මජ්ඣිම නිකාය
උපරි පණ්ණාසය
3. සුඤ්ඤත වර්ගය
122. මහා සුඤ්ඤත සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි, කිඹුල්වත් පුරයේ නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පා සිවුරු ගෙන කිඹුල්වත් පුරයට පිඬු පිණිස වැඩිසේක. කිඹුල්වත් පුරයෙහි පිඬු පිණිස හැසිර, බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුණේ “කාලඛෙමක” නම් ශාක්‍යයාගේ විහාරය යම්තැනකද, එහි දවල් කාලයෙහි විසීම පිණිස වැඩිසේක. ඒ කාලයෙහි “කාලඛේමක ශාක්‍යයාගේ විහාරයෙහි පනවන ලද බොහෝ අසුන් වූහ. භාග්‍යවතුන් වහන්සේ කාලඛේමක ශාක්‍යයාගේ විහාරයෙහි පනවන ලද බොහෝ අසුන් දුටහ. දැක, භාග්‍යවතුන් වහන්සේට මේ අදහස විය. “කාලඛේමක” ශාක්‍යයාගේ විහාරයෙහි බොහෝ සෙනසුන් පනවන ලද්දාහුය. එහි බොහෝ භික්ෂූහු වාසය කෙරෙත්ය’යි කියායි.
එසමයෙහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බොහෝ භික්ෂුන් සමග “ඝටා” නම් ශාක්‍යයාගේ විහාරයෙහි සිවුරු මැසීම කරයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැඟිට “ඝටා” නම් ශාක්‍යයාගේ විහාරය යම් තැනකද එහි වැඩිසේක. වැඩ පනවන ලද ආසනයෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකළසේක. “ආනන්දය, ‘කාලඛේමක” ශාක්‍යයාගේ විහාරයෙහි බොහෝ සෙනසුන් පනවන ලද්දාහුය. මෙහි බොහෝ භික්ෂුහු වාසය කරද්දැයි ඇසූහ.
“ස්වාමීනි, කාලඛේමක නම් ශාක්‍යයාගේ විහාරයෙහි බොහෝ සෙනසුන් පනවන ලද්දාහුය. මෙහි බොහෝ භික්ෂූහු වාසය කරත්. ස්වාමීනි, අපගේ සිවුරු මසන කාලය වේයයි කීය.”
“ආනන්දය, බොහෝ දෙනා සමග එක්ව විසීමට සතුටු එක්ව විසීමට කැමති එක්ව විසීමෙහි යෙදුණු නොයෙක් දෙනා සමග එක්ව විසීමෙහි ඇළුණු එක්ව විසීමට කැමති එක්ව විසීමට සතුටු මහණතෙමේ නොහොබනේය. බොහෝ දෙනා සමග එක්ව විසීමට සතුටු එක්ව විසීමෙහි ඇළුණු එක්ව විසීමෙහි යෙදුණු නොයෙක් දෙනා සමග එක්ව විසීමෙහි ඇළුණු එක්ව විසීමෙහි කැමති මහණතෙමේ යම් ඒ කාමයෙන් නික්මීමේ සැපයක් වේද, කාමයෙන් වෙන්වීමේ සැපයක්වේද, රාගාදීන්ගේ සංසිඳීම පිණිස පවත්නා සැපයක් වේද, මාර්ගාවබෝධය පිණිස පවත්නා සැපයක් වේද, ඒ සැපය කැමතිසේ ලබන්නෙක් නිදුකින් ලබන්නෙක් මහත්සේ ලබන්නෙක් වන්නේය යන මෙය සිදු වීමට කරුණු නැත.
“ආනන්දය, යම් ඒ භික්ෂුවක් හුදකලාවූයේ සමූහයාගෙන් වෙන්ව වාසය කෙරේද, ඒ භික්ෂුව විසින් මෙය කැමති වියයුතුයි. එනම් යම් ඒ කාමයෙන් හික්මීමේ සැපයක් වේද, කාමයෙන් වෙන්වීමේ සැපයක් වේද, රාගාදීන්ගේ සංසිඳීම පිණිස පවත්නා සැපයක් වේද, මාර්ගාවබෝධය පිණිස පවත්නා සැපයක් වේද, ඒ සැපය කැමතිසේ ලබන්නෙක් නිදුකින් ලබන්නෙක් මහත්සේ ලබන්නෙක් වන්නේය යන මේ කරුණ සිදුවන්නේය. ආනන්දය, ඒ භික්ෂුව ඒකාන්තයෙන් බොහෝදෙනා සමග එක්ව විසීමට කැමති වූයේ එක්ව විසීමෙහි ඇළුනේ එක්ව විසීමෙහි යෙදුනේ නොයෙක් දෙනා සමග එක්ව විසීමෙහි කැමති වූයේ එක්ව විසීමෙහි ඇළුනේ එක්ව විසීමෙහි යෙදුනේ වේද, හෙතෙම මනාපවූ කලෙක කෙලෙසුන්ගෙන් මිදුනු රූපාරූපාවචර චිත්ත සමාධියට හෝ ක්ලේශයන්ගෙන් කුපිත කළ නොහැකි ඒකාන්තයෙන් ක්ලේශයන්ගෙන් මිදීමට හෝ පැමිණ වාසය කරන්නේය යන මීට කරුණු නැත.
