මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

3. සුඤ්ඤත වර්ගය

121. චූල සුඤ්ඤත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල මිගාරමාතු පාසාද නම් ලත් පූර්වාරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසක හුන්නේය. එකත් පසක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය.

“භාග්‍යවතුන් වහන්ස, එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි නාගරක නම් ශාක්‍යයන්ගේ නියම්ගම යම් තැනෙක්හිද එහි වැඩ වාසය කරණසේක. ස්වාමීනි, එහිදී මවිසින් භාග්‍යවතුන් වහන්සේගෙන් ‘ආනන්දය මම දැන් වනාහි සූන්‍යතා විහරණයෙන් බහුලව වාසය කරමි’ යන මෙය අසන ලදී. පිළිගන්නා ලදී. කිමෙක්ද ස්වාමීනි, එය මා විසින් මනා කොට අසන ලද්දක්ද? මනාකොට ඉගෙන ගන්නා ලද්දක්ද? මනාකොට මෙනෙහි කරන ලද්දක්ද? මනාකොට දරණ ලද්දක්ද?

“ආනන්දය, නුඹ විසින් මෙය ඒකාන්තයෙන් මනා කොට අසන ලද්දේය. මනාකොට ඉගෙන ගන්නා ලද්දේය. මනාකොට මෙනෙහි කරණ ලද්දේය. මනාකොට දරණ ලද්දේය. ආනන්දය මම පෙරද දැන් ද සූන්‍යතා විහරණයෙන් බහුලව වාසය කරමි. මේ මිගාරමාතු ප්‍රාසාදය යම්සේ ඇත් ගව අස් වෙළඹුන්ගෙන් සූන්‍යද, රන්රිදියෙන් සූන්‍යද, ස්ත්‍රී පුරුෂයන් රැස්ව සිටීමෙන් සූන්‍යද, භික්ෂු සංඝයා නිසා පවත්නා යම් මේ අසූන්‍යත්වයක් වේද, ඒ එකම අසූන්‍යත්වය ඇත්තේය. ආනන්දය, එපරිද්දෙන්ම මහණතෙම ගමය යන හැඟීම මෙනෙහි නොකොට මිනිසුන්ය යන හැඟීම මෙනෙහි නොකොට අරණ්‍යය යන එකම හැඟීම මෙනෙහි කෙරේද, ඔහුගේ සිත අරණ්‍ය යන හැඟීමෙහි බැසගනී, පහදී, මනාව පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැනගනී. ගමය යන හැඟීම නිසා ඇතිවන යම් කෙලෙස් දැවිලි වෙත්නම්, ඔව්හු මේ අරණ්‍ය යන හැඟීමෙහි නැත. මිනිසුන්ය යන හැඟීම නිසා ඇතිවන යම් කෙලෙස් දැවිලිවන්නාහුනම් ඔව්හු මේ අරණ්‍ය යන හැඟීමෙහි නැත. එකම අරණ්‍ය යන හැඟීම නිසා යම් මේ කෙලෙස් දැවිල්ලක් ඇත්නම් එපමණක්ම ඇත්තේය. හෙතෙම ගමය යන හැඟීමෙන් වන්නාවූ කෙලෙස් දැවිල්ලෙන් සූන්‍යයයි දැනගනියි. මිනිසුන්ය යන හැඟීමෙන් වන්නාවූ කෙලෙස් දැවිල්ලෙන් සූන්‍යයයි දැනගනියි. අරණ්‍ය සංඥාව නිසා පවත්නාවූ යම් එකම කෙලෙස් දැවිලි මාත්‍රයක්ම ඇත්තේයයි. දැනගනියි. මෙසේ යම්කිසි කෙලෙස් දැවිල්ලක් නැත්නම් එයින් එය සූන්‍යයයි නුවණැසින් දකී. යම්කිසි කෙලෙස් දැවිල්ලක් වේනම් ඒ ශාන්තවූ ක්ලේශ දරථයම ඇත්තේයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ මේ සූන්‍යත්වය ඇතිවෙයි.

