මජ්ඣිම නිකාය
උපරි පණ්ණාසය
1. දේවදහ වර්ගය
105. සුනක්ඛත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි බොහෝවූ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ජාතිය ක්ෂය කරන ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතයි දනිමුයයි රහත්බව ප්‍රකාශ කරණ ලද්දේ වෙයි. සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රතෙම ‘බොහෝවූ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහිත ජාතිය ක්ෂය කරණ ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමු, කියා අර්හත්වය ප්‍රකාශ කරණ ලදැයි’ ඇසුවේමය.
ඉක්බිති සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, බොහෝ වූ භික්ෂූන් විසින් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි “ජාතිය ක්ෂය කරණ ලදී. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලදි. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමු” කියා අර්හත්වය ප්‍රකාශ කරණ ලදැයි, මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, යම් මේ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ජාතිය ක්ෂය කරණ ලද්දීය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කටයුතු අනිකක් නැතැයි, දනිමුයිත රහත්බව ප්‍රකාශ කරණ ලද්දාහුද,? ස්වාමීනි, කිමෙක්ද, ඒ භික්ෂූහු මනාකොටම රහත්බව ප්‍රකාශ කළාහුද නොහොත් මෙහි සමහර භික්ෂූහු අධිමානයෙන් (රහත්ය යන හැඟීමෙන්) ප්‍රකාශ කළාහුදැ?”යි ඇසීය.
“සුනක්ඛත්තය, යම් ඒ භික්ෂූහු මා සමීපයෙහි ජාතිය ක්ෂය කරණ ලද්දීය, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්ගයෙන් කටයුතු දෙය කරණ ලද්දේය. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමුයි, රහත්බව ප්‍රකාශ කළාහුද, මෙහි ඇතැම් භික්ෂුහු මනාකොටම රහත්බව ප්‍රකාශ කළාහු වෙත්. මෙහි ඇතැම් භික්ෂූහු අධිමානයෙන්ද රහත්බව ප්‍රකාශ කළාහු වෙත්මැයි. සුනක්ඛත්තය, එහි යම් ඒ භික්ෂූහු මනාකොටම රහත්බව ප්‍රකාශ කළාහුද, ඔවුන්ගේ එය එසේම වෙයි යම් ඒ භික්ෂූහු වනාහි අධිමානයෙන් රහත්බව ප්‍රකාශ කළාහුද, සුනක්ඛත්තය, එහි තථාගතයන්ට ඔවුන්ට ධර්මය දෙශනා කරන්නෙමියි, මෙබඳු අදහසක් වෙයි. සුනක්ඛත්තය, මෙහි තථාගතයන්ට ඔවුන්ට ධර්මය දෙශනා කරන්නෙමියි, මෙබඳු අදහසක් වෙයි. එතකුදු වුවත් මෙහි ඇතැම් හිස් පුරුෂයෝ ප්‍රශ්න සදාගෙන තථාගතයන් කරා පැමිණ අසත්. සුනක්ඛත්තය, එහි තථාගතයන්ට ඔවුන්ට ධර්මය දෙශනා කරන්නෙමි, යන මෙබඳු අදහසක් වෙයි. එයිනුදු ඔහුගේ සිත වෙනස් වේය කියායි”
“භාග්‍යවතුන් වහන්ස, මෙයට මේ සුදුසු කාලය වේ. සුගතයන් වහන්ස, මෙයට සුදුසු කාලය වේ, භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දෙශනා කරන්නේද, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුයයි” කීය. සුනක්ඛත්තය, එසේ වීනම් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළේය. ස්වාමීනියි” සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“සුනක්ඛත්තය, මේ කාමගුණයෝ පසක් වෙත්. කවර පසක්ද යත්, ඉෂ්ටවූ කැමති වන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමය පිණිස පවත්නාවූ ඇළුම් උපදවන්නාවූ ඇසින් දතයුතු රූපයෝය. ඉෂ්ට වූ කැමතිවන්නාවූ මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් උපදවන්නාවූ, කණින් දතයුතු ශබ්දයෝය. ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් උපදවන්නාවූ, නැහැයෙන් දතයුතු ගන්ධයෝය. ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මනවඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් උපදවන්නාවූ, දිවෙන් දතයුතු රසයෝය. ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇළුම් ඇතිකරන්නාවූ, ශරීරයෙන් දැනගතයුතුවූ ස්පර්ශයෝය. සුනක්ඛත්තය, මොහු වනාහි කාමගුණ පස වෙත්.