“ආනන්දය, යම් ඒ භික්ෂුවක් හුදකලාව සමූහයාගෙන් වෙන්ව වාසය කෙරේ නම් ඔහු විසින් මෙය කැමති විය’ යුතුයි. එනම් මනාපවූ කලෙක කෙලෙසුන්ගෙන් මිදුනු රූපාරූපාවචර චිත්ත සමාධියට හෝ කෙලෙසුන්ගෙන් කුපිත කළ නොහැකි ඒකාන්තයෙන් කෙලෙසුන්ගෙන් මිදීමට හෝ පැමිණ වාසය කරන්නේය යන මීට කරුණු ඇත්තේය, ආනන්දය, යම්කිසි රූපයක රාග වශයෙන් ඇළුනේද, යම් රූපයක වෙසෙසින් ඇළුනේද, ඒ රූපයාගේ නැති වීමෙන් වෙනස් වීමෙන් ශෝකය, වැළපීමය, දුක්ය, දොම්නස්ය දැඩි ආයාසය, යන මොව්හු නූපදින්නාහු නම් එබඳු එක් රූපයකුදු මම නොදක්නෙමි.
“ආනන්දය, රූපාදි සියලු නිමිති මෙනෙහි නොකරන්නාවූ සුඤ්ඤත ඵල සමාපත්ති (අර්හත් ඵල සමාපත්ති) අරමුණට පැමිණ වාසය කෙරේය යන යමක් වේ නම් ඒ මේ විහරණය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. ආනන්දය, මේ විහරණයෙන් යුක්තව වාසය කරණ ඒ තථාගත භාග්‍යවතුන් වහන්සේ කරා භික්ෂූහුද, භික්ෂුණීහුද, උපාසකයෝද, උපාසිකාවෝද, රජවරුද, රජමහඇමතිහුද, තීර්ථකයෝද, තීර්ථක ශ්‍රාවකයෝද, පැමිණෙන්නාහුය. ආනන්දය, තථාගතයන් වහන්සේ ඒ පිරිස මැද සිටියේ නිර්වාණයට නැමුණු නිර්වාණයට අවනතවූ නිර්වාණයට බරවූ ක්ලේශයන්ගෙන් වෙන්වූ, හික්මීමෙහි ඇළුනු, සිතින් යුක්තව මුළුමනින් කෙලෙසුන්ට කරුණුවූ ධර්මයන්ගෙන් වෙන්ව පිරිස පිටත් කරන්නාවූ කථාවක්ම කරන්නේවෙයි. ආනන්දය, එහෙයින් මෙහිදී මහණතෙමේද සුඤ්ඤත ඵල සමාපත්ති අරමුණට පැමිණ වාසය කරන්නෙමියි කැමති වන්නේ නම් ආනන්දය, ඒ භික්ෂුව විසින් භාවනා රම්මණයෙහිම සිත මොනවට තැබිය යුතුයි. මොනවට පිහිටුවා ගත යුතුයි. එකඟකළ යුතුයි. එක අරමුණක පිහිටුවා ගත යුතුයි.
