මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

1. දේවදහ වර්ගය

107. ගණක මොග්ගල්ලාන සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි මිගාරමාතු පාසාද නම්වූ පූර්වාරාමයෙහි වැඩ වසනසේක. එකල්හි ‘ගණක මොග්ගල්ලාන’ නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“භවත් ගෞතමයන් වහන්ස, යම්සේ මේ මිගාරමාතු පාසාදයාගේ අන්තිම හිණිපෙත්ත දක්වා පිළිවෙළින් හික්මීමක්, පිළිවෙළින් කිරීමක්, පිළිවෙළින් පිළිපැදීමක් දක්නා ලැබේද, භවත් ගෞතමයන් වහන්ස, එමෙන් මේ බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍ර ඉගෙණීමෙහිද, පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම, දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, මේ දුනු ශිල්පයෙහිද, පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, ගණන් ශාස්ත්‍රයෙන් ජීවත්වන්නාවූ අපගේ ගණන් ශාස්ත්‍රයෙහිද පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම, දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි ගෝලයන් ලැබ පළමුකොට මෙසේ ගණන් කරවමු. එක, එකය. දෙක, දෙකය. තුන, තුනය. හතර, හතරය. පහ, පහය. හය, හයය. හත, හතය. අට, අටය. නවය, නවයය. දසය, දසයය. මෙසේ භවත් ගෞතමයන් වහන්ස, අපි සියයටද ගණන් කරවමු. භවත් ගෞතමයන් වහන්ස, මේ ධර්ම විනයෙහිද, එසේ පිළිවෙළින් හික්මීමක්, පිළිවෙළින් කිරීමක්, පිළිවෙළින් පිළිපැදීමක් පෙන්විය හැක්කේද?”

“බ්‍රාහ්මණය, මේ ධර්ම විනයෙහි පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම, පෙන්විය හැක්කේය. බ්‍රාහ්මණය, යම්සේ දක්ෂවූ අශ්වයන් හික්මවන්නෙක් යහපත්වූ අජානීය අශ්වයෙකු ලැබ පළමුකොටම කටකලියාවට පුරුදු කරවයිද, ඉක්බිති මත්තෙහි කටයුතු පුරුදු කරවයිද, බ්‍රාහ්මණය, එපරිද්දෙන්ම තථාගත තෙම දමනය කිරීමට සුදුසු පුරුෂයෙකු ලැබ, පළමුකොටම මෙසේ හික්මවන්නේය. ‘මහණ එව. නුඹ සිල්වත් වෙව. ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරව ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව, කුඩා වරදෙහි පවා භය දක්නෙක්ව වාසය කරව. සමාදන්ව ශික්ෂාපදයන්හි හික්මෙවයි’ යනුවෙනි.

“බ්‍රාහ්මණය, භික්ෂුතෙම යම් තැනක පටන් සිල්වත්වේද, ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරව, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව, කුඩා වරදෙහි පවා භය දක්නෙක්ව වාසය කෙරේද, සමාදන්ව ශික්ෂාපදයන්හි හික්මේද, තථාගත තෙම ඔහු මත්තෙහි හික්මවයි. ‘මහණ, එව නුඹ ඉන්ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තෙක් වෙව. ඇසින් රූපය දැක නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ චක්ෂුරින්ද්‍රියයෙහි (ඇසෙහි) සංවර නැතුව වාසය කරන්නහු ලොභය, ද්වෙෂය යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. චක්ෂුරින්ද්‍රිය රකුව. චක්ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

“කණින් ශබ්දය අසා නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ සොතෙන්ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලොභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. සොතෙන්ද්‍රිය රකුව. සොතෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

“නාසයෙන් ගන්ධය ආඝ්‍රාණය කොට නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ ඝාණෙන්ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලොභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ඝාණෙන්ද්‍රිය රකුව. ඝාණෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

“දිවෙන් රසය දැන නිමිතිගන්නෙක් කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් ජිහ්ව ඉන්ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලොභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ජිහ්වෙන්ද්‍රිය රකුව. ජිහ්ව ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

කයින් ප්‍රශ්වව්‍යයන් ස්පර්ශකොට නිමිති ගන්නෙක් කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් ස්පර්ශෙන්ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නවූ මොහුට විෂම ලොභය, දොම්නස යන ලාමකවූ අකුශල ධර්මයෝ අනුව වහනය වෙත්ද ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ස්පර්ශෙන්ද්‍රිය රකුව. ස්පර්ශෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

සිතින් ධර්මය දැන නිමිති ගන්නෙක් කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යමක් හේතුකොටගෙන මනින්ද්‍රියයෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලොභය, ද්වෙෂය, යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වැහෙන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. මනින්ද්‍රිය රකුව. මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව’යි යනුවෙනි.

