ඛුද්දකනිකාය

ජාතක

(දුතියො භාගො)

22. මහානිපාතය

545. මහානාරද කස්සප ජාතකය

බොහෝවූ හස්ති වාහණාදිය ඇති ධන ඇත්තාවූ අප්‍රමාණ භට සෙනග ඇති විදෙහ රටවැස්සන්ගේ අංගාති නම් ක්ෂත්‍රීය රජෙක් වූයේය.

ඒ රජ තෙමේද වස් සාරමස පිළිබඳ අවසාන දිනයවූ පිපි කුමුදු මල් ඇති ඉල්මස පුරපසළොස්වක් රාත්‍රියෙහි ප්‍රථම යාමය ඉක්ම නොගිය කල්හි ඇමැතියන් රැස් කරවීය.

“පණ්ඩිතවූ උගත්කම් ඇත්තාවූ පළමු සිනාසී කථාකරණ සුළුවූ දක්ෂවූ විජයද සුණාමද අලාතකද යන සේනාපතින් තිදෙනෙක් වූහ.

ඒ වේදෙහ රජතෙම, “අද වස් සාරමස පිළිබඳ අවසාන දිනයවූ පිපි කුමුදුමල් ඇති පසළොස්වක් දිනයවේ. උදාවූ චන්ද්‍රයාද ඇත්තේය. අන්ධකාරයද දුරුව ගියේය. අද අපි මෙබඳුවූ රාත්‍රි කාලය කවරනම් ඇල්මකින් යුක්තව වාසය කරමුදැයි තමන්ගේ කැමැත්ත වෙන් වෙන් වශයෙන් කියව්යයි” ඒ ඇමතියන් විචාළේය.

ඉක්බිති ඒ රජුගේ අලාත නම් සෙනෙවිතෙම මේ කීයේය. සතුට ඇත්තාවූ වාහණද භට පිරිසද යන සියලු සෙනග රැස්කරමු.

“දේවයන්වහන්ස, අප්‍රමාණ බලසෙනග ඇති අපි යුද්ධයට පිටත්ව යමු. යම් ඒ සතුරු කෙනෙක් වසඟයට නොපැමිණෙත් නම් ඔවුන් වසඟයට පමුණුවන්නෙමු. අප විසින් නොදිනනලද යමෙක් ඇත්නම් ඔහු දිනන්නෙමු මේ මාගේ අදහස වේයයි” කීයේය.

අලාත නම් සෙනෙවියාගේ කීම අසා සුනාම නම් සෙනෙවිතෙම මෙය කීයේය. “මහරජ, ඔබගේ සියලු පස මිතුරෝ වසඟවූහ.

“බහා තබනලද ශස්ත්‍ර ඇති සතුරෝ අවිරුද්ධව පවතිත්. අද උතුම්වූ උත්සව දිනයක්වේ. එහෙයින් මට යුද්ධය රුචි නොවේ.

“ආහාරද, පානවර්ගද, කෑයුතුදෑද ඔබවහන්සේට වහා එළවත්වා. මහාව වාදනය කරණලද නෘත්‍ය ගීතයන්ද එළවත්වා. දේවයන්වහන්ස, නුඹවහන්සේ පස්කම් සැපවලින් සිත් අලවනු මැනවයි” කීයේය.

සුනාම නම් සෙනෙවියාගේ මේ කීම අසා විජය නම් සෙනෙවිතෙම මේ කීයේය. “මහරජ, සියලු කාම සම්පත්තීහු ඔබවහන්සේට නිතර එළඹ සිටියාහුය.

“දේවයන් වහන්ස, කම්සැපවලින් සතුටු වීමය යන මොව්හු නුඹවහන්සේට දුර්ලභ නොවෙත්. හැමකල්හිම කම් සැප ලැබෙත්. එබැවින් මෙය මාගේ සිතට අභිමත නොවේ.

“අද අර්ථය හා ධර්මය දන්නාවූ යම් ඍෂීවරයෙක් අපගේ සැකය දුරුකරන්නේද, එබඳු බහුශ්‍රැතවූ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වෙත එළඹෙන්නෙමුයි” කීයේය.

විජය නම් සෙනෙවිහුගේ කීම අසා අංගාති රජ තෙම මෙසේ කීයේය. ‘විජයතෙම යම්සේ කීයේද මටත් මෙයම රුචිවේ.

“අර්ථයන් හා ධර්මයන් දන්නාවූ යම් ඍෂිවරයෙක් අද අපගේ සැකය දුරුකරන්නේද, එබඳු බහුශ්‍රැතවූ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෙත එළඹෙමුයි’ කීයේය.

“අර්ථයන් හා ධර්මයන් දන්නාවූ කවර නම් ඍෂිවරයෙක් අද අපගේ සැකය දුරුකරන්නේද? අපි කවරනම් පණ්ඩිතයෙකු කරා එළඹෙමුදැයි මෙහි ඉන්නාවූ තෙපි සියලු දෙනාම කල්පනා කරව්.”

වෙදේහ නම් රජුගේ වචනය අසා අලාත නම් සෙනෙවිතෙම මෙය කීයේය. “මෘගදායනම් උයනෙහි පණ්ඩිත යයි සම්මතවූ මේ අචේලකයෙක් ඇත්තේය.

“කාශ්‍යප ගොත්‍රයෙහිවූ ගුණ නම් හෙතෙම බහුශ්‍රැතය, විසිතුරු කථා ඇත්තේය. ගණාචාර්‍ය්‍යවේ. දෙවයන් වහන්ස, ඒ ආජිවකයා ඇසුරු කරණුමැනව. හෙතෙම අපගේ සැකය දුරුකරන්නේය.”

අලාත නම් සෙනෙවිහුගේ කීම අසා රජතෙම මෘගදාය නම් උයනට යන්නෙමු. සුදුසුවූ යානාවක් මෙහි ගෙණෙවයි” රියැදුරා මෙහෙය වීය.

දළකඩමයවූ රිදියෙන් කළ වෙහෙල් පත් ඇති සුදුවූ මටසිළුටු ප්‍රාවරණ ඇති සඳරැසින් යුත් සන්ධ්‍යාවකට බඳු ශ්වෙතවර්ණවූ යානාවක් ඒ රජුට පිළියෙල කළාහුය.

ඒ රථයෙහි කුමුදුවර්ණ ඇත්තාවූ වාතයට හා සමාන ගමන් වේග ඇත්තාවූ මනාව දැමුනාවූ රන්මාලා ඇත්තාවූ සෛන්ධව අශ්වයෝ සතරදෙනෙක් යොදනලද්දාහුය.

ඡත්‍රයද ශ්වෙතවර්ණය, රථයද ශ්වෙතවර්ණය අශ්වයෝද, ශ්වෙතවර්ණය, වල්විදුනාවද ශ්වෙතවර්ණය මෙසේ ඇමැතියන් සමග යන්නාවූ වේදේහ රජතෙම සඳමෙන් බැබලුනේය.

ඉන්ද්‍රයාට බඳු කඩු දරන්නාවූ බලවත්වූ ධෛර්‍ය්‍ය සම්පන්නවූ අසුන්පිට නැංගාවූ බොහෝ මිනිස්සු ඒ රජහු අනුව ගමන්ගත්තාහුය.

වෙදෙහ නම් වූ ඒ ක්ෂත්‍රිය රජතෙම ඇමතියන් සමග මොහොතකින්ම උයනට ගොස් යානාවෙන් බැස පා ගමන් ඇත්තේ ගුණ නම් ආජිවකයා වෙතට එළඹියේය.

එකල්හි එහි රැස්වූ යම් බ්‍රාහ්මණ ගෘහපතියෝ වූවාහුද, රජතෙම ඔවුන් ඉවත් නොකෙළේය. අවකාශ නොකරණලද භූමියෙහි එකත්පස්ව හිඳගත්තේය.

ඉක්බිති ඒ රජතෙම මෘදු ස්පර්ශ ඇති විසිතුරු ඇතිරිලි ඇත්තාවූ මෘදුවූ පසතුරුණුවලින් යුක්තවූ මොලොක් වූ බිස්සෙක්හි එකත්පස්ව හිඳගත්තේය.

රජතෙම හිඳගෙණ ඉක්බිති සිහිකටයුතු කථාව කොට සතුටුවූයේය “ස්වාමීනි, කිම යැපියහැක්කේද, වාතයන්ගේ පීඩාවල් නැද්ද?