“ආනන්දය, භික්ෂුතෙම කෙසේ නම් සිත භාවනා අරමුණෙහිම තබාද? පිහිටුවයිද? එකඟ කරයිද? එක අරමුණක පිහිටුවයිද? ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමාතුළ පැහැදීම ඇති කරන්නාවූ චිත්තයාගේ එකඟ බව ඇති කරන්නාවූ විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සැප ඇති, ද්වීතිය ධ්‍යානයට පැමිණ වාසයකරයිද, ප්‍රීතියගේද නොඇල්මෙන් උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ, නුවණ ඇත්තේ, සැපයද කයින් විඳියි. ඒ යම් ධ්‍යානයක් ආර්‍ය්‍යයෝ උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේයයි වර්ණනා කරත්නම්, ඒ තෘතිය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, සැපය දුරු කිරීමෙන්ද, දුක්ඛය දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද, උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බැව් ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයිද,
“ආනන්දය, භික්ෂුතෙම මෙසේ භාවනාරම්මණයෙහි සිත තබයි, පිහිටුවයි, සමාධිය උපදවයි. හෙතෙම තම ස්කන්ධයන්ගේ සූන්‍යතාවය මෙනෙහි කෙරෙයි. තම ස්කන්ධයන්ගේ සූන්‍යතාවය මෙනෙහි කරන්නාවූ ඔහුට තමා පිළිබඳ සූන්‍යතාවයේ සිත නොබැස ගනී. නොපහදී. නොසිටී. මනාව නොපිහිටයි. ආනන්දය, එසේ ඇති කල්හි මහණ තෙමේ මෙසේ දැනගනියි, තම ස්කන්ධයන්ගේ සූන්‍යතාවය මෙනෙහි කරණ මාගේ සිත තමා පිළිබඳ සූන්‍යතාවයේ නොබැසගනී. නොපහදී. නොසිටී. ස්ථිරව නොපිහිටායයි දැනගනී. මෙහිදී කර්මස්ථානය සම්පූර්ණ නොවන බවද දැනගනී. හෙතෙම අන්‍යයන්ගේ ස්කන්ධ පිළිබඳ සූන්‍යතාවය මෙනෙහි කෙරේ. හෙතෙම තමාගේද අන්‍යයන්ගේද ස්කන්ධයන් පිළිබඳ සූන්‍යතාවය මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්තිය මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්තිය මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත අරූප සමාපත්තියෙහි බැස නොගනී. නොපහදී. නොසිටී. ස්ථීරව නොපිහිටයි.
“ආනන්දය, එසේ ඇතිකල්හි, මහණතෙම මෙසේ දැනගනී. ‘අරූපසමාපත්තිය මෙනෙහි කරන මාගේ සිත අරූප සමාපත්තියෙහි නොබැසගනී. ‘නොපහදී. නොසිටී. ස්ථිරව නොපිහිටයි, කියායි. මෙහි කර්මස්ථානය සම්පූර්ණ නොවන බව දැනගන්නේය. ආනන්දය, ඒ භික්ෂුව විසින් ඒ පළමු සමාධි නිමිත්තෙහි තම ස්කන්ධයන් පිළිබඳ සිත තැබිය යුතුයි, පිහිටුවාගත යුතුයි, එකඟ කළයුතුයි, සමාධිය ඉපදවිය යුතුයි. හෙතෙම තම ස්කන්ධයන් පිළිබඳ සූන්‍යත්වය මෙනෙහි කෙරෙයි. තම ස්කන්ධයන් පිළිබඳ සූන්‍යත්වය මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත තම ස්කන්ධයන් පිළිබඳ සූන්‍යතාවයේ බැසගනී. පහදියි, ස්ථිරව සිටියි.
“ආනන්දය, එසේ ඇති කල්හි, මහණතෙම මෙසේ දැනගනී. ‘තම ස්කන්ධයන් පිළිබඳ සූන්‍යත්වය මෙනෙහි කරන්නාවූ මාගේ සිත තම ස්කන්ධයන් පිළිබඳ සූන්‍යත්වයෙහි බැසගනී, පහදී, සිටී, ස්ථිරව පිහිටයි,’ කියායි. මෙසේ එහි කර්මස්ථානය සම්පූර්ණ නොවේයයි දැනගනී. හෙතෙම අන්‍යයන්ගේ ස්කන්ධ පිළිබඳ සූන්‍යතාවය මෙනෙහි කෙරෙයි. හෙතෙම තමාගේද අන්‍යයන්ගේද ස්කන්ධයන් පිළිබඳ සූන්‍යත්වය මෙනෙහි කෙරෙයි. හෙතෙම අරූප සමාපත්තිය මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්තිය මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත අරූප සමාපත්තියෙහි බැසගනී, පහදී, සිටී, ස්ථිරව පිහිටයි “ආනන්දය, මෙසේ ඇති කල්හි මහණතෙම මෙසේ දැනගනී. ‘අරූප සමාපත්තිය මෙනෙහි කරණ මාගේ සිත අරූපසමාපත්තියෙහි බැසගනියි, පහදී, සිටී, ස්ථිරව පිහිටයි,’ කියායි. මෙසේ මෙහිදී කර්මස්ථානය සම්පූර්ණ නොවේයයි දැනගනී.
