මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

3. සුඤ්ඤත වර්ගය

123. ආශ්චර්‍ය්‍ය ධර්ම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ජේතවන නම් අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි සවස්වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු උපස්ථාන ශාලාවෙහි රැස්ව හුන් බොහෝ භික්ෂූන්ගේ මේ අතුරු කථාව ඇතිවිය. ‘ඇවැත්නි, තථාගතයන් වහන්සේ මහත් ඍද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව ආශ්චර්‍ය්‍යය, පුදුමය. අතීතයෙහි පිරිනිවියාවූ සිඳිනලද තෘෂ්ණා, මාන, දෘෂ්ටි, ප්‍රපඤ්ච ඇති, සිඳිනලද කුසලාකුසල කර්ම වෘත්ත ඇති, කෙළවර කළ කුසලාකුසල කර්මයන් ඇති, සියලු විපාක වෘත්ත සංඛ්‍යාත දුක් ඉක්මවූ බුදුවරයන් තථාගතයන් වහන්සේ දැනගත්සේක. ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ජාති ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නම් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ගොත්‍ර ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සමාධි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ ක්ලෙශයන්ගෙන් මිදුණෝ වූහයිද කියායි.

“මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂූන්ට “ඇවැත්නි, තථාගතයන් වහන්සේලා ආශ්චර්‍ය්‍යයද වෙත්. ආශ්චර්‍ය්‍යය ධර්මයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයන් වහන්සේලා අද්භූතද වෙත්. අද්භූත ධර්මයන්ගෙන්ද යුක්ත වෙත්යයි” කීහ.

ඒ භික්ෂූන්ගේ මේ අතුරු කථාව වනාහි නොනිමියේ වෙයි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැඟීසිටියේ උපස්ථාන ශාලාව යම් තැනකද එහි පැමිණිසේක. පැමිණ, පනවනලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළසේක. “මහණෙනි, මෙහි දැන් කිනම් කථාවකින් යුක්තවූවහුද? තොපගේ කවර නම් කථාවක් නොනිමියේදැ”යි ඇසූහ.

“ස්වාමීනි, මෙහි සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු උපස්ථාන ශාලාවෙහි රැස්වූ අපගේ මේ අතුරු කථාව විය. එනම්: ‘ඇවැත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව, ආශ්චර්‍ය්‍යය, අද්භූතය. අතීතයේදී පිරිනිවියාවූ, සිඳිනලද තෘෂ්ණා, මාන, දෘෂ්ටි, ප්‍රපඤ්ච ඇත්තාවූ, කෙළවර කළ කුශලාකුශල කර්ම වෘත්ත ඇත්තාවූ, විපාක වෘත්ත සංඛ්‍යාත සියලු දුක් ඉක්මවූ, බුදුවරයෝ වෙත්ද, උන්වහන්සේලා අප තථාගතයන් වහන්සේ දැනගත් සේක. (කෙසේද?) ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ජාති ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නම් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ගොත්‍ර ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සාමධි ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙසේ ක්ලෙශයන්ගෙන් මිදුණෝ වූහයිද කියායි. ස්වාමීනි, මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අපට “ඇවැත්නි, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යය. ආශ්චර්‍ය්‍යය ධර්මයන්ගෙන් යුක්තද වෙත්. ඇවැත්නි, තථාගතයෝ අද්භූතය, අද්භූත ධර්මයන්ගෙන්ද යුක්ත වෙත්යයි’ කීහ, “ස්වාමීනි, අපගේ මේ අතුරු කථාව නොනිමියේය. එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැයි” කීහ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතූසේක.

“එසේනම් ආනන්දය, නුඹට මෙහිදී තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයෝ බෙහෙවින් වැටහෙත්වා.”

“භාග්‍යවතුන් වහන්ස, ‘ආනන්දය, බොධිසත්ව තෙමේ සිහි නුවණින් යෙදී තුසිත දෙවියන් කෙරෙහි උපන්නේය’ යන මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පිළිගන්නාලදී.