“කිම දිවිපැවැත්ම දුක්රහිතද, ආහාරයෙන් යැපීම ලැබේද, ස්වල්ප ආබාධ ඇත්තේවෙහිද, කිම චක්ෂුරාදී ඉන්ද්‍රිය නොපිරිහේද?”

ගුණ නම් ආජීවකතෙම විනයෙහි ඇළුනාවූ ඒ වේදේහ නම් රජුට සතුටුවියයුතු කථාවෙන් පිළිතුරු දුන්නේය. “මහරජතුමනි, යැපියැකිවේ. මේ සියල්ල එසේමය ඒ ආබාධ නැතිබවද ඉන්ද්‍රියයන්ගේ නොපිරිහීමද යන දෙකද, එසේමය.

“වේදේහ රජතුමනි, කිමෙක්ද, ඔබගේ පසල්දනව් වැස්සෝ බලය නොපවත්වද්ද, කිම බලවාහණ නීරෝගද කිම ඔබගේ වාහණය ඔබ උසුලාද, කිමෙක්ද ශරීරය තවන්නාවූ ව්‍යාධීහු ඔබට නැද්ද?

පිළිසඳර කථාවෙන් සතුටුකරණලද්දාවූ ධර්මය කැමතිවූ රථශ්‍රෙෂ්ඨවූ ඒ රජතෙම ඊට අනතුරුව අර්ථයද, ධර්මයද න්‍යායයද විචාළේය.

“කාශ්‍යපයන් වහන්ස, මනුෂ්‍යතෙම මව්පියන් කෙරෙහි කෙසේ ධර්මයෙන් හැසිරෙන්නේද, ගුරුවරයා කෙරෙහි කෙසේ හැසිරෙන්නේද, අඹුදරුවන් කෙරෙහි කෙසේ හැසිරෙන්නේද?

“වැඩිහිටියන් කෙරෙහි කෙසේ හැසිරෙන්නේද? මහණ බමුණන් කෙරෙහි කෙසේ හැසිරෙන්නේද, බලසෙනග කෙරෙහි කෙසේ හැසිරෙන්නේද, දනව් වැස්සන් කෙරෙහි කෙසේ හැසිරෙන්නේද?

“කෙසේ නම් ධර්මයෙහි හැසිර පරලොව සුගතියට පැමිණේද, කෙසේ නම් අධර්මයෙහි පිහිටියාවූ සමහරු යට දිශාවෙහි නරකයට වැටෙද්දැයි” විචාළේය.

“වේදේහ රජුගේ වචනය අසා කස්සප නම් අචේලක තෙම මෙය කීයේය. “මහරජ්ජුරුවෙනි. සත්‍යවූ බොරු නොවන්නාවූ කාරණය මාගෙන් අසව.

“පුරුදුකරණලද ධර්මයාගේ යහපත්වූද, අයහපත්වූද විපාකයක් නැත්තේය. දෙවයෙනි, පරලොවක් නැත්තේය. එයින් කවරෙක් නම් මෙහි ආයේවේද?

“දේවයෙනි, මුත්තනු මුත්තනියෝද නැත. එහෙයින් මව කොයින්ද, පියා කොයින්ද, ගුරුවරයෙක් නම් නැත්තේය. එහෙයින් කවරෙක් නම් නොදැමුනහු දමනය කරන්නේද?

“සත්වයෝ සමසම වූවාහු වෙත්. වැඩිහිටියන් පුදන්නාහු නැත. බලයක් හෝ වීර්‍ය්‍යයක් හෝ නැත, උට්ඨාන වීර්‍ය්‍යයක් පුරුෂ වීර්‍ය්‍යයක් කොයින්ද, නැවක් අත්හැර නොයන්නාවූ ගල්වන මෙන් සත්වයෝ නියමය අනුවමයෙත්.

“මනුෂ්‍යතෙම ලැබියයුත්ත ලබන්නේය. එහි දානයෙහි විපාකයක් කොයින්ද? දේවයෙනි, දානයෙහි විපාකයක් නැත. දෙන තැනැත්තේ වසඟ නොවූයේ වීර්‍ය්‍ය නැත්තේ දෙයි.

“අඥානයන් විසින් දානය පනවනලදී. නුවණැත්තන් විසින් එය පිළිගන්නාලදී. පණ්ඩිතයයි යන සිත් ඇත්තාවූ අඥානයෝ අවසඟවූවාහු ප්‍රාඥයන්ට දෙත්යයි” කීයේය.

“නොසිඳියහැක්කාවූ වෙනස් නොකොටහැක්කාවූ ශාස්වතවූ මේ සමූහ සතක් වෙත්. එනම් තේජසද, පෘථිවියද, ජලයද, වාතයද, සැපයද, දුකද ජීවයද යන මේ සතයි. යම් කෙනෙකුන්ගේ සිඳීමක් නැද්ද, ඒ මේ සමූහ සත වෙත්.

“නසන්නෙක් හෝ සිඳින්නෙක් හෝ කිසිවෙක් එය නසනු ලබන්නේද, එබන්දෙක් නැත. මේ සත්වැදෑරුම් වූ සමූහයන්ගේ අතරෙන්ම ආයුධ ඉක්ම පවතිත්.

“මේ යම්කිසිවෙක් අනුන්ගේ හිසක් අල්වාගෙණ මුවහත් ඇති කඩුවකින් සිඳීද. හෙතෙම ඒ සත්ව කායයන් නොසිඳියි. එහි පාප විපාකයක් කොයින්ද?

“සූ අසූ මහාකල්පයක් සැරිසරමින් මේ සියල්ලෝ පිරිසිදු වෙත්. ඒ කියනලද කාලය නොපැමිණි කල්හි සංයම ඇත්තේද පිරිසිදු නොවේ.

“බොහෝවූ යහපතෙහි හැසිරද එකී කාලය නො පැමිණිකල්හි නොමපිරිසිදු වෙත්. ඉදින් බොහෝ පව්කොට නමුත් එකී කාලය ඉක්මවනුලැබේ.

“කල්පයන් සම්බන්ධ සූ අසූවකින් පිළිවෙළින් අපගේ ශුද්ධිය වේ. සාගරයතෙම වෙරළ නොඉක්මවන්නාක් මෙන් අපිදු නියමය ඉක්මවා නොපවතිමුයි” නිගණ්ඨතෙම කීයේය.

කාශ්‍යප නම් නිගණ්ඨයාගේ කීම අසා අළාත නම් සෙනෙවිතෙම මෙය කීයේය. “පින්වතුන් වහන්සේ යම්සේ කියාද මටත් මෙයම රුචිවේ.

“මමද තමන් සැරිසැරූ පළමු ජාතිය සිහිකරමි. පෙර ජාතියෙහි මම පිංගල නම් රෞද්‍රවූ ගව ඝාතකයෙක්වීමි.

“සමෘද්ධවූ බරණැස් නුවර මා විසින් බොහෝ පව් කරණලදී. මීමෝය, ඌරෝය, එළුවෝය යන බොහෝ ප්‍රාණීහු මා විසින් නසන ලදහ.

“එයින් චුතවූ මම මේ නගරයෙහි සමෘද්ධවූ සෙනෙවි කුලයෙක්හි උපන්නෙමි. ඒ මම නරකයට නොගියෙමි. එහෙයින් පව් කිරීමෙහි විපාක නැතැයි සිතමියි” කීයේය.

ඉක්බිති මේ මියුළුනුවර දිළිඳුවූ බීජක නම් දාසයෙක් විය. පෙහෙවස් වසන්නාවූ හෙතෙම ගුණ නම් ඒ නිගණ්ඨයා සමීපයට පැමිණියේය.

කාශ්‍යපයාගේ කීම අසා අලාතගේද කීම අසා වරින්වර සුසුම්ලමින් උනුසුම්කොට හඬමින් කඳුළු වැගිරවීය.

“වේදේහ නම් රජතෙම යහළුව, කුමක්නිසා හඬන්නෙහිදැයි” ඔහුගෙන් ඇසීය. නුඹ විසින් කුමක් අසනලද්දේ හෝ දක්නාලද්දේ හෝ වේද, කවර වේදනාවකට හෝ පැමිණියෙහිද, එය මට දන්වවයි” කීයේය.