“ආනන්දය, මේ සමථ විදර්ශනා විහරණයෙන් වාසය කරණ ඒ භික්ෂුවගේ සිත ඉදින් සක්මනට නැමෙයි නම් හෙතෙම සක්මන් කරයි. මෙසේ සක්මන් කරන ඔහුට අභිධ්‍යා දොම්නස් යන ලාමක අකුශලධර්ම පහළ නොවන්නාහුය. එහිදී මෙසේ ඒ කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනියි. ආනන්දය, මේ සමථ විදර්ශනා විහරණයෙන් යුක්තව වාසය කරණ භික්ෂුවගේ සිත ඉදින් සිටීමට නැමෙයි නම් හෙතෙම සිටී. මෙසේ සිටින ඔහුට අභිධ්‍යා දොම්නස් යන ලාමක අකුශල ධර්ම පහළ නොවන්නාහුය. මෙසේ එහිදී කර්මස්ථානය සම්පූර්ණයයි දැන ගනියි. ආනන්දය, මේ විහරණයෙන් යුක්තව වාසය කරන ඒ භික්ෂුවගේ සිත ඉදින් හිඳීම පිණිස නැමෙයි නම් හෙතෙම හිඳියි. මෙසේ හිඳින ඔහුට අභිධ්‍යා දොම්නස් යන ලාමක අකුශල ධර්මයෝ පහළ නොවන්නාහුය. මෙසේ එහිදී කර්ම ස්ථානය සම්පූර්ණයයි දැනගනී. ආනන්දය, මේ විහරණයෙන් වාසය කරන භික්ෂුවගේ සිත ඉදින් නිදීමට නැමෙයි නම් හෙතෙම නිදයි. මෙසේ සයනය කරන ඔහුට අභිධ්‍යා දොම්නස් යන ලාමක අකුශල ධර්ම පහළ නොවන්නාහුය. මෙසේ එහිදී කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනී
“ආනන්දය, මේ විහරණයෙන් යුක්තව වාසයකරන ඒ භික්ෂුවගේ සිත ඉදින් කථාවට නැමෙයි නම් හෙතෙමේ යම් කථාවක් ලාමකද, ග්‍රාම්‍යද, පෘථග්ජනයන්ට අයත්ද, අනාර්‍ය්‍යද අනර්ථයෙන් යුක්තද, කලකිරීම පිණිස නොපවතීද, නොඇල්ම පිණිස පවතීද, නිරෝධය පිණිස නොපවතීද, කෙලෙස් සංසිඳීම පිණිස නොපවතීද, විශෙෂ දැනීම පිණිස නොපවතීද, සම්‍යක් අවබොධය පිණිස නොපවතීද නිර්වාණය පිණිස නොපවතීද, එනම්: රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහ ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, වස්ත්‍ර පිළිබඳ කථාය සයන පිළිබඳ කථාය, මල්මාලා පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, යාන පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, ජනපද පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, සුරා පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, තොටුපලවල් පිළිබඳ කථාය, පෙර මළගියවුන් පිළිබඳ කථාය, නානත්වය පිළිබඳ කථාය, ලෝකය පිළිබඳ කථාය, (ලොකය මැවීම) මුහුද පිළිබඳ කථාය, ශාස්වත උච්ඡෙද පිළිබඳ කථාය, මෙසේ මෙබඳු කථා නොකරන්නෙමියි පිළිපදියි. මෙසේ එහි කර්මස්ථානය සම්පූර්ණ වීයයි දැනගනී.
“ආනන්දය, යම් ඒ කථාවක් කෙලෙස් කපා හරින්නීද, සිත විනිශ්චය කිරීමට සුදුසුද, ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳවීම පිණිස, විශෙෂ දැනීම පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීද, එනම්:- මද දෙයින් සතුටුවීම පිළිබඳ කථාය, ලද පමණින් සතුටුවීම පිළිබඳ කථාය, විවේකය පිළිබඳ කථාය බොහෝදෙනා එකතු නොවීම පිළිබඳ කථාය, පටන්ගන්නා ලද වීර්‍යය පිළිබඳ කථාය, ශීලය පිළිබඳ කථාය, සමාධිය පිළිබඳ කථාය, ප්‍රඥාව පිළිබඳ කථාය, විමුක්තිය පිළිබඳ කථාය, විමුක්ති ඥානදර්ශනය පිළිබඳ කථාය, යන මොහුය. මෙසේ මෙබඳුවූ කථා කරන්නෙමිය සිත නැමෙයි. මෙසේ එහි කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනී.
