙන් යුක්තව හිංසා කෙරෙද්ද, ආක්‍රෝෂ කෙරෙද්ද, රෞද්‍ර කර්ම ඇත්තාවූ ඔව්හු පව් රැස්කොට නිරයට යෙත්. ඒ මේ ජනයෝය. මුගුරුවලින් පෙළන ලද්දාහු සයනය කෙරෙත්යයි” කීයේය.

“සමහරු ගිනි අඟුරුවලට වැටෙත්. ඔවුන්ගේ ඇඟෙහි ගිනි අඟුරු දමත්. හාත්පසින් දැව්නාවූ ශරීර ඇති හඬන්නාවූ සත්වයෝ සැලෙත්. “සාරථිය, මේ දැක මට වනාහි භය උපදියි. එම්බා මාතලී දේවසාරථිය, ඔබ විචාරමි. යම් මේ ජනයෝ අඟුරුවලින් ශරීරයෙහි විසුරුවද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසුයේය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“යම්කිසි කෙනෙක් සමූහයා සතු ධනය හේතුකොට ගෙණ බොරු සාක්ෂි ඉදිරිපත් කොට භය නැති කෙරෙද්ද, මහරජ, ඔව්හු ජනසමූහයාට මෙසේ ණය නැතිකොට රෞද්‍ර කර්ම ඇත්තාහු පව් රැස්කොට නිරයට යෙත්. ඒ මේ ජනයෝ අඟුරුවලට වැටී කම්පාවෙත්යයි” කීයේය.

ගිනිදැල් සහිතවූ දිලියෙන්නාවූ ඇවිලගත්තාවූ මහත්වූ ලෝසැල දක්නාලැබේ. සාරථීය මෙය දැකුමට වනාහි භය උපදියි. එම්බා මාතලී නම් දේවසාරථිය, ඔබ විචාරමි යම් මේ ජනයෝ යටිකුරුවූ හිස් ඇත්තාහු ලෝ සැලට වැටෙද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” නිමිරජ තෙම ඇසීය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මේ ලෝකයෙහි ඉතා ලාමක ස්වභාව ඇත්තාවූ යම් කෙනෙක් සිල්වත්වූ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ හිංසා කරද්ද, ආක්‍රෝශ කරත්ද, රෞද්‍ර කර්ම ඇත්තාවූ ඔව්හු පව් රැස්කොට නරකයට යෙත්. ඒ මේ ජනයෝ යටිකුරු හිස් ඇත්තාහු ලෝකුඹු නිරයට වැටෙත්යයි” කීයේය.

තවද දිලියෙන යොත්වලින් ග්‍රීවය වෙලා උණු ලෝදියෙහි බහා ග්‍රීවය සිඳිත් “සාරථිය, මේ දැක මට වනාහි භය උපදියි. එම්බා මාතලි නම් දේව සාරථිය, ඔබ විචාරමි. යම් මේ ජනයෝ සිඳිනලද හිස් ඇත්තාහු සයනය කෙරෙද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කාළහුදැයි” ඇසීය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මේ සත්ව ලෝකයෙහි ඉතා ලාමක ස්වභාව ඇත්තාවූ යම් කෙනෙක් පක්ෂීන් අල්වාගෙණ වෙහෙසට පමුණුවද්ද, මහරජ, ඔව්හු පක්ෂි සමූහයාට හිංසාකොට පව් රැස් කෙරෙත්. රෞද්‍ර කර්ම ඇත්තාවූ ඔව්හු පව් රැස්කොට නරකයට යෙත්. ඒ මේ ජනයෝ සිඳින ලද හිස් ඇත්තාහු සයනය කෙරෙත් යයි” කීයේය.

බොහෝ දිය ඇත්තාවූ නොගැඹුරු ඉවුරු ඇත්තාවූ මනා තොටුපලවල් ඇත්තාවූ මේ ගඟ ගලා බසියි. ග්‍රීෂ්මයෙන් තැවුනාවූ සත්වයෝ පැන් පානය කෙරෙත්. පානය කරන්නාවූද ඔවුන්ට පානය කරණ ජලය වී බොල් බවට පැමිණේ.

“සාරථිය, මට වනාහි මේ දැක භය උපදියි. එම්බා මාතලී නම් දේව සාරථිය, ඔබ විචාරමි. පානය කරන්නාවූද ඔවුන්ට ඒ බොන දිය වී බොල් බවට පැමිණේ. මේ සත්වයෝ කවර නම් පාපයක් කළාහුදැයි” ඇසීය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මේ ලෝකයෙහි අපිරිසිදු කර්මාන්ත ඇත්තාවූ යම් කෙනෙක් පිරිසිදුවූ ධාන්‍යය බොල් හා මිශ්‍රකොට මිලදී ගන්නහුට දෙද්ද, ග්‍රීෂ්මයෙන් තැවුනාවූ පැන් බොනු කැමැත්තාවූ පානය කරන්නාවූද ඔවුන්ගේ බොන දිය බොල් බවට පැමිණේයයි” කීයේය.