“ආනන්දය, නැවතද මහණතෙම මිනිසුන් යන හැඟීම මෙනෙහි නොකොට අරණ්‍යය යන හැඟීම මෙනෙහි නොකොට පඨවී (පොළොව) යන එකම හැඟීම මෙනෙහි කෙරේද, ඔහුගේ සිත පොළොව යන හැඟීමෙහි බැසගනී, පහදී, පිහිටයි. ස්ථිරව පිහිටයි. ආනන්දය, යම්සේ, වෘෂභ හමක් (එනම් ගවයෙකුගේ හමක්) සිය ගණන් උලින් දිගහැර මොනවට රැලිරහිත කරන ලද්දේද ආනන්දය එපරිද්දෙන්ම මහණතෙම මේ පොළොවෙහි යම් උස්පහත් තැන්වේද, ගංගා කඳු හෙල් සහිතවේද, කණු කටු සහිතවේද, පර්වතයන්ගෙන් විසමද ඒ සියල්ල මෙනෙහි නොකොට එකම පොළොව යන හැඟීම මෙනෙහි කෙරේද, ඔහුගේ සිත පොළොව යන හැඟීමෙහි බැසගනී, පහදී, සිටී, ස්ථිරව පිහිටයි, හෙතෙම මෙසේ දැනගනී. මනුෂ්‍ය සංඥාව නිසාවූ යම් ක්ලේශ දැවිලි වන්නාහු නම්, ඔව්හු මේ පොළොවෙහි නැත. අරණ්‍යය යන හැඟීම නිසා පවත්නාවූ යම් ක්ලේශ දැවිල්ලක් ඇත්නම් එයද මේ පොළොවෙහි නැත. පොළොව යන හැඟීම නිසා පවත්නා එකම ක්ලේශ දරථ මාත්‍රයක්ම ඇත්තේය. හෙතෙම මේ සංඥාව මනුෂ්‍ය සංඥාවෙන් සූන්‍යයයි දැනගනී මේ සංඥාව අරණ්‍ය සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. පෘථිවි සංඥාව නිසා පවත්නාවූ යම් එකම අසූන්‍යත්වයක් වේනම් එයම ඇත්තේයයි දැනගනී. මෙසේ එහි කෙලෙස් දැවිල්ලක් නොවේ නම් එයින් එය සූන්‍යයයි දකී. යම් කිසි කෙලෙස් දැවීම් මාත්‍රයක් එහි ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදු මේ සූන්‍යතාවය ඇතිවෙයි.

“ආනන්දය, නැවතද මහණතෙම අරණ්‍ය සංඥාව මෙනෙහි නොකොට පෘථිවි සංඥාව මෙනෙහි නොකොට එකම ආකාසානඤ්චායතන සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත ආකාසානඤ්චායතන සංඥාවෙහි බැසගනී, පහදී, පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැනගනී, අරණ්‍ය සංඥාව නිසාවූ යම් කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු ආකාසානඤ්චායතනයෙහි නැත. පෘථිවි සංඥාව නිසාවූ යම් කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු ආකාසානඤ්චායතනයෙහි නැත. එකම ආකාසානඤ්චායතන සංඥාව නිසා පවත්නාවූ යම් ක්ලේශ දැවිලි මාත්‍රයක් ඇත්තේ නම් එයම ඇත්තේය. හෙතෙම මේ සංඥාව අරණ්‍ය සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. මේ සංඥාව පෘථිවි සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. යම් මේ ආකාසානඤ්චායතනය නිසාවූ එකම අසූන්‍ය තාවයක්වේ නම් එයම ඇත්තේය. මෙසේ එහි යම් කෙලෙස් දැවීම් මාත්‍රයක් නොවේ නම් එයින් එය සූන්‍යයයි නුවණැසින් දකී. යම්කිසි දරථ මාත්‍රයක් එහි ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සූන්‍යතාවය, ඇතිවෙයි.

“ආනන්දය, නැවතද මහණතෙම පෘථිවි සංඥාව මෙනෙහි නොකොට ආකාසානඤ්චායතන සංඥාව මෙනෙහි නොකොට එකම විඤ්ඤාණඤ්චායතන සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත විඤ්ඤාණඤ්චායතන සංඥාවෙහි බැස ගනී, පහදී, පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැන ගනී. කෙසේද පෘථිවි සංඥාව නිසාවූ යම්කිසි කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු මේ විඤ්ඤාණඤ්චායතනයෙහි නැත. ආකාසානඤ්චායතන සංඥාව නිසාවූ යම්කිසි කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හුද මේ විඤ්ඤානඤ්චායතනයෙහි නැත. එකම විඤ්ඤාණඤ්චායතන සංඥාව නිසා පවත්නා යම් කෙලෙස් දැවීම් මාත්‍රයක් ඇත්නම් එයම ඇත්තේය. හෙතෙම මේ සංඥාව පෘථිවි සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. මේ සංඥාව ආකාසානඤ්චායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. විඤ්ඤාණඤ්චායතන සංඥාව නිසා පවත්නා යම් එකම අසූන්‍යත්වයක් වේනම් එයම ඇත්තේය. මෙසේ එහි යම් කෙලෙස් දැවිල්ලක් නොවේ නම් එයින් එය සූන්‍යයයි නුවණැසින් දකී. යම්කිසි කෙලෙස් දැවීම් මාත්‍රයක් ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ, වෙනස් නොවූ, පිරිසිදුවූ සූන්‍යතාවය ඇතිවෙයි.