“සුනක්ඛත්තය, මේ ලොකයෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක්තෙම පඤ්චකාම ගුණයන්හි ඇලුණ පුද්ගලයෙක් වන්නේය යන යමක් වේද, ඊට හෙතු ඇත්තේය. සුනක්ඛත්තය, පඤ්චකාම ගුණයෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා වනාහි ඊට සුදුසුවූ කථා ඇත්තේ වෙයි. ඊට අනුකූලවූ කරුණුම නැවත නැවත සිතන්නේ වෙයි. නැවත නැවත කල්පනා කරන්නේ වෙයි. එබඳු පුරුෂයන්ම සේවනය කරයි. ඔහු සමගම සතුටට පැමිණෙයි. කම්පානොවන යට ධ්‍යාන සය පිළිබඳ කථාවක් කියනු ලබන කල්හි ඇහුන්කන් නොදෙයි. කණ යොමු නොකරයි. දැනගැනීම පිණිස සිත නොඑලවයි. එබඳු පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි.
“සුනක්ඛත්තය, යම්සේ පුරුෂයෙක් තමන්ගේ ගමින් හෝ නියම් ගමින් හෝ පිටවී බොහෝ කලක් වාසය කරණ ලද්දේ වේද, හෙතෙම ඒ ගමින් හෝ නියම් ගමින් හෝ බැහැර ගිය නොබෝකල් ඇති එක්තරා පුරුෂයෙකු දක්නේද, හෙතෙම ඒ පුරුෂයාගෙන් ඒ ගමේ හෝ නියම් ගමේ හෝ නිර්භය බවද, සුභික්ෂ බවද, නීරොග බවද අසන්නේය. ඔහුට ඒ පුරුෂතෙම ඒ ගමේ හෝ නියම් ගමේ නිර්භය බවද, සුභික්ෂ බවද, නිරොග බවද කියන්නේය. සුනක්ඛත්තය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂතෙම ඒ පුරුෂයාගේ කීම අසනු කැමැති වන්නේද? කන් යොමු කරන්නේද? දැනගැනීමට සිත එලවන්නේද? ඒ පුරුෂයාත් සේවනය කරන්නේද? ඔහු සමග සතුටටත් පැමිණෙන්නේද?”
“ස්වාමීනි, එසේය.”
“සුනක්ඛත්තය, එපරිද්දෙන්ම මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් පඤ්චකාම ගුණයෙහි ඇලුණු අදහස් ඇත්තෙක් වන්නේය යන යමක් ඇද්ද, ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, පඤ්චකාම ගුණයෙහි ඇලුණු අදහස් ඇත්තාවූ පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූම කථා ඇත්තේ වෙයි. ඊට අනුකූලවූම කරුණු නැවත නැවත කල්පනා කරයි. නැවත නැවත සලකයි. ඒ පුරුෂයාද සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. කම්පා නොවන යට ධ්‍යාන සය පිළිබඳවූ කථා කියනු ලබන කල්හි අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැනගැනීමට සිත නොඑලවයි. ඒ පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි. හෙතෙම (ලොකාමිසයෙහි) පඤ්චකාම ගුණයෙහි ඇලුණු අදහස් ඇති පුරුෂ පුද්ගලයායයි දතයුතු වන්නේය.
“සුනක්ඛත්තය, මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් කම්පා නොවන යට ධ්‍යාන සයෙහි ඇලුණු පුද්ගලයෙක් වන්නේය යන යමක් ඇද්ද ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, යට ධ්‍යානයෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූ කථාම කරයි. ඊට අනුකූලවූ කරුණුම සිතයි. කල්පනා කරයි. එ වැනි පුරුෂයාම සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. පඤ්චකාම ගුණයන් පිළිබඳ කථා කරනු ලබන කල්හි එය අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැනගැනීම පිණිස සිත නොඑලවයි. එවැනි පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි.
“සුනක්ඛත්තය, යම්සේ නටුවෙන් ගිලිහුණාවූ ඉදුනු කොළය නටුවෙන් නැවත නිල්වන් වීමට සුදුසු නොවේද, සුනක්ඛත්තය, එපරිද්දෙන්ම යට ධ්‍යාන සයෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා යම් ඒ පඤ්චකාම ගුණයක් වේද, එයින් මිදුනේය. හෙතෙම පඤ්චකාම ගුණයන්හි නොඇලුණාවූ කම්පානොවන යට ධ්‍යාන සයෙහි ඇලුණු පුද්ගලයායයි දතයුතු වන්නේය.