වේදේහ නම් රජුගේ වචනය අසා බීජක නම් දාස තෙම මේ කීයේය. “මහරජ්ජුරුවෙනි, මට දුක් වේදනාවක් නැත. මාගේ වචනය අසනුමැනව.

“මමද තමහට සැපවූ පළමු ජාතිය සිහිකරමි. මම පෙර ජාතියෙහි සාකේත නම් නුවර භාවසෙට්ඨි නම් ගුණයෙහි ඇළුනෙක්වීමි

“බ්‍රාහ්මණයන් හා ගෘහපතීන් විසින් සම්භාවනා කරණලද දාන සංවිභාගයෙහි ඇළුනාවූ පවිත්‍රවූ කර්මාන්ත ඇති මම තමන් කළාවූ ලාමකවූ කර්මයක්ද සිහි නොකරමි

“වේදෙහ රජ්ජුරුවෙනි, එයින් චුතවූ මම මේ මියුළු නුවර දිළිඳු ස්ත්‍රියක්වූ කුම්භ දාසියකගේ කුසෙහි ඉපදුනෙමි. උපන් තැන් සිට ඉතා දිළිඳුවූවෙක් වෙමි.

“මෙසේද දුක්පත්වූම මම සමවූ හැසිරීමෙහි පිහිටියේ වෙමි. යමෙක් මාගෙන් කැමතිවේනම් ඔහුට අනුභව කරණ බත දෙකට බෙදා කොටසක් දෙමි.

“තුදුස්වකද පසළොස්වකද හැමකල්හි මම පෙහෙවස් වසමි. සතුන්ටද හිංසා නොකරමි. සොරකමද දුරු කෙළෙමි.

“මනාව පුරුදු කරණ ලද මේ සියල්ලම ඒකාන්තයෙන් නිෂ්ඵලවේ. අලාත නම් සෙනෙවිතෙම යම්සේ කියාද එසේ මේ ශීලය නිෂ්ප්‍රයෝජනයයි හඟිමි.

“ශිල්පය නොදන්නාවූ දූ කෙළින්නෙක් මෙන් මම ඒකාන්තයෙන් පරාජය ගණිමි. ශිල්පය දැනගත්තාවූ දූ කෙළින්නෙක් යම්සේද, එමෙන් අලාත නම් සෙනෙවිතෙම දිනුම ගනියි.

“යම් දොරටුවකින් සුගතියට යන්නෙම්ද ඒ දොරටුව නොදකිමි. මහරජ, කාශ්‍යප නම් ආජීවකයාගේ තෙපුල අසා එහෙයින් හඬමියි” කීයේය.

“බීජකයාගේ කීම අසා අංගාති නම් රජතෙම මෙසේ කීයේය. යහළු බීජකය “සුගතියට දොරටුවක් නැත්තේය. එහෙයින් නියමයම බලාපොරොත්තු වෙව.

“සැපයක් හෝ ඉදින් දුකක් හෝ ලබන්නේ නම් එය කාල නියමයෙන්ම ලබන්නේය. සියල්ලන්ගේ සංසාර ශුද්ධිය වේ. ඒ කාලය නොපැමිණි කල්හි ඉක්මන් නොවෙව

“මමද පූර්වයෙහි යහපත්වූයේ බ්‍රාහ්මණයන් හා ගෘහපතීන් කෙරෙහි ව්‍යාවෘතවූයෙමි. විනිශ්චය ස්ථානයෙහිද ව්‍යවහාරය අනුශාසනා කරමින් ඒ අතරතුර කාමගුණයන්හි ඇලීමෙන් පිරිහුනේ වෙමියි” කීයේය.

“ස්වාමීනි, ඉදින් අපගේ එක්වීමක් වන්නේ නම් නැවතද දක්නෙමුයි” වේදෙහ නම් රජතෙම මෙය කියා ස්වකීය භවනයට පෙරලා ගියේය.

ඉක්බිති රාත්‍රීහුගේ ඇවෑමෙහි අංගාති රජතෙම තමහට උපස්ථාන කරණ තන්හි ඇමතියන් රැස්කරවා මේ වචනය කීයේය

“මාගේ චන්ද්‍රක නම් ප්‍රාශාදයෙහි මට හැමකල්හි කාමසම්පත් සංවිධාන කෙරෙත්වා. රහසිගතවූද ප්‍රකාශයෙහිවූද කටයුතු ඇතිවූ කල්හි කිසිකෙනෙක් මා වෙත නොඑළඹෙත්වා

“විජය නම් සෙනෙවි තෙමේද, සුනාම නම් සෙනෙවි තෙමේද, අලාත නම් සෙනෙවිතෙමේද යන ව්‍යවහාරයන්හි දක්ෂවූ මේ තුන්දෙනා විනිශ්චය ස්ථානයෙහි හිඳ ගනිත්වා”

“වේදෙහ නම් රජතෙම මෙය කියා කාම සම්පත්ම බොහෝකොට අනුභව කෙළේය. බ්‍රාහ්මණයන් හා ගෘහපතීන් කෙරෙහිවූ කිසි කටයුත්තෙහි ව්‍යාවෘත නොවූයේයි

“ඉක්බිති දහහතර වන දවසෙහි වේදෙහ නම් රජහුගේ ප්‍රිය ධීතෘවූ රුජා නම් රාජ කන්‍යාව කිරි මවට මෙසේ කීයේය.

“වහාම මා සරසව්. මාගේ යෙහෙළියෝද අලංකාර කෙරෙත්වා. සෙට දිව්‍යවූ පසළොස්වක වේ පිය රජුවෙතට යන්නෙමි.”

ඈට මල් මාලා පැමිණවූහ. මාහැඟිවූ සුවඳ සඳුන්ද මැණික්ය, සක්ය, මුතුය යන රත්නද නා නා වර්ණ වස්ත්‍රයන්ද පැමිණවූහ.

“ස්වර්ණමය පුටුවෙහි උන්නාවූ මනොඥ ශරීරවර්ණ ඇත්තාවූ ඒ රුජා නම් රාජකන්‍යාව පිරිවරාගෙණ සිටියාවූ බොහෝ ස්ත්‍රීහු අතිශයින් බැබළුෑහ.

“යෙහෙලින් මැදට ගියාවූ සියලු ආභරණයෙන් සැරසුනාවූ ඒ රුජා නම් රාජකන්‍යා තොමෝද වළාකුලකට ඇතුල්වන්නාවූ විදුලියක් මෙන් චන්ද්‍රක නම් ප්‍රාසාදයට ඇතුල්විය.

“විනයෙහි ඇළුනාවූ වේදෙහ රජු වෙතට පැමිණ වැඳ රණින් විසිතුරු කොට කරණ ලද පූටුවෙක්හි එකත්පස්ව ඉඳගත්තේය.

“වේදෙහ රජතෙම දිව්‍යප්සරාවන් සමූහයක් බඳුවූ ඒ පිරිසිද දැක යෙහෙළින් මැදට පැමිණියාවූ රුජා නම් දියණියට මේ වචනය කීයේය

“කිමෙක්ද දියණියෙනි, මා විසින් කරවා දෙන ලද ප්‍රාසාදයෙහි ඇලෙන්නෙහිද, ගෘහ වස්තුව ඇතුළතවූ පොකුණෙහි සිත් අලවන්නෙහිද, කිම අනෙක ප්‍රකාරවූ ඛාද්‍යය හැමකල්හි තිට පමුණුවත්ද?

“කිම අනෙකප්‍රකාරවූ මල් රැස්කොට ක්‍රීඩාරතියෙහි ඇළුනාවූ කුමරියෝ වරින්වර වෙන් වෙන් වශයෙන් මල් ගුලාවන් කරන්නාහුද?

“කුමකින් හෝ තිට වෙනසක් වේද, වහා එය ඔව්හු පමුණුවත්වා, අබ ආදී කුඩුවලින් පැහැපත් කරණ ලද මුහුණු ඇත්තිය, චන්ද්‍රයා හා සමාන දෙයෙහි පවා සිත් උපද වන්නෙහි නම් එයද ලබාදෙමියි” රජතෙම කීයේය

වේදෙහ නම් රජහුගේ කීම අසා රුජා නම් රාජ කන්‍යාව පිය රජුට මෙය කීයේය. “මහරජ්ජුරුවෙනි, ජනාධිපතිවූ ඔබ සමීපයෙහි මේ සියල්ල ලැබේ.