“ආනන්දය, නැවත මහණතෙම ආකාසානඤ්චායතන සංඥාව මෙනෙහි නොකොට, විඤ්ඤාණඤ්චායතන සංඥාව මෙනෙහි නොකොට එකක්වූ ආකිඤ්චඤ්ඤායතන සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සංඥාවෙහි බැසගනී, පහදී, පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැනගනී. ආකාසානඤ්චායතන සංඥාව නිසාවූ යම් කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු මේ ආකිඤ්චඤ්ඤායතනයෙහි නැත. විඤ්ඤාණඤ්චායතන සංඥාව නිසාවූ කෙලෙස් දැවිලි වන්නාහු නම් ඔව්හු මේ ආකිඤ්චඤ්ඤායතනයෙහි නැත. එකම ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිසාවූ යම් කෙලෙස් දැවීමක් වේනම් එබඳු කෙලෙස් දැවීම් මාත්‍රයක් ඇත්තේය කියායි. හෙතෙම මේ සංඥාව ආකාසානඤ්චායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. මේ සංඥාව විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිසා පවත්නා යම් එකම අසූන්‍යත්වයක් වේ නම් ඒ අසූන්‍යතාවයම ඇත්තේයයි දැනගනී. මෙසේ එහි යම් කෙලෙස් දාහයක් නොවේ නම් එයින් එය සූන්‍යයයි නුවණැසින් දකී. යම් ක්ලේශ දාහයක් එහි ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සූන්‍යතාවය ඇතිවෙයි.

“ආනන්දය, නැවතද මහණතෙම විඤ්ඤාණඤ්චායතන සංඥාව මෙනෙහි නොකොට ආකිඤ්චඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට එකක්වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෙහි බැසගනී, පහදී, පිහිටයි, ස්ථිරව පිහිටයි හෙතෙම මෙසේ දැනගනී. විඤ්ඤාණඤ්චායතන සංඥාව නිසාවූ යම් ක්ලේශ දැවිලි වන්නාහු නම් ඔව්හු නේවසඤ්ඤානාසඤ්ඤායතන යෙහි නැත. ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිසාවූ යම් ක්ලේශ දැවිලි වන්නාහු නම් ඔව්හුද මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නැත. එකක්වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිසා පවත්නා යම් කෙලෙස් දැවිල්ලක් ඇත්නම් එයම ඇත්තේය කියායි. හෙතෙම මේ සංඥාව විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. මේ සංඥාව ආකිඤ්චඤ්ඤායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිසා පවත්නා යම් එකම අසූන්‍යත්වයක් වේනම් ඒ අසූන්‍යත්වය පමණක් ඇත්තේය. මෙසේ එහි යම් කෙලෙස් දැවීමක් නොවේ නම් එයින් එය සූන්‍යයයි නුවණැසින් දකී. යම් කෙලෙස් දැවීමක් එහි ඉතිරි වේ නම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සූන්‍යතාවය ඇතිවෙයි.

“ආනන්දය, නැවතද මහණතෙම ආකිඤ්චඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට එකක්වූ විදර්ශනා චිත්ත සමාධි සංඥාව මෙනෙහි කෙරේද, ඔහුගේ සිත විදර්ශනා චිත්ත සමාධියෙහි බැසගනී, පහදියි, පිහිටයි, ස්ථිරව සිටියි. හෙතෙම මෙසේ දැනගනී. ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිසාවූ යම් ක්ලේශ දාහයෝ වන්නාහු නම් ඒ ක්ලේශ දාහයෝ මේ විදර්ශනා චිත්ත සමාධියෙහි නැත. ජිවිතෙන්ද්‍රියය නිසා පවත්නා ෂඩායතනයෙන් යුක්තවූ සතරමහාභුතයන්ගෙන් හටගත් මේ කය නිසා පවත්නාවූ යම් දැවිලි වෙත් නම් එබඳු දැවීම් මාත්‍රයක්ම ඇත්තේය කියායි. හෙතෙම මේ සංඥාව ආකිඤ්චඤ්ඤායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. මේ සංඥාව නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෙන් සූන්‍යයයි දැනගනී. යම් මේ ජීවිතෙන්ද්‍රියය නිසා පවත්නා ෂඩායතනයෙන් යුත් මේ කය නිසාවූ යම් එකම අසූන්‍යතාවයක් වේ නම් එබඳු අසූන්‍යතාවයක්ම ඇත්තේය. මෙසේ එහි යම් ක්ලේශ දැවීම් මාත්‍රයක් නොවේ නම් එයින් එය සූන්‍යයයි දකී. යම් දැවීම් මාත්‍රයක් වනාහි එහි ඉතිරි වේනම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සූන්‍යතාවය ඇතිවෙයි.

