මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

1. දේවදහ වර්ගය

101. දේවදහ සූත්‍රය

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි දෙවදහ නම් ශාක්‍ය රජුන්ගේ නියම් ගමෙහි වාසය කරති. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනියි’ කථාකළහ. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. “මහණෙනි, මේ පුරුෂ පුද්ගලතෙම සැපක් හෝ දුකක් හෝ දුක් සැප දෙකින් තොරවූවක් හෝ යම් කිසිවෙක් විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නාහුය. මෙසේ පුරාණවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන්ද, අළුත්වූ කර්මයන් නොකිරීමෙන්ද, මත්තෙහි නැවත නොඉපදීමවේ. මත්තෙහි නොඉපදී මෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මනැසීමෙන් දුක් නැසීමවේ.

“දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියළු දුක් දිරා යන්නේය, යන මෙබඳු වාද ඇත්තාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ, සමහර මහණ බමුණෙක් ඇත්තාහ. මහණෙනි, නිගණ්ඨයෝ මෙබඳු වාද ඇත්තාහුය. මහණෙනි, මම මෙබඳු වාද ඇති නිගණ්ඨයන් වෙත පැමිණ මෙසේ කියමි. ‘ඇවැත් නිගණ්ඨයිනි, තෙපි මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ දුකක් හෝ, දුක් සැප දෙකින් තොරවූවක් හෝ විඳියිද,ඒ සියල්ල පෙරකළ කර්මහේතුවෙන්ම විඳින්නේය. මෙසේ පැරණි කර්මයන් තපසින් කෙළවර කිරීමෙන්ද, අළුත්වූ කර්මයන් නොකිරීමෙන්ද, මත්තෙහි කර්ම හට නොගන්නේය. මත්තෙහි කර්ම නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්ම නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියළු දුක දිරා යන්නේය, යන මෙබඳු වාද ඇත්තාහුය. මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑදැයි අසමි. මහණෙනි, ඉදින් මා විසින් මෙසේ අසන ලද්දාවූ ඒ නිගණ්ඨයෝ ‘එසේයයි ප්‍රකාශ කෙරෙත්ද’ මම ඔවුන්ගෙන් ඇවැත් නිගණ්ඨයිනි, කිමෙක්ද, තෙපි ‘අපි, පෙර වූවාහුමයයි දනිව්ද, නොවූවාහුමයයි දනිව්දැයි’ අසමි. ‘ඇවැත්නි, එය නොදනිමුයයි’ කියත්. ‘ඇවැත් නිගණ්ඨයිනි කිමෙක්ද තෙපි පෙර අපි පාපකර්ම කෙළෙමුයයි දනිව්ද? නොකෙළෙමුයයි දනිව්දැයි, අසමි. ‘ඇවැත්නි එය නොදනිමුයයි’ කියත් ‘ඇවැත් නිගණ්ඨයිනි, කිමෙක්ද? තෙපි මෙබඳුවූ හෝ, මෙබඳුවූ හෝ පාපකර්ම කෙළෙමුයි දනිව්ද?’ ‘ඇවැත්නි, එය නොදනිමුයයි’ කියත්. ‘ඇවැත් නිගණ්ඨයිනි, කිමෙක්ද? තෙපි මෙපමණවූ දුක් දිරවන ලද්දේය. මෙපමණවූ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරවූ කල්හි සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයි දනිව්ද?’ ‘ඇවැත්නි, එය නොදනිමුයි’ කියත්. ‘ඇවැත් නිගණ්ඨයිනි, කිමෙක්ද? තෙපි මේ ආත්මයෙහිම අකුශල ධර්මයන්ගේ දුරු කිරීමත් කුශල ධර්මයන්ගේ වැඩීමත් දනිව්දැයි, අසමි. ‘ඇවැත්නි එය නොදනිමුයි’ කියත්.

“ඇවැත් නිගණ්ඨයිනි, මෙසේ වනාහි, තෙපි පෙර අපිවීමු යයිද නොදන්නාහුය. නොවීමුයයි නොදන්නාහුය. පෙර අපි පාපකර්මය කෙළෙමුයයිද නොදන්නහුය. නොකෙළෙමුයයිද නොදන්නාහුය. මෙබඳුවූ මෙබඳුවූ පාපකර්ම කෙළෙමුයයිද නොදන්නාහුය. මෙපමණවූ දුක් දිරවන ලද්දේය. මෙපමණවූ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරවූ කල්හි සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයිද නොදන්නාහුය. මේ ආත්මයෙහිම අකුශල ධර්මයන්ගේ දුරු කිරීමත් කුසල ධර්මයන්ගේ වැඩීමත් නොදන්නාහුය. මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ, දුකක් හෝ, දුක් නොවූ සැප නොවූවක් හෝ, විඳීයිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නේය. පැරණිවූ කර්මයන් තපසින් කෙළවර කිරීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම හට නොගැණීමවේ. මත්තෙහි හටනොගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මයන්ගේ නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේ යයි ප්‍රකාශ කිරීමට සුදුසු නොවන්නේය.

“ආයුෂ්මත් නිගණ්ඨයිනි, ඉදින් තෙපි පෙර අපි වීමුයයි දන්නාහුද, නොවීමුයයි දන්නාහුද, පෙර අපි පාපකර්ම කෙළෙමුයයි දන්නාහුද, නොකෙළෙමුයයි දන්නාහුද, මෙබඳු මෙබඳුවූ පාපකර්ම කෙළෙමුයයි දන්නාහුද, මෙපමණවූ දුක් දිරවන ලද්දේය. මෙපමණවූ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරවූ කල්හි සියලු දුක් දිරවන ලද්දේ වන්නේයයි දන්නාහුද මේ ආත්මයෙහිම අකුසල ධර්මයන්ගේ දුරු කිරීමත් කුසල ධර්මයන්ගේ වැඩීමත් දන්නාහුද, මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගලතෙම යම් කිසි සැපයක් හෝ දුකක් හෝ, දුක්නොවූ සැප නොවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳිත්. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවර කිරීමෙන්, අලුත්වූ කර්මයන් නොකිරීමෙන්, මත්තෙහි කර්ම නොහට ගැණීමවේ. මත්තෙහි කර්ම නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මයන්ගේ නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීම් වේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේය”යි ප්‍රකාශ කිරීමට සුදුසු වන්නේය’.

‘ආයුෂ්මත් නිගණ්ඨයිනි, යම්සේ පුරුෂයෙක් තෙම දැඩි කොට විස පොවනලද විෂ සහිතවූ හුලකින් විදින ලද්දේ වන්නේද හෙතෙම ඒ හුල ඇනීමේ වේදනාව හේතුකොටගෙණ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාව විඳින්නේය. ඔහුගේ අසල් වැස්සෝද, නෑ සහ ලේනෑයෝද ශල්‍යකර්ම කරන්නාවූ වෙදෙකු කැඳවන්නාහුය. ශල්‍යකර්ම කරණ ඒ වෙද තෙම ආයුධයකින් ඔහුගේ වණ මුඛය කපන්නේය. හෙතෙම ආයුධයකින් වණ මුඛය කැපීම හේතුකොට ගෙනද, දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාව විඳින්නේය. ශල්‍ය වෙදතෙම සැත් කටුවකින් ඔහුගේ හුල සොයන්නේය. හෙතෙම සැත් කටුවෙන් හුල සෙවීම හේතුකොට ගෙනද, තියුණුවූ කටුකවූ වේදනාව විඳින්නේය. ශල්‍ය වෙදතෙම ඔහුගේ ඒ හුල ඇද දමන්නේය. හෙතෙම හුල ඇද දැමීම හේතුකොටගෙනද, දුක්වූ තියුණුවූද කටුකවූ වේදනාව විඳින්නේය. ඒ ශල්‍ය වෙද තෙම ඔහුගේ වණ මුඛයෙහි බෙහෙත් සුණු දමන්නේය. හෙතෙම බෙහෙත් කුඩු වණ මුඛයෙහි දැමීම හේතුකොට ගෙනද දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාව විඳින්නේය. හෙතෙම මෑත කලෙක්හි නැංගාවූ යහපත් සිවිය ඇති වණයෙන් සුව ඇත්තේ තනිව හැසිරෙන්නේ තමාගේ වසඟයෙහි වූයේ කැමති තැනක යාහැකි වන්නේය. ඔහුට මෙබඳු සිතක් වන්නේය. මම වනාහි පෙර දැඩිකොට පොවනලද ඇති විෂ සහිතවූ හුලකින් විදින ලද්දෙක් වීමි. ඒ මම හුල ඇනීමෙන්වූ වේදනාව හේතුකොට දුක්වූ, තියුණුවූ කටුකවූ, වේදනාව වින්දෙමි. ඒ මට අසල් වැස්සෝද, නෑ සහ ලේනෑයෝද, ශල්‍යකර්ම කරන්නාවූ වෙදෙකු කැඳෙව්වාහුය. ශල්‍ය වෙදතෙම ආයුධයකින් ඒ මගේ වණ මුඛය කැපුවේය. ඒ මම ආයුධයෙන්ද වණ මුඛය කැපීම හේතුකොට දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාව වින්දෙමි. ඒ ශල්‍ය වෙදතෙම සැත් කටුවෙන් ඒ මගේ හුල සෙව්වේය’.