“සුනක්ඛත්තය, මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් ආකිඤ්චඤ්ඤායතන සමාධියෙහි ඇලුණු පුද්ගලයෙක් වන්නේය යන යමක් වේද, ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, ආකිඤ්චඤ්ඤායතන සමාධියෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූම කථාකරයි. ඊට අනුකූලවූම කරුණු සිතයි. කල්පනා කරයි. ඒ පුරුෂයා සේවනයද කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. යට ධ්‍යාන සය පිළිබඳ කථා කියනු ලබන කල්හි අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැන ගැනීමට සිත නොඑලවයි. ඒ පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමගද සතුටටද නොපැමිණෙයි. සුනක්ඛත්තය, යම්සේ දෙකට බිඳුනාවූ මහ ගලක් හාකළ නොහැක්කේද, සුනක්ඛත්තය, එපරිද්දෙන්ම ආකිඤ්චඤ්ඤායතන සමාධියෙහි ඇලුණු පුරුෂ පුද්ගලයාගේ යම් යට ධ්‍යානයන් පිළිබඳ ඇලීමක් වේද, එය බිඳුනේ වෙයි. හෙතෙම යට ධ්‍යානසයෙහි නොඇලුණු ආකිඤ්චඤ්ඤායතනයෙහි ඇලුණු පුරුෂ පුද්ගලයායයි දතයුතු වන්නේය.
“සුනක්ඛත්තය, මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි ඇලුණු ඇත්තෙක් වන්නේය යන යමක් වේද, ඊට හේතු අදහස් ඇත්තේය. සුනක්ඛත්තය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි ඇලුණු අදහස් ඇත්තාවූ පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූ කථාවක්ම කරයි. ඊට අනුකූල කරුණුම සිතයි. කල්පනා කරයි. ඒ පුරුෂයාද සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. ආකිඤ්චඤ්ඤායතන සමාධිය කථා කියනු ලබන කල්හි අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැන ගැනීමට සිත නොඑලවයි. ඒ පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි. සුනක්ඛත්තය, යම්සේ පුරුෂයෙක් රසවත් ආහාරයක් වළඳා නිමවූ කල හැර දමන්නේද, සුනක්ඛත්තය, ඒ කුමකැයි හඟින්නෙහිද, ඒ පුරුෂයාහට ඒ අනුභව කළ භොජනය වමනය කළ කල්හි එය නැවත අනුභව කරන්ට කැමැත්තක් වන්නේද?”
“ස්වාමීනි, එසේ නොවන්නේමැයි. ඊට හෙතු කවරේද? ස්වාමීනි, ඒ වමනය කළ ආහාරය වනාහි පිළිකුල්යයි සම්මත හෙයිනි.”
“සුනක්ඛත්තය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි ඇලුණු අදහස් ඇති පුරුෂ පුද්ගලයා ආකිඤ්චඤ්ඤායතන සංයොජනය වමනය කල්හිද එසේමය. හෙතෙම ආකිඤ්චඤ්ඤායතන සංයොජනයෙන් නොබැඳුණු නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා යයි දතයුතු වන්නේය.
“සුනක්ඛත්තය, මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් මනාකොට නිවණෙහි කැමති අදහස් ඇත්තෙක් වන්නේය යන යමක් වේද, ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, මනාව නිවණෙහි කැමැති අදහස් ඇති පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූ වචනම කථා කරයි. ඊට අනුකූල කරුණුම සිතයි. කල්පනා කරයි. ඒ පුරුෂයාද සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධිය පිළිබඳ කථා කියනු ලබන කල්හි අසන්ට නොකැමැති වෙයි. දැන ගැනීම පිණිස සිත නොඑළවයි. පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි. සුනක්ඛත්තය, යම්සේ තල්ගස මස්තකය සිඳින ලද්දේ නැවත හටගැනීමට නුසුදුසු වේද, සුනක්ඛත්තය, එපරිද්දෙන්ම මනාව නිවණෙහි කැමතිවූ අදහස් ඇති පුරුෂ පුද්ගලයා විසින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියෙහි යම් බැඳීමක් වෙත්ද, එය සිඳින ලදී. සිඳිනලද මුල් ඇති තල්ගසක් මෙන් කරණලදී. විනාශ කරන ලදී. මතු නූපදින බවට පමුණුවන ලදී. හෙතෙම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංයෝජනයෙන් වෙන්වූ මනාව නිවණෙහි නැමුණු අදහස් ඇති පුරුෂ පුද්ගලයායයි දතයුතු වන්නේය.