“ආනන්දය, මේ විහරණයෙන් යුක්තව වාසයකරන ඒ භික්ෂුවගේ සිත ඉදින් විතර්කයට නැමෙයි නම් හෙතෙම ලාමකවූ පෘථග්ජනයන්ට අයත්වූ පිළිබඳවූ ආර්‍යයන්ට අයත් නොවූ අනර්ථ සහිතවූ යම් මේ විතර්කයෝ වෙත් නම් (ඔව්හු) කලකිරීම් පිණිස නොපවතිත්ද, නොඇල්ම පිණිස නොපවතිත්ද, නිරෝධය පිණිස නොපවතිත්ද, සංසිඳීම පිණිස නොපවතිත්ද, විශෙෂ දැනීම පිණිස නොපවතිත්ද, අවබෝධය පිණිස නොපවතිත්ද, නිර්වාණය පිණිස නොපවතිත්ද, ඒ නම් කාමවිතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කයයි යන මොහුයි. මෙසේ මෙබඳු විතර්කයන් කල්පනා නොකරන්නේනෙමියි පිළිදියි මෙසේ එහිදී කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනී. “ආනන්දය, යම් මේ විතර්කයෝ පිරිසිදු වූවාහුද නෛර්‍ය්‍යානික වූවාහුද ඒ කරන්නහු මොනවට දුක් ක්ෂයකිරීම පිණිස පමුණුවන්නාහුද එනම්:-නෛෂ්ක්‍රම්‍ය විතර්කය අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්කය යන මොහුයි. මෙසේ මෙබඳු විතර්කයන් කල්පනා කරන්නෙමියි සිත නැමෙයි. මෙසේ එහි කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනී.
“ආනන්දය, මේ කාමගුණ පසකි. ඒ පස කවරහුද? චක්ෂුර්විඥානයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කැමතිවන්නාවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්ත ඇල්ම ඇතිකරන්නාවූ රූපයෙන්ද, ශ්‍රොත විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටටවූ, කමනීයවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්ත ඇල්ම ඇතිකරන්නාවූ ශබ්දයෙන්ද, ඝ්‍රාණ විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්ත ඇල්ම ඇතිකරන්නාවූ ගන්ධයෝද, ජිව්හා විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්ත ඇල්ම ඇතිකරන්නාවූ රසයෝද, කාය විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්ත ඇල්ම ඇතිකරන්නාවූ ස්පර්ශයෝද යන මොහු ආනන්දය, මේ පඤ්චකාම ගුණයෝ වෙති.
“භික්ෂුව විසින් යම් අරමුණක උපදින්නාවූ ස්වකීය චිත්තය නිතර ප්‍රත්‍යවෙක්ෂා කටයුතුයි. කෙසේද? මේ පඤ්ච කාම ගුණ අතුරෙන්, එක්තරා එක්තරා, අරමුණක සිත හැසිරීමක් ඇතිවේද? එබන්දක් මට ඇත්තේද කියායි. ආනන්දය, ඉදින් භික්ෂුතෙම ප්‍රත්‍යවෙක්ෂා කරන්නේ නම් පඤ්චකාම ගුණයන් අතුරෙන් එක්තරා, එක්තරා අරමුණක සිත හැසිරීමක් ඇතිවේද, එබන්දක් මට ඇත්තේයයි දැනගනීද. ආනන්දය, එසේ ඇති කල්හි මහණතෙම මෙසේ දැනගනී. ආනන්දය, එසේ ඇති කල්හි මහණතෙම මෙසේ දැනගනී. මේ පඤ්චකාම ගුණයන්හි යම්කිසි ඡන්දරාගයක් වේද, ඒ ඡන්දරාගය මා විසින් පහ නොකර ලද්දේය කියායි. මෙසේ එහි කර්මස්ථානය සම්පූර්ණ නැතැයි දැනගනී. ආනන්දය, ඉදින් වනාහි මහණතෙම ප්‍රත්‍යවෙක්ෂා කරන්නේ මෙ පඤ්චකාම ගුණයන් අතුරෙන් එක්තරා, එක්තරා අරමුණක චිත්තය හැසිරීමක් නොවේ යයි දැනගනීද, ආනන්දය, මෙසේ ඇතිකල්හි මහණතෙම මෙසේ දැනගනී. මේ පඤ්චකාම ගුණයන්හි යම් ඡන්දරාගයක් වේනම් මා විසින් එය පහකරනලදී කියායි. එහි කර්මස්ථානය සම්පූර්ණ යයි දැනගනී.