‘ඒ මම සැත් කටුවෙන් හුල සෙවීම හේතුකොට දුක්වූ තියුණුවූ, කටුකවූ, වේදනාව වින්දෙමි. ඒ ශල්‍ය වෙදතෙම ඒ මාගේ හුල ඇද දැම්මේය. ඒ මම හුල ඇදීම හේතුකොටද දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාව වින්දෙමි. ඒ ශල්‍ය වෙදතෙම බෙහෙත් ඒ මාගේ වණ මුඛයෙහි බෙහෙත් සුණු ගැල්වූයේය. ඒ මම බෙහෙත් සුණු වණ මුඛයෙහි ගැල්වීම හේතුකොටද, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාව වින්දෙමි. ඒ මම දැන් නැංගාවූ මනා සිවිය ඇති වණය ඇත්තේ, නිරෝගවූයේ, සුවපත්වූයේ, එකලාව හැසිරෙන්නේ තෙමේ තමහට වසඟවූයේ කැමති පරිදි යාහැක්කේ වෙමියි’ කියායි.

‘ඇවැත් නිගණ්ඨයිනි, එපරිද්දෙන්ම ඉදින් තෙපි පෙර අපි වීමුයි දන්නහු නම්, නොවීමුයි දන්නහු නම්, පෙර අපි පාපකර්ම කෙළෙමුයි දන්නහු නම්, නොකෙළෙමුයි දන්නහු නම් මෙබඳුවූ මෙබඳුවූ පාපකර්ම කෙළෙමුයි දන්නහු නම් මෙපමණ දුක් දිරා ගිය කල්හි සියලු දුක් දිරා ගියේ වන්නේයයි දන්නහු නම් මේ ආත්මයෙහිම අකුසලයන්ගේ දුරු කිරීමත් කුසලයන්ගේ වැඩීමත් දන්නහු නම්, මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ දුකක් හෝ, දුක් නොවූ සැප නොවූවක් හෝ, විඳියිද ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන්ම විඳින්නේය. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම නොහට ගැණීමවේ. මත්තෙහි කර්ම නොහට ගැනීමෙන් කර්ම නැසීමවේ. කර්ම නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියළු දුක් දිරායාම වන්නේයයි ප්‍රකාශ කිරීමට සුදුසු වන්නේය. ඇවැත් නිගණ්ඨයිනි, යම් හෙයකිනුත් තෙපි පෙර අපි වීමුයයි නොදන්නාහු නම් නොවීමුයයි නොදන්නහු නම්, පෙර අපි පාප කර්මය කෙළෙමු යයි නොදන්නාහු නම්, නොකෙළෙමුයයි නොදන්නාහු නම්, මෙබඳුවූ මෙබඳුවූ පාප කර්ම කෙළෙමුයි නොදන්නාහු නම්, මෙපමණ දුක් දිරා ගියේය. මෙපමණ දුක් දිරවිය යුතුය. මෙපමණ දුක් දිරා ගිය කල්හි සියලු දුක් දිරා ගියේ වන්නේ යයි නොදන්නාහු නම්, ඉහාත්මයෙහිම අකුසලයන්ගේ දුරු කිරීම කුසල ධර්මයන්ගේ වැඩීම නොදන්නාහු නම්, එසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ දුකක් දුක් නොවූ සැප නොවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන් විඳින්නේය. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන්, මත්තෙහි කර්ම නොහටගැනීමවේ. මත්තෙහි කර්ම නොහට ගැනීමෙන් කර්ම නැසිමවේ. කර්ම නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වෙදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේයයි ප්‍රකාශ කිරීමට සුදුසු නොවන්නේය’.

“මහණෙනි, මෙසේ කී කල්හි ඒ නිගණ්ඨයෝ මට මෙසේ කීවාහුය. ‘ඇවැත්නි, සර්වඥවූ සියල්ල දක්නාවූ නිගණ්ඨනාථ පුත්‍රතෙම සියල්ල දක්නා ඥානය ඇති බව ප්‍රකාශ කරයි යන්නාවූද, සිටින්නාවූද, නිදන්නාවූද, නිදි දුරුකරන්නාවූද, මට නිරන්තරයෙන් සියල්ල නුවණින් දැකීම එළඹ සිටියේය, කියායි. හෙතෙම මෙසේ කීය. ‘ඇවැත් නිගණ්ඨයිනි’. තොප විසින් පෙර කරණලද පාපකර්ම ඇත්තේමය. එය මේ කටුකවූ දුෂ්කර පැවැතුමෙන් දිරවව්. යම් හෙයකින් දැන්, කයින් සංවරවූවාහුද, වචනයෙන් සංවර වූවාහුද, සිතින් සංවර වූවාහුද, එය මත්තෙහි පාප කර්මයාගේ නොකිරීමවේ. මෙසේ පුරාණවූ කර්මයන් තපසින් කෙළවරවීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම නොහට ගැනීමවේ. මත්තෙහි කර්ම නොහට ගැනීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්ම නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරායාම වන්නේය කියායි. එය වනාහි අපට රුචිදවේ. කැමතිදවේ. එයින්ද සතුටු සිත් ඇත්තෝවීමුය, යනුයි. මහණෙනි, මෙසේ කීකල්හි මම ඒ නිගණ්ඨයන්ට මෙසේ කීවෙමි. ඇවැත් නිගණ්ඨයිනි, මේ ආත්මයෙහිම දෙපරිද්දෙකින් විපාක ඇත්තාවූ, මේ ධර්ම පසක් වෙත්. කවර පසක්දයත්? අනුන්ගේ කීම් ඇදහීම, තමාගේ කැමැත්ත, ඇසීම ආකාර කල්පනා කිරිම, මෙසේමයයි නිශ්චය කිරීම යන මේ පසයි.

‘ඇවැත් නිගණ්ඨයිනි, මේ ධර්ම පස මේ ආත්මයෙහිම දෙපරිද්දකින් විපාක ඇත්තාවූ, ධර්ම පස වෙත්. ඔවුන් අතුරෙන් ආයුෂ්මත් නිගණ්ඨයන්ගේ ශාස්තෘහු කෙරෙහි අතීතය පිළිබඳව ඇදහීම කුමක්ද? කැමැත්ත කුමක්ද? ඇසීම කුමක්ද? ආකාර කල්පනා කිරීම කුමක්ද? විනිශ්චය කුමක්දැයි අසමි’. මහණෙනි, මෙසේ කියන්නාවූ මම වනාහි නිගණ්ඨයන් කෙරෙහි කිසියම් කරුණු සහිතවූ උත්තර දීමක් නොදකිමි.

“මහණෙනි, නැවතද නිගණ්ඨයන්ට මම මෙසේ කියමි. නිගණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද?’ යම් කලෙක්හි තොපගේ දැඩිවූ උපක්‍රමයක් වේද? දැඩිවූ වීර්යයක් වේද? එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ, දැඩිවූ, දුක්වූ, තියුණුවූ කටුකවූ වේදනාවන් විඳින්නාහුද? යම් කලෙක වනාහි තොපගේ දෘඪවූ උපක්‍රමයෙක් නොවේද, දැඩිවූ වීර්යයක් නොවේද, එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ දැඩිවූ, දුක්වු, තියුණුවූ, කටුකවූ වේදනාවන් නොවිඳින්නාහුද?