“සුනක්ඛත්තය, මේ සස්නෙහි ඇතැම් භික්ෂුවක්හට තෘෂ්ණාව වනාහි හුලකැයි බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් වදාරණලදී. අවිද්‍යාව නමැති විෂදොෂය, ඡන්දරාගය, ව්‍යාපාදය කරණකොටගෙන කිපෙයි. ‘මා විසින් තෘෂ්ණා නමැති හුල පහකරන ලදී. අවිද්‍යා නමැති විෂදොෂය ඉවත්කරණ ලද්දේය. මම වනාහි නිවණෙහි නැමුණු අදහස් ඇත්තෙක් වෙමියි, අර්ථයට සමානවූ මෙබඳු හැඟීම් ඇත්තෙක් වන්නේය, යන යමක් වේද ඊට හේතු ඇත්තේය. හෙතෙම වනාහි නිවණෙහි කැමැතිවූ සිත් ඇති පුද්ගලයාට නුසුදුසුවූ යම් අරමුණු වෙත්ද, ඒ අරමුණුවල බැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයක් දැක බැඳෙන්නේය. කණින් නුසුදුසු ශබ්දයක් අසා බැඳෙන්නේය. නාසයෙන් නුසුදුසු ගන්ධය දැන බැඳෙන්නේය. දිවෙන් නුසුදුසු රසය දැන බැඳෙන්නේය. කයෙන් නුසුදුසු ස්පර්ශය ස්පර්ශකොට බැඳෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණ දැන බැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයෙහි බැඳුනාවූ, කණින් නුසුදුසු ශබ්දයෙහි බැඳුණාවූ, නාසයෙන් නුසුදුසු ගන්ධයෙහි බැඳුනාවූ, දිවෙන් නුසුදුසු රසයෙහි බැඳුණාවූ, කයින් නුසුදුසු ස්පර්ශයෙහි බැඳුණාවූ, සිතින් නුසුදුසු ධර්මාරම්මණයෙහි බැඳුනාවූ, ඔහුගේ රාගය තෙම සිත වියලන්නේය (නසන්නේය) හෙතෙම රාගයෙන් වියලනලද සිතින් යුක්තව මරණයට හෝ මරණය හා සමාන දුකට හෝ පැමිණෙන්නේය.
“සුනක්ඛත්තය, යම්සේ පුරුෂතෙම විෂ සහිතවූ දැඩිකොට විෂ පොවනලද හුලකින් විදින ලද්දේ වන්නේද, ඔහුගේ අසල් වැසියෝ නෑ සහ ලේ නෑයෝ ශල්‍යකර්ම කරන්නාවූ වෙදෙකු කැදවන්නාහුය. ඔහුගේ ඒ ශල්‍යකර්මය කරන්නාවූ වෙදතෙම ආයුධයෙන් වණ මුඛය හාත්පස කපන්නේය. ආයුධයෙන් වණමුඛය හාත්පස කපා සොයන කටුවෙන් හුල සොයන්නේය. සොයන කටුවෙන් හුල සොයා හුල ඇද දමන්නේය. ඉතිරිවූ විෂ දොෂය ඉතිරිවූ විෂදොසක් නැතැයි හඟිමින් ඉවත් කරන්නේය.
