ඛුද්දකනිකාය

ජාතක

(දුතියො භාගො)

22. මහානිපාතය

546. විධුර ජාතකය

දොහළකණ්ඩං

[“යම්කිසිවෙක් කිපිය යුතු පුද්ගලයෙකු කෙරෙහි කෝප නොකෙරේද, සත්පුරුෂවූ හෙතෙම කිසිකලෙකත් ක්‍රෝධ නොකෙරේද, කිපියාවූද යමෙක් කෝපය පහළ නොකෙරේද, ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යයා ලෝකයෙහි පණ්ඩිතයෝ ශ්‍රමණයායයි කියත්යයි” වරුණ නම් නාරජ කීයේය.

“ඌණවූ උදර ඇති හෙවත් බඩසය ඇති යමෙක් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තවූයේ තපසින් යුක්තවූයේ පමණ දැන ආහාර පාන වැළඳීම ඇත්තේ කුසගින්න ඉවසාද, ආහාර හේතුවෙන් පාපකර්මයක් නොකෙරේද, ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යයා ලෝකයෙහි ශ්‍රමණයාය කියත්යයි” සුපර්ණරාජයා කීයේය.

“යමෙක් කායික වාචසිකවූ ක්‍රීඩාද දිව්‍යවූ කම්සැපයෙහි ඇලීමද යන සියල්ල හැරදමා ලෝකයෙහි ස්වල්ප තරම්වත් බොරුවක් නොකියාද, කය සරසන කරුණුවලින් හා මෛථුන සෙවනයෙන් වැළකුනේ වේද, ඒකාන්තයෙන් ඒ මිනිසා ලෝකයෙහි පණ්ඩිතයෝ ශ්‍රමණයාය කියතියි” ශක්‍රතෙම කීයේය.

“තමන් අයත්වූ ලෝභ ඉපදවිය යුතුවූ සියල්ලම ඉදින් යම්කෙනෙක් පිරිසිඳ දැන හැර දමද්ද, ඉන්ද්‍රිය දමනයෙන් යුක්තවූ එකඟවූ සිත් ඇති මමත්වය නැත්තාවූ ආහාර හිතවු ඒ පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණයායයි ලෝකයෙහි පණ්ඩිතයෝ කියත්යයි” ධනඤ්ජය රජතෙම කීයේය.

“පඬිතුමනි, කටයුතු කරවන්නාවූ අලාමක ප්‍රඥා ඇත්තාවූ ඔබ විචාරමි. අප විසින් කියන ලද ගාථාවන්හි හටගත්තාවූ විවාදයක් ඇත්තේය. අපගේ සැකයද විචිකිච්ඡාවන්ද සිඳව. අද ඔබ නිසා අප සියල්ලෝ සැක දුරුකර ගනිමුයි” කීවාහුය.

“අර්ථය දැක්මට සමර්ථවූ යම් පණ්ඩිත කෙනෙක් වෙද්ද, ඔව්හු ඒ විවාදය සුදුසු කල්හි නුවණින් සළකා කියත්. මහරජුනි, නොකියන ලද ගාථාවන්ගේ අර්ථය දක්ෂවූවාහු නමුත් කෙසේ නම් නුවණින් පමුණුවන්නාහු දැයි” විධුර පණ්ඩිතතෙම ඇසීය.

“වරුණ නම් නාරජතෙම කෙසේනම් කියාද? වෙණතෙය්‍ය නම් ගුරුළු රජතෙම කෙසේ හෝ කියාද? ගන්ධර්ව රාජවූ ශක්‍රතෙම වනාහි කුමක් කියයිද? කුරුරට වැස්සන්ගේ ශ්‍රෙෂ්ඨයාවූ ධනඤ්ජය රජතෙම කෙසේ කියා දැයි” ඇසූහ

“පඬිතුමනි, නාරජතෙම ඒකාන්තයෙන් ඉවසීම උතුම්ය කියයි. වෙණතෙය්‍ය නම් ගුරුළුතෙම මදවූ ආහාර ඇතිවීම උතුම්ය කියයි. ගන්ධර්ව රාජවූ ශක්‍රතෙම පස්කම් සැපයෙහි ආලය දුරුකිරීම උතුමැයි කියයි. කුරුරට වාසීන්ගේ රාජොත්තමතෙම පලිබොධ නැතිවීම වර්ණනා කෙරේයයි” ඒ රජහු කීහ.

“මහරජවරුනි, මේ සියල්ලම වනාහි කියන ලදහ. මෙහි අයහපත්කොට කියනලද කිසිවක් නැත්තේය. යම් පුද්ගලයෙකු කෙරෙහි මේ සිව්වැදෑරුම් ගුණයෝ ගැල්නැබෙහි මනාව පිහිටියාවූ දැකීමෙන් පිහිටියාහු වෙද්ද, මේ ගුණධර්ම සතරින් යුක්තවූ ඒ පුද්ගලයා ඒකාන්තයෙන් ශ්‍රමණයායයි ලෝකයෙහි පණ්ඩිතයෝ කියත්යයි” පණ්ඩිතතෙම කීයේය.

“පණ්ඩිතය, නුඹ ග්‍රෙෂ්ඨයාද වෙහිය, නුඹ අනුත්තරද වෙහිය. නුඹ ධජය රක්නේද ධර්මය දන්නේද මනා ප්‍රඥා ඇත්තේද වෙහිය. තමන්ගේ ප්‍රඥාවෙන් අපගේ ප්‍රශ්නය මනාකොට දැනගෙණ ප්‍රාඥවූ ඔබ අපගේ සැකයන් දුරු කෙළේය. දළ කැටයම් කරන්නෙක් කියතෙන් ඇත් දත යම්සේ කපන්නේද එමෙන් අපගේ සැකයද විචිකිච්ඡාවන්ද සිඳ දැම්මේයයි” ස්තුති කළාහුය.

“ප්‍රාඥවූ පණ්ඩිතය, ප්‍රශ්න විසඳීමෙන් සතුටුවූ මම නිළුපුල් බඳු පැහැ ඇති නිර්මලවූ අනර්ඝවූ දුමට බඳු වර්ණ ඇති මේ වස්ත්‍රය ධර්ම පූජා වශයෙන් ඔබට දෙමි” ශක්‍රතෙම කීයේය.

“පණ්ඩිතතුමනි, ප්‍රශ්නය විසඳීමෙන් සතුටුවූ මම පිපියාවූ පද්මයක් බඳුවූ කෙශර සහිතවූ රුවන් දහසකින් හෙබියාවූ රන් මාලයක් දහම් පඬුරු වශයෙන් ඔබට දෙමියි” ගුරුළු රජතෙම කීයේය.

“පඬිතුමනි, ප්‍රශ්න විසඳීමෙන් සතුටුවූ මම මාගේ බොටුවෙහි පැළඳි මැණික් වලින් හෙබියාවූ පැහැවිහිදෙන්නාවූ සිත්කළුවූ අනර්ඝවූ මේ මැණික දහම් පඬුරු වශයෙන් ඔබට දෙමියි” නාරජතෙම කීයේය

“ගවයන් දහසක්ද වෘෂයෙකුද හස්තියෙකුද ආජානීය අසුන් යෙදුවාවූ මේ රථ දහසක්ද ගම්වර සොළසක්ද ප්‍රශ්න විසඳීමෙන් සතුටුවූ මම ඔබට දෙමියි” ධනඤ්ජය නම් රජතෙම කීයේය. ]

“එම්බා විමලාවෙනි, තී පඬුවන්වූ කෘෂවූ දුර්වලවූ ශරීර ඇත්තී වෙහිය. තීගේ රූපවර්ණය පෙර මෙබඳු නොවෙයි. මාවිසින් විචාරණ ලද්දී තිට කෙබඳු ශරීර වේදනාවක් ඇද්දැයි කියවයි” වරුණ නම් නාරජතෙම විමලා නම් බිසොවගෙන් ඇසීය.

“පින්වත් නාරජුනි, මිනිසුන් අතර ස්ත්‍රීන්ගේ දොළ දුකනම් ස්වභාවයක් ඇතැයි කියනු ලැබේ. නා රජුනි, දැහැමින් සෙමෙන් ගෙණන ලද විධුරනම් පඬිහුගේ හදවත පතමියි” කීය.

“විමලාවෙනි, නුඹ චන්ද්‍රයා වනාහි දොළ වශයෙන් කැමති වන්නෙහිය. සූර්‍ය්‍යයා හෝ තවද සුළඟ හෝ කැමැති වන්නෙහිය. විධුර පණ්ඩිතයාගේ දර්ශනය පවා දුර්ලභ කල්හි කවරෙක් නම් විධුර පණ්ඩිතයා මෙහි ගෙණන්නේදැයි” නා රජතෙම ඇසීය.

“පියාණෙනි, කුමක් සඳහා නුඹ සිතිවිලි සිතන්නෙහිද, ඔබගේ මුහුණ අතින් මැඩගන්නාලද පියුමක් වැනිය අධිපතිය, කුමකට නොසතුටු ස්වභාව ඇත්තේ වෙහිද, සතුරන් තවන්නාවූ නාරජු නුඹ ශොක නොකරවයි” ඉරන්දතී නම් දුව කීවාය.

“එම්බා ඉරන්දතිය, ඔබගේ මව වනාහි විධුර පණ්ඩිතයාගේ හදවත පතයි. විධුර පණ්ඩිතයාගේ දර්ශනය පවා දුර්ලභ කල්හි, කවරෙක් නම් විධුර පණ්ඩිතයා මෙහි ගෙණන්නේදැයි” නාරජ කීයේය.

“දුවණියෙනි, යමෙක් විධුර පණ්ඩිතයා මෙහි ගෙණෙන්නේද, එබඳු ස්වාමිපුරුෂයෙකු සෙවීමෙහි හැසිරෙවයි” කීයේය. ඒ නාග මානවිකාතොමෝ පියාගේ කීම අසා රාත්‍රියෙහි නාගභවනයෙන් නික්ම ස්වාමියෙකු සෙවීමෙහි හැසුරුණේය

“ගන්ධර්වයන්ද රාක්ෂසයන්ද නාගයන්ද කිඳුරන්ද මිනිසුන්ද යන මොවුන් අතරෙහි සියලු කැමැතිදේ දෙන්ට සමර්ථවූ කවර නම් පණ්ඩිතයෙක් බොහෝ කලක් මුළුල්ලෙහි මට ස්වාමියා වන්නේදැයි” කියමින් ගායනා කළාය.

“එම්බා මානවිකාව මම තිට ස්වාමි වන්නෙමි අනින්දිතවූ ලෝචන ඇත්තිය, මම තිගේ ස්වාමිපුරුෂයා වන්නෙමි. තී සැනසෙව, මාගේ ප්‍රඥාව වනාහි එබඳුය, තී මාගේ භාර්‍ය්‍යාවන්නෙහි තී සැනසෙව”යි පූර්ණක නම් යක්ෂ සේනාපතිතෙම කීයේය.

ඉක්බිති ඉරන්දතී නම් නාගකන්‍යාව පෙර ජාතියට අනුව ගියාවූ සිතින් ඔහුට මෙසේ කීය. “ස්වාමිය, එව, මාගේ පියාගේ සමීපයට යමු. මේ මාගේ පිය තෙමේද මේ කාරණය ඔබට කියන්නේයයි” ඉරන්දතී කීය.

අලංකාරයෙන් සැරසුනාවූ මනාව හැඳි වස්ත්‍ර ඇත්තාවූ පැළැඳි මල්මාලා ඇති සඳුන් කල්ක ගල්වන ලද්දාවූ ඉරන්දතී නම් නාග කන්‍යාව පූර්ණක නම් යක්ෂ සේනාපතියා අතින් අල්වාගෙණ පියවූ නා රජු සමීපයට පැමිණියේය.

“උතුම් නාරජ මාගේ වචනය අසව, සුදුසුවූ අයබද්දෙන් උපදනා ධනය පිළිගණුව. මම ඉරන්දතිය කැමති වෙමි. නුඹ ඈ හා මාගේ සමගිවීම කරව

“ඇතුන් සියයක්ද අසුන් සියයක්ද අස් වෙළඹුන් යෙදූ රථ සියයක්ද නොයෙක් රත්නවලින් සියල්ල පිරුණාවූ බඩු ගැල් සියයක්ද ඔබට දෙමි. නාරජ තුමනි, එය පිළිපදුව ඉරන්දතී නම් ඔබගේ දුව මට දෙවයි” පූර්ණකතෙම කීයේය.

“පින්වත් යක්ෂ සේනාපතිය යම්තාක් ඤාතිමිත්‍රයන්ද සුහෘද ජනයාද කැඳවා කියම්ද ඒ තාක් බළාපොරොත්තු වෙව. එසේ කථා නොකරණ ලද ඒ කටයුත්ත පසුතැවීම පිණිස පවතීයයි” නාරජ කීයේය.

ඉක්බිති ඒ වරුණ නම් නාරජතෙම බිසවගේ ගෘහයට ප්‍රවිෂ්ටව භාර්‍ය්‍යාව කැඳවා මේ වචනය කීයේය.

“ඒ මේ පූර්ණක නම් යක්ෂතෙම අපගේ මේ ඉරන්දතී නම් නාගකන්‍යාව ඉල්වයි. බොහෝවූ වස්තුව ලබාගෙණ මාගේ ප්‍රියවූ දුව ඔහුට දෙමුයි” කීයේය.

“අපගේ ඉරන්දතී නම් දුව ධනයදීමෙන් නොලැබිය හැක්කේය. වස්තුවෙන්ද නොලැබිය හැක. ඉදින් වනාහි විධුරපණ්ඩිතයාගේ හදවත දැහැමින් ලබාගෙණ මෙහි ගෙනෙන්නේ නම්, මේ වස්තුවෙන් කුමරිය ලැබිය හැක. ඉන්මත්තෙහි අන්කිසි ධනයක් නොපතමුයි” විමලා කීවාය.

ඉක්බිති ඒ වරුණ නම් නාරජතෙම භවනයෙන් නික්ම පූර්ණකයා කැඳවා මේ වචනය කීයේය. “ධනයෙන්ද වස්තුවෙන්ද අපගේ ඉරන්දතිය නොලැබිය හැක.

“ඉදින් ඔබ පණ්ඩිතයාගේ හදවත දැහැමින් ලැබ මෙහි ගෙණෙන්නෙහි නම් මේ වස්තුවෙන් කුමරිය ලැබිය හැක. ඉන්මත්තෙහි යම්කිසි ධනයක් නොපතමියි” නාරජ කීයේය.

“ලෝකයෙහි සමහරු යමෙකුට පණ්ඩිතයායයි කියද්ද, නැවත අන් සමහරු ඔහුටම බාලයායයි කියත්. මෙහි මේ කාරණය විරුද්ධව කියත්. නාරජ ඔබ කවර පණ්ඩිතයෙකු කියන්නෙහි දැයි මට කියවයි” පූර්ණකතෙම කීයේය.

“එම්බා පූර්ණකය, ධනඤ්ජය කොරව්‍ය නම් රජුගේ විධූර නම් කටයුතු කරන්නාවූ ඇමතියෙක් ඉදින් ඔබ විසින් අසන ලද්දේද, ඒ පණ්ඩිතයා දැහැමින් ලැබ මෙහි ගෙණෙව. ඉරන්දතී නම් නාග කන්‍යාව එකල්හි ඔබට පාදපරිචාරිකා වේවායි” නාරජ කීයේය.