“ස්වාමීනි, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත් තෙම තුසිත දෙව්ලොව උපන්නේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්මයකැයි මම දරමි.”

“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසන ලදි. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් පිළිගන්නා ලදී.

“ආනන්දය, බෝසත් තෙම ආයු ඇතිතාක් තුසිත ලෝකයෙහි සිටියේය”යි කියායි.

“ස්වාමීනි, බෝසත්තෙම ආයු ඇතිතාක් තුසිත ලෝකයෙහි සිටියේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේගෙන් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී. “ආනන්දය, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත්තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය” යනුයි.

“ස්වාමීනි, සිහිනුවණ දෙකින් යුක්තව බෝසත්තෙම තුසිත ලෝකයෙන් චුතව මව්කුස පිළිසිඳ ගත්තේය යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි,”

“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී.

“ආනන්දය, බෝසත්තෙම යම්කලෙක තුසිත ලෝකයෙන් චුතව මවුකුස පිළිසිඳ ගත්තේද එකල දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි අප්‍රමාණවූ, මහත් වූ, ආලොකයක් දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා පහළවෙයි. යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන ආලොකයෙන් එලිය කරන්නට නොපොහොසත් නොවැසුනු, අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති යම් ඒ ලෝකන්තරික නිරයක් වේද, එහිද අප්‍රමාණවූ උළාර ආලොකයක් දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා ලොකයෙහි පහළවෙයි. එහි යම් සත්වයෝ උපන්නාහුද, ඔව්හුද ඒ එලියෙන් ඔවුනොවුන් මෙහි උපද සිටින තවත් සත්වයෝ ඇතැයි හැඳින ගනිත්.

“මේ දස දහසක් ලොකධාතුව හාත්පසින් කම්පා වෙයි. අතිශයින් කම්පාවෙයි, වෙවුලායයි. මහත්වූ ආලෝකයක් ලෝකයෙහි දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා පහළ වෙයි” යනුයි

“ස්වාමීනි, බෝධිසත්වයන් වහන්සේ යම් කලක තූසිත දෙව්ලොවින් චුතව, මවුකුස පිළිසිඳ ගත්තේද, එකල දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොකයෙහි දෙවිමිනිසුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව කෙරෙහි අප්‍රමාණ වූ, මහත්වූ, ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළ වෙයිදත නොවැසුණු අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති, යම් ඒ ලෝකන්තරික නම් අපායක්වේද, යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ආලෝකයෙන් එළිය කරන්නට නොපොහොසත්ද, එහිද අප්‍රමාණවූ, උළාර ආලෝකයක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ලෝකයෙහි පහළවෙයිද, එහි යම් සත්වයෝ උපන්නාහුද ඔව්හුද ඒ එළියෙන් ඔවුනොවුන් හැඳින ගනිත්. මෙහි උපන් තවත් සත්වයෝ වෙත්යයි කියායි. මේ දසදහසක් ලෝකධාතුව හාත්පසින් කම්පාවෙයි. අතිශයින් කම්පාවෙයි. වෙවුලයි. මහත්වූ එළියක් දෙවියන්ගේ දේවානුභාවයන් ඉක්මවා ලෝකයෙහි පහළ වෙයි යන යමක්වේද, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී.

“ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවුකුසට බැස ගත්තේ වේද, එකල ඒ බෝසතුනුත් බෝසත් මවත් මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ කිසිවෙක් නොපෙළාවායි දෙවියන් සතර දෙනෙක් ඔහුට ආරක්ෂාව පිණිස සිව්දිග එළඹ සිටිති” යනුයි.

“ස්වාමීනි, බෝධිසත්වයන් වහන්සේ යම් කලක මවුකුසට බැසගත්තේ වේද, (එකල) ඒ බෝසතුන්ද බෝසත් මවද කිසියම් මනුෂ්‍යයෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ නොපෙළාවායි, දෙවියන් සතර දෙනෙක් ඔහු රැකීම පිණිස සිව්දිග එළඹ සිටිති යන යමක් වේද, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භුත ධර්මයකැයි මම දරමි.”

