මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

1. දේවදහ වර්ගය

103. කින්ති සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර “බලිහරණ” නම් වන ලැහැබෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළසේක. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

“මහණෙනි, තොපට මා කෙරෙහි කිම, මෙබඳු සිතක් වේද? ‘ශ්‍රමණ ගෞතම තෙම සිවුරු කරුණු කොටගෙන හෝ ධර්මය දෙශනා කෙරේද, ශ්‍රමණ ගෞතම තෙම පිණ්ඩපාතය කරුණු කොටගෙණ ධර්මය දෙශනා කෙරේද? ශ්‍රමණ ගෞතම තෙම සෙනසුන් කරුණු කොටගෙණ හෝ ධර්මය දෙශනා කෙරේද, ශ්‍රමණ ගෞතම තෙමේ ඒ ඒ භව සැප ලැබීම කරුණු කොටගෙන හෝ ධර්මය දෙශනා කෙරේද?’ කියායි.

“ස්වාමීනි, ‘භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සිවුරු හේතු කොටගෙන හෝ ධර්මය දෙශනා කෙරෙයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිණ්ඩපාතය හේතු කොටගෙණ හෝ ධර්මය දෙශනා කෙරෙයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සෙනාසන හේතු කොටගෙණ හෝ ධර්මය දෙශනා කෙරෙයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒ ඒ භවයෙහි සැප විඳීම හේතු කොටගෙන හෝ ධර්මය දෙශනා කරයි, යන මෙබඳු සිතක් අපට ඇති නොවෙයි.”

“මහණෙනි, තොපට වනාහි ‘මා කෙරෙහි සිවුරු හේතු කොටගෙණ හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්මය දෙශනා කරයි. පිණ්ඩපාතය හේතු කොටගෙණ හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්මය දෙශනා කරයි. සේනාසන හේතු කොට ගෙණ හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්මය දෙශනා කරයි. ඒ ඒ භව සැප විඳීම හේතු කොට ගෙණ හෝ ශ්‍රමණ ගෞතම තෙම ධර්මය දෙශනා කෙරේය’ යන මෙබඳු සිතක් තොපට ඇති නොවේ නම් මහණෙනි, මා කෙරෙහි තොපට කෙබඳු සිතක් වේද?”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා ඇත්තේය. වැඩ කැමැත්තේ වේ. අනුකම්පා පිණිස ධර්මය දෙශනා කෙරේය යන මෙබඳු සිතක් වන්නේය” “මහණෙනි, තොපට මා කෙරෙහි භාග්‍යවත් තෙම අනුකම්පා ඇත්තේය. වැඩ කැමැත්තේය. අනුකම්පාව නිසා ධර්මය දෙශනා කෙරේය යන අදහස ඇත්තේය.

“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මා විසින් තොපට යම් ධර්මයක් දෙශනා කරණ ලද්දාහුදත එනම්, සතර සතිපට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර ඍද්ධි පාදයෝය, පඤ්චෙන්ද්‍රියෝය, පඤ්චබලයෝය, සප්ත බෞද්ධ්‍යංගයෝය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෝය යන මොහුයි. එහි සියල්ලන් විසින්ම සමගිව සතුටුව විවාද නොකරමින් හික්මිය යුතුයි.

“මහණෙනි, සමගිව සතුටුව විවාද නොකරමින් හික්මෙන්නාවූ ඒ තොප අතුරෙන් අභිධර්මයෙහි වෙනස් වාද ඇති භික්ෂූහු දෙදෙනෙක් වන්නාහුද, එහි ඉදින් තොපට ‘මේ ආයුෂ්මත්වරුන්ගේ කීම අර්ථවශයෙන්ද වෙනස්ය, ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්යයි, මෙසේ අදහස් වන්නේ, නම් එහි යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද? ඔහු වෙත පැමිණ ආයුෂ්මත් වරුන්ගේ කීම අර්ථ වශයෙන්ද වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ය. ආයුෂ්මත් වරුන්ගේ කීම යම්සේ අර්ථ වශයෙන්ද, ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත් වායි කියයුතු වන්නේය. ඉක්බිති අනික් පක්ෂයෙහි වූ භික්ෂූන් ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුදත ඔහු වෙත පැමිණ ‘ආයුෂ්මතුන්ගේ කීම අර්ථ වශයෙන්ද වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන්ද වෙනස්ය. ආයුෂ්මත්හු ආයුෂ්මත්වරුන්

