මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

2. අනුපද වර්ගය

114. සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬුසිටුහු විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්ෂූන්ට කථා කළසේක. ස්වාමීනි,’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, මම තොපට සේවනය කළ යුතුවූද, සේවනය නොකළ යුතුවූද, ධර්ම ක්‍රමයක් දෙශනා කරන්නෙමි. එය මැනවින් අසව්, මැනවින් මෙනෙහි කරව්. දෙශනා කරන්නෙමි”යි කියායි. “එසේය ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, මම කායික පැවැත්මද සේවනය කළ යුත්තය. සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ කායික පැවැත්ම සේවනය කළයුත්ත අනිකකි. සේවනය නොකළ යුත්ත අනිකකියි කියමි. මහණෙනි, මම වචනයේ පැවැත්මද සේවනය කළයුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ වචනයේ පැවැත්මද සේවනය කළයුත්ත අනිකකි, සේවනය නොකළ යුත්ත අනිකකියි කියමි මහණෙනි, මම සිතේ පැවැත්මද සේවනය කළයුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි ඒ සිතේ පැවැත්මද සේවනය කළයුත්ත අනිකකි, සේවනය නොකළ යුත්ත අනිකකියි කියමි. මහණෙනි, මම සිතද සේවනය කළ යුත්තය, සේවනය, නොකල යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ සිතද සේවනය කළ යුත්ත අනිකකි, සේවනය නොකළ යුත්ත අනිකකියි, කියමි. මහණෙනි, මම සංඥාවද සේවනය කළ යුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ සංඥාවද, සේවනය කළයුත්ත අනිකකි, සේවනය නොකළ යුත්ත අනිකකියි කියමි. මහණෙනි, මම දෘෂ්ටියද සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ දෘෂ්ටියද සේවනය කළ යුත්තය අනිකෙක. සේවනය නොකළ යුත්ත අනිකෙකියි කියමි.

“මහණෙනි, මම ආත්මභාවය ලැබීමද සේවනය කළ යුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ ආත්මභාවය ලැබීමද සේවනය කළයුත්ත අනිකෙක සේවනය නොකළ යුත්ත අනිකෙකැයි කියමි.

මෙසේ දෙශනා කළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙමේ මෙය ප්‍රකාශ කළේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් දෙශනා කරන ලද විස්තර වශයෙන් අර්ථ නොබෙදන ලද මේ ධර්මයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දැනගතිමි”යි කියායි.

“මහණෙනි, මම කාය සමාචාරයද සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ කාය සමාචාරයද සේවනය කළයුත්ත අනිකකි. සේවනය නොකළ යුත්ත අනිකකියි කියමි. මෙසේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී.

මෙය කුමක් සඳහා දෙශනා කරණ ලදද?

“ස්වාමීනි, යම් බඳුවූ කායසමාචාරයක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ කායසමාචාරය සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම්බඳුවූ කායසමාචාරයක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ කායසමාචාරය සේවනය කළ යුතුයි.

“ස්වාමීනි, කෙබඳුවූ කායසමාචාරයක් සේවනය කරන්නා හට අකුශල ධර්මයෝද වැඩෙත්ද, කුශලධර්මයෝ පිරිහෙත්ද, ස්වාමීනි, ඒ ලෙව්හි ඇතැමෙක් රළුවූයේ ලේ තැවරුණු අත් ඇත්තේ පහර දීමෙහි හා නැසීමෙහි යෙදුනේ, ප්‍රාණීන් කෙරෙහි දයා රහිතවූයේ, ප්‍රාණඝාත කරන්නෙක් වේද, ගමෙහි වූ හෝ අරණ්‍යයෙහිවූ හෝ යම් ඒ අන්සතු ධනයක් වේනම් නොදුන්නාවූ එය සොර සිතින් ගන්නේ නුදුන් දෙය ගැනීමෙහි යෙදුනෙක්වේද, යම් ඒ ස්ත්‍රියක් තොමෝ මව විසින් රක්නා ලද්දීද, පියා විසින් රක්නා ලද්දීද, සොහොයුරන් විසින් රක්නා ලද්දීද, සොහොයුරියන් විසින් රක්නා ලද්දීද, ඥාතීන් විසින් රක්නා ලද්දීද, ස්වාමියා විසින් සහිතවූවාද, වෙත නොයායුතුයයි රජුන් විසින් දඬුවම් තබන ලද්දීද, යටත් පිරිසෙයින් මල්මාලාවක් බහා වෙන්කරන ලද්දීද, යන එබඳුවූ ස්ත්‍රින් කෙරෙහි (කාම සෙවන වශයෙන්) හැසිරීමට පැමිණියාහු කාම මිථ්‍යාචාරයෙහි යෙදෙත්ද, ස්වාමීනි, එබඳුවූ කායික පැවැත්ම සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්.

“ස්වාමීනි, කෙබඳුවූ කායික පැවැත්මක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද? ස්වාමීනි, මෙලෙව්හි ඇතැමෙක් තෙම ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වේද, බහා තබනලද දඬු ඇත්තේ, බහා තබනලද ආයුධ ඇත්තේ, ලජ්ජාඇත්තේ, දයාවෙන් යුක්තවූයේ සියළු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරේද, නොදුන් දෙය ගැණීම හැර නොදුන් දෙය ගැණීමෙන් වෙන්වූයේ වේද, ගමෙහි හෝ අරණ්‍යයෙහි හෝ යම් අන්සතු වස්තුවක් උපකරණයක් වේද, එය සොරසිතින් නොගන්නේවේද, යම් ඒ ස්ත්‍රියක් තොමෝ මව විසින් රක්නා ලද්දීද, පියා විසින් රක්නා ලද්දීද, සොහොයුරන් විසින් රක්නා ලද්දීද, සොහොයුරියන් විසින් රක්නා ලද්දීද, ඥාතීන් විසින් රක්නා ලද්දීද, වෙත නොයායුතුයයි රජුන් විසින් දඬුවම් තබන ලද්දීද, යටත් පිරිසෙයින් මල්මාලාවක් බහා වෙන්කරන ලද්දීද, යන මෙබඳුවූ ස්ත්‍රීන් කෙරෙහි (කාම සේවනය වශයෙන්) හැසිරීමට නොපැමිණියාහු කාම මිථ්‍යාචාරයෙහි නොයෙත්ද, ස්වාමීනි, මෙබඳුවූ කායික පැවැත්ම සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්.

“මහණෙනි, මම කායික පැවැත්ම සේවනය කළ යුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයෙන් කියමි. ඒ කායික පැවැත්මද සේවනය කළයුත්ත අනිකකි, සේවනය නොකළ යුත්ත අනිකකි”යි භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් වදාරණ ලදනම් එය මේ සඳහා දෙශනා කරන ලදී

“මහණෙනි, මෙම වචනයේ පැවැත්මද සේවනය කළයුත්තය. සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ වචනයේ පැවැත්මද සේවනය කළයුත්ත අනිකකි. සේවනය නොකළ යුත්ත අනිකකයි භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් වදාරණ ලදනම් එය කුමක් සඳහා දෙශනාකරන ලදද?”

“ස්වාමීනි, යම් ආකාර වචනයේ පැවැත්මක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ වචනයේ පැවැත්ම සේවනය නොකළ යුතුය. ස්වාමීනි යම් ආකාර වචනයේ පැවැත්මක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ වචනයේ පැවැත්ම සේවනය කළයුතුයි.

“ස්වාමීනි, කෙබඳුවූ වචනයේ පැවැත්මක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද? ස්වාමීනි, මෙහි ඇතැමෙක් සභාවක සිටියේ හෝ පිරිසක සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ සමූහ මැද සිටියේ හෝ රජකුලමැද සිටියේ හෝ ඉදිරියට පැමිණවූයේ, ‘පින්වත් පුරුෂය මෙහි එව. යමක් දන්නෙහිනම් එය කියවයි, සාක්ෂ්‍ය අසන ලද්දාවූ හෙතෙම නොදන්නා දෙය හෝ දනිමියි කියමි. දන්නා දෙය හෝ ‘නොදනිමි’යි කියයි. නොදක්නා දෙය හෝ ‘දක්මි’යි කියයි. දක්නා දෙය හෝ ‘නොදක්මි’යි කියයි. මෙසේ තමා නිසා හෝ අනුන් නිසා හෝ කිසියම් සුළු ආමිෂයක් (අල්ලසක්) නිසා හෝ දැන දැන බොරු කියන්නේ වේද, එතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස මෙහි කියන්නේද, මෙතන්හි අසා ඔවුන්ගේ භේදය පිණිස එහි කියන්නේද, මෙසේ සමගිවූවන් භේද කරන්නේ, භේදවූවන්ගේ භේදයට අනුබල දෙන්නේ, භේදයෙහි ඇළුනේ, භේදවූ අය දැක සතුටුවන්නේ, භේද කරන වචන කියන්නේ මෙසේ කේලාම් බස් ඇත්තේ වේද,

“යම් ඒ වචනයක් අනුන්ට ගැරහීම් වශයෙන් රළුද කර්කශද අනුන්ගේ සිතට කටුකද, අනුන් සිත් කටු අත්තක මෙන් ඇමිණෙන සුළුද කෝපයට ආසන්නද, සමාධියට හේතු නොවේද, එබඳු වචන කියන්නේ ඵරුෂ වචන ඇත්තේවේද, නොකල්හි කථා කරන්නේ, බොරු කියන්නේ, අවැඩ බස් කියන්නේ, අධර්ම වචන කියන්නේ, අවිනය වචන කියන්නේ සිත තබාගැනීමට නුසුදුසු නොකල්හි ආයෝග්‍යලෙස සීමාවක් නැතිව අවැඩට හේතුවූ වචන කියන්නේ සම්ඵප්‍රලාප බස් ඇත්තේවේද,

“ස්වාමීනි, මෙබඳුවූ වචනයේ පැවැත්ම සේවනය කරන්නහුට අකුශල ධර්මයෝම වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්. ස්වාමීනි, කෙබඳුවූ වචනයේ පැවැත්මක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද?