වරුණ නම් නාරජහුගේ මේ වචනයද අසා අතිශයින් සතුටුවූ පූර්ණක නම් යක්ෂතෙම හුනස්නෙන් නැගිට එහි සිටියේම “සරසන ලද ආජානීය අශ්වයෙකු මෙහිම ගෙණෙවයි” සේවක පුරුෂයෙකුට අණ කෙළේය.

ඒ මනෝමය අශ්වයාගේ ස්වර්ණමය කන්වෙත්. රක්ත මාණික්‍යමයවූ කුරවෙත්. රත්රණින් නිමවනලද උර සැත්මාලාව ඇත්තේය.

අලංකාරයෙන් සැරසුනාවූ සරසනලද හිසකේ රැවුළු ඇති පූර්ණක නම් යක්ෂතෙම දේව සංඛ්‍යාත ඉසිලිය යුත්ත උසුලන හෙයින් දේවවාහ වහ නම්වූ අශ්ව යානයට නැග අන්තරීක්ෂ නම් අහසින් ගියේය.

කාම වේගයෙන් ගිජුවූ ඒ පූර්ණකතෙම ඉරන්දතී නම් නාග කන්‍යාව පතමින් භූතයන්ට අධිපතිවූ යශ පිරිවර ඇත්තාවූ ඒ කුවේර නම් වෛශ්‍රවන රජු වෙතට ගොස් මෙසේ කීයේය.

“ස්වර්ණමයවූ නිමවනලද නගරයෙහි මන්දිරයන් භෝගවතී නමැයි වාසා නමැයි හිරඤ්ඤවතී නමැයිද, කියනු ලැබේ. භෝග මණ්ඩලයෙන් යුක්තවූ නාරජහුගේ භවනය මෙසේ නිමවන ලදී.

“ඔටුවන්ගේ කර මෙන් කරණ ලද්දාවූ රක්ත මාණික්‍යමයවූද මසාර ගල්ලයෙන් කරණ ලද්දාවූද, අටළු ඇත්තාහ. මේ නාග භවනයෙහි ප්‍රාසාදයෝ මාණික්‍යමය වූද සුවර්ණයෙන් කරණලද උළුවලින් වසන ලද්දාහ.

“අඹගස්ද එරමුදු ගස්ද දඹගස්ද රුක්අත්තනද මිදෙල්ල හා වැටකේද පියල් ගස්ද ඇසළ සහ එරබදු ගස්ද නික ගස්ද,

“සපුගස්ද නාගස්ද ගිරිතිල්ලද යොහොඹුද තවද මෙහි කොළොම් ගස්ද යන මේ වෘක්ෂයෝ හාත්පසින් නැමුනාහු නාරජුගේ මන්දිරය හොබවත්.

“ඕපපාතිකව උපන්නාවූ මහත් ඍද්ධි ඇත්තාවූ වරුණ නම් නාරජතෙම යම් තැනෙක්හි වෙසේද, මේ නාග භවනයෙහි ස්වර්ණමයවූ නිතර පිපි මල් ඇති ඉන්ද්‍රනීල මාණික්‍යමයවූ බොහෝ ඉඳිගස් ඇත්තාහ.

“ඔහුගේ රුවන් රැසක් බඳු ශරීර ඇති උඩට නැංගාවූ ලදරු කළුවැල් දලුවක් බඳුවූ කොසඹ පලවැනි තනපුඩු ඇති මනොඥ දර්ශන ඇත්තාවූ විමලා නම් තරුණ බිරිඳක්වේ.

“ඕතොමෝ ලතුදියමෙන් රතු පැහැ ඇති මනා සිවි ඇත්තීය. නිවාසස්ථානයෙහි පිපියාවූ කිණිහිරි රුකක් වැනි වේ. දිව්‍ය භවනයෙහි හැසිරෙන්නාවූ දිව්‍යප්සරාවක් බඳුය. ඝන වළාපටලයකින් නික්මුණාවූ විදුළියක් හා සමානද වූවාය.

“සිනා පෙරදැරි තෙපුල් ඇති ඕතොමෝ හටගත් දොළ ඇත්තී විධුර පණ්ඩිතයාගේ හදවත පතන්නීය. අධිපතිතුමනි, මම එය ඔවුන්ට ගෙණ දෙමි. එයින් සතුටුවූ ඔව්හු ඉරන්දතී නම් නාග කන්‍යාව මට දෙතියි” කීයේය.

“ඒ පූර්ණක නම් යක් සෙනෙවිතෙම යක්ෂයන්ට අධිපතිවූ යස පිරිවර ඇත්තාවූ කුවේර නම් වෛශ්‍රවණ රජුට කියා අවසර ගෙණ එහිම සිටියේ “සරසනලද ආජානීය අශ්වයෙකු මෙහිම ගෙණෙවයි” සේවකයෙකුට අණ කෙළේය.

ඒ අසුගේ කන් ස්වර්ණමය වෙත්. කුර රක්ත මාණික්‍යමය වෙත්. උරසැත් මාලාව රත්රණින් කරණ ලද්දේය.

අලංකාරයෙන් සැරසුනු සරසනලද හිසකේ රැවුල් ඇති පූර්ණක නම් යක්ෂතෙම දේවවාහ වහ නම් අශ්ව යානයට නැග අන්තරීක්ෂ නම් අහසින් ගියේය.

හෙතෙම බොහෝවූ කෑ යුතු දෑ ඇති බොහෝ ආහාර පානද ඇති සක්දෙව් රජහුගේ මසක්කසාර නම් නගරය වැනිවූ සතුරන් විසින් ලංවිය නොහැකිවූ ඉතා රම්‍යවූ රජගහ නම් අඟු රජහුගේ නගරයට ගියේය.

තවද ඒ නගරය මොනරුන් හා කොස්වාලිහිණි සමූහයා විසින් මනාව ඝෝෂා කරණ ලද්දේය. අන් පක්ෂීන් විසින්ද මනාව ඝෝෂා කරණලදී. නොයෙක පක්ෂි සමූහයා විසින් සේවනය කරණලදී. නොයෙක් පක්ෂීන්ගේ නාද ඇත්තාවූ මනා භූමි ප්‍රදේශවලින් යුක්තය. හිමවත් පර්වතය මෙන් මල්වලින් මනාව ගැවසී ගත්තේය.

ඒ පූර්ණක නම් යක්ෂතෙම මහත්වූ මාණික්‍ය රත්නයක් සොයමින් කිඳුරන්ගෙන් ගැවසී ගත්තාවූ මෙබඳුවූ වේපුල්ල නම් පර්වතයට නැංගේය. පර්වත කූට අතරෙහි ඒ මැණික දුටුයේය.

පැහැ විහිදෙන්නාවූ ජාතිමත්වූ කැමති සම්පත් ගෙණ දෙන්නාවූ මහත් මාණික්‍ය රත්නයක් පිරිවර මාණික්‍යවලින් බබළන්නාවූ යසස් ඇත්තාවූ අහස විදුළියක් මෙන් බබළන්නාවූ මාණික්‍යය දැක,

මහත් ආනුභාව ඇත්තාවූ මනෝහර නම් මාහැඟීවූ ඒ වෛදූර්‍ය්‍ය මාණික්‍යය ගත්තේය. අලාමක වර්ණ ඇති පූර්ණකතෙම එය ගෙණ ආජානීය අසුට නැගී අන්තරීක්ෂ නම් අහසින් ගියේය.

ඒ පූර්ණකතෙම ඉඳිපත් නුවරට ගියේය. අසු පිටින් බැස මානවක වේශයෙන් කුරු රජුන්ගේ සභාවටද ගියේය. යක්ෂතෙම නිර්භයව සමාගමයෙහි එක්ව උන් ඒ සියක් රජදරුවන් දූ කෙළියට කැඳවීය.

“මෙහි රජුන්ගෙන් කවරෙක් නම් මේ උතුම් මැණික දිනාගණීද මේ උතුම් ධනයෙන් අපි කවරක්හු දිනාගන්නෙමුද? දිනන්නාහුද කවර රජක්හු මේ උතුම්වූ රත්නයෙන් දිනම්ද, කවරෙක් හෝ මේ උතුම් ධනයෙන් දිනාදැයි” මෙසේ දූ කෙළියට කැඳවීය.

“එම්බා මානවකය, කවර නම් රටෙක්හි තොපගේ උපන් භූමිය වේද? තොපගේ මේ කථාව කුරු රට වැස්සෙකුගේ මෙන් නොවේ. ශරීර වර්ණයෙන් අප සියල්ලන් යටපත් කරන්නෙහිය. තොපගේ නාමයද නෑයන්ද මට කියවයි” රජතෙම කීයේය.

“මහරජ, මම කච්චායන නම් මානවක වෙමි. නොඅඩුවූ නම් ඇත්තෙකැයි මා කැඳවත්. අඟුරට මාගේ නෑයෝද බන්ධූහුද ඇත්තාහ. දෙවයන් වහන්ස, මම දූ කෙළිය සඳහා මෙහි පැමිණියේ වෙමියි” පූර්ණකතෙම කීයේය.

“අක්ෂධූර්තියෙක් තා දිනමින් යම් රත්නයන් හැර ගන්නේද, කිම මානවකවූ ඔබට එබඳු රත්න ඇත්තේද, රජහුට වනාහි බොහෝවූ රත්න ඇත්තාහ. එබඳුවූ රජුගේ දිළිඳුවූ නුඹ කෙසේ නම් දූ කෙළියට කැඳවන්නෙහි දැයි” රජ තෙම ඇසීය.

“කැමති වස්තුව ගෙණදෙන්නාවූ මහත් මාණික්‍ය රත්නයක්වූ මාගේ මේ මනෝහර නම් මාණික්‍ය රත්නයක් ඇත්තේය. සතුරන් තවන්නාවූ මේ ආජානීය අශ්වයෙක්ද සිටියි. අක්ෂධූර්තතෙම මාගේ මේ වස්තු දෙකම දිනා හැර ගෙණ යන්නේයයි” පූර්ණකයා කීවේය.

“එම්බා මානවකය තොපගේ මේ එක මැණික කුමක් කරන්නේද, මේ එකම ආජානීය අශ්වයාද කුමක් කරන්නේද, රජහුගේ භාණ්ඩාගාරයෙහි බොහෝ මාණික්‍ය රත්න ඇත්තාහ. වාතයට බඳු වේගඇති බොහෝවූ ආජානීය අශ්වයෝද රජුට ඇත්තාහුයයි” රජතෙම කීයේය.

දොහළකණ්ඩං නාම.

මණිකණ්ඩං

“දෙපා ඇත්තවුන්ට උතුම්වූ මහරජ නුඹ වහන්සේ මාගේ මේ මාණික්‍ය රත්නයද බලනු මැනව. මේ මාණික්‍ය රත්නයෙහි අලංකාරයෙන් සැරසුනාවූ ස්ත්‍රීන්ගේ ශරීරද පුරුෂයන්ගේ ශරීරද, පෙනෙත්.

“මේ මාණික්‍ය රත්නයෙහි මුවන්ගේ ශරීරද පක්ෂීන්ගේ ශරීරද පෙනෙත්. නාරජුන්ද ගුරුලන්ද මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලනු මැනවැයි” කීයේය.

“තවද හස්ති සේනාය රථසේනාය, අශ්වසේනාය ධජවලින් යුත් පාබල සේනාවද යන මේ සිව්රඟ සෙනග මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලව.

“ඇතරුවන්ද සේනාවෙහි සිටියවුන්ද රථවල සිටියවුන්ද, පාබල සේනාවෙහි වූවන්ද යන රැස්වූ සේනා සමූහයන් මේ මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලවයි” කීයේය

“වස්තුවෙන් යුක්තවූ බොහෝ ප්‍රාකාර හා තොරන් ඇති සතරමං සන්ධි ආදියෙහිවූ සිත්කළු භූමිවලින් යුක්තවූ නගරය මේ මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලව.

“ඉන්ද්‍රඛීලද දිය අගල්ද කණයමද අගුළු ඇති දොරවල්ද අටළුද දොරටුද මේ මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලවයි” කීයේය

“ඒ තොරන් අග හංසයෝද කොස්වාලිහිණද මොණරුද සක්වාලිහිණිද කබරුස්සෝද කොව්ලෝද බොහෝ විසිතුරුවූ පියාපත් ඇති කොව්ලෝද මොණරුද ජීවන් ජීවක පක්ෂීහුද යන බොහෝ නොයෙක් පක්ෂි සමූහ ඇත්තාහ. ඔවුන් බලාවා. නොයෙක් පක්ෂි සමූහයාගෙන් ගැවැසී ගත්තක් කොට මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලවයි” කීයේය

මනා ප්‍රාකාර ඇති අද්භූතවූ ලොමුඩැහැගන්නාවූ ඔසවනලද ධජ ඇති සිත්කළුවූ රුවන්වැලි අතුරණ ලද්දාවූ නගරය බලව.

“එහි කොටස් වශයෙන් ප්‍රමාණ කොට බෙදන ලද්දාවූ ආපන ශාලාවන්ද ගෘහයන්ද ගෘහවස්තූන්ද විනිවිද නොගිය විථීන්ද විනිවිද ගිය වීථින්ද නුඹ වහන්සේ බලනු මැනව.

“එහි සුරාපාන ශාලාවන්ද සුරා සොඬුන්ද අංගානිද මුළුතැන් ගෙවල්ද වෙෂ්‍යා ස්ත්‍රීන්ද ගණිකාවන්ද යන මේ සියල්ල මාණික්‍යයෙහි නිර්මිත කරණ ලද ආශ්චර්‍ය්‍යය බලව.

“මාලාකාරයන්ද රජකයන්ද සුවඳ විලවුන් විකුණන්නන්ද තවද වස්ත්‍ර විකුණන්නන්ද රන්කරුවන්ද මැණික් කරුවන්ද යන සියල්ල මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලනු මැනව.

“සූප කාරයන්ද අරක්කැමියන්ද නෘත්‍ය කරන්නවුන් හා නෘත්‍යයෙහි ගායනා කරන්නවුන්ද, අත්තල ගසන්නවුන් කල පිඹින්නන්ද යන මේ සියල්ල මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බලනු මැනවැයි” කීයේය.

“බෙරද මිහිඟු බෙරද සක්ද පනාබෙරද ගැටබෙරද ඇත්තාහ. එය බැලුව මැනව, සියලුම තූර්‍ය්‍ය විශෙෂද මේ මැණිකෙහි නිර්මිතව පෙණෙන ආකාරය බැලුව මැනව.

“මෙහි කුළුතාලම්ද වීණාද නැටීම් ගී කීම්ද මනා තූර්‍ය්‍යවාදනයද වේ වාදනය කිරීමෙන් ඝෝෂා කරණ ලද තූර්‍ය්‍යභාණ්ඩද මේ මැණිකෙහි නිර්මිතව තිබෙන ආකාරය බැළුව මැනව,

“මෙහි කරණම් පනින්නෝද මුෂ්ටි යුද්ධ කරන්නෝද ඉන්ද්‍රජාලිකයෝද නුවර හොබවන්නෝද ඇත්තාහ. ඔවුන් බැලුව මැනව. වන්දිභට්ටයන්ද කරනැවෑමියන්ද මේ මැණිකෙහි මැවුනු ආශ්චර්‍ය්‍යය බැලුව මැනවැයි” කීයේය.

“මෙහි ස්ත්‍රී පුරුෂයන්ගෙන් ගැවසීගත්තාවූ මැසි පිට මැසි බඳින ලද භූමි ඇති නෘත්‍යස්ථානද වෙත්. එය මේ මැණිකෙහි මැවී පෙනෙන ආකාරය බැලුව මැනවයි” කීයේය.