ගේ කීම යම්සේ අර්ථ වශයෙනුත් වෙනස්ද, ව්‍යඤ්ජන වශයෙනුත් වෙනස්ද එසේ දැනගනිව්. ආයුෂ්මත්හු විවාද නොකෙරෙත්වායි කියයුතු වන්නේය. මෙසේ වරදවා ගන්වා ලද්ද වරදවා ගන්නා ලද්දක් වශයෙන් දැරිය යුතුයි. වරදවා ගන්නා ලද්ද, වරදවා ගන්නා ලද්දක් වශයෙන් දරා යමක් ධර්මයවේද, යමක් විනය වේද, එය කිය යුත්තේය.”

“ඉදින් එහි තොපට මේ ආයුෂ්මත් වරුන්ගේ කීම අර්ථවශයෙන් වෙනස් වේ. ව්‍යඤ්ජන වශයෙන් සම වේයයි සිතෙන්නේද, එහි යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු කරා පැමිණ ‘ආයුෂ්මත් වරුන්ගේ කීම අර්ථ වශයෙන්ම වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන් සමාන වෙයි. ඒ කීම යම්සේ අර්ථවශයෙන්ම වෙනස්ද, ව්‍යඤ්ජන වශයෙන් සමාන වේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. විවාදයට නොපැමිණෙත්වායි කියයුතු වන්නේය. ඉක්බිති අනික් පක්ෂයෙහි වූ භික්ෂූන්ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු කරා පැමිණ ‘ආයුෂ්මත් වරුන්ගේ කීම වනාහි අර්ථ වශයෙන්ම වෙනස්ය. ව්‍යඤ්ජන වශයෙන් සමානවේ. ආයුෂ්මත්වරුන්ගේ කීම යම්සේ අර්ථ වශයෙන්ම වෙනස්ද, ව්‍යඤ්ජන වශයෙන් වේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත්වායි, කියයුතු වන්නේය. මෙසේ වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්දක් වශයෙන් දැරිය යුතුයි. නිවරදකොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්දක් වශයෙන් දැරිය යුතුයි. වරදව ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දරා, නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දරා යමක් ධර්මය වේද, යමක් විනය වේද, එය කිය යුතුයි.”

“ඉදින් එහි තොපට මේ ආයුෂ්මත්වරුන්ගේ කීම අර්ථවශයෙන්ම සමවෙයි. ව්‍යඤ්ජන වශයෙන් වෙනස්වේයයි සිතයි නම් එහි යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ‘ආයුෂ්මත් වරුන්ගේ කීම වනාහි අර්ථ වශයෙන් සමාන වේ. ව්‍යඤ්ජන වශයෙන් වෙනස් වේ. එය යම්සේ අර්ථවශයෙන්ම සමවේද, ව්‍යඤ්ජන වශයෙන් වෙනස් වේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. යම් මේ ව්‍යඤ්ජනයක්වේද, එය වනාහි සුළු කරුණකි. ආයුෂ්මත්හු ස්වල්ප කාරණයකින් විවාදයට නොපැමිණෙත්වායි කියයුතු වන්නේය. අනික් පක්ෂයෙහිවූ භික්ෂුන්ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ‘ආයුෂ්මතුන්ලාගේ කීම වනාහි අර්ථවශයෙන් සමාන වේ. ව්‍යඤ්ජන වශයෙන් වෙනස් වේ. ආයුෂ්මත්හු එය යම්සේ අර්ථවශයෙන් සමාන වේද, ව්‍යඤ්ජන වශයෙන් වෙනස් වේද, එය ඒ ආකාරයෙන් ආයුෂ්මත්හු දැනගනිව්. යම් ඒ ව්‍යඤ්ජනයක් වේද, එය ස්වල්ප කාරණයකි. ආයුෂ්මත්හු ස්වල්ප කාරණයකින් විවාදයට නොපැමිණෙත්වායි කියයුතු වන්නේය. මෙසේ නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දරා වරදවා ගන්නා ලද්ද වරදවා ගන්නා ලද්ද වශයෙන් දරා, යමක් ධර්මයවේද, යමක් විනය වේද, එය කිය යුතුයි.