“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා පිළිගන්නා ලදී.”

“ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මව ස්වභාවයෙන් සිල්වත් වන්නීය. ප්‍රාණඝාතයෙන් වෙන් වන්නීය. නොදුන් දෙය ගැන්මෙන් තොර වන්නීය. වරදවා කාමයෙහි හැසිරීමෙන් තොර වන්නීය. බොරු කීමෙන් තොර වන්නීය. රහමෙර පානයෙන් තොර වන්නීය” කියායි.

“ස්වාමීනි, යම් කලෙක බෝධිසත්වයන් වහන්සේ මව් කුසට බැසගත්තේ වේද, (එකල්හි) බෝසත්මව ප්‍රකෘතියෙන් සිල්වත් වන්නීය. ප්‍රාණඝාතයෙන් වෙන් වන්නීය. නොදුන් දෙය ගැන්මෙන් වෙන් වන්නීය. කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වන්නීය. බොරුකීමෙන් වෙන් වන්නීය. රහමෙර පානයෙන් වෙන් වන්නීය, යන යමක් වේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.

“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා පිළිගන්නා ලදී.”

“ආනන්දය, යම් කලෙක බොසත් තෙම මව් කුසට බැසගත්තේද, (එතැන් පටන්) බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කාමයෙන් යුත් සිතක් නූපදී. රාගසිතින් කිසිවකුට බෝසත් මව වෙත එළඹිය නොහැක යනුයි.”

“ස්වාමීනි, යම් කලෙක බෝධිසත්වයන් වහන්සේ මව් කුසට බැසගත්තේ වේද, (එකල) බෝසත් මවට පුරුෂයන් කෙරෙහි කාමයෙන් යුත් සිතක් නූපදී. රාග සිතින් කිසිවෙකුට බෝසත් මව වෙත එළඹිය නොහැක, යන යමක් වේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.

“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නාලදී.”

“ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසට බැසගත්තේ වේද, බෝසත් මව පස්කම් ගුණ බොහෝ කොට ලබන්නියක් වෙයි. පස්කම් ගුණයෙන් යුක්තවූ සමන්විතවූ ඕ තොමෝ සතුටු වෙයි. (යනුයි)”

“ස්වාමීනි, යම් කලෙක බෝධිසත්වයන් වහන්සේ මව් කුසට බැස්සේ වේද, (එකල) බෝසත් මව පස්කම් ගුණ ලබන්නියක් වන්නීය. ඒ මව පස්කම් ගුණයෙන් යුක්ත වන්නීය. සම්පූර්ණ වන්නීය. පිරිවරන්නීය, යන යමක් වේද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි මම දරමි.

“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේගෙන් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා පිළිගන්නා ලදී.

“ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවු කුසට බැසගත්තේ වේද, (එතැන්පටන්) බෝසත් මවට කිසි ආබාධයක් නොඋපදී. බෝසත් මව සැප ඇත්තියක් වන්නීය. ක්ලාන්ත නොවූ කය ඇත්තියක් වන්නීය. බෝසත් මව කුසතුළ සිටින නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති සියලු අංග ප්‍රත්‍යංගයන්ගෙන් යුත් බෝසතුන් දකී. ආනන්දය, යහපත්වූ ජාතිමත්, පැති අටක් ඇති, හොඳට පිරියම් කළ, වෛඪූර්‍ය්‍ය මාණික්‍යය යම් සේද එය නිල් පාට හෝ කහ පාට හෝ ලේපාට හෝ සුදුපාට හෝ පඬුපාට හෝ නූලකින් අවුනන ලද්දේ නම් එය ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ විමසා බලන්නේ මෙය වනාහි යහපත් ජාතිමත්, අටැස් ඇති, හොඳට පිරියම් කරණලද වෙරළු මිණෙකි. එහි නිල් හෝ කහ හෝ රතු හෝ සුදු හෝ පඬුවන් හෝ නූලක් අවුනන ලද්දේයයි යම්සේ දක්නේද ආනන්දය, එපරිද්දෙන්ම යම් කලෙක බෝසත් තෙම මවු කුසට බැසගත්තේ වේද, බෝසත් මවට කිසිත් ආබාධයක් නොවෙයි. බෝසත් මව ක්ලාන්ත නොව සැප ඇත්තියක් වෙයි. බෝසත් මව කුසතුළ සිටින සියලු අඟපසඟින් යුත් නොපිරිහුනු ඉඳුරන් ඇති බෝසතුන් දකී යනුය.”

