මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

2. අනුපද වර්ගය

113. සප්පුරිස සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැන් නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි,” කියා භික්ෂූන්ට කථාකළසේක. “ස්වාමීනියි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, තොපට සත්පුරුෂ ධර්මයද අසත්පුරුෂ ධර්මයද දෙශනාකරන්නෙමි. එය අසව්, මැනවින් මෙනෙහි කරව්, දෙශනා කරන්නෙමි”යි කියායි ‘ස්වාමීනි, එසේයයි’ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

“මහණෙනි, අසත්පුරුෂ ධර්මය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි අසත්පුරුෂයෙක්තෙම උසස් කුලයකින් නික්ම පැවිදිවූයේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. “මම වනාහි උසස් කුලයකින් නික්ම පැවිදිවූයේ වෙමි. මේ අනික් භික්ෂූහු වනාහි උසස් කුලයෙන් නික්ම පැවිදි වූවෝ නොවෙති.” හෙතෙම ඒ උසස් කුලවත්බව නිසා තමා උසස්කොට සලකයි. අනුන් පහත්කොට සලකයි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂතෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘උසස් කුලවත්බව කරණකොටගෙන ලොභ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. දේවෂ ස්වභාවයෝ (කොපය) හෝ අඩුවීමට නොයෙති. මෝහ ස්වභාවයෝ හෝ අඩුවීමට නොයති. ඉදින් උසස් කුලයෙන් නික්ම පැවිදි නොවූ නමුදු හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිළිපැදිය යුතුවේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතුවේය කියායි. හෙතෙම ඒ ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ උසස් කුලවත්බව කරණකොට ගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි මහණෙනි, මෙය සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ මහා කුලයකින් පැවිදිවූයේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. මම වනාහි මහා කුලයකින් නික්ම පැවිදි වූයේ වෙමි. මේ අනිත් භික්ෂුහු වනාහි මහා කුලයෙන් නික්ම පැවිදි වූවෝ නො වෙත්ය කියායි. හෙතෙම ඒ මහත්වූ කුලවත් බව නිසා තමා උසස් කොට සලකයි. මහණෙනි, මෙය ද අසත්පුරුෂ ධර්මයකි. මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. මහත්වූ කුලවත් බව කරණකොට ගෙණ ලොභ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. ද්වෙෂස්වභාවයෝ හෝ අඩුවීමට නොයෙති. මොහ ස්වභාවයෝ හෝ අඩුවීමට නොයෙති. ඉදින් මහත් කුලයෙන් නික්ම පැවිදි නොවූ නමුදු හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කළයුතු වේය කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ මහත් කුලවත් බව කරණකොට ගෙණ තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. මහණෙනිත මෙයද සත්පුරුෂ ධර්මයකි. මහත් වස්තුව ඇති කුලයකින් නික්ම පැවිදි වූයේ වේ ද, හෙතෙම මෙසේ කල්පනා කරයි. මම වනාහි මහත් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදි වූයේ වෙමි. මේ අනිත් භික්ෂූහු වනාහි මහත් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදි වූවෝ නොවෙත්ය කියායි. හෙතෙම ඒ උසස් වස්තුව ඇති කුලවත් බව නිසා තමා උසස් කොට සලකයි. අනුන් පහත් කොට සලකයි. මහණෙනි, උසස් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදි වූයේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි උසස් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදි වූයේ වෙමි. මේ අනික් භික්ෂූහු වනාහි උසස් වස්තුව ඇති කුලයෙන් නික්ම පැවිදි වූවෝ නොවෙත්ය’ කියායි. හෙතෙම ඒ උසස් වස්තුව ඇති කුලවත් බව නිසා තමා උසස් කොට සලකයි. අනුන් පහත් කොට සලකයි. මහණෙනි, මෙය ද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. උසස් වස්තුව ඇති බැවින් ලොභ ස්වභාවයෝ අඩුවීමට නොයෙත් ද්වෙෂ ස්වභාවයෝ අඩුනොවීමට නොයෙත්. මොහ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. ඉදින් උසස් වස්තුව ඇති කුලයකින් නික්ම පැවිදි නොවූයේ වේද, හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ සුදුසු පිළිවෙතට පිළිපන්නේ ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදිය යුතු වේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ උසස් වස්තුව ඇති බැවින් තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි’ මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ ප්‍රසිද්ධ වූයේ පිරිවර ඇත්තේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි ප්‍රසිද්ධ වූයෙම් පිරිවර ඇත්තේ වෙමි. මේ අනික් භික්ෂූහු ප්‍රසිද්ධ නොවූවෝය. යස පිරිවර ඇත්තෝද නො වෙති,යි’ කියායි. හෙතෙම ඒ ප්‍රසිද්ධ බව කරණකොට ගෙන තමා උසස්කොට සිතයි. අනුන් පහත්කොට සලකයි. මහණෙනි, මෙයද අසත් පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘ප්‍රසිද්ධ බව කරණකොටගෙන ලොභ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. ද්වෙෂ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. මොහ ස්වභාවයෝ අඩුවීමට නොයෙති. ඉදින් අප්‍රකටවූ පිරිවර නැත්තේ නමුදු හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ ප්‍රසිද්ධ බැවින් තමා උසස්කොට නොසිතයි, අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලානප්‍රත්‍යය යන සිව්පසය ලබන්නෙක් වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලානප්‍රත්‍යය යන සිව්පසය ලබන්නෙම් වෙමි. අනික් භික්ෂූහු එසේ චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලානප්‍රත්‍යය නොලබත්ය’ කියායි. හෙතෙම ඒ ලාභය කරණ කොටගෙන තමා උසස්කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘ලාභය කරණකොටගෙන ලොභ ස්වභාවයෝ අඩුවීමට නොයෙත්. ද්වෙෂ ස්වභාවයෝ අඩුවීමට නොයෙත්. මොහ ස්වභාවයෝ අඩුවීමට නොයෙත්. ඉදින් චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලානප්‍රත්‍යයන් නොලබන්නේ නමුදු, හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ සුදුසු පිළිවෙතට පිළිපන්නේ ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හේ භික්ෂූන් අතුරෙන් පිදිය යුතුවේ’ හේ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතුවේ. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ ලාභය කරණකොටගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි බහුශ්‍රැත වෙමි. මේ අන්‍ය භික්ෂූහු බහුශ්‍රැතයෝ නොවෙතියි’ කියායි. හෙතෙම ඒ බහුශ්‍රැත බැවින් තමා උසස්කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. බහුශ්‍රැත බව කරණකොටගෙන ලොභ ස්වභාවයෝ හෝ පිරිහීමට නොයෙති. ද්වෙෂ ස්වභාවයෝ හෝ පිරිහීමට නොයෙති. මොහ ස්වභාවයෝ පිරිහීමට නොයෙති. ඉදින් බහුශ්‍රැත නොවූයේ නමුදු, හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදිය යුතු වේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතුවේ’ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ බහුශ්‍රැත බව කරණකොටගෙන තමා උසස්කොට නොසලකයි. අනුන් පහත්කොට නොසලකයි. අනුන් පහත්කොට නොසිතයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ විනයධරයෙක් වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි විනයධරයෙක් වෙමි. මේ අන්‍ය භික්ෂූහු විනයධරයෝ නොවෙති’ කියාය. හෙතෙම ඒ විනයධර බැවින් තමා උසස් කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි සත්පුරුෂතෙමේ වනාහි මෙසේකල්පනා කරයි. ‘විනයධර බව කරණකොට ගෙන ලොභ ස්වභාවයෝ හෝ පිරිහීමට නොයෙති. ද්වෙෂ ස්වභාවයෝ පිරිහීමටනොයෙති. මොහ ස්වභාවයෝ හෝ පිරිහීමට නොයෙකි. ඉදින් විනය ධරයෙක් නොවූයේ නමුදු හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදිය යුතු වේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වෙයි’ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ විනයධර බව කරණකොට ගෙන තමා උසස්කොට නොසලකයි. අනුන් පහත්කොට නොසිතයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ ධර්ම කථිකයෙක්වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි ධර්ම කථිකයෙක් වෙමි. අනික් භික්ෂූහු ධර්ම කථිකයෝ නොවෙති’යි කියායි. හෙතෙම ඒ ධර්ම කථික බව කරණ කොට

ගෙන තමා උසස්කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයෙකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘ධර්ම කථික බව කරණකොටගෙන ලොභ ධර්මයෝ තුනී නොවෙති. ද්වෙෂ ධර්මයෝ තුනී නොවෙති. මොහ ධර්මයෝ තුනී නොවෙති. ඉදින් ධර්ම කථිකයෙක් නොවන නමුදු හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදිය යුතු වේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ’ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ ධර්ම කථික බව කරණ කොටගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ ආරණ්‍යකයෙක් (වනයෙහි වසන්නෙක්) වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි මම වනාහි ආරණ්‍යකයෙක් වෙමි. මේ අනික් භික්ෂූහු ආරණ්‍යකයෝ නොවෙතියි’ කියායි. හෙතෙම මේ ආරණ්‍යක බව කරණ කොටගෙන තමා උසස් කොට සිතයි. අනුන් හෙළා දකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘ආරණ්‍යයක බව කරණකොට ගෙන ලොභ ධර්මයෝ අඩු නොවෙති. ද්වෙෂධර්මයෝ අඩු නොවෙති. මොහ ධර්මයෝ අඩු නොවෙති. ඉදින් ආරණ්‍යයකයෙක් නොවන නමුදු හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදිය යුතුවේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තර කොට ඒ ආරණ්‍ය බව කරණකොට ගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් පහත් කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

‘තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ පාංශුකූලිකයෙක් (පාංශුකූල සිවුරු දරන්නෙක්) වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි පාංශුකූලිකයෙක් වෙමි. මේ අනික් භික්ෂූහු පාංශුකූලිකයෝ නොවෙති’ කියායි. හෙතෙම ඒ පාංශුකූලික බැවින් තමා උසස් කොට සලකයි. අනුන් හෙළා දකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘පංශුකූලික බව කරණකොටගෙන ලෝභ ධර්මයෝ හෝ ක්ෂයවීමට නොයෙති. ද්වෙෂ ධර්මයෝ හෝ ක්ෂය වීමට නොයෙති. මොහ ධර්මයෝ හෝ ක්ෂයවීමට නොයෙති. ඉදින් පාංශුකූලිකයෙකු නොවන නමුදු හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදිය යුතුවේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කළ යුතුවේ’ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ පාංශුකූලිකත්වය කරණ කොටගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂතෙම පිණ්ඩපාතිකයෙක් (පිණ්ඩපාතිකාංගය සමාදන් වූවෙක්) වේද, හෙතෙම මෙසේ සිතයි ‘මේ වනාහි