මජ්ඣිම නිකාය

උපරි පණ්ණාසය

3. සුඤ්ඤත වර්ගය

125. දන්තභූමි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දක නිවාපනම්වූ වේලුවනාරාමයෙහි වැඩවාසය කරණසේක එකල්හි ‘අචිරවත’ නම් සාමණේර තෙම අරඤ්ඤකුටිකා නම් සෙනසුනෙහි වෙසෙයි. එකල්හි ජයසේන නම් රාජ කුමාර තෙම සක්මන් කිරීම සඳහා ඇවිදින ගමන් අචිරවත සාමණේර තෙමේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ අචිරවත සාමණේරයන් හා සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ජයසේන රාජකුමාරතෙම අචිරවත සාමණේරයන්ට මෙය කීය.

‘පින්වත් අග්ගිවෙස්සනය, මේ සස්නෙහි භික්ෂුතෙම අප්‍රමාදව කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව කාය ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරමින් ධ්‍යාන සමාපත්ති ලබන්නේය”, යන මෙය මා විසින් අසනලදී.

“එසෙය, රාජකුමාරය, එසේය, රාජකුමාරය, මේ ශාසනයෙහි භික්ෂුතෙම අප්‍රමාදව කාය ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ ධ්‍යාන සමාපත්ති ලබන්නේයයි” කීය.

“පින්වත් අග්ගිවෙස්සනතෙම ඇසූ පරිදි, උගත් පරිදි, ඒ ධර්මය දෙශනා කරන්නේ නම් මැනවැයි” කීය.

“රාජකුමාරය, නුඹට ඇසූ පරිදි, උගත් පරිදි, ධර්මය දෙශනා කරන්නට නොහැකිවෙමි. රාජකුමාරය, මම දැන් ඇසූ පරිදි, උගත් පරිදිත ධර්මය දෙසන්නෙම් නම් නුඹද මගේ දෙශනාවේ අර්ථය දැන නොගන්නෙහි නම් එය මට ක්ලාන්ත බවක් වන්නේය. එය මට වෙහෙසක් වන්නේය.”

“පින්වත් අග්ගිවෙස්සනතෙම අසනලද පරිදි, උගත් පරිදි, මට ඒ ධර්මය දෙශනා කළ මැනව. මම පින්වත් අග්ගිවෙස්සනගේ දෙශනාවේ අර්ථය ඒකාන්තයෙන් දැන ගන්නෙමියි කීය.”

“රාජකුමාරය, නුඹට මම ඇසූ පරිදි, උගත් පරිදි, ධර්මය දෙශනා කරන්නෙමි. ඉදින් නුඹ දෙශනාවේ අර්ථය දැනගන්නෙහි නම් එය යහපති. නුඹ මාගේ දෙශනාවේ අර්ථය දැන නොගන්නෙහි නම් නොදන්නාකමෙහිම සිටිය යුතුය. එහිදී මාගෙන් මත්තෙහි නැවත නො අසව.”

“පින්වත් අග්ගිවෙස්සනතෙම මට ඇසූසේ උගත්සේ ධර්මය දෙශනා කෙරේවා. ඉදින් මම පින්වත් අග්ගිවෙස්සනගේ දෙශනාවේ අර්ථය දැනගන්නෙම් නම් එය යහපති. ඉදින් මම පින්වත් අග්ගිවෙස්සනගේ දෙශනාවේ අර්ථය නොදැනගන්නෙම් නම් නොදන්නා කමෙහිම සිටින්නෙමි. එහිදී මම පින්වත් අග්ගිවෙස්සනගෙන් මත්තෙහි නොඅසන්නෙමි.”

ඉක්බිති අචිරවත සාමණෙරතෙම ජයසේන රාජකුමාරයාහට ඇසූසේ උගත්සේ දහම් දෙසීය. එසේ දෙසූ කල්හි ජයසේන රාජකුමාරතෙම අචිරවත සාමණේරයන්ට “පින්වත් අග්ගිවෙස්සනය, මහණතෙම අප්‍රමාද වූයේ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ කාය ජීවිත පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නේ ධ්‍යාන සමාපත්ති ලබන්නේය. යන යමක් වේ නම් එය නොවියහැක. වීමට අවකාශ නැතැයි’ කීය. ඉක්බිති ජයසේන රාජකුමාරතෙම අචිරවත සාමණෙරයන්ට එය නොවියහැකි බවත් ඊට අවකාශ නැති බවත් දන්වා හුනස්නෙන් නැගිට ගියේය.

ඉක්බිති අචිරවත සාමණෙරතෙම ජයසේන රාජකුමාරයා ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් අචිරවත සාමණෙරතෙම ජයසේන රාජකුමාරයා සමග යම් පමණ කථාවක් වීනම් ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැල කළේය. එසේ සැලකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ අචිරවත සාමණෙරයන්හට මෙය වදාළසේක.

“අග්ගිවෙස්සනය, කාමයෙන් වෙන්ව දතයුතු කාමයෙන් වෙන්ව දැක්කයුතු කාමයෙන් වෙන්ව පැමිණිය යුතු කාමයෙන් වෙන්ව ප්‍රත්‍යක්ෂ කටයුතු යම් ඒ ධර්මයක් වේනම් ඒ ධර්මය කොයින් ලබන්නේද? කාමයෙහි ගැලී වාසය කරන්නාවූ කාමයන් පරිභොග කරන්නාවූ කාම විතර්කයන් විසින් කරනු ලබන්නාවූ කාම දාහයෙන් දැවෙන්නාවූ කාමයන් සෙවීමෙහි උත්සාහවත්වූ ජයසේන රාජකුමාරතෙම එය දැනගන්නේය, දක්නේය, ප්‍රත්‍යක්ෂ කරන්නේය යන මීට කරුණු ඇත්තේ නොවේ.