“හෙතෙම මෙසේ කියන්නේය. ‘පින්වත් පුරුෂය, නුඹගේ හුල උදුරා දමනලදී. විෂදොෂය ඉතිරි නොකොට ඉවත් කරනලදී. ඔබට මෙය අනතුරක් පිණිස නොවේ. පථ්‍යවූ ආහාර අනුභව කරව, අපථ්‍යවූ ආහාර අනුභව නො කරව, අපථ්‍ය ආහාර ගන්නේ වණය වැගිරීම් සහිත වන්නේය. කලින් කල වණය සේදුව මැනවි. කලින් කල වණ මුඛයෙහි බෙහෙත් ගැල්වුව මැනව, කලින් කල වණය නොසේදීමෙන් කලින් කල වණයෙහි බෙහෙත් නොගැල්වීමෙන් වණයෙහි සැරව හා ලේ බැඳ නොගනීවා. සුලං ඇති තන්හි හා අව්වෙහි නොඇවිදිනු. සුලං ඇති තන්හි හා අව්වෙහි ඇවිදීමෙන් වණයෙහි දූවිලි හා නණ්ඩු වැදීමට ඉඩ නොදේවා. පින්වත් පුරුෂය, වණය රකිමින් වණයෙහි මස් ලියලන අන්දමින් වාසය කරවයයි,’ කියන්නේය. ‘මෙසේ හෙතෙම මාගේ හුල උදුරා දමනලදී. විෂදොෂය ඉතිරි නොකොට ඉවත් කරණලදී. මට මෙයින් අනතුරක් නොවන්නේයයි,’ සිතන්නේය. හෙතෙම අපථ්‍යවූ ආහාර අනුභව කරන්නේය. අපථ්‍ය ආහාර අනුභව කරන්නාවූ ඔහුගේ වණය වැගිරීම ඇත්තක් වන්නේය. කලින් කල වණය නොසෝදන්නේය. කලින් කල වණයෙහි බෙහෙත් නොගල් වන්නේය. කලින් කල වණය නොසෝදන්නාවූ කලින් කල වණයෙහි බෙහෙත් නොගල්වන්නාවූ ඔහුගේ වණය ලේ සැරව දෙකින් බැඳ ගන්නේය. අව්සුලං ඇතිතන්හි ඇවිදින්නේය. අව්සුලං දෙකෙහි ඇවිදින ඔහුගේ වණයට දූවිලි හා වීනණ්ඩු ආදිය ඇතුල් වන්නේය. වණය රැක ගනිමින් වාසය නොකරන්නේය. මස්ලියලන සේ වාසය නොකරන්නේය. ඔහුගේ මේ අපථ්‍ය කටයුතු කිරීමෙන් අපවිත්‍ර විෂදොෂය ඉතිරිව ඉවත්වන ලද්දේය. කරුණු දෙකින් වණය මහත් බවට පැමිණෙන්නේය. හෙතෙම මහත් බවට පැමිණියාවූ වණයෙන් මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය.
“සුනක්ඛත්තය, එපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක්හට මෙබඳු අදහසක් වන්නේය, යන යමක්වේද, ‘තෘෂ්ණාව වනාහි හුලකැයි බුද්ධශ්‍රමණයන් විසින් වදාරණ ලදී. අවිද්‍යා නැමැති විෂදොෂය ඡන්දරාගය හා ව්‍යාපාදය කරණකොට කිපේ. මා විසින් ඒ තෘෂ්ණා නමැති හුල පහ කරනලදී. අවිද්‍යා නමැති විෂදොෂය දුරුකරනලදී. මම නිවණෙහි නැමුනු අදහස් ඇත්තෙක් වෙයි, අර්ථයට සමානවූ මෙබඳු හැඟීමක් ඇත්තෙක් වන්නේය.’
“හෙතෙම මනාව නිවණෙහි නැමුණු අදහස් ඇත්තහුට නුසුදුසුවූ යම් ඒ කරුණු වෙත්ද, ඒ කරුණුවල යෙදෙන්නේය. ඇසින් නුසුදුසුවූ රූපයක් දැක එහි බැඳෙන්නේය. කණින් නුසුදුසුවූ ශබ්දයක් අසා එහි බැඳෙන්නේය. නාසයෙන් නුසුදුසුවූ ගන්ධයක් ආඝ්‍රානය කොට එහි බැඳෙන්නේය. දිවෙන් නුසුදුසුවූ රසයක් විඳ එහි බැඳෙන්නේය. කයින් නුසුදුසුවූ ස්පර්ශයක් ලබා එහි බැඳෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණයන් දැන එහි බැඳෙන්නේය. නුසුදුසුවූ රූපයක් දැක එහි බැඳුනාවූ කණින් නුසුදුසුවූ ශබ්දයක් අසා එහි බැඳුනාවූ නාසයෙන් නුසුදුසුවූ ගඳෙක් ආඝ්‍රානය කොට එහි බැඳුනාවූ දිවෙන් නුසුදුසුවූ රසයක් විඳ එහි බැඳුනාවූ කයින් නුසුදුසුවූ ස්පර්ශයක් ලබා එහි බැඳුනාවූ සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණයක් දැක එහි බැඳුනාවූ ඔහුගේ රාගය තෙම සිත නසන්නේය. හෙතෙම රාගයෙන් නසනලද සිතින් මරණයට හෝ මරණය තරම් දුකට හෝ පැමිණෙන්නේය. සුනක්ඛත්තය, ආර්‍ය්‍යවිනයෙහි යමෙක් මහණකම අතහැර හීනවූ ගිහි බවට පෙරළේද, මේ වනාහි මරණයවේ. සුනක්ඛත්තය, යමෙක් කෙලෙසුන්ගෙන් කිලිටිවූ එක්තරා ඇවතකට පැමිණේද, මේ වනාහි මරණය හා සමාන දුකවේ.
