මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

1. දේවදහ වර්ගය

104. සාමගාම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ “සාම” නම් ගමෙහි වැඩවසනසේක. එකල්හි වනාහි “නිගණ්ඨනාත” පුත්‍රතෙම චාපා නම් නුවර නොබෝ දින මැරුනේවෙයි. ඔහුගේ මරණින් පසු බිඳී ගියාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුඛ නැමැති ආයුධ වලින් අනිමින් වාසය කෙරෙත්. ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය, මම මේ ධර්ම විනය දනිමි. කිම නුඹ මේ ධර්ම විනය දන්නෙහිද, නුඹ වරදවා පිළිපන්නෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද, විවාදයට පැමිණ නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේවෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව්, ඉදින් හැකි වන්නෙහි නම් අවුල් හරවයි.’ කියමින් එකම වධයක් මෙන් නිගණ්ඨනාත පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. නිගණ්ඨනාත පුත්‍රයාගේ සුදුවත් හඳනාවූ යම් ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔව්හුද නිගණ්ඨනාත පුත්‍රයාගේ අත වැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු නොඇළුනු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරුකොට කියන ලද්දාවූ නපුරුකොට දන්නා ලද්දාවූ නෛර්‍ය්‍යානික නොවූ සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවකු විසින් කියන ලද්දාවූ බිඳුනු පිහිට ඇත්තාවූ පිළිසරණ නැත්තාවූ ධර්ම විනයක යම්සේද එමෙනි.

ඉක්බිති “චුන්ද” සමණුද්දෙස තෙම පාවා නම් නුවර වස් වසන ලද්දේ සාම නම් ගම යම් තැනෙක්හිද ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ චුන්ද සමණුද්දෙස තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කීයේය. “ස්වාමීනි නිගණ්ඨනාත පුත්‍රතෙම පාවා නම් නුවර නොබෝ දින මැරෙන ලද්දේ වෙයි. ඔහුගේ මැරීමෙන් පසු බිඳී ගියාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුඛ නමැති ආයුධ වලින් අනිමින් වාසය කෙරෙත්. ‘නුඹ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිම, මේ ධර්ම විනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නෙහිය මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද විවාදයට පැමිණ, නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේ වෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. ඉදින් හැකිවන්නෙහි නම් අවුල් හරවයි’ එකම වධයක් මෙන් නිගණ්ඨනාත පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. යම් නිගණ්ඨනාත පුත්‍රයාගේ සුදුවත් හඳනාවූ ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔවුහුද නිගණ්ඨනාථ පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු, නොඇළුණු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරුකොට දන්නා ලද්දාවූ, නෛර්‍ය්‍යාණික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවෙකු විසින් වදාරණ ලද්දාවූ, බිඳුනාවූ පිහිට ඇති පිළිසරණ නැත්තාවූ (සස්නෙහි යම්සේද එමෙනි)”

මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම චුන්ද සමණුද්දෙසයන්ට “ඇවැත් චුන්දය, මේ කථා පඬුර භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඇත්තේමය. ඇවැත් චුන්දය, යමු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණෙන්නෙමු පැමිණ මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමුයි” කීය. “ස්වාමීනි, එසේය” කියා චුන්ද නම් සමණුද්දෙස තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය.