“මල්ලව පොර අල්ලන නෘත්‍යස්ථානයෙහි දෙගුණ කොට අත්පොළසන් දෙන්නවුන්ද ජයගෙණ සිටියවුන්ද පැරදුනවුන්ද මේ මැණිකෙහි නිර්මිතව තිබෙන ආකාරය බැලුව මැනවයි” කීයේය.

“මෙහි පර්වතයෙහි පාදයන්හිවූ බොහෝවූ නොයෙක් මෘග සමූහයෝ වෙත්. ඔවුන් බැලුව මැනව, සිංහයෝද ව්‍යාඝ්‍රයෝද ඌරෝද වලස්සුද කොක්නාවෝද කළුහිස් වලස්සුද ඇත්තාහ.

“කඟවේන්නුද ගවරුද මීමෝද රෝහිත මුවෝද රූරුනම් මුවෝද ඒනිමුවෝද වරාහ මෘගයෝද ගෝන්නුද මෘග සූකරයෝද මෙහි ඇත්තාහ.

“තවද කෙසෙල් මුවෝද බොහෝ විසිතුරු මෘගයෝද වල් බළල්ලුද සාවෝද මීමින්නෝද යන මේ නොයෙක් මෘග සමූහයාගෙන් ගැවසීගත් මේ මැණිකෙහි නිර්මිතව පෙනෙන ආකාරය බැලුව මැනවයි” කීයේය.

“මෙහි මනා තොටුපල ඇත්තාවූ රන්වැලි අතුරණ ලද්දාවූ ජලයෙහි මත්ස්‍ය සමූහයන් විසින් නිතර සේවනය කරණ ලද්දාවූ ගංගාවෝ ප්‍රසන්න ගලා බසිත්.

“තවද එහි කිඹුල්ලුද මෝරුද පැටි කිඹුල්ලුද කැස්බෝද පෙටියෝද ලුල් මස්සුද වලපොත්තෝද මුද්දුද රේ මස්සුද යන මොහු ඇත්තාහ. ඔවුන් බැළුව මැනවැයි” කීයේය.

“එහි නොයෙක් වෘක්ෂ සමූහයාගෙන් ගැවසීගත්තාවූ නොයෙක් පක්ෂි සමූහයාගෙන් යුක්තවූ වෛඩූර්‍ය්‍යමය පාෂානයන්හි හැපී ශබ්ද නගන්නාවූ ගංගාවෝ වෙත්. ඔවුන් මේ මැණිකෙහි මැවීතිබෙන ආකාරය බැලුව මැනවයි” කීයේය.

“තවද මෙහි සතර දිග මනාව බෙදන ලද්දාවූ නොයෙක් පක්ෂි සමූහයාගෙන් ගැවසීගත්තාවූ මත්ස්‍යයන් විසින් නිතර සේවනය කරණ ලද්දාවූ පොකුණු වෙත්. ඔවුන් බැළුව මැනව.

“හාත්පස ජලයෙන් පිරුණාවූ සාගරය කුණ්ඩලාභරණ කොට ඇති වන රොද වලින් යුක්තවූ පෘථිවිය මේ මැණිකෙහි මැවී තිබෙන ආශ්චර්‍ය්‍යය බැලුව මැනවයි” කීයේය.

“පෙර දිගින් පූර්වවිදෙහයද පසු දිගින් අපරගෝයානයද උතුරුදිගින් උතුරුකුරු දිවයිනද දකුණෙන් දඹදිවද මේ මැණිකෙහි නිර්මිතවූ ආකාරය බැළුව මැනව.

“තවද මෙහි සතර දිශාවන් බබුළුවන්නාවූ සඳද හිරුද බැළුව මැනව. මහමෙර හාත්පස ගමන් කරන්නාවූ මොවුන් මැණිකෙහි නිර්මිතව පෙනෙන ආකාරය බැළුව මැනව.

“තවද මහමෙරද හිමවත ද සාගරයද මහත් ඍද්ධි ඇත්තාවූ සතරවරම් මහා රජදරුවන්ද මේ මැණිකෙහි මැවී තිබෙන අයුරු බැළුව මැනව.

“තවද ආරාමයන්ද වනලැහැබ්ද ගල්තලාවන්ද සිත්කළුවූ කිඳුරන්ගෙන් ගැවැසීගත්තාවූ පර්වතයන්ද මේ මැණිකෙහි මැවී පෙනෙන ආකාරය බැළුව මැනව.

“තවද බොරළු දමුණු වනයද චිත්‍රලතා වනයද මිශ්‍රක නම් වනයද නන්දන වනයද වෛජයන්ත ප්‍රාසාදයද මේ මැණිකෙහි මැවී පෙනෙන ආකාරය බැළුව මැනව.

“තවද සුධර්මානම් දිව්‍ය සභාවද තව්තිසා භවනයද පිපියාවූ පරසතු රුකද එෛරාවන නම් දිව්‍ය හස්තී රාජයාද මේ මැණිකෙහි නිර්මිතව පෙනෙන ආකාරය බැළුව මැනව.

“තවද මෙහි අහසින් පැනනැගි විදුලිය බඳු දිව්‍ය කන්‍යාවන් බැළුව මැනව. නන්දනොද්‍යානයෙහි හැසිරෙන දිව්‍ය ස්ත්‍රීන් මේ මැණිකෙහි නිර්මිතව පෙනෙන ආකාරය බැළුව මැනව.

“තවද මෙහි දිව්‍ය සුත්‍රයන් පොළඹවන්නාවූ දිව්‍ය කන්‍යාවන් බැළුව මැනව. එහි හැසිරෙනු ලබන දිව්‍ය පුත්‍රයන්ද මේ මැණිකෙහි නිර්මිතව පෙණෙන ආකාරය බැළුව මැනවයි” කීයේය.

“තවද එහි වෛඩූර්‍ය්‍යමය පුවරු අතුරණ ලද බබළන්නාවූ වර්ණයෙන් යුක්ත දහසකටත් වැඩි දිව්‍ය ප්‍රසාදයන් මේ මැණිකෙහි නිර්මිතව පෙනෙන ආකාරය බැළුව මැනව.

“තවද තවතිසා වැසි දෙවියන්ද යාම නම් දෙවියන්ද තුසිත නම් දෙවියන්ද නිම්මානරතීනම් දෙවියන්ද පර්නිම්මිතවසවර්ති නම් දෙවියන්ද මේ මැණිකෙහි නිර්මිතව පෙනෙන ආකාරය බැළුව මැනව.

“තවද මෙහි විශෙෂයෙන් ප්‍රසන්නවූ ජලය ඇති පවිත්‍රවූ හෙල්මැලි වලින්ද පියුම් උපුල් වලින්ද ගැවසීගත්තාවූ පොකුණු ඇත්තාහ. ඔවුන් බැළුව මැනවයි” කීයේය.

“තවද මේ මාණික්‍ය රත්නයෙහි සුදුඉරි දසයක්ද සිත්කළුවූ නිල්ඉරි දසයක්ද පිඟුවන් ඉරි සයක් හා පසළොසක් ද කසාවන් ඉරි තුදුසක්ද වෙත්.

“එහි රන්වන් ඉරි විස්සක්ද රිදී පැහැති ඉරි විස්සක්ද රතිදු ගොව්වන්ගේ පිට පැහැ බඳු ඉරි තිසක් පමණද දක්නා ලැබෙත්.

“තවද මෙහි කළු ඉරි දශයක් හා සයක්ද මදටියවන් ඉරි විසි පහක්ද වෙත්. ඒ කළුවූද මදටිය වන්වූද ඉරි බඳුවද මල් වලින් හා නිළුපුල් වලින් මිශ්‍රවූවාහු විසිතුරුව පැණෙත්.

“දෙපා ඇත්තවුන්ට උතුම්වූ මහරජුනි, මෙසේ සියලු අංගයන්ගෙන් යුක්තවූ රශ්මි ඇත්තාවූ පැහැ විහිදෙන්නාවූ මේ මාණික්‍ය රත්නය සුන්වත් කොටස වශයෙන් බැළුව මැනවයි” කීයේය.

මණිකණ්ඩං නාම.

අක්ඛකණ්ඩං

“මහරජ, සූදු ශාලාවෙහි කටයුතු නිමවන ලදී. මෙබඳු මාණික්‍ය රත්නයක් ඔබට නැත. පසැටින් ක්‍රීඩා කරණ තැනට එළඹුන මැනව. ක්‍රීඩාකරන්නාවූද අපි සැහැසිකමින් නොව දැහැමින්ම දිනන්නෙමු දිනන ලද්දේද අපට වහා ධනය දුන මැනවයි” පූර්ණකයා රජුට කීයේය.

“පඤ්චාල රජුද ප්‍රසිද්ධවූ ශූරසේන නම් රජුද මච්ඡ නම් රටෙහි රජු ද කේතක ජනපදවාසී රජුන් හා මදුරට රජුද යන ඒ රජවරු කෛරාටික නොවීමෙන් අපගේ මේ දක්ෂ යුද්ධය බලත්වා. මේ සභාවෙහි කිසිවෙකුට කිසිවෙක් සාක්ෂි නොකරන්නේ නොවේ හෙවත් අප්‍රමාද වව්යයි” යක් සෙනෙවිතෙම ඒ රජුන් සාක්ෂිකරුවන් කෙළේය.

කුරුරට වැස්සන්ගේ රජ තෙමේද පූර්ණක නම් යක්ෂ තෙමේද යන අක්ෂ මදයෙන් මත්වූ ඔව්හු සූදු ශාලාවට ඇතුල්වූහ.

රජතෙම සොයමින් පරාජයවන අය ගත්තේය. පූර්ණක නම් යක්ෂතෙම දිනන අය ගත්තේය.

ඔවුන් ඒ සුදු ශාලාවෙහි දූ කෙළියට පැමිණි කල්හි ඒ දෙදෙන දූ කෙළියහ. රජුන් සමීපයෙහිද යහළුවන්ගේ මද්ධ්‍යයෙහිද ඒ යක්ෂතෙම නරවර ශ්‍රෙෂ්ඨවූ රජහු පරදවා ජයගත්තේය. ඒ සූදුවෙහි මා විසින් දිනන ලදැයි මහත්වූ ශබ්දයෙක් වූයේය.

“මහරජතුමනි, ජයද පරාජයද ව්‍යායාම් කරන්නවුන්ගෙන් එක්තරා එකෙකුම වේ. ජනාධිපතිතුමනි, ඔබ වහන්සේ උතුම්වූ ධනයෙන් පිරිහුනේ වෙහි. මා විසින් දිනන ලද්දේද වේ. වහා මට දිනුම දෙවයි” පූර්ණකතෙම කීයේය.

“එම්බා කාත්‍යායනය, ඇත්තුද ගවයෝද අශ්වයෝද මාණික්‍ය කුණ්ඩලාභරණද යන මාගේ යම්කිසි රත්න සමූහයක් මේ පෘථිවියෙහි ඇද්ද, ධනයන්ගෙන් උතුම්වූ ඒ වස්තුව හැරගණුව. ඒ වස්තුව හැරගෙණ යම් දිශාවකින් යනු කැමැත්තෙහි නම් ඒ දිශාවෙන් යවයි” රජතෙම කීයේය.

“මහරජ, ඇත්තුද ගවයෝද අශ්වයෝද මාණික්‍ය කුණ්ඩලාභරණද යන මේ පොළොවෙහි ඔබගේ යම්කිසි රත්න සමූහයක් ඇද්ද ඔවුන් අතුරෙන් විධුර නම්වූ ඇමති තෙම උතුම්වේ. හෙතෙම මා විසින් දිනන ලදී. ඔහු මට දෙවයි” පූර්ණකතෙම කීයේය.

“එම්බා මානවකය, හෙතෙම මාගේ ආත්මයද සරණද ගතියද පිහිටද සැඟවෙන තැනද උතුම් ප්‍රතිෂ්ඨාවද වේ. හෙතෙම මාගේ වස්තුව හා සමාන කළ නොහැක්කේය. මේ විධුර පණ්ඩිතතෙම මාගේ ප්‍රාණය හා සමවේයයි” රජ තෙම කීයේය.

“මහරජ, මාගේද ඔබගේද විවාදය බොහෝකලක් ඇතිවන්නේය. එබැවින් ඒකාන්තයෙන්ම ඔහු වෙතටම ගොස් විචාරමු. මෙතෙමේම මේ කාරණය අපට ප්‍රකාශ කෙරේවා. හෙතෙම යමක් කියාද අප දෙදෙනාගේ කථාව එපමණ වේවායි” පූර්ණකයා කීයේය.

“එම්බා මානවකය, ඒකාන්තයෙන්ම නුඹ සැබවක් කියන්නෙහිය. සාහසික වචනයක්ද නොකියන්නෙහිය. ඔහු වෙතම ගොස් විචාරමු. ඔහුගේ ප්‍රකාශයෙන් අපි දෙදෙනා සතුටු වන්නෙමුයි” රජතෙම කීයේය.

“කුරු රටෙහි ධර්මයෙහි පිහිටියාවූ විධුර නම් අමාත්‍යයෙක් වේයයි දෙවියෝ ප්‍රකාශ කරත්. ඒ සැබවක්ද, ඔබ රජහුගේ දාසයෙක් වෙහිද නොහොත් නෑයෙක් වෙහිද, ලෝකයෙහි විධුරය යන නාමය කවරක් වීදැයි” පූර්ණකයා ඇසීය.

“සමහර කෙනෙක් දාසියගේ කුසෙහි දාසයෙකුට දාව උපන් දාසයෝද වෙත්. සමහරු වස්තුවදී මිලයට ගන්නා ලද්දාහුද දාසයෝ වෙත්. සමහරු තුමූම දාස බවට පැමිණියාහුද වෙත්. සමහරු රාජ භය ආදියෙන් තමාගේ වසඟයට පැමිණියාහුද දාසයෝ වෙත්.

“මිනිසුන් අතර මේ දාසයෝ සතර කොටසක් වෙත් මානවකය, ඒකාන්තයෙන් මමද මේ එක්තරා දාස යෝනියකින් උපන්නෙක් වෙමි. රජහට වැඩක් හෝ වේවා. රජහට අවැඩක් හෝ වේවා. අන් තැනකටද ගොස් මම දේවයන් වහන්සේගේ දාසයා වෙමි. රජතෙම මා දිනූ ධනය වශයෙන් දැහැමින් ඔබට දෙන්නේයයි” විධුර පණ්ඩිතතෙම කීයේය.

“අද මාගේ මේ දෙවැනි දිනීමවේ. විචාරණ ලද්දාවූ ඇමතිතෙමේ වනාහි ප්‍රශ්නය විසඳූයේය. රාජොත්තම තෙමේ ඒකාන්තයෙන් අධර්ම ස්වභාව ඇත්තෙකි. විධුර පණ්ඩිතයා විසින් ප්‍රශ්නය මනාකොට විසඳන ලදී. කුමක්හෙයින් මට අවසරය නොදෙන්නෙහිදැයි” පූර්ණකයා කීයේය.

“ඉදින් හෙතෙම අපගේ ප්‍රශ්නය මම දාසයෙක් වෙමියි නෑයෙක් නොවෙමියි මෙසේ විසඳීනම්, කච්චාන නම් මානවකය, ධන අතරෙන් උතුම් ධනයවූ මොහු ගණුව. හැරගෙණද යම් දිසාවකින් කැමැත්තෙහි නම් ඒ දිශාවෙන් යවයි” රජතෙම කෝපයෙන් කීයේය.

අක්ඛකණ්ඩං නාම.