“ස්වාමීනි, මෙලෙව්හි ඇතැමෙක්, තෙම මුසාවාදය හැර මුසාවාදයෙන් වෙන්වූයේ වේද, සභාවක සිටියේ හෝ පිරිසක සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ සමූහ මැද සිටියේ හෝ රජකු මැද සිටියේ හෝ ඉදිරියට පැමිණවූයේ ‘පින්වත් පුරුෂය මෙහි එව, යමක් දන්නෙහි නම් එය කියව’යි සාක්ෂ්‍ය විචාරණ ලද්දාවූ හෙතෙම නොදන්නා දෙය හෝ නොදනිමි’යි කියයිද දන්නා දෙය හෝ දනිමි’යි කියයිද නොදක්නා දෙය හෝ ‘නොදක්මි’යි කියයිද දක්නා දෙය හෝ ‘දක්මි’යි කියයිද මෙසේ තමා නිසා හෝ අනුන් නිසා හෝ කිසියම් සුළු ආමිෂයක් (අල්ලසක්) නිසා හෝ දැන දැන බොරු නොකියන්නේ වේද, කේලාම්කීම හැර කේලමෙන් වෙන්වූයේ එතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස මෙහි නොකියන්නේද, මෙතනින් අසා ඔවුන්ගේ භේදය පිණිස එහි නොකියන්නේද, මෙසේ වෙන්වූවන් සමගි කරන්නේ, සමගි වූවන්ගේ සමගියට අනුබල දෙන්නේ සමගියෙහි ඇළුනේ, සමගිවූ අය දැක සතුටුවන්නේ සමගිය ඇතිකරන වචන කියන්නේ වේද, ඵරුෂ වචනය හැර ඵරුෂ වචන කීමෙන් වෙන්වූයේවේ, යම් ඒ වචනයක් ප්‍රියවේද, කණට සුව එලවයිද, ප්‍රෙමය ඇති කරයිද, සිත සතුටු කරයිද, ශිෂ්ට වචන කියන්නේ වේද, බොහෝ දෙනාගේ සිත් ඇදගන්නා වචන කියන්නේ බොහෝ දෙනාගේ මනාපය වඩන වචන කියන්නේ වේද,

“සම්ඵප්‍රලාපය හැර සම්ඵප්‍රලාප කීමෙන් වෙන්වූයේ වේ. කාලෝචිත (වෙලාවට සුදුසු) වචන කියන්නේ සිදුවූවක්ම කියන්නේ, වැඩ පිණිස පවත්නා වචනයක්ම කියන්නේ, දැහැමි වචනයක්ම කියන්නේ, විනය වචනයක්ම කියන්නේ, නිධානයක් මෙන් තැන්පත් කොට තබාගත යුතු සුදුසු කල්හි යෝග්‍යලෙස සීමාවක් ඇතිව වැඩ පිණිසවූ වචන කියන්නේවේද, මහණෙනි, මෙබඳුවූ වචනයේ පැවැත්ම සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්.

“මහණෙනි, මම වචීසමාචාරය සේවනය කළයුත්තය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ වචනයේ පැවැත්මද සේවනය කළයුත්ත අනිකකි. සේවනය නොකළ යුත්ත අනිකකියි කියමියි මෙසේ ඒ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලද නම් එය මේ සඳහා දෙශනා කරණ ලදී.

“මහණෙනි, මම සිතේ පැවැත්මද සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ සිතේ පැවැත්මද සේවනය කළයුත්ත අනිකකි, සේවනය නොකළ යුත්ත අනිකකියි කියමියි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලදී. මෙය කුමක් සඳහා දේශනා කරන ලදද?”

“ස්වාමීනි, යම්බඳුවූ සිතේ පැවැත්මක් සේවනය, කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ මනෝසමාචාරය සේවනය නොකළ යුතුය. ස්වාමීනි, යම්බඳුවූ මනෝසමාචාරයක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ මනොසමාචාරය සේවනය කළයුතුය. ස්වාමීනි කෙබඳුවූ මනොසමාචාරයක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුසල ධර්මයෝ පිරිහෙත්ද, ‘ස්වාමීනි, මෙලෙව්හි ඇතැමෙක් දැඩි ලෝභය බහුලකොට ඇත්තේ වේද, යම් ඒ අන්සතු සම්පතක්වේ නම් එය මාහට වන්නේ නම් ඉතා යෙහෙකැයි ආශාකරන්නේවේද, විකාරයට පත් සිත් ඇත්තේ දූෂ්‍යවූ අදහස් ඇත්තේ ‘මේ සත්වයෝ නැසෙත්වා, වධයට පැමිණෙත්වා, සිඳෙත්වා, විනාශවෙත්වා, නොවෙත්වා”යි අනුන්ගේ විනාශය කැමති වන්නේවේද, ස්වාමීනි, මෙබඳු මනොසමාචාරයක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්.

“ස්වාමීනි, කෙබඳුවූ මනොසමාචාරයක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද? ස්වාමීනි, මෙලෙව්හි ඇතැමෙක් දැඩි ලොභය බහුල නොවේද, යම් ඒ අන්සතු සම්පතක් වේනම් එය මා හට වන්නේ නම් ඉතා යෙහෙකැයි නොසිතන්නේවේද, විකාරයට නොපත් සිත් ඇත්තේ දූෂ්‍යවූ අදහස් නැත්තේ මේ සත්වයෝ වෛර නැත්තෝව උවදුරු නැත්තෝව සැප ඇත්තෝව දිවි පවත්වත්වා”යි සිතන්නේවේද ස්වාමීනි, මෙබඳුවූ මනොසමාචාරයන් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්.

“මහණෙනි, මම මනොසමාචාරය සේවනය කළ යුත්තය සේවනය නොකළයුත්තය යයි දෙයාකාරයකින් කියමි. ඒ මනොසමාචාරයද සේවනය කළයුත්ත අනිකකි, සේවනය නොකළයුත්ත අනිකකියි කියමියි. මෙසේ ඒ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරනලද නම් එය මේ සඳහා දෙශනා කරණලදී.

‘මහණෙනි, මම සිතද සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ සිතද සේවනය කළයුත්ත අනිකකි. සේවනය නොකළයුත්ත අනිකකියි, කියමියි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. මෙය කුමක් සඳහා වදාරණලදද?” “ස්වාමීනි, යම් බඳුවූ සිතක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ සිත සේවනය නොකළයුතුය. ස්වාමීනි, යම්බඳුවූ සිතක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද එබඳුවූ සිත සේවනය කළයුතුය.

“ස්වාමීනි, කෙබඳුවූ සිතක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද? ස්වාමීනි, මෙලෙව්හි ඇතැමෙක් තෙම දැඩි ලොභ ඇත්තේ දැඩි ලොභයෙන් යුත් සිතින් වෙසේද, ව්‍යාපාද ඇත්තේ ව්‍යාපාදයෙන් යුත් සිතින් වෙසේද, හිංසාකිරීම් ඇත්තේ හිංසා කරන සිතින් යුක්තව වෙසේද, මහණෙනි, එබඳුවූ සිත සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්.

“ස්වාමීනි, කෙබඳුවූ සිතක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, ස්වාමීනි, මෙහි ඇතැමෙක් තෙම දැඩි ලොභ නැත්තේ, දැඩි ලොභ නැති සිතින් වෙසෙයි. ව්‍යාපාද නැත්තේ, ව්‍යාපාද රහිත සිතින් වෙසෙයි. හිංසා කරන සිත් නැත්තේ හිංසා නොකරන සිතින් යුක්තව වෙසෙයි. ස්වාමීනි, එබඳුවූ සිත් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්.”

“මහණෙනි, මම සිත ද සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තය’යි දෙයාකාරයකින් කියමි. ඒ සිත ද සෙවනය කළයුත්ත අනිකකි. සෙවනය නොකළ යුත්ත අනිකකි’යී කියමියි” මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ යමක් වදාරණලද ද, එය මේ සඳහා දෙශනා කරණ ලදී.

“මහණෙනි, මම සංඥාවද සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ සංඥාවද සෙවනය කළයුත්ත අනිකකි. සෙවනය නොකළයුත්ත අනිකකියි කියමියි” මෙසේ වනාහි භාග්‍යවතුන්වහන්සේ විසින් දෙශනා කරණලදී. මෙය කුමක් සඳහා දෙශනා කරන ලදද,

ස්වාමීනි, යම්බඳුවූ සංඥාවක් සේවනය කරන්නහු ගේ අකුශල ධර්මයෝ වැඩෙත් ද, කුශල ධර්මයෝ පිරිහෙත් ද, එබඳුවූ සංඥාව සේවනය නොකළ යුතුය. ස්වාමීනි, යම්බඳුවූ සංඥාවක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද? කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ සංඥාව සෙවනය කළ යුතුයි.