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද, චුන්ද සමණුද්දෙස තෙමේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක උන්නාහුය. එකත්පසක උන්නාවූම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ චුන්ද සමණුද්දෙස තෙම මෙසේ කීය. ස්වාමීනි, නිගණ්ඨනාතපුත්‍ර තෙම පාවා නම් නුවර නොබෝදින මැරුනේය. ඔහුගේ මරණයෙන් පසු බිඳුනාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණියාහු ඔවුනොවුන්ට මුඛ නමැති ආයුධවලින් අනින්නාහු වාසය කෙරෙත්. ‘නුඹ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්මවිනය දනිමි. කිම, නුඹ මේ ධර්මවිනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද විවාදයට පැමිණ, නැවතුනේය. තට වාදය නඟන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේ වෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. ඉදින් හැකිවන්නෙහි නම් අවුල්හරවයි, එකම වධයක් මෙන් “නිගණ්ඨනාතපුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. යම් නිගණ්ඨනාතපුත්‍රයාගේ සුදුවත් හඳනාවූ ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔවුහුද නිගණ්ඨනාතපුත්‍රයාගේ අත වැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු, නොඇළුනු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරු කොට දන්නා ලද්දාවූ, නෛර්‍ය්‍යාණික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවෙකු විසින් වදාරණ ලද්දාවූ, බිඳුනාවූ පිහිට ඇති පිළිසරණ නැත්තාවූ (සස්නෙහි යම්සේද එමෙනි) “ස්වාමීනි, ඒ මට මෙබඳු අදහසක් වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සංඝයා කෙරෙහි විවාදයෙක් නොම උපදීවා ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේය” කියායි.

“ආනන්දය, ඒ කුමකැයි හඟින්නෙහිද, මා විසින් තොපට යම් ධර්ම කෙනෙක් නුවණින් අවබොධකොට දෙශනා කරණ ලද්දාහුද, එනම්, සතර සතිපට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර ඍද්ධි පාදයෝය, පඤ්චෙන්ද්‍රියයෝය, පඤ්ච බලයෝය, සප්ත බොධ්‍යංගයෝය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යන මොහුයි. ආනන්දය, නුඹ මේ ධර්මයන්හි වෙන් වෙන් වාද ඇත්තාවූ භික්ෂූන් දෙදෙනකු දක්නෙහිද?” “ස්වාමීනි, යම් මේ ධර්මකෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් නුවණින් අවබොධකොට දැන දෙශනා කරන ලද්දාහුද, එනම්ත සතර සතිට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර ඍද්ධිපාදයෝය, පඤ්චෙන්ද්‍රියයෝය, පඤ්චබලයෝය, සප්ත බොධ්‍යංගයෝය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෝය, (යන මොහුයි.) මේ ධර්මයන්හි වෙනස් වාද ඇත්තාවූ භික්ෂූන් දෙදෙනකුදු මම නොදකිමි.

“ස්වාමීනි, යම් ඒ පුද්ගල කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඇසුරුකොට වාසය කෙරෙත්ද, ඔව්හු භාග්‍යවතුන් වහන්සේ ඇවෑමෙන් සංඝයා කෙරෙහි ආජීවය හෙතුකොටගෙන හෝ ප්‍රාතිමොක්ෂය හෙතුකොටගෙන හෝ විවාද උපදවන්නාහුද, ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේයයි” ආනන්ද ස්ථවිර තෙමේ කීය.

“ආනන්දය, යම් මේ ආජීවය හෙතුකොටගෙන හෝ ප්‍රාතිමොක්ෂය හෙතුකොටගෙන හෝ විවාදයෙක් වේද, ඒ ස්වල්පමාත්‍ර ඇත්තක් වේ. ආනන්දය, මාර්ගයෙහි හෝ ප්‍රතිපදාවෙහි හෝ සංඝයා කෙරෙහි විවාදයෙන් උපදිනු ලබන්නේ උපදින්නේද, ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස බොහෝදෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේයයි” වදාළේය.

“ආනන්දය, මේ විවාදයට මුල් කරුණු සයක් වෙත්. කවර සයක්ද යත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම ක්‍රොධ කරන්නෙක්, වෛර බැඳගන්නෙක් වේද, ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ක්‍රොධ කරන්නෙක් වෛර බැඳගන්නෙක් වේද, හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ශීලයද සම්පූර්ණ නොකරන්නෙක් වෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නේ, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ශීලය සම්පූර්ණ නොකරන්නෙක් වේද, හෙතෙම සංඝයා කෙරෙහි විවාද උපදවයි. ඒ විවාදය බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතියි. ආනන්දය, ඉදින් තෙපි මේ විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේ පහකිරීම පිණිස උත්සාහ දරන්නහුය. ආනන්දය, ඉදින් තෙපි මේ විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි හටනොගැණීම පිණිස පිළිපදින්නහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.