“සුනක්ඛත්තය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක්හට ‘තෘෂ්ණාව වනාහි හුලකැයි බුද්ධ ශ්‍රමණයන් විසින් වදාරණලදී. අවිද්‍යා නමැති විෂ දොෂය ඡන්දරාගය හා ව්‍යාපාදය කරණකොටගෙන කිපෙයි. මා විසින් තෘෂ්ණා නැමැති හුල පහකරණලදී. අවිද්‍යා නැමැති විෂ දොෂය ඉවත් කරණ ලදී. මම නිවණෙහි නැමුණු අදහස් ඇත්තෙක් වෙමි,’ යන අදහස උපදින්නේය යන යමක්වේද, ඊට ඇත්තේය. මනාකොටම නිවණෙහි නැමුණු අදහස් ඇත්තාවූ ඔහුට නුසුදුසුවූ යම් ඒකරුණු වෙත්ද, ඒ කරුණුවල නොයෙදෙන්නේය ඇසින් නුසුදුසුවූ රූපයක් දැක එහි නොබැඳෙන්නේය. කණින් නුසුදුසුවූ ශබ්දයක් අසා එහි නොබැඳෙන්නේය. නාසයෙන් නුසුදුසුවූ ගන්ධයක් ආඝ්‍රාණයකොට එහි නොබැඳෙන්නේය. දිවෙන් නුසුදුසුවූ රසයක් විඳ එහි නොබැඳෙන්නේය. කයින් නුසුදුසුවූ ස්පර්ශයක් ලබා එහි නොබැඳෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණයක් දැන එහි නොබැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයක් දැක එහි නො බැඳෙන්නාවූ කණින් නුසුදුසු ශබ්දයක් අසා එහි නොබැඳෙන්නාවූ නාසයෙන් නුසුදුසු ගන්ධයක් ආඝ්‍රාණකොට එහි නොබැඳෙන්නාවූ දිවෙන් නුසුදුසු රසක් විඳ එහි නොබැඳෙන්නාවූ කයින් නුසුදුසු ස්පර්ශයක් ලබා එහි නොබැඳෙන්නාවූ සිතින් නුසුදුසු ධර්මාරම්මණයක් දැන එහි නොබැඳෙන්නාවූ ඔහුගේ රාගයතෙම සිත නොනසන්නේය. හෙතෙම රාගයෙන් නොනැසූ සිතින් මරණයට හෝ නොම පැමිණෙන්නේය, මරණය හා සමාන දුකට හෝ නොපැමිණෙන්නේය.
“සුනක්ඛත්තය, යම්සේ පුරුෂයෙක් විෂ සහිතවූ දැඩිව විෂ පොවන ලද හුලෙන් විදින ලද්දේ වන්නේද, ඔහුගේ අසල්වැසියෝ නෑ සහලේ නෑයෝ ශල්‍යකර්ම කරන්නාවූ වෙදෙකු කැඳවන්නාහුය. ඔහුගේ ඒ ශල්‍යකර්ම කරන්නාවූ වෙදතෙම ආයුධයෙන් වණ මුඛය පිරිසිදු කරන්නේය. ආයුධයෙන් වණ මුඛය පිරිසිදුකොට සොයන කටුවෙන් හුල සොයන්නේය. සොයන කටුවෙන් හුල සොයා හුල ඇද දමන්නේය. ඉතිරිවූ දෙයක් නැත්තේයයි දනිමින් ඉතිරි දෙයක් නැතිවම විෂ දොෂය බැහැර කරන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ‘පින්වත් පුරුෂය, නුඹගේ හුල උදුරා දමනලදී. ඉතිරි නැතිවම විෂ දොෂය බැහැර කරන ලද්දේය. නුඹට අන්තරායක්ද නොවේ. පථ්‍යවූ ආහාර අනුභව කරව. අපථ්‍යවූ ආහාර අනුභව කිරීමෙන් තොපගේ වණය වැගිරෙන ස්වභාවය ඇත්තක් කර නොගනුව. කලින් කල වණය සේදුව මැනව. කලින් කල වණ මුඛයෙහි බෙහෙත් ආලෙප කරව. කලින් කල වණය නොසේදීමෙන් කලින් කල වණ මුඛයෙහි බෙහෙත් නොගැල්වීමෙන් නුඹගේ වණ මුඛය සැරවෙන් හා ලෙයින් බැඳ නොගනුව, අවු සුලං දෙකෙහි ගමන් නොකරනු, අවු සුලං දෙකට අසුවෙමින් ගමන්කොට නුඹගේ වණයෙහි දූවිලි හා වීනණ්ඩු