“පියාණෙනි, හෙට දිව්‍යවූ පසළොස්වක් පොහොය වේ. මට දහසක් කහවණු දෙත්වා. මම සියලු යාචකයන් කෙරෙහි දෙන ලද පරිදි දානයද දෙන්නෙමියි” කීවාය.

රුජා නම් කුමරියගේ කීම අසා අංගාති රජ මෙසේ කීයේය. “තී විසින් නිෂ්ඵල පරිදි නිරර්ථකයේ බොහෝ වස්තුව විනාශ කරණ ලදී.

“නිතර පෙහෙවස් වසමින් ආහාර පාන අනුභව නොකරන්නෙහිය. නියමය වශයෙන් මෙය නොවැළඳිය යුතුය. අනුභව නොකරන්නහුට පිනක් නම් නැතැයි” කීයේය.

බීජක තෙමේද වනාහි එකල්හි කාශ්‍යප නම් නිගණ්ඨයාගේ කීම අසා නැවත නැවත ප්‍රස්වාස කරමින් උනුසුම්ව හඬමින් කඳුළු වැගිරවීය.

“එම්බා රුජාවෙනි, යම්තාක් ජීවත්වන්නෙහි නම් ඒතාක් අනුභව කිරීම අත්නොහරුව. සොඳුරු දියණිය, පරලොවක් නැත්තේය. කුමට නිරර්ථකයේ වෙහෙසෙන්නෙහි දැයි” කීයේය.

මනොඥවූ ශරීර වර්ණ ඇති රුජා නම් රාජකන්‍යා තොමෝ වෙදෙහනම් පිය රජුගේ කීම අසා යටගිය ජාති සතක්හුගේ වශයෙන් පූර්වවූද මතු එන්නාවූ ජාති සතක්හුගේ වශයෙන් අපරවූද ස්වභාවය දනිමින් පියාට මෙය කීයේය.

“යමෙක් අඥානයන් සේවනය කරන්නේවේද, හෙතෙම අඥානයෙක්ම වේය, යනු මා විසින් පෙර අසන ලද්දක්ම විය. මෙය වනාහි මා විසින් දැන් ප්‍රත්‍යක්ෂයෙන් දක්නා ලදී.

“මුළාවූවෙක් වනාහි මුළාවූවෙකු වෙතට පැමිණ වැඩියක් මුළාවට පැමිණේ. එබැවින් අලාත නම් සෙනෙවියා විසින්ද, බීජක නම් දාසයා විසින්ද, මුලාවන්ට සුදුසු වේමයයි” කීවාය.

“දෙවයන් වහන්ස, නුඹ වහන්සේද සප්‍රාඥවෙහිය. එහෙයින් ධෛර්‍ය්‍යවන්ත වෙහිය. කාරණා කාරණා දැනීමෙහි දක්ෂවෙහිය. කෙසේනම් බාලයින් හා සමානවූ ලාමකවූ දෘෂ්ටියට පැමිණියේද?

“ඉදින් වනාහි සංසාර මාර්ගයෙන් පිරිසිදුවේනම් ගුණ නම් නිගණ්ඨයාගේ ප්‍රව්‍රජ්‍යාව නිරර්ථක වන්නීය. ඇවිලෙන්නාවූ ගින්නට පැමිණ විනාශ වන්නාවූ පලඟැටියෙකු මෙන් අතිශයින් මුලාවූයේ නග්න භාවයට පැමිණේ.

“පියාණෙනි, සංසාරයෙන් ශුද්ධිය වේයයි පළමු ඇතුළත්වූවාහු නොදැන බොහෝදෙනා කර්මය දූෂ්‍ය කෙරෙත්. මෙසේ පළමු නපුරුකොට ගන්නා ලද්දේම පරාජයවේ. මෙසේ නොදැන ගන්නාලද අර්ථ ඇත්තාහු බිලියෙන් නොමිදිය හැකි මසෙකු මෙන් නොමිදිය හැක්කාහු වෙත් යයි” කීවාය.

“මහරජ තුමනි, ඔබගේ ප්‍රයෝජනය පිණිස ඔබට උපමාවක් ගෙණහැර දක්වන්නෙමි. මේ ලෝකයෙහි ඇතැම් පණ්ඩිතයෝ උපමාවෙන්ද අර්ථය දැන ගනිත්.

“යම්සේ වෙළඳුන්ගේ නැවක අපමණවූ බඩු බර ඇත්තී. බරවූවා අධික බර හැරගෙණ සාගරයෙහි ගැලේද,

“මෙපරිද්දෙන්ම මනුෂ්‍යතෙම පාපකර්මය ටික ටික නමුත් රැස් කරමින් අධිකවූ බර හැරගෙණ නරකයෙහි ගැලේ.

“මහරජ, අලාත නම් සෙනෙවියාගේ අකුසල් බර තවම සම්පූර්ණවූයේ නොවේ. යම් කර්මයකින් හෙතෙම දුර්ගතියට යේද. හෙතෙම ඒ පාපකර්මයද රැස් කරයි.

“මහරජ, අලාත නම් සෙනෙවියාගේ පෙර ඔහු විසින් කරණ ලද පිනක්ම වේ. දෙවයන් වහන්ස, මෙතෙම යම් සුවයක් ලබානම්, ඒ කුශලකර්මයාගේ මේ විපාකයවේ.

“මොහුගේ ඒ පින පිරිහේමැයි. එසේම අකුශල කර්මයෙහි ඇළුනාවූ හෙතෙම ඍජුවූ කුශල මාර්ගය හැර දමා අයහපත්වූ අකුශල මාර්ගයෙහි දුවයි.

“යම්සේ අල්ලාගන්නාලද තරාදිය තුලා මණ්ඩලයෙහි බඩු දැමූ කල්හි පහත් වේද, බර ඉවත්කළ කල්හි තරාදිය උස්වේද?

“මෙපරිද්දෙන්ම මනුෂ්‍යතෙම පුණ්‍යකර්මය ටික ටික නමුත් රැස්කරමින් කුශල කර්මයෙහි ඇළුනාවූ බීජක නම් දාසයා මෙන් ස්වර්ගයට පැමිණේයයි” කීවාය.

“බීජක නම් දාසතෙම අද තමා කෙරෙහි යම් දුකක් දකීද, පෙර ජාතියෙහි ඔහු විසින් කරණ ලද පාප කර්මයක්වේ. හෙතෙම ඒ කර්මයාගේ විපාකය විඳියි.

“ඔහුගේ ඒ පාප කර්මය මෙහි ගෙවීයේමය. එසේම කුශල කර්මයෙහි ඇලුනෙක්වේ. එබැවින් පියාණෙනි, ඔබ මේ කාශ්‍යප නම් ආජිවකයා වෙතට පැමිණ නිරයට පමුණුවන්නාවූ අපාය මාර්ගයට නොපැමිණෙවයි” පියාට අවවාද කළාය.

“මහරජ, සත්පුරුෂයෙකු හෝ නොහොත් අසත් පුරුෂයෙකු හෝ ශීලවන්තයෙකු හෝ දුශ්ශීලයෙකු හෝ යම් යම් පුද්ගලයෙකු සේවනය කෙරේද, ඒ සේවනය කරණ තැනැත්තේ ඔහුගේම වසඟයට පැමිණේ.

“යම්බඳුවූවෙකු මිත්‍රයා කෙරේද, යම්බඳු වූවෙකු සේවනය කෙරේද, හෙතෙමේද එබන්දෙක්වේ. එක්ව වාසය කිරීම වනාහි එබඳුමැයි.

“සේවනය කරණු ලබන්නෙක් සේවනය කරණු ලබන්නාහුද, ස්පර්ශ කරණු ලද්දේ ස්පර්ශ කරන්නාවූ අනිකාද, විෂ පොවන ලද්දාවූ ඊය හියවුර මෙන් නොතැවරුහු තවරයි. තැවරීම් බිය හේතුකොටගෙණ ප්‍රාඥතෙම පවිටු යහළුවන් ඇත්තෙක් නොවන්නේමැයි.

“යම් මනුෂ්‍යයෙක් කුණු මසක් කුශතණ ආදී පත්‍රවලින් වෙලා බඳීද, කුශතණ ආදී පත්‍රද කුණුගඳ හමත්. අඥානයන් සේවනය කිරීම මෙබඳුවේ.