“ස්වාමීනි, කෙබඳුවූ සංඥාවක් සේවනය කරන්නහුගේ අකුශලධර්මයෝ වැඩෙත්ද, කුශලධර්මයෝ පිරිහෙත්ද, ස්වාමීනි, මෙහි ඇතමෙක් තෙම දැඩි ලොභ ඇත්තේ දැඩි ලොභ සහගත සංඥාවෙන් වෙසෙයිද ව්‍යාපාද ඇත්තේ ව්‍යාපාද සහගත සංඥාවෙන් වෙසෙයිද, හිංසා කරන්නේ හිංසා සහගත සංඥාවෙන් වෙසෙයිද, ස්වාමීනි, මෙබඳුවූ සංඥාව සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්. කුශලධර්මයෝ පිරිහෙත්. ස්වාමීනි, කෙබඳුවූ සංඥාවක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද? ස්වාමීනි, මෙහි ඇතමෙක් දැඩිලොභ නැත්තේ වේද, දැඩි ලොභය නැති සංඥාවෙන් වාසයකරයිද, ව්‍යාපාද නැත්තේ ව්‍යාපාද නැති සංඥාවෙන් වසයිද ස්වාමීනි, මෙබඳුවූ සංඥාව සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශලධර්මයෝ වැඩෙත්.

“මහණෙනි, මම සංඥාවද සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ සංඥාවද සේවනය කළයුත්ත අනිකකි. සේවනය නොකළ යුත්ත අනිකකි”යි කියමියි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ යමක් දෙශනා කරන ලද නම්, එය මේ සඳහා දෙශනාකරන ලදී.

“මහණෙනි, මම දෘෂ්ටි සෙවනය කළ යුත්තය සෙවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ඒ දෘෂ්ටියද සෙවනය කළයුත්ත අනිකකි, සෙවනය නොකළ යුත්ත අනිකකි”යි කියමියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දෙශනා කරණලදී. මෙය කුමක් සඳහා දෙශනා කරණ ලද ද? “ස්වාමීනි, යම්බඳුවූ දෘෂ්ටියක් සෙවනය කරන්නහු ගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ දෘෂ්ටි සෙවනය නොකළ යුතුය. ස්වාමීනි, යම්බඳුවූ දෘෂ්ටියක් සෙවනය කරන්නහුගේ අකුශලධර්මයෝ පිරිහෙත්ද, කුශලධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ දෘෂ්ටිය සෙවනය කළ යුතුය.

“ස්වාමීනි, කෙබඳුවූ දෘෂ්ටියක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, ස්වාමීනි, මෙලෙව්හි ඇතමෙක්තෙම මෙබඳු දෘෂ්ටි ඇත්තේවේ. ‘දෙන ලද්දෙහි ඵල නැත. “යිට්ඨ” නම්ලද කුඩා යාගයෙහි ඵල නැත. භ්‍රත නම් ලද මහා යාගයෙහි ඵල නැත. කළ හොඳ නොහොඳ දෙක්හි ඵල විපාක නැත. පරලොව සිටියහුට මෙලොව නැත. මෙලොව සිටියහුට පරලොව නැත. මවට කරන හොඳ නරක දෙකෙහි විපාක නැත. පියාට කරන හොඳ නරක දෙකෙහි විපාක නැත. චුතව උපදින සත්වයෝ නැත. මනා පිළිවෙතෙහි පිළිපන් මෙලොව හා පරලොව තෙමේ නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරන මහණ බමුණන් ලොව නැත’ යනුවෙනි. ස්වාමීනි, මෙබඳුවූ දෘෂ්ටි සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්.

“ස්වාමීනි, කෙබඳුවූ දෘෂ්ටිය සේවනය කරන්නහුගේ අකුශලධර්මයෝ පිරිහෙත්ද, කුශලධර්මයෝ වැඩෙත්ද, ස්වාමීනි මෙලෙව්හි ඇතමෙක්, තෙම මෙබඳු දාෂ්ටි ඇත්තේවේ. ‘දුන් දැයෙහි ඵල ඇත. “යිට්ඨ” නම් ලද කුඩා යාගයෙහි ඵල ඇත. භ්‍රත නම් ලද මහා යාගයෙහි ඵල ඇත. කළ හොඳ නොහොඳ දෙක්හි ඵල විපාක ඇත. පරලොව සිටියහුට මෙලොව ඇත. මෙලොව සිටියහුට පරලොව ඇත. මවට කරන හොඳ නරක දෙකෙහි විපාක ඇත. පියාට කරන හොඳ නරක දෙකෙහි විපාක ඇත. චුතව උපදින සත්වයෝ ඇත. මනාපිළිවෙතෙහි පිළිපන් මෙලොව හා පරලොව තමා නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන මහණ බමුණන් ලොව ඇත.’ යනුවෙනි.

“ස්වාමීනි, මෙබඳු වූ දෘෂ්ටි සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්.

“මහණෙනි, මම දෘෂ්ටියද සේවනය කළ යුත්තය සෙවනය නොකළ යුත්තයයි දෙපරිදිකොට කියමි. ඒ දෘෂ්ටියද සෙවනය කළයුත්ත අනිකකි. සෙවනය නොකළයුත්ත අනිකක”යි කියමියි මෙසේ ඒ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරන ලදද, මෙය ඒ සඳහා දෙශනා කරන ලදී.

මහණෙනි, මම ආත්මභාවය ලැබීමද දෙපරිදිකොට කියමි. සේවනය කළ යුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. හෙද සේවනය කළයුතු ආත්මභාවය ලැබීම අනිකකි. සේවනය නොකළයුතු ආත්මභාවය ලැබීමද අනිකකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දෙශනා කරණ ලදී. මෙය කුමක් නිසා දෙශනා කරණ ලදද?” “ස්වාමීනි, යම් බඳුවූ ආත්මභාවය ලැබීමක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද? කුශල ධර්මයෝ පිරිහෙත්ද? එබඳුවූ, ආත්මභාවය ලැබීම සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම්බඳුවූ, ආත්මභාවය ලැබීමක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද? කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ ආත්මභාවය ලැබීම සේවනය කළ යුතුයි. ස්වාමීනි, කෙබඳුවූ ආත්මභාව ලැබීමක් ඇත්තහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද? කුශල ධර්මයෝ පිරිහෙත්ද? ස්වාමීනි, දුක් සහිත ආත්මභාවය ලැබීම ඇත්තහුගේ උත්පත්තිය නොනිමි බැවින් අකුසල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත්. ස්වාමීනි, කෙබඳුවූ ආත්මභාවය ලැබීමක් ඇත්තහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද? කුශල ධර්මයෝ වැඩෙත්ද? ස්වාමීනි, දුක් රහිත ආත්මභාවය ලැබීම ඇත්තහුගේ උත්පත්තිය නිමි බැවින් අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්.

“මහණෙනි, මම ආත්මභාවය ලැබීමද දෙපරිදි කොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද, යනුවෙනි. හෙද සේවනය කළ යුතු ආත්මභාවය ලැබීම අනිකකි. සේවනය නොකළ යුතු ආත්මභාවය ලැබීමද අනිකකියි, මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරණ ලදද? ඒ මේ සඳහා දෙශනා කරණ ලදී.”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරනලද විස්තර වශයෙන් අර්ථ නොබෙදන ලද මේ ධර්මයාගේ අර්ථය මම විස්තර වශයෙන් මෙසේ දනිමි”යි කීය.

“යහපත, යහපත ශාරිපුත්‍රය, මා විසින් සංක්ෂෙපයෙන් කියන ලද විස්තර වශයෙන් අර්ථ නොබෙදූ මේ ධර්මයාගේ අර්ථ විස්තර වශයෙන්ම තෙපි දන්නහුය.

“මහණෙනි, මම කායසමාචාරයද සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තයයි දෙපරිදි කොට කියමි. ඒකායසමාචාරයද සේවනය කළ යුත්ත අනිකකි. සේවනය නොකළයුත්ත අනිකකියි කියමියි” මෙසේ මෙය මා විසින් කියනලද නම් එය කුමක් සඳහා කියන ලදද? ශාරිපුත්‍රය, යම් බඳුවූ කායසමාචාරයක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ කායසමාචාරය සේවනය නොකළ යුතුය. ශාරිපුත්‍රය, යම් බඳුවූ කායසමාචාරයක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ කාය සමාචාරය සෙවනය නොකළ යුතුය.