පිණ්ඩපාතිකයෙක් වෙමි. මේ අනික් භික්ෂූහු පිණ්ඩපාතිකයෝ නොවෙත්ය’ කියායි. හෙතෙම ඒ පිණ්ඩපාතික බව කරණකොටගෙන තමා උසස්කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘පිණ්ඩපාතික බව කරණකොටගෙන ලෝභ ධර්මයෝ හෝ ක්ෂයවීමට නොයෙති. ද්වෙෂ ධර්මයෝ හෝ ක්ෂය බවට නොපැමිණෙති. මෝහ ධර්මයෝ හෝ ක්ෂයබවට නොපැමිණෙති. ඉදින් පිණ්ඩපාතිකයෙක් නොවන නමුදු හෙතෙමේ ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදිය යුතුවේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ’ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ පිණ්ඩපාතික බව කරණ කොටගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මේ සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ (වෘක්ෂ මූලිකාංගය සමාදන්වූයේ,) රුක්ඛ මූලිකයෙක්වේද, හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි වෘක්ෂමූලිකයෙක් වෙමි. මේ අනික් භික්ෂූහු වෘක්ෂමූලිකාංගය සමාදන්වූවෝ නොවෙත්ය’ කියායි. හෙතෙම ඒ වෘක්ෂමූලිකාංගය කරණකොටගෙන තමා උසස්කොට සිතයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘වෘක්ෂමූලිකාංගය සමාදන්වූ බැවින් ලෝභ ධර්මයෝ හෝ ක්ෂයබවට නොයෙති. ද්වෙෂ ධර්මයෝ හෝ ක්ෂයබවට නොයෙති. මොහ ධර්මයෝ හෝ ක්ෂයබවට නොයෙති. ඉදින් වනාහි වෘක්ෂමූලිකයෙක් නොවූයේ නමුදු හෙතෙමේ ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදියයුතු වේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ’ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ වෘක්ෂමූලික බව කරණකොට ගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂතෙමේ සොසානිකාංගය ඇත්තෙක් වේද, හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි සොසානිකාංගය ඇත්තෙක් වෙමි. මේ අනිත් භික්ෂූහු සොසානිකාංගය ඇත්තෝ නොවෙත්’ කියායි. හෙතෙම ඒ සොසානිකාංගය කරණකොට ගෙණ, තමා උසස්කොට සිතයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘සොසානිකාංගය ඇත්තේවී නමුත් ලොභධර්මයෝ හෝ ක්ෂයබවට නොයෙති. ද්වෙෂ ධර්මයෝ හෝ ක්ෂයබවට නොයෙති. මෝහධර්මයෝ හෝ ක්ෂයබවට නොයෙති. ඉදින් සොසානිකාංගය නැත්තේවී නමුදු හෙතෙමේ ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදියයුතුවේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කළ යුතුවේ’ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ සොසානිකාංගය කරණකොටගෙණ තමා උසස්කොට නොසිතයි. අනුන් පහත් කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ අබ්භොකාසිකාංග ඇත්තෙක් වේද, හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි අබ්භොකාසිකාංගය සමාදන් වූයෙක් වෙමි. මේ අනිත් භික්ෂූහු අබ්භොකාසිකාංගය සමාදන් නොවූවෝය’ කියායි. හෙතෙම ඒ අබ්භොකාසිකාංගය කරණකොට ගෙණ, තමා උසස්කොට සිතයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘අබ්භොකාසිකාංගය සමාදන් වූයේ වී නමුත් ලෝභ ධර්මයෝ හෝ පිරිහීමට නොයෙති. ද්වෙෂධර්මයෝ හෝ පිරිහීමට නොයෙති. මෝහ ධර්මයෝ හෝ පිරිහීමට නොයෙති. ඉදින් අබ්භොකාසිකාංගය සමාදන් නොවූයේ වී නමුදු හෙතෙමේ ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදිය යුතුවේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කළයුතු වේය යනුවෙනි. හෙතෙම ඒ ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ඒ අබ්භොකාසිකාංගය කරණකොටගෙණ, තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ නෙසජ්ජිකාංගයෙන් යුක්ත වූයේ වෙයිද, හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි නෙසජ්ජිකාංගයෙන් යුක්ත වූයේ වෙමි. මේ අන්‍ය භික්ෂු නෙසජ්ජිකාංගයෙන් යුක්ත වූවෝ නොවෙත්’ කියායි. හෙතෙම නෙසජ්ජිකාංගය කරණකොට ගෙණ තමා උසස් කොට සිතයි. අනුන් පහත් කොට සලකයි. මහණෙනි මෙයද අසත්පුරුෂ ධර්මයෙකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘නෙසජ්ජිකාංගයෙන් යුක්ත වූයේ වී නමුත් ලෝභ ධර්මයෝ හෝ ක්ෂයවීමට නොපැමිණෙත්, ද්වෙෂ ධර්මයෝ හෝ නැතිවීමට නොපැමිණෙත්, මොහ ධර්මයෝ හෝ නැතිවීමට නොපැමිණෙත්. ඉදින් නෙසජ්ජිකාංගයෙන් යුක්ත නොවූයේ නමුත් හෙතෙම ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතෙහි පිළිපදින්නේ, ධර්මයට අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදිය යුත්තෙක් වෙයි, ප්‍රශංසා කළ යුත්තෙක් වෙයි’ කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තර කොට ඒ නෙසජ්ජිකාංගය කරණ කොට ගෙන තමා උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ යථාසන්ථතිකාංග ඇත්තෙක් වෙයිද, හෙතෙම මෙසේ සිතයි,’ මම වනාහි යථාසන්ථතිකාංගයෙන් යුක්ත වූයේ වෙමි. මේ අනික් භික්ෂූහු යථාසන්ථිතිකාංගයෙන් යුක්ත වූවෝ නොවෙති කියායි. හෙතෙම ඒ යථාසන්ථිතිකාංගය කරණ කොට ගෙන තමා උසස් කොට සිතයි. අනුන් පහත් කොට සලකයි. මෙයද අසත් පුරුෂ ධර්මයෙකි, මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කල්පනා කරයි. ‘යථාසන්ථිතිකාංගයෙන් යුක්ත වූයේ වී නමුත් ලෝභ ධර්මයෝ නැතිවීමට නොපැමිණෙත්. ද්වෙෂ ධර්මයෝ නැතිවීමට නොපැමිණෙත්. මෝහ ධර්මයෝ නැතිවීමට නොපැමිණෙත්. ඉදින් යථාසන්ථිතිකාංගයෙන් යුක්ත නොවූයේ වී නමුත් හෙතෙමේ ධර්මය අනුව පිළිපදින්නේ සුදුසු පිළිවෙතෙහි පිළිපදින්නේ ධර්මයට අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් පිදිය යුත්තෙක් වෙයි,’ ප්‍රශංසා කළ යුත්තෙක් වෙයි, කියායි. හෙතෙම ඒ ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට ගෙන ඒ යථාසන්ථිතිකාංගය කරණ කොට ගෙන තමා උසස් කොට නොසිතයි, අනුන් පහත් කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ එකාසනිකාංග ඇත්තෙක්වේද, හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි එකාසනිකාංග ඇත්තේ වෙමි. මේ අනික් භික්ෂූහු එකාසනිකාංග ඇත්තෝ නොවෙත්ය’ කියායි. හෙතෙම ඒ එකාසනිකාංග ඇති බැවින් තමා උසස් කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ සිතයි. ‘එකාසනිකාංගයෙන් යුක්ත වූයේ වී නමුත් ලෝහධර්මයෝ නැතිවීමට නොයෙති. ද්වෙෂ ධර්මයෝ නැති වීමට නොයෙති. මොහධර්මයෝ නැති වීමට නොයෙති. එකාසනිකාංග ඇත්තේ නොවූයේ වී නමුදු හෙතෙමේ ධර්මය අනුව පිළිපදින්නේ, සුදුසු පිළිවෙතට පිළිපන්නේ, ධර්මය අනුව හැසිරෙන්නේ වේද, හෙතෙම ඒ භික්ෂුන් අතුරෙන් පිදිය යුතුවේ. හෙතෙම ඒ භික්ෂූන් අතුරෙන් ප්‍රශංසා කටයුතු වේ, කියායි. හෙතෙම ප්‍රතිපත්තියම අභ්‍යන්තරකොට එම එකාසනික බව කරණ කොට ගෙණ තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂතෙම කාමයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිසැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි ප්‍රථමධ්‍යාන සමාපත්තිය ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂුහු ප්‍රථමධ්‍යාන සමාපත්ති ලාභීහු නොවෙත්ය’ කියායි. හෙතෙම ඒ ප්‍රථම ධ්‍යාන සමාපත්තිය කරණකොටගෙන තමා උසස්කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ සිතයි. ‘මහණෙනි, ප්‍රථමධ්‍යාන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිත්ද, එය එයින් අන් අයුරකින්ම වේ.’ හෙතෙම තෘෂ්ණා රහිත බවම කරුණු කොට ඒ ප්‍රථමධ්‍යාන සමාපත්තියෙන් තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ විතර්ක විචාරයන්ගේ සංසිඳුවීමෙන් සිත පහදවන්නාවූ සිත එකඟ කරන්නාවූ විතර්ක රහිතවූ විචාර රහිතවූ ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි ද්විතීය ධ්‍යාන ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂූහු ද්විතීය ධ්‍යාන ලාභීහු නොවෙත්” කියායි. හෙතෙම මේ ද්විතීය ධ්‍යාන සමාපත්තිය කරණ කොට ගෙන තමා උසස් කොට සලකයි. අනුන් පහත් කොට සලකයි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ සිතයි, ‘මහණෙනි, ද්විතීය ධ්‍යාන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනලදී, යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය එයින් අන් අයුරකින්මවේ.’ හෙතෙම ඒ තෘෂ්ණා රහිත බව කරුණු කොට තමා උසස් කොට නො සිතයි. අනුන් පහත් කොට නොසිතයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත් පුරුෂ තෙමේ ප්‍රීතියද දුරු කිරීමෙන් උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරයි. සිහි නුවණ දෙකින් යුක්තව කයින්ද සැපය විඳියි. යම් ධ්‍යානයක් උපේක්ෂාවෙන් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයෙන් සැපයෙන් යුක්තව වාසය කෙරේයයි, ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි තෘතීය ධ්‍යාන ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂූහු තෘතීය ධ්‍යාන ලාභීහු නොවෙත්’ කියායි. හෙතෙම ඒ තෘතීය ධ්‍යාන සමාපත්තිය කරණ කොට ගෙන තමා උසස් කොට සලකයි. අනුන් පහත් කොට සලකයි. මහණෙනි, මෙයද අසත් පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ සිතයි. ‘මහණෙනි, මේ තෘතීය ධ්‍යාන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිතවන බව භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිත්ද, එය එයින් අන්අයුරකින්ම වේ.’ හෙතෙම තෘෂ්ණා රහිත බව කරුණු කොට ඒ තෘතීය ධ්‍යාන සමාපත්තියෙන් තමා උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ සැපය දුරු කිරීමෙන්ද දුක්ඛය දුරුකිරීමෙන්ද පළමුවම සොම්නස් දොම්නස් දෙක දුරුකිරීමෙන්ද, සැපයද, නැති දුකද නැති උපෙක්ෂාවෙන් හටගත් පිරිසිදු සිහිය ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි චතුර්ථ ධ්‍යාන ලාභියෙක් වෙමි. මේ අන්‍ය භික්ෂූහු චතුර්ථ ධ්‍යාන ලාභීහු නොවෙත්, කියායි.’ චතුර්ථධ්‍යාන සමාපත්තිය කරණ කොටගෙන තමා උසස්කොට සලකයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

‘මහණෙනි, සත්පුරුෂතෙමේ වනාහි මෙසේ සිතයි. ‘චතුර්ථධ්‍යාන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් හඟිද්ද එය අනික් පරිද්දකින්ම වේය” යනුවෙනි. හෙතෙම තෘෂ්ණා රහිත බවම කරුණුකොට ඒ චතුර්ථධ්‍යාන සමාපත්තිය කරණ කොට ගෙන තමන් උසස්කොට නොසලකයි අනුන් පහත්කොට නොසිතයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂතෙමේ සියලු ආකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, ගැටීම් සංඥාවන්ගේ දුරුකිරීමෙන්, නොයෙක්සංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි භාවනාකොට ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. හෙතෙම මෙසේ සිතයි, ‘මම වනාහි ආකාසානඤ්චායතන සමාධි ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂූහු ආකාසානඤ්චායතන සමාපත්තිලාභීහූ නොවෙත්ය’ කියායි. හෙතෙම ඒ ආකාසානඤ්චායතන සමාපත්තිය කරණකොට තමන් උසස්කොට සිතයි. අනුන් හෙළා දකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂතෙමේ වනාහි මෙසේ සිතයි. ‘ආකාසානඤ්චායතන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිතබව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය එයින් අන් අයුරකින්ම