‘ඇවැත්නි, යම් කලෙක්හි අපගේ දැඩිවූ උපක්‍රමයෙක් වේද, දැඩිවූ වීර්යයක් වේද, එකල්හි උපක්‍රමයෙන් හට ගත්තාවූ දැඩිවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිමු. යම් කලෙක්හි වනාහී අපගේ දැඩිවූ උපක්‍රමයක් නොවේද, දැඩිවූ වීර්යයක් නොවේද, එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ දැඩිවූ දුක්වූ, තියුණුවූ, කටුකවූ, වේදනාවන් නොවිඳිමුයි’ කීහ.

‘ඇවැත් නිගණ්ඨයිනි, මෙසේ වනාහි යම් කලෙක්හි තොපගේ දැඩිවූ උපක්‍රමය වේද, දැඩිවූ වීර්යය වේද, එකල්හි දැඩිවූ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳින්නාහුනම් යම් කලෙක්හි වනාහි තොපගේ දැඩිවූ උපක්‍රමයක් නොවේද, දැඩිවූ, වීර්යයක් නොවේද, එකල්හි දැඩිවූ උපක්‍රමයෙන් හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාවන් නොවිඳින්නහුනම් මෙසේ ඇතිකල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගලතෙම යම් කිසි සැපක් හෝ දුකක් දුක්නොවූ සැප නොවූවක් හෝ විඳියිද, ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන් විඳින්නේය. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන් අළුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම නොහට ගැණීමවේ. මත්තෙහි කර්ම නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීම වේ. කර්ම නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියලු දුක් දිරවීම වන්නේයයි ප්‍රකාශ කිරීමට සුදුසු නොවන්නේය’.

‘ආයුෂ්මත් නිගණ්ඨයිනි, ඉදින් යම් කලෙක තොපගේ දැඩිවූ උපක්‍රමයවේද, දැඩිවූ වීර්යය වේද, එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාව නවතින්නේ නම් යම් කලෙක වනාහි තොපගේ දැඩිවූ උපක්‍රමය නොවේද දැඩිවූ වීර්යය නොවේද එකල්හි උපක්‍රමයෙන් හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනාව නොනවතින්නේ නම් එසේ ඇතිකල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ට මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් දුකක් දුක් නොවූ සැපනොවූවක් විඳියිද ඒ සියල්ල පෙරකළ කර්ම හෙතුවෙන්ම විඳින්නේය. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවරවීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි නොහට ගැණීමවේ. මත්තෙහි නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මයන් නැසීමෙන් දුක් නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීම වේ. වේදනා නැසීමෙන් සියලු දුක දිරවීම වන්නේයයි ප්‍රකාශ කිරීමට සුදුසු වන්නේය.

‘ආයුෂ්මත්වූ නිගණ්ඨයිනි, යම් හෙයකිනුත් යම් කලෙක වනාහි තොපගේ දැඩිවූ උපක්‍රමය වේද දැඩිවූ වීර්යය වේද, එකල්හි දැඩිවූ උපක්‍රමයෙන් හටගත්තාවූ තියුණුවූ කටුකවූ වේදනා විඳින්නහුය. යම් කලෙක්හි වනාහි තොපගේ දැඩිවූ උපක්‍රමය නොවේද දැඩිවූ වීර්යය නොවේද එකල්හි දැඩිවූ උපක්‍රමයෙන් හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනා නොවිඳින්නහුය. ඒ තෙපි තුමූම උපක්‍රමයෙන් හටගත්තාවූ දුක්වූ තියුණුවූ කටුකවූ ඒ වේදනාවන් විඳිනු ලබන්නාහු අවිද්‍යාවෙන් නොදැනීමෙන් මුලාවෙන් මේ පුරුෂ පුද්ගලතෙම යම්කිසි සැපක් හෝ දුකක් හෝ දුක්නොවූ සැප නොවූවක් හෝ විඳියිද ඒ සියල්ල පෙරකළ කර්ම හේතුවෙන් විඳින්නේය. මෙසේ පැරණිවූ කර්මයන් තපසින් කෙළවර වීමෙන් අළුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි කර්ම නොහට ගැණීමවේ. මත්තෙහි කර්ම නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්ම නැසීමෙන් දුක්නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනා නැසීමෙන් සියළු දුක දිරවීම වන්නේයයි විපරිත වශයෙන් අදහන්නහුය’. මහණෙනි, මෙසේ කියන්නාවූ මම නිගණ්ඨයන්ගේ කරුණු සහිතවූ කිසියම් පිළිතුරක් නොදකිමි.

“මහණෙනි, නැවතද මම ඒ නිගණ්ඨයින්ට මෙසේ කියමි. ‘ඇවැත් නිගණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද? මේ ආත්මයෙහි විපාකදෙන යම් මේ කර්මයක් වෙයිද එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ පරලොව විපාක දෙන කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි’ අසමි. ‘ඇවැත්නි, එසේ නොලැබිය හැකියයි කියත්.’ ‘පරලොව විපාක දෙන යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ මේ ආත්මයෙහි විපාක දෙන කර්මයක් වේවායි එසේ ලැබිය හැක්කේදැයි අසමි.’ ‘ඇවැත්නි එසේ නොලැබිය හැකියයි’ කියති.

‘ඇවැත් නිගණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද? සැප විපාක දෙන්නාවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ දුක් විපාක දෙන්නාවූ කර්මයක් වේවායි එසේ ලැබිය හැක්කේදැයි අසමි.’ ‘ඇවැත්නි, එසේ නොලැබිය හැක්කේයයි කියත්.’

‘ඇවැත්නි, දුක් විපාක දෙන්නාවූ යම් මේ කර්මයක් වෙයිද එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ සැප විපාක දෙන්නාවූ කර්මයක් වේවායි එසේ ලැබිය හැක්කේ දැයි අසමි.’ ‘ඇවැත්නි එසේ නොලැබිය හැකියයි’ කියත්.”

‘ඇවැත් නිගණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද? මුහුකුරාගිය කල්හි විපාක දෙන්නාවූ යම් කර්මයක් වෙයිද එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ මුහුකුරා නොගිය කල්හි විපාක දෙන කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.’ ‘ඇවැත්නි, එසේ නොලැබිය හැකියයි’ කියත්. ‘මුහුකුරා නොගිය කල්හි විපාක දෙන්නාවූ යම් මේ කර්මයක් වෙයිද එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ මුහුකුරාගිය කල්හි විපාක දෙන කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.’ ‘ඇවැත්නි, එසේ නොලැබිය හැකියයි’ කියත්.

‘ඇවැත් නිගණ්ඨයිනි, එය කුමකැයි හඟිව්ද? බොහෝ විපාක දෙන්නාවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ ස්වල්ප විපාක ඇත්තාවූ කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.’ ‘ඇවැත්නි, එසේ නොලැබිය හැකියයි’ කියත්. ‘ස්වල්ප විපාක ඇත්තාවූ යම් ඒ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ බොහෝ විපාක ඇත්තාවූ කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.’ ඇවැත්නි, එසේ නොහැකියයි කියත්.

‘ඇවැත් නිගණ්ඨයිනි, ඒ කුමකැයි හඟිව්ද? විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ විපාක නොවිඳිය යුතුවූ කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.’ ‘ඇවැත්නි, එසේ නොලැබිය හැකියයි’ කියත්. ‘විපාක නොවිඳියි යුතුවූ යම් ඒ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ විපාක විඳියයුතු කර්මයක් වේවායි එසේ ලැබිය හැකිදැයි අසමි.’ ‘ඇවැත්නි, එසේ නොලැබිය හැකියයි’ කියත්.