ආදිය ඇතුල්කර නොගනුව. පින්වත් පුරුෂය, වණය රැක ගන්නෙක්ව වණයෙහි මස් ලියලවා ගන්නෙක්ව වාසය කරවයි’ කියන්නේය. ඔහුට වනාහි ‘මාගේ හුල වනාහි උදුරා දමනලදී. විෂ දොෂය ඉතිරි නොකොටම බැහැර කරණ ලදී. මාගේ අන්තරායට හෙතුවක් නැතැයි’ සිතන්නේය. හෙතෙම පථ්‍යවූ ආහාරද අනුභව කරන්නේය. පථ්‍යවූ ආහාර අනුභව කරන්නාවූ ඔහුගේ වණය වැගිරෙන්නක් නොවන්නේය. කලින් කල වණය සෝදන්නේය. කලින් කල වණයෙහි බෙහෙත් ගල් වන්නේය. කලින් කල වණය සෝදන්නාවූ, කලින් කල වණයෙහි බෙහෙත් ගල්වන්නාවූ ඔහුගේ වණ මුඛය සැරවෙන් හා ලෙයින් බැඳ නොගන්නේය. අවු සුලං දෙකෙහි ගමන් නොකරන්නේය. අවු සුලං දෙකෙහි ගමන් නොකරන්නාවූ ඔහුගේ වණයෙහි දූවිලි හා වීනණ්ඩු ඇතුල් නොවන්නේය. වණය රක්ෂා කරන්නෙක්ව වණයෙහි මස් ලියලවන්නෙක්ව වාසය කරන්නේය. ඔහුගේ මේ පථ්‍ය ක්‍රියා කිරීමෙන්ද අපවිත්‍රවූ විෂදොෂය ඉතිරි නැතිවම බැහැරවූයේ වෙයි. ඒ කරුණු දෙක නිසා වණයෙහි මස් වැඩෙන්නේය. හෙතෙම වණය ගොඩවී සිවිය හොඳින් ඇතිවීම නිසා මරණයට හෝ නොපැමිණෙන්නේය. මරණය හා සමාන දුකට හෝ නොපැමිණෙන්නේය.
“සුනක්ඛත්තය, මෙපරිද්දෙන්ම මේ සස්නෙහි ඇතැම් මහණෙකුට තෘෂ්ණාව වනාහි හුලයයි බුද්ධශ්‍රමණයන් විසින් වදාරණ ලදී. අවිද්‍යා නමැති විෂදොෂය ඡන්දරාගය හා ව්‍යාපාද කරණකොට කිපෙයි. ‘මා විසින් ඒ තෘෂ්ණා නමැති හුල උදුරා දමන ලදී. අවිද්‍යා නමැති විෂදොෂය ඉවත් කරන ලදී. මම නිවණෙහි නැමුණු අදහස් ඇත්තෙක් වෙමියි’ යන මෙබඳු අදහසක් වන්නේය යන යමක් වේද, ඊට හේතු ඇත්තේය. නිවණෙහි නැමුණු අදහස් ඇත්තාවූ ඔහුට නුසුදුසු යම් ඒ කරුණු වෙත්ද, හෙතෙම ඒ කරුණුවල නොබැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයක් දැක එහි නොබැඳෙන්නේය. කණින් නුසුදුසු ශබ්දයක් අසා එහි නොබැඳෙන්නේය. නාසයෙන් නුසුදුසුවූ ගන්ධයක් ආඝ්‍රානය කොට එහි නොබැඳෙන්නේය. දිවෙන් නුසුදුසුවූ රසක් විඳ එහි නොබැඳෙන්නේය. කයින් නුසුදුසුවූ ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොබැදෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණයක් දැන එහි නොබැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූප දැක එහි නොබැඳුනාවූ, කණින් නුසුදුවූ ශබ්ද අසා එහි නොබැඳුනාවූ, නාසයෙන් නුසුදුසුවූ ගඳ ආඝ්‍රානය කොට එහි නොබැඳුනාවූ, දිවෙන් නුසුදුසුවූ රස විඳ එහි නොබැඳුනාවූ, කයින් නුසුදුසුවූ ස්පර්ශ ස්පර්ශකොට එහි නොබැඳුනාවූ, සිතින් නුසුදුසුවූ ධර්මාරම්මණ දැන එහි නොබැඳුනාවූ ඔහුගේ රාගය තෙම සිත නොනසන්නේය. හෙතෙම රාගයෙන් නොනසනලද සිතින් මරණයට නොපැමිණෙන්නේය. මරණය හා සමාන දුකට හෝ නොපැමිණෙන්නේය.