“ශාරිපුත්‍රය, කෙබඳු වූ කාය සමාචාරයක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද? ශාරිපුත්‍රය, මෙලෙව්හි ඇතැමෙක් රළු වූයේ ලේ තැවැරුණු අත් ඇත්තේ, පහරදීමෙහි හා නැසීමෙහි නියැලුනේ, ප්‍රාණීන් කෙරෙහි දයාරහිත වූයේ, ප්‍රාණඝාත කරන්නෙක් වේද, ගමෙහිවූ හෝ අරණ්‍යයෙහිවූ හෝ යම් ඒ අන් සතු ධනයක්වේ නම් නොදුන්නාවූ එය සොර සිතින් ගන්නේ, හොරකම් කිරීමෙහි යෙදුනෙක් වේද, යම් ඒ ස්ත්‍රියක් තොමෝ මව විසින් රක්නා ලද්දීද, පියා විසින් රක්නා ලද්දීද, සොහොයුරන් විසින් රක්නා ලද්දීද, සොහොයුරියන් විසින් රක්නා ලද්දීද, ඤාතීන් විසින් රක්නා ලද්දීද ස්වාමියා සහිත වූවාද, වෙත නොයා යුතුයයි රජුන් විසින් දඬුවන් තබන ලද්දියද, යටත් පිරිසෙයින් මල් මාලාවක් බහා වෙන් කරන ලද්දියද එය එබඳුවූ ස්ත්‍රීන් කෙරෙහි (කාම සෙවනය වශයෙන්) හැසිරීමට පැමිණියාහු කාම මිථ්‍යාචාරයෙහි යෙදෙත්ද ශාරිපුත්‍රය, එබඳුවූ කාය සමාචාරය සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ වැඩෙත්, කුසල ධර්මයෝ පිරිහෙත්.

“ශාරිපුත්‍රය, කෙබඳුවූ කාය සමාචාරයක් සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද,

“ශාරිපුත්‍රය, මෙලෙව්හි ඇතැමෙක් ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වෙන්වූයේවේද, බහා තබනලද දඬු ඇත්තේ බහා තබන ලද අවි ඇත්තේ, ලජ්ජා ඇත්තේ, දයාවෙන් යුක්තවූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසය කෙරේද, නොදුන් දෙය ගැණීම හැර, නොදුන් දෙය ගැණීමෙන් වෙන්වූයේවේද, ගමෙහි හෝ අරණ්‍යයෙහි හෝ වූ අන්සතු වස්තුව, උපකරණ යමක් නම් එය සොර සිතින් නොගන්නේවේද, යම් ඒ ස්ත්‍රීයක් තොමෝ මව විසින් රක්නා ලද්දීද, පියා විසින් රක්නාලද්දීද, සොහොයුරන් විසින් රක්නා ලද්දීද, සොහොයුරියන් විසින් රක්නා ලද්දීද, ඥාතීන් විසින් රක්නා ලද්දීද වෙත නොයා යුතුයයි රජුන් විසින් දඬුවම් තබන ලද්දීද යටත්පිරිසෙයින් මල්මාලාවක් බහා වෙන්කරන ලද්දියද, යන මෙබඳුවූ ස්ත්‍රීන් කෙරෙහි (කාමසේවනය වශයෙන්) හැසිරීමට නොපැමිණියාහු කාමමිථ්‍යාචාරයෙහි නොයෙදෙත්ද, ශාරිපුත්‍රය, මෙබඳුවූ කායසමාචාරය සේවනය කරන්නාහට අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්.

“ශාරිපුත්‍රය, මම කායසමාචාරයද සේවනය කළයුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙපරිදිකොට කියමි. ඒ කාය සම වාරයද සේවනය කළයුත්ත අනිකකි. සේවනය නොකළ යුත්ත අනිකකි”යි කියමියි මෙසේ මා විසින් යමක් කියන ලදද, එය මේ සඳහා කියනලදී.

“ශාරිපුත්‍රය, මම වචීසමාචාරයද සේවනය කළ යුත්තය සෙවනය නොකළ යුත්තයයි දෙපරිදිකොට කියමි. ඒ වාක් සමාචාරයද සේවනය කළයුත්ත අනිකකි. සේවනය නොකළයුත්ත අනිකකියි කියමින් මෙසේ මා විසින් මෙය කියනලද නම් එය කුමක් සඳහා කියනලදද?

“ශාරිපුත්‍රය, යම්බඳුවූ වාක්සමාචාරයක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ වචීසමාචාරය සේවනය නොකළයුතුය. ශාරිපුත්‍රය, යම්බඳුවූ වචීසමාචාරයක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ වචී සමාචාරය සේවනය කළයුතුයි.

“ශාරිපුත්‍රය, කෙබඳුවූ වචීසමාචාරයක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, ශාරිපුත්‍රය, මෙලෙව්හි ඇතමෙක් සභාවක සිටියේ හෝ පිරිසක සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ සමූහ මැද සිටියේ හෝ රජකුල මැද සිටියේ හෝ ඉදිරියට පැමිණවූයේ, ‘පින්වත් පුරුෂය, මෙහි එව. යමක් දන්නෙහිනම් එය කියවයි,’ සාක්ෂ්‍ය විචාරණ ලදුයේ, හෙතෙම නොදන්නා දෙය හෝ දනිමියි කියයි. දන්නා දෙය හෝ නොදනිමියි කියයි. නොදක්නා දෙය හෝ දක්මියි කියයි. දක්නාදෙය හෝ නොදක්මියි කියයි. මෙසේ තමා නිසා හෝ අනුන් නිසා හෝ කිසියම් සුළු ආමිෂයක් (අල්ලසක්) නිසා හෝ දැන දැන බොරු කියන්නේ වේද, එතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස මෙහි කියන්නේද, මෙතන්හි අසා ඔවුන්ගේ භේදය පිණිස එහි කියන්නේද, මෙසේ සමගිවූවන් භෙද කරන්නේ භෙදවූවන්ගේ භෙදයට අනුබල දෙන්නේ, භෙදයෙහි ඇළුනේ, භෙදවූ අය දැක සතුටු වන්නේ, භෙදකරන වචන කියන්නේ, මෙසේ කේළාම් බස් ඇත්තේ නොවේද, යම් ඒ වචනයක් අනුන්ට ගැරහීම් වශයෙන් රළුද, කර්කශද, අනුන්ගේ සිතට කටුකද අනුන්ගේ සිත් කටු අත්තට මෙන් ඇමිණෙන සුළුද, කෝපයට ආසන්නද, සමාධියට හෙතුනොවේද, එබඳු වචන කියන්නේ ඵරුෂ වචන ඇත්තේවේද, නොකල්හි කථාකරන සුළු බොරුකියන සුළු, අවැඩ බස් තෙපෙලෙන සුළු, සිත තබාගැනීමට නුසුදුසු, නොකල්හි අයොග්‍යලෙස සීමාවක් නැතිව අවැඩට හේතුවූ වචන කියන්නේ සම්ඵප්‍රලාප බස් ඇත්තේවේද, ශාරිපුත්‍රය, එබඳුවූ වචීසමාචාරය සෙවුනහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්.

“ශාරිපුත්‍රය, කෙබඳුවූ වචීසමාචාරයක් සෙවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, ශාරිපුත්‍රය, මෙලෙව්හි ඇතමෙක් බොරුකීම හැර බොරුකීමෙන් වෙන්වූයේ වේද, සභාවක සිටියේ හෝ පිරිසක සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ සමූහ මැද සිටියේ හෝ රජකුල මැද සිටියේ හෝ ඉදිරියට පැමිණවූයේ, ‘පින්වත් පුරුෂය මෙහි එව, යමක් දන්නෙහි නම් එය කියව’යි සාක්ෂ්‍ය විචාරණ ලදුයේ හෙතෙම නොදන්නා දෙය හෝ නොදනිමියි කියයි. දන්නා දෙය හෝ දනිමියි කියයි. නොදක්නා දෙය හෝ නොදක්මියි කියයි. දක්නා දෙය හෝ දක්මියි කියයි. මෙසේ තමා නිසා හෝ අනුන් නිසා හෝ කිසියම් සුළු ආමිෂයක් (අල්ලසක්) නිසා හෝ දැන දැන බොරු නොකියන්නේවේද, කේළාම් කීම හැර කේළමෙන් වෙන්වූයේ, එතැනින් අසා මොවුන්ගේ භෙදය පිණිස මෙහි නොකියන්නේ වේද, මෙතැනින් අසා ඔවුන්ගේ භෙදය පිණිස එහි නොකියන්නේද, මෙසේ වෙන්වූවන් සමගි කරන්නේ සමගි වූවන්ගේ සමගියට අනුබල දෙන්නේ, සමගියෙහි ඇළුනේ, සමගිවූ අය දැක සතුටු වන්නේ, සමගිය ඇතිකරන වචන කියන්නේ වේද, ඵරුෂවචන හැර, ඵරුෂවචන කීමෙන් වෙන්වූයේ වේ. යම් ඒ වචනයක් නිවැරැදිවේද, කණට සුව එළවයිද, ප්‍රේමය ඇතිකරයිද, සිත සතුටු කරයිද, ශිෂ්ට වචන කියන්නේවේද, බොහෝ දෙනාගේ සිත් ඇදගන්නේ, බොහෝ දෙනාගේ මනාපය වඩන්නේ වේද, එබඳු වචන කියන්නේ වේ. සම්ඵප්‍රලාපය හැර සම්ඵප්‍රලාප කීමෙන් වෙන්වූයේ වේ. වේලාවට සුදුසු (කාලොචිත) වචන කියන්නේ, සිදුවූවක්ම කියන්නේ, වැඩ පිණිස පවත්නා වචනයක්ම කියන්නේ, දැහැමි වචනයක්ම කියන්නේ, විනය වචනයක්ම කියන්නේ, නිධානයක් මෙන් තැන්පත් කොට තබාගතයුතු සුදුසු කල්හි යොග්‍යලෙස, සීමාවක් ඇතිව, වැඩ පිණිස වචන කියන්නේ වේද, ශාරිපුත්‍රය, මෙබඳුවූ වචීසමාචාරය සෙවුනහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්.