ඊවලින්ද අඩයටිවලින්ද තෝමරවලින්ද හඬන්නවුන්ගේ උභය පාර්ශවයන් විදිත්. “සාරථිය, මට වනාහි මේ දැක භය උපදියි. එම්බා මාතලී නම් දේව සාරථිය ඔබ, විචාරමියි යම් මේ ජනයෝ අඩයටිවලින් නසන ලද්දාහු සයනය කෙරෙද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මේ සත්ව ලෝකයෙහි අයහපත් කර්ම ඇත්තාවූ යම් කෙනෙක් ධාන්‍යයද ධනයද රිදීද රත්රන්ද එළු තිරෙළුවන්ද, ගවයන්ද මීවුන්ද යන නුදුන් දෙය සොරාගෙණ ජීවිකාව කෙරෙද්ද, රෞද්‍ර කර්ම ඇත්තාවූ ඔව්හු පව් රැස්කොට නරකයට යෙත්. ඒ මේ ජනයෝ අඩයටිවලින් ගසන ලද්දාහු සයනය කෙරෙත්යයි” කීයේය.

“මේ සත්වයෝ කුමකට ග්‍රීවයෙන් බඳනා ලද්දාහුද, නැවත අන් සමහරු කඩ කඩකොට කපන ලද්දාහුද, තවද සමහරු මස් ගොඩවල් කරණ ලද්දාහුද, සාරථිය, මේ දැක මට වනාහි භය උපදියි. එම්බා මාතලී නම් දේවසාරථිය, ඔබ විචාරමි. යම් මේ ජනයෝ මස් ගොඩවල් කරණ ලද්දාහු සයනය කෙරෙද්ද, මේ සත්වයෝ කිනම් පාපකර්මයක් කළාහු දැයි” ඇසීය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මේ ලෝකයෙහි එළුවන් මරා ජීවත්වන්නාහුද, ඌරන් මරා ජීවත්වන්නාහුද, මසුන් මරා ජීවත්වන්නාහුද, ගවයන්ද මීවුන්ද එළු තිරෙළුවන්ද මරා මස් ලොඹුවල විකිණීමට දිගහැරතැබුවාහුද, රෞද්‍ර කර්‍ම ඇත්තාවු ඔව්හු පව් රැස්කොට නිරයට යෙත්. ඒ මේ ජනයෝ මස් ගොඩවල් කරණ ලද්දාහු සයනය කෙරෙත්යයි” කීයේය.

“මල මූත්‍රවලින් පිරුණාවූ දුර්‍ගන්ධ ස්වභාව ඇත්තාවූ මේ විල අපවිත්‍රවූ කුණුගඳ හමයි. බඩ සයින් පෙළුනාවූ සත්වයෝ එය අනුභව කරත්. සාරථීය, මේ දැක මට වනාහි භය උපදියි. එම්බා මාතලී දේව සාරථිය, ඔබ විචාරමි. යම් මේ ජනයෝ මලමූත්‍ර අනුභව කරන්නාහුද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“කටයුතු කරවන්නාවූ මේ ලෝකයෙහි යම්කිසි කෙනෙක් යහළු මිත්‍රයන්ට පවා වෙහෙසන්නාහු අනුන්ට හිංසා පිණිස හැමකල්හී යුක්තවූවාහුද, රෞද්‍ර කර්‍ම ඇත්තාවූ අඥානවූ මිත්‍ර ද්‍රෝහිවූ ඔවුහු පව් රැස්කොට නිරයට පැමිණ අශූචි අනුභව කෙරෙත්යයි” කීයේය.

ලේ සැරව වලින් පිරුණාවූ දුර්‍ගන්ධ ස්වභාව ඇත්තාවූ මේ විල අපවිත්‍රවූ කුණුගඳ හමයි. ග්‍රීෂ්මයෙන් තැවුනාවූ සත්වයෝ එය පානය කෙරෙත්. සාරථිය, මෙය දැක මට වනාහි භය උපදියි. එම්බා මාතලී නම් දෙවසාරථිය, ඔබ විචාරමි. යම් මේ ජනයෝ ලේ සැරව ආහාරකොට ඇත්තාහුද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මේ සත්ව ලෝකයෙහි ගිහි බැව්හිම පාරාජිකාවට පැමිණියාවූ යම්කෙනෙක් මව හෝ පියා හෝ රහතන් හෝ නසද්ද, රෞද්‍ර කර්මය ඇත්තාවූ ඔව්හු පව්රැස්කොට නිරයට යෙත්. ඒ මේ ජනයෝ ලේ සැරව අනුභව කරන්නාහු වෙත්යයි” කීයේය.

“හුල් සියයකින් ගසනලද සමක් මෙන් බිලියෙන් විදිනලද දිවද බළව, කුමක් හෙයින් මේ සත්වයෝ ගොඩ දමනලද මසුන් මෙන් සැලෙත්ද හඬමින් කෙළ මුදද්ද?”