ඝරාවාසපඤ්හා

“එම්බා විධුර පණ්ඩිතය, ස්වකීය ගෘහයෙහි වාසය කරන්නාවූ ගෘහස්ථයාගේ නිර්භයවූ පැවැත්ම කෙසේ වන්නේද, සිව්වැදෑරුම් සංග්‍රහය කෙසේ වන්නේද?

“නිදුක් බව කෙසේ වන්නේද? කෙසේ නම් මානවකතෙම සත්‍යවාදී වන්නේද? මෙලොවින් පරලොව ගොස් කෙසේ නම් ශොක නොකෙරේදැයි” රජතෙම ඇසීය.

ඒ ධර්ම සභාවෙහි ඤාණගතියෙන් යුක්තවූ නුසුන් වීර්‍ය්‍ය ඇති මහත් ප්‍රඥාව ඇති අර්ථදැකීම් ඇති සියලු ධර්මයන් දන්නා නුවණ ඇති විධුරපණ්ඩිතතෙම ඒ රජුට මෙය කීයේය.

“මහරජ, සාධාරණ දාරාවන් ඇත්තෙක් නොවන්නේය. මිහිරි දෙය තනිව නොවළඳන්නේය. ලෝකායත නම් විතණ්ඩ ශාස්ත්‍රය සේවනය නොකරන්නේය. මෙය ප්‍රඥාවගේ වැඩීමට හේතු නොවෙයි.

“සිල් ඇත්තේද වතින් යුක්තවූයේද කුශල ධර්මයන්හි ප්‍රමාද නොවූයේද විචක්ෂණවූයේද යටහත් පැවතුම් ඇත්තේද, තද මසුරු නොවූයේද සුරත භාවයෙන් යුක්තවූයේද මිහිරි වචන ඇත්තේද මෘදුවූයේද වන්නේය.

“මිත්‍රයන් සංග්‍රහ කරන්නේද, දානසංවිභාග කිරීම ඇත්තේද, සියලු කටයුතුවල විධාන කිරීම ඇත්තේද, හැම කල්හි ආහාරපානයෙන් මහණ බමුණන් සතුටු කරන්නේද,

“දහම් කැමැතිවූයේ ශ්‍රැතයට ආධාරවූයේ මහණ බමුණන්ගෙන් පිළිවිසීම ස්වභාවකොට ඇත්තෙක් වන්නේය. සිල්වතුන්ද බොහෝ උගතුන්ද සකස්කොට ඇසුරු කරන්නේය.

“ස්වකීය ගෘහයෙහි ගෘහවාසයෙන් වාසය කරන්නාවූ ගෘහස්ථයාගේ නිර්භයවූ පැවැත්ම මෙසේ වන්නේය. සංග්‍රහයද මෙසේ වන්නේය.

නිදුක් බව ඇත්තේද මෙසේම වන්නේය. මෙසේ පිළිපන්නාවූ මානවකතෙම සත්‍යවාදීද වන්නේය. මෙලොවින් පරලොවට ගොස් මෙසේ පරලොවදී ශොක නොකෙරේ යයි” විධුර පණ්ඩිතතෙම කීයේය.

ඝරාවාසපඤ්හා නාම.

ලක්ඛණකණ්ඩං

“එව දැන් යන්නෙමු. ඔබ ස්වාමියා විසින් මට දෙන ලද්දේ වෙහි. මාගේම වැඩට එළිපදුව. මේතෙම පුරාතනයන් ගේ ස්වභාව ධර්මයවේයයි’ පූර්ණකතෙම කීයේය.

“මානවකය, නුඹ විසින් මම දිනාගන්නා ලද්දේ වෙමියි දනිමි. මම අපගේ රජහු විසින් තොපට දෙනලද්දේ වෙමි. යම් පමණ කලකින් අපි පුත්‍රදාරාවන්ට අනුශාසනා කරමුද, එපමණවූ තුන්දවසක් කල් අපගේ ගෙහි වාසය කරමුයි” විධූර පණ්ඩිතතෙම කීයේය.

“ඔබ යමක් කියන්නෙහි නම් ඒ සියල්ල මට එසේ වේවා. තුන් දවසක් ඔබගේ ගෙහි වසමු. පින්වතා අද ගෘහයන්හි කටයුතු කෙරේවා යම්සේ ඔබ ගිය කල්හි පසුව අඹුදරු සමූහයා සුවපත් වන්නේද එපරිද්දෙන් පින්වතා අද අඹුදරුවන්ට අනුශාසනා කෙරේවායි” මානවකතෙම කීයේය.

බොහෝ සම්පත් ඇති යක්ෂතෙම මැනවයි කියා විධුර පණ්ඩිතයන් සමග ගියේය. ආර්‍ය්‍ය ශ්‍රෙෂ්ඨවූ යක්ෂතෙම ඇතුන් හා ආජානීය අසුන්ගෙන් ගැවසීගත්තාවූ ඒ අන්තඃපුරයට ඇතුල්වූයේය.

කොඤ්ච නම්වූද මයුර නම්වූද පියකේත නම්වූද ප්‍රාසාද තුනක් එහි වෙත්. ඒ ප්‍රාසාද අතුරෙන් ඉතා සිත්කළු ස්වභාව ඇති බොහෝවූ කෑයු තු දෑ ඇති බොහෝ ආහාර පාන ඇත්තාවූ ශක්‍රයාගේ ශක්‍රපුරය වැනිවූ තමන් වසන ප්‍රාසාදයට විධුරතෙම යක්ෂයා කැඳවාගෙණ ගියේය.

දෙව්ලොව දිව්‍යප්සරාවන් මෙන් මනාව සැරසුනාවූ ස්ත්‍රීහු ඒ ප්‍රාසාදයෙහි නටත්. ගායනා කරත්. වරින්වර කැඳවත්.

දහම් රක්නාවූ පණ්ඩිතතෙම යක්ෂයා ස්ත්‍රීන් හා සමගිකොට ආහාරයෙන්ද පානයෙන්ද එක්කොට හිතවැඩම කල්පනා කරමින් එකල්හි භාර්‍ය්‍යාවගේ සමීපයට ඇතුල් වූයේය.

සුවඳ සඳුන් දියෙන් ගල්වන ලද ජාම්බෝනද ස්වර්ණ නිෂ්කයකට බඳු ශරීර ඇති ඒ භාර්‍ය්‍යාවට “තඹවන් නෙත්‍ර ඇති පින්වතිය මෙහි එව. මාගේ වචනය අසව. මාගේ දරුවන් කැඳවවයි” කීයේය.

අනුජ්ජා නම් ඒ භාර්‍ය්‍යාතොමෝ ස්වාමිහුගේ වචනය අසා “නිළුපුල් මල් බඳු ස්‍යාම වර්ණ ඇති දෙවතාවෙනි ආභරණවලින් සැරසුනාවූ මාගේ දරුවන් කැඳවාවයි” තඹවන් නිය ඇති මනා ඇස් ඇති යෙහෙළියට කීවාය.

මහබෝසත්තෙම කම්පානොවෙමින් එහි ආවාවූ ඒ දරුවන් මස්තකයෙහි සිඹ ආමන්ත්‍රණය කොට “මම මෙහි මේ මානවකයාට රජු විසින් දෙනලද්දේ වෙමියි” යන වාක්‍යය කීයේය.

“අද මම තමන් සතු සැපයෙන් යුක්තවූයෙම් ඉන් පසු ඔහුට යටත්වූවෙක් වෙමි. හෙතෙම මා හැරගෙණ යම් මගකින් කැමැති නම් ඒ මගින් යයි මම වනාහි තොපට අනුශාසනා කරන්ට ආයේවෙමි. කෙසේ නම් මම ආරක්ෂාවක් නොකොට යන්නෙම්ද?

“ඉදින් තොපගෙන් බොහෝවූ කාම සම්පත් ඇති ජනයන් පාලනය කරන්නාවූ කුරුරට වැසි රජතෙම මින් පෙර කවර නම් පැරණි දෙයක් තෙපි දනිව්ද, පළමු පියතෙම තොපට කිනම් අනුශාසනාවක් කෙළේදැයි අසන්නේ නම් මෙසේ කියව්.

“ඉදින් තොපට රජතෙම තෙපි සියල්ලෝ මා හා සමාන ආසන ඇත්තෝ වව් යයි කී කල්හි මේ රාජ කුලයෙහි කවර නම් මනුෂ්‍යයෙක් රජහු ඉක්මවා ඉන්නේදැයි ඒ රජුට ඇඳිලිකොට මෙසේ කියව් ‘දේවයන්වහන්ස, මෙසේ නො කියනුමැනව. මෙතෙම අපගේ ප්‍රවේනි ධර්මය නොවේ. දේවයන් වහන්ස, සිංහ රාජයෙකුට නීච ජාති ඇති හිවලෙක් කෙසේ නම් සම සම අසුන් ඇත්තෙක් වන්නේදැයි’ කියවයි” අවවාද කෙළේය.

ලක්ඛණකණ්ඩං නාම.

රාජවසති

ඉක්බිති නොසැඟවුණු චිත්ත සංකල්පනා ඇති ඒ විධුර පණ්ඩිතතෙම මිත්‍රයන්ටද, ඇමැතියන්ටද, නෑයන්ටද, සුහද ජනයන්ටද මෙය කීයේය.

“පින්වතුනි, මෙහි එව්. යම්සේ රජකුලයට පැමිණියාවූ පුරුෂතෙම යශසට පැමිණේද එබඳුවූ මා කියන්නාවූ රාජ පරිචර්‍ය්‍යාව මාස කීපයෙහි හිඳ අසව්යයි” කීයේය.

“රජ ගෙදරට පැමිණියාවූ අප්‍රකට ගුණ ඇත්තේ යශස නොම ලබයි. ශූර නොවූ තැනැත්තේද නොලබයි. දුෂ්ප්‍රාඥ තැනැත්තේද නොලබයි. ප්‍රමාදවූ තැනැත්තේද, කිසි කලෙක යශස නොලබයි.

“යම් කලෙක මේ සේවකයාගේ ශීලයද හෙවත් ආචාර සම්පත්තියද, ඤාණශක්තියද, පිරිසිදුකමද දැනගණීද, එකල්හි රජතෙම ඔහු කෙරේ විශ්වාස කෙරේ. සැඟවියයුතු රහසද ඔහුට නොසඟවායයි” කීයේය.

“දැඩිකොට ගන්නාලද සමවූ දඬු ඇති මනාව දරණ ලද තරාදිය උස් පහත් නොවන්නාක් මෙන් අණ ලද්දාවූ රාජ සේවකතෙම කම්පා නොවන්නේ නම් හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“දැඩිව ගන්නා ලද සමවූ දඬු ඇති මනාව දැරූ තරාදිය මෙන් රාජසේවකතෙම සියලු රාජකෘත්‍යයන් කරන්නේවේද හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“නුවණැත්තාවූ යම් රාජසේවකයෙක් දාවල් හෝ ඉදින් රාත්‍රි හෝ රාජ කෘත්‍යයන්හි අණ දෙනලද්දේ කම්පා නොවන්නේද හෙතෙම රාජකුලයෙහි වාසයෙන් වාසය කරන්නේය.

“නුවණැති සේවකතෙම ඉදින් දාවල් හෝ රාත්‍රියෙහි හෝ රාජකෘත්‍යයන්හි, සියල්ල සම්පූර්ණකරන්නේවේද හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“රජුට මනාව කරණලද, මනාව පිළියෙල කළාවූ යම් මාර්ගයක් වන්නේද, කියන ලද්දාවූද හෙතෙම ඒ මාර්ගයෙන් නොයන්නේද, හෙතෙම රාජකුලයෙහි වාසයෙන් වාසය කරන්නේය.

“යමෙක් රජුගේ කාමභොගයන්ට සමානව කිසි කලෙකත් කාම සම්පත් අනුභව නොකරන්නේද, සෑමතන්හි රජුට පසුවම යන්නේද හෙතෙම රාජකුලයෙහි වාසයෙන් වාසය කරන්නේය.

“රජුට සමානව වස්ත්‍රයක් නොහඳින්නේද මල් මාලාවක් නොදරන්නේද, විලෙපනයක් නොගල්වන්නේද, ආකාරයක් හෝ ශබ්දකිරීමක් හෝ රජුට සමානව නොකරන්නේද, අන්‍යවූම ආකාරයක් කරන්නේද හෙතෙම රාජකුලයෙහි වාසයෙන් වාසය කරන්නේය.

“රජතෙමේ ඇමැතියන් විසින්ද, ස්ත්‍රීන් විසින්ද, පිරිවරණලදුව ක්‍රීඩා කරන්නේද, එකල්හි නුවණැති ඇමැතිතෙම රාජ ස්ත්‍රීන් කෙරෙහි විශ්වාස බවක් නොකරන්නේය.

“උඩඟු නොවූ නොසැරසෙනසුළුවූ මේරූ නුවණ ඇති සංවරවූ ඉන්ද්‍රියයන් ඇති මනාව තැන්පත්වූ සිත් ඇති හෙතෙම රජුවෙත පැමිණ වාසය කරන්නේයයි” කීයේය.

“යමෙක් ඒ රජහුගේ ස්ත්‍රීන් සමග ක්‍රීඩා නොකරන්නේද, රහසිගතව මන්ත්‍රණය නොකරන්නේද, ඒ රජහුගේ භාණ්ඩාගාරයෙන් ධනය සොරකම්කොට නොගන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යමෙක් නිදන්නවුන්ගෙන් බොහෝකොට නිදමියි නොහඟින්නේද, මත්වීම පිණිස සුරාපානය නොකරන්නේද, ඒ රජහුගේ අභය ස්ථානයෙහි මුවන් නො නසන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යමෙක් ඒ රජහුගේ පුටුවකට නොනගින්නේද, ඇඳකට නොනගින්නේද, බඳවෙළුවකට නොනගින්නේද, ඇතෙකුටද, රථයකටද මම සම්මත කරණ ලද්දේ වෙමියි, නොනගින්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යම් නුවණැත්තාවූ සේවකයෙක් තෙම රජුට ඉතා දුර තන්හි නොවන්නේද, ඉතා ලංව නොසිටින්නේද, ඒ රජුගේ කටයුතු බලමින් ස්වකීය ස්වාමිහුට පෙනෙමින් සිටින්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“රජතෙම ඒකාන්තයෙන් යහළුවෙක් නොවේ රජතෙමේ තමා හා සමානවූවෙක් නොවේ. වී නණ්ඩුවකින් ගටනාලද ඇසක් මෙන් රජවරු වහා කිපෙත්. රජ විසින් පුදනලද දේ යයි හඟිමින් නුවණැති පණ්ඩිතවූ සේවක පුරුෂතෙම පිරිස් මැදට පැමිණියාවූ රජුට පරුෂවූ කථා නොකරන්නේයයි” කීයේය.