“ශාරිපුත්‍රය, මම වචීසමාචාරයද සෙවිය යුත්තය නොසෙවිය යුත්තයයි දෙපරිදිකොට කියමි. ඒ වාක්සමාචාරයද සේවනය කළ යුත්ත අනිකකි. සේවනය නොකළ යුත්ත අනිකකියි කියමියි මෙසේ මා විසින් ඒ යමක් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

“ශාරිපුත්‍රය, මම මනොසමාචාරයද සෙවිය යුත්තය සේවනය නොකළ යුත්තයයි දෙපරිදිකොට කියමි. භෙද සෙවිය යුත්ත අනිකකි සේවනය නොකළ යුත්ත අනිකකි”යි කියමියි මෙසේ මා විසින් කියන ලදනම් එය කුමක් සඳහා කියන ලදද? ශාරිපුත්‍රය, යම් බඳුවූ මනොසමාචාරයක් සේවනය කරන්නහුට අකුසල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ මනොසමාචාරය සේවනය නොකළ යුතුය. ශාරිපුත්‍රය, යම්බඳුවූ මනොසමාචාරයක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද එබඳුවූ මනොසමාචාරය සෙවනය කළ යුතුයි.

“ශාරිපුත්‍රය කෙබඳුවූ මනොසමාචාරයක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, ශාරිපුත්‍රය, මෙලෙව්හි ඇතමෙක් දැඩි ලොභයෙන් යුක්තවේද, යම් අන්සතු සම්පතක් වේනම් එය තමාහට ලබාගැනීම සඳහා මේ අන්සතු දෙය මා අයත්වන්නේ නම් ඉතා හොඳයයි සිතන්නේ වේද, විකාරයට පත් සිත් ඇත්තේ දූෂ්‍යවූ අදහස් ඇත්තේ. මේ සත්වයෝ නැසෙත්වා! කඩ කඩ වෙත්වා! විනාශ වෙත්වා! හෝ (ජීවතුන් අතර) නොවෙත් වායි’ ශාරිපුත්‍රය, එබඳුවූ මනොසමාචාරය සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳුවූ මනොසමාචාරයක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, ශාරිපුත්‍රය, මෙලෙව්හි ඇතමෙක් දැඩිලොභ රහිතවේද, යම් ඒ අන්සතු සම්පතක් වේනම් එය තමාහට ලබාගැණීම සඳහා අන්සතු දෙය මා අයත් වන්නේනම් ඉතා හොඳයයි නොසිතන්නේ වේද, විකාරයට නොපත් සිත් ඇත්තේ දූෂ්‍යවූ අදහස් නැත්තේ, මේ සත්වයෝ වයිර නැත්තෝව, උවදුරු නැත්තෝව, සැප ඇත්තෝව දිවි පවත්වත්වා’යි ශාරිපුත්‍රය, මෙබඳුවූ මනොසමාචාරය සෙවුනහුට අකුශලධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්.

“ශාරිපුත්‍රය, මම මනොසමාචාරයද සේවනයකළ යුත්තය සේවනය නොකළ යුත්තයයි දෙපරිදිකොට කියමි. භෙද සේවනය කළ යුත්ත අනිකෙකි. සේවනය නොකළ යුත්ත අනිකෙකියි කියමි. මෙසේ මා විසින් ඒ යමක් කියන ලදනම් මෙය ඒ සඳහා කියන ලදී.

ශාරිපුත්‍රය, මම සිතද සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තයයි දෙපරිදිකොට කියමි. හෙද සේවනය කළ යුත්ත අනිකකි. සේවනය නොකළ යුත්ත අනිකකි’යි මෙසේ මා විසින් මෙය යමක් සඳහා කියන ලද නම්, එය කුමක් සඳහා කියන ලදද? ශාරිපුත්‍රය, යම්බඳුවූ සිතක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ සිත සේවනය නොකළ යුතුයි.

“ශාරිපුත්‍රය, යම්බඳුවූ සිතක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශලධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ සිත සේවනය කළ යුතුයි.

“ශාරිපුත්‍රය, කෙබඳුවූ සිතක් සේවනය කරන්නහුට අකුසල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, ශාරිපුත්‍රය, මෙලෙව්හි ඇතමෙක් අභිජ්ඣා (විෂම ලොභය) ඇත්තේ අභිජ්ඣා සහිත සිතින් යුතුව වෙසේද, ව්‍යාපාද (ක්‍රොධ) ඇත්තේ ව්‍යාපාද සහිත සිතින් යුතුව වෙසේද, හිංසාකිරීම් සහිතවූ සිතින් යුතුව වෙසේද, ශාරිපුත්‍රය, මෙබඳුවූ සිත සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳුවූ, චිත්තුප්පාදයක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, ශාරීපුත්‍රය, මෙලෙව්හි ඇතමෙක් අභිජ්ඣා ඇත්තේ අභිජ්ඣාරහිතවූ සිතින් යුතුව වෙසේද, ව්‍යාපාද ඇත්තේ ව්‍යාපාද රහිතවූ සිතින් යුතුව වෙසේද, හිංසා කිරීම් නැත්තේ හිංසා කිරීම් රහිතවූ සිතින් යුතුව වෙසේද, ශාරිපුත්‍රය, එබඳුවූ සිත සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශලධර්මයෝ වැඩෙත්.

“ශාරිපුත්‍රය, මම සිතද සේවනය කළ යුතුය, සේවනය නොකළ යුත්තයයි දෙපරිදිකොට කියමි. භෙද සේවනය කළ යුත්ත අනිකකි සේවනය නොකල යුත්ත අනිකකි”යි කියමින් මෙසේ මා විසින් යමක කියනලද නම් එය මේ සඳහා කියනලදී.

ශාරිපුත්‍රය, මම සංඥාවද සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තයයි දෙපරිදි කොට කියමි. භෙද සේවනය කළ යුත්ත අනිකකි සේවනය නොකළ යුත්ත අනිකකියි කියමියි මෙසේ මෙය මා විසින් කියනලද නම් එය කුමක් සඳහා කියන ලදද? ශාරිපුත්‍රය, යම් බඳුවූ සංඥාවක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්ද? කුශල ධර්මයෝ පිරිහෙත්ද, මෙබඳුවූ සංඥාවක් සේවනය නොකළ යුතුයි. ශාරිපුත්‍රය, මෙබඳුවූ සංඥාවක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ සංඥාව සේවනය කළ යුතුයි.

“ශාරිපුත්‍රය, කෙබඳුවූ සංඥාවක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, ශාරිපුත්‍රය, මෙලොව්හි ඇතමෙක් අභිජ්ඣා (අනුන්ගේ දෙයට ආසාව) ඇත්තේ අභිජ්ඣා සහිතවූ සංඥාවෙන් යුතුව වෙසේද, ව්‍යාපාද (ක්‍රොධ) ඇත්තේ ව්‍යාපාද සහිතවූ සංඥාවෙන් යුතුව වෙසේද, හිංසා කරන සිත් හිංසා සහිතවූ සංඥාවෙන් යුතුව වෙසේද, ශාරිපුත්‍රය, එබඳුවූ සංඥාව සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳුවූ සංඥාව සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, ශාරිපුත්‍රය, මෙලෙව්හි ඇතැමෙක් අභිජ්ඣා නැත්තේ අභිජ්ඣා රහිතවූ සංඥාවෙන් යුතුව වෙසේද, ව්‍යාපාද නැත්තේ ව්‍යාපාද රහිතවූ සංඥාවෙන් යුතුව වෙසේද, හිංසා නැත්තේ හිංසා රහිතවූ සංඥාවෙන් යුතුව වෙසේද, ශාරිපුත්‍රය, මෙබඳුවූ සංඥාව සේවනය කරන්නහුට අකුශලධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්.

“ශාරිපුත්‍රය, මම සංඥාවද සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තයයි දෙපරිදි කොට කියමි. හෙද සේවනය කළ යුත්ත අනිකකි සේවනය නොකළ යුත්ත අනිකකියි කියමියි මෙසේ මා විසින් ඒ යමක් කියනලදනම් එය මේ සඳහා කියන ලදී.