“සාරථිය, මෙය දැක මට වනාහි භය උපදියි. එම්බා මාතලී නම් දෙවසාරථිය, ඔබ විචාරමි යම් මේ ජනයෝ ගිලිනලද බිලිය ඇත්තාහු සයනය කෙරෙද්ද මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“බඩුමිල නියම කරණ තන්හි සිටියාවූ යම්කිසි මනුෂ්‍ය කෙනෙක් අගය කිරීමෙන් ඒ ඒ දෙය අගයකොට වෙළඳුන්ගේ ලාභය පිරිහෙළද්ද, වස්තු ආශාව හෙතුකොට ගෙණ හොරකිරීම් ආදී කූටකර්මයෙන් ඇමකින් සැඟවූ බිලිය ගෙණ මත්ස්‍යයෙකු මැරීමට ලංවෙන්නාක් මෙන් කූට ප්‍රයෝග කෙරෙද්ද,

“ස්වකීය කර්මවලින් පෙරටුකරණලද එබඳු කූට ප්‍රයෝග කරන්නාහට ආරක්ෂාස්ථාන නම් නොවෙත්. ඒ රෞද්‍ර කර්ම ඇත්තාහු පව්රැස්කොට නිරයට යෙත්. ඒ මේ ජනයෝ ගිලිනලද බිලි ඇත්තාහු සයනය කෙරෙත්යයි” කීයේය.

“අතිශයින් හාත්පස බිඳුනු ශරීර ඇත්තාවූ පිළිකුල්වූ මේ ස්ත්‍රීහු හිස අත් බැඳගෙණ හඬත්. ලේ සැරව වලින් ගැවැසීගත්තාවූ වදභූමියෙහි ගෙරින් මෙන් කපන ලද්දාහුවෙත්. ඔව්හු යකඩ පොළොවෙහි හැමකල්හි ගැළුනාහු ගිනිදැල් සහිතවූවාහු කඳන් ඉක්මවා පවතිත්.

“සාරථිය, මේ දැක මට භය උපදියි. එම්බා මාතලි නම් දෙවසාරථිය, ඔබ විචාරමි. යකඩ පොළොවෙහි හැම කල්හි ඉඟ දක්වා ගැළුනාවූ ගිනිදැල් සහිතවූ යම් ස්ත්‍රීහු කඳන් ඉක්ම පවතිද්ද, මේ ස්ත්‍රීහු කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මේ මනුෂ්‍ය ලෝකයෙහි අපිරිසිදු කර්ම ඇත්තාවූ යම් කුලධීතෘහු අයහපත්ව හැසුරුනාහුද, උඩඟු ස්වභාව ඇත්තාවූ, ඒ ස්ත්‍රීහු කාමරතියද ක්‍රීඩාවද හේතුකොටගෙණ ස්වකීය ස්වාමියා හැර අන්පුරුෂයෙකු වෙත ගියාහුද, ඒ ස්ත්‍රීහු මේ මනුෂ්‍ය ලෝකයෙහි පරපුරුෂයන් සමග සිත් අලවා වාසයකොට නිරයට පැමිණ ගිනිදැල් සහිතවූවාහු කඳන් ඉක්ම පවතිත්යයි” කීයේය.

“මේ සත්වයෝ කුමකට පා අල්වාගෙණ නැවත සමහරු යටිකුරු හිස් ඇත්තාහු නරකයෙහි හෙලනු ලබද්ද සාරථිය මෙය දැක මට භය උපදියි. එම්බා මාතලීනම් දෙව සාරථීය, ඔබ විචාරමි. යම් මේ ජනයෝ යටිකුරුවූ හිස් ඇත්තාහු නරකයෙහි හෙලනුලබද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මේ මනුෂ්‍ය ලෝකයෙහි අයහපත් කර්ම ඇත්තාවූ යම් කෙනෙක් පරදාරාවන් ඉක්මවද්ද, එබඳු උතුම් බඩු සොරකම් කළාවූ ඔව්හු නිරයට ගොස් ඒ මේ ජනයෝ යටිකුරු හිස් ඇත්තාහු නරකයෙහි හෙළනු ලබත්.

“ඔව්හු බොහෝ වර්ෂ සමූහයන් ඒ නරකයෙහි දුක් වේදනාව විඳිත්. ස්වකීය කර්මයන්ගෙන් ඉදිරිපත් කරණ ලද්දාවූ පව්කරණ ස්වභාව ඇත්තහුට, ආරක්ෂස්ථාන නම් නොවෙත්. රෞද්‍ර කර්ම ඇත්තාවූ ඔව්හු පව්රැස්කොට නිරයට යෙත්. ඒ මේ ජනයෝ යටිකුරුහිස් ඇත්තාහු නරකයෙහි හෙලනු ලබත්යයි” කීයේය.

“ඉතා දරුණු ස්වභාව ඇත්තාවූ අනෙකප්‍රකාරවූ මේ කුඩා මහත් කම්කටුළු නිරයන්හි දක්නා ලැබෙත්. සාරථිය මෙය දැක මට භය උපදියි එම්බා මාතලීනම් දෙවසාරථිය, ඔබ විචාරමි. යම් මේ ජනයෝ තියුණුවූ කර්කශවූ කටුකවූ ඉතාමහත් දුක්වේදනාවෝ විඳිනුලබද්ද, මේ සත්වයෝ කිනම් පාපයක් කළාහුදැයි” ඇසීය.