“ආනන්දය, භික්ෂුව විසින් යම් තැනක ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කටයුතුද එබඳු මේ උපාදානස්කන්ධ පසකි. රූපය මෙසේය, රූපයාගේ පහළවීම මෙසේය, රූපයාගේ විනාශය මෙසේය, වේදනාව මෙසේය, වේදනාවගේ හටගැන්ම මෙසේය, වේදනාවගේ විනාශය මෙසේය, සංඥාව මෙසේය, සංඥාවගේ හටගැන්ම මෙසේය, සංඥාවේ විනාශය මෙසේය, සංස්කාර මෙසේය, සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේය, සංස්කාරයන්ගේ විනාශය මෙසේය, විඥානය මෙසේය, විඥානයාගේ හටගැන්ම මෙසේය, විඥානයාගේ විනාශය මෙසේයයි මේ උපාදාන ස්කන්ධ පසේ ඇතිවීම සහ නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන ඔහුට උපාදාන ස්කන්ධ පසෙහි මම වෙමි යන යම් හැඟීමක් වේද, එය ප්‍රහීණ වෙයි. ආනන්දය, මෙසේ ඇතිකල්හි භික්ෂුතෙම මෙසේ දැනගනී. මේ උපාදානස්කන්ධ පසේ යම් මමය යන හැඟීමක් වේනම් එය මට ප්‍රහීනයයි යනුවෙනි. මෙසේ එහි කර්මස්ථානය සම්පූර්ණයයි දැනගනී. ආනන්දය, නුඹට ඒ මේ ධර්මයෝ ඒකාන්තයෙන් කුශල් වශයෙන් පැමිණියාහ, කෙලෙස් රහිතයහ, ලෝකෝත්තරයහ. මාරයා විසින් නොබැසගන්නා ලදහ.
“ආනන්දය, ඒ කුමකැයි හඟින්නෙහිද, කවර අර්ථයක් දක්නා ශ්‍රාවකතෙම වළකනලද නමුත් ශාස්තෘන් වහන්සේ අනුව යන්නට සුදුසු වේද?”
“ස්වාමීනි, ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තෝ නොවෙත්ද, භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැමිණීම ඇත්තෝ නොවෙත්ද, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තෝ නොවෙත්ද, මේ වචනයේ අර්ථය භාග්‍යවතුන් වහන්සේම ප්‍රකාශ කරනසේක්වා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරාගන්නාහුය.”
“ආනන්දය, යම් මේ සූත්‍රධර්මයක් වේද, ගාථා ධර්මයක් වේද, විස්තර ධර්මයක් වේද, ඒ සඳහා ශ්‍රාවකතෙමේ ශාස්තෘන් වහන්සේ අනුව යන්නට නුසුදුසුය. ඊට හේතු කවරේද? ආනන්දය, තොප විසින් බොහෝ කාලයක් මුලුල්ලෙහි ධර්මය අසන ලද්දාහුද, දරණ ලද්දාහුද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහුද, සිතින් සලකා බලන ලද්දාහුද, නුවණැසින් අවබෝධ කරණ ලද්දාහුද, එහෙත් ආනන්දය, යම් මේ කථාවක් කෙළෙසුන් කපාහරින්නීද සිත විනිශ්චය කිරීමට සුදුසුද ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශෙෂ දැනීම පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීද. එනම්:- මද දෙයින් සතුටුවීම පිළිබඳ කථාය, ලද පමණින් සතුටුවීම පිළිබඳ කථාය, විවේකය පිළිබඳ කථාය, බොහෝදෙනා එකතුවීම පිළිබඳ කථාය, වීරියාරම්භය පිළිබඳ කථාය, සීලය පිළිබඳ කථාය, සමාධිය පිළිබඳ කථාය, ප්‍රඥාව පිළිබඳ කථාය, විමුක්තිය පිළිබඳ කථාය, විමුක්තිඥාන දර්ශනය පිළිබඳ කථාය යන මොවුහුයි. ආනන්දය, මෙබඳු කථා හේතුකොටගෙණ ශ්‍රාවකතෙම වළක්වනලද නමුත් ශාස්තෘන් වහන්සේ අනුව යන්නට සුදුසුය.
“ආනන්දය, එසේ ඇති කල්හි ආචාර්‍ය්‍යයා පිළිබඳ උපද්‍රව ඇතිවෙයි. එසේ ඇති කල්හි අතවැසියා පිළිබඳ උපද්‍රව ඇතිවෙයි. එසේ ඇතිකල්හි බ්‍රහ්මචර්‍යාව පිළිබඳ උපද්‍රව ඇතිවෙයි.