‘ශාරිපුත්‍රය, මම දෘෂ්ටියද සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තයයි. දෙපරිදිකොට කියමි. හෙද සේවනය කළ යුත්ත අනිකකි, සේවනය නොකළ යුත්ත අනිකකි’යි කියමියි මෙසේ මා විසින් මෙය කියන ලද නම් එය කුමක් සඳහා කියනලදද, ශාරිපුත්‍රය, යම්බඳු දෘෂ්ටියක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ දෘෂ්ටිය සේවනය නොකළ යුතුය. ශාරිපුත්‍රය, යම්බඳුවූ දෘෂ්ටියක් සේවනය කරන්නහුට අකුසල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ දෘෂ්ටිය සේවනය කළ යුතුයි. ශාරිපුත්‍රය, කෙබඳුවූ දෘෂ්ටියක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද

“ශාරිපුත්‍රය, මෙලෙව්හි ඇතමෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තේවේ. එනම් දුන් දැයෙහි විපාක නැත “යිට්ඨ” නම් ලද කුඩායාගයෙහි ඵල නැත, “හ්‍රත” නම් ලද මහායාගයෙහි ඵල නැත, කළ හොඳ නොහොඳ දෙක්හි ඵල විපාක නැත, පරලොව සිටියහුට මෙලොව නැත, මෙලොව සිටියහුට පරලොව නැත, මවට කරනලද හොඳ නරක දැයෙහි විපාක නැත. පියාට කරන හොඳ නරක දැයෙහි විපාක නැත. චුතව උපදින සත්වයෝ නැත. මනා පිළිවෙතෙහි පිළිපන්, මෙලොව හා පරලොව තෙමේ නුවණින් දැන අවබෝධකොට පවසන මහණ බමුණන් ලොව නැත යනුවෙනි. ශාරිපුත්‍රය, මෙබඳුවූ දෘෂ්ටි සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳුවූ දෘෂ්ටියක් සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද කුශල ධර්මයෝ වැඩෙත්ද, ශාරිපුත්‍රය, මෙලෙව්හි ඇතමෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තේවේ. එනම් දුන්දැයෙහි විපාක ඇත. “යිට්ඨ’ නම් ලද කුඩායාගයෙහි ඵලනැත, “හ්‍රත” නම් ලද මහායාගයෙහි ඵල ඇත, කළ හොඳ නරක දෙක්හි ඵලවිපාක ඇත, පරලොව සිටියහුට මෙලොව ඇත, මෙලොව සිටියහුට පරලොව ඇත, මවට කරනලද හොඳ නරක දැයෙහි විපාක ඇත, පියාට කරනලද හොඳ නරක දැයෙහි විපාක ඇත. මැරී උපදින සත්වයෝ ඇත, මනා පිළිවෙතෙහි පිළිපන්, මෙලොව හා පරලොව තෙමේ නුවණින් දැන අවබෝධ කොට පවසන මහණ බමුණෝ ලොව ඇත යනුවෙනි. ශාරිපුත්‍රය, මෙබඳුවූ දෘෂ්ටි සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්.

“ශාරිපුත්‍රය, මම දෘෂ්ටි සේවනය කළ යුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙපරිදි කොට කියමි. හෙද සේවනය කළ යුත්ත අනිකකි. සේවනය නොකළ යුත්ත අනිකකි”යි කියමියි මෙසේ මා විසින් ඒ යමක් කියන ලද නම් එය මේ සඳහා කියනලදී.

“ශාරිපුත්‍රය, මම ආත්මභාවය ලැබීමද දෙපරිදි කොට කියමි. සෙවිය යුත්තද, නොසෙවිය යුත්තද කියායි. හෙද සෙවියයුතු ආත්මභාව ලැබීම අනිකකි. නොසෙවිය යුතු ආත්මභාවය ලැබීම අනිකකියි මෙසේ මා විසින් කියන ලද නම් එය කුමක් සඳහා කියන ලදද, ශාරිපුත්‍රය, යම්බඳුවූ ආත්මභාවය ලැබීමත් සෙවුනහුට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ ආත්මභාව ප්‍රතිලාභය නොසෙවිය යුතුයි. ශාරිපුත්‍රය, යම්බඳුවූ ආත්මභාවයක් ලැබීමක් සෙවුනහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ ආත්මභාවයක් ලැබීම සෙවිය යුතුයි. ශාරිපුත්‍රය, කෙබඳුවූ ආත්මභාව ලැබීමක් සෙවුනහුට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, ශාරිපුත්‍රය, දුක් සහිතවූ ආත්මභාවය ලබා උපන්නහුගේ අකුශල ධර්මයෝ, උත්පත්තිය නොනිමි බැවින් වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳුවූ ආත්මභාව ප්‍රතිලාභයක් සෙවුනහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, ශාරිපුත්‍රය, දුක් රහිතවූ ආත්මභාවය ලබා උපන්නහුගේ අකුශල ධර්මයෝ උත්පත්තිය නිමි බැවින් පිරිහෙත් කුශල ධර්මයෝ වැඩෙත්. ශාරිපුත්‍රය, මම ආත්මභාවය ලැබීමද සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්තයයි දෙපරිදි කොට කියමි. හෙද සේවනය කළයුත්ත අනිකකි. සේවනය නොකළ යුත්ත අනිකකියි කියමියි යන ඒ යමක් මා විසින් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

“ශාරිපුත්‍රය, මා විසින් සංක්ෂෙපයෙන් කියන ලද මෙහි අර්ථය මෙසේ විස්තර වශයෙන් දතයුතුය. ශාරිපුත්‍රය, චක්ඛුවිඤ්ඤාණයෙන් දැනගතයුතු රූපයද මම සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ශාරිපුත්‍රය, සොතවිඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයද මම සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තය දෙයාකාරයකින් කියමි. ‘ශාරිපුත්‍රය, ඝාණවිඤ්ඤාණයෙන් දැනගතයුතු ගන්ධයද මම සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්ත යයි දෙපරිදිකොට කියමි. ශාරිපුත්‍රය, මම ජිව්හාවිඤ්ඤාණයෙන් දතයුතුවූ රසයද සේවනය කළ යුත්ත සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි. ශාරිපුත්‍රය, කායවිඥානයෙන් දැනගතයුතු ස්පර්ශයද මම සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්තයයි දෙපරිදිකොට කියමි. ශාරිපුත්‍රය, මනොවිඥානයෙන් දැනගතයුතු ධර්මාරම්මණයද මම සේවනය කළයුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද විස්තර වශයෙන්, අර්ථ නොබෙදන ලද මෙහි මෙසේ විස්තර වශයෙන් අර්ථය දනිමි.”

‘ශාරිපුත්‍රය, මම චක්ඛුවිඤ්ඤාණයෙන් දැනගතයුතු වූ රූපයද සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමියි මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. එය කුමක් සඳහා වදාරණ ලදද, ස්වාමීනි, යම්බඳුවූ චක්ඛුවිඤ්ඤාණයෙන් දැනගතයුතු රූපයක් සෙවනය කරන්නහුට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, මෙබඳුවූ චක්ඛුවිඤ්ඤාණයෙන් දැනගතයුතු රූපය නොකළ යුතුයි.’ ස්වාමීනි, යම්බඳුවූ චක්ඛුවිඤ්ඤාණයෙන් දැනගතයුතු රූපයක් සෙවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ චක්ඛුවිඤ්ඤාණයෙන් දැනගතයුතු රූපය සේවනය කළයුතුය”

“ශාරිපුත්‍රය, මම චක්ඛුවිඤ්ඤාණයෙන් දැනගතයුතු රූපයද සේවනය කළ යුත්තය සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමියි ඒ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදනම් එය මේ සඳහා වදාරණ ලදී.

“ශාරිපුත්‍රය, මම ශ්‍රොත විඥානයෙන් දැනගතයුතු ශබ්දයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙය කුමක් නිසා වදාරණ ලදද?” “ස්වාමීනි, යම් බඳුවූ ශ්‍රොතවිඤ්ඤාණයෙන් දැනගත යුතු වූ ශබ්දයක් සෙවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ ශ්‍රොතවිඤ්ඤාණයෙන් දැනගතයුතු වූ ශබ්දයක් සෙවනය නොකළ යුතුයි. “ස්වාමීනි, යම්බඳුවූ සොත විඤ්ඤාණයෙන් දතයුතු ශබ්දයක් සෙවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, මෙබඳුවූ සොත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දය සේවනය කළ යුතුයි. ශාරිපුත්‍රය, සොත විඤ්ඤාණයෙන් දැනගතයුතු ශබ්දයද දෙපරිදිකොට කියමි සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි.

මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදී.”

“ශාරිපුත්‍රය, මම ඝාණවිඤ්ඤාණයෙන් දැනගතයුතු ගන්ධයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙය කුමක් නිසා වදාරණ ලදද” “ස්වාමීනි, යම් බඳුවූ, ඝාණවිඤ්ඤාණයෙන් දතයුතුවූ, ශබ්දය සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද? කුශල ධර්මයෝ පිරිහෙත්ද එබඳුවූ, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ගන්ධයක් සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම්බඳුවූ ඝාණ විඤ්ඤාණයෙන් දැනගතයුතු ගන්ධය සේවනය කරන්නහුට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ගන්ධය සෙවිය යුතුයි. ශාරිපුත්‍රය, මම ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු වූ, ගන්ධය දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදී.”

“ශාරිපුත්‍රය, මම ජිව්හා විඤ්ඤාණයෙන් දැනගතයුතු රසය දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළයුත්තද කියායි. මෙසේ මේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. මෙය කුමක් නිසා වදාරණලදද?” “ස්වාමීනි, යම් බඳුවූ, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, රසය සේවනය කරන්නාට අකුශල ධර්‍මයෝ වැඩෙත්ද? කුශල ධර්මයෝ පිරිහෙත්ද? එබඳුවූ, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, රසය සේවනය නොකළයුතුය. ස්වාමීනි, යම් බඳුවූ, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසය සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද එබඳුවූ ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයක් සේවනය කළයුතුයි.” “ශාරිපුත්‍රය, මම ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසය දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණලදී.