“බ්‍රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම ඉඳුරන්හි රක්නාලද දොරටු ඇත්තේ වේද, ඔහු තථාගත තෙම මත්තෙහි හික්මවයි. ‘මහණ, එව. නුඹ භොජනයෙහි පමණ දක්නෙක් වෙව. නුවණින් සලකා ආහාරය ගණුව. ක්‍රීඩා පිණිස නොවේ. මද වැඩීම පිණිස නොවේ. සැරසීම පිණිස නොවේ. අලංකාර කිරීම පිණිස නොවේ. යම්තාක්ම මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැපීම පිණිස විහිංසා වැලැක්ම පිණිස බ්‍රහ්මචර්‍ය්‍යාවට අනුග්‍රහ පිණිස වේ. මෙසේ පැරණිවූ වේදනාවද නසමි. අළුත් වෙදනාවද නූපද වන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාවද නිරවද්‍ය භාවයද පහසු විහරණයද වන්නේයයි (ආහාර ගනුව යනුවෙනි)

“බ්‍රාහ්මණය, යම් තැනෙක පටන් මහණතෙම වැළඳීමෙහි පමණ දන්නේ වේද, ඔහු තථාගතතෙම මත්තෙහි හික්මවයි. ‘මහණ එව. නුඹ නිදි දුරු කිරීමෙහි යෙදී වාසය කරව. දාවල් දවස සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරව. රාත්‍රියගේ ප්‍රථම යාමයෙහි සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරව. රාත්‍රියගේ මධ්‍යම යාමය දකුණු පසින් දකුණු පයෙහි වම්පය මඳක් ඉක්මවා තබා සිහි ඇත්තේ නුවණ ඇත්තේ නැගිටිමි යන සංඥාව මෙනෙහි කොට සිංහ සෙය්‍යාවෙන් සයනය කරව. රාත්‍රියගේ පශ්චිම යාමයෙහි නින්දෙන් නැගිට සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරවයි’ (යනුවෙනි.)

“බ්‍රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, ඔහු තථාගත තෙම මත්තෙහි හික්මවයි. ‘මහණ, එව. නුඹ සිහි නුවණින් යුක්තවූවෙක් වෙව ඉදිරියට ගමන් කිරීමෙහිද, ආපසු ගමන් කිරීමෙහිද, නුවණින් යුක්තව කරන්නෙක් ඉදිරිපස බැලීමෙහිද, හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූවෙක්, අත් පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද, නුවණින් යුක්තවූවෙක්, දෙපට සිව්ර හා පා සිව්රු දැරීමෙහි නුවණින් යුක්තවූවෙක්, අනුභව කිරීමෙහි පානය කිරීමෙහි, කඩා කෑමෙහි, රස විඳීමෙහි නුවණින්, යුක්තවූවෙක්, මලමුත්‍ර පහකිරීමෙහි නුවණින් යුක්තවූවෙක්, ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදි දුරුකිරීමෙහි, කීමෙහි, කතා නොකිරීමෙහි නුවණින් යුක්තවූවෙක් වේවයි (යනුවෙනි.)

“බ්‍රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම සිහි නුවණින් යුක්තවූයේ වේද, ඒ පුද්ගලයා තථාගත තෙම මත්තෙහි හික්මවයි. ‘මහණ, එව නුඹ විවේක ඇත්තාවූ සේනාසනයක් භජනය කරව. එනම්: අරණ්‍යය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැළිය, පර්වත ගුහාවය, සොහොනය, අභ්‍යවකාශය, පිදුරු බිස්නය යන මොහුයි. හෙතෙම විවෙක ඇති සෙනසුනක් භජනය කරයි. අරණ්‍යය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැළිය, පර්වත ගුහාය, සොහොනය, වනසෙනසුනය, අභ්‍යවකාශය, පිදුරු බිස්නය යන මොහුයි.