“යම් මිනිසෙක් පත්‍රයකින් තුවරලා වෙලා බඳීද, ඒ පත්‍රද සුවඳ හමත්. ප්‍රාඥයන් සේවනය කිරීම මෙබඳුවේ.

“එහෙයින් කොලගොටුව මෙන් තමන්ගේ නුවණ මේරීම දැන නුවණැත්තේ අසත් පුරුෂයන් සේවනය නොකරන්නේය. සත්පුරුෂයන් සේවනය කරන්නේය. අසත්පුරුෂයෝ නරකයට පමුණුවත්. සත්පුරුෂයෝ වනාහි සුගතියට පමුණුවත්ය”යි කීවාය.

“පියාණෙනි, මමද තමන් සැරිසැරූ ජාති සතක් ජාතිස්මරණ ඥානයෙන් සිහිකරමි. මෙයින් චුතවූ මම යම් ගතිවලට යන්නෙම්ද, අනාගතයෙහිවූ ඒ ජාති සතක්ද සිහි කරමි.

“ජනාධිපතිය, පෙර මාගේ යම් සත්වෙනි ජාතියක් වීද, ඒ ජාතියෙහි මම මගධ රට රජගහ නුවර කර්මාර පුත්‍රයෙක් වීමි.

“මා විසින් එහිදී පවිටු යහළුවෙකු නිසා බොහෝ පව් කරණ ලදී. අන් අඹුවන් වෙහෙසමින් නොමැරෙන්න වුන් මෙන් හැසුරුනෙමු.

“ඒ පාපකර්මය අළුවලින් වැසුනාවූ ගින්නක් මෙන් යටපත්ව තිබුණේය ඉක්බිති අන්‍යවූ කුශල කර්මවලින් වංශ නම් රටෙහි ඉපදුනිමි.

“මහරජ, සමෘද්ධවූ පිරීගියාවූ මහත් වස්තු ඇති කොසඹෑ නුවර සිටු කුලයෙහි නිතර සත්කාර පූජා කරණලද එකම පුත්‍රයා වීමි

“එහි මම උපකාරවූ කුශල කර්මයෙහි ඇළුනාවූ පණ්ඩිතවූ ශ්‍රැතවත්වූ මිත්‍රයෙකු සේවනය කෙළෙමි. ඒ යහළු තෙම මා කුශල කර්මයෙහි පිහිටුවීය

“තුදුස්වකය, පසළොස්වකය යන බොහෝවූ රාත්‍රි දවස් පෙහෙවස් විසූයෙමි. ඒ කුශල කර්මය දිය කෙළවර කොට ඇති තැනෙක්හි නිධානයක් මෙන් තැන්පත්ව සිටියේය.

“ඉක්බිති පාප කර්මයන්ගෙන් යම් මේ කර්මයක් මගධ රටෙහිදී මා විසින් කරණලදද, දුෂ්ටවූ විෂයක් අනුභව කොට මෙන් වාර වශයෙන් පසුව එහි විපාකය පැමිණියේය.

“වේදේහ නම් රජ, එයින් චුතවූ මම රෝරුව නම් නරකයෙහි බොහෝ කලක් ස්වකීය පාප කර්මයෙන් පැසුනෙමි. එය සිහි කරන්නාවූ මම සුවයක් නොලබන්නෙමි

“මහරජ, මම ඒ නරකයෙහි නොයෙක් අව්රුදු ගණන් බොහෝවූ දුක ගෙවා හෙන්නාකට නම් ජනපදයෙහි උදුරණ ලද බීජය ඇත්තාවූ එළුවෙක් වීමියි” කීවාය.

“දේවයන් වහන්ස, එහිදී මා විසින් අමාත්‍ය පුත්‍රයෝ පිටෙන්ද රථයෙන්ද උසුලන ලද්දාහ. ඒ පරදාරාවන් කරා ගියාවූ මාගේ අකුශල කර්ම විපාකයවේයයි” කීවාය.

“වේදේහ රජ්ජුරුවෙනි, එයින් චුතවූ මම මහ වනයෙහි වඳුරෙක්ව උපන්නෙමි. එහිදීද මම බුහුටිවු රැළෙහි නායක වඳුරා විසින් දතින් සිඳ දමනලද බීජ ඇත්තෙක්ම වීමි. මා පරදාරාවන් වෙත ගියාවූ ඒ අකුශල කර්මයාගේ මේ විපාකය වේයයිද” කීවාය.

“වේදේහ රජතුමනි, එයින් චුතවූ මම දසන්න නම් ජනපදයෙහි ගවයෙක්ව උපන්නෙමි. එහිද මම උදුරා දමනලද බීජ ඇත්තේ ජවයෙහි යහපත් වීමි. මා විසින් බොහෝ කලක් යානාව උසුලන ලදී. මා පරදාරාවන් වෙත ගියාවූ ඒ අකුශල කර්මයාගේ මේ විපාකයවේ

“වේදේහ රජුනි, එයින් චුතවූ මම වැදෑරට කුල ගෘහයකට උත්පත්ති වශයෙන් පැමිණියෙමි. ඉතා දුර්ලභවූ මනුෂ්‍යාත්මයෙහි උපන් මම නොම ස්ත්‍රියක්ද, නොම පුරුෂයෙක්ද හෙවත් නපුංසකයෙක් වීමි. පරදාරාවන් කරා යාමෙන්වූ මාගේ ඒ අකුශල කර්මයාගේ මේ විපාකයවේ.

“වේදේහ රජුනි, එයින් චුතවූ මම නන්දන වනයෙහි උපන්නෙමි. තව්තිසා භවනයෙහි මම කැමති වර්ණයෙන් යුක්තවූ දිව්‍යප්සරාවක් වීමි.

“එහි මම විසිතුරු වස්ත්‍රාභරණ ඇති අමුණන ලද මණි කොඬොල් ඇති නැටීමෙහි හා ගී කිමෙහි දක්ෂවූ සක් දෙව් රජහුගේ පරිචාරිකාවක් වීමි.

“වේදේහ රජුනි, එහි සිටියාවූ මම මෙයින් චුතව යම් ජාතිවලට යන්නෙම්ද, අනාගතයෙහිවූද ඒ මේ ජාති සතක්ම සිහි කරමි.

“කොසඹෑ නුවරදී මා විසින් යම් කුශලයක් කරණ ලදද, ඒ කුශලය පරියාය වශයෙන් මෙහි පැමිණියේය. එබැවින් මෙයින් චුතවූ මම දෙව්ලොවද මිනිස් ලොව හැසිරෙන්නෙමි.

“මහරජුනි, ජාති සතක් නිරන්තරයෙන් සත්කාර හා පූජා කරණ ලද්දීවෙමි. මේ ගති සයම ස්ත්‍රී භාවයෙන්ද නොමිදෙන්නෙමි.

“දේවයන් වහන්ස, සත්වෙනි ගතියද මහත් ඍද්ධි ඇත්තාවූ දිව්‍ය පුත්‍රයෙක් වෙමි. දිව්‍ය සමූහයා අතරෙහි උතුම්වූ පුරුෂ දෙවියෙක් වන්නෙමි.

“මහරජ, නන්දනොද්‍යානයෙහි අනතුරු ජාතියෙහි මාගේ ස්වාමිවූ ජව නම් යම් දිව්‍ය පුත්‍රයෙක් මල්මාලාව පිළිගනීද, එක අතට නැටි තැබීම් වශයෙන් කරණලද ඒ මල් මාලාව අදත් පරිචාරිකාවෝ ගොතත්මැයි.

“මහරජ, මේ අව්රුදු සොළොස ඒ දිව්‍යවූ මොහොතක් වැනිය. ඒ දිව්‍යවූ එක් රෑ දවාලෙක්ද මානුසික වූ වර්ෂ සියයක් වේ.

“මෙසේ කුශලාකුශල කර්මයෝ ගණන් නැති ජාතිවලද පසුපස්සේ ගමන් කෙරෙත්. යහපත්වූද නොහොත් පවිටුවූද, කර්මය විපාක නොදී නොනැසේමයයි” කීවාය.

“යමෙක් ජාති ජාතියෙහි නැවත නැවත පුරුෂයෙක් වන්ට කැමැත්තේ නම් ධෝවනය කළ පා ඇත්තෙක් මඩ මෙන් පරදාර සේවනය දුරු කරන්නේය.