‘ඇවැත් නිගණ්ඨයිනි, මෙසේ වනාහි මේ ආත්මයෙහි විඳිය යුතුවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයන්ගේ හෝ වීර්යයෙන් හෝ පරලොව විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද පරලොව විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වෙයිද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ මේ ආත්මයෙහි විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේය. සැප විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වෙයිද, උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ දුක් විපාක විඳිය යුතුකර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද, දුක් විපාක විඳිය යුතු යම් මේ කර්මයක් වේද එය උපක්‍රමයෙන් හෝ, වීර්යයෙන් හෝ, සැප විපාක විඳිය යුතු කර්මයක් වේවායි, මෙය නොලැබෙන්නේද, මුහුකුරා ගිය කල්හි විපාක විඳිය යුතුවූ යම් මේ කර්මයක් වේද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ මුහුකුරා නොගිය කල්හි විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේය. මුහුකුරා ගිය නොගිය කල්හි විපාක විඳිය යුතු යම් මේ කර්මයක් වේද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ මුහුකුරා ගිය කල්හි විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේය. බොහෝ විපාක විඳිය යුතු යම් කර්මයක් වේද, එය මේ උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ ස්වල්පවූ විපාක විඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද, ස්වල්පවූ විපාක විඳියයුතු යම් මේ කර්මයක් වේද, එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ බොහෝ විපාක විඳිය යුතු කර්මයක් වේවායි, මෙය නොලැබෙන්නේද, විපාක විඳිය යුතු යම් මේ කර්මයක් වේද එය උපක්‍රමයෙන් හෝ වීර්යයන්ගේ හෝ විපාක නොවිඳිය යුතු කර්මයක් වේවායි මෙය නොලැබෙන්නේද, විපාක නොවිඳිය යුතු යම් මේ කර්මයක් වේද එය උපක්‍රමයෙන් හෝ වීර්යයෙන් හෝ විපාක විඳිය යුතු කර්මයක් වේවායි, මෙය නොලැබෙන්නේද, මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයන්ගේ උපක්‍රමය නිෂ්ඵලවේ. වීර්යය නිෂ්ඵල වේ.’

“මහණෙනි, නිගණ්ඨයෝ මෙබඳු වාද ඇත්තාහුය, මහණෙනි මෙබඳුවාද ඇත්තාවූ නිගණ්ඨයන්ගේ වාද අනුවාද දසයක් කරුණු සහිතය ගැරහිය යුතු තැනට පැමිණෙත්.

මහණෙනි, ඉදින් සත්වයෝ පෙරකළ කර්මහේතුවෙන් සැප දුක් විඳිත් නම් මහණෙනි, යම්හෙයකින් දැන් මෙබඳුවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනා විඳින්නාවූ නිගණ්ඨයෝ එකාන්තයෙන් පෙර නපුරු කොටකරන ලද ධර්ම ඇත්තාහු වෙත්. මහණෙනි ඉඳින් සත්වයෝ ඊශ්වරාදීන් විසින් මැවීම හේතු කොට ගෙණ සැපදුක් විඳිත් නම්, මහණෙනි, යම් හෙයකින් මේකාලයෙහි මෙබඳු දුක්වූ තියුණුවූ කටුකවූ වේදනා විඳින්නාවූ නිගණ්ඨයෝ එකාන්තයෙන් පවිටුවූ ඊශ්වරාදියකු විසින් මවන ලද්දාහු වෙත්.

“මහණෙනි, ඉදින් සත්වයෝ නියමය හේතුකොට ගෙන සැප දුක් විඳිත් නම් මහණෙනි, යම් හෙයකින් මෙකල්හි මෙබඳු දුක්වූ තියුණුවූ කටුකවූ වේදනා විඳින්නාවූ නිගණ්ඨයෝ එකාන්තයෙන් පාප නියමයක් ඇත්තෝ වෙත්. මහණෙනි, ඉදින් සත්වයෝ සවැදැරුම් උත්පත්ති හේතු හේතු කොට ගෙන සැප දුක් විඳිත් නම්, මහණෙනි, යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ දුක්වූ තියුණුවූ කටුකවූ වේදනා විඳින්නාවූ නිඝණ්ඨයෝ එකාන්තයෙන් පවිටුවූ උත්පත්ති ඇත්තෝ වෙත්. මහණෙනි, ඉදින් සත්වයෝ ඉහාත්මයෙහිවූ උපක්‍රම හේතුවෙන් සැප දුක් විඳිත් නම් මහණෙනි, යම් හෙයකින් මෙ කල්හි මෙ බඳු දුක්වූ තියුණුවූ කටුක වූ වේදනා විඳින්නා වූ නිඝණ්ඨයෝ එකාන්තයෙන් ඉහාත්මයෙහි පවිටු වූ උපක්‍රම ඇත්තෝ වෙත්.

“මහණෙනි, ඉදින් සත්වයෝ පෙර කළ කර්ම හේතු වෙන් සැප දුක් විඳිත් නම් එයින් ද නිගණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. ඉදින් සත්වයෝ පෙර කළ කර්ම හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින්ද, නිගණ්ඨයෝ ගැරහිය යුතු වෙත්. මහණෙනි, ඉදින් සත්වයෝ ඊශ්වරාදීන්ගේ මැවීම් හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුතු වෙත්. ඉදින් සත්වයෝ ඊශ්වරාදීන්ගේ මැවීම් හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුතු වෙත්. මහණෙනි, ඉදින් සත්වයෝ නියම හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුතු වෙත්. ඉදින් සත්වයෝ නියම හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින් ද නිගණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. මහණෙනි, ඉදින් සත්වයෝ සවැදෑරුම් උත්පත්ති හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. ඉදින් සත්වයෝ සවැදෑරුම් උත්පත්ති හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. මහණෙනි, ඉදින් සත්වයෝ මේ ආත්මයෙහිවූ උපක්‍රම හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින්ද නිගණ්ඨයෝ ගැරහිය යුත්තෝ වෙත්. ඉදින් සත්වයෝ ඉහාත්මයෙහිවූ උපක්‍රම හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින් නිගණ්ඨයෝ ගැරහිය යුත්තාහු වෙත්. මහණෙනි, නිගණ්ඨයෝ මෙ බඳු වාද ඇත්තාහුය. මහණෙනි, මෙබඳු වාද ඇත්තාවූ නිගණ්ඨයන්ගේ වාදානුවාද දසය කරුණු සහිතව මෙසේ ගැරහිය යුතු තැනට පැමිණෙත්. මහණෙනි, මෙසේ වනාහි උපක්‍රමය නිෂ්ඵල වේ. වීර්යය නිශ්ඵල වේ.

මහණෙනි, කෙසේ නම් උපක්‍රමය සඵලවේද? වීර්යය සඵලවේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම දුකින් පීඩිත නොවූ තමා දුකින් පීඩිත කෙරෙයිද, ධාර්මිකවූ සැපය අත් නොහරියිද ඒ සැපයෙහි මුසපත් නොවෙයිද හෙතෙම මෙසේ දැනගණියි. මෙසේ වීර්ය කරන්නාවූ මාගේ දුකට හේතු වූ තෘෂ්ණාව වීර්ය කිරීම හේතුකොට ගෙන දුරුවෙයි. මන්ද ජාති වශයෙන් බලන්නාවූ උපෙක්ෂාව වඩන්නාවූ මගේ දුකට හේතුවූ තෘෂ්ණාව දුරුවේයයි කියයි.

වීර්ය කරන්නාගේ වීර්ය කිරීම් හේතුකොටගෙන දුකට හේතුවූ යම් තෘෂ්ණාවක්හුගේ දුරුකිරීම වෙයිද එහි මාර්ග වීර්යයෙන් වීර්ය කරන්නේය.

‘එහි උපෙක්ෂාව වඩයි. වීර්ය කරන්නාවූ ඒ පුද්ගලයාහට වීර්ය කිරීම හේතුකොටගෙන දුක් උපදවන හේතුව වන තෘෂ්ණාවගේ දුරුවීම වෙයි.