වෙයි’ කියායි. හෙතෙම තෘෂ්ණා රහිත බව කරුණුකොට එම ආකාසානඤ්චායතන සමාපත්තිය කරණ කොටගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් හෙළා නොදකියි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂතෙමේ සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ කල්පනා කරයි. ‘මම වනාහි විඤ්ඤාණඤ්චායතන සමාපත්ති ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂුහු විඤ්ඤාණඤ්චායතන සමාපත්ති ලාභීහු නොවෙති,’ කියායි. හෙතෙම ඒ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය කරණකොටගෙන තමන් උසස්කොට සිතයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂතෙමේ වනාහි මෙසේ සිතයි. ‘විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරණ ලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය එයින් අන් අයුරකින්ම වේය’ කියායි. හෙතෙම තෘෂ්ණා රහිත බවම කරුණු කොට එම විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය කරණකොට ගෙන තමා උසස්කොට නොසිතයි, අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂතෙමේ සියළු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි භාවනා කොට ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂූහු ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති ලාභීහු නොවෙති’ කියායි. හෙතෙම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය කරණකොටගෙන තමන් උසස් කොට සිතයි. අනුන් හෙළාදකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂතෙමේ වනාහි මෙසේ සිතයි. ‘ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය අන් අයුරකින්ම වෙයි’ කියායි. හෙතෙම තෘෂ්ණා රහිත බව කරුණුකොට එම ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය කරණකොටගෙන තමා උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, අසත්පුරුෂතෙමේ සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වෙසේ. හෙතෙම මෙසේ සිතයි. ‘මම වනාහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති ලාභියෙක් වෙමි. මේ අනික් භික්ෂූහු නෙවසඤ්ඤානා සඤ්ඤයතන සමාපත්තිලාභීහු නොවෙති’ කියායි. හෙතෙම ඒ නෙවසඤ්ඤානාසඤ්ඤයතන සමාපත්තිය කරණකොටගෙන තමන් උසස්කොට සිතයි. අනුන් හෙළා දකියි. මහණෙනි, මෙයද අසත්පුරුෂ ධර්මයකි.

“මහණෙනි, සත්පුරුෂතෙමේ වනාහි මෙසේ සිතයි. ‘නෙවසඤ්ඤානාසඤ්ඤා සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. යම් යම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හඟිද්ද, එය එයින් අන් අයුරකින්ම වෙයි’ කියායි. හෙතෙම තෘෂ්ණා රහිතබව කරුණුකොට එම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය කරණකොටගෙන තමා උසස්කොට නොසිතයි, අනුන් පහත්කොට නොසලකයි. මහණෙනි, මෙයද සත්පුරුෂ ධර්මයකි.

“තවද මහණෙනි, සත්පුරුෂතෙමේ සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයික නිරොධයට පැමිණ වෙසෙයි. නුවණින් දැක ආශ්‍රවයෝ ක්ෂය බවට පමුණුවත්. මහණෙනි, මේ මහණතෙමේද කිසිවක් තණ්හා දිට්ඨි මාන වශයෙන් නොසිතයි. කිසි තැනෙක්හි තණ්හා දිට්ඨි මාන වශයෙන් නොසිතයි. කිසිවක් කරණ කොටගෙන තණ්හා දිට්ඨි මාන වශයෙන් නොසිතයි,” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටුවූහ.

තුන්වෙනි සප්පුරිස සූත්‍රයයි. (2-3)