“යමෙක් ලබනලද දොරටු ඇත්තේ දොරටුව ලබන්නේද, රජුන් කෙරෙහි නොම විශ්වාස කරන්නේද, ගින්නක් ලඟ මෙන් අප්‍රමාදයෙන් යුක්තව සිටින්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“රජතෙම ස්වකීය පුත්‍රයාට හෝ ස්වකීය සහෝදරයාට හෝ ගම්වලින් හෝ නියම්ගම්වලින් හෝ රටෙහිවූ ජනපදවලින් හෝ යමක් දෙමියි, සේවකයන් සමග කථාකෙරේද, එකල්හි සේවකතෙම නිශ්ශබ්දව මධ්‍යස්ථ වන්නේද, එහි ගුණයක් හෝ අගුණයක් හෝ නොකියන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“ඇතරුවන්ද, අසරුවන්ද, රථවල නගින්නවුන්ද පාබල සේනාවන්ද යන ඔවුන්ගේ කර්මාන්ත හා චරිත බලා රජතෙම වැටුප් වැඩිකරයි. යම් සේවකයෙක් ඔවුන්ගේ ලාභයට අන්තරා නොකරන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“ප්‍රාඥවූ යම් සේවකයෙක් දුන්නක් මෙන් අඩුවූ උදර ඇත්තේද, හුණ ගොබයක් මෙන් කම්පා වීමෙන් යුක්තද, රජුට විරුද්ධව නොපවත්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යමෙක් දුන්න මෙන් අඩුවූ උදර ඇත්තෙක් වන්නේද, මත්ස්‍යයෙකු මෙන් මදවූ කථා ඇති බැවින් දිව නැත්තෙක් වන්නේද, මදවූ අනුභව කිරීම ඇති මේරූ නුවණ ඇති ශූරවූ හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යමෙක් තේජස් පිරිහීම දකිමින් නැවත නැවත ස්ත්‍රීයකරා නොයන්නේද, එසේ යන්නාවූ ක්ෂීණවූ නුවණ ඇති පුරුෂතෙම කෘෂයටද ස්වාසයටද කායද රථයටද, දුර්වල බවටද පැමිණේ.

“දරුවෙනි, රජුන් සමීපයෙහි පමණ ඉක්මවා කථා නොකරන්නේය. හැමකල්හි නිශ්ශබ්ද නොවන්නේය. සුදුසු කාලයෙහි නොවිසිරුනාවූ ප්‍රමාණවත්වූ වචනය කියන්නේය.

“නොකිපෙනසුළුවූ අනුන් නොගටන්නාවූ සත්‍යය සියුම්වූ ප්‍රිය ශූන්‍ය නොවූ වචන ඇත්තෙක් වන්නේද, යමෙක් නිරර්ථක කථා නොකියන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යමෙක් මව්පියන් පෝෂණය කරන්නෙක් වන්නේද, කුල දෙටුවන් පුදන්නෙක් වන්නේද, ලජ්ජා භය දෙකින් යුක්තවූවෙක් වන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යම් සේවකයෙක් හික්මුණාවූ ශිල්ප දන්නාවූ දමනයවූ සම්පාදනයවූ ආත්ම ඇති නිශ්චලවූ අධික මාන රහිතවූ අප්‍රමාදවූ පවිත්‍රවූ උපස්ථාන කිරීමෙහි දක්ෂයෙක්වේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යමෙක් යටත් පැවතුම් ඇත්තේ වෘද්ධයන් කෙරෙහි ආදර ගෞරව සහිතවූයේ සුරතවූයේ සැපවූ යහපත් වචන ඇත්තේවේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යමෙක් අන් රජුන් විසින් සහනය කරන්ට එවන ලද ජනයා දුරින්ම දුරුකරන්නේද, තම ස්වාමියාම බලන්නේද අන් රජෙකුට ලං නොවන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යමෙක් සිල්වත්වූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද සකස්කොට ඇසුරු කරන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යමෙක් සිල්වත්වූ බොහෝ උගත් ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද සකස්කොට අනුව වාසය කරන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යමෙක් සිල්වත්වූ බොහෝ දැන උගත්කම් ඇති ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද ආහාරපාන දීමෙන් සතුටු කරන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යමෙක් සිල්වත්වූ බහුශ්‍රැතවූ ශ්‍රමණයන්ද බ්‍රාහ්මණයන්ද යන පණ්ඩිතයන් වෙත පැමිණ තමහට අභිවෘද්ධිය පතමින් සේවනය කරන්නෙද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යමෙක් මහණ බමුණන්ට පෙර දුන් දානය නොපිරිහෙළන්නේද, දෙන්නාවූ කල්හි ආවාවූ යාචකයන්ට දෙන කිසිවකුත් නොවලක්වන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“විමසන නුවණින් යුක්තවූ විකල නොවූ බුද්ධි ඇති නොයෙක් සංවිධාන කොටස්වල දක්ෂවූ සුදුසු කල් දන්නාවූ කටයුතු කිරීමෙහි කාලය දන්නාවූද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“යමෙක් තමන්ගේ කටයුතුවල උත්සාහවත්වූ අප්‍රමාදවූ දක්ෂවූ මනාකොට කරණලද කර්මාන්ත ඇත්තෙක් වේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“තවද යමෙක් කලවිටද ශාලාවටටද ගව ගාලටද කුඹුරටද නිතර යන්නෙකුත් වන්නේද මනිනලද ධාන්‍යය කොටුවල තැන්පත් කරන්නේද මනිනලදුවම ගෘහයෙහි පිසවන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“තවද ශීලයන්හි නොපිහිටියාවූ ස්වකීය පුත්‍රයෙකු හෝ සහෝදරයෙකු හෝ තනතුරෙහි නොතබන්නේද, අඥානවූ ඔහු වනාහි අංග සමානයෝ නොවෙත්. පරලොව ගියහු යම්සේද ඔව්හුද එසේමැයි. ඇවිත් ඉඳගත්තාවූ ඔවුන්ට වස්ත්‍ර කඩක්ද ආහාරයක්ද පමණක් දෙවන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“ශීලයන්හි මනාව පිහිටියාවූද දාසයන්ද කම්කරුවන්ද පණිවිඩකාරයන්ද දක්ෂවූ වීර්‍ය්‍යයෙන් යුක්තවූවන්ම අධිපති බැව්හි තබවන්නේයයි” කීයේය

“තවද යමෙක් සිල් ඇත්තේද, ලෝභී නොවූයේද රජුට ඇළුම් ඇත්තෙකුත් වන්නේද ඉදිරියෙහිද රහසිගතවද ඒ රජුට හිතවූ හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“තවද යමෙක් රජුගේ කැමැත්ත දන්නෙක් වන්නේද, රජුගේ සිතට වසඟවූවෙක් වන්නේද, අවිරුද්ධවූ පැවතුම් ඇත්තෙක් වන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“තවද ඇඟ උලන්නේද නාවන්නේද පාද සෝදවන්නේද යටිකුරුවූ හිස ඇතිව කරන්නේද ගසන ලදුවත් නොකිපෙන්නේද, හෙතෙම රජ ගෙදර විසීමට සුදුසු වන්නේය.

“තවද පුරුෂතෙම කලසක් දැකද ඇඳිළි කරන්නේය. කව්ඩෙකු හෝ දැක පැදකුණු කරන්නේය. සියලු කැමති දෙය දෙන්නාවූ ප්‍රාඥවූ උතුම්වූ රජු දැක කියනුම කවරේද?

“යමෙක් ශයනාසනද වස්ත්‍රාභරණද යානවාහනද, වාසය කරණ ගෙවල්ද දෙන්නේ නම් සත්වයන්ට මේඝයක් මෙන් සම්පත්වලින් වස්ස වන්නේ නම්, හේ රජතෙම නමස්කාර කටයුත්තේය.

“පින්වත්නි, මාවිසින් කියනලද මෝතොමෝ රාජවසති නම්වේ එහි පවත්නාවූ මනුෂ්‍යතෙම යම්සේ රජහු සතුටු කෙරේද එසේම හෙතෙම ස්වාමිවරුන්ගෙන් සත්කාර ලබායයි” විධුර පණ්ඩිතතෙම මෙසේ අනුශාසනා කෙළේය.

රාජවසති නාම.

අන්තරපෙය්‍යාලං

“විධුර පණ්ඩිතතෙම නෑ සමූහයාට මෙසේ අනුශාසනාකොට මිත්‍රයන් විසින් පිරිවරණ ලද්දේ රජු වෙතට පැමිණියේය.

“හිස් කරණකොටගෙණ පා වැඳ ඒ රජහු පැදකුණුද කොට විධුර පණ්ඩිතතෙම ඇඳිලි බැඳගෙණ රජුට මෙය කීයේය.

“මහරජ, මේ මානවකතෙම ඔහුගේ අදහස පරිදි කරණු කැමැත්තේ මා ගෙණ යයි. නෑයන්ට හිතවූවක් කියන්නෙමි එය ඇසුව මැනව.

“මාගේ දරුවන්ද බැලුව මැනව. මාගේ ගෘහයෙහි අන්‍යවූ යම් ධනයකුත් ඇද්ද, එයද බැලුව මැනව. මා ගිය කල්හි නෑ සමූහයා පසුව යම්සේ නොපිරිහෙන්නේද, එසේ කරණු මැනව.

“යම්සේ පෘථිවියෙන්ම පැකුලුනේ පෘථිවිය ආධාර කොටම සිටීද මාගේ මේ පැකිලීමද මෙසේය. මාගේ මේ වරද දකිමියි” විධුරතෙම කීයේය.

“එම්බා විධුර පණ්ඩිතය, තොපට යන්ට නොහැකිය මට මෙසේ සිතක් වෙයි. මේ මානවකයා මෙහි කැඳවා ගසා මරා මෙහිම සිටුව. මෙසේ මට කැමති වේ. මහත් ප්‍රඥා ඇති උත්තමය, ඔබ නොයවයි” රජතෙම කීයේය.

“මහරජතුමනි, අධර්මයන්හි සිත නොපිහිටවනු මැනව. අර්ථයෙහිද ධර්මයෙහිද යෙදුනෙක් වෙව. යම් කර්මයක් කොට පසුව නරකයට පැමිණෙන්නේද, එබඳු අනාර්‍ය්‍යවූ අකුශල කර්මයට නින්දාවේවා.

“මේ තෙම ස්වභාව ධර්මයෙක් නොවේමය. නැවත මෙය කටයුත්තක්ද නොවෙයි. මහරජ, ස්වාමියා වනාහි දාසයාට අධිපතිවේ. නසන්ටද දවන්ටද තවද රක්ෂා කරන්ටද ලබයි. මාගේ මානවකයා කෙරෙහි ක්‍රෝධයකුත් නැත. මමද යමියි” පණ්ඩිතතෙම කීයේය.

ඉක්බිති ඒ විධුර පණ්ඩිතතෙම වැඩිමහළු පුත්‍රයා වැළඳගෙණ හිතෙහි ශොකය දුරුකොට කඳුළු පිරුණු නෙත් වලින් යුක්තව මහත්වූ ප්‍රාසාදයට ඇතුල්වූයේයි.

“විධුර පණ්ඩිතයාගේ ප්‍රාසාදයෙහි දරුවෝද භාර්‍ය්‍යාවෝද මහසුලඟකින් මඩනාලද එහා මෙහා පෙරළුනාවූ සල් වනයෙක්හි සල්ගස් මෙන් වැටී ශයනය කරත්.

“විධුර පඬිහුගේ ගෘහයෙහි ස්ත්‍රින් දහසක්ද දාසීන් සත්සියයක්ද හිස අත් බැඳගෙණ ඇඬුවාහුය.

“විධුර පඬිහුගේ ගෘහයෙහි අන්තඃපුර ස්ත්‍රීහුද කුමාරයෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද හිස අත් බැඳගෙණ හැඬුවාහුය.

“විධුර පඬිහුගේ ගෘහයෙහි ඇතරුවෝද අසරුවෝද රථිකයෝද පාබලසේනාවෝද හිස අත් බැඳගෙණ හැඬුවාහුය.

“විධුර පඬිහුගේ නිවාසස්ථානයෙහි රැස්වූ දනව් වැස්සෝද රැස්වූ නියම්ගම් වැස්සෝද හිස අත් බැඳගෙණ හැඬුවාහුය.

“ගෘහයෙහි ස්ත්‍රීන් දහසක්ද දාසීන් සත් සියයක්ද කුමක්හෙයින් අප හැර යන්නෙහිදැයි” හිස අත් බැඳ ගෙණ හැඬුවාහුය.

“අන්තඃපුර වාසීහුද කුමරුවෝද වෛශ්‍යයෝද බ්‍රාහ්මණයෝද කුමක්හෙයින් අප හැර යන්නෙහිදැයි” හිස අත් බැඳ ගෙණ හැඬුවාහුය.

ඇතරුවෝද අසරුවෝද රථිකයෝද පාබල හමුදාවෝද කුමක්හෙයින් අප හැර යන්නෙහිදැයි” හිස අත් බැඳ ගෙණ හැඬුවාහුය.

රැස්වූ දනව් වැස්සෝද රැස්වූ නියම්ගම් වැස්සෝද කුමක්හෙයින් අප හැර යන්නෙහිදැයි” හිස අත් බැඳ ගෙණ හැඬුවාහුය.

ඉක්බිති පණ්ඩිතතෙම ගෘහයන්හි කටයුතු නිමවා මිත්‍රාමාත්‍යයන්ද දාසයන්ද අඹුදරුවන්ද නෑයන්ද යන ස්වකීය ජනයාට අනුශාසනාකොට.

කර්මාන්ත සංවිධානකොට ඒ ඒ තන්හි නිධන් කොට තබනලද්දාවූද ණය වශයෙන් දෙන ලද්දාවූද ගෘහයෙහිවූ ධනය කියා පූර්ණකයාට මෙය කීයේය.

“ඔබ මාගේ ගෘහයෙහි තුන් දවසක් විසූයෙහිය. මා විසින් ගෘහයන්හි කටයුතුද කරණ ලදහ. මා විසින් අඹු දරුවෝද අනුශාසනා කරණ ලදහ. කච්චායනය, දැන් ඔබගේ අදහස් පරිදි කරමුයි” විධුරතෙම කීයේය.

“ඇමතිතුමනි, ඉදින් වනාහි ඔබ විසින් දරුවෝද භාර්‍ය්‍යාවෝද අනුව ජීවත් වන්නෝද අනුශාසනා කරණ ලද්දාහුද එහෙනම් දැන් ඉක්මන් කොට එව. ඉදිරියෙහි මේ මාර්ගයද දීර්ඝවේමැයි.

“බිය නැතුවම මේ ආජානීය අසුගේ වලිගය අල්වා ගණුව. මේ ඔබගේ මිනිස්ලොව අන්තිම දර්ශනය වේයයි” පූර්ණක කීයේය.

“කයින් වචනයෙන් සිතින් යම්බඳුවූ මා නපුරු කොට ගෙණ ලද්දක් නැත්තේද ඒ මම කුමකට භය වන්නෙම්දැයි” විධුරතෙම ඇසීය.

ඒ අශ්වරාජතෙම විධුර පඬිහු උසුලමින් අන්තරීක්ෂ නම්වූ අහසින් ගමන් කෙළේය. අතුවලද ගල්වලද නොහැපෙමින් කාලාගිරි නම් පර්වතයට වහා පැමිණියේය.

ඉක්බිති භාර්‍ය්‍යාවූ ස්ත්‍රීන් දහසද දාසීන් සත්සියයද යක්ෂයෙක් බමුණු වෙසින් අවුත් විධුර පඬිහු හැරගෙණ ගියේයයි හිස අත් බැඳගෙණ හැඬුවාහුය.

රැස්වූ දනව්වැස්සෝද රැස්වූ නියම්ගම් වැස්සෝද යක්ෂයෙක් බමුණු වෙසින් අවුත් විධුර පඬිහු හැර ගෙණ ගියේයයි හිස අත් බැඳගෙණ හැඬූහ.

ගෘහයෙහි ස්ත්‍රීන් දහසක්ද දාසීන් සත් සියයද ඒ පණ්ඩිතතෙම කොහි ගියේදැයි හිස අත් බැඳගෙණ හැඬූහ.