මෙසේ විචාරණ ලද්දාවූ මාතලී නම් දිව්‍යරථාචාර්‍ය්‍ය තෙම ඔහුට ප්‍රකාශකෙළේය. පාපකර්මයන්ගේ විපාක දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මේ මනුෂ්‍ය ලෝකයෙහි ඉතාලාමක දෘෂ්ටි ඇත්තාවූ යම් කෙනෙක් මුළාවෙන් විශ්වාසය පරිදි පාප කර්මයන් කෙරෙද්ද, අන්‍යයාද මිථ්‍යාදෘෂ්ටිකර්මවල සමාදන් කරවද්ද, ලාමක දෘෂ්ටි ඇත්තාවූ ඔව්හු පව්රැස්කොට නිරයට යෙත්. ඒ මේ ජනයෝ තියුණුවූ කර්කශවූ කටුකවූ ඉතා මහත්වූ දුක්වේදනා විඳිනු ලබත්යයි” මාතලී දෙව්පුත් තෙම කීයේය.

“මහරජ, පාපකර්ම කළාවූ සත්වයන්ගේ වාසස්ථාන දැක රෞද්‍ර කර්ම ඇත්තවුන්ගේ ස්ථානයන් ඔබ විසින් දැන ගන්නාලදහ. දුශ්ශීලවූවන්ගේද යම් නිෂ්පත්තියක්වේ නම් ඕතොමෝද, ඔබ විසින් දන්නාලදී. මහරජ, දැන් දෙව්රජහුගේ සමීපයෙහි දිව්‍ය සම්පත් දැකීමට යනු මැනවැයි” මාතලී දිව්‍ය පුත්‍රතෙම කීයේය.

“එම්බා මාතලී දිව්‍යපුත්‍රය මුදුන් පහක් ඇත්තාවූ මේ විමානයක් දක්නා ලැබේ. එහි යහන්මැද මාලාදීන් පලඳනාලද්දාවූ මහත් ආනුභාව ඇති ස්ත්‍රියක් තොමෝ නොයෙක් ආකාර දිව්‍ය ඍද්ධීන් දක්වමින් හිඳියි.

“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලීනම් දෙවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යම් ස්ත්‍රියක් තොමෝ මේ විමානයෙහි සතුටු වේද, මේ ස්ත්‍රී තොමෝ කවර යහපතක් කළාදැයි” ඇසීය.

අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“ඉදින් මනුෂ්‍ය ලෝකයෙහි බ්‍රාහ්මණයෙකුගේ ගෘහ දාසියගේ කුසෙහි උපන් බීරණී නම් දාසියක් වීයයි. ඔබ විසින් අසනලද්දීද, ඕතොමෝ සුදුසු කාලයෙහි ආගන්තුග සත්කාරය දැන දුරසිට ආ පුත්‍රයා දැක වරක් සතුටු වන්නාවූ මව් මෙන් නිරන්තරයෙන් සතුටින් උපස්ථාන කෙළේද, සිල් රැක්කාවූද ත්‍යාග ඇත්තීදවූ ඕතොමෝ මේ විමානයෙහි සතුටුවේයයි” කීයේය.

“මැව්නාවූ දිළිසෙන්නාවූ විමාන සතක් බැබළෙත්. එහි මහත් ඍද්ධි ඇත්තාවූ සියලු දිව්‍යාභරණයෙන් සැරසුනාවූ දිව්‍ය පුත්‍රයෙක් ස්ත්‍රී සමූහයා විසින් පෙරටු කරණ ලද්දේ හාත්පස අනුගමනය කරයි

“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලී නම් දෙවසාරථිය, ඔබ විචාරමි. දෙව් ලොවට පැමිණියාවූ යමෙක් මේ විමානයෙහි සතුටුවේද, මෙ සත්ව තෙමේ කිනම් යහපතක් කෙළේ දැයි” ඇසීය.

අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මෙතෙම පෙර ස්වාමිභාවයෙහි සිට දන් දෙන්නාවූ සෝන දින්න නම් ගෘහපති වූයේය. මෙතෙම භික්ෂූන් උදෙසා විහාර සතක් කරවූයේය.

“එහි වසන්නාවූ ඒ භික්ෂුන්ට සකස්කොට උපස්ථාන කෙළේය. වස්ත්‍රද ආහාරද ශයනාසනද පහන් උපකරණද ඍජුවූ ගුණ ඇති භික්ෂූන් කෙරෙහි විශෙෂයෙන් ප්‍රසන්නවූ සිතින් දුන්නේය.

“තුදුස්වක් දිනෙහිද පසළොස්වක් දිනයෙහිද පක්ෂය සම්බන්ධ අටවක් දිනයෙහිද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂයෙහිද අංග අටකින් යුත් සීලය සමාදන්ව,

“සියලු කල්හි ශිලයන්හි සංවරවූයේ පෙහෙවස්ද විසීය. සිල් රැක්කාවූද දන් දුන්නාවූද හෙතෙම මේ විමානයෙහි සතුටුවේයයි” කීයේය.

“පළිඟුවලින් මනාව නිමවන ලද්දාවූ උතුම් ස්ත්‍රී සමූහයාගෙන් ගැවසී ගත්තාවූ උත්තම කූටාගාර වලින් හෙබියාවූ ආහාරපාන වලින්ද නෘත්‍ය ගීතවලින්ද යන දෙකින් යුක්තව මේ විමානය බබළයි.

“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලි නම් දෙව සාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යම් කෙනෙක් මේ විමානයෙහි සතුටු වෙද්ද, මේ ස්ත්‍රීහු කිනම් යහපතක් කළාහුදැයි” ඇසීය.

අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

මේ මනුෂ්‍ය ලෝකයෙහි යම්කිසි ස්ත්‍රී කෙනෙක් සිල්වත් උපාසිකාවූවාහුද, දීමෙහි ඇළුනාහුද නිතර පහන් සිත් ඇතිවූවාහුද, සත්‍යයෙහි පිහිටියාවූ පෙහෙවස් රැකීමෙහි අප්‍රමාදවූවාහුද සිල් රැක්කාහුද දාන සංවිභාග ඇතිවූවාහුද ඒ ස්ත්‍රීහු මේ විමානයෙහි සතුටුවෙත්යයි” කීයේය.

වෛඩූර්‍ය්‍ය බිත්තිවලින් මනාව නිමවන ලද්දාවූ සිත්කළු භූමි ප්‍රදෙශයන්ගෙන් යුක්තවූ කොටස් වශයෙන් ප්‍රමාණකොට බෙදන ලද්දාවූ මේ විමානය බබළයි.

“පණාබෙරද මිහිඟු බෙරද නෘත්‍ය ගීතයෝද මනා කොට වාදනය කරණ ලද්දාහු ඇසීමට යෝග්‍යවූ සිත්කළුවූ දිව්‍යමය ශබ්ද නිකුත් කරත්.

“මෙසේ සිත්කළු බවට පැමිණියාවූ මෙසේ ඉතා මනොඥවූ දක්නා ලද හෝ අසනලද හෝ ශබ්දයක් පෙර කිසිකලෙකත් මම නොදකිමි.

“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලී නම් දෙවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යම් කෙනෙක් මේ විමානයෙහි සතුටු වෙද්ද, මේ සත්වයෝ කිනම් යහපතක් කළාහු දැයි” ඇසීය.

අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මේ මනුෂ්‍ය ලෝකයෙහි යම්කිසි මනුෂ්‍යකෙනෙක් සිල්වත් උපාසකවූවාහු ආරාමයන්ද පැන් පොකුණුද පැන් ශාලාවන්ද සක්මන් මලුද, සිහිල් ගුණයෙන් යුක්තවූ රහතුන්ට සකස්කොට සම්පාදනය කළාහුද

“චීවරද පිණ්ඩපාතයද ගිලන්පසද ශයනාසනද ඍජු ගුණ ඇත්තවුන් විෂයෙහි විශෙෂයෙන් ප්‍රසන්නවූ සිතින් දුන්නාහුද,

“තුදුස්වක් දිනය පසළොස්වක් දිනය පක්ෂය සම්බන්ධ අටවක් දිනය ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය යන මේ දිනයන්හි අංග අටකින් යුක්තවූ ශීලය සමාදන් වූවාහුද

හැමකල්හි ශීලයන්හි යුක්තවූවාහු පෙහෙවස් විසුවාහුද, ශීල සංයම ඇත්තාවූද දාන සංවිභාග ඇත්තාවූද ඔව්හු මේ විමානයෙහි සතුටු වෙත්යයි” කීයේය.

“පළිඟු බිත්තිවලින් මනාව නිමවන ලද්දාවූ උත්තම ස්ත්‍රී සමූහයාගෙන් ගැවසී ගත්තාවූ උතුම් කුළු ගෙවලින් හෙබියාවූ මේ විමානය බබළයි.

“ආහාර පානවලින්ද නෘත්‍ය ගීතවලින්ද යන දෙකින් යුක්තවූ මේ විමානය වටා නොයෙක් මල්ගසින් යුක්තවූ ගංගාවක්ද ගලාබසියි.

සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලීනම් දෙවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යමෙක් මේ විමානයෙහි සතුටුවේද, මේ සත්ව තෙම කිනම් යහපතක් කෙළේදැයි” ඇසීය.

අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මහරජ මෙතෙම පෙර කිම්බිලා නම් නුවර සාමි භාවයෙහි සිට දන්දෙන්නාවූ ගෘහපතියෙක් විය. හෙතෙම ආරාමයන්ද පැන් පොකුණුද පැන්හල්ද සක්මන් මළුද, සිහිල් ගුණයෙන් යුක්තවූ රහතුන්ට සකස්කොට සම්පාදනය කළාහුද

“චීවරද පිණ්ඩපාතයද ගිලන්පසද ශයනාසනද ඍජු ගුණ ඇත්තවුන් විෂයෙහි විශෙෂයෙන් ප්‍රසන්නවූ සිතින් දුන්නාහුද,

“තුදුස්වක් දිනය පසළොස්වක් දිනය පක්ෂය සම්බන්ධ අටවක් දිනය ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය යන මේ දිනයන්හි අංග අටකින් යුක්තවූ ශීලය සමාදන් වූවාහුද

හැමකල්හි ශීලයන්හි යුක්තවූවාහු පෙහෙවස් විසුවාහුද, ශීල සංයම ඇත්තාවූද දාන සංවිභාග ඇත්තාවූද ඔව්හු මේ විමානයෙහි සතුටු වෙත්යයි” කීයේය.

“පළිඟු බිත්තිවලින් මනාව නිමවනලද උතුම් ස්ත්‍රී සමූහයාගෙන් ගැවසීගත් උතුම් කුළුගෙවලින් හෙබියාවූ මේ විමානය බබළයි.