“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ගුණමකු වූයේ එකටඑක කරන්නේ වේ. හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්ෂාවෙහිද සම්පූර්ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ශික්ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංඝයා කෙරෙහි යම් විවාදයක් බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවිමිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නහුද, ආනන්දය, එහි තොපි ඒ ලාමකවූ විවාදමූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නහුය. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම්, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාදමූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමක විවාදමූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.

“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ඊර්‍ෂ්‍යා කරන්නේ මසුරුවූයේ වෙයි. හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්ෂාවෙහිද සම්පූර්ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ශික්ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංඝයා කෙරෙහි යම් විවාදයක් බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම දුරු කිරීමට උත්සාහ කරන්නාහුය. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම් ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාදමූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.

“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම කෛරාටිකවූයේ මායා ඇත්තේ වේ. හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්ෂාවෙහිද සම්පූර්ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ශික්ෂාවෙහි සම්පූර්ණකිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංඝයා කෙරෙහි යම් විවාදයක් බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දක්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නහුය. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදමූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාදමූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහට ගැනීම වේ.

“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ලාමක ආසා ඇත්තේ මිථ්‍යාදෘෂ්ටිවූයේ වෙයි. හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්ෂාවෙහිද සම්පූර්ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, ශික්ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංඝයා කෙරෙහි යම් විවාදයක් බොහෝදෙනාට අවැඩ පිණිස, බොහෝදෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාදමූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නාහුය. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම් ආනන්දය, එහි තෙපි ඒ ලාමකවූ විවාදමූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම වේ. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.

“ස්වකීය දෘෂ්ටිය අල්වාගැනීම ඇත්තේ දැඩිව ගැනීම ඇත්තේ දුරලිය නොහැක්කේ වේ.

“ආනන්දය, හෙතෙම ශාස්තෲන්වහන්සේ කෙරෙහිද, ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ධර්මය කෙරෙහිද ගෞරව නොකරන්නේ යටත් පැවැතුම් නැත්තෙක්ව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගෞරව නොකරන්නේ යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සීලයද සම්පූර්ණ නොකරන්නේ වෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ධර්මය කෙරෙහි ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, සංඝයා කෙරෙහි ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ශීලය සම්පූර්ණ නොකරන්නෙක් වේද හෙතෙම සංඝයා කෙරෙහි විවාද උපදවයි. යම් විවාදයෙක් බොහෝ දෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේද (එබඳු විවාදයෙකි)

“ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණ තමන් කෙරෙහි හෝ පිටත්හි හෝ දක්නහු නම්ත ආනන්දය, එහි තෙපි එම ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම පිණිස උත්සාහ කරව්. ආනන්දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමන් කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්දය එහි තෙපි එම ලාමකවූ විවාද මූලයාගේ නොවැඩීම පිණිස පිළිපදිව්. මෙසේ මේ ලාමකවූ විවාදමූලයාගේ පහ කිරීමවේ. මෙසේ මේ ලාමකවූ විවාදමූළයාගේ මත්තෙහි නොහට ගැණීමවේ. ආනන්දය, මොහු වනාහි විවාදයට මුල් කරුණු සය වෙත්.

‘ආනන්දය, මේ අධිකරණ සතරක් වෙත්. විවාදය පිළිබඳ අධිකරණය, සීල විපත්ති ආදීන් චොදනා කිරීම් පිළිබඳ අධිකරණය, සප්ත ආපත්ති ස්කන්ධයන් පිළිබඳවූ අධිකරණය, අවලොකන ආදී කටයුතු පිළිබඳ අධිකරණය, ආනන්දය, මොහු වනාහි අධිකරණ සතර වෙත්.