මෙසේද ඔහුගේ ඒ දුක දිරා යන්නේ වෙයි. මධ්‍යස්ථ වන්නාවූ ඒ පුද්ගලයාහට මධ්‍යස්ථවීම හේතුකොටගෙන දුක් උපදවන හේතුව වන තෘෂ්ණාවගේ දුරුවීම වෙයි. මෙසේද ඔහුගේ ඒ දුක දිරාගියේ නම් වෙයි.

“මහණෙනි, යම්සේ පුරුෂයෙක් තෙම ස්ත්‍රියක් කෙරෙහි ඇළුම් සහිත වූයේ, පිළිබඳ සිත් ඇත්තේ, දැඩිවූ ආලය ඇත්තේ, දැඩිවූ බලාපොරොත්තු ඇත්තේවේද, හෙතෙම අන් පුරුෂයෙකු සමග එක්ව සිටින්නාවූ, එක්ව කථා කරන්නාවූ, එක්ව සෙල්ලම් කරන්නාවූ, එක්ව සිනාසෙන්නාවූ, ඒ ස්ත්‍රිය දක්නේය. මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? කිමෙක්ද? ඒ පුරුෂයා හට අන් පුරුෂයෙකු සමග සිටින්නා වූ කථා කරන්නාවූ මහත්සේ සිනාසෙන්නාවූ මේ ස්ත්‍රිය දැක ශොකය, වැලපීමය, දුකය, දොම්නසය, උපායාස යන මොහු උපදින්නාහුද?” “ස්වාමීනි, එසේය,” “ඊට හේතු කවරේද?” “ස්වාමීනි, මේ පුරුෂ තෙම වනාහි මේ ස්ත්‍රිය කෙරෙහි ඇළුම් සහිත වූයේ, පිළිබඳ සිත් ඇත්තේ, දැඩි ආලය ඇත්තේ, දැඩි බලාපොරොත්තු ඇත්තේ වෙයි. එහෙයින් අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ, කථා කරන්නාවූ, මහත්සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ ඒ ස්ත්‍රිය දැක ශොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු උපදිත්.”

“මහණෙනි, ඉක්බිති ඒ පුරුෂයාට මෙබඳු සිතක් වන්නේය. මම වනාහි මේ ස්ත්‍රිය කෙරෙහි ඇළුම් සහිත වූයේ, පිළිබඳ සිත් ඇත්තේ, දැඩි ආලය ඇත්තේ, දැඩි වූ බලාපොරොත්තු ඇත්තේ වෙමි. ඒ මට අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ කථාකරන්නාවූ මහත්සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ මේ ස්ත්‍රිය දැක ශොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු උපදිත්. ‘මම මේ ස්ත්‍රිය කෙරෙහි මගේ යම් ඡන්ද රාගයක් (ඇල්මක්) වේද, එය දුරු කරන්නෙම් නම්, ඉතා යෙහෙකැයි’ කියා යි. හෙතෙම මේ ස්ත්‍රිය කෙරෙහි යම් තද ඇල්මක් වේද, එය දුරු කරන්නේය. හෙතෙම පසු කලෙක අන් පුරුෂයෙකු සමග සිටින්නාවූ, කථා කරන්නාවූ, මහත් සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ ඒ ස්ත්‍රිය දක්නේය. මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද, කිම? ඒ පුරුෂයාට අන් පුරුෂයකු සමග සිටින්නා වූ, කථාකරන්නා වූ, මහත්සේ සිනාසෙන්නාවූ, සිනාසෙන්නාවූ, මේ ස්ත්‍රිය දැක ශොකය, පරිදෙවය, දුකය, දොම්නසය, උපායාසය යන මොහු උපදින්නාහුද?” “ස්වාමීනි, මෙය නොවේමැයි, ඊට හේතු කවරේද? ස්වාමීනි, මේ පුරුෂතෙම වනාහි මේ ස්ත්‍රිය කෙරෙහි පහවූ ඇළුම් ඇත්තේ වෙයි. එහෙයින් අන් පුරුෂයකු සමග සිටින්නාවූ, කථාකරන්නාවූ, මහ සිනාවෙන් සිනාසෙන්නාවූ, ඒ ස්ත්‍රීය දැක ශොක පරිදෙව දුක් දොම්නස් උපායාසයෝ නූපදිත්යයි” කීහ.

“මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම දුකින් නොමඩනා ලද මේ මනුෂ්‍යාත්මය දුකින් නොමඩියි. දැහැමිවූ සැපයද, අත් නො හරියි. ඒ සැපයෙහි මුසපත් නොවූයේද වෙයි. හෙතෙම වීර්ය කරන්නාවූ ‘මගේ වීර්ය කිරීම හේතු කොටගෙන දුකට හේතුවූ තෘෂ්ණාවගේ දුරුවීම වෙයි. උපෙක්ෂාව වඩන්නාවූ මගේ උපෙක්ෂාව වැස්ම හේතු කොට ගෙන දුකට හේතුවූ තෘෂ්ණාවගේ දුරුවීම වේයයි’ දැනගනී. හෙතෙම වීර්ය කරන්නාහට වීර්ය කිරීම හේතුකොට ගෙන දුකට හේතුවූ යම් තෘෂ්ණාවක්හුගේ දුරුවීම වෙයිද, එහි වීර්ය කරයි. උපෙක්ෂාව වැඩීම හේතුකොට ගෙන දුකට හේතුවූ තෘෂ්ණාවගේ දුරුවීමක්වේ නම් හෙතෙම එහි උපෙක්ෂා වඩයි. වීර්ය කරන්නාවූ ඔහුගේ වීර්ය කිරීම හේතුකොටගෙන ඒ දුක් උපදවන හේතුව වූ තෘෂ්ණාවගේ දුරුවීමක් වේ. එසේ ද ඔහුගේ දුක් දිරා යාම වෙයි. උපෙක්ෂාව වඩන්නා වූ ඔහුට උපෙක්ෂාව වැඩීම හේතුකොටගෙන ඒ දුක් උපදවන හේතුවවූ තෘෂ්ණාවගේ දුරුවීමක් වේද, එසේද ඔහුගේ දුක් දිරා ගියේ වෙයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම මෙසේ සලකයි. සැපසේ වාසය කරන්නා වූ මාගේ අකුසල ධර්මයෝ වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත්. ශරීරයට දුක් ඇතිවනසේ උත්සාහ කරන්නා වූ මාගේ අකුසල ධර්මයෝ පිරිහෙත්. කුසල ධර්මයෝ වැඩෙත්.

“ශරීරයට දුක් ඇති වනසේ උත්සාහ කරන්නෙහි නම් ඉතා යෙහෙකි කියායි. හෙතෙම ශරීරයට දුක් ඇති වනසේ වීර්ය කරයි. ශරීරයට දුක් ඇති වනසේ වීර්ය කරන්නාවූ ඔහුගේ අකුසල ධර්මයෝ පිරිහෙත්. කුසල ධර්මයෝ වැඩෙත්. හෙතෙම පසු කාලයෙහි ශරීරයට දුක් ඇති වනසේ වීර්ය නොකරයි. ඊට හේතුව කවරේද? මහණෙනි, යමක් සඳහා ඒ මහණ තෙම ශරීරයට දුක්වනසේ වීර්ය කරන්නේද, ඒ අර්ථය ඔහුට සම්පූර්ණවූයේ වෙයි. එහෙයින් පසු කාලයෙහි ශරීරයට දුක් උපදිනසේ වීර්ය නොකරයි.