“යම් ස්ත්‍රියක් ජාති ජාතියෙහි නැවත නැවත පුරුෂයෙක් වන්ට කැමති වන්නේ නම් පරිචාරිකා ස්ත්‍රීහු සක්දෙව් රජුට මෙන් ස්වාමියාට බුහුමන් කරන්නේය.

“යමෙක් දිව්‍යවූ සම්පත්ද දිව්‍යවූ ආයුෂද යසසද සැපයද කැමැතිවන්නේ නම්, හෙතෙම පාප කර්මයන් දුරු කොට ත්‍රිවිධවූ කුශල ධර්මයෙහි හැසිරෙන්නේය.

“යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තමහට වැඩ පිණිස පවතී නම්, නුවණැත්තාවූ හෙතෙම කයින්ද වචනයෙන්ද සිතින්ද අප්‍රමාදවූවෙක් වියයුතුයි.

“මේ සත්ව ලෝකයෙහි යසස් ඇත්තාවූ සම්පූර්ණවූ සියලු සම්පත් ඇති යම්කිසි මේ මනුෂ්‍ය කෙනෙක් වෙද්ද, ඔවුන් විසින් පූර්ව භවයෙහි සැක නැතුව මනාව පුරුදු කරණ ලද කුශල කර්මයවේ. බොහෝවූ සියලු සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහුමය.

“ජනාධිපතිය, අලංකාරයෙන් සැරසුනාවූ, රන් දැලින් වැසුනාවූ දිව්‍යප්සරාවන් හා සමානවූ යම් මේ ස්ත්‍රීහු ඔබට උපස්ථාන කෙරෙද්ද ඒ මේ ස්ත්‍රීහු කවර හේතුවකින් ඇතිවූවාහුද, දේවයන් වහන්ස, එබැවින් තමන් විසින්ද සිතා බලනු මැනවයි” පිය රජුට අනුශාසනා කළාය.

“මෙසේ මේ කථාවලින් රුජා නම් රාජ කන්‍යාතොමෝ අංගාති නම් පියරජහු සතුටු කෙළේය. මුළාවූ ඔහුට සුගති මාර්ගය කීයේය. මනා පැවතුම් ඇති ඕතොමෝ ධර්මය ප්‍රකාශ කෙළේයි.

“ඉක්බිති නාරද නම් බ්‍රහ්මතෙම මනුෂ්‍ය ප්‍රජාව ඇත්තාවූ ජම්බුද්වීපය පරීක්ෂා කරන්නේ අංගාති නම් රජහු දැක බ්‍රහ්ම ලෝකයෙහි සිට ආයේය.

“ඉන්පසු වේදේහ නම් රජු ඉදිරියෙහි ප්‍රාසාදයෙහි සිටියේය. රුජා නම් රාජ කන්‍යාතොමෝ පැමිණියාවූ ඒ ඍෂීන් වහන්සේද දැක වැන්දේය.

“එකල්හි විස්ම පත්වූ සිත් ඇති රජතෙම හුනස්නෙන් බැස නාරද නම් ඍෂින් විචාරමින් මේ වචනය කීයේය.

“දෙවියෙකුට බඳු වර්ණ ඇත්තාවූ නුඹවහන්සේ රාත්‍රියෙහි බබළන්නාවූ සඳ දෙව්පුත් මෙන් බබළමින් කොයි සිට ආයෙහිද? විචාරණ ලද්දේ නාමය හා ගෝත්‍රය මට කියව, කෙසේ නම් මනුෂ්‍ය ලෝකයෙහි ඔබ දනිද්දැයි” ඇසීය.

“මම වනාහි දැන් රාත්‍රියෙහි සඳ දෙව් පුත් මෙන් බබළමින් දෙව්ලොවින් එමි. විචාරණ ලද්දේ ඔබට නාමය හා ගෝත්‍රය කියමි. මා නමින් නාරද යයිද ගෝත්‍රයෙන් කාශ්‍යප යයිද මිනිස් ලොව දනිත්යයි” කීයේය.

“ඔබගේ යම්බඳු සටහණක් වේද, අහසෙහි ගමන් කරන්නෙහිය. සිටින්නෙහිය, යන යමකුත් වේද, ඒකාන්තයෙන් මෙය ආශ්චර්‍ය්‍ය ස්වභාව ඇත්තේය. නාරදයන් වහන්ස, මේ කාරණය ඔබගෙන් විචාරමි. එසේ ඇතිකල්හි කවර කරුණකින් ඔබගේ මෙබඳු ඍද්ධියක් වීදැයි” ඇසීය.

“සත්‍ය වචනයද සුචරිත ධර්මයද ඉන්ද්‍රිය දමනයද පරිත්‍යාගයද යන මේ ගුණ ධර්මයෝ මා විසින් පළමු ජාතියෙහි කරණ ලද්දාහුය. මනාව සේවනය කරණලද්දාවූ ඒ ගුණ ධර්ම වලින්ම මනෝමය ජව ඇත්තාවූ මම කැමති පරිදි ගමන් කරන්නෙක්වෙමියි” කීයේය.

“ඉදින් ඔබවහන්සේ යම්සේ කියන්නෙහිද, මොව්හු එසේ වෙත්නම් ආශ්චර්‍ය්‍යවූ පුණ්‍ය කර්මයන්ගේ සිද්ධියක් කියන්නෙහිය. නාරදයන් වහන්ස, මේ කාරණය ඔබගෙන් විචාරමි. විචාරණ ලද්දේද, මට එය මනාකොට ප්‍රකාශ කරවයි” කීයේය.

“භූමිපාලවූ මහරජ, යම් සැකයක් කරන්නෙහි නම්, ඔබගේ මේ කාරණය මාගෙන් අසව. මම කරුණුවලින්ද න්‍යායවලින්ද හේතුවලින්ද ඔබ සැක නැති බවට පමුණුවමියි’ ඍෂිතෙම කීයේය.

“නාරදයන් වහන්ස, මේ කාරණය ඔබගෙන් විචාරමි. පින්වත් නාරදයෙනි, මාවිසින් විචාරණ ලද්දාවූද ඔබ මට බොරුවක් නොකියනු මැනව. මේ ජනතෙම යමක් ඇතැයි කියද්ද, ඒ දෙවියෝ ඇත්තාහුද බ්‍රහ්මයෝ ඇත්තාහුද පරලොවක් ඇත්තේදැයි” ඇසීය.

“මේ ජනතෙම යමක් ඇතැයි කියාද, ඒ දෙවියෝ ඇත්තාහුමය. බ්‍රහ්මයෝද ඇත්තාහ. පරලොවක්ද ඇත්තේය. කාමයන්හි ගිජුවූම අතිශයින් මුළාවූ මනුෂ්‍යයෝ මෝහයෙන් යුක්තවූවාහු ඒ පරලොව නොදනිත්යයි” ඍෂි තෙම කීයේය.

“පින්වත් නාරදයෙනි, ඉදින් මළවුන්ට පරලොව වාසස්ථානයක් ඇතැයි අදහන්නෙහි නම් මෙහිදීම මට කහවණු පන්සියයක් දුන මැනව. පරලොවදී ඔබට දහසක් දෙන්නෙමියි” රජතෙම පරිහාස වශයෙන් කීයේය.

“ඉදින් පින්වතා සිල්වෙතක. ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නෙකැයි දනිවු නම්, පින්වතාට කහවණු පන්සියයක් දෙන්නෙමු. නරකයෙහි වසන්නාවූ රෞද්‍රවූ පින්වත් ඔබ දැක කවරෙක් නම් පරලොවදී දහස ඉල්වන්නේද?

“මෙලොවම යමෙක් අධර්ම ස්වභාව ඇති ලාමක හැසුරුම් ඇති අලසවූ රෞද්‍ර කර්මාන්ත ඇත්තෙක් වේද, නුවණැත්තෝ එබඳු පුද්ගලයා කෙරෙහි ණය නොදෙත්. එබඳු පුද්ගලයා ගෙන් නැවත ණය ලැබීමක් නොවේ.

“මනුෂ්‍යයෝ දක්ෂවූද උත්සාහවත්වූද, සිල්වත්වූද ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නාවූද, පුරුෂයා දැක කර්මාන්ත කොට නැවත ගෙණහැර දෙවයි. තුමූම සම්පත්වලින් පවරත්යයි” ඍෂිතෙම කීයේය.