“ආනන්දය, උපනුපන් අධිකරණයන්ගේ සමථය පිණිස සංසිඳීම පිණිස අධිකරණ සමථ සතක් වෙත්. සම්මුඛාවිනය දිය යුත්තේය. සති විනය දියයුත්තේය. අමුළ්හ විනය දියයුත්තේය. ප්‍රතිඥාවෙන් කරවිය යුතුයි. යෙභුය්‍යසිකාවය, තස්සපාපිය්‍යසිකාය, තිණවත්ථාරකය, යන සතයි.

“ආනන්දය, කෙසේ නම් සම්බුඛාවිනය වේද? ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂූහු අධර්මය ධර්මයයි කියමින් හෝ ධර්මය අධර්මයයි කියමින් හෝ අවිනය විනයයි කියමින් හෝ විනය අවිනයයි කියමින් කලහ කෙරෙත්ද, ආනන්දය, ඒ සියලුම භික්ෂූන් විසින් සමගිව රැස්විය යුතුයි. රැස්ව ධර්ම නීතිය පරීක්ෂාකර බැලියයුතුයි. ධර්ම නීතිය පරීක්ෂාකොට බලා යම් ආකාරයකින් ධර්ම නීතිය හා සමවේද, ඒ ආකාරයෙන් ඒ අධිකරණය, කලහය, සංසිඳවිය යුතුයි. ආනන්දය, මෙසේ සංසිඳුවීම සම්මුඛාවිනය නම් සංසිඳුවීමවේ. මෙසේ වනාහි මේ ශාසනයෙහි සමහර අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, සම්මුඛා විනයයෙනි.

“ආනන්දය, කෙසේනම් යෙභුය්‍යසිකා නම් සංසිඳ වීමවේද, ආනන්දය, ඉදින් ඒ භික්ෂූහු ඒ අධිකරණය ඒ ආවාසයෙහි සංසිඳවන්ට නොහැකිවෙත් නම්, ආනන්දය, ඒ භික්ෂූන්ට වඩා යම් ආවාසයක භික්ෂූහු ඉතා බොහෝ වෙත් නම් ඒ ආවාසයට යායුත්තේය. එහි සියල්ලන්ම සමගිව රැස්විය යුතුයි. රැස්ව ධර්ම නීතිය පරීක්ෂාකර බැලිය යුතුයි. ධර්ම නීතිය පරීක්ෂාකර බලා යම් ආකාරයකින් ධර්ම නීතිය හා සමවේද, ඒ ආකාරයෙන් ඒ අධිකරණය සංසිඳවිය යුතුයි. ආනන්දය, මෙසේ වනාහි යෙභුය්‍යසිකා නම් සංසිඳවීමවේ. මෙසේද වනාහි මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, යෙභුය්‍යසිකාවෙනි.

“ආනන්දය, කෙසේ නම් සතිවිනය නම් සංසිඳවීම වේද, ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම මහණෙකුට පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳු ගරු ඇවතකින් ‘ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි’ චෝදනා කරන්නේය. හෙතෙම ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි නොවෙමියි’ කියන්නේද, ආනන්දය, ඒ භික්ෂූහුහට වනාහි සතිවිනය නම් සංසිඳවීම දිය යුත්තේය. ආනන්දය, මෙසේ වනාහි සතිවිනය නම් සංසිඳවීමවේ. මෙසේද වනාහි මේ සස්නෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, සතිවිනයයෙනි.

“ආනන්දය, කෙසේ නම් අමූළ්හ විනය නම් සංසිඳවීම වේද, ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම මහණෙකුට පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳුවූ ගරු ඇවතකින් ‘ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි චොදනා කරන්නේය. හෙතෙම ‘ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පැමිණියේ පාරාජිකාව ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණිබව මතක නැතැයි කියන්නේය. හෙතෙම ඔහුට අවුල් හැරීම වැඩියක් අවුල් කෙරෙයි. ‘ආයුෂ්මත් තෙමේ යහපත්වම දැන ගනු මැනව. ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි කෙරෙහිදැයි’ කියායි හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම වනාහි උමතු බවට චිත්තයාගේ පෙරළීමට පැමිණියෙමි. ඒ උමතුවූ මා විසින් ශ්‍රමණයන්ට නුසුදුසුවූ බොහෝ දේ කරන ලදී. නුසුදුසු වචන කියනලදී. නුසුදුසු ක්‍රියා කරනලදී. මට එය මතක නැත. මුලාවූ මා විසින් එය කරණලදැයි’ කියන්නේය ආනන්දය, ඒ භික්ෂුහට වනාහි අමූළ්හ විනය නම් සංසිඳුවීම දිය යුතුයි. ආනන්දය, මෙසේ වනාහි අමූළ්හ විනය නම් සංසිඳවීම වේ. මෙසේද වනාහී මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්ත අමූළ්හ විනයයෙනි.

