මජ්ඣිම නිකාය
උපරි පණ්ණාසය
3. සුඤ්ඤත වර්ගය
124. බක්කුල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ රජගහ නුවර සමීපයෙහිවූ, කලන්දකනිවාප නම්වූ වෙලුවනාරාමයෙහි වැඩ වෙසෙයි. එකල්හි, ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ පැරණි ගිහි යහලුවෙක්වූ අචේල කාශ්‍යපතෙම ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් යම් තැනකද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ අචේල කාශ්‍යපතෙම ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් ගෙන් මෙසේ ඇසීය.
“ඇවැත්, බක්කුලය, මහණවී කොපමණ කල් වෙහිද?”
“ඇවැත්නි, පැවිදිවූ මට අවුරුදු අසූවකි.”
“ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබ විසින් කීවරක් මෙවුන්දම් සෙවුනා ලදද?”
“ඇවැත්, කාශ්‍යපය, මගෙන් ‘ඇවැත්නි, බක්කුලය, ඔබ විසින් මේ අසූ වයස් පමණ කාලය ඇතුළත, කී වරක් මෙවුන්දම් සෙවුනා ලදැයි මෙසේ නොඇසිය යුතුයි. ඇවැත් කාශ්‍යපය, මගෙන් මෙසේ ඇසිය යුතුය. කෙසේද? ‘ඇවැත් බක්කුලය, මේ අසූ වයස් කාලයෙහි ඔබට කී වරක් කාම සංඥාව පහළ වූයේදැයි ඇසිය යුතුය.”
“ඇවැත්, බක්කුලය, මේ අසූ වයස් කාලය තුළ කී වරක් ඔබට කාම සංඥාව උපන්නේද?”
“ඇවැත්, කාශ්‍යපය, පැවිදිවූ මට අවුරුදු අසූවකි. ඒ කාලය තුළ කාම සංඥාව උපන් බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවක් කාලය තුළ කාම සංඥාවක් උපන් බවක් නොදනී නම් ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ මෙයද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද සංඥාවක් විහිංසා සංඥාවක් උපන් බවක්ද මම නොදනිමි.”
“යම් හෙයකින් අසූවයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ඒ කාලය තුළ යම් ව්‍යාපාද සංඥාවක් විහිංසා සංඥාවක් උපන් බවක් නොදනී නම්, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට කාම විතර්කයක් උපන් බවක් නොදනිමි.” “යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් යම් කාම විතර්කයක් උපන් බවක් නොදනී නම් මෙයද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මට ව්‍යාපාද විතර්කයක් විහිංසා විතර්කයක් උපන් බවක් නොදනිමි.
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් යම් ව්‍යාපාද විතර්කයක් විහිංසා විතර්කයක් උපන් බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වර්ෂයක්වූ මා විසින් ගෘහපති චීවරයක් ඉසුලු බවක් නොම දනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් යම් ගෘහපති චීවරයක් නොදැරී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනිමි.”
“යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් ආයුධයකින් සිවුරක් කැපූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මා විසින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොම දනිමි.”
“යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් ඉදිකටුවෙන් සිවුරක් මැහූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මා විසින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොම දනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් පඬුවලින් සිවුරක් පෙවූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
10 “ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම කඨිනයෙහි සිවුරක් මැහූ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් කඨිනයෙහි සිවුරක් මැහූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම සමාන බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්මයෙහි යෙදුන බවක් නොම දනිමි”
“යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් සමාන බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තවුන්ගේ චීවර කර්මයෙහි යෙදුනු බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.
“ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මා විසින් ආරාධනයක් ඉවසූ බවක් නොම දනිමි.”
“යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම වස් අසූවකින් ආරාධනයක් ඉවසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.’
13 “ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට මෙබඳු සිතක් උපන් බවක් නොදනිමි. ‘කිසිවෙක් මට ආරාධනය කරන්නේ නම් ඉතා යෙහෙකැයි’ කියායි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූවසකින් කිසිවෙක් මට ආරාධනයක් කරන්නේ නම් යහපතැයි සිතක් උපන් බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම ගම තුළ හුන් බවක් නොම දනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් ගමෙහි හුන් බවක් නොදනී නම් ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ මෙයද ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට ගමෙහි අනුභව කළ බවක් නොදනිමි.”
“යම් හෙයකින් අසූ වයස් ඇති ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම ගමෙහි අනුභව කළ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මට කුඩා සලකුණු වශයෙන් ස්ත්‍රියකගේ නිමිති ගත් බවක් නොම දනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් කුඩා සලකුණු වශයෙන් නිමිති ගත් බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම මාගමකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් වත් දහම් දෙසූ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම ස්ත්‍රියකට යටත්පිරිසෙයින් සතර පද ගාථාවකින්වත් දහම් දෙසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිවූ අසූ වයස් ඇති මා විසින් භික්ඛුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනිමි.
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් භික්ෂුණී ආශ්‍රමයකට පැමිණි බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස් ඇති මම භික්ෂුණියකට දහම් දෙසූ බවක් නොදනිමි.