“ශාරිපුත්‍රය, මම කාය විඤ්ඤාණයෙන් දැනගතයුතු ස්පර්ශය දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළයුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදි. මෙය කුමක් නිසා වදාරණලදද?” “ස්වාමීනි, යම් බඳුවූ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ස්පර්ශයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්ශය සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම්බඳුවූ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්ශයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්ශය සේවනය කළයුතුයි.” “ශාරිපුත්‍රය, මම කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්ශය දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද? එය මේ සඳහා වදාරණ ලදී.

“ශාරිපුත්‍රය, මම මනො විඤ්ඤාණයෙන් දැනගතයුතු ධර්මය දෙපරිදිකොට කියමි. සේවනය කළ යුත්තද සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙය කුමක් නිසා වදාරණ ලදද?” “ස්වාමීනි, යම් බඳුවූ මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මය සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම්බඳුවූ මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මය සේවනය කළයුතුයි. ශාරිපුත්‍රය, මම මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මය දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද? මෙය ඒ සඳහා වදාරණ ලදී”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් දෙසනලද විස්තර වශයෙන්ද නොබෙදනලද මෙහි අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි,” කියායි.

“යහපත, යහපත ශාරිපුත්‍රය, ශාරිපුත්‍රය, තොපි මා විසින් සංක්ෂෙපයෙන් කියනලද විස්තර වශයෙන් අර්ථ නොබෙදූ මෙහි අර්ථය විස්තර වශයෙන් දන්නහුය. ශාරිපුත්‍රය මම චක්ඛු විඤ්ඤාණයෙන් දැනගතයුතු රූපය දෙපරිදිකොට කියමි. සේවනය කළ යුත්තද සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය මා විසින් කියන ලදී. මෙය කුමක් නිසා කියන ලදද? ශාරිපුත්‍රය, යම් බඳුවූ චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපය සේවනය නොකළ යුතුයි. ශාරිපුත්‍රය, යම් බඳුවූ චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපය සේවනය කළයුතුයි. ශාරිපුත්‍රය, මම චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපය දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් මා විසින් කියනලදද, එය මේ සඳහා කියන ලදී.

“ශාරිපුත්‍රය, මම සොත විඤ්ඤාණයෙන් දැනගතයුතු ශබ්දය දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද, කියායි. මෙසේ මෙය මා විසින් කියනලදී. මෙය කුමක් නිසා කියන ලදද? ශාරිපුත්‍රය, යම් බඳුවූ සොත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ සොත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දය සේවනය නොකළයුතුයි. ශාරිපුත්‍රය, යම් බඳුවූ සොත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ සොත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දය සේවනය කළයුතුයි. ශාරිපුත්‍රය, මම සොත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දය දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් මා විසින් කියන ලදද, එය මේ සඳහා කියනලදී.

“ශාරිපුත්‍රය, මම ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්ධය දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි. මෙය මා විසින් කියනලදී. මෙය කුමක් නිසා කියනලදද? ශාරිපුත්‍රය, යම්බඳුවූ ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්ධයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්ධය සේවනය නොකළයුතුයි. ශාරිපුත්‍රය, යම්බඳුවූ ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්ධය සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්ධයක් සේවනය කළයුතුයි. ශාරිපුත්‍රය, මම ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්ධය දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් මා විසින් කියන ලදද, එය මේ සඳහා කියනලදී.

“ශාරිපුත්‍රය, මම ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු රසය දෙපරිදිකොට කියමි. සේවනය කළ යුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. මෙය කුමක් නිසා වදාරණ ලදද?” “ස්වාමීනි, යම්බඳුවූ ජිව්හා විඤ්ඤාණයෙන් රසය සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද එබඳුවූ ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසය සේවනය නොකළ යුතුය. ස්වාමීනි, යම්බඳුවූ ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසය සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසය සේවනය කළයුතුයි. ස්වාමීනි, මම ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු රසය දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණලදී.”

“ශාරිපුත්‍රය, මම කාය විඤ්ඤාණයෙන් දැනගතයුතු ස්පර්ශය දෙපරිදිකොට කියමි. සේවනය කළ යුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙය කුමක් නිසා වදාරණ ලදද?” “ස්වාමීනි, යම් බඳුවූ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්ශයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්ශය සෙවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම් බඳුවූ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්ශය සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්ශය සේවනය කළයුතුයි.” “ශාරිපුත්‍රය, මම කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්ශය දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණලදී.

“ශාරිපුත්‍රය, මම මනො විඤ්ඤාණයෙන් දැනගතයුතු ධර්මය දෙපරිදිකොට කියමි. සේවනය කළ යුත්තද සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙය කුමක් නිසා වදාරණ ලදද?” “ස්වාමීනි, යම්බඳුවූ මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මය සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම් බඳුවූ මනො විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මය සේවනය කළයුතුයි.” “ශාරිපුත්‍රය, මනො විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මය දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද, නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද, එය මේ සඳහා කියන ලදී.”

“ශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් කියනලද මෙහි විස්තර වශයෙන් අරුත් මෙසේ දතයුතුය.

“ශාරිපුත්‍රය, මම චීවරයද, දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි.

“ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි.

“ශාරිපුත්‍රය, මම සේනාසනයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි.

“ශාරිපුත්‍රය, මම ගමද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි.

“ශාරිපුත්‍රය, මම නිගමයද, දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළයුත්තද කියායි.

“ශාරිපුත්‍රය, මම නගරයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළ යුත්තද කියායි.

“ශාරිපුත්‍රය, මම ජනපදයද දෙපරිදිකොට කියමි. සේවනය කළ යුත්තද සේවනය නොකළ යුත්තද කියායි. පුද්ගලයා සේවනය කළයුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙයාකාරයකින් කියමි.”

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.

“ස්වාමීනි, මම භාග්‍යවතුන්වහන්සේ විසින් සැකෙවින් වදාළ විස්තර වශයෙන් නොබෙදූ මෙහි මෙසේ විස්තර වශයෙන් අදහස දනිමි.”

“ශාරිපුත්‍රය, මම චීවරයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළයුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙය කුමක් නිසා වදාරණ ලදද?” “ස්වාමීනි, යම් බඳුවූ, චීවරයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ චීවරය සේවනය නොකළ යුතුයි. “ස්වාමීනි, යම් බඳුවූ, චීවරයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ චීවරය සේවනය කළයුතුයි. ශාරීපුත්‍රය, මම චීවරය දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද? එය මේ සඳහා වදාරණලදී.

“ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළයුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙය කුමක් නිසා වදාරණ ලදද?” “ස්වාමීනිත යම් බඳුවූ පිණ්ඩපාතයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද? එබඳුවූ, පිණ්ඩපාතය සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම් බඳුවූ පිණ්ඩපාතයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ, පිණ්ඩපාතය සේවනය කළයුතුයි.” “ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයද දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදී.

“ශාරිපුත්‍රය, මම සේනාසනයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළයුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. මෙය කුමක් නිසා වදාරණ ලදද?” “ස්වාමීනි, යම් බඳුවූ සේනාසනයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ, සේනාසනය සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම් බඳුවූ, සේනාසනයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ, සේනාසනය සේවනය කළයුතුයි” “ශාරිපුත්‍රය, මම සේනාසනයද දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණලදී.

“ශාරිපුත්‍රය, මම ගමද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළයුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී. මෙය කුමක් නිසා වදාරණ ලදද?” “ස්වාමීනි, යම්බඳුවූ, ගමක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ, ගම සේවනය නොකළ යුතුයි.” “ස්වාමීනිත යම් බඳුවූ ගමක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්දත කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ ගම සේවනය කළයුතුයි.” ශාරිපුත්‍රය, මම ගමද දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද, නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණලදී.

ශාරිපුත්‍රය, මම නිගමයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළයුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. මෙය කුමක් නිසා වදාරණ ලදද?” “ස්වාමීනි, යම් බඳුවූ නියම්ගමක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ, නියම්ගම සේවනය නොකළ යුතුයි.” “ස්වාමීනිත යම් බඳුවූ, යම් බඳුවූ නියම්ගමක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ, නියම්ගම සේවනය කළයුතුයි.” “ශාරිපුත්‍රය, මම නියම්ගමද දෙපරිදිකොට කියමි. සෙවියයුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණලදී.

“ශාරිපුත්‍රය, මම නගරයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙය කුමක් නිසා වදාරණ ලදද?” “ස්වාමීනි, යම් බඳුවූ, නගරයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ, නගරය සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම් බඳුවූ, නගරයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ, නගරය සේවනය කළයුතුයි.” “ශාරිපුත්‍රය, මම නගරයද දෙපරිදිකොට කියමි. සෙවියයුත්තද, නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදී.

“ශාරිපුත්‍රය, මම ජනපදයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙය කුමක් නිසා වදාරණ ලදද?” “ස්වාමීනිත යම්බඳුවූ, ජනපදයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද? කුශල ධර්මයෝ පිරිහෙත්ද? එබඳුවූ, නගරය සේවනය නොකළ යුතුයි. ස්වාමීනිත යම්බඳුවූ, ජනපදයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ, ජනපදය සේවනය කළයුතුයි.” “ශාරිපුත්‍රය මම ජනපදයද දෙපරිදිකොට කියමි. සෙවියයුත්තද, නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදී.