“එහි ඉදින් තොපට මේ ආයුෂ්මතුන්ලාගේ කීම අර්ථවශයෙන්ද සමාන වේ. ව්‍යඤ්ජන වශයෙන්ද සමානවේයයි සිතක් වන්නේනම් එහි යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ‘ආයුෂ්මතුන්ලාගේ කීම වනාහි අර්ථ වශයෙන්ද, සමානවේ. ව්‍යඤ්ජන වශයෙන්ද සමානවේ. එය යම්සේ අර්ථයෙනුත් සමානවේද, ව්‍යඤ්ජනයෙනුත් සමාන වේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත්වායි,’ කියයුතු වන්නේය. ඉක්බිති අනික් පක්ෂයෙක්හි වූ භික්ෂූන්ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ආයුෂ්මතුන්ලාගේ කීම වනාහි අර්ථ වශයෙන්ද සමාන වේ. ව්‍යඤ්ජන වශයෙන්ද සමාන වේ. එය යම්සේ අර්ථයෙනුත් සමානවේද.’ ව්‍යඤ්ජනයෙනුත් සමානවේද, ආයුෂ්මත්හු ඒ ආකාරයෙන් දැනගනිව්. ආයුෂ්මත්හු විවාදයට නොපැමිණෙත්වායි, කියයුතු වන්නේය. මෙසේ නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දැරිය යුතුයි. නිවරද කොට ගන්නා ලද්ද නිවරද කොට ගන්නා ලද්ද වශයෙන් දරා යමක් ධර්මය වේද, යමක් විනය වේද එය කිය යුතුයි.

“මහණෙනි, සමගිව සතුටු වෙමින් විවාද නොකරමින් හික්මෙන්නාවූ ඒ තොප අතුරෙන් එක්තරා භික්ෂුවක්හට ඇවතක් වන්නේද, වරද කිරීමක් වන්නේද, මහණෙනි, එහි චෝදනාව පිණිස නොයා යුතුයි. අනික් පුද්ගලතෙම වනාහි ක්‍රොධ නොකරන්නෙක් වෛර නොකරන්නෙක් තම මතය අත් නොහරින සේ තදින් නොගන්නෙකි, තම මතය පහසුවෙන් දුරලිය හැක්කෙක් වේනම් ‘මටද වෙහෙස නොවන්නේය. අනිකාටද දුකට පැමිණීමක් නොවන්නේය. මට ඒ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැක්කේයයි’ පුද්ගලයා පරීක්ෂා කළ යුතුය. ඉදින් මහණෙනි, කීමට සුදුසු වන්නේය. මහණෙනි, ඉදින් වනාහි මෙසේ වන්නේනම් ‘මටද වෙහෙසක් නොවන්නේය. අන්‍ය පුද්ගලයාටද දුකක් වන්නේය. අනික් පුද්ගලයා වනාහි කිපෙන්නෙක, වෛර කරන්නෙක මතය දැඩිකොට ගන්නෙකි. මතය පහසුවෙන් දුරලිය නොහැක්කේ වෙයි. මම මේ පුද්ගලයා අකුසලයෙන් නගාසිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැක්කේද වෙමියි’ මෙසේ වන්නේනම් යම් මේ අනික් පුද්ගලයාගේ දුකට පැමිණීමක් වේද, මෙය වනාහි සුලු දෙයකි. ඒ මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැකිවෙයි නම් එයම මහත් වන්නේය. මහණෙනි, ඉදින් මෙසේ වන්නේ නම් කීමට සුදුසු වේ.