හෙතෙම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ පළඟ බැඳගෙන ඍජුව කය පිහිටුවා අරමුණට ඉදිරිපත් කොට සිහිය පිහිටුවා හිඳියි. හෙතෙම ලොකයෙහි ලොභය දුරුකොට පහව ගියාවූ ‘විෂම ලොභය ඇති සිතින් යුක්තව වාසය කරයි. ලොභයෙන් සිත පිරිසිදු කරයි. ද්වෙෂය දුරුකොට ද්වෙෂ රහිත සිත් ඇත්තේ, සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ව්‍යාපාද දොෂයෙන් සිත පිරිසිදු කරයි. ථීනමිද්ධය හැර පහව ගියාවූ ථීනමිද්ධය ඇතිව ආලොක සංඥා ඇතිව සිහි නුවණ දෙකින් යුක්තව වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. උද්ධච්චකුක්කුච්චය (නොසන්සුන් කම හා පසු තැවීම) දුරුකොට සන්සුන්ව තමා කෙරෙහි සංසිඳුනු සිත් ඇතිව වාසය කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව හැර දුරුකළ සැක ඇත්තේ කුසල ධර්මයන්හි කෙසේ කෙසේදැයි යන සැක නැතිව වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.

“හෙතෙම මේ සිත කිලුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ පඤ්චනීවරණයන් හැර කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟබව ඇති විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියෙහිද නොඇල්මෙන් උපෙක්ෂාවෙන්ද, සිහි නුවණ දෙකින්ද, යුක්තව වාසය කරයි. සැපයද නාම කයින් විඳියි. යම් ධ්‍යානයකට පැමිණීම නිසා ආර්‍ය්‍යයෝ උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේයයි, කියත්ද ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපයාගේද දුරු කිරීමෙන් දුක්ඛයාගේද දුරු කිරීමෙන් පළමු උපචාර කාලයේම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු කම ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි.

“බ්‍රාහ්මණය, යම් ඒ භික්ෂූහු ශෛක්ෂවූවාහු නොපැමිණි අර්හත්වය ඇත්තාහු උතුම්වූ නිවණ පතමින් වාසය කරත්ද, ඔවුන් කෙරෙහි මාගේ මෙබඳුවූ මේ අනුශාසනාව වෙයි. යම් ඒ භික්ෂූහු රහත්වූවාහු ක්ෂය කළ ආශ්‍රව ඇත්තාහු වැස නිමවනලද බඹසර (උතුම් හැසිරීම) ඇත්තාහු සතර මගින් කරණලද කටයුතු ඇත්තාහු බහා තබන ලද කෙලෙස් බර ඇත්තාහු පිළිවෙළින් පැමිණි අර්හත්වය ඇත්තාහු ක්ෂයකළ භවසංයොජන ඇත්තාහු මනාව නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාහු වෙත්ද, ඔවුන්ට මේ ධර්මයෝ මේ ආත්මයෙහි සැප විහරණය පිණිසද සිහි නුවණ දෙකින් යුක්තවීම පිණිසද පවතිත්යයි” වදාළේය.

මෙසේ වදාළ කල්හි ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “කිමෙක්ද? භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙසේ අවවාද කරණු ලබන්නාහු මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු සියල්ලෝම ඒකාන්ත නිෂ්ටාවවූ නිවණට පැමිණෙත්ද, නොහොත් ඇතැමෙක් නොපැමිණෙත්ද?”

“බ්‍රාහ්මණය, ඇතැම් මාගේ ශ්‍රාවකයෝ මෙසේ අවවාද කරණු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු, ඒකාන්ත නිෂ්ටාවවූ නිවණට පැමිණෙත්. ඇතැම්හු නොපැමිණෙත්යයි” (වදාළේය.) “භවත් ගෞතමයන් වහන්ස, නිවණද ඇත්තේද, නිවණට පැමිණෙන මාර්ගයද ඇත්තේය. එහි යොදවන්නාවූ භවත් ගෞතමයන් වහන්සේද ඇත්තාහ. එතකුදු වුවත් භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙසේ අවවාද කරණු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු, සමහරු ඒකාන්ත නිෂ්ටාවවූ නිවණට පැමිණෙත්. සමහරු නොපැමිණෙත් යන යමක් වේද, ඊට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද?”