“ආනන්දය, ආචාර්‍ය්‍යයා පිළිබඳ උපද්‍රවය කෙසේ වේද? ආනන්දය, මේ ලෝකයෙහි බාහිර ශාස්තෘවරයෙක් ජනගහණ නොවූ අරණ්‍ය සේනාසයක්, රුක් මුලක්, පර්වතයක්, කඳුරැලියක්, පර්වත ගුහාවක්, සොහොනක්, දුර වනසෙනසුනක්, එලිමහන් තැනක්, පිදුරුබිස්සක් සේවනය කරන්නේද, එසේ වෙන්ව වාසය කරණ ඔහු වෙත බ්‍රාහ්මණ ගෘහපතියෝද, නියම්ගම් වැසියෝද, ජනපද වාසීහුද පැමිණෙත්. පැමුණුනාවූ බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නියම්ගම් වැසියන් කෙරෙහිද, දනව් වැස්සන් කෙරෙහිද, හෙතෙම මුළාවෙයි. තෘෂ්ණා වශයෙන් කැමති වෙයි. දැඩි ඇල්මට පැමිණෙයි. ප්‍රත්‍ය බහුල බවට පෙරළෙයි. මේ තෙමේ අනතුරට පත් ආචාර්‍ය්‍ය තෙමේයයි කියනු ලැබේ. කෙලෙසීම ඇතිකරණ, නැවත ඉපදීම ඇතිකරණ, විඩා ඇතිකරණ, දුක් විපාක ඇති, මත්තෙහි ජරා මරණ ඇතිවන, ලාමක අකුශල ධර්මයෝ ආචාර්‍ය්‍ය උපද්‍රවයෙන් යුත් ඔහු මැරූහ. ආනන්දය මෙසේ ආචාර්‍ය්‍ය උපද්‍රවය වෙයි.
“ආනන්දය, අතවැසි උපද්‍රවය කෙසේ වේද? ආනන්දය, ඒ ශාස්තෘවරයාගේ ශ්‍රාවකතෙම ඒ ශාස්තෘවරයාට අනුව විවේකය වඩන්නේ ජනගහණ නොවූ අරණ්‍ය සේනාසනයක් රුක් මුලක්, පර්වතයක්, කඳුරැළියක්, පර්වත ගුහාවක්, සොහොනක්, දුර වන සෙනසුනක්, එලිමහන් තැනක්, පිදුරු බිස්සක් සෙවුනේද, එසේ විවේකව වාසය කරන ඔහු කරා බ්‍රාහ්මණ ගෘහපතියෝද, නියම්ගම් වැසියෝද, ජනපද වාසීහුද පැමිණෙත්. හෙතෙම බ්‍රාහ්මණ ගෘහපතියන්ද, නියම්ගම් වැසියන්ද, දනව් වැසියන්ද, පැමිණි කල්හි මුලාවෙයි. ආශාවෙන් කැමති වෙයි. දැඩි ඇල්මට පැමිණෙයි. ප්‍රත්‍ය බහුල බවට පෙරළෙයි. ආනන්දය, මෙතෙම උවදුරට පැමිණි අතවැසියායයි කියනු ලැබේ. කෙලෙසීම ඇතිකරණ, නැවත ඉපදීම ඇතිකරණ, දුක් විපාක ඇති, මතු ජාති ජරා මරණ ඇතිවන, ලාමක අකුශල ධර්මයෝ අතවැසි උවදුරෙන් යුත් ඔහු මැරූහ. ආනන්දය, මෙසේ අතවැසි උපද්‍රවය වෙයි.
ආනන්දය, බ්‍රහ්මචාරී උපද්‍රවය කෙසේ වේද? ආනන්දය, මේ ලෝකයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුත්, මනා ගති ඇති, තුන්ලොව දත්, නිරුත්තර, දමනය කළයුතු පුරුෂයන් දමනය කරන්නාවූ, දෙවිමිනිසුන්ට අනුශාසකවූ, චතුරාර්‍ය සත්‍යය අවබෝධ කළ භාග්‍යවත් තථාගත තෙමේ පහළ වෙයි. ඒ තථාගතතෙමේ ජනගහණය නැති සෙනසුනක් අරණ්‍යයක්, ගස්මුලක්, පර්වතයක්, කඳුරැලියක්, පර්වතගුහාවක් සොහොනක්, දුර වන සෙනසුනක්, එලිමහන් තැනක්, පිදුරු බිස්සක් සේවනය කරයි. එසේ විවෙකව වාසය කරණ තථාගතයන්වෙත බමුණු ගැහැවියෝද, නියම්ගම් වැසියෝද දනම් වැසියෝද පැමිණෙත්. තථාගතතෙමේ බමුණු ගැහැවියන්ද, නියම්ගම් වැසියන්ද, දනව් වැසියන්ද පැමිණි කල්හි මුළා නොවෙයි. තෘෂ්ණා වශයෙන් කැමති නොවෙයි. දැඩි ඇල්මට නොපැමිණෙත්. ප්‍රත්‍ය බහුලත්වයට නොපෙරළෙයි.