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ පැවිදිව අසූ වයස්වද භික්ෂුණියකට දහම් දෙසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භුත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මම හික්මෙන්නියකට (සික්ඛාමානාවකට) දහම් දෙසූ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසෙකින් හික්මෙන්නියකට දහම් දෙසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මම සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් සාමණේරියකට දහම් දෙසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මම (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් (කෙනෙකු) පැවිදි කළ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මා විසින් (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් (කෙනෙකු) උපසම්පදා කළ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මම (කෙනකුට) නිසදුන් දුන් බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් (කෙනකුට) නිසදුන් බවක් නොදනියි නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූ වයස්වූ මම සාමණේරයකු ලවා උපස්ථාන කරවාගත් බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් සාමණෙරයකු ලවා උපස්ථාන කරවාගත් බවක් නොදනියි නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූවයස් ඇති මම ගිනිහල් ගෙයි නෑ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් ගිනිහල් ගෙයි නෑ බවක් නොදනියි නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයෙකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූවයස් ඇති මම ඇඟ ගානා සුනු ගා නෑ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූවසකින් ඇඟ ගානා සුණු ගා නෑ බවක් නොදනියි නම් මෙයද බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූවයස් ඇති මම සමාන බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් සමාන බඹසර ඇත්තවුන් අත් පා මෙහෙවරෙහි යෙදූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මට අන්තිම වසයෙන් දෙනකගෙන් එක් කිරිබින්දුවක් දෝනා කලක් පමණවත් ආබාධයක් උපන් බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් අන්තිම වශයෙන් දෙනකගෙන් එක් කිරි බින්දුවක් දෝනා කලක් පමණ ආබාධයක් ඇතිවූ බවක් නොදනියි නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.
“ඇවැත්නි, අසූ වයස් ඇති මම අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිර තෙම අසූ වසකින් අන්තිම වශයෙන් අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කළ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූවයස්වූ මම හේත්තුවන පූවරුවක හේත්තුවූ බවක් නොදනිමි.”
යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් හේත්තුවන පුවරුවක හාන්සිවූ බවක් නොදනියි නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.
“ඇවැත්නි, පැවිදිව අසූවයස් ඇති මම සයනය කළ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූවසකින් සයනය කළ බවක් නොදනීනම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපිදරමු.”
“ඇවැත්නි, පැවිදිව අසූවයස් ඇති මම ග්‍රාමාන්ත සේනාසනයක වස් වුසූ බවක් නොදනිමි.”
“යම් හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අසූ වසකින් ග්‍රාමාන්ත සේනාසනයක වස්වැසූ බවක් නොදනී නම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය, අද්භූත ධර්මයකැයි අපි දරමු.”
ඇවැත්නි, මම කෙලෙස් සහිතව සත්දවසක් පමණක් රටවැසියාගේ පිණ්ඩපාතය අනුභව කෙළෙමි. ඉක්බිති අටවෙනිදා අර්හත්වය පහළවිය.”
“යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම කෙලෙස් සහිතව රටවැසියාගේ පිණ්ඩපාතය සත්දවසක්ම අනුභව කෙළේ නම් අටවෙනිදා අර්හත්වය පහළවීනම් මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.’
අචෙල කාශ්‍යප තෙම “ඇවැත්නි, බක්කුලය, මම මේ ශාසනයෙහි පැවිදිබව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියි” කීය.
“අචෙල කාශ්‍යපතෙම මේ ශාසනයෙහි පැවිදි බව ලැබීය, උපසම්පදාවද ලැබීය. ආයුෂ්මත් කාශ්‍යපතෙමේ උපසපන්වී නොබෝකල් ඇත්තේ හුදකලාවූයේ ජනයාගෙන් වෙන්වූයේ පමානොවූයේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ දුරුකරනලද කාය ජීවිත ආශා ඇතිව වාසයකරන්නේ නොබෝකලකින්ම කුලපුත්‍රයෝ යමක් පිණිස මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරික ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති, ඒ උතුම් අර්හත්වය මේ ආත්මභාවයෙහිම තෙමේම විශෙෂ නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කළේය. උත්පත්තිය ක්ෂය විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු කළයුතු අනෙකක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් කාශ්‍යපතෙම රහතුන්ගෙන් එක්තරා කෙනෙක් විය.
“ඉක්බිති ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම අන්කලෙක යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස් “ආයුෂ්මත්වරුනි, නික්මෙව්, ආයුෂ්මත්වරුනි, නික්මෙව්, අද මාගේ පිරිනිවීම වන්නේයයි” කීය.
“යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස් ආයුෂ්මත්වරුනි, නික්මෙව් ආයුෂ්මත්වරුනි, නික්මෙව්, අද මාගේ පිරිනිවීම වන්නේයයි කීයේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
“ඉක්බිති ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙමේ සංඝයා මැද හිඳගෙනම පිරිනිවීයේය. “යම්හෙයකින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරතෙම සංඝයා මැද හිඳගෙනම පිරිනිවියේද, මෙයද ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මයකැයි අපි දරමු.”
සතර වැනි බක්කුල සූත්‍රයයි. (3-4)