“බ්‍රාහ්මණය, එසේවී නම්, තොපගෙන්ම මෙය අසන්නෙමි. යම්සේ තොපට වැටහෙන්නේද, එසේ එය ප්‍රකාශ කරව. බ්‍රාහ්මණය, ඒ කුමකැයි හඟින්නෙහිද? නුඹ රජගහ නුවරට යන්නාවූ මාර්ගය පිළිබඳව දක්ෂයෙක් වෙහිද?” “එසේය. පින්වතුන් වහන්ස, මම රජගහනුවරට යන්නාවූ මග පිළිබඳව දක්ෂයෙක්මි”යි කීයේය.

“බ්‍රාහ්මණය, ඒ කුමකැයි හඟින්නෙහිද? මෙහි රජගහ නුවරට යනු කැමැත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුඹ වෙත පැමිණ ‘ස්වාමීනි, මම රජගහනුවරට යනු කැමැත්තෙමි. ඒ මට රජගහනුවරට යන මග දක්වනු මැනවැයි’ කියන්නේය. ඔහුට නුඹ මෙසේ කියන්නෙහිය. ‘පින්වත් පුරුෂය, මෙසේ මේ මාර්ගය රජගනුවරට යයි. ඒ මගින් ටික දුරක් යව. ඒ මගින් ටික දුරක් ගිය කල අසවල් නම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව. එයින් ටික දුරක් ගිය කල අසවල් නම් නියම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව. එයින් ටික දුරක් ගිය කල ආරාමයන්ගෙන් අලංකාරවූ, උයන්වලින් අලංකාරවූ, භූමියෙන් අලංකාරවූ, පොකුණුවලින් අලංකාරවූ, රජගහනුවර දක්නෙහිය,’ කියායි. නුඹ විසින් මෙසේ අවවාද කරනු ලැබූ, මෙසේ අනුශාසනා කරනු ලැබූ හෙතෙම වැරදි මගක් ගෙණ ආපසු හැරී යන්නේය.

ඉක්බිති රජගහනුවරට යනු කැමැත්තාවූ දෙවෙනි පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුඹ වෙත පැමිණ ‘ස්වාමීනි, මම රජගහනුවරට යන්ට කැමැත්තෙමි. ඒ මට රජගහනුවරට මග දක්වනු මැනවැයි’ කියන්නේය. ඔහුට නුඹ මෙසේ කියන්නෙහිය. ‘පින්වත් පුරුෂය, මෙසේ මේ මග රජගහ නුවරට යයි. ඒ මගින් ටික දුරක් යව. ඒ මගින් ටික දුරක් ගිය කල අසවල් නම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව. එයින් ටික දුරක් ගිය කල අසවල් නම් නියම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව එයින් ටික දුරක් ගිය කල ආරාමයන් ගෙන් අලංකාරවූ, වනයන්ගෙන් අලංකාරවූ, භූමීන්ගෙන් අලංකාරවූ, පොකුණූවලින් අලංකාරවූ, රජගහනුවර දක්නෙහිය’ යනුවෙනි. නුඹ විසින් මෙසේ අවවාද කරනු ලැබූ මෙසේ අනුශාසනා කරණු ලැබූ හෙතෙම සුවසේ රජගහ නුවරට යන්නේය.

“බ්‍රාහ්මණය, රජගහනුවරද ඇත. රජගහනුවරට යන මගද ඇත. යොදවන්නාවූ නුඹ ඇත. එතකුදු වුවත් නුඹ විසින් මෙසේ අවවාද කරනු ලැබූ, මෙසේ අනුශාසනා කරනු ලැබූ එක් පුරුෂයෙක් නොමග ගෙන ආපසු හැරී යන්නේය. එක් පුරුෂයෙක් සුවසේ රජගහනුවරට යන්නේය යන මීට හේතුව කුමක්ද?” “භවත් ගෞතමයන් වහන්ස, කාරණය කුමක්ද? මෙහි මම කුමක් කෙරෙම්ද? භවත් ගෞතමයන් වහන්ස, මම මග කියන්නේ වෙමියි කීය.

“බ්‍රාහ්මණය, එපරිද්දෙන්ම නිවණ ඇත්තේමය. නිවණට යන මග ඇත්තේමය. යොදවන්නාවූ මමද සිටිමි. එතකුදු වුවත් මාගේ ශ්‍රාවකයෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු සමහරු ඒකාන්තයෙන් නිෂ්ටාවවූ නිවණට පැමිණෙත්. සමහරු නොපැමිණෙත්. බ්‍රාහ්මණය, මෙහි මම කුමක් කෙරෙම්ද? බ්‍රාහ්මණය, තථාගතතෙම මග කියන්නේ වේයයි” වදාළේය.