“සුනක්ඛත්තය, මා විසින් අර්ථය හැඟවීම සඳහා මේ උපමාවක් කරණ ලදී. මෙයම මෙහි අර්ථය වේ. සුනක්ඛත්තය, වණය යනු සවැදෑරුම්වූ ආධ්‍යාත්මිකවූ ආයතනයන්ට නමකි. සුනක්ඛත්තය, විෂදොෂය යනු අවිද්‍යාවට නමකි. සුනක්ඛත්තය, හුල යනු තෘෂ්ණාවට නමකි. සුනක්ඛත්තය, සොයන කටුව යනු සිහියට නමකි. සුනක්ඛත්තය, ආයුධය යනු ආර්‍ය්‍යවූ ප්‍රඥාවට නමකි. සුනක්ඛත්තය, ශල්‍ය කර්‍තෘවූ වෛද්‍යවරයා යනු අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේට නමකි. සුනක්ඛත්තය, ඒ මහණ තෙම ඒකාන්තයෙන් සවැදෑරුම්වූ ඵස්සායතනයන්හි සංවර වූයේ ක්ලෙශයෝ දුකට මුලයයි මෙසේ දැන කෙලෙස් රහිතවූයේ කෙලෙස් නැසීමවූ නිවණෙන් මිදුනේ වේද හෙතෙම ක්ලෙශයන්හි කය හෝ එලවන්නේය. සිත හෝ උපදවන්නේය යන මේ කරුණට හේතු නැත. යම්සේ පානය කටයුතුවූ පැන් භාජනයක් වර්ණයෙන් යුක්ත වූයේ ගන්ධයෙන් යුක්තවූයේ වේද, හෙද වනාහි විෂයෙන් මිශ්‍රවූයේ වේ. ඉක්බිති ජීවත්වනු කැමැති නොමැරෙනු කැමැති සැප කැමැති දුක් පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එන්නේය. සුනක්ඛත්තය, ඒ කුමකැයි හඟින්නෙහිද? ‘මෙය බීමෙන් මරණයට හෝ පැමිණෙන්නේය. මරණය හා සමාන දුකට හෝ පැමිණෙන්නෙමි’ යන කාරණය යම් හෙයකින් දන්නාවූ ඒ පුරුෂතෙම මේ පැන් භාජනය බොන්නේද?”
“ස්වාමීනි, එය නොවේමැයි.”
“සුනක්ඛත්තය, එපරිද්දෙන්ම ඒ මහණතෙම ඒකාන්තයෙන් සවැදෑරුම්වූ ඵස්සායතනයන්හි සංවරවූයේ කෙලෙස් දුකට මුලයයි දැන කෙලෙස් රහිතවූයේ කෙලෙසුන් ගේ නිවණෙන් මිදුනේ වේද, හෙතෙම ඒ ක්ලෙශයන්හි කය හෝ එලවන්නේය. සිත හෝ උපදවන්නේය යන මේ කාරණයට හේතු නැත. සුනක්ඛත්තය, යම්සේ දරුණු විෂ ඇත්තාවූ සර්පයෙක් වේද, ඉක්බිති ජීවත්වනු කැමැත්තාවූ නොමැරෙනු කැමැත්තාවූ සැප කැමැත්තාවූ දුක් පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එන්නේය. සුනක්ඛත්තය. ඒ කුමකැයි හඟින්නෙහිද? මොහු විසින් දෂ්ට කළාවූ ‘මම මරණයට හෝ මරණය තරම් දුකට හෝ පැමිණෙන්නෙමියි’ දන්නාවූ ඒ පුරුෂතෙම මේ දරුණු විෂ ඇත්තාවූ සර්පයාට අත හෝ ඇඟිල්ලක් හෝ දෙන්නේද?”
“ස්වාමීනි, එය නොවේමැයි.”
“සුනක්ඛත්තය, මෙපරිද්දෙන්ම ඒ මහණතෙම ඒකාන්තයෙන් සවැදෑරුම් ඵස්සායතනයන්හි සංවරවූයේ කෙලෙස් දුකට මුලයයි දැන, උපධි රහිත වූයේ කෙලෙස් නැසීමවූ නිවණෙන් මිදුනේ, ක්ලෙශයන්හි කය හෝ එලවන්නේය. සිත හෝ උපදවන්නේය යන මේ කාරණයට හේතු නැත.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේයි.
පස්වෙනිවූ සුනක්ඛත්ත සූත්‍රය නිමි. (1-5)