“ස්වාමීනි, යම් කලක බෝධිසත්වයන් වහන්සේ මව් කුසට බැසගත්තේ වේද, (එකල) බෝසත් මවට කිසි ආබාධයක් නූපදී. බෝසත් මව සැපැත්තියක් වන්නීය. ක්ලාන්ත නොවූ කය ඇත්තියක් වන්නීය. බෝසත් මව කුසතුළසිටින නොපිරිහුණු ඉන්ද්‍රිය ඇති සියලු අඟපසඟින් යුත් බෝසත්හු දකී. ස්වාමීනි, යහපත්වූ, ජාතිමත්, පැති අටක් ඇති, හොඳට පිරියම් කළ, වෙරළුමිණයක් වේද එය නිල්පාට හෝ, කහ පාට හෝ ලේපාට හෝ සුදුපාට හෝ, පඬු පාට හෝ, නූලකින් අවුණන ලද්දේද, එය ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙන විමසා බලන්නේ යහපත්, ජාතිමත්, අටැස් ඇති හොඳට පිරියම් කරනලද එහි නිල් හෝ කහ හෝ, ලේ හෝ, සුදු හෝ, පඬුවන් හෝ, නූලක් අමුණන ලද්දේ යම්සේ දකීද, ස්වාමීනි, එපරිද්දෙන්ම යම් කලෙක බෝධිසත්වයන් වහන්සේ මවු කුසට බැසගත්තේ වේද, එකල, බෝසත් මවට කිසිත් ආබාධයක් නොවෙයි. බෝසත් මව ක්ලාන්ත නොවූ සැපැත්තියක් වන්නීය, බෝසත් මව, කුස තුළ සිටින සියලු අඟපසඟින් යුත්, නොපිරිහුනු ඉඳුරන් ඇති, බෝසත්හු දකී, යන යමක් වේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.

“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේගෙන් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී.

“ආනන්දය, බෝසතුන් ඉපදී සත් දවසකදී බෝසත් මව කලුරිය කෙරෙයි. කළුරිය කොට තුසිත දිව්‍යලොකයෙහි උපදී යනුයි.”

“ස්වාමීනි, බෝසතුන් ඉපද සත් දවසකදී, බෝසත් මව කලුරිය කරන්නීය. කළුරිය කොට තුසිත දිව්‍ය ලෝකයෙහි උපදින්නීය යන යමක් වේද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

‘ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී”

“ආනන්දය, අන් ස්ත්‍රිහු නවමසක් හෝ දසමසක් දරු ගැබ කුසින් උසුලා යම්සේ වදත්ද බෝසත් මව එසේ නොවදන්නීමය. බෝසත් මව දසමසක්ම බෝසත්හු කුසින් උසුලා සිට වදන්නීය යනුයි.”

‘ස්වාමීනි, අන් ස්ත්‍රීහු නවමසක් හෝ දසමසක් හෝ දරු ගැබ කුසින් උසුලා යම්සේ වදත්ද, බෝසත් මව එසේ නොවදන්නීය, බෝසත් මව දසමසක් බෝසත්හු කුසින් උසුලා ප්‍රසූත කරන්නීය. යන යමක් වේද ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි දරමි.

“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා පිළිගන්නා ලදී.”