මෙසේ වදාළ කල්හි ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රද්ධාව නැත්තාවූ, ජීවිකාව ප්‍රයොජන කොට ඇත්තාවූ, ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූ, කෛරාටිකවූ, මායා ඇත්තාවූ, කෙටුභ ශාස්ත්‍ර දන්නාවූ, උඩඟුවූ, මානය ඇත්තාවූ, චපලවූ, දොඩමලුවූ, විසුරුණු වචන ඇත්තාවූ, ඉන්ද්‍රියයන්හි නොරක්නාලද දොරටු ඇත්තාවූ, වැළඳීමෙහි පමණ නොදන්නාවූ, නිදි දුරුකිරීමෙහි නොයෙදුනාවූ, ශ්‍රමණ බැව්හි බලාපොරොත්තුවක් නැත්තාවූ ශික්ෂාවෙහි තියුණු ගෞරවයක් නැත්තාවූ, ප්‍රත්‍ය බහුලකොට ඇත්තාවූ, සස්න ලිහිල්කොට ගත්තාවූ, පසුබැස්මෙහි පෙරටුව ගමන් කරන්නාවූ, විවේකයෙහි බහා තබනලද බර ඇත්තාවූ, කම්මැලිවූ, හීන වීර්‍ය්‍ය ඇත්තාවූ, සිහි මුළාවූ, නුවණ නැත්තාවූ, සිත එකඟ නොවූ, කැළඹුණු සිත් ඇත්තාවූ, ප්‍රඥා නැත්තාවූ, කෙලතොලුවූ, යම් පුද්ගලයෝ වෙත්ද, භවත් ගෞතම තෙමේ ඔවුන් සමග වාසය නොකරයි.

“ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කෛරාටික නොවූ, මායා නැත්තාවූ කෙටුභ ශාස්ත්‍ර නොකියන්නාවූ, උඩඟු නොවූ, උස්වූ මාන නළ නැත්තාවූ, චපල නොවූ, දොඩමලු නොවූ, විසුරුණු වචන නැත්තාවූ, ඉන්ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තාවූ, වැළඳීමෙහි පමණ දන්නාවූ, නිදි දුරු කිරීමෙහි යෙදුනාවූ, ශ්‍රමණ බැව්හි බලාපොරොත්තු ඇත්තාවූ, ශික්ෂායෙහි තියුණුගෞරව ඇත්තාවූ, ප්‍රත්‍ය බහුලකොට නැත්තාවූ, සස්න ලිහිල්කොට නොගන්නාවූ, පසුබැස්මෙහි බහා තබනලද බරඇත්තාවූ, විවේකයෙහි පෙරටුව ගමන් කරන්නාවූ, පටන් ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තාවූ, හරනලද ආත්ම ආශාව ඇත්තාවූ, එළඹ සිටි සිහි ඇත්තාවූ, මනා නුවණ ඇත්තාවූ, සමාධියට පැමිණියාවූ, එකඟවූ සිත් ඇත්තාවූ, ප්‍රඥාව ඇත්තාවූ, කෙලතොලු නොවූ යම් ඒ පුද්ගලයෝ වෙත්ද, භවත් ගෞතමතෙමේ ඔවුන් සමග වාසය කරයි.

“භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යම්කිසි සුවඳ මුල් වර්ග වෙත්ද, කලුවැල් ඔවුන්ගෙන් අග්‍රයයි කියනු ලැබේ. යම්කිසි සුවඳ හර වර්ග වෙත්ද, රත්සඳුන් ඔවුන්ගෙන් අග්‍රයයි කියනු ලැබේ. යම්කිසි සුවඳ මල් වර්ග වෙත්ද, දෑසමන් ඔවුන්ගෙන් අග්‍රයයි කියනු ලැබේ. එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේගේ අවවාදය තෙම මෙකල්හි පවත්නා ධර්ම අතුරෙන් අතිශයින් අග්‍රවන්නේය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, මෙපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනෙක ප්‍රකාරයෙන් ධර්ම ප්‍රකාශ කරනලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. ධර්මයද භික්ෂු සංඝයාද, (සරණකොට යමි.) භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණසේක්වායි” කීය.

හත්වෙනිවූ ගණක මොග්ගල්ලාන සූත්‍රය නිමි. (1-7)