“අග්ගිවෙස්සනය, හොඳට දැමුණු, හොඳට හික්මුනු, ඇත්නාම්බන් දෙදෙනෙක් හෝ අශ්ව නාම්බන් දෙදෙනෙක් හෝ ගොන් නාම්බන් දෙදෙනෙක් හෝ වෙත්ද, එසේම නොදැමුනු, නොහික්මුනු, ඇත්නාම්බන් දෙදෙනෙක් හෝ අශ්ව නාම්බන් දෙදෙනෙක් හෝ ගොන් නාම්බන් දෙදෙනෙක් හෝ වෙත්ද, අග්ගිවෙස්සනය, ඔවුන් අතුරෙන් හොඳහැටි දැමුනු, හොඳහැටි හික්මුනු, ඇත් නාම්බන් දෙදෙනම අශ්ව නාම්බන් දෙදෙනම ගොන් නාම්බන් දෙදෙනම හික්මුණවුන්ගේ ගමනින් යන්නාහුද, හික්මුණවුන් යන තැනට යන්නාහුද?”

“එසේය, ස්වාමීනි,”

‘යම් ඒ නොදැමුණු නොහික්මුණු ඇත් නාම්බන් දෙදෙනෙක් හෝ අශ්ව නාම්බන් දෙදෙනෙක් හෝ ගොන් නාම්බන් දෙදෙනෙක් හෝ වෙත්ද, ඒ නොදැමුණාවූ නොහික්මුණාවූ ඔව්හු, ඒ දැමුණු හික්මුණු ඇතුන් දෙදෙන අශ්වයන් දෙදෙන ගොනුන් දෙදෙන මෙන් හික්මුණු ගමනින් යන්නාහුද? හික්මුණවුන් යන තැනට යන්නාහුද?’

“ස්වාමීනි, එසේ නොවන්නේය.”

“අග්ගිවෙස්සනය, එසේම යම් ධර්මයක් කාමයෙන් වෙන්ව දැනගත යුතුද, කාමයෙන් වෙන්ව දැක්ක යුතුද, කාමයෙන් වෙන්ව පැමිණිය යුතුද, කාමයෙන් වෙන්ව ප්‍රත්‍යක්ෂ කටයුතුද, ඒ ධර්මය කාමයෙහි ගැලී වාසය කරන්නාවූ කාමයන් අනුභව කරන්නාවූ කාම විතර්කයන් විසින් කරනු ලබන්නාවූ කාමදාහයෙන් දැවෙනු ලබන්නාවූ කාමයන් සෙවීමෙහි යෙදී වාසය කරන්නාවූ ජයසේන රාජකුමාරතෙම දැන ගන්නේය, දකින්නේය, ප්‍රත්‍යක්ෂ කරන්නේය යන මීට කරුණු නැත.

“අග්ගිවෙස්සනය, යම්සේ ගමකට හෝ නියම් ගමකට නුදුරෙහි මහා පර්වතයක් වේද, යහලුවෝ දෙදෙනෙක් ඒ ගමින් හෝ නියම්ගමින් හෝ නික්ම අතින් අත ගැන්මෙන් ඒ පර්වතය යම් තැනකද, එහි පැමිණෙන්නාහුය. පැමිණ එක් යහලුවෙක් යට පර්වත පාදයෙහි සිටින්නේය. එක් යහලුවෙක් පර්වතය මුදුනට නගින්නේය. යට පර්වත පාදයෙහි සිටි යහලුවා පර්වත මුදුනෙහි සිටි යහලුවාට මෙසේ කියන්නේය. “යහලුව, නුඹ පර්වත මුදුනෙහි සිටියේ යම් කිසිවක් දක්නෙහිද?

හෙතෙම මෙසේ කියන්නේය. “මිත්‍රය, පර්වත මුදුනෙහි සිටි මම ආරාමයන් පිළිබඳ රමණීයත්වයද වනයන් පිළිබඳ රමණීයත්වයද බිම් පිළිබඳ රමණීයත්වයද පොකුණු පිළිබඳ රමණීයත්වයද දකිමි.”

හෙතෙම මෙසේ කියන්නේය. “මිත්‍රය, පර්වත මුදුනෙහි සිටි නුඹ ආරාමයන් පිළිබඳ රමණීයත්වය, වනයන් පිළිබඳ රමණීයත්වය, බිම් පිළිබඳ රමණීයත්වය, පොකුණු පිළිබඳ රමණීයත්වය, යන යමක් දක්නෙහිය යන මීට කරුණු නැත. අවකාශ නැත” යනුයි.

“පර්වත මුදුනෙහි සිටි යහලුවා පර්වතයෙන් බැස ඒ යහලුවා අතින් ගෙන පර්වත මුදුනට නංවා මොහොතක් අස් වසා මෙසේ කියන්නේය. “මිත්‍රය, පර්වත මුදුනෙහි සිටියාවූ නුඹ යම්කිසිවක් දක්නෙහිද?

හෙතෙම මෙසේ කියන්නේය. “මිත්‍රය, පර්වත මුදුනෙහි සිටියාවූ මම ආරාම පිළිබඳ රමණීයත්වය, වන පිළිබඳ රමණීයත්වය, භූමි පිළිබඳ රමණීයත්වය, පොකුණු පිළිබඳ රමණීයත්වය දකිමි.”