“මහණෙනි, යම්සේ හී වඩුවෙක් හීය ගිනි පෙනෙලි දෙකෙකින් තවාද, නැවත නැවත තවාද, ඇද හරියිද කර්මන්‍ය කරයිද, මහණෙනි, යම් හෙයකින් වනාහී හී වඩුවා විසින් ඊය ගිනි පෙනෙලි දෙකකින් තවන ලද්දේවේද, අතිශයින් තවන ලද්දේ වේද, ඇද හරින ලද්දේද, කර්මන්‍ය කරන ලද්දේ වේද, ඒ හී වඩු තෙම පසු කාලයෙහි ඒ ඊය ගිනි පෙණෙලි දෙකෙකින් නොතවයි. අතිශයින් නොතවයි. ඇද නොහරියි. කර්මන්‍ය නොකරයි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ හී වඩු තෙම යමක් සඳහා ඊය ගිනි පෙණෙලි දෙකකින් තවන්නේද? අතිශයින් තවන්නේද, ඇද හරියිද, කර්මන්‍ය කරන්නේද, ඒ අර්ථය ඔහුට සම්පූර්ණ වූයේ වෙයි. එහෙයින් ඊ වඩු තෙම පසු කාලයෙහි ඊය ගිනි පෙණෙලි දෙකකින් නොතවයි. අතිශයින් නොතවයි. ඇද නොහරියි. කර්මන්‍ය නොකරයි. මහණෙනි, එපරිද්දෙන්ම මහණ තෙම මෙසේ සලකයි. සැපසේ වාසය කරන්නාවූ මාගේ අකුසල ධර්මයෝ වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත්. ශරීරයට දුක් ඇති වනසේ වීර්‍ය්‍ය කරන්නාවූ මාගේ අකුසල ධර්මයෝ පිරිහෙත්. කුසල ධර්මයෝ වැඩෙත්. මම ශරීරයට දුක් ඇති වනසේ වීර්‍ය්‍ය කරන්නෙම් නම් ඉතා යෙහෙකැයි කියායි. හෙතෙම ශරීරයට දුක් ඇති වනසේ වීර්‍ය්‍ය කරයි. ශරීරයට දුක් ඇති වනසේ වීර්‍ය්‍ය කරන්නාවූ ඔහුගේ අකුසල ධර්මයෝ පිරිහෙත්. කුසල ධර්මයෝ වැඩෙත්. හෙතෙම පසු කලෙක්හි ශරීරයට දුක් නැති වනසේ වීර්‍ය්‍ය නොකරයි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ මහණ තෙම යම් අර්ථයක් සඳහා ශරීරයට දුක් ඇති වනසේ වීර්‍ය්‍ය කරන්නේද, ඒ අර්ථය ඔහුට සම්පූර්ණවූයේ වෙයි. එහෙයින් පසු කලෙක්හි ශරීරයට දුක් උපදිනසේ වීර්‍ය්‍ය නොකරයි. මහණෙනි, මෙසේද උපක්‍රමය ඵල සහිත වෙයි. උත්සාහය ඵල සහිත වෙයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මේ ලොකයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ අෂ්ටවිද්‍යා පසලොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ ශොභන ගමන් ඇත්තාවූ ලොකය දන්නාවූ නිරුත්තරවූ දමනය කළනොහැකි පුරුෂයන් දමනය කිරීමෙහි සාර්ථ වාහකයෙකු බඳුවූ දෙවිමිනිසුන්ට අනුශාසනා කරන්නාවූ චතුස්සත්‍යයන් අවබොධකළාවූ රාගාදී කෙලෙසුන් විනාශ කළාවූ තථාගතයන් වහන්සේ පහල වෙත්. ඒ තථාගතතෙම දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ මහණ බමුණන් සහිතවූ දෙවිමිනිසුන් සහිතවූ සත්ව ප්‍රජාව සහිතවූ මේ ලොකය විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට දැන ගනියි. ඒ තථාගතතෙම මුල යහපත්වූ මැද යහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ ඛ්‍යඤ්ජන සහිතවූ සියල්ල සම්පූර්ණවූ ධර්මය දෙශනා කරයි. පිරිසිදුවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එක්තරා කුලයක උපන්නෙක් හෝ අසයි. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව ලබයි. හෙතෙම ඒ ශ්‍රද්ධාව ලැබීමෙන් යුක්තවූයේ මෙසේ සලකයි. ගිහිගෙයි විසීම අවහිරය. රාගාදී කෙලෙස් ඉපදීමට මාර්ගයයි. පැවිදිවීම අවකාශ ස්ථානයයි. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණවූ ඒකාන්තයෙන් පිරිසිදුවූ ලියනලද සකක් වැනිවූ මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම හිසකේ රැවුල් කපා කසට වත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යහපති කියායි.

“හෙතෙම මෑත කලෙක්හි ස්වල්පවූ සම්පත් රාශිය හෝ හැර මහත්වූ සම්පත් රාශිය හෝ හැර ස්වල්පවූ නෑ පිරිවර හෝ හැර මහත්වූ නෑ පිරිවර හෝ හැර හිසකේ රැවුල් කපා කසට වස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි.

හෙතෙම මෙසේ පැවිදි වූයේම භික්ෂූන්ගේ අධිශීල ශික්ෂාවට හා සමාන දිවි පැවැත්මට පැමිණියේ, ප්‍රාණ ඝාතය හැර ප්‍රාණ ඝාතයෙන් වැලකුණේ වෙයි. බහා තබනලද දඬු ඇත්තේ බහා තබනලද ආයුධ ඇත්තේ, ලැජ්ජා ඇත්තේ, කරුණාවට පැමිණියේ, සියළු සතුන් කෙරෙහි හිතානු කම්පා ඇත්තේ වාසය කරයි, අදත්තාදානය හැර අදත්තාදානයෙන් වැලකුණේ වෙයි. දුන්දෙය ගන්නා සුළුවූයේ, දුන්දෙය කැමති වන්නේ සොරනොවූ පවිත්‍රවූ ආත්මයෙන් යුක්තව වාසය කරයි. අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර ශ්‍රෙෂ්ඨවූ හැසුරුම් ඇත්තේ ග්‍රාම ධර්මයක්වූ මෛථූන සේවනයෙන් දුරු වූයේ වැළකුණේ වෙයි. මුසාවාදය හැර බොරුකීමෙන් වැළකුණේ සත්‍යය කියන සුළු වූයේ, සත්‍යයෙන් සත්‍යය ගැලපීම ඇත්තේ, ස්ථීර වචන ඇත්තේ, ඇදහිය යුතු වචනයෙන් ලොකයා නොරවටන්නෙක්වේ. පිසුනු වචනය හැර කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. මෙතැනින් අසා මොවුන්ගේ බිඳීම පිණිස එතැන්හි නොකියන්නේ වෙයි. එතැනින් අසා ඔවුන්ගේ බිඳීම පිණිස මෙතන්හි නොකියන්නේ වෙයි.

“මෙසේ බිඳුනවුන් ගලපන්නේ හෝ, සමගි වූවන්ට අනුබල දෙන්නේ හෝ, සමගියට කැමැත්තේ, සමගියෙහි ඇළුනේ සමගියට සතුටු වන්නේ, සමගි කරන වචන කියන්නේ, වෙයි. ඵරුෂ වචනය හැර රළු බස් කීමෙන් වැළකුණේ වෙයි යම් ඒ වචනයක් නිදොස්ද, කණට සැපද, ප්‍රෙමණීයද, සිත සතුටු කරන්නේද, පුරවැසිභාවයට සුදුසුද, බොහෝ දෙනා කැමතිද, බොහෝ දෙනාගේ මනවඩන්නීද, එබඳු වචනය කියන්නේ වෙයි. සම්ඵප්‍රලාපය හැර හිස්වූ කථා කීමෙන් වැළකුණේ වෙයි. කලට සුදුසු වචන ඇත්තේ, සත්‍යවූ වචන ඇත්තේ, අර්ථයෙන් යුත් වචන ඇත්තේ, ධර්මයෙන් යුත් වචන ඇත්තේ, විනය සම්බන්ධවූ වචන ඇත්තේ, සුදුසු කල්හි කරුණු දැක්වීම් සහිතවූ ප්‍රමාණවත්වූ, අර්ථයෙන් යුක්තවූ, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ.