“ආනන්දය, කෙසේ නම්, පටිඤ්ඤාතකරණය සංසිඳවීම වේද, ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම චොදනා කරණ ලද්දේ හෝ චෝදනා නොකරණ ලද්දේ හෝ ඇවත සිහි කරයිද, ප්‍රකාශ කරයිද, ප්‍රකට කෙරේද, ආනන්දය, ඒ භික්ෂුව විසින් වැඩිමහලු භික්ෂුවක් කරා පැමිණ සිවුර එකාංශ කොට පොරවා පා වැඳ උක්කුටුකයෙන් ඉඳ ඇඳිලි බැඳගෙණ ‘ස්වාමීනි, මම මෙනම් ඇවතකට පැමිණියෙමි. එය දෙශනා කරමියි’ මෙසේ කියයුතු වන්නේය. වැඩි මහලු භික්ෂුව ‘ඇවත දක්නෙහිදැයි අසයි.’ හෙතෙම දක්නෙමියි කියන්නේය. ‘මත්තෙහි සංවරයට පැමිණෙන්නෙහිදැයි’ වැඩිමහල් තෙරුන් වහන්සේ අසයි. ‘සංවරයට පැමිණෙන්නෙමියි’ හෙතෙම කියන්නේය. ආනන්දය, මෙසේ වනාහි පටිඤ්ඤාතකරණය නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, පටිඤ්ඤාතකරණයෙනි.

“ආනන්දය, කෙසේ නම්, තස්සපාපිය්‍යසිකා නම් සංසිඳවීම වේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණෙක් මහණෙකුට ‘පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳුවූ ගරු ඇවතකින් ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණියා මතකදැයි’ චොදනා කරන්නේය. හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණියා මතක නැතැයි’ කියන්නේය. හෙතෙම ඔහුට අවුල් හරින්නහු වැඩියක් අවුල් කෙරෙයි. ‘ආයුෂ්මත් තෙමේ, ඉදින් පාරාජිකාවකට හෝ, පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණිබව මතක් වෙහිදැයි මනාකොටම දැනගනුවයි’ කියයි. ‘ඇවැත්නි, මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතක නැත. ඇවැත්නි, මෙබඳු කුඩා ඇවතකට පැමිණිබව මතකයයි’ කියායි. හෙතෙම අවුල් හරින්නහු වඩාත් අවුල් කෙරෙයි. ‘ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැයි’ මනාකොට දැන ගනුවයි’ කියායි. හෙතෙම මෙසේ කියයි. ‘ඇවැත්නි, මම වනාහි මෙනම් සුලු ඇවතකට පැමිණ නොඅසනලදුවම ප්‍රකාශ කරන්නෙමි. කිමෙක්ද? මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණ අසන ලදුව ප්‍රකාශ නොකරන්නෙම්දැ’යි කියන්නේය. හෙතෙම මෙසේ කියමි. ‘ඇවැත්නි, නුඹ වනාහි මෙනම් සුලු ඇවතකට පැමිණ නො අසන ලදුව ප්‍රකාශ නොකරන්නෙහිය, කිමෙක්ද, ඔබ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණ අසන ලදුව ප්‍රකාශ කරන්නෙහිද? ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි වන්නෙහිදැයි මනාකොටම දැනගනුවයි’ කියන්නේය. ඒ භික්ෂු තෙමේ ‘ඇවැත්නි, මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණි බව මතකය, ඉක්මන් කම නිසා හෝ අනිකක් කියනු කැමතිව මා විසින් මෙසේ අනිකක් කීම නිසා හෝ මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතට පැමිණි බව මතක නැතැයි’ කියනලදී. ආනන්දය, මෙසේ වනාහි තස්සපාපිය්‍යසිකා නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්, තස්ස පාපිය්‍යසිකාවෙනි.