“ආනන්දය, ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකතෙම ඒ ශාස්තෘන් වහන්සේට අනුව විවේකය වඩන්නේ, ජනගහණය නැති සෙනසුනක්, අරණ්‍යයක්, ගස්මුලක්, පර්වතයක් කඳුරැලියක්, පර්වතගුහාවක්, සොහොනක්, දුර වනසෙනසුනක්, එළිමහන් තැනක්, පිදුරු බිස්සක් සේවනය කරයි. එසේ විවේකව වාසය කරන ඔහු වෙතට බ්‍රාහ්මණ ගෘහපතියෝද, නියම්ගම් වැසියෝද, දනව් වැස්සෝද පැමිණෙත්. හෙතෙමේ බ්‍රාහ්මණ ගෘහපතියන්ද, නියම්ගම් වැසියන්ද, දනව් වැසියන්ද පැමිණි කල්හි මූළාවෙයි. තෘෂ්ණා වශයෙන් කැමති වෙයි. දැඩි ඇල්මට පැමිණෙයි. ප්‍රත්‍ය බහුල බවට පෙරළෙයි.
“ආනන්දය, මෙතෙමේ උවදුරට පත් බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තේයයි කියනු ලැබේ, කෙලෙසීම ඇතිකරණ, නැවත නැවත ඉපදීම් ඇතිකරණ, විඩා ඇතිකරණ, දුක් විපාක ඇති, මතු ජාති ජරා මරණ ඇතිවන, ලාමක අකුශල ධර්මයෝ බ්‍රහ්මචාරී උපද්‍රවයෙන් යුත් ඔහු මැරූහ. ආනන්දය, බ්‍රහ්මචාරී උපද්‍රවය මෙසේ වෙයි.
“ආනන්දය, එහි යම් මේ ආචාර්‍ය්‍ය උපද්‍රවයක් වේද යම් අන්තෙවාසික උපද්‍රවයක් වේද, මේ බ්‍රහ්මචාරී උපද්‍රවය ඔවුනට වඩා අතිශයින් දුක් විපාක ඇත්තේද, අතිශයින් විපාක ඇත්තේද වෙයි. තවද නිරයෙහි ඉපදීම පිණිස පවතී.
ආනන්දය, එහෙයින් මා මිත්‍රභාවයෙන් ආශ්‍රය කරව්. සතුරුකමින් ආශ්‍රය නොකරව්. එය තොපට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වන්නේය.
“ආනන්දය, කෙසේ නම් ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේ සතුරුකමින් ඇසුරු කෙරෙත්ද? මිත්‍රභාවයෙන් ඇසුරු නොකෙරෙත්ද? ආනන්දය, මේ ශාසනයෙහි ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇතුව, හිතවත්ව, මෙය තොපට හිත පිණිසය, මෙය තොපට සැප පිණිසයයි අනුකම්පාවෙන් ශ්‍රාවකයන්ට දහම් දෙසයි. උන්වහන්සේගේ කීම ශ්‍රාවකයෝ ඇසීමට කැමති නොවෙත්. කන් යොමු නොකෙරෙත්. දැනීම පිණිස සිත නොපිහිටුවත්. ශාස්තෘ ශාසනයෙන් බැහැරව පවතිත්. ආනන්දය, මෙසේ වනාහි ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේට සතුරුව හැසිරෙත්. මිත්‍රත්වයෙන් ඇසුරු නොකරත්.
“ආනන්දය, කෙසේ නම් ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේ මිත්‍රත්වයෙන් ඇසුරු කරත්ද? සතුරුකමින් ඇසුරු නොකෙරෙත්ද? ආනන්දය, මේ ශාසනයෙහි ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇතියේ හිතවත්ව මේ තොපට හිත පිණිස, සැප පිණිස යයි අනුකම්පාවෙන් ශ්‍රාවකයන්හට දහම් දෙසයි. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ එය අසනු කැමති වෙති. කන් යොමත්. දැනීම සඳහා සිත පිහිටුවත්. ශාස්තෘ ශාසනයෙන් ඉවත් නොව පවතිත්. ආනන්දය, මෙසේ වනාහි ශ්‍රාවකයෝ ශාස්තෘන්වහන්සේ මිත්‍රත්වයෙන් ඇසුරු කෙරෙත්. සතුරුකමින් ඇසුරු නොකරත්. ඒ නිසා මිත්‍රත්වයෙන් මා ආශ්‍රය කරව්. සතුරුකමින් ආශ්‍රය නොකරව්. එය තොපට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස පවත්නේය. ආනන්දය, කුඹල්කරු තෙම බිඳේය යන භයින් මනාව නොපිළිස්සුණු භාජන වහ වහා ඉවතට ගන්නාක් මෙන් මම ක්‍රියා නොකරන්නෙමි. ආනන්දය, මම නිග්‍රහ කොට කොට, දොෂයන් හැර හැර, නැවත නැවත අවවාද කරන්නෙමි. එකල තොපට යමක් හරය නම් එය පිහිටවන්නේය.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටූවූ සිතැති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේය.
දෙවෙනි මහා සුඤ්ඤත සූත්‍රය නිමි. (3-2)