හෙතෙම මෙසේ කියන්නේය. “මිත්‍රය, දැන් නුඹ විසින් පර්වත මුදුනෙහි සිටි නුඹ ආරාම පිළිබඳ රමණීයත්වය, වන පිළිබඳ රමණීයත්වය, භූමි පිළිබඳ රමණීයත්වය, පොකුණු පිළිබඳ රමණීයත්වය, යන යමක් දක්නෙහි නම් ඊට කරුණු නැතැයි අවකාශ නැතැයි යම් වචනයක් කියන ලද නම් අපි එය දැන් එසේම පිළිගනිමුද? පර්වත මුදුනෙහි සිටි මම ආරාම පිළිබඳ රමණීයත්වය, වන පිළිබඳ රමණීයත්වය, භූමි පිළිබඳ රමණීයත්වය, පොකුණු පිළිබඳ රමණීයත්වය දකිමි. යන යම් වචනයක් කියන ලද නම් එය එසේ පිළිගනිමුද?” කියායි.

“හෙතෙම යහලුව, මම වනාහි මේ මහා පර්වතයෙන් ආවරණය කරන ලද්දෙම් දැකියයුතු දේ නොදැක්කෙමියි කියන්නේය.”

“අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම ජයසේන කුමාර තෙම මීටද වඩා අතිශයින් මහත්වූ අවිද්‍යා ස්කන්ධයෙන් ආවරණයකරන ලද්දේය, වලක්වන ලද්දේය, වසන ලද්දේය. හාත්පසින් වසන ලද්දේය. හෙතෙම ඒකාන්තයෙන් දතයුතුවූ කාමයෙන් වෙන්ව දැක්කයුතුවූ, පැමිණිය යුතුවූ, කාමයෙන් වෙන්ව ප්‍රත්‍යක්ෂ කළයුතුවූ, ධ්‍යාන සමාපත්තියක් වේනම්, කාමයෙහි ගැලුනාවූ, කාමයන් අනුභව කරන්නාවූ, කාම විතර්ක විසින් කරනුලබන්නාවූ, කාම දාහයෙන් දවනු ලබන්නාවූ, කාමයන් සෙවීමෙහි යෙදුනාවූ, ඒ ජයසේන රාජකුමාර තෙම එය දැනගන්නේ හෝ දක්නේ හෝ ප්‍රත්‍යක්ෂ කරන්නේ හෝ වේය යන මීට කරුණු නැත. අග්ගිවෙස්සනය, ඉදින් ඒ ජයසේන රාජකුමාරයාහට මේ උපමා දෙක ප්‍රකාශකළේ නම්, ජයසේන රාජකුමාර තෙම නුඹට පහදින්නේය, පැහැදුනේ නුඹට පැහැදුනු ආකාරයක් දක්වන්නේය යනු පුදුමයක් නොවේ.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ගැන මෙන් මා ගැන පුදුමයක් නැත්තාවූ පෙර නොඇසූ මේ උපමා ජයසේන රාජකුමාරයා හට කෙසේ නම් වැටහෙන්නාහුද?”

“අග්ගිවෙස්සනය, යම්සේ ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජෙක් නාගවනිකයකු (හස්ති ශිල්පයෙහි දක්ෂයකු) කැඳවයිද, යහලු නාගවනිකය, මෙහි එව. රජුගේ ඇතුපිට නැඟී ඇතුන් ඇති වනයට පැමිණ වල් ඇතකු සොයා රජ ඇතාගේ බෙල්ලෙහි බඳුව’ කියායි. අග්ගිවෙස්සනය, ‘දේවයන් වහන්ස, එසේයයි කියා,’ නාගවනිකතෙම ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජුට උත්තරදී, රජුගේ ඇතුපිට නැගී ඇත්වනයට පැමිණ වල් ඇතකු දැක, රජ ඇතාගේ බෙල්ලෙහි බඳී. රජුගේ ඇතා ඒ වල් ඇතා එළිමහනට ගෙන යයි. අග්ගිවෙස්සනය, මෙපමණකින්ම වල් ඇතා එළිමහනට පැමිණියේ වෙයි. අග්ගිවෙස්සනය, එවිට ඒ වල් ඇතා ඒ කැලයෙහිම ඇලුණේ වෙයි.

“ඒ නාගවනිකතෙම ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජුට ‘දේවයන් වහන්ස, වල් ඇතා එළිමහනකට ගෙනාවේයයිත කියන්නේය.

“ඔටුණු පළන් ක්ෂත්‍රිය රජතෙම ඇතුන් හික්මවන්නකු කැඳවන්නේය. ‘යහළුව, ඇතුන් හික්මවන්නෙහි මෙහි එව. වල් ඇතුන්ගේ ගතිගුණ මර්දනය පිණිස, වල් ඇතුන්ගේ ශබ්ද වචන මර්දනය පිණිස, වල් ඇතුන්ගේ දාහ ගති ක්ලාන්ත ගති දැවීම් ගති මර්දනය වීම පිණිස, ගමෙහි ඇලීම පිණිස, මනුෂ්‍යයන් කැමති කරවන ස්වභාවයන්හි පිහිටුවීම පිණිස, වල් ඇතා දමනය කරව’ කියායි.