“ශාරිපුත්‍රය, මම පුද්ගලයාද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මෙය කුමක් නිසා වදාරණ ලදද?” “ස්වාමීනිත යම්බඳුවූ පුද්ගලයෙකු සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ, පුද්ගලයා සේවනය නොකළ යුතුයි. ස්වාමීනි, යම් බඳුවූ පුද්ගලයකු සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ, පුද්ගලයා සේවනය කළයුතුයි.” “ශාරිපුත්‍රය, මම පුද්ගලයාද දෙපරිදිකොට කියමි. සෙවියයුත්තද නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද, එය මේ සඳහා කියනලදී.”

‘ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ විස්තර වශයෙන් අරුත් නොබෙදූ මෙහි මෙසේ විස්තර වශයෙන් අදහස් දනිමි.”

“යහපත, යහපත ශාරිපුත්‍රය, ශාරිපුත්‍රවූ ඔබ මා විසින් සැකෙවින් ප්‍රකාශකළ විස්තර වශයෙන් අර්ථ නොබෙදූ මෙහි අර්ථය විස්තර වශයෙන් දන්නෙහිය. ශාරිපුත්‍රය, මම චීවරයද දෙපරිදිකොට කියමි. සෙවියයුත්තය නොසෙවිය යුත්තය කියායි. මෙසේ මා විසින් කියනලදි. මෙය කුමක් සඳහා කියනලදද? ශාරීපුත්‍රය, යම්බඳුවූ චීවරයක් සෙවුනහුට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද එබඳුවූ චීවරය සේවනය නොකළ යුතුයි. ශාරීපුත්‍රය, යම්බඳුවූ, චීවරයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශලධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ චීවරය සේවනය කළයුතුයි. ශාරිපුත්‍රය, මම චීවරයද දෙපරිදිකොට කියමි. සෙවියයුත්තද, නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් මා විසින් කියන ලදද, එය මේ සඳහා කියනලදී.

“ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද සේවනය නොකළයුත්තද කියායි. මෙසේ මෙය මා විසින් කියනලදී. මෙය කුමක් නිසා කියන ලදද? ශාරිපුත්‍රයත යම් බඳුවූ පිණ්ඩපාතයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ පිණ්ඩපාතය සේවනය නොකළයුතුයි. ශාරීපුත්‍රය, යම් බඳුවූ පිණ්ඩපාතයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ පිණ්ඩපාතය සේවනය කළයුතුයි. ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයද දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද, නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් මා විසින් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

“ශාරිපුත්‍රය, මම සෙනසුනද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය මා විසින් කියන ලදී. ශාරිපුත්‍රය, යම්බඳුවූ, සේනාසනයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ සේනාසනය සේවනය නොකළයුතුයි. ශාරිපුත්‍රය, යම් බඳුවූ, සේනාසනයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ සේනාසනය සේවනය කළයුතුයි. ශාරිපුත්‍රය, මම සේනාසනයද දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද, නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් මා විසින් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

“ශාරිපුත්‍රය, මම ගමද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙයා මා විසින් කියන ලදී. ශාරිපුත්‍රය, යම් බඳුවූ ගමක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ ගම සේවනය නොකළ යුතුයි. ශාරිපුත්‍රය, යම් බඳුවූ ගමක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ ගම සේවනය කළයුතුයි. ශාරීපුත්‍රය, මම ගම දෙපරිදිකොට කියමි. සෙවියයුත්තද, නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් මා විසින් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

“ශාරිපුත්‍රය, මම නියම්ගමද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය මා විසින් කියන ලදී. ශාරීපුත්‍රය, යම් බඳුවූ, නියම්ගමක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ නියම්ගම සේවනය නොකළ යුතුයි. ශාරීපුත්‍රය, යම් බඳුවූ නියම්ගමක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ ගම සේවනය කළයුතුයි. ශාරීපුත්‍රය, මම නියම්ගමද දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද, නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් මා විසින් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

‘ශාරීපුත්‍රය, මම නගරයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය මා විසින් කියන ලදී. ශාරීපුත්‍රය, යම් බඳුවූ, නගරයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද, කුශල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ නගරය සේවනය නොකළයුතුයි. ශාරීපුත්‍රය, යම් බඳුවූ, නගරයක් සේවනය කරන්නාට අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුසල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ, නගරය සේවනය කළයුතුයි. ශාරීපුත්‍රය, මම නගරයද දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද, නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් මා විසින් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

“ශාරිපුත්‍රය, මම ජනපදයද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය මා විසින් කියන ලදී. ශාරිපුත්‍රය, යම් බඳුවූ, ජනපදයක් සේවනය කරන්නාට අකුසල ධර්මයෝ වැඩෙත්ද, කුසල ධර්මයෝ පිරිහෙත්ද, එබඳුවූ, ජනපදය සේවනය නොකළ යුතුයි. ශාරිපුත්‍රය, යම් බඳුවූ, ජනපදයක් සේවනය කරන්නාට අකුසල ධර්මයෝ පිරිහෙත්ද, කුසල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ, ජනපදය සේවනය කළයුතුයි. ශාරිපුත්‍රය, මම ජනපදයද දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද, නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් මා විසින් කියන ලදද, එය මේ සඳහා කියන ලදී.

“ශාරිපුත්‍රය, මම පුද්ගලයාද දෙපරිදිකොට කියමි. සේවනය කළයුත්තද, සේවනය නොකළ යුත්තද කියායි. මෙසේ මෙය මා විසින් කියන ලදී. ශාරිපුත්‍රය, යම් බඳුවූ, පුද්ගලයෙකු සේවනය කරන්නාට අකුශල ධර්මයෝ වැඩෙත්ද? කුසල ධර්මයෝ පිරිහෙත්ද? එබඳුවූ, පුද්ගලයා සේවනය නොකළ යුතුයි. ශාරිපුත්‍රය, යම්බඳුවූ, පුද්ගලයෙකු සේවනය කරන්නාට අකුසල ධර්මයෝ පිරිහෙත්ද, කුසල ධර්මයෝ වැඩෙත්ද, එබඳුවූ පුද්ගලයා සේවනය කළයුතුයි. ශාරීපුත්‍රය, මම පුද්ගලයාද දෙපරිදිකොට කියමි. සෙවිය යුත්තද, නොසෙවිය යුත්තද කියායි. මෙසේ යමක් මා විසින් කියන ලදද එය මේ සඳහා කියන ලදී.

“ශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් වදාළ විස්තර වශයෙන් අරුත් නොබෙදූ මෙහි විස්තර වශයෙන් අර්ථය මෙසේ දතයුතු

“ශාරිපුත්‍රය, ඉදින් සියලු ක්ෂත්‍රියයෝ මා විසින් සැකෙවින් කී විස්තර වශයෙන් අර්ථ නොබෙදූ මෙහි අදහස විස්තර වශයෙන් දන්නාහුනම් ඒ සියළු ක්ෂත්‍රියයින්ට මෙය බොහෝ කාලයක් හිත සුව පිණිස වන්නේය.

“ශාරිපුත්‍රය, ඉදින් සියළු බ්‍රාහ්මණයෝ මා විසින් කෙටියෙන් කී, විස්තර වශයෙන් අර්ථය නොබෙදූ, මෙහි අදහස විස්තර වශයෙන් දන්නාහුනම් ඒ සියලු බ්‍රාහ්මණයින්ට මෙය බොහෝ කාලයක් හිත සුව පිණිස වන්නේය.

“ශාරිපුත්‍රය, ඉදින් සියලු වෛශ්‍යයෝ මා විසින් කෙටියෙන් කී, විස්තර වශයෙන් අර්ථය නොබෙදූ, මෙහි අදහස විස්තර වශයෙන් දන්නාහුනම් ඒ සියලු වෛශ්‍යයින්ට මෙය බොහෝ කාලයක් හිත සුව පිණිස වන්නේය.

“ශාරිපුත්‍රය, ඉදින් සියලු ක්ෂුද්‍රයෝ මා විසින් කෙටියෙන් කී, විස්තර වශයෙන් අර්ථය නොබෙදූ, මෙහි අදහස විස්තර වශයෙන් දන්නාහුනම් ඒ සියලු ක්ෂුද්‍රයින්ට මෙය බොහෝ කලක් හිතසුව පිණිස වන්නේය.

“ශාරිපුත්‍රය, ඉදින් දෙවියන් මරුන් බඹුන් මහණ බමුණන් සහිත ලොකය දෙවිමිනිසුන් සහිත සත්වයෝ මා විසින් සැකෙවින් වදාළ විස්තර වශයෙන් අර්ථ නොබෙදූ මෙහි අදහස විස්තර වශයෙන් දන්නේ නම් දෙවියන් මරුන් බඹුන් මහණ බමුණන් සහිත ලොකයට දෙවිමිනිසුන් සහිත ප්‍රජාවට බොහෝ කාලයක් හිත සුව පිණිස වන්නේය”යි වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනාකළ සේක. සතුටුවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ කථාවට බෙහෙවින් සතුටු වූහ.

සතර වෙනි සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍රය නිමි. (2-4)