“මහරජ, මෙයින් චුතව ගියාවූ ඔබ වන කවුඩු සමූහයා විසින්ද, අදිනු ලබන්නහු ඒ නිරයෙහි දක්නෙහිය. කව්ඩන් විසින්ද ගිජුලිහිණින් විසින්ද උකුස්සන් විසින්ද කනු ලබන්නාවූ සිඳීගිය ශරීර ඇත්තාවූ ලේ වැගිරෙන්නාවූ නිරයෙහි වසන්නාවූ ඔබ දැක කවරෙක් නම් පරලොවදී දහස ඉල්වන්නේදැයි” ඇසීය.

“මහරජ, යම් ලෝකාන්තර නරකයෙක්හි ඝනාන්ධකාරය ඇත්තේද, එහි සඳ හිරු නොවෙත්. ඒ නරකයටම හැමකල්හි ඝනාන්ධකාර වේ. බිහිසුනු ස්වභාව ඇත්තේද වේ. එහි ඒ රාත්‍රියද දාවලද නොපෙනේ. එබඳු නරකයෙහි කවර නම් ණයට දුන් ධනය කැමැත්තෙක් හැසිරෙන්නේදැයි” ඇසීය.

“මහත්ව වැඩුනු ශරීර ඇති බල ඇත්තාවූ මහත්වූ කබර ඇත්තාවූද ස්‍යාම වර්ණවූද ශුනකයෝ දෙදෙනෙක් මෙයින් චුතව පරලොවට පැමිණියාවූ ඔබ යකඩින් කළ දත්වලින් හපා කත්.

“රෞද්‍රවූ චණ්ඩවූ දුක් එලවන්නාවූද ශුනකයන් විසින් කනු ලබමින් නරකයෙහි වසන්නාවූ සිඳුනු ශරීර ඇති ලේ වැගිරෙන්නාවූ ඔබ දැක කවරෙක් නම් පරලොවදී ඒ දහස ඉල්වන්නේදැයි” ඇසීය.

“දරුණුවූ නරකයෙහි කාළුෑපකාල නම් නිරය පාලයෝ පෙර ජාතියෙහි කළාවූ අකුශල කර්ම ඇති මිනිසාට ඉතා මුවහත්වූ ඊතලවලින් හා අඩයටි වලින් අනිත්, විදිත්.

“ඒ අනිනු ලබමින් නරකයෙහි ඔබමොබ ගමන් කරන්නාවූ කුසෙහිද පාර්ශවයෙහිද විශෙෂයෙන් පැලීගිය උදර ඇත්තාවූ සිඳුනු ශරීර ඇති ලේ වැගිරෙන්නාවූ ඔබ දැක කවරෙක් නම් පරලොවදී ඒ දහස ඉල්වන්නේදැයි” ඇසීය.

“ඒ නරකයෙහි මේඝය තෙම අඩයටිය, ඊතලය, තෝමරය, භෙණ්ඩිවාලය යන නොයෙක් ආයුධ වලින් යුක්තව වසියි. ගිනි සිළු වලින් යුත් අඟුරු මෙන් ආයුධ වැටෙත්. රෞද්‍ර කර්ම ඇත්තහු කෙරෙහි හෙන මෙන් ගල්වැසි වසියි.

“ඒ නරකයෙහි වාතයතෙම ඉසිලිය නොහැකි උෂ්ණදවේ. එහි ස්වල්ප තරම්වූද සැපයක් නොලබයි. ඒ ඒ තැන දුවන්නාවූ පිහිටක් නැත්තාවූ පීඩිතවූ ඔබ දැක කවරෙක් නම් ඒ දහස ඉල්වන්නේදැයි” ඇසීය

“දිලිසෙන ලෝහමය රථයන්හි යොදන ලදුව ගිනිදැල් සහිතවූ පොළොව මැඩගෙණ ඔබිමොබ දුවන්නාවූ කැවිටි කෝටුවලින් මෙහෙයනු ලබන්නාවූ ඔබ දැක කවරෙක් නම් පරලොවද ඒ දහස ඉල්වන්නේදැයි ඇසීය.

“බිහිසුණුවූ ගිනිගෙණ දිළියෙන්නාවූ භය ජනකවූ කරකැති වලින් එක්කරණ ලද පර්වතයට නගින්නාවූ සිඳුනු ශරීර ඇති ලේ වැගිරෙන්නාවූ ඔබ දැක කවරෙක් නම් පරලොවදී ඒ දහස ඉල්වන්නේදැයි” ඇසීය.

පර්වතයක් හා සමානවූ දිළියෙන්නාවූ භයජනකවූ අඟුරු ගොඩට නගින්නාවූ අතිශයින් දැවුණු ශරීර ඇති බැගෑපත්ව හඬන්නාවූ ඔබ දැක කවරෙක් නම් පරලොවදී ඒ දහස ඉල්වන්නේදැයි” ඇසීය.

“යමක් තියුණුවූ මනුෂ්‍යයන්ගේ ලේ පානය කරන්නාවූ අයෝමය කටු වලින් යුක්තද, එබඳු කටුවලින් යුක්තවූ වළාකුළු මෙන් උස්වූ වෘක්ෂයෝද වෙත්යයි” කීයේය.

“පරදාරාවන් කරා ගියාවූ ස්ත්‍රීහුද පුරුෂයෝද යමරජහුගේ නියමය කරන්නාවූ අඩයටි ගත් අත් ඇති යමපල්ලන් විසින් මෙහෙයන ලද්දාහු ඒ ගස්වලට නගිත් යයි” කීයේය.

“ඒ නරකයෙහිවූ කටුඉඹුල් ගසට නගින්නාවූ ලෙයින් වැකුණාවූ විශෙෂයෙන් දැවුනු ශරීර ඇති පහව ගිය සිවිය ඇති පීඩිතවූ දැඩි වේදනා ඇති වරින් වර උණුසුම්ව ප්‍රස්වාස කරන්නාවූ පූර්වයෙහි අකුශල කර්ම වශයෙන් කරණ ලද අපරාධ ඇත්තාවූ ගස්මුදුන්වල හා වෙලෙප් අග නැසුනාවූ ඒ නිරිසතා දැක කවරෙක් නම් ඒ ණයට දුන් ධනය ඉල්වන්නේ දැයි” කීයේය.

“අයෝමයවූ තියුණුවූ නිරිසතුන්ගේ ලේ පානය කරන්නාවූ කඩුපත් වලින් ගැවසීගත්තාවූ මෙඝකූට සමාන උස්වූ මහා ගස් වෙත්.

ඒ කඩුපත් ඇති වෘක්ෂයට පැමිණියාවූද තියුණුවූ කඩුවලින් සිඳිනු ලබන්නාවූ සිඳුනු ශරීර ඇති ලේ වැගිරෙන්නාවූ ඔහු දැක කවරෙක් නම් පරලොවදි දහස ඉල්වන්නේ දැයි” ඇසීය.

“දුක්වූ ඒ අසිපත්‍ර නම් නරකයෙන් නික්මුණු කෙනෙහිම වේතරණී නම් නරකයට වැටුනාවූ ඔහු දැක කවරෙක් නම් ඔහුගෙන් ඒ ණයට දුන් ධනය ඉල්වන්නේ දැයි” ඇසීය.

“රළුවූ ක්ෂාර ජලය ඇත්තාවූ රත්වූ යානොහැකිවූ අයෝමය පොකුරු පත් වලින් ගැවසීගත්තාවූ ඒ වේතරණී නම් ගංගාව තියුණු පත්‍ර වලින් යුක්තව ගලා බසීයයි” කීයේය.

“එල්බීමක් නැත්තාවූ ඒ වේතරණී නම් ඔසුපත් නිරයෙහි වහනය කරන්නාවූ ලෙයින් වැකුණාවූ සිඳුනු ශරීර ඇති ඔහු දැක කවරෙක් නම් ඔහුගෙන් ඒ ණයට දුන් ධනය ඉල්වන්නේ දැයි” නාරද ඍෂිතෙම ඇසීය.

“පින්වත් ඍෂිවරය, ඔබ විසින් කියන ලද මේ ගාථාවන් අසා මම වනාහි සිඳිනු ලබන්නාවූ ගසක් මෙන් වෙව්ලමි. අතිශයින් මුළාවූ සිහි ඇත්තේ යන දිශාවක් නොදනිමි. කළාවූ පාපකර්මයට භයින් තැවෙමි. මට මහත්වූ අපාය භයද උපන්නේය.