“අග්ගිවෙස්සනය, හත්ථිදමකයා’ දේවයන්වහන්ස, එසේයයි කියා’ ඔටුණු පලන් ක්ෂත්‍රිය රජුට උත්තරදී, මහත් කණුවක් පොළොවෙහි සිටුවා වල් ඇතාගේ ස්වභාවය මැඩීම පිණිස, වල් ඇතාගේ ශබ්ද අදහස් මර්දනය පිණිස, වල් ඇතාගේ දාහ ක්ලානතගති මැඩීම පිණිස, ගමෙහි ඇලීම පිණිස, මිනිසුන් කැමැති ස්වභාවයන්හි පිහිටුවීම පිණිස, වල් ඇතාගේ බෙල්ලෙන් බඳී. ඒ මේ ඇතුන් දමනයකරන්නා ප්‍රියවූ, කණට සැපවූ, ප්‍රේමණීයවූ, හදවත පිනවන්නාවූ, පුරවැසියන්ට සුදුසුවූ, බොහෝදෙනාට කැමැතිවූ, බොහෝ දෙනාට මනාපවූ, යම් ඒ වචන වේද, එබඳු වචනවලින් කථාකරයි.

“අග්ගිවෙස්සනය, යම්හෙයකින් වනාහි වල්ඇතා ඇතුන් හික්මවන්නා විසින් ප්‍රියවූ, කණට සැපවූ, ප්‍රේමණීයවූ, හදවත පිණවන්නාවූ, පුරවැසියන්ට සුදුසුවූ, බොහෝදෙනාට කැමැතිවූ, බොහෝදෙනාට මනාපවූ, යම් වචන වෙත්ද, එබඳු වචන කියනු ලබන්නේ වචන අසනු කැමති වෙයි. ඇහුන්කන් දෙයි. වචනය දැනගැනීමට සිත එළවයි. ඇතුන් හික්මවන්නා ඔහුට මත්තෙහි කෑ යුතු තණ හා දියද නැවත නැවත දෙයි. අග්ගිවෙස්සනය, යම්හෙයකින් වල් ඇතුන් දමනය කරන්නාගේ තණ හා දිය පිළිගනීද, එහිදී ඇතුන් දමනය කරන්නාට මෙසේ අදහස් වෙයි. ‘රජුගේ හස්තිරාජයා දැන් ජීවත්වන්නේය’ කියායි. ඇතුන් දමනය කරන්නා මත්තෙහි ‘එම්බා හස්තිය, ඉදිරියට යව, එම්බා හස්තිය, පස්සට එවයි’ හික්මවයි. අග්ගිවෙස්සනය, යම් හෙයකින් රජුගේ හස්තියා ඇතුන් දමනය කරන්නාගේ ගැණීම් සහ බිම තැබීම් පිළිබඳ වචන කරන්නේ වේ ද, අවවාදයට අනුව ක්‍රියා කෙරේද, ඒ මේ ඇතුන් දමනය කරන්නා මත්තෙහිත් ‘එම්බා හස්තිය, නැගිටුව, එම්බා හස්තිය, සිඳුවයි’ හික්මවයි.

“අග්ගිවෙස්සනය, යම්හෙයකින් රජුගේ ඇතා ඇතුන් දමනය කරන්නාගේ නැගිටුවීමෙහි හා හිඳුවීමෙහි වචන කරන්නේද අවවාදය කරන්නේද, ඇතුන් දමනය කරන්නා මත්තෙහිත් නොසෙල්ලී සිටිමට පුරුදු කිරීම කරවයි. මහත් පුවරුවක් සොඬෙහි බඳී. ඇතුන්ගේ පාවලට අනින කටුව ගත් අත් ඇති පුරුෂ තෙම බෙල්ල මත්තේ හුන්නේ වෙයි. තෝමර ගත් අත් ඇති පුරුෂයෝ හාත්පස පිරිවරා සිටිත්. ඇතුන් දමනය කරන්නාද දික්වූ තෝමර යෂ්ටිය ගෙන ඉදිරියෙහි සිටියේ වෙයි. හෙතෙම නොසෙල්වෙන හික්මීම හික්මවනු ලබන්නේ පෙර පා නොසොලවයි, පසු පා නොසොලවයි, කයේ ඉදිරිපස නොසොලවයි, පසු කය නොසොලවයි, හිස නොසොලවයි, කන් නොසොලවයි, දළ නොසොලවයි, නගුට නොසොලවයි, සොඬ නොසොලවයි ඒ රජුගේ ඇතා අඩයටි පහර ඉවසන්නේ වෙයි, කඩු පහර ඉවසන්නේ වෙයි, ඊ පහර ඉවසන්නේ වෙයි, සතුරන්ගේ අවි පහර ඉවසන්නේ වෙයි, බෙර පණාබෙර වස්දඬු සක් දෙණ්ඩිම යන මොවුන්ගේ නාද ඉවසන්නේ හික්මවන ලද සියලු වංක දොෂ ඇත්තේ පහකරණ ලද කසට ඇත්තේ රජුන්ට සුදුසු වෙයි. රජුන් විසින් පරිභෝග කටයුතුද, වෙයි. රජහුගේ අංගයක්ය යන සංඛ්‍යාවට පැමිණෙයි.

“අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විජ්ජාචරණ සම්පන්නවූ, යහපත් ගති ඇත්තාවූ සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, දමනය කළයුතු පුරුෂයන් දමනය කිරීමෙහි දක්ෂවූ, දෙවිමිනිසුන්ට ගුරුවූ, චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ මේ ලෝකයෙහි උපදින සේක. ඒ තථාගතයන් වහන්සේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙවිමිනිසුන් සහිතවූ, මේ ලෝකය ස්වකීය විශෙෂ ඥානයෙන් දැන, ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරන සේක.

ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ මැද යහපත්වූ, අවසානය යහපත්වූ, අර්ථ සහිතවූ, දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන සේක. ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද, ඔහු ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ මෙසේ සලකන්නේය. ‘ගිහි ගෙයි විසීම අවහිර සහිතය. කෙලෙස් දූවිලි උපදින තැනකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක් ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් හෝ දැලිරැවුළු කපාදමා, සිවුරු හැඳ, ගිහිගෙන් නික්ම සස්නෙහි මහණවන්නෙම් නම් ඉතා යහපතැයි, කියායි. ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් හැර ස්වල්පවූ හෝ බොහෝවූ නෑ පිරිස්හැර, කෙස් දැළිරැවුළු කපාදමා, සිවුරු හැඳ, ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදි වෙයි. අග්ගිවෙස්සනය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙපමණකින්ම එළිමහන් තැනට පැමිණියේ වෙයි.

“අග්ගිවෙස්සනය, යම් මේ පඤ්චකාම ගුණයක් වේද මේ දිව්‍ය මනුෂ්‍යයෝ ඒ පඤ්චකාමයෙහි ගැලී වසන්නෝය. ඔහු තථාගත තෙම මත්තෙහි හික්මවයි. ‘මහණ, මෙහි එව. සිල්වත් වෙව. ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් සංවරව, ආචාර ගෝචර දෙකින් යුක්තව, සුළු වරදෙහිත් භය දක්නාසුලුව, ශික්ෂාපද දැඩිකොට සමාදන්ව වාසය කරව’ කියායි. අග්ගිවෙස්සනය, යම් හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක තෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව, ආචාර ගෝචර දෙකින් යුක්තව, සුළු වරදෙහි පවා භය දක්නාසුලුව වාසය කෙරේද, ශික්ෂාපද දැඩිකොට සමාදන්ව හික්මේද, ඔහු තථාගත තෙම මත්තෙහිත් හික්මවයි.

“මහණ, නුඹ එව. ඉන්ද්‍රියයන්හි වසනලද දොර ඇත්තෙකු වෙව. ඇසින් රූපයක් දැක නිමිති නොගනුව. කුඩා සළකුණු වශයෙන් නොගනුව.’ යම් හෙයකින් චක්ෂුරින්ද්‍රියය සංවර නොකොට වාසය කරණ මොහුට ලොභ දොෂයයි කියන ලද ලාමක අකුශල ධර්ම වැදගන්නාහුද, එය සංවරය පිණිස පිළිපදුව. චක්ෂුරින්ද්‍රියය සංවර කරව. චක්ෂුරින්ද්‍රියය සංවර කිරීමට පැමිණෙව. “කණින් ශබ්දයක් අසා එය නිමිති වශයෙන් නොගනුව. නැවත නැවත මතක්වන සේ අල්ලා නොගනුව. යමක් හේතුකොටගෙන ශ්‍රොතෙන්ද්‍රිය සංවර නොකොට වසන්නහුට ලෝභ ද්වෙෂ යන ලාමක අකුශල ධර්මයෝ වැදගන්නාහුද, ඒ ශ්‍රොතෙන්ද්‍රියයේ සංවරය පිණිස පිළිපදුව. ශ්‍රොතෙන්ද්‍රියය රකුව. ශ්‍රොතෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

“නාසයෙන් ගඳක් ආඝ්‍රාණයකොට එය නිමිතිවශයෙන් නොගනුව. නැවත නැවත මතක් වනසේ අල්ලා නොගනුව. යමක් හේතුකොටගෙන ඝ්‍රාණෙන්ද්‍රියය සංවර නොකර වසන්නහුට ලෝභ ද්වෙෂ යන ලාමක අකුශල ධර්මයෝ වැදගත්තාහුද, ඒ ඝ්‍රාණෙන්ද්‍රියයේ සංවරය පිණිස පිළිපදුව. ඝාණෙන්ද්‍රියය රකුව. ඝාණෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

“දිවෙන් රසවිඳ එය නිමිති වශයෙන් නොගනුව. නැවත නැවත මතක්වන සේ අල්ලා නොගනුව. යමක් හේතුකොට ගෙන, ජිව්හෙන්ද්‍රියය සංවර නොකර වසන්නහුට ලෝභ ද්වෙෂ යන ලාමක අකුශලධර්මයෝ වැදගන්නාහුද, ඒ ජිව්හෙන්ද්‍රියයේ සංවරය පිණිස පිළිපදුව. ජිව්හෙන්ද්‍රියය රකුව. ජිව්හෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

“කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එය නිමිති වශයෙන් නොගනුව. නැවත නැවත මතක් නොවන සේ අල්ලා නොගනුව. යමක් හේතුකොටගෙන කායෙන්ද්‍රියය සංවර නොකර වසන්නහුට ලෝභ ද්වෙෂ යන ලාමක අකුශල ධර්මයෝ වැදගන්නාහුද, ඒ කායෙන්ද්‍රියයේ සංවරය පිණිස පිළිපදුව. කායේන්ද්‍රිය රකුව. කායෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

“සිතින් ධර්මාරමුණක් දැන නිමිති නොගනුව. කුඩා සලකුණු වශයෙන් නොගනුව. යමක් හේතුකොටගෙන මනින්ද්‍රිය සංවර නොකොට වාසයකරණ මොහුට ලොභ දොස සංඛ්‍යාත ලාමක අකුසල ධර්මයෝ උපදින්නාහුද, එය සංවරය පිණිස පිළිපදුව. මනින්ද්‍රියය රකුව. මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව’ යනුවෙනි.