“මහණෙනි, ඉදින් වනාහි ‘මට වනාහි වෙහෙස වන්නේය. අනික් පුද්ගලයාට දුකක් නොවන්නේය. අනික් පුද්ගල තෙම වනාහි ක්‍රොධ නොකරන්නෙක් වෛර නොකරන්නෙක් මතය තරයේ ගන්නෙක් මතය පහසුවෙන් අත්නොහරින්නෙක් වන්නෙම් මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැක්කේද, වෙමි. මාහට යම් වෙහෙසක් වේද, එය වනාහි සුලු වූවකි. ඒ මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැකිවෙම් නම් එයම මහත් වන්නේය. ‘මහණෙනි, ඉදින් එසේ වන්නේ නම් කීමට සුදුසුයි.

“මහණෙනි, ඉදින් වනාහි මටද වෙහෙස වන්නේය. අනික් පුද්ගලයාටද දුක් වන්නේය. අන් පුද්ගල තෙමේ වනාහි කිපෙන්නෙක්, බද්ධ වෛර කරන්නෙක්, මතය තරයේ ගන්නෙක්, මතය පහසුවෙන් දුරලිය නොහැක්කෙක් වන්නේද ‘මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැක්කේද, වෙම් නම් මට යම් වෙහෙසීමක් වේද, අන්‍ය පුද්ගලයාට යම් දුකක් වේද, මෙය වනාහි සුලු වූවකි. ඒ මම මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට හැකිවෙම් නම් එයම මහත් වන්නේය.’ මහණෙනි, ඉදින් මෙසේ වන්නේ නම් කීමට සුදුසුය.

“මහණෙනි, ඉදින් වනාහි මටද වෙහෙස වන්නේය. අන් පුද්ගලයාටද දුක් වන්නේය. අනික් පුද්ගල තෙමේ වනාහි කිපෙන්නක, වෛර කරන්නෙක, මතය තරයේ ගන්නෙක, මතය පහසුවෙන් දුරලිය නොහැක්කෙක. මමද මේ පුද්ගලයා අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන්ට නොහැකි වෙමියි, මෙසේ වන්නේද, මහණෙනි, මෙබඳු පුද්ගලයා කෙරෙහි උපෙක්ෂාව නොයික්මවිය යුතුය.

“මහණෙනි, සමගිව සතුටුවෙමින්, විවාද නොකරමින් හික්මෙන්නාවූ, ඒ තොප අතරෙහිද සිත් දූෂ්‍ය කරන්නාවූ අමනාපය ඇති කරන්නාවූ, නොසතුට නොඇල්ම ඇති කරන්නාවූ, ඕපාදූප වචන උපදින්නේය. ඒ එක් පක්ෂයක භික්ෂූන් අතුරෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නහුද, ඔහු කරා පැමිණ, ‘ඇවැත්නි, සමගිව සතුටුවෙමින් විවාද නොකරමින් හික්මෙන්නාවූ, අප අතරෙහි සිත් දූෂ්‍ය කරන්නාවූ, අමනාප ඇතිකරන්නාවූ, නොසතුට ඇතිකරන්නාවූ, ඔවුනොවුන්ගේ ඕපාදූප වචන උපන්නේය යන යමක් ඇද්ද, එය ශාස්තෘන් වහන්සේ දන්නේ නම් ගර්හා කරන්නේදැයි කිය යුතුය.

“මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂු තෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘ඇවැත්නි, සමගිව සතුටු වෙමින් විවාද නොකරමින් හික්මෙන්නාවූ අප අතරෙහි සිත දූෂ්‍ය කරන්නාවූද, අමනාප ඇතිකරන්නාවූද, නොසතුට ඇතිකරන්නාවූද, ඔවුනොවුන්ගේ ඕපාදූප වචන උපදින්නේය යන යමක් ඇද්ද, එය ශාස්තෘන් වහන්සේ දන්නේ නම් ගරහන්නේය. ‘ඇවැත්නි, මේ කොලාහල කිරීම දුරු නොකොට නිවණ ප්‍රත්‍යක්ෂ කරන්නේදැයි ඇසිය යුතුය. මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂුතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘ඇවැත්නි, මේ කොලාහල කිරීම දුරු නොකොට නිවණ ප්‍රත්‍යක්ෂ නොකරන්නේය.’ තව ද, අනික් පක්ෂයෙහිවූ භික්ෂූන්ගෙන් යම් භික්ෂුවක් ඉතා සුවචයයි හඟින්නාහුද, ඔහු කරා පැමිණ ‘ඇවැත්නි, සමගිව සතුටු වෙමින්, විවාද නොකරමින්, හික්මෙන්නාවූ අප අතරෙහි සිත දූෂ්‍ය කරන්නාවූ, අමනාපය ඇතිකරන්නාවූ, නොසතුට ඇතිකරන්නාවූ ඔවුනොවුන්ගේ ඕපාදූප වචන උපදින්නේය යන යමක් ඇද්ද, එය ශාස්තෘන් වහන්සේ දන්නේ නම් ගර්හා කරන්නේදැයි’ කියයුතු වන්නේය. මහණෙනි මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂුතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘ඇවැත්නි, සමගිව සතුටුවෙමින් විවාද නොකරමින් හික්මෙන්නාවූ අප අතරෙහි සිත දූෂ්‍ය කරන්නාවූ, අමනාපය ඇතිකරන්නාවූ, නොසතුට ඇතිකරන්නාවූ යම් ඒ ඔවුනොවුන්ගේ ඕපාදූප වචන උපදින්නේය යන යමක් ඇද්ද, එය ශාස්තෘන් වහන්සේ දන්නේ නම් ගර්හා කරන්නේය කියායි. ඇවැත්නි, මේ කොලාහල කිරීම වනාහි දුරු නොකොට නිවණ ප්‍රත්‍යක්ෂ නොකරන්නේදැයි ඇසිය යුතුය’ මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂුතෙම මෙසේ ‘ඇවැත්නි, මේ කොලාහල කිරීම දුරු නොකොට නිවණ ප්‍රත්‍යක්ෂ නොකරන්නේයයි, කියන්නේය.

“මහණෙනි, ඉදින් ඒ භික්ෂුවගෙන් අනික් භික්ෂුවක් ආයුෂ්මතුන් විසින් අපගේ මේ භික්ෂූහු අකුසලයෙන් නැගිටුවා කුසලයෙහි පිහිටුවන ලද්දාහුදැයි අසන්නේ නම්, මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන්නාවූ භික්ෂුතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘ඇවැත්නි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියෙමි. ඒ මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙශනා කළසේක.’ මම ඒ ධර්මය අසා ඒ භික්ෂූන්ට කීවෙමි. ඒ භික්ෂුහු ඒ ධර්මය අසා අකුසලයෙන් නැගී සිටියාහුය. කුසලයෙහි පිහිටියාහුය, යනුවෙනි.

“මහණෙනි, මෙසේ ප්‍රකාශ කරන්නාවූ භික්ෂුතෙම තමාද නොම උසස් කෙරෙයි. අනුන් නොම පහත් කෙරෙයි. ධර්මයට අනුකූල වූවක් ප්‍රකාශ කරයි. කරුණු සහිතවූ අනික් කිසිවාදයක් හෝ අනුවාදයක් හෝ (මේ පුද්ගලයාට) ගැරහිය යුතු තැනට නොපැමිණෙන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

තුන්වැනිවූ කින්තී සූත්‍රය නිමි. (1-3)