“ආනන්දය, කෙසේ නම් තිණවත්ථාරක නම් සංසිඳවීම වේද? ආනන්දය, මේ ශාසනයෙහි හටගත් දබර ඇති හටගත් කලහ ඇති විවාදයට පැමිණ වාසය කරන්නාවූ භික්ෂූන්ගේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද දෙය හා කරණලද දෙය පුරුදු කරණ ලද්දේ වෙයි. ආනන්දය, ඒ සියලුම භික්ෂූන් විසින් සමගිව රැස්විය යුතුයි. රැස්ව එක්පක්ෂයෙහිවූ භික්ෂූන්ගෙන් ඉතා දක්ෂවූ භික්ෂුවක් විසින් හුනස්නෙන් නැගිට සිව්රු ඒකාංස කොට ඇඳිළි බැඳගෙන සංඝයාහට දැන්විය යුත්තේය. ‘ස්වාමීනි, සංඝතෙම මා කියන්නක් අසාවා. හටගත් දබර ඇත්තාවූ හටගත් කලහ ඇත්තාවූ විවාදයට පැමිණ වාසය කරන්නාවූ අපගේ මේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද්දාවූද, කරන ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද දේවෙයි.

‘ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මේ ආයුෂ්මතුන්ලාගේ යම් ඇවතකුත් වේද, තමන්ගේ යම් ඇවතකුත්වේද, මහත් වරද සහ ගිහියන් පිළිබඳ වරද හැර යම් සෙසු සියලු ඇවැත් මේ ආයුෂ්මතුන්ලාගේ ප්‍රයෝජනය පිණිසද, තමන්ගේ ප්‍රයෝජනය පිණිසද, සංඝයා මධ්‍යයෙහි තිණවත්ථාරක කර්මයෙන් දෙශනා කරන්නෙමියි.’ (කියයුතුය)

“ඉක්බිති අනික් පක්ෂයෙක්හිවූ භික්ෂූන්ගෙන් ඉතා දක්ෂවූ භික්ෂුවක් විසින් හුනස්නෙන් නැගිට සිව්ර එකාංශ කොට පොරවා ඇදිළි බැඳගෙණ සංඝයාහට දැන්විය යුත්තේය. ‘ස්වාමීනි, සංඝතෙමේ මා කියන්නක් අසන සේක්වා. හටගත් දබර ඇත්තාවූ හටගත් කලහ ඇත්තාවූ විවාදයට පැමිණ වාසය කරන්නාවූ අපගේ ඒ බොහෝ වූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද්දාවූද, කරණ ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද දේවෙයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මේ ආයුෂ්මතුන්ලාගේ යම් ඇවතකුත් වේද, තමාගේ යම් ඇවතකුත් වේද, මහත් වරද සහ ගිහියන් පිළිබඳ වරද හැර සෙසු සියලු වරද මේ ආයුෂ්මතුන්ලාගේ ප්‍රයෝජනය පිණිසද, තමාගේ ප්‍රයෝජනය පිණිසද, සංඝයා මධ්‍යයෙහි තිණවත්ථාරක කර්මයෙන් දෙසන්නෙමියි’ (කිය යුතුය).

“ආනන්දය, මෙසේ වනාහි තිණවත්ථාරක නම් සංසිඳවීමවේ. මෙසේද වනාහි මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීමවේ. එනම්, තිණවත්ථාරකයෙනි.

“ආනන්දය, ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇති කරන්නාවූ රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක්වීම පිණිස මේ සිහිකටයුතු ධර්ම සයක් පවතිත්. එක්ව මහණදම් පුරන්නවුන් කෙරෙහි ඉදිරියෙහිද නොඉදිරියෙහිද කවර සයක්දයත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණහුගේ මෛත්‍රී කාය කර්මය එළඹ සිටියේ වෙයිද. ප්‍රියබව ඇති කරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහිකටයුතු ධර්මයද රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක් වීම පිණිස පවතියි.