රැස්වූ දනව්වැස්සෝද රැස්වූ නියම්ගම් වැස්සෝද ඒ පණ්ඩිතතෙම කොහි ගියේදැයි හිස අත් බැඳගෙණ හැඬූහ.

ඉදින් ඒ පණ්ඩිතතෙම සත් රැයකින් නොඑන්නේ නම් අපි සියල්ලෝ ගින්නට ප්‍රවිෂ්ට වන්නෙමු. අපගේ ජීවත්වීමෙන් ප්‍රයෝජනයක් නැත්තේයයි” සියල්ලෝම කීහ.

“ඒ විධුරතෙමේ පණ්ඩිතයෙක්ද විමසන නුවණින් යුක්ත බැවින් ව්‍යක්තයෙක්ද කාරණා කාරණා දක්වා කියන්ට සමර්ථ බැවින් විභාවීද ස්ථානෝචිත නුවණින් යුක්ත බැවින් විචක්ෂණයෙක්ද වන්නේය. එබැවින් බිය නොවව්. වහා තමන් මිදෙන්නේය. එසේ මිදී නැවත මෙහි එන්නේයයි” රජතෙම කීයේය.

අන්තරපෙය්‍යාලං නාම.

සාධුනරධම්මකණ්ඩං

හෙතෙම එහි ගොස් සිතන්නේ උස්පහත්වූ බොහෝ සිතිවිලි උපන්නාහු වෙත්. ‘මොහුගේ ජීවත්වීමෙන් කිසිදු වැඩක් නැත්තේය. මෙහිදීම මොහු මරා හදවත ගෙණ යන්නෙමියි” පූර්ණකයා සිතුයේය.

“ඒ කාතියානතෙම එහි ගොස් පර්වත අතර ඇතුළට ඇතුල්ව ප්‍රදූෂ්‍යවූ සිත් ඇත්තේ අසංවරවූ භූමිප්‍රදෙශයෙහි විධුර පඬිහු හිස යටිකුරුකොට අල්වා ගත්තේය.

“මහත් භය ඇත්තාවූ ලොමුඩැහැගන්නාවූ යා නොහැකිවූ නරකය වැනි ප්‍රපාතයෙහි එල්බෙන්නාවූ කුරු රට වැස්සන්ගේ උතුම්වූ ඒ ඇමතිතෙම නිර්භයව පූර්ණක නම් යක්ෂයාට මෙසේ කීයේය.

“මානවකය, නුඹ රූපයෙන් දෙවියෙකු බඳුවෙහිය. එහෙත් අනාර්‍ය්‍ය ස්වභාව ඇත්තෙහිය. සංයමයක් නැත්තේ සංයම ඇත්තෙකු බඳුවෙහිය. රෞද්‍රවූ ඉතා අහිතකම් කරන්නෙහිය. තොපගේ සිතෙහිද ස්වල්ප තරම්වත් කුසලයක් නැත්තේය.

“යම්හෙයකින් මා ප්‍රපාතයෙහි හෙලා මරන්ට කැමැත්තෙහිද, එහෙයින් මාගේ මරණයෙන් තොපට කවර ප්‍රයෝජනයක්ද, අද තොපගේ මේ කාරණය අමනුෂ්‍යයෙකුගේ වැනි වේ. ඔබ කවර දේවතාවෙක් වෙහිදැයි” මට කියවයි කීයේය.

“ඉදින් ඔබ විසින් පූර්ණක නම් යක්ෂයෙක් අසන ලද්දේද, හෙතෙම වනාහි කුවේර නම් රජුගේ ඇමතියෙක් වේ. මහත්වූ පවිත්‍රවූ වර්ණයෙන් හා බලයෙන් යුක්තවූ භූමිය දරන්නාවූ වරුණ නම් නාගරාජයෙක් වේ.

“මම ඒ නාරජහුගේ අනුජාත දුව කැමති වෙමි. ඕතොමෝ ඉරන්දතී නම් නාගකන්‍යාව වේ. පණ්ඩිතය, ශොභන මධ්‍ය ප්‍රදෙශ ඇති ඒ ප්‍රියාව හේතුකොටගෙණ ඔබට වධ පිණිස සිත පහළ කෙරෙමියි” පූර්ණකතෙම කීයේය.

“එම්බා යක්ෂය, නුඹ මෙසේ මුළාවූවෙක් නොවෙව. බොහෝවූ ලෝවැස්සෝ වරදවා ගැණීමෙන් නැසුනාහුය. ශොභන මධ්‍ය ප්‍රදෙශ ඇත්තාවූ තාගේ ප්‍රියාවට මා මැරීමෙන් කවර කටයුත්තක් වේද, එබැවින් ඒ සියල්ල අසමුයි” විධුර තෙම කීයේය.

“මහත් ආනුභාව ඇත්තාවූ මහත්වූ නාරජහුගේ දුව කැමැත්තේ මම නෑයන්ට බැලමෙහෙ කරන්නෙක්වෙමි. යම්හෙයකින් මා පහසුවෙන් කාමයෙන් පොළඹවනු හැකියයි දැනගත්තාහුද, එහෙයින් මයිල්තෙම ඇය ඉල්වන්නාවූ මට මෙසේ කීය.

“ඉදින් ඔබ පණ්ඩිතයාගේ හදවත දැහැමින් ලැබ මෙහි ගෙනෙන්නෙහි නම්, යහපත් ශරීර ඇති මනා නෙත් යුවලක් ඇති ඉතා විස්මයට කරුණුවූ සඳුන් ගල්වන ලද ශරීර ඇති ඉරන්දතී නම් දුව තට දෙන්නෙමු. මේ සතුටු පඬුරෙන් කුමරිය ලැබිය හැක. මෙයින් අන්‍යවූ ධනයක් මත්තෙහි නොකැමැත්තෙමුයි” කීහ.

“එම්බා පණ්ඩිතය, මෙසේ මම මුළාවූයේ නොවෙමි. ඇසුව මැනව. මා විසින් නපුරුකොට ගන්නා ලද කිසිවකුත් නැත්තේය. දැහැමින් ලබන ලද තොපගේ හෘදයවස්තුවෙන් නාගයෝ මට ඉරන්දතී නම් නාග කන්‍යාව දෙති

“එහෙයින් මම තොපට වධකිරීම පිණිස යෙදුනෙමි. මෙසේ මට තොපගේ මරණයෙන් ප්‍රයෝජනයෙක්වේ. මෙහිම ඔබ ප්‍රපාතයෙහි හෙළා මරා ඒ හෘදයවස්තුව ගෙණ යන්නෙමියි” පූර්ණක කීයේය.

“එම්බා කාතියානය, ඉදින් තොපට මාගේ හෘදය වස්තුවෙන් කටයුත්තක් ඇත්තේ නම් මා වහා ගොඩගනුව මේ යම්කිසි සාධුනර ධර්මනම්වූ ධර්ම කෙනෙක් ඇද්ද, ඒ සියලුම ධර්මයන් අද තොපට ප්‍රකාශකොට කියමියි.” පණ්ඩිත තෙම කීයේය.

ඒ පූර්ණකතෙම කුරුරට වැස්සන්ගේ ශ්‍රෙෂ්ඨවූ පණ්ඩිතයන් වහා පර්වත මුදුනෙහි තබා ලබන ලද ආස්වාස ඇතිව උන්නහු බලා අලාමකවූ ප්‍රඥා ඇති පඬිහු විචාළේය.

“පඬිතුමනි, මා විසින් ඔබ ප්‍රපාතයෙන් ගොඩගන්නා ලද්දේ වෙහිය. අද මට ඔබගේ හෘදයෙන්ද කටයුත්තක් ඇත්තේය. යම්කිසි මේ සාධු නර ධර්ම කෙනෙක් වෙද්ද, ඒ සියල්ලන්ම අද මට ප්‍රකාශකොට කියවයි” පූර්ණක කීයේය.

“එම්බා පූර්ණකය, තොප විසින් මම ප්‍රපාතයෙන් ගොඩගන්නා ලද්දේ වෙමි. ඉදින් මාගේ හෘදයෙන් තොපට කටයුත්තක් ඇත්තේද යම්කිසි මේ සාධුනර ධර්ම කෙනෙක් ඇද්ද, ඒ සියලුම ධර්මයන් අද තොපට ප්‍රකටකොට කියමියි” පණ්ඩිතතෙම කීයේය.

“එම්බා මානවකය, තෙත්වූ අත්ලද නොදවව, උපකාර කළවුන්ට ප්‍රත්‍යුපකාර කරව, මිත්‍රයන් කෙරෙහි කිසි කලෙකත් ද්‍රොහ කරන්නෙක්ද නොවෙව, අසත්පුරුෂ ස්වභාව ඇත්තියන්ගේ වසඟයටද නොපැමිණෙවයි” පණ්ඩිත තෙම කීයේය.

“එම්බා පණ්ඩිතය, හෙතෙම කෙසේ නම් උපකාර කළවුන්ට ප්‍රත්‍යුපකාර කරන්නේද තෙත්වූ අත දවන්නේද අසත්පුරුෂ ස්වභාව ඇත්තී කවර තැනැත්තියක්ද, මිත්‍රයන්ට ද්‍රොහ කරන්නේ කවරෙක්ද, විචාරණ ලද්දේ මට මේ කාරණය කියවයි” පූර්ණකතෙම කීයේය.

“යමෙක් මිත්‍ර සන්ථව නොකළාවූද නුදුටු විරූද පුද්ගලයෙකු ආසනයකින් පමණවත් පවරන්නේද, ඒ පූර්වොපකාරීවූ පුද්ගලයාට පුරුෂතෙම වැඩක්ම කරන්නේද උපකාර කළවුන්ට ප්‍රත්‍යුපකාර කරන්නෙකැයි ඔහුට පණ්ඩිතයෝම කියත්

“යමෙකුගේ ගෘහයෙහි එක රැයකුත් වසන්නේද යම් තැනෙක්හි පුරුෂතෙම ආහාරපාන ලබන්නේද, ඔහුට සිතිනුත් පවිටු සිතක් නොසිතන්නේය. මිත්‍ර ද්‍රොහතෙම තමන්ගේ තෙත්වූ වළඳන අතම දවන්නේය.

“යම් ගසක්හුගේ සෙවෙනෙහි හිඳින්නේ හෝ වේද, සයනය කරන්නේ හෝ වේද, ඒ වෘක්ෂයාගේ අත්ත නොබිඳින්නේය. මිත්‍රද්‍රෝහිකම වනාහි ලාමකවේ.

“වස්තුවෙන් සම්පූර්ණවූද මේ පොළොව පුරුෂතෙම සම්මත කරණලද ස්ත්‍රියකට දෙන්නේද, ඕතොමෝ මොහොතක් ලැබ ඒ පුරුෂයාද ඉක්මවා සිතන්නේය එබැවින් එබඳු අසද්ධර්මයෙන් යුක්තවූ ස්ත්‍රීන්ගේ වසඟයට නොයන්නේය.

“මෙසේ වනාහි ගියහු අනුව යන්නේවේ. නැවත මෙසේ තෙත්වූද අත්ල දවන්නේය. අසද්ධර්මයෙන් යුක්ත තැනැත්තීද ඕතොමෝය. මිත්‍රද්‍රොහී කරන්නේද හෙතෙම වේ. ඒ නුඹද මේ ධර්මයන්ගෙන් යුක්තවූ වෙක් වෙමි, අකුශල ධර්මය දුරුකරවයි” පණ්ඩිතතෙම කීයේය.

සාධුනරධම්මකණ්ඩං නාම.

කාලාගිරිකණ්ඩං

“උතුම් ප්‍රඥාවන්තය, මම ඔබගේ ගෘහයෙහි තුන් දවසක් විසුයෙමි. ආහාරයෙන්ද පානයෙන්ද උපස්ථාන කරණ ලද්දේ වෙමි. මාගේ මිත්‍රයා වෙහිය. එහෙයින් මම තොප මුදා හරිමි. ඒකාන්තයෙන් ස්වකීය ගෘහයට යව.

“නාග කුලයාගේ කටයුත්තද පිරිහේවා. නාග කන්‍යාවගෙන් මට ප්‍රයෝජන නැත්තක්ද වේවා ප්‍රඥාවන්තය, ඒ නුඹ ස්වකීයවූම සුභාසිතයෙන් අද මා විසින් වධයෙන් මුදන ලද්දේ වෙහියයි” පූර්ණකතෙම කීයේය.

“එම්බා යක්ෂය, එසේවීනම් නුඹ මාද එහිගෙණ යව, ඔබගේ මයිලනුවන් පිළිබඳවූ ඒ කටයුත්ත මා කෙරෙහි කරව, අපිදු නුදුටු විරූ නාරජහුගේ විමානයද ඒ නාරජහුද දක්නෙමුයි” පණ්ඩිතතෙම කීයේය.

“ඉදින් මිනිසාට යමක් අහිත පිණිස වන්නේද, ප්‍රඥා ඇත්තේ එය දැකීමට සුදුසු නොවේ. උත්තමවූ ප්‍රාඥය එසේ කල්හි ඔබ කවර කරුණකින් සතුරන් වසන තැනට යන්ට කැමැත්තෙහි දැයි” පූර්ණකතෙම ඇසීය.

“එම්බා දිව්‍යරාජය, ඒකාන්තයෙන් මමද මේ දනිමි. නුවණැත්තේ එය දැකීමට සුදුසු නොවේ. මා විසින් කොතැනකදීත් කරණ ලද පාප කර්මයකුත් නැත්තේය. එහෙයින් මම මරණ පැමිණීමට සැක නොවන්නෙමියි” පණ්ඩිතතෙම කීය.

“එසේවීනම් පඬිතුමනි, මා සමග එව, යම් තැනෙක්හි වෛශ්‍රවණ නම් රජතෙම නලිනී නම් රාජධානියෙහි මෙන් නෘත්‍ය ගීතවලින් යුක්තව නාරජතෙම හිඳීද, අසමානවූ ආනුභාව ඇති ඒ ස්ථානය බලව,

“ඒ නාරජුගේ විමානය රෑ දාවල් දෙක්හි නිතර සමූහව ක්‍රීඩා කරණ ලද නාගකන්‍යාවන් විසින් හැසිරෙන ලදී. බොහෝ මල්දම් ඇත්තාවූ බොහෝ මල්වලින් ගැවසුනාවූ ඒ විමානය අහස විදුලියක් මෙන් බබළයි.

“ආහාරයෙන්ද පානයෙන්ද යුක්තවූ සොභාව ඇති නෘත්‍යවලින්ද ගීතවලින්ද වාදනවලින්ද යුක්තවූ වස්ත්‍රවලින් හා පළඳනා වලින්ද සැරසුනාවූ නාග කන්‍යාවන් ගෙන් පිරුණාවූ ඒ විමාණය ඉතා සෝභමාන වේයයි” පූර්ණකතෙම කීයේය

“ඒ පූර්ණක නම් යක්ෂතෙම කුරුරට වැස්සන්ගේ උතුම් ඇමතියාවූ පණ්ඩිතයා තමහට පසු අස්නෙහි හිඳුවීය. හෙතෙම අලාමක ප්‍රඥා ඇති විධුර පඬිහු හැරගෙණ නා රජහුගේ භවනයට පැමිණ වීය.

“අසමානවූ ආනුභාව ඇති ඒ ස්ථානයට පැමිණ පණ්ඩිතතෙම පූර්ණකයාගේ පිටුපසින් සිටියේය. සමගිය අපේක්ෂා කරන්නාවූ නාරජතෙම පළමුකොටම බෑනා සමග

කථා කෙළේය.