“අග්ගිවෙස්සනය, යම් හෙයකින් වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඉන්ද්‍රියයන්හි වසනලද දොර ඇත්තේ වේද, තථාගතතෙම ඔහු මත්තෙහි හික්මවයි. ‘මහණ, නුඹ එව. භොජනයෙහි පමණ දන්නෙක් වෙව. නුවණින් සලකා බලා ආහාර ගනුව. (කෙසේද?) ක්‍රීඩා පිණිස නොවෙයි මදය පිණිස නොවෙයි. ශරීරය සැරසීම පිණිස නොවෙයි. අලංකාරය පිණිස නොවෙයි. මේ කයේ පැවැත්ම යැපීම පිණිසමය. විහිංසාවෙන් වැළකීම පිණිසය. බ්‍රහ්මචර්‍ය්‍යයට අනුග්‍රහය පිණිසය. පරණ බඩගිනි වේදනාවද වළක්වමි අලුත් වේදනාවද නොඋපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාවද නිවරද බවද පහසු විහරණයෙන් වන්නේය’ කියායි.

“අග්ගිවෙස්සනය, යම් හෙයකින් වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම භෝජනයෙහි ‘පමණ දන්නේවේද, තථාගත තෙම ඔහු මත්තෙහිත් හික්මවයි. මහණ, නුඹ එව. නිදිවර්ජිත කිරීමෙහි යෙදී වාසය කරව. දවල් කාලයෙහි සක්මනින් හා හිඳීමෙන්ද සිත වසන්නාවූ ක්ලෙශ ධර්මයන් ගෙන් සිත පිරිසිදු කරව. රාත්‍රියෙහි ප්‍රථම යාමයෙහි සක්මනින් හා හිඳීමෙන් සිත පිරිසිදු කරව. රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි දකුණු පයෙන් වම් පය මදක් ඈත්කොට තබා සිහි නුවණින් යුක්තව නැගිටිමි යන සංඥාව මෙනෙහිකොට දකුණු ඇලයෙන් සිංහසෙය්‍යාව කරව. රාත්‍රි අන්තිම යාමයෙහි නැගිට සක්මනින් හා හිඳීමෙන් ක්ලෙශ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරවයි’ කියායි.

“අග්ගිවෙස්සනය, යම් හෙයකින් වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම නිදි වර්ජිත කිරීමෙහි යෙදුනේ වේද, තථාගත තෙම ඔහු මත්තෙහිත් හික්මවයි. ‘මහණ, නුඹ එව. සිහියෙන් හා නුවණින් යුක්තව වාසය කරව. ඉදිරියට යාමෙහි සහ ආපසු යාමෙහි නුවණින් යුක්ත වූවෙක් වෙව. ඉදිරි බැලීමෙහි හා හැරී බැලීමෙහි නුවණින් යුක්තවූවෙක් වෙව. අත පය හැකිලීමෙන් හා දිගහැරීමෙහි මනාකොට දැන කරන්නෙක් වෙව. සඟළ සිවුරු පාත්‍ර සිවුරු දැරීමෙහි මනා කොට දැන කරන්නෙක් වෙව. අනුභාවයෙහි, පීමෙහි, කෑමෙහි රස විඳීමෙහි මනාකොට දැන කරන්නෙක් වෙව. මළමුත්‍ර කිරීමෙහි මනාකොට දැන කරන්නෙක් වෙව. යාමෙහි සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවර්ජිතයෙහි, කීමෙහි, නිශ්ශබ්ද වීමෙහි මනාකොට දැන කරන්නෙක් වෙව’ යනුවෙනි.

“අග්ගිවෙස්සනය, යම් හෙයකින් වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සිහි නුවණ දෙකින් යුක්තවූයේ වේද, තථාගත තෙම ඔහු මත්තෙහිත් හික්මවයි. ‘මහණ, නුඹ එව. අරණ්‍ය සේනාසනයක්, රුක් මුලක්, පර්වතයක්, කඳුරැලියක්, පර්වත ගුහාවක්, සොහොනක්, දුර වන සෙනසුනක්, එලිමහන් තැනක්, පිදුරු බිස්සක් යන ජනගහණය නැති සෙනසුනක් භජනය කරව යනුවෙනි. හෙතෙම අරණ්‍ය සෙනසුනක්, රුක් මුලක්, පර්වතයක්, කඳුරැලියක්, පර්වතගුහාවක්, සොහොනක්, දුර වන සෙනසුනක්, එලිමහන් තැනක්, පිදුරු බිස්සක් යන ජනගහණය නැති සෙනසුනක් සෙවුනේ වේද, හෙතෙම බතින් පසු, පිණ්ඩපාතයෙන් වැළකුණේ පලක් බැඳ කය කෙළින් තබා සිහිය එළවා හිඳී. හෙතෙම ස්කන්ධ ලෝකයෙහි දැඩි ලෝභය දුරුකොට, පහවූ ලෝබය ඇති සිතින් යුක්තව වාසය කෙරෙයි. ලෝබයෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද දොසය දුරුකොට සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව මෛත්‍රී සහගත සිතින් වාසය කරයි. ව්‍යාපාද දොෂයෙන් සිත පිරිසිදු කෙරෙයි.

“ථීනමිද්ධය දුරුකොට පහවූ ථීනමිද්ධ ඇත්තේ ආලෝක සංඥාව ඇතිව, සිහි ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව වාසය කෙරෙයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්ච කුක්කුච්චය දුරුකොට වික්ෂිප්ත නොවී ඇතුළත සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරෙයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව හැර පහවූ විචිකිච්ඡා ඇත්තේ කුසලධර්මයන්හි කෙසේ කෙසේදැයි යන සැක නැතිව වාසය කෙරෙයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරෙයි.