“ආහාරපානවලින්ද, නෘත්‍යගීතවලින්ද යන දෙකින් යුක්තවේ. නොයෙක් මල් ගස්වලින් යුක්තවූ ගඟක්ද හාත්පස ගළාබසියි.

“කිරිපළු නුගද, ගිවුළුද, අඹද, සල්ද, දඹද තිඹිරිද, මොරද යන නිතර පලදරන්නාවූ බොහෝ ගස් වෙත්.

“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලී නම් දෙවසාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යමෙක් මේ විමානයෙහි සතුටුවේද, මේ සත්ව තෙම කිනම් යහපතක් කෙළේදැයි” ඇසීය.

අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මහරජ, මෙතෙම පෙර මිථීලා නම් නුවර ස්වාමි භාවයෙහි සිට දන්දෙන්නාවූ ගෘහපතියෙක් විය. හෙතෙම ආරාමයන්ද, පැන්, පොකුණුද, පැන්හල්ද, සක්මන්මළුද සිහිල් ගුණයෙන් යුක්තවූ රහතුන්ට සකස්කොට සම්පාදනය කළාහුද

“චීවරද පිණ්ඩපාතයද ගිලන්පසද ශයනාසනද ඍජු ගුණ ඇත්තවුන් විෂයෙහි විශෙෂයෙන් ප්‍රසන්නවූ සිතින් දුන්නාහුද,

“තුදුස්වක් දිනය පසළොස්වක් දිනය පක්ෂය සම්බන්ධ අටවක් දිනය ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය යන මේ දිනයන්හි අංග අටකින් යුක්තවූ ශීලය සමාදන් වූවාහුද

හැමකල්හි ශීලයන්හි යුක්තවූවාහු පෙහෙවස් විසුවාහුද, ශීල සංයම ඇත්තාවූද දාන සංවිභාග ඇත්තාවූද ඔව්හු මේ විමානයෙහි සතුටු වෙත්යයි” කීයේය.

“වෛඩූර්‍ය්‍ය බිත්තිවලින් නිමවනලද කොටස් වශයෙන් ප්‍රමාණකොට බෙදනලද්දාවූ සිත්කළු බිම්කොටස් වලින් යුක්තවූ මේ විමානය බබළයි.

“මනාකොට වාදනය කරණලද්දාවූ පණාබෙරද, මිහිඟු බෙරද, නෘත්‍ය ගීතයෝද, කණට මිහිරිවූ සිත්කළුවූ දිව්‍යශබ්ද නිකුත්කෙරෙත්.

“මෙසේ සිත්කළුබවට පැමිණියාවූ මෙසේ මනොඥ වූ පෙර දක්නාලද හෝ අසනලද හෝ ශබ්දයක් කිසි කලෙකත් මම නොදනිමි.

“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලී නම් දේවසාරථිය, ඔබ විචාරමි. ස්වර්ගයට පැමිණියාවූ යමෙක් මේ විමානයෙහි සතුටුවේද, මේ සත්වතෙම කිනම් යහපතක් කෙළේදැයි” ඇසීය.

අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මහරජ, මෙතෙම පෙර බරණැස දානපතිවූ ගෘහපතියෙක් විය. හෙතෙම ආරාමයන්ද, පැන් පොකුණුද පැන්හල්ද, සක්මන් මළුද, සිහිල් ගුණයෙන් යුක්තවූ රහතුන්ට සකස්කොට සම්පාදනය කළාහුද

“චීවරද පිණ්ඩපාතයද ගිලන්පසද ශයනාසනද ඍජු ගුණ ඇත්තවුන් විෂයෙහි විශෙෂයෙන් ප්‍රසන්නවූ සිතින් දුන්නාහුද,

“තුදුස්වක් දිනය පසළොස්වක් දිනය පක්ෂය සම්බන්ධ අටවක් දිනය ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය යන මේ දිනයන්හි අංග අටකින් යුක්තවූ ශීලය සමාදන් වූවාහුද

හැමකල්හි ශීලයන්හි යුක්තවූවාහු පෙහෙවස් විසුවාහුද, ශීල සංයම ඇත්තාවූද දාන සංවිභාග ඇත්තාවූද ඔව්හු මේ විමානයෙහි සතුටු වෙත්යයි” කීයේය.

“ලේවන්වූ මහත්වූ උදාවන්නාවූ සූර්‍ය්‍යයා යම්සේ වේද, ස්වර්ණයෙන් නිමවනලද මේ විමානය එබඳුවේ.

“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලී නම් දේවසාරථිය, ඔබ විචාරමි. ස්වර්ගයට පැමිණියාවූ යමෙක් මේ විමානයෙහි සතුටු වේද මේ සත්වතෙම කිනම් යහපතක් කෙළේදැයි” ඇසීය.

අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

මහරජ, මෙතෙම පෙර සැවැත්නුවර දානපතිවූ ගෘහපතියෙක් විය. හෙතෙම ආරාමයන්ද, පැන් පොකුණුද, පැන්හල්ද, සක්මන් මළුද, සිහිල් ගුණයෙන් යුක්තවූ රහතුන්ට සකස්කොට සම්පාදනය කළාහුද

“චීවරද පිණ්ඩපාතයද ගිලන්පසද ශයනාසනද ඍජු ගුණ ඇත්තවුන් විෂයෙහි විශෙෂයෙන් ප්‍රසන්නවූ සිතින් දුන්නාහුද,

“තුදුස්වක් දිනය පසළොස්වක් දිනය පක්ෂය සම්බන්ධ අටවක් දිනය ප්‍රාතිහාර්‍ය්‍ය පක්ෂය යන මේ දිනයන්හි අංග අටකින් යුක්තවූ ශීලය සමාදන් වූවාහුද

[හැමකල්හි ශීලයන්හි යුක්තවූවාහු පෙහෙවස් විසුවාහුද, ශීල සංයම ඇත්තාවූද දාන සංවිභාග ඇත්තාවූද ඔව්හු මේ විමානයෙහි සතුටු වෙත්යයි” කීයේය. ]

“හැමකල්හි සීලයන්හි පිහිටියාවූ හෙතෙම පෙහෙවස් විසීය. සිල්රැක්කාවූද, දන් දුන්නාවූද හෙතෙම මේ විමානයෙහි සතුටුවේයයි” කීයේය.

“ස්වර්ණයෙන් නිමවනලද්දාවූ ආකාශස්ථවූ මේ බොහෝ විමානයෝ ඝණ වළාකුල් අතර විදුළිය මෙන් දිළිසෙමින් බබළත්.

“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලී නම් දේව සාරථිය, ඔබ විචාරමි. දෙව්ලොවට පැමිණියාවූ යම් කෙනෙක් මේ විමන්වල සතුටු වෙද්ද, මේ සත්වයෝ කිනම් යහපතක් කළාහුදැයි” ඇසීය.

අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

“මහරජ, පෙර මනාකොට ප්‍රකාශ කළාවූ කාශ්‍යප බුද්ධශාසනයෙහි යම්කෙනෙක් මනාව පිහිටියාවූ ශ්‍රද්ධාවෙන් සර්වඥ ශාසනයවූ ශාස්තෲන් වහන්සේගේ වචනය කළාහුද, මහරජ, යම් විමානයක් ඔබ දක්නෙහි නම් මේ විමාන ඒ ආර්‍ය්‍යයන්ගේ විමාන වෙත්යයි” කීයේය.

“මහරජ, ඔබවිසින් පළමුකොටම පාපකර්ම කළවුන්ගේ වාසස්ථානවූ තැන් දැනගන්නා ලදී ඉන්පසු කුශලකර්ම කළවුන්ගේ ස්ථාන ඔබවිසින් දක්නා ලදහ මහරජ, දැන් සක්දෙව් රජහුගේ සමීපයෙහි සම්පත් දැකීමට යවයි” මාතලීතෙම කීයේය.

“දහසක් අසුන් යොදනලද අසුන් විසින් උසුලනු ලබන්නාවූ දිව්‍ය යානාවට නැඟී ගමන් කරන්නාවූ නිමි මහරජතෙම සිදන්ත සාගරයෙහිවූ පර්වතයන් දුටුවේය. දැක මේ කිනම් පර්වතදැයි” සාරථිහු ආමන්ත්‍රණයකොට විචාළේය.

සුදස්සනය, කරවීකය ඊසධරය, යුගන්ධරය නෙමින්ධරය, විනතකය, අස්සකණ්ණා යන මහත් පර්වත සතක් වෙත්.

මහරජ, ඔබ යම් පර්වතයක් දක්නෙහිද, පිළිවෙළින් උස්ව නැංගාවූ සතරවරම් මහරජ දරුවන්ට වාසස්ථානවූ මේ පර්වතයෝ සීදන්ත සමුද්‍රයෙහිවූ පර්වත වෙත් යයි” කීයේය.

“නොයෙක් රූප ඇත්තාවූ මනොඥවූ නොයෙක් රුවණින් විසිතුරුවූ ව්‍යාඝ්‍රයන් විසින් මනාව රක්නා ලද්දක් මෙන් ඉන්ද්‍රයා හා සමානවුවන්ගෙන් ගැවසීගන්නා ලද්දක් පෙනේ

“සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි. එම්බා මාතලීනම් දෙවසාරථිය, ඔබ විචාරමි. මේ දොරටුව කිනම් ඇත්තක්ය කියද්දැයි” ඇසීය.

අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

දෙව්රජුන්ගේ ඇතුල්වීම ඇත්තාවූ යමක් චිත්‍ර කූටයයි කියද්ද, සුදස්සන නම් පර්වතයාගේ මේ දොරටුව පෙනේ.

නොයෙක් රූපඇති මනොඥවූ නොයෙක් රුවණින්, විසිතුරුවූ ව්‍යාඝ්‍රයන් විසින් මනාව රක්නාලද වනයක් මෙන් ඉන්ද්‍රයා හා සමානවූ ප්‍රතිමාවලින් ගැවසී ගත්තාවූ මේ දෙව්නුවර දොරටුව වේ. මහරජ, මේ දොරටුවෙන් ඇතුල්වුව මැනව. රජස් රහිතවූ භූමිය අනුක්‍රමන කළ මැනවැයි” මාතලී දෙව්පුත්තෙම කීයේය.