“නුඹ පණ්ඩිතයාගේ යම් හෘදයවස්තුවක් සොයමින් මිනිස්ලොවට ගියේද, කිම, ඒ මනදොළ සමෘද්ධවීමෙන් අලාමකවූ ප්‍රඥා ඇති මේ පණ්ඩිතයා හැරගෙණ මෙහි පැමිණියේදැයි” නාරජතෙම ඇසීය.

“ඔබ යමක්හු කැමැත්තෙහිද, ඒ මේ පණ්ඩිත තෙමේ මෙහි ආයේය. ධර්මය රක්නාවූ හෙතෙම මා විසින් දැහැමින් ලබන ලදී. ඉදිරියෙහි කථාකරන්නාවූ ඔහු බලනු මැනව, ඒකාන්තයෙන් සත්පුරුෂයන් හා එක්වීම සැපවේයයි” පූර්ණකතෙම කීයේය.

කාලාගිරිකණ්ඩං නාම.

“ඉක්බිති පණ්ඩිතය, මනුෂ්‍යවූ නුදුටුවිරූ නාග භවනය දැක විෂ්මයට පැමිණ මරණ භයින් බියපත්ව නොවඳින්නේද, මේ කාරණය ප්‍රඥාවන්තයින්ගේ මෙන් නොවන්නේයයි” නාරජතෙම කීයේය.

“නාගරාජය, මම විෂ්මයට පැමිණියේ නොවෙමි. මරණ භයින් බියපත් නොවූයෙමි. වධයට සුදුසුවූවෙක් නොවඳින්නේය. වධයට සුදුසුවූවහුට හෝ නොවඳින්නේය.

“මනුෂ්‍යතෙම යමෙකු නසන්ට කැමති වන්නේද, කෙසේ නම් ඔහුට වඳින්නේද, කෙසේනම් ඔහු ලවා වන්දවා ගන්නේද, ඒකාන්තයෙන් ඒ කර්මය සම්පාදනය නොවේයයි” පණ්ඩිතතෙම කීයේය.

“පණ්ඩිතය, ඔබ යම්සේ කියන්නෙහිද, මෙය මෙසේය. සත්‍යයක් කියන්නේය. වධයට සුදුසුවූවෙක් නොවඳින්නේය. වධයට සුදුසුවූවහුට හෝ නොවඳින්නේය. වධයට සුදුසුවූවහුට හෝ නොවඳින්නේය.

“මනුෂ්‍යතෙම යමෙකු නසන්ට කැමතිවන්නේද හෙතෙම කෙසේ නම් වඳින්නේද, කෙසේ නම් ඔහු ලවා වන්දවා ගන්නේද, ඒකාන්තයෙන් ඒ කටයුත්ත සම්පාදනය නොවේයයි” නාරජද කීයේය.

“නාගරාජය, බොහෝ කලක් නොපවත්වන්නාවූ ඔබගේ මේ විමානයද නාග ඍද්ධියද නාග තේජසද කායික බලයද චෛතසික වීර්‍ය්‍යයද නාලොව ඉපදීමද බොහෝකල් පවතින්නක් මෙන් සිතා පාප කර්ම නොකරව. මේ විමානය ඔබ විසින් කෙසේ ලබන ලද්දේද යන මේ කාරණය මම ඔබ ගෙන් විචාරමි.

“නාගරාජය, ඔබ විසින් මේ විමානය නිකරුනේ ලබන ලද්දක්ද, නොහොත් ඍතු පෙරලීමෙන් හටගත්තක්ද, එසේ නැතහොත් තමා විසින් කරණ ලද්දක්ද, නොහොත් දෙවියන් විසින් දෙනලද්දක්ද, යම් පරිද්දෙකින්ම ඔබ විසින් මේ විමානය ලබනලද්දේද එපරිද්දෙන්ම මේ කාරණය මට කියවයි” බෝධිසත්වතෙම කීයේය.

“පණ්ඩිතය, මේ විමානය මා විසින් කරුණක් නැතිව ලබනලද්දක් නොවේ. ඍතු පෙරලීමෙන් හටගත්තකුත් නොවේ. තමා විසින් කරණලද්දකුත් නොවේ. දෙවියන් විසින් දෙන ලද්දකුත් නොවේ. මා විසින් කරණලද ලාමක නොවූ ස්වකීයවූ පුණ්‍ය කර්මවලින් මේ විමානය ලබන ලද්දේ යයි” නාරජ කීයේය.

“නාගරාජය, පෙර භවයෙහි ඔබගේ කිනම් ව්‍රත සමාදානයක්ද කවරනම් බ්‍රහ්මචර්‍ය්‍යාවක්ද, මනාකොට පුරුදු කරණලද කවර කර්මයක්හුගේ මේ විපාකයෙක්ද, නාග ඍද්ධියද නාග තේජසද කායික බලයද චෛතසික වීර්‍ය්‍යයද නා ලොව ඉපදීමද මේ මහත්වූ විමානයද ඔබ විසින් කෙසේ ලබනලදදැයි’ ඇසීය.

“පණ්ඩිතය, ගිය දවස මිනිස්ලොව මමද මාගේ භාර්‍ය්‍යාවද යන අපි දෙදෙන ශ්‍රද්ධා ඇත්තාවූ දානපතිවීමු. එකල්හි මාගේ ගෙදර පැන් මඩුවක් මෙන් විය. අප විසින් මහණ බමුණෝද සතුටු කරණ ලද්දාහ.

“මල්ද සුවඳද විලවුන්ද පහන් උපකරණද සයනාශනද ආවාස ගෘහද හඳනා පිළිද යහන්ද ආහාරපානද යන මේ දාන වස්තූන් එහිදී සකස්කොට දුනිමු.

“පණ්ඩිතය, ඒ මාගේ ව්‍රත සමාදානයවේ. ඒ වනාහි මාගේ බ්‍රහ්මචර්‍ය්‍යාවදවේ. මනාව පුරුදු කරණලද ඒ කුශල කර්මයාගේ මේ විපාකයවේ. එනම් නාග ඍද්ධියද නාග තේජසද, කාය බලයද චෛතසික වීර්‍ය්‍යයද නාලොව ඉපදීමද මාගේ මේ මහත්වූ විමානයද වේයයි” නාරජතෙම කීයේය.

“ඉදින් ඔබ විසින් මෙසේ මේ විමානය ලබනලද්දේ නම් පුණ්‍ය කර්මයන්ගේ ඵල විපාක දන්නෙහිය. යම්සේ ඔබ නැවත මේ විමානයෙහි වාසය කරන්නෙහිද, එහෙයින්ම අප්‍රමාදව කුශල ධර්මයෙහි හැසිරෙවයි” මහසත්තෙම කීයේය.

“පණ්ඩිතය, යම් කෙනෙකුන්ට ආහාරපාන දෙමුද, එබඳු මහණ බමුණෝ මේ නාලොව නැත්තාහ. යම්සේ අපි නැවත මේ විමානයෙහි වාසය කරමුද, එසේ මේ කාරණය විචාරණ ලද්දේ මට කියවයි” නාරජ කීයේය.

“නාග රාජය, මෙහි උපන්නාවූ ඔබගේ පුත්‍රවූද භාර්‍ය්‍යාවූද අනුව ජීවත්වන්නාවූද නාගයෝ වනාහී ඇත්තාහ. ඔවුන් කෙරෙහි ඔබ වචනයෙන්ද කටයුතුවලින්ද නිතර ද්වෙෂ නොකරන්නෙක්ම වෙව.

“නාගරාජය, නුඹ මෙසේ වචනයෙන්ද කර්මයෙන්ද මෛත්‍රී නම්වූ චිත්තයාගේ සංසිඳීම රකිමින් දිවි ඇතිතාක් මේ විමානයෙහි සිට මෙයින් චුතව මත්තෙහිවූ දෙව්ලොවට පැමිණෙන්නෙහියයි” මහසත්තෙම කීයේය.

“පණ්ඩිතය, යමෙකුට ඔබ ඇමති වීද, ඒ රාජ ශ්‍රෙෂ්ඨතෙම ඔබගෙන් වෙන්ව ඒකාන්තයෙන්ම ශෝක කෙරෙයි දුකට පැමිණියාවූද, දැඩි ගිලන්වූද පුරුෂතෙමේ ඔබ හා එක්ව සැප ලබන්නේයයි” නාරජතෙම කීයේය.

“නාගරාජය, ඒකාන්තයෙන් මනාව පුරුදු කරණ ලද උතුම්වූ අර්ථයෙන් යුක්තවූ සත්පුරුෂයන්ගේ ස්වභාව ධර්මයක් කියන්නෙහිය. මෙබඳු විපත් පැමිණි කල්හි මා වැනි ප්‍රඥාවන්තයන්ගේ වෙනස පෙනේයයි” පණ්ඩිතතෙම කීයේය.

“පණ්ඩිතය, මේ පූර්ණකතෙම ඔබ නොමිළයේම ලබාගත්තේද, නොහොත් දූ කෙළියෙහි පසැටින් ක්‍රීඩාකොට මෙතෙම ඔබ දිනාගත්තේද, මෙතෙම පණ්ඩිතයා දැහැමින් ලබනලදැයි කියයි. ඔබ කෙසේනම් මොහුගේ අතට පැමිණියේ දැයි” නාරජ ඇසීය.

“එහි මාගේ අධිපතියාවූ යම් රජෙක්වීද, මෙතෙම දූ කෙළියෙහි පසැටින් ක්‍රීඩාකොට ඔහු පැරදවීය. පැරදුනාවූ ඒ රජතෙම මොහුට මා දුන්නේය. එහෙයින් සැහැසි කමක් නැතිව දැහැමින් ලබන ලද්දෙමි, කීයේයයි” මහසත්තෙම කීයේය.

“සතුටුවූ ඔදවැඩි සිත් ඇත්තාවූ මහත්වූ නාරජ තෙම පණ්ඩිතයාගේ සුභාසිතයන් අසා, අලාමකවූ ප්‍රඥා ඇති ඔහු අත අල්වාගෙණ එකල්හි භාර්‍ය්‍යාව සමීපයට ගියේය.

“සොඳුරු විමලාවෙනි, යම් කරුණකින් ඔබ පඩුවන්වූයෙහිද, යම් කරුණකින් ආහාරය රුචි නොකෙරේද, මෙබඳු ගුණ වර්ණනා ඇත්තෙක් කොතැනකත් මා විසින් නොදක්නාලදී. ඒ මේ අඳුරු දුරු කරන්නාවූ විධුර පණ්ඩිතයාවේ.

“ඔබට යමෙකුගේ හෘදය වස්තුවෙන් ප්‍රයෝජන ඇත්තේද, මේ එළිය කරන්නාවූ පණ්ඩිතතෙම ආයේය. ඔහුගේ කථාව අසව, නැවත මොහුගේ දර්ශනය නම් දුර්ලභ වේයයි” නාරජ කීයේය.

“විමලා නම් නාග මානවිකාතොමෝ මහත්වූ ප්‍රඥා ඇත්තී ඔහු දැක දසැඟිලි එකතුකොට ඇඳලි බැඳ හටගත් සොම්නස් ඇත්තී සතුටු සිතින් කුරුවැස්සන්ගේ උතුම් ඇමතිවූ පණ්ඩිතයන්ට මෙසේ කීයේය.

[275-295 (මේ ඡෙද 250-269 ඡෙද මෙන් වෙත් “නා රජ” වෙනුවට “නාග මානවිකායයි” යෙදිය යුතුයි.)

“ඔබ යමක්හු කැමැත්තෙහිද, ඒ මේ පණ්ඩිත තෙමේ මෙහි ආයේය. ධර්මය රක්නාවූ හෙතෙම මා විසින් දැහැමින් ලබන ලදී. ඉදිරියෙහි කථාකරන්නාවූ ඔහු බලනු මැනව, ඒකාන්තයෙන් සත්පුරුෂයන් හා එක්වීම සැපවේයයි” පූර්ණකතෙම කීයේය. ]

“ඉක්බිති පණ්ඩිතය, මනුෂ්‍යවූ නුදුටුවිරූ නාග භවනය දැක විෂ්මයට පැමිණ මරණ භයින් බියපත්ව නොවඳින්නේද, මේ කාරණය ප්‍රඥාවන්තයින්ගේ මෙන් නොවන්නේයයි” නාරජතෙම කීයේය.

“නාගරාජය, මම විෂ්මයට පැමිණියේ නොවෙමි. මරණ භයින් බියපත් නොවූයෙමි. වධයට සුදුසුවූවෙක් නොවඳින්නේය. වධයට සුදුසුවූවහුට හෝ නොවඳින්නේය.

“මනුෂ්‍යතෙම යමෙකු නසන්ට කැමති වන්නේද, කෙසේ නම් ඔහුට වඳින්නේද, කෙසේනම් ඔහු ලවා වන්දවා ගන්නේද, ඒකාන්තයෙන් ඒ කර්මය සම්පාදනය නොවේයයි” පණ්ඩිතතෙම කීයේය.

“පණ්ඩිතය, ඔබ යම්සේ කියන්නෙහිද, මෙය මෙසේය. සත්‍යයක් කියන්නේය. වධයට සුදුසුවූවෙක් නොවඳින්නේය. වධයට සුදුසුවූවහුට හෝ නොවඳින්නේය. වධයට සුදුසුවූවහුට හෝ නොවඳින්නේය.

“මනුෂ්‍යතෙම යමෙකු නසන්ට කැමතිවන්නේද හෙතෙම කෙසේ නම් වඳින්නේද, කෙසේ නම් ඔහු ලවා වන්දවා ගන්නේද, ඒකාන්තයෙන් ඒ කටයුත්ත සම්පාදනය නොවේයයි” නාරජද කීයේය.

“නාගරාජය, බොහෝ කලක් නොපවත්වන්නාවූ ඔබගේ මේ විමානයද නාග ඍද්ධියද නාග තේජසද කායික බලයද චෛතසික වීර්‍ය්‍යයද නාලොව ඉපදීමද බොහෝකල් පවතින්නක් මෙන් සිතා පාප කර්ම නොකරව. මේ විමානය ඔබ විසින් කෙසේ ලබන ලද්දේද යන මේ කාරණය මම ඔබ ගෙන් විචාරමි.

“නාගරාජය, ඔබ විසින් මේ විමානය නිකරුනේ ලබන ලද්දක්ද, නොහොත් ඍතු පෙරලීමෙන් හටගත්තක්ද, එසේ නැතහොත් තමා විසින් කරණ ලද්දක්ද, නොහොත් දෙවියන් විසින් දෙනලද්දක්ද, යම් පරිද්දෙකින්ම ඔබ විසින් මේ විමානය ලබනලද්දේද එපරිද්දෙන්ම මේ කාරණය මට කියවයි” බෝධිසත්වතෙම කීයේය.

“පණ්ඩිතය, මේ විමානය මා විසින් කරුණක් නැතිව ලබනලද්දක් නොවේ. ඍතු පෙරලීමෙන් හටගත්තකුත් නොවේ. තමා විසින් කරණලද්දකුත් නොවේ. දෙවියන් විසින් දෙන ලද්දකුත් නොවේ. මා විසින් කරණලද ලාමක නොවූ ස්වකීයවූ පුණ්‍ය කර්මවලින් මේ විමානය ලබන ලද්දේ යයි” නාරජ කීයේය.