හෙතෙම ප්‍රඥාව දුර්වල කරණ සිත කිලුටු කරන්නාවූ මේ පඤ්චනීවරණ ධර්මයන් දුරුකොට කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ නුවණින් යුක්ත ව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලොභ දොසයන් හික්මවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි.

“වේදනාවන්හි වේදනාවන් නැවත බලන්නේ කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ස්කන්ධ ලොකයෙහි ලොභ දොසයන් දුරු කොට වාසය කරයි.

සිතෙහි සිත නැවත නැවත බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ස්කන්ධ ලොකයෙහි ලොභ දොසයන් දුරුකොට වාසය කරයි.

ධර්මයන්හි ධර්මයන් අනුව නැවත නැවත බලන්නේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලොභ දොසයන් හික්මවා වාසය කෙරෙයි.

“අග්ගිවෙස්සනය, යම්සේ ඇතුන් දමනය කරන්නෙක් මහත් කණුවක් පොළොවෙහි සිටුවා වල් ඇතුන්ගේ ස්වභාවය මැඩීම පිණිස, ශබ්ද අදහස් මැඩීම පිණිස, වල් ඇතුන්ගේ විඩා ක්ලාන්ත ගති මැඩීම පිණිස, ගමෙහි ඇලීම පිණිස, මනුෂ්‍යයන් කැමති කරවන ස්වභාවයන්හි පිහිටුවීම පිණිස, වල් ඇතාගේ බෙල්ලෙන් බඳී. අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම මේ සතර සතිපට්ඨානයෝ ගිහිගෙය ඇසුරු කොට පවත්නා ස්වභාවයන් මැඩීම පිණිස, ගිහිගෙය ඇසුරු කළ වචන අදහස් මැඩීම පිණිස, ගිහිගෙය ඇසුරු කළ දාහ, ක්ලාන්ත, දැවිලි මැඩීම පිණිස සත්‍ය මාර්ගයට පැමිණීම පිණිස, නිවන් අවබෝධ කිරීම පිණිස, ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ සිත බැඳ තබන්නාවූ අරමුණු වෙති.

“තථාගතතෙම ඔහු මත්තෙහි හික්මවයි. ‘මහණ, නුඹ එව. කයෙහි කය නැවත නැවත දක්නාසුලුව වාසය කරව. කාමයෙන් යුක්ත විතර්ක කල්පනා නොකරව. වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරව, කාමයෙන් යුක්ත විතර්ක කල්පනා නොකරව. සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරව. කාමයෙන් යුක්ත විතර්ක කල්පනා නොකරව. ධර්මයෙහි නැවත නැවත බලමින් වාසය කරව. කාමයෙන් යුත් විතර්ක කල්පනා නොකරව යනුවෙනි. හෙතෙම විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳුවීමෙන් ඇතුළත පැහැදීම ඇති, චිත්තයාගේ එකඟ බව ඇති, විතර්ක රහිත, විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සැප ඇති දුතියජ්ඣානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය ඉක්ම වීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්තවූයේ කයින් සැපවිඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තතියජ්ඣානයට පැමිණ වාසය කරයි. සැපයද නැති කිරීමෙන්, දුකද නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත්. සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති, චතුත්ථජ්ඣානයට පැමිණ වාසය කෙරෙයි. හෙතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පස පිරිසිදුවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් දුරුවූ කල්හි, මෘදුවූ කල්හි, වැඩට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන ස්වභාවයට පැමිණි කල්හි, පෙරවිසූ තැන් සිහි කිරීමේ නුවණ ලැබීම පිණිස සිත නමයි. මහණතෙම නන් වැදෑරුම්වූ, පෙර විසූ කඳපිළිවෙළ සිහිකෙරෙයි. එනම් එක් ජාතියක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද, අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක්සැප වින්දෙමි. ඒ මම එයින් චුතව, අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙබඳු සැපදුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තෙක් වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍ය භාවයෙහි උපන්නෙමියි. මෙසේ ආකාර සහිතව උදෙසීම් සහිතව නන් වැදෑරුම් පෙර විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.

“හෙතෙම මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පස පිරිසිදුවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් දුරුවූ කල්හි, මෘදුවූ කල්හි, වැඩට සුදුසුව සිටි කල්හි කම්පා නොවන ස්වභාවයට පැමිණි කල්හි, සත්වයන්ගේ ච්‍යුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි. හෙතෙම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පැවැත්තාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, පහත්වූද, උසස්වූද, හොඳ ස්වභාව ඇත්තාවූද, නරක ස්වභාව ඇත්තාවූද, මනාගති ඇත්තාවූද, නරක ගති ඇත්තාවූද, සත්වයන් දකී. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට දොස් කීවාහු, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාහු, මිථ්‍යා දෘෂ්ටි ක්‍රියා සමාදන් වූවාහු වෙත්. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට දොස් නොකීවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුවෙත්. (එහෙයින්) ඔවූහු කය බිඳීමෙන් මරණින් මතු, ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මානුරූපව පැමිණි සත්වයන්යයි දැනගනී.