“ආනන්දය, නැවතද අනිකක් කියමි එකට මහණදම් පුරන භික්ෂුන් කෙරෙහි ඉදිරියෙහිද නොඉදිරියෙහි භික්ෂුහුගේ මෛත්‍රි වාග් කර්මය එළඹ සිටියේ වෙයි. ප්‍රිය කරන්නාවූ, ගරුකරන්නාවූ, මේ සිහිකටයුතු ධර්මයද සංග්‍රහය පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එකඟ බව පිණිස පවතියි.

“ආනන්දය, නැවත අනිකක් කියමි. සබ්‍රම්සරුන් අභිමුඛයෙහිද අනභිමුඛයෙහිද භික්ෂුවගේ මෛත්‍රි මනොකර්මය එළඹ සිටියේ වෙයි. ප්‍රියබව කරන්නාවූ ගරුබව කරන්නාවූ මේ සිහි කටයුතු ධර්මයද, රැස්වීම පිණිස විවාද නොකිරීම පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.

“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම යම් ඒ ධාර්මිකවූ දැහැමින් ලබනලද්දාවූ යටත් පිරිසෙයින් පාත්‍රයෙහි ඇතුළත් වූවක් පමණවූද ලාබයෝ වෙත්ද, එබඳුවූ ලාභ සිල්වත්වූ සබ්‍රම්සරුන් හා බෙදා හදා නොවළඳන්නෙක් නොවේද සමව බෙදා වළඳන්නෙක් වේද, ප්‍රියබව ඇති කරන්නාවූ ගරු බව ඇති කරන්නාවූ මේ සිහි කටයුතුවූ ධර්මයද, රැස්වීම පිණිස අවිවාද පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.

“ආනන්දය, නැවතද අනිකක්ද කියමි. මහණ තෙම කඩනොවූ සිදුරු නොවූ කබර නොවූ කැළල් නොවූ දාසකමින් මිදුනාවූ නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අල්වා නොගන්නා ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ යම් ඒ සීලයෝ වෙත්ද, එබඳු සීලයන්හි සබ්‍රම්සරුන් හා ඉදිරියෙහිද නොඉදිරියෙහිද සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයිද ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහි කටයුතුවූ ධර්මයද රැස්වීම පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.

“ආනන්දය, නැවත අනිකක්ද කියමි. මහණ තෙම යම් මේ ආර්‍ය්‍යවූ නෛර්‍ය්‍යාණිකවූ එය පිළිපදින්නාහුගේ දුක් මනාව නැසීම පිණිස පවත්නාවූ යම් ඒ ප්‍රඥාවක් වෙයිද එබඳු ප්‍රඥාවෙන් සබ්‍රම්සරුන් හා ඉදිරියෙහිද නොඉදිරියෙහිද සමාන බවට පැමිණ වාසය කරයිද, ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහිකටයුතු ධර්මයද රැස්වීම පිණිස අවිවාදය පිණිස එක්වීම පිණිස පවතියි. ආනන්දය, ප්‍රියබව ඇතිකරන්නාවූ ගරුබව ඇතිකරන්නාවූ මේ සිහි කටයුතු ධර්ම සය රැස්වීම පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස එක්වීම පිණිස පවතිත්. ආනන්දය, ඉදින් තෙපි මේ සිහිකටයුතු ධර්ම සය සමාදන්ව පවත්නාහු නම්, ආනන්දය, තෙපි නොඉවසන්නාවූ කුඩා වරද ඇත්තාවූ හෝ මහත් වරද ඇත්තාවූ යම් වචනයක් දකිව්ද?” “ස්වාමීනි නැත”

“ආනන්දය, එහෙයින් මේ සිහි කටයුතු ධර්ම සය සමාදන්ව පවතිව්. එය තොපට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.

සාමගාම සූත්‍රය නිමි (1-4)