“ආනන්දය, යම් කලෙක වනාහි අන් ස්ත්‍රීහු හිඳ හෝ නිදා වදත්. බෝසත් මව බෝසතුන් එසේ නොවදයි. බෝසත් මව බෝසත්හු සිටගෙනම වදයි” යනුයි.

“ස්වාමීනි, යම් කලෙක වනාහි අන් ස්ත්‍රීහු හිඳ හෝ නිදා වදත්. බෝසත් මව බෝසත්හු එසේ නොවදන්නීය. බෝසත් මව බෝසත්හු සිටගෙනම වදන්නීය යන යමක් වේද, ස්වාමීන් වහන්ස, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසන ලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී.”

“ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසින් නික්මේද, දෙවියෝ ඔහු පළමු කොට පිළිගනිත්. පසුව මනුෂ්‍යයෝ පිළිගනිති යනුයි.”

‘ස්වාමීනි, යම් කලෙක බෝසත්තෙම මවුකුසින් නික්මේද (එකල) දෙවියෝ ඔහු පළමු කොට පිළිගනිත්. පසුව මනුෂ්‍යයෝ පිළිගනිති යන යමක් වේද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයෙකැයි මම දරමි.

“ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී.

“ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මව් කුසින් නික්මේද, බෝසත් තෙම බිමට පැමිණීමට පළමුව දිව්‍ය පුත්‍රයන් සතර දෙනෙක් ඔහු පිළිගෙණ ‘දේවියනි, සතුටු වුව මැනව. ඔබට මහේශාක්‍ය පුතෙක් උපන්නේයයි’ මව ඉදිරියෙහි තබත් යනුයි.”

ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී.”

“ආනන්දය, යම් කලෙක බෝසත්තෙම මවුකුසින් නික්මේද, (එකල) ජලධාරා දෙකක් අහසින් පහළවෙයි. එකක් සීත ජලයය, එකක් උණුදියය. යමකින් බෝසතුන්ට හා බෝසත් මවට වතුරෙන් කළයුත්තක් කෙරේද, එබඳු උදක ධාරා දෙකකි යනුයි.”

“ස්වාමීනි, යම් කලෙක බෝසත්තෙම මව්කුසින් නික්මේද (එකල) ජලධාරා දෙකක් අහසින් පහළවෙයි. එකක් සීත ජලය, එකක් උෂ්ණ ජලය, යමකින් බෝසතුන්ට හා බෝසත් මවට දිය කිස කෙරෙත්ද, එබඳුවූ ජලධාරා දෙකකි යන යමක් වේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේගෙන් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නාලදී.”

“ආනන්දය, උපන් කෙණෙහි බෝසත්තෙම සමවූ පාදයෙන් පොළොවෙහි පිහිටා සේසත දරන කල්හි උතුරුදිගට මුහුණලා සත් පියවරක් යයි. සියලු දිශාවන් බලයි. ලොකයාට මම අග්‍ර වෙමි. ලොකයාට මම ශ්‍රෙෂ්ඨ වෙමි. ලොකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම ඉපදීමයි. නැවත උත්පත්තියක් නැත යන වචනය කියන්නේය යනුයි.”

“ස්වාමීනි, උපන් කෙණෙහි බෝසත්තෙම සම පයින් පොළොවෙහි පිහිටා උතුරුදිග බලා සත් පියවරක් යයි (දිව්‍ය) සේසත දරණ කල්හි සියලු දිශාවන් බලයි. ලෝකයාට මම අග්‍ර වෙමි. ලෝකයාට මම ශ්‍රෙෂ්ඨ වෙමි. ලෝකයාට මම ජ්‍යෙෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම උත්පත්තියයි. නැවත උත්පත්තියක් නැත යන නිර්භීත වචනය කියන්නේය යන යමක් වේද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.

“ස්වාමීනි, මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසනලදී. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා පිළිගන්නා ලදී.”