“හෙතෙම මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පස පිරිසිදුවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් දුරුවූ කල්හි, මෘදුවූ කල්හි, වැඩට සුදුසුව සිටි කල්හි, කම්පා රහිතවූ කල්හි, කෙලෙස් නැති කිරීම පිණිස සිත නමයි. හෙතෙම මේ දුකයයි ඇතිසේ දැනගනී. මේ දුකට හේතුවයි ඇතිසේ දැනගනී. මේ දුක නැතිකිරීම යයි ඇතිසේ දැනගනී. මේ දුක නැති කරන මාර්ගයයි ඇතිසේ දැනගනී. මේ කෙලෙස්යයි ඇතිසේ දැනගනී, මේ කෙළෙස්වලට හේතුයයි ඇතිසේ දැනගනී, මේ කෙළෙස් නැති කිරීම යයි ඇතිසේ දැනගනී. මෙසේ දත්තාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රයෙන්ද මිදෙයි. භවාශ්‍රවයෙන්ද මිදෙයි. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදෙයි. මිදුන කල්හි මිදුනේයයි දැන ගැන්ම ඇතිවෙයි. උත්පත්තිය නැතිවූවා වෙයි. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවනලදී. කළ යුත්ත කරණලදී. මෙයින් මත්තෙහි කළයුතු කිසිවක් නැතැයි දැනගනී. ඒ මහණ තෙම ශීත ඉවසන්නේ වෙයි, බඩගිනි ඉවසන්නේ වෙයි, උෂ්ණය ඉවසන්නේ වෙයි, පිපාසය ඉවසන්නේ වෙයි, මැසිමදුරු සර්පයන්ගේ දෂ්ට කිරීම් ඉවසන්නේ වෙයි, නපුරු කොට කියනලද නපුරු කොට එන ලද වචන ඉවසන්නේ වෙයි. දුක්වූ තියුණුවූ කෲරවූ කටුකවූ නොසැපවූ නොසතුටුවූ ප්‍රාණය දුරු කරන්නාවූ උපන් ශරීරික වේදනා ඉවසන්නේ වෙයි. හික්මවනලද සියලු රාග දෝස මෝහ, ඇත්තේ, පහකරණලද කෙලෙස් කසට ඇත්තේ, දුරසිට ගෙනවුත් පිදීමට සුදුසුවූ තුටු පඬුරු පිදීමට සුදුසුවූ පින් පල අදහා පිදීමට සුදුසුවූ ඇඳිලිබැඳ නමස්කාරයට සුදුසුවූ ලෝකයාගේ ඉතා උතුම් පින්කෙත වන්නේය.

“අග්ගිවෙස්සනය, මහලුව රජුගේ ඇතා නොදැමුණෙක්ව නොහික්මුණෙක්ව කලුරිය කෙරේද, රජුගේ මහලු ඇතා නොදැමුණු මරණයෙන් කලුරිය කෙළේය, යන සංඛ්‍යාවට පැමිණෙයි, අග්ගිවෙස්සනය, රජුගේ මධ්‍යම වයසෙහි සිටි ඇතාද, ඉදින් නොදැමී, නොහික්මී, කළුරිය කෙරේද, රජුගේ මධ්‍යම වයසේ සිටි ඇතා නොදැමුණු මරණයෙන් කළුරිය කෙළේය යන සඩ්ඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, රජුගේ තරුණවූ ඇතාද නොදැමුණෙක්ව නොහික්මුණෙක්ව කළුරිය කෙරේද, රජුගේ තරුණ ඇතා නොදැමුණු මරණයෙන් කලුරිය කෙළේය යන සඩ්ඛ්‍යාවට පැමිණෙයි.

අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම ස්ථවිර භික්ෂුතෙමේද රහත් නොවී කලුරිය කෙරේද, ස්ථවිර භික්ෂුතෙම නොදැමුණු මරණයෙන් කලුරිය කෙළේය යන සඩ්ඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, මධ්‍යම භික්ෂුවද රහත් නොවී කළුරිය කෙරේද, නොදැමුණු මරණයෙන් මධ්‍යම භික්ෂුව කළුරිය කෙළේය යන සඩ්ඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, නවක භික්ෂූවද රහත් නොවී කලුරිය කෙරේද, නවක භික්ෂුව නොදැමුණු මරණයෙන් කලුරිය කෙළේය යන සඩ්ඛ්‍යාවට පැමිණෙයි.

“අග්ගිවෙස්සනය, රජුගේ මහළු ඇතාද හොඳට දැමුණෙක්ව හොඳට හික්මුණෙක්ව කළුරිය කෙරේද, රජුගේ මහලු ඇතා දැමුණු මරණයෙන් මළේය යන සඩ්ඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, රජුගේ මධ්‍යම වයසෙහි සිටි ඇතාද හොඳට දැමුණෙක්ව, හොඳට හික්මුණෙක්ව, කළුරිය කෙරේද, රජුගේ මධ්‍යම වයසෙහි සිටි ඇතා දැමුණුමරණයෙන් මළේය යන සඩ්ඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, රජුගේ තරුණ ඇතාද හොඳහැටි දැමුණෙක්ව හික්මුණෙක්ව කලුරිය කෙරේද, රජුගේ තරුණ ඇතා දැමුණු මරණයෙන් මළේය යන සඩ්ඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම ස්ථවිර භික්ෂූ තෙමේද, රහත් කළුරිය කෙරේනම්, ස්ථවිර භික්ෂුතෙම දැමුණු මරණයෙන් කලුරිය කෙළේය යන සඩ්ඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, මධ්‍යම භික්ෂූ තෙමේද, රහත්ව කළුරිය කෙරේ නම්, මධ්‍යම භික්ෂුව දැමුණු මරණයෙන් කලුරිය කෙළේය, යන සඩ්ඛ්‍යාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, නවක භික්ෂු තෙමේද රහත්ව කලුරිය කෙරේ නම්, නවක භික්ෂු තෙම දැමුණු මරණයෙන් කලුරිය කෙළේය යන සඩ්ඛ්‍යාවට පැමිණෙයි.”

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටු සිතැති අචිරවත සාමණෙර තෙම භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේය.

පස්වෙනි දන්තභූමි සූත්‍රය නිමි. (3-5)