“නාගරාජය, පෙර භවයෙහි ඔබගේ කිනම් ව්‍රත සමාදානයක්ද කවරනම් බ්‍රහ්මචර්‍ය්‍යාවක්ද, මනාකොට පුරුදු කරණලද කවර කර්මයක්හුගේ මේ විපාකයෙක්ද, නාග ඍද්ධියද නාග තේජසද කායික බලයද චෛතසික වීර්‍ය්‍යයද නා ලොව ඉපදීමද මේ මහත්වූ විමානයද ඔබ විසින් කෙසේ ලබනලදදැයි’ ඇසීය.

“පණ්ඩිතය, ගිය දවස මිනිස්ලොව මමද මාගේ භාර්‍ය්‍යාවද යන අපි දෙදෙන ශ්‍රද්ධා ඇත්තාවූ දානපතිවීමු. එකල්හි මාගේ ගෙදර පැන් මඩුවක් මෙන් විය. අප විසින් මහණ බමුණෝද සතුටු කරණ ලද්දාහ.

“මල්ද සුවඳද විලවුන්ද පහන් උපකරණද සයනාශනද ආවාස ගෘහද හඳනා පිළිද යහන්ද ආහාරපානද යන මේ දාන වස්තූන් එහිදී සකස්කොට දුනිමු.

“පණ්ඩිතය, ඒ මාගේ ව්‍රත සමාදානයවේ. ඒ වනාහි මාගේ බ්‍රහ්මචර්‍ය්‍යාවදවේ. මනාව පුරුදු කරණලද ඒ කුශල කර්මයාගේ මේ විපාකයවේ. එනම් නාග ඍද්ධියද නාග තේජසද, කාය බලයද චෛතසික වීර්‍ය්‍යයද නාලොව ඉපදීමද මාගේ මේ මහත්වූ විමානයද වේයයි” නාරජතෙම කීයේය.

“ඉදින් ඔබ විසින් මෙසේ මේ විමානය ලබනලද්දේ නම් පුණ්‍ය කර්මයන්ගේ ඵල විපාක දන්නෙහිය. යම්සේ ඔබ නැවත මේ විමානයෙහි වාසය කරන්නෙහිද, එහෙයින්ම අප්‍රමාදව කුශල ධර්මයෙහි හැසිරෙවයි” මහසත්තෙම කීයේය.

“පණ්ඩිතය, යම් කෙනෙකුන්ට ආහාරපාන දෙමුද, එබඳු මහණ බමුණෝ මේ නාලොව නැත්තාහ. යම්සේ අපි නැවත මේ විමානයෙහි වාසය කරමුද, එසේ මේ කාරණය විචාරණ ලද්දේ මට කියවයි” නාරජ කීයේය.

“නාග රාජය, මෙහි උපන්නාවූ ඔබගේ පුත්‍රවූද භාර්‍ය්‍යාවූද අනුව ජීවත්වන්නාවූද නාගයෝ වනාහී ඇත්තාහ. ඔවුන් කෙරෙහි ඔබ වචනයෙන්ද කටයුතුවලින්ද නිතර ද්වෙෂ නොකරන්නෙක්ම වෙව.

“නාගරාජය, නුඹ මෙසේ වචනයෙන්ද කර්මයෙන්ද මෛත්‍රී නම්වූ චිත්තයාගේ සංසිඳීම රකිමින් දිවි ඇතිතාක් මේ විමානයෙහි සිට මෙයින් චුතව මත්තෙහිවූ දෙව්ලොවට පැමිණෙන්නෙහියයි” මහසත්තෙම කීයේය.

“පණ්ඩිතය, යමෙකුට ඔබ ඇමති වීද, ඒ රාජ ශ්‍රෙෂ්ඨතෙම ඔබගෙන් වෙන්ව ඒකාන්තයෙන්ම ශෝක කෙරෙයි දුකට පැමිණියාවූද, දැඩි ගිලන්වූද පුරුෂතෙමේ ඔබ හා එක්ව සැප ලබන්නේයයි” නාරජතෙම කීයේය.

“නාගරාජය, ඒකාන්තයෙන් මනාව පුරුදු කරණ ලද උතුම්වූ අර්ථයෙන් යුක්තවූ සත්පුරුෂයන්ගේ ස්වභාව ධර්මයක් කියන්නෙහිය. මෙබඳු විපත් පැමිණි කල්හි මා වැනි ප්‍රඥාවන්තයන්ගේ වෙනස පෙනේයයි” පණ්ඩිතතෙම කීයේය.

“පණ්ඩිතය, මේ පූර්ණකතෙම ඔබ නොමිළයේම ලබාගත්තේද, නොහොත් දූ කෙළියෙහි පසැටින් ක්‍රීඩාකොට මෙතෙම ඔබ දිනාගත්තේද, මෙතෙම පණ්ඩිතයා දැහැමින් ලබනලදැයි කියයි. ඔබ කෙසේනම් මොහුගේ අතට පැමිණියේ දැයි” නාරජ ඇසීය.

“එහි මාගේ අධිපතියාවූ යම් රජෙක්වීද, මෙතෙම දූ කෙළියෙහි පසැටින් ක්‍රීඩාකොට ඔහු පැරදවීය. පැරදුනාවූ ඒ රජතෙම මොහුට මා දුන්නේය. එහෙයින් සැහැසි කමක් නැතිව දැහැමින් ලබන ලද්දෙමි, කීයේයයි” මහසත්තෙම කීයේය.

“වරුණ නම් නා රජතෙම යම්බඳුවූම ප්‍රශ්න පඬිහු ගෙන් ඇසීද, නාග කන්‍යාතොමෝද එබඳුවූ ප්‍රශ්න පඬිහුගෙන් ඇසීය.

“පණ්ඩිතතෙම විචාරණලද්දේ යම්සේම වරුණ නම් නාරජහු සතුටු කෙළේද, විචාරණලද පණ්ඩිතතෙම එපරිද්දෙන්ම නාග කන්‍යාවද සතුටු කෙළේය.

“පණ්ඩිතතෙම මහත්වූ නාරජුද නාග කන්‍යාවද යන ඔවුන් දෙදෙන සතුටු සිත් ඇත්තවුන්යයි දැන තැති ගැන්මක් නැත්තේ නිර්භයවූයේ ලොමු ඩැහැ ගැණීමක් නැතුව වරුණ නම් නාරජුට මෙසේ කීයේය.

“එම්බා නාරජ මිත්‍රද්‍රෝහි කර්මයක් කරමියි බිය නොවෙව. මේ මම මෙහි වෙමි. යමකින් ඔබට ප්‍රයෝජන ඇත්තේද, ඒ මේ ශරීරයයි හෘදයවස්තුවෙන් හෝ මාංශයෙන් හෝ යම් කටයුත්තක් කෙරේනම් ඔබගේ අදහස් පරිදි මම එය තෙමේම කරන්නෙමියි” මහසත්තෙම කීයේය.

“ප්‍රඥාතොමෝ ඒකාන්තයෙන් පණ්ඩිතයන්ගේ හෘදයවේ. ඒ අපි ඔබගේ ප්‍රඥාවෙන් ඉතා සතුටුවෙමු. දැන් පූර්ණකතෙමේද භාර්‍ය්‍යාව ලබයි. හෙතෙම අදම ඔබ කුරුරට වැසියන් වෙතට පමුණුවාවායි” නා රජ කීයේය.

ඉරන්දතී නම් නාග කන්‍යාව ලැබ සතුටුවූ ඔදවැඩි සිත් ඇත්තාවූ ඒ පූර්ණකතෙම හටගත් ප්‍රීති ඇත්තේ සතුටු සිතින් කුරුරට වැස්සන්ගේ ඇමති ශ්‍රෙෂ්ඨයාට මෙසේ කීයේය.

“පණ්ඩිතය, ඔබ මා භාර්‍ය්‍යාව හා සමගි කෙළේය. මමද ඔබට කටයුත්තක් කරමි. ඔබට මේ මාණික්‍ය රත්නයද දෙමි. අදම ඔබ ඉඳිපත් නුවරට පමුණුවමියි” කීයේය.

“පූර්ණකය, මේ ඔබගේ භාර්‍ය්‍යාව සමග ප්‍රිය සංවාස නැමති මෛත්‍රිය නොපිරිහේවා. සතුටම ධනය කොට ඇත්තේ මනා සිත් ඇතිව ප්‍රීතියෙන් යුක්තව වෙසේවා. මාණික්‍යය දී මාද ඉඳිපත් නුවරට පමුණුවවයි” පණ්ඩිත තෙම කීයේය.

ඒ පූර්ණක නම් යක් සෙනෙවිතෙම කුරුරට ඇමතිතුමා ඉදිරියෙහිවූ අස්නෙහි ඉඳුවිය. හෙතෙම අලාමකවූ ප්‍රඥා ඇති විධුර ඇමති හැරගෙණ ඉඳිපත් නුවරට පැමිණවීය.

යම්සේ මිනිසාගේ සිත වහා ගමන් කරන්නේද ඊටත් වඩා ඉක්මණට මේ මනෝමය සෛන්ධවයාගේ ගමන වූයේය. ඒ පූර්ණකතෙම කුරුරට ඇමතිතුමා ඉඳිපත් නුවරට පැමිණවීය.

“පඬිතුමනි, මේ ඉඳිපත් නුවර පෙනේ. සිත්කළුවූ අඹ උයන්ද කොටස් වශයෙන් පෙනෙත්. මමද බිරිඳ හා සමගිවූයෙමි. ඔබද ස්වකීය නිවාස්සථානයට පැමිණියේ වෙහියයි” පූර්ණකතෙම කීයේය

ඒ පූර්ණකතෙම කුරුරට ඇමතිතුමා ධර්ම සභා මධ්‍යයෙහි බස්වා අලාමක වර්ණ ඇත්තාවූ හෙතෙම ආජානීය යාට නැග අන්තරීක්ෂ නම් අහසින් ගියේය.

රජතෙම ඒ පඬිහු දැක අතිශයින් ප්‍රීතිමත් වූයේ නැගිට අත්වලින් වැළඳගෙණ කම්පාවක් නැතුව ධර්ම සභා මධ්‍යයෙහිවූ සරසනලද ධර්මාසනයෙහි තමන්ට අභිමුඛකොට හිඳුවීය.

“පණ්ඩිතය, රියැදුරෙක් සරසනලද රථය පමුණු වන්නාක් මෙන් ඔබ අපගේ හිතවූ කටයුතුවල යොදවන්නා වෙහිය. කුරුරට වැස්සෝ ඔබ දැක ඒ දර්ශනයෙන් සතුටු වෙත්. විචාරණලද්දේ මේ කරුණ මට කියව. කෙසේනම් ඒ මානවකයා වෙතින් ඔබගේ මිදීම වීදැයි” රජතෙම ඇසීය.

“මහරජ, යමෙකුට මානවකයා යයි කීයේද, නරවීරශ්‍රෙෂ්ඨය, හෙතෙම මිනිසෙක් නොවේ. ඉදින් ඔබ විසින් පූර්ණක නම් යක්ෂයෙක් අසන ලද්දේද, හෙතෙම වනාහි කුවේර නම් රජුගේ ඇමතියෙක්වේ.

“භූමින්ධරනම් නාග භවනයෙහි වසන්නාවූ මහත්වූ පවිත්‍රවූ වර්ණයෙන් හා බලයෙන් යුක්තවූ වරුණ නම් නා රජෙක්වේ. ඔහුගේ අනුජාත ධීතෘව හෙතෙම කැමතිවිය. ඒ නාග කන්‍යාතොමෝ ඉරන්දතී නම් වූවාය.

“මනා මධ්‍ය ප්‍රදේශ ඇති ඒ ප්‍රියාව හේතුකොට ගෙණ හෙතෙම මා මරණු පිණිස උත්සාහ කෙළේය. හෙතෙමේද භාර්‍ය්‍යාව සමග එක්වූයේය. මමද නාරජ විසින් අනුදන්නා ලද්දේවෙමි. මා විසින් මේ මැණිකද ලබන ලද්දේයයි” පණ්ඩිතතෙම මැණික රජුට දෙමින් කීයේය

“මාගේ රාජ ගෘහද්වාරයෙහි වනාහි හටගත්තාවූ වෘක්ෂයක් මා විසින් සීනෙන් දක්නාලදී. ඒ වෘක්ෂය තෙම ප්‍රඥාමය නළ ඇත්තේය. ඒ වෘක්ෂයාගේ අතු ශීලමය වූහ. වැඩෙහිද ස්වභාව ධර්මයෙහිද, පිහිටියාවූ ඒ ප්‍රඥාමය රුක පස් ගෝරස නමැති ඵල ඇත්තේය. ඇතුන්ගෙන්ද අසුන්ගෙන්ද ගැවසුනේය.

“මහජනයා නෘත්‍ය ගීත තූර්‍ය්‍යවාදන පවත්වන කල්හි එක් පුරුෂයෙක් මේ ගස කපාගෙණ ගියේය. ඒ මේ ප්‍රඥාමය වෘක්ෂය තෙම අප සමීපයට නැවත ආයේය. මේ වෘක්ෂයට තෙපි පූජා සත්කාර කරව්.

“පින්වත් ඇමතිවරුණි, යම්කිසි කෙනෙක් මාගේ උපකාරයෙන් සතුටට පැමිණියාහුද, අද ඒ සියල්ලෝම සතුට පහළ කෙරෙත්වා. පඬුරු මහත්කොට මේ වෘක්ෂයට පූජා සත්කාර කරව්.

“මාගේ රාජ්‍යයෙහි බැඳ සිර කරණලද යම්කිසි සත්ව කෙනෙක් ඇද්ද, ඒ සියල්ලෝම බැම්මෙන් මුදත්වා. යම් පරිද්දකින්ම මේ පණ්ඩිතතෙම බැම්මෙන් මිදුනේද, එපරිද්දෙන්ම ඒ මේ සත්වයෝද බන්ධනයෙන් මුදනු ලබත්වා.

“මේ මාසය මුළුල්ලෙහි සී සාන නගුල් ගොඩගෙණ තැන්පත් කෙරෙත්වා. බ්‍රාහ්මණයෝ මාංශ රශයෙන් යුත් බත අනුභව කෙරෙත්වා. මත්පැන් පානය කරන්නෝ පානාගාරයෙහි සිට පිරී වැගීරෙන්නාවූ සැල්වලින් මද්‍යපානය කෙරෙත්වා.

මහමග සමීපයෙහි සිටියාවූ වෙශ්‍යා ස්ත්‍රීහු නිතර පුරුෂයන් කැඳවත්වා. යම්සේ ඔවුනොවුන්ට නොවෙහෙසන්නාහුද, එසේ රටෙහි දැඩිකොට ආරක්ෂාවද විධාන කෙරෙත්වා. මෙසේ මේ වෘක්ෂයට පූජා සත්කාර කරව්යයි” රජතෙම කීයේය.

අන්තඃපුර ස්ත්‍රීහුද කුමරුවෝද වෛශ්‍යයෝද බ්‍රහ්මණයෝද පණ්ඩිතයාට බොහෝවූ ආහාරද පාන වර්ගද පැමිණවූහ.

ඇතරුවෝද අසරුවෝද රථිකයෝද පාබල සේනාවෙහිවූවෝද පඬිහට බොහෝවූ ආහාරද පානවර්ගද පැමිණවූහ.

“රැස්වූ දනව් වැස්සෝද රැස්වූ නියම්ගම් වැස්සෝද බොහෝවූ ආහාරද පානවර්ගද පඬිතුමාට පැමිණවූහ.

“පඬිහු ආකල්හි දැක බොහෝදෙනා ප්‍රසන්න වූයේය. පඬිහු නැවත පැමිණි කල්හි පිළිහිස සිසෑරිම පැවැත්තේයයි’ වදාළේය.

විධුරජාතකං නවමං.