“සිරුර ගිනි ඇවිලගත් කල්හි ජල මධ්‍යස්ථානයක් මෙන්ද, නැව බිඳුන කල්හි මහත් සැඩ පහරෙහි හෝ සාගරයෙහි දිවයිනක් මෙන්ද, අන්ධකාරය ඇතිකල්හි දල්වන ලද පහනක් මෙන්ද, ඍෂින් වහන්ස, නුඹවහන්සේ අපට පිහිට වුව මැනව.

“ඍෂිතුමනි, මා විසින් ඉකුත් කාලයෙහි අපරාධ කරණ ලදී. එබැවින් මට අර්ථයෙන්ද ධර්මයෙන්ද අනුශාසනා කරණු මැනව. නාරදයන් වහන්ස, යම්සේ මම නරකයෙහි නොවැටෙම්ද එබඳු පිරිසිදු මාර්ගයක් මට කියවයි” රජතෙම කීයේය.

“යම්සේ ධතරට්ඨය, වෙස්සාමිත්තය, අට්ඨකය, යමතග්ගිය, උසින්නරය, සිවිරජය යන මේ රජහු මහණ බමුණන්ට සත්කාර කරන්නෝ වූවාහුද?

“මේ රජවරුද අන්‍යවූ රජවරුද යන යම් කෙනෙක් කුශල ධර්මයන්හි හැසිර සක්දෙව් රජ බවට පැමිණියාහුද, මහරජ, එහෙයින් ඔබද අකුශල ධර්මය දුරුකොට කුශල ධර්මයෙහි හැසිරෙව.

“මහරජ, ඔබගේ ප්‍රාසාදයෙහි ආහාර ගත් අත් ඇත්තෝද ඝොෂා කෙරෙත්වා. ඔබගේ නගරයෙහි කවරෙක් සයින් යුක්තද කවරෙක් පිපාස ඇත්තේද, කවරෙක් මල් මාලාවල් දරන්නේද, කවරෙක් විලවුන් ගල්වන්නේද, කවර නම් වස්ත්‍ර නැත්තෙක් නානා වර්ණවූ වස්ත්‍ර හඳින්නේද?

“කවරෙක් ගමන් මාර්ගයෙහි කුඩයක් දරන්නේද, මෘදුවූ යහපත්වූ වහන් කැමැත්තේදැයි මෙසේ සවසද උදයද ඔබගේ නගරයෙහි ඝෝෂා කරවත්වා.

“ජරාවට ගියාවූ පුරුෂයාද ගවයන් හා අසුන්ද පෙරපරිද්දෙන් කටයුතුවල නොයොදව. ශරීර ශක්තියෙන් යුක්තවූ යමෙක් පළමු උපකාර කෙළේද, පසුවද ඔහුට බත් වැටුප් දෙවයි මෙසේ” අවවාද කෙළේය.

“මහරජ, ඔබගේ ශරීරය රථයයි දක්නා ලද්දේ වේවා. ඒ රථය සැහැල්ලුවූ කුසල් සිත නමැති රියැදුරාගෙන් යුක්ත වේවා. අවිහිංසා නමැති මනාව නිමවන ලද අකුරෙන් යුක්ත වේවා. දාන සංවිභාග නමැති වැස්මෙන් යුක්ත වේවා.

“පාද සංයම නමැති නිම්වළල්ලෙන් යුක්ත වේවා. හස්ත සංයම නමැති වෙහෙල් පත් වලින් යුක්ත වේවා. කුක්ෂි සංයම නමැති තෙල් ගැල්වීමෙන් යුක්ත වේවා. වාක් සංයම නමැති නොහැඬීම ඇතිවේවා.

“සත්‍ය වචන නමැති සම්පූර්ණ අවයව ඇතිවේවා. පෙහෙසුන් බස් නොකීම නමැති මනා ස්පර්ශ කිරීම ඇති වේවා. සිලුටු වචන නමැති නිර්දෝෂ අවයව ඇති වේවා. ප්‍රමාණවත් කථාව නමැති ලහටුවෙන් මනාකොට සම්බන්ධ කිරීම ඇතිවේවා.

“ශ්‍රද්ධාව හා ලොභ නොවීම නමැති සොඳුරු සැරසීමෙන් යුක්තවේවා. සිල්වතුන්ට යටත් පැවතීම හා ඇඳිලි කිරීම නමැති රිය කඳින් යුක්තවේවා. තද නැති බැව් නමැති මදක් නැමුණු රථ හිසින් යුක්තවේවා. සීලය හා සංවරය නමැති බඳින රැහැනින් යුක්ත වේවා.

“ක්‍රොධ නොකිරීම නමැති නොගැටීමෙන් යුක්ත වේවා. දශකුශල ධර්ම නමැති සේසතින් යුක්ත වේවා. බහුශ්‍රැතභාවය නැමති රිය කූඩුවෙන් යුක්ත වේවා. එකඟ බැවින් යුත් සිත නමැති මතු මත්තෙහි ඇතිවීමෙන් හෙවත් රාජාශනයෙන් යුක්ත වේවා.

“කල් දන්නා බැවින් කරණ ලද කුශල චිත්ත නමැති සාරයෙන් යුක්ත වේවා. විසාරද බැව් නමැති ත්‍රී දණ්ඩයෙන් යුක්ත වේවා. යටත් පැවතුම් නමැති යොතකින් යුක්ත වේවා. අධික මාන්න රහිත වීම් නමැති සැහැල්ලුවූ වියදණ්ඩෙන් යුක්ත වේවා.

“නොහැකුළුණු සිත නමැති ඇතිරීමෙන් යුක්ත වේවා. ප්‍රඥා වෘද්ධයන් සේවනය කිරීම නමැති රජස් නැසීම ඇතිවේවා. ප්‍රාඥවූ ඔබගේ ඒ රථයෙහි මනාව පිහිටියාවූ සිහිය නමැති කෙවිටක් ඇතිවේවා. ධෛර්‍ය්‍යයෙන් යුක්ත වීම නමැති රැහැන් ඇතිවේවා.

“සමව දමනයවූ අසුන් විසින් උසුලන ලද රථය මෙන් දමනයවූ සිත ඔබගේ කාය නමැති රථය ඍජුවූ මාර්ගයට පමුණුවයි. නොලද වස්තුවෙහි ආශාවද ලද වස්තූන්හි ලොභ කිරීමද අයහපත් මාර්ගයවේ. ශීලාදී සංයමය තෙම ඍජුවූ මාර්ගය නම් වේ.

“මහරජ, රූපය ශබ්දය රශය ගන්ධය යන මේ කාම ගුණයන්හි නිමිතිගෙණ දුවන්නාවූ වාහණයට ප්‍රඥා නමැති කෙවිටි කිරීම ඇතිවේ. ඒ ඔබගේ කාය නමැති රථයෙහි තෙමේම රියැදුරාවේ

“යමෙකුගේ සම චරියාවද ධෛර්‍ය්‍යයද ස්ථිරවේද, හෙතෙම මේ යානාවෙන් ගමන් කරයි. මහරජ, සියලු කැමති සම්පත් දෙන්නාවූ මේ රථයතෙම කිසිකලෙකත් නිරයට නොපැමිණෙන්නේ යයි” නාරද ඍෂිතෙම කීයේය.

“එකල්හි අලාත නම් සෙනෙවිතෙම දැන් දෙව්දත් තෙර වූයේය. සුනාම නම් සෙනෙවිතෙම භද්දජි ස්ථවිර විය. විජය නම් සෙනෙවිතෙම ශාරීපුත්‍ර ස්ථවිර වූයේය. බීජක නම් දාසතෙම මොග්ගල්ලාන ස්ථවිර වූයේය.

“ගුණ නම් අචේලකතෙම සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රයාවූයේය. යම් රුජා නම් රාජකන්‍යාවක් රජ පැහැදවීද, ඕතොමෝ ආනන්ද ස්ථවිරවූයේය.

“එකල්හි ලාමක දෘෂ්ටි ගත්තාවූ රජ තෙමේ උරුවේල කාශ්‍යපනම් වූයේය. නාරද නම් බ්‍රහ්මතෙමේ බොධිසත්වවූ මමම වෙමියි මෙසේ මේ ජාතකය දරාගනිව්යයි” වදාළේය.

මහානාරදකස්සපජාතකං අට්ඨමං.