දහසක් අසුන් යොදන ලද්දාවූ අසුන් විසින් උසුලනු ලබන්නාවූ දිව්‍යයානයට නැග ගමන් කරන්නාවූ නිමි මහරජතෙම සුධර්මා නම් දිව්‍ය සභාව දුටුවේය.

යම්සේ සරත් කාලයෙහි අහස නීලවර්ණවූයේම දක්නා ලැබේද. එබඳුවූ වෛඩූර්‍ය්‍ය බිත්තිවලින් නිමවනලද මේ විමානය දක්නා ලැබේ.

සාරථිය, මෙය දැක මට වනාහි සතුට උපදියි, එම්බා මාතලීනම් දෙවසාරථිය, ඔබ විචාරමි. මේ විමානය වනාහි කවර නමක් කියත්දැ”යි ඇසීය.

අසනලද මාතලීනම් දෙව්රියැදුරුතෙම ඔහුට ප්‍රකාශ කෙළේය. පුණ්‍යකර්මයන්ගේ විපාකය දන්නාවූ හෙතෙම නොදන්නාවූ රජුට මෙසේ කීයේය.

සුධර්මා නම් දිව්‍ය සභාවයයි යමක් කියද්ද, මෙය බැලුව මැනව, මනහර වෛඩූර්‍ය්‍යයෙන් කරණ ලද විසිතුරුවූ මනාව නිමවනලද මේ සභා තොමෝ දක්නා ලැබේ

අටැස් ඇත්තාවූ මනාව කරණ ලද්දාවූ සියල්ල වෛඩූර්‍ය්‍යමය ස්තම්භයෝ මෙය දරණු ලබත්. යම් සභාවෙක්හි ශක්‍රයා ප්‍රධාන කොට ඇති සියලු තව්තිසා වැසි දෙවියෝ

දෙවිමිනිසුන්ගේ අභිවෘද්ධිය සිතමින් එක්ව හිඳිද්ද මහරජ, මේ මාර්ගයෙන් දෙවියන්ගේ සතුට ඇත්තාවූ එතනට ඇතුල්වුව මැනවයි” මාතලීතෙම කීයේය.

එහි පැමිණියාවූ ඒ රජහු දැක දෙවියෝ පිළිගෙණ සතුටුවූහ. “මහරජ ඔබගේ, යහපත් පැමිණීමකි. තවද ඔබගේ අයහපත් පැමිණීමක් නොවේ.

“මහරජ, දැන් සක්දෙව් රජහුගේ සමීපයෙහි අස්නෙක හිඳගණු මැනව”

සක්දෙව්රජතෙමේද, මියුළු නුවර රාජධානිකොට ඇති වේදේහ රජු පිළිගනිමින් සතුටු වීය. සක්දෙව් රජතෙම කම්සැපවලින්ද සුදුසු අස්නකින්ද රජුට පැවරීය.

“මහරජ, දෙවියන්ගේ වාසස්ථානයට ඔබගේ පැමිණීම යහපත්වේ. සියළු කාමසම්පත්තියෙන් සමෘද්ධව වාසය කරව. තව්තිසා වැසි දෙවියන් අතර දිව්‍යමයවූ කම්සැප අනුභව කරවයි” ශක්‍රතෙම කීයේය.

“අනුන් වෙතින් දීම හේතුකොටගෙණ යම් සම්පත්තියක් ලබාද, මේ සම්පත්තියද අනුන්ගෙන් ඉල්වා ගන්නාලද යානාවක් යම්සේද අනුන්ගෙන් ඉල්වා ගන්නාලද ධනයක් යම්සේද මෙසේ දතයුතුයි.

“යම් සම්පත්තියක් අනුන් වෙතින් දීම හේතුකොට ගෙණ ලැබේද මෙය මම නොකැමැත්තෙමි. තෙමේ කරණ ලද්දාවූ යම් පිංකම් වෙද්ද, එය මාගේ අනුන් හා අසාධාරණවූ ධනයවේ.

“ඒ මම ගොස් මිනිසුන් අතර යම් පින්කම් කොට සුවපත්වේද පසුතැවිලි නොවේද, දානයෙන්ද තුන් දොරින් සමව හැසිරීමෙන්ද සිල්රැකීමෙන්ද, ඉන්ද්‍රිය දමනයෙන්ද එබඳුවූ බොහෝ කුසල් කරන්නෙමියි’ නිමි රජතෙම මෙසේ ධර්මදෙශනා කෙළේය.

“යමෙක් මට කුශල කර්මයන් කළවුන් වසන තැන් හා පාපකර්මය කළවුන් වසන තැන් දැක්වූයේද, ඒ මේ පින්වත් මාතලීනම් දෙව්රියැදුරු තෙමේ අපට බොහෝ උපකාර ඇත්තේවීයයි” මාතලීදෙව්පුත්හට ප්‍රශංසා කෙළේය.

මියුළු නුවර රාජධානිකොට ඇත්තාවූ විදෙශාධිපතිවූ නිමි රජතෙම මේ (මාගේ හිසෙහි යනාදි) ගාථාව කියා මහත්වූ දානයදී සීලසංයමයට හෙවත් තපසට ගියේයයි” වදාළේය.

නිමිජාතකං චතුත්ථං.