“ආනන්දය, යම් කලෙක බෝසත් තෙම මවුකුසින් නික්මේද, එකල්හි දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයන් සහිත, ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත, මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා ලෝකයෙහි අප්‍රමාණවූ, මහත්වූ, ආලොකයක් පහළවෙයි. නිතර විවෘතවූ, නොවැසුනු අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති, යම් ඒ ලොකන්තරික නිරයක් වේද, යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් ආනුභාව ඇති, මේ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එලිය කරන්නට නොපොහොසත්ද, එහිද අප්‍රමාණ උළාර ආලෝකයක් දෙවියන්ගේ දෙවානුභාවයත් ඉක්මවා ලෝකයෙහි පහළවෙයි. එහි යම් සත්වයෝ උපන්නාහුද ඔව්හුද ඒ ආලෝකයෙන් ඔවුනොවුන් මෙහි උපන් අන්‍ය සත්වයෝත් ඇතැයි හැඳිනගනිත්. මේ දසදහසක් ලොකධාතුව හාත්පසින් කම්පා වෙයි, අතිශයින් කම්පාවෙයි වෙවුලායයි, මහත්වූ එලියක් දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා පහළවෙයි යනුයි.”

“ස්වාමීනි, යම් කලක බෝසත්තෙම මව්කුසින් නික්මේද එකල්හි දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයා සහිත ලෝකයෙහි දෙවිමිනිසුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව කෙරෙහි දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා ලෝකයෙහි අප්‍රමාණවූ, මහත්වූ, ආලෝකයක් පහළවෙයි. නිතර විවෘතවූ, නොවැසුනු අඳුරු ඇති, ඝනවූ අඳුරු ඇති, යම් ඒ ලොකන්තරික නම් නිරයක්වේද, යම් තැනක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් ආනුභාව ඇති, මේ සඳ හිරු දෙදෙන ආලෝකයෙන් එළිය කරන්නට අපොහොසත්ද, එහිද අප්‍රමාණවූ, උළාරවූ එළියක් දෙවියන්ගේ දෙවානුභාවය ඉක්මවා ලෝකයෙහි පහළ වෙයි. එහි යම් සත්වයෝ උපන්නාහුද, ඔව්හුද ඒ ආලෝකයෙන් මෙහි උපන් අන්‍ය සත්වයෝත් ඇතැයි ඔවුනොවුන් හැඳිනගනිති. මේ දසදහසක් ලෝකධාතුව හාත්පසින් කම්පාවෙයි, වෙවුලයි. මහත්වූ එළියක් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පහළවෙයි යන යමක් වේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මෙයද ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි මම දරමි.”

“ආනන්දය, එහෙයින් නුඹ මෙහිදී තථාගතයන් වහන්සේගේ මේ ආශ්චර්‍ය අද්භූත ධර්මයද දරාගනුව. ආනන්දය, මෙහි තථාගතයන් වහන්සේට දැනුවත්වම වේදනා උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්. දැනුවත්වම සංඥාවෝ උපදිත්. දැනුවත්වම විතර්කයෝ උපදිත්. දැනුවත්වම දරා පවතිත්. දැනුවත්වම විනාශයට යත්. ආනන්දය, නුඹ මෙයද තථාගතයන් වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි දරව.”

“ස්වාමීනි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේට දැනුවත්වම වේදනා උපදිත්ද, දැනුවත්වම දරා පවතිත්ද, දැනුවත්මව විනාශයට යත්ද, දැනුවත්වම සංඥා උපදිත්ද දැනුවත්වම විතර්ක උපදිත්ද, දැනුවත්වම දරා පවතිත්ද, දැනුවත්වම විනාශයට යත්ද, ස්වාමීනි, මෙයද භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්‍ය අද්භූත ධර්මයෙකැයි දරමි.”

“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළේය. ශාස්තෘන් වහන්සේ (එය) අනුදන්නා ලද්දේ විය. සතුටුවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේගේ ඒ දෙශනය සතුටින් පිළිගත්හ.

තෙවන ආශ්චර්‍ය්‍ය ධර්ම සූත්‍රය නිමි (3-3)