“ආනන්දය, නැවතද මහණතෙම ආකිඤ්චඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව මෙනෙහි නොකොට එකක්වූ විදර්ශනා චිත්ත සමාධිය මෙනෙහි කෙරේද, ඔහුගේ සිත විදර්ශනා චිත්ත සමාධියෙහි බැසගනී, පහදියි, පිහිටයි, ස්ථිරව පිහිටයි. හෙතෙම මෙසේ දැනගනී. මේ විදර්ශනා චිත්ත සමාධිය ප්‍රත්‍යය කරණකොට හටගන්නා ලද්දේය. සිතින් උපදින ලද්දේය. ප්‍රත්‍යයෙන් හටගන්නාලද සිතින් උපදිනලද යම් කිසිවක් වේනම් එය අනිත්‍යය. නිරුද්ධවන ස්වභාව ඇත්තේයයි දැන ගනී. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදෙයි භවාශ්‍රවයෙන්ද සිත මිදෙයි. අවිද්‍යාශ්‍රවයෙන්ද සිත මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි දැනගැනීම ඇතිවෙයි. උත්පත්තිය ක්ෂයවිය. බඹසර (බ්‍රහ්මචර්‍ය්‍යාව) වැස නිමවන ලදී. කටයුතු සියල්ල නිමකරණ ලදී. මින්පසු කළයුතු කිසිවක් නැතැයි දැනගනී. හෙතෙම මෙසේ දැනගනී. කාමාශ්‍රවයන් නිසාවූ යම් ක්ලේශ දාහයෝ වන්නාහු නම් ඔව්හු මේ ආර්‍ය මාර්ගයෙහි හා ඵලයෙහි නැත. භවාශ්‍රවයන් නිසාවූ යම් ක්ලෙශ දාහයෝ වන්නාහු නම් ඔව්හුද මෙහි නැත. අවිද්‍යාශ්‍රවය නිසාවූ යම් ක්ලෙශ දාහයෝ වන්නාහු නම් ඔව්හුද මෙහි නැත. ජිවිතෙන්ද්‍රියය නිසා පවත්නා ෂඩායතනයෙන් යුත් මේ කය නිසාවූ යම් දැවීම් මාත්‍රයක් වේ නම් ඒ දැවීම් මාත්‍රයම ඇත්තේය. හෙතෙම මේ සංඥාව කාමාශ්‍රවයෙන් සූන්‍යයයිද දැනගනී. මේ සංඥාව භවාශ්‍රවයෙන් සූන්‍යයයිද දැනගනී. මේ සංඥාව අවිද්‍යාශ්‍රවයෙන් සූන්‍යයයිද දැන ගනී. ජිවිතේන්ද්‍රියය නිසා පවත්නා ෂඩායතනයෙන් යුත් මේ කය නිසාවූ යම් එකම අසූන්‍යත්වයක් වේද, ඒ අසූන්‍යත්වයම ඇත්තේයයි දැනගන මෙසේ යමක් එහි නැති නම් එයින් එය සූන්‍යයයි දකී. එහි යමක් ඉතිරි නම් එය ශාන්තයයි දැනගනී. ආනන්දය, ඔහුට මෙසේ විද්‍යමානවූ වෙනස් නොවූ පිරිසිදුවූ සියල්ලට ශ්‍රෙෂ්ඨවූ සූන්‍යතාවය ඇතිවෙයි.

“ආනන්දය, ඉකුත් කාලයෙහි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ පිරිසිදුවූ සියල්ලට ශ්‍රෙෂ්ඨවූ, ඵලසමාපත්තියට පැමිණ වාසය කළාහු නම් ඒ සියල්ලෝ මේ පිරිසිදු ඉතා උතුම් ඵලසමාපත්තියට පැමිණ වාසය කළාහුය. ආනන්දය, මතු කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ පිරිසිදුවූ, ඉතා උතුම්වූ පල සමවතට පැමිණ වාසය කරන්නාහු නම් ඒ සියල්ලෝම පිරිසිදුවූ, ඉතා උතුම්වූ, මේ ඵල සමවතට පැමිණ වාසය කරන්නාහුය. ආනන්දය, දැන් මේ කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ පිරිසිදු, අතිඋතුම් ඵලසමවතට පැමිණ වාසය කරත්නම් ඒ සියල්ලෝම මේ පිරිසිදු ඉතා උතුම් ඵලසමවතට පැමිණ වාසය කරති. ආනන්දය, එහෙයින් මෙහිදී පිරිසිදුවූ, ඉතා උතුම් පලසමවතට පැමිණ වාසය කරන්නෙමුයි. ආනන්දය, මෙසේ තොප විසින් හික්මිය යුතුයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිතැති ආනන්ද ස්ථවිරයන් වහන්සේ දෙශනාව සතුටින් පිළිගත්තෝය.

පළමුවෙනි චූල සුඤ්ඤත සූත්‍රය නිමි. (3-1)