හෙතෙම තෘණ ගස්, වැල්, සිඳීම්, බිඳීම්, ආදියෙන් වැලකුණේ වෙයි. එක වේලේ වළඳනා ආහාර ඇත්තේ රාත්‍රි භොජනයෙන් වැලකුණේ නොකල්හි වැලඳීමෙන් වැලකුණේ වෙයි. නැටුම්, ගීකීම්, වීණා ආදිය වැයීම්, විසුළු දැකීම් යන මෙයින් වැලකුණේ වෙයි. මල් ගඳ විලවුන් දැරීම එයින් සැරසීම අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් වැලකුණේ වෙයි. උසසුන් මහ අස්නෙන් වැලකුණේ වෙයි. රන්රිදී මසු කහවනු පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. අමු මස් වර්ග පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. ස්ත්‍රීන් හා ළදැරියන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. දාසීන් හා දාසයන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. එළුවන් තිරෙළුවන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. කෙත්, වත් පිළිගැන්මෙන් වැලකුණේ වෙයි. දූත මෙහෙවරය, පණිවුඩ පණත්වල යෙදීමය යන මෙයින් වැලකුණේ වෙයි, වෙළඳාම පිණිස ගණුදෙනු කිරීමෙන් වැලකුණේ වෙයි. තරාදි ආදියෙන් වංචා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වංචා කිරීමය, වී ආදිය මැනීමෙන් වංචා කිරීමය යන මෙයින් වැලකුණේ වෙයි, අල්ලස් ගැනීමය, වංචා කිරීමය, උපායෙන් අනුන් රැවටීමය, කපටිකමය යන මෙයින් වැලකුණේ වෙයි. සිඳීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් පැහැරීමය, බලාත්කාරකම් කිරීමය යන මෙයින් වැලකුණේ වෙයි. හෙතෙම කය පරිහරණයට සුදුසුවූ සිවුරෙන් හා කුස පරිහරණයට සුදුසු පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි. යම් යම් තැනෙක්හිම යයිද, අටපිරිකර හැර ගෙණමයයි. යම්සේ නම් පියාපත් ඇති පක්ෂියෙක් යම් යම් තැනෙක්හිම පියාඹයිද, පියාපත් බරසහිතව පියාඹයිද, එමෙන්ම මහණතෙම කය පරිහරණයට සුදුසුවූ සිවුරෙන් හා කුස පරිහරණයට සුදුසු පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වෙයි. යම් යම් තැනෙක්හිම යේද පිරිකර හැරගෙණමයයි. හෙතෙම මේ ආර්‍ය්‍යවූ ශීල රාශියෙන් යුක්තවූයේ ආධ්‍යාත්මිකවූ නිරවද්‍ය වූ සුවය විඳියි.

හෙතෙම ඇසින් රූපය දැක නිමිති වශයෙන් නොගන්නේ කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ චක්ෂුරින්ද්‍රියෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලොභය හා දොම්නසය යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව උපදිත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි, චක්ෂුරීන්ද්‍රිය රකියි. චක්ෂුරින්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි, කණින් ශබ්දය අසා තපසින් කෙළවර වීමෙන් අලුත්වූ කර්මයන් නොකිරීමෙන් මත්තෙහි නොහට ගැණීමවේ. මත්තෙහි නොහට ගැණීමෙන් කර්මයන්ගේ නැසීමවේ. කර්මයන් නැසීමෙන් දුක්නැසීමවේ. දුක් නැසීමෙන් වේදනා නැසීමවේ. වේදනානැසීමෙන් නාසයෙන් සුවඳ ආඝ්‍රාණය කොට නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ ශ්‍රොතෙන්ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලොභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි ශ්‍රොතෙන්ද්‍රිය රකියි. ශ්‍රොතෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.

“දිවෙන් රසය විඳ නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ ඝ්‍රාණෙන්ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලොභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ වහනය වෙත්ද ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. ඝ්‍රාණෙන්ද්‍රිය රකියි. ඝ්‍රාණෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කයින් ස්පර්ෂ කළයුත්ත ස්පර්ෂ කොට නිමිති වශයෙන් නොගන්නේ, කුඩා සලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ ජිව්හේන්ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලොභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. ජිව්හේන්ද්‍රිය රකියි. ජිව්හේන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. සිතින් ධර්මය දැන නිමිති වශයෙන් නොගන්නේ කුඩා ලකුණු වශයෙන් නොගන්නේ වෙයි. යම් හේතුවකින් මේ මනීන්ද්‍රියෙහි අසංවරව වසන්නහුට විෂම ලොභ දොම්නස් යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව උපදිත්ද, ඔවුන්ගේ සංවරය පිණිස පිළිපදියි. මනින්ද්‍රිය රකියි, මනින්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. හෙතෙම මේ ආර්‍ය්‍යවූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූයේ, ආධ්‍යාත්මිකවූ ආධ්‍යාත්මිකවූ සැපද විඳියි.

“හෙතෙම ඉදිරියට යෑමෙහි හැරී යෑමෙහි මනාව දැන කරන්නේ වෙයි. ඉදිරියට බැලීමෙහි, වටපිට බැලීමෙහි, මනාව දැන කරන්නේ වෙයි. (අත් පා) ඇකිලීමෙහි, දිගහැරීමෙහි මනාව දැන කරන්නේ වෙයි. සඟල සිවුර හා පාත්‍රා සිවුරු දැරීමෙහි මනාව දැන කරන්නේ වෙයි. අනුභව කිරීමෙහි පානය කිරීමෙහි, කඩා කෑමෙහි, රස විඳීමෙහි, මනාව දැන කරන්නේ වෙයි. මළ මුත්‍ර කිරීමෙහි මනාව දැන කරන්නේ වෙයි. යාමෙහි, සිටීමෙහි, හිඳීමෙහි, සයනයෙහි නිදි දුරුකිරීමෙහි, කථාවෙහි නිශ්ශබ්ද වීමෙහි මනාව දැන කරන්නේ වෙයි.

හෙතෙම මේ ආර්‍ය්‍යවූ ශීල රාශියෙන්ද යුක්තවූයේ, මේ ආර්‍ය්‍යවූ ඉන්ද්‍රිය සංවරයෙන්ද, යුක්තවූයේ, මේ ආර්‍ය්‍ය වූ සිහි නුවණ දෙකින් යුක්තවූයේ, වනය, රුක්මුලය පර්වතය, කඳුරැළිය, පර්වතගුහාය, සොහොනය, ඉතා දුරවන සෙනසුනය, හිස් තැනය, පිදුරුගොඩය, යන විවෙක සෙනාසනයන් භජනය කරයි.

“හෙතෙම බතින් පසු කල්හි පිණ්ඩපාතයෙන් වැලකුණේ පර්‍ය්‍යංකය බැඳගෙණ ඍජුකොට කය පිහිටුවා සිහිය ඉදිරිපත් කොට තබා හිඳගණියි. හෙතෙම ස්කන්ධ ලොකයෙහි දැඩි ලොභය දුරුකොට දැඩි ලොභය පහව ගියාවූ, සිතින් යුක්තව වාසයකරයි. දැඩි ලොභයෙන් සිත පිරිසිදු කරයි. ද්වෙෂයෙන් දූෂිතවූ සිත දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ, සියළු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ, වාසය කරයි. ව්‍යාපාද ප්‍රදොෂයෙන් සිත පිරිසිදු කරයි.

“ථීනමිද්ධය හැර පහවූ ථීනමිද්ධය ඇත්තේ, ආලෝක සංඥා ඇත්තේ, සිහි නුවණ ඇත්තේ වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. නොසන්සුන් බව හා පසුතැවීම හැර නොසන්සුන්නොවී ඇතුලත සංසුන් සිත් ඇතිව වාසය කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි, සැකකිරීම හැර එතර කළාවූ සැක ඇත්තේ, කුශල ධර්මයන්හි සැක රහිතවූයේ වාසය කරයි, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.

“හෙතෙම මේ චිත්තයාගේ කෙළෙසීම ඇත්තාවූ, ප්‍රඥාව දුර්වලකරන්නාවූ, නීවරණ පස හැර කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵල වූයේ වෙයි. වීර්‍ය්‍ය සඵලවූයේ වෙයි. මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇත්තාවූ, චිත්තයාගේ එකඟ බැව් ඇත්තාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵල වූයේ වෙයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ප්‍රීතියගේද, නොඇල්මෙන් උපෙක්ෂා ඇත්තේද, සිහි නුවණ ඇත්තේද, වාසය කරයි. සැපයද නාමකයින් විඳියි. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ සැපවිහරණ ඇත්තේයයි කියත්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය කිරීම සඵලවූයේ වෙයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සැපයද දුරු කිරීමෙන්, දුකද දුරු කිරීමෙන් පළමු කොටම සොම්නස්, දොම්නස්, දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බැව් ඇති චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි.

මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵලවූයේ වෙයි.

හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි ස්ථීරවූ කල්හි කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර විසූකඳ පිළිවෙල සිහිකරණ නුවණ පිණිස සිත එලවයි. හෙතෙම නොයෙක් ප්‍රකාරවූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහි කරයි. එනම් ජාති එකක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විතර්ක කල්පයන්ද, අසවල් තන්හි මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්ණ ඇත්තෙක් මෙබඳු ආහාර ඇත්තෙක් මෙබඳු සැපදුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ අසවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්ණ ඇත්තෙක්, මෙබඳු ආහාර ඇත්තෙක්, මෙබඳු සැපදුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවර කොට ඇත්තෙක්, වීමි. ඒ මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි. මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ අනෙක ප්‍රකාරවූ, පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරයි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵලවූයේ වෙයි.

“හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි, සිටි කල්හි කම්පා නොවන බවට පැමිණි කල්හි සත්වයන්ගේ චුත වීම හෝ ඉපදීම දැන ගැණීම පිණිස සිත එලවයි. හෙතෙම දිව්‍යවූ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පැවැත්තාවූ ඇසින් චුතවන්නාවූද උපදින්නාවූද, හීනවූ, ප්‍රණීතවූ, සුවර්ණවූ, දුර්වර්ණයවූ, යහපත් ගතිවලට ගියාවූද, අයහපත් ගතිවලට ගියාවූද, සත්වයන් දකියි. කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්වයන් දැන ගණියි. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද කියන්නාහුය. මිථ්‍යා දෘෂ්ටි ඇත්තාහුය. මිථ්‍යා දෘෂ්ටීන්ගේ කර්ම සමාදන්වූවාහුය. ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට පිළිසරණවූ විවසව පතිතවන්නාවූ නරකයෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ වනාහී කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාග් සුචරිතයෙන් යුක්තවූවාහුය. මනො සුචරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද නොකියන්නාහුය. සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටීන්ගේ කර්ම සමාදන්වූවාහුය. ඔව්හු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ, ස්වර්ගලොකයෙහි උපන්නාහුයයි, මෙසේ දිව්‍යවූ, පිරිසිදුවූ, මිනිසැස ඉක්ම පැවැත්තාවූ, ඇසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූ ප්‍රණීතවූ, සුවර්ණවූ, දුර්වර්ණවූ, සුගතවූ දුර්ගතවූ සත්වයන් දකියි. කම්වූ පරිද්දෙන් පරලොවගියාවූ සත්වයන් දැනගණියි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍ය සඵලවේ.

හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, නිර්මලවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහව ගිය උපක්ලේශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කර්මක්ෂමවූ කල්හි, ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රවයන්ගේ ක්ෂයවීම දැනගැණීම පිණිස සිත එලවයි. හෙතෙම මෙය දුකය තත්වූ පරිද්දෙන් දැනගණියි. මේ දුක ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ දුක් නැති කිරීමයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ දුක් නැති කිරීමට පිළිපදින්නාවූ මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයෝයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන්ගේ ඇති වීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන්ගේ නිරොධයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මේ ආශ්‍රවයන් නිරුද්ධ කිරීමට පිළිපදින මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැන ගණියි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ, ඔහුගේ කාමාශ්‍රව කෙරෙන්ද, සිත මිදේ භවාශ්‍රව කෙරෙන්ද සිත මිදේ. අවිද්‍යාශ්‍රව කෙරෙන් සිතමිදේ. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්ෂය කරන ලද්දීය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය, (සතරමගින්) කටයුතු දෙය කරන ලද්දේය. මේ ආත්මභාවය පිණිස අනිකක් නැතැයි දැනගණියි. මහණෙනි, මෙසේද උපක්‍රමය සඵලවූයේ වෙයි. වීර්‍ය්‍යය සඵලවූයේ වෙයි.

“මහණෙනි, තථාගතතෙම මෙබඳුවාද ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු වාද ඇත්තාවූ තථාගතයන්ට කරුණු සහිතවූ පැසසිය යුතු කරුණු දසයක් පැමිණෙත්.

මහණෙනි, ඉදින් සත්වයෝ පෙර කළ කර්මහේතුවෙන් සැපදුක් විඳිත්නම් මහණෙනි, ඒකාන්තයෙන් තථාගත තෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ, සැපවේදනා විඳියිද? එහෙයින් පෙර මනාව කරනලද කර්ම කිරීම ඇත්තේ වේ. මහණෙනි, ඉදින් සත්වයෝ ඊශ්වරයෙකුගේ මැවීම් හේතුවෙන් සැපදුක් විඳත්නම් මහණෙනි, එකාන්තයෙන් තථාගත තෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳු ආශ්‍රව රහිතවූ සැපවූ වේදනා විඳියිද, එහෙයින් යහපත්වූ, ඊශ්වරයෙකු විසින් මවන ලද්දේ වෙයි. මහණෙනි, ඉදින් සත්වයෝ ප්‍රකෘතිය හේතුවෙන් සැපදුක් විඳිත්නම් මහණෙනි, එකාන්තයෙන් තථාගතතෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ සැපවූ වේදනා විඳියිද? එහෙයින් යහපත් ප්‍රකෘතියක් ඇත්තෙක් වේ. මහණෙනි, ඉදින් සත්වයෝ ඉපදීම හේතුවෙන් සැපදුක් විඳිත් නම් මහණෙනි, එකාන්තයෙන් තථාගත තෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ ආශ්‍රව රහිතවූ සැපවූ වේදනා විඳියිද, එහෙයින් යහපත්වූ ඉපදීම් ඇත්තෙක් වේ. මහණෙනි, ඉදින් සත්වයෝ මේ ආත්මයෙහි උපක්‍රම හේතුවෙන් සැපදුක් විඳිත්නම් මහණෙනි, එකාන්තයෙන් තථාගත තෙම යම් හෙයකින් මෙකල්හි මෙබඳුවූ, ආශ්‍රව රහිතවූ, සැපවූ, වේදනා විඳියිද, එහෙයින් යහපත්වූ, මේ ආත්මයෙහි උපක්‍රම ඇත්තේ වෙයි.

“මහණෙනි, ඉදින් සත්වයෝ පෙර කළ කර්ම හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින් ද තථාගත තෙම පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ පෙර කළ කර්ම හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින්ද, තථාගත තෙම පැසසිය යුතුවේ. මහණෙනි, ඉදින් සත්වයෝ ඊශ්වරයෙකුගේ මැවීම් හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින් තථාගත තෙම පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ ඊශ්වරයකුගේ මැවීම් හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින් ද තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, ඉදින් සත්වයෝ ප්‍රකෘති භාව හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින් ද තථාගත තෙම පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ ප්‍රකෘතිභාව හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින් ද, තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, ඉදින් සත්වයෝ ඉපදීම් හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින් තථාගත තෙම පැසසිය යුතු වේ. ඉදින් සත්වයෝ ඉපදීම් හේතුවෙන් සැප දුක් නොවිඳිත් නම් එයින්ද, තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, ඉදින් සත්වයෝ ඉහාත්මයෙහි උපක්‍රම හේතුවෙන් සැප දුක් විඳිත් නම් එයින් ද තථාගත තෙම පැසසිය යුතුවේ. ඉදින් සත්වයෝ ඉහාත්මයෙහි උපක්‍රම හේතුවෙන් සැප දුක් නො විඳිත් නම් එයින් ද තථාගත තෙම පැසසිය යුතු වේ. මහණෙනි, තථාගත තෙම මෙ බඳු වාද ඇත්තේ වෙයි මහණෙනි, මෙ බඳු වාද ඇත්තා වූ තථාගතයන්ට හේතු යුක්ති සහගත වූ මේ පැසසිය යුතු කරුණු දසය පැමිණෙත්” යනු මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළේය. සතුටු සිත් ඇත්තා වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

දෙවදහ සූත්